අප සුචරිතය ලුහුබැඳිය යුත්තේ මන්ද?
අප සුචරිතය ලුහුබැඳිය යුත්තේ මන්ද?
මැදි වියේ පසු වන ජපන් ජාතිකයෙක් වන කුනිහිටෝ මෑතකදී පදිංචිය සඳහා එක්සත් ජනපදයට ගියා. a ඔහු එක්සත් ජනපදයට පැමිණ වැඩි කල් යන්න පෙර තම රැකියාවට තර්ජනයක් විය හැකි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. කුනිහිටෝ සිදු වූ දේ විස්තර කරන්නේ මෙලෙසයි. “මට යම් වැඩක් පැවරුවොත් ඒක ඉටු කරන්න පුළුවන්ද කියලා මගේ ලොක්කා මගෙන් ඇහුවා. මට ඒ වගකීම ඉටු කරන්න පුළුවන් කියලා මං හොඳටම දැනගෙන හිටියා. හැබැයි මං කිව්වේ, ‘මං දන්නේ නෑ, මං උත්සාහ කරල බලන්නම්’ කියලයි. මොකද මං හැදුණේ නිහතමානීකම හුඟක් උසස් ගුණාංගයක් හැටියට සලකන පරිසරයකයි. හැබැයි මගේ අමෙරිකානු ජාතික ලොක්කා හිතුවේ මං වගකීමක් භාරගන්න බැරි ආත්ම විශ්වාසයක් නැති කෙනෙක් කියලා. ඒක දැනගත්තට පස්සේ මට තේරුම්ගියා මං කටයුතු කරන විදිහ වෙනස් කරගත්තොත් හොඳයි කියලා.”
නියූ යෝක් නගරයේ වෙසෙන මරියා දක්ෂ ශිෂ්‍යාවක් වූ අතර ඇය නිතරම ඇගේ මිතුරන්ට උපකාර කරන්න සූදානමින් සිටියා. ඇගෙන් උපකාර පැතූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර හ්වාන්ද සිටියා. හ්වාන් මරියාගෙන් ඉඳ හිට උදව් ඉල්ලූ අතර ඔහුට මරියා ගැන අදහසක් ඇති වී තිබුණ නිසා ඇගේ සිත දිනාගැනීමටද ඔහු උත්සාහ දැරුවා. මරියා නිර්මල චරිතයක් ඇතුව සිටීමට කැමැත්තක් දැක්වුවත් අන්තිමට හ්වාන්ගේ ග්‍රහණයට හසු වී ඔහු සමඟ දුරාචාරයෙහි යෙදුණා.
අදදින විවිධ සංස්කෘතීන්ගෙන් ගහන වූ මෙම දූෂිත ලෝකයේ සුචරිතය ලුහුබැඳීම ඇත්තෙන්ම අභියෝගයක් විය හැකියි. එහෙත්, අප සුචරිතවත් පුද්ගලයන් වීමට වෙර දැරිය යුත්තේ මන්ද? එනම්, දෙවිව සතුටට පත් කරමින් ඔහුගේ අනුමැතිය ලබාගන්න නම් සුචරිතවත් ජීවන මාර්ගයක් ලුහුබැඳීම අත්‍යවශ්‍ය වන නිසයි.
සුචරිතය ලුහුබඳින්න කියා දෙවිගේ වචනය වන බයිබලය අපෙන් උදක්ම ඉල්ලා තිබෙනවා. උදාහරණයකට ප්‍රේරිත පාවුල් මෙසේ ලියා ඇත. ‘යම් ගුණයක්, යම් ප්‍රශංසනීය දෙයක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරන්න.’ (පිලිප්පි 4:8) තවද ප්‍රේරිත පේතෘස් උනන්දු කරන්නේ ‘මුළු උත්සාහයෙන් ඔබේ ඇදහිල්ලට ගුණය සපයාගන්න’ කියායි. (2 පේතෘස් 1:5) ඇත්තටම ගුණය හෙවත් සුචරිතය කියන්නේ කුමක්ද? එය යම් පාඨ මාලාවක් තුළින් හැදෑරිය හැකි යමක්ද? අපට සුචරිතවත් පුද්ගලයන් විය හැක්කේ කෙසේද?
[පාදසටහන]
a සමහර නම් වෙනස් කර ඇත.