Skip to content

පටුනට යන්න

ඔබ ජීවත් වන්නේ ඔබේ කැපවීමට එකඟවද?

ඔබ ජීවත් වන්නේ ඔබේ කැපවීමට එකඟවද?

ඔබ ජීවත් වන්නේ ඔබේ කැපවීමට එකඟවද?

“නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව [යෙහෝවාට] මෙන් [මුළු, න.අ.] සිතෙන් කරන්න.”—කොලොස්සි 3:24.

1. ක්‍රීඩා ක්ෂේත්‍රයේදී අපට දැකගත හැක්කේ කවර ආකාරයේ කැපවීමක්ද?

 උපරිමයෙන් දස්කම් දක්වමින් ක්‍රීඩා කිරීමට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලබා දෙන්නේ කුමක්ද? ක්‍රිකට්, පා පන්දු, පැසි පන්දු, ටෙනිස්, මලල ක්‍රීඩා හෝ වෙනයම් ක්‍රීඩාවකදී උපරිමයෙන් දක්ෂතා විදහාපෙන්වමින් කීර්තියට පත් වන්නේ ඉමහත් කැපවීමකින් කටයුතු කළහොත් පමණි. ශාරීරික සහ මානසික යෝග්‍යතාව උපරිම මට්ටමකට ගෙන ඒම මෙහිදී ප්‍රමුඛ තැනක් ගනී. මෙවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන කල්පනා කර බලද්දී, විගස අපගේ මනසට නැඟෙන වචනය වන්නේ “කැපවීමයි.” මන්ද ඔවුන් තම මනස සහ කය එකම අරමුණක් ඔස්සේ යොදවන්නේ ඉමහත් කැපවීමකිනි.

2. බයිබලයෙහි “කැපවීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.

2 කෙසේවෙතත්, බයිබලයේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, “කැපවීම” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? “කැප වෙනවා” ලෙස පරිවර්තනය කළ හැකි හෙබ්‍රෙව් ක්‍රියා පදය, “වෙන් කොට තබන්න, වෙන් වී සිටින්න, ඉවත්ව සිටින්න” යන අදහසින් යුක්තය. a පුරාණ ඉශ්‍රායෙල්හි උත්තම පූජකයා වූ ආරොන් පැළඳ සිටි මකුටය පිට, ‘ශුද්ධකම අයිති වන්නේ යෙහෝවාටය’ යන වචන කැටයම් කළ පවිත්‍ර රනින් තනන ලද “ශුද්ධ කිරීටයේ තහඩුව” සවි කර තිබිණ. ‘[ශුද්ධ] දෙවිගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට [තිබුණු]’ බැවින්, ශුද්ධස්ථානය දූෂ්‍ය කළ හැකි ඕනෑම දෙයකින් උත්තම පූජකයා වැළකී සිටිය යුතු බවට සලකුණක් ලෙස එය ක්‍රියා කළේය.—නික්මයාම 29:6; 39:30; ලෙවී කථාව 21:12.

3. අපගේ කැපවීම අපගේ හැසිරීමට බලපෑ යුත්තේ කෙසේද?

3 මෙම දෘෂ්ටිකෝණයට අනුව, කැපවීම ඉතා බැරෑරුම් දෙයක් බව අපට පෙනේ. අප දෙවිගේ සේවකයන් හැටියට කැමැත්තෙන්ම පෙනී සිටිය යුතු අතර, අපගේ හැසිරීම පවිත්‍රව තබාගැනීමද අවශ්‍යය. එමනිසා, “මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුය” කියා යෙහෝවා පැවසූ දේ ප්‍රේරිත පේතෘස් විසින් ගෙනහැර දැක්වීමට හේතුව අපට තේරුම්ගත හැක. (1 පේතෘස් 1:15, 16) කැප වූ ක්‍රිස්තියානීන් වශයෙන් අපගේ කැපවීමට එකඟව ජීවත් වන අතරතුර, අන්තිමය දක්වා විශ්වාසවන්තව සිටීමේ බැරෑරුම් වගකීමද අප සතුය. එනමුත් අපගේ ක්‍රිස්තියානි කැපවීමට අයත් වන්නේ කුමක්ද?—ලෙවී කථාව 19:2; මතෙව් 24:13.

4. අප කැපවීමේ පියවරට එළඹෙන්නේ කෙසේද? එය කුමකට සම කළ හැකිද?

4 යෙහෝවා දෙවි සහ ඔහුගේ අරමුණු පිළිබඳවද, යේසුස් ක්‍රිස්තුස් සහ දෙවිගේ අරමුණු තුළ ඔහුට හිමි කාර්යභාරය පිළිබඳවද නිවැරදි දැනුමක් ලබාගැනීමෙන් පසු, දෙවිට අපගේ මුළු හෘදයෙන්, මනසෙන්, ආත්මයෙන් සහ ශක්තියෙන් සේවය කිරීමට අපි පෞද්ගලික තීරණයක් ගත්තෙමු. (මාර්ක් 8:34; 12:30; යොහන් 17:3) කොන්දේසි විරහිතව අප දෙවිට කැපවීමට ගත් ඒ තීරණය, පෞද්ගලිකව කළ භාරයක් ලෙසද සැලකිය හැක. ඒ තීරණය හදිස්සියේ ඇති වූ යම් හැඟීමක් නිසා ගත් තීරණයක් නොවේ. අපගේ සිහිබුද්ධිය භාවිත කරමින්, යාච්ඤාපූර්වකව සහ පරෙස්සමින් කල්පනා කොට ගත් තීරණයකි ඒ. එමනිසා, එය කෙටි කාලයකට සීමා වන තීරණයක් නොවේ. කෙනෙක් කුඹුරක් හාන්නට පටන්ගෙන, කාර්යය ඉතා වෙහෙසකාරි නිසා හෝ අස්වනු නෙළන කාලය එන තෙක් බොහෝ කාලයක් බලා සිටිය යුතු නිසා හෝ තත්වය ඉතා අවිනිශ්චිත නිසා හෝ අතරමඟදී තම කාර්යය නතර කරයි නම්, ඔහුව සමච්චලයට ලක් වනු ඇත. අපටද අපේ කැපවීම සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගත නොහැක. දිව්‍යාණ්ඩු වගකීම් නමැති ‘නගුලට අත තබා’ බාධක මැද සේවය කර ඇති සමහරුන්ගේ ආදර්ශයන් සලකා බලන්න.—ලූක් 9:62; රෝම 12:1, 2.

තම කැපවීමට ද්‍රෝහී නොවූවෝ

5. කැප වූ දේවසේවකයෙකු ලෙස යෙරෙමියා කැපීපෙනෙන ආදර්ශයක් වූයේ කෙලෙසද?

5 යෙරුසලමේ 40 වසරකට (පො.යු.පෙ. 647-607) වඩා වැඩි කාලයක් අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ යෙරෙමියාගේ පැවරුම ලෙහෙසි පහසු එකක් ලෙස සැලකිය නොහැක. යෙරෙමියා තමාගේ සීමාවන් හොඳහැටි දැන සිටියේය. (යෙරෙමියා 1:2-6) යුදයෙහි විසූ මුරණ්ඩු ජනතාවට දිනපතාම මුහුණ දීමේ අභියෝගයට ධෛර්යය සහ විඳදරාගැනීම අවශ්‍ය විය. (යෙරෙමියා 18:18; 38:4-6) කෙසේවෙතත්, යෙරෙමියා තම දෙවි යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවා ඔහුව ශක්තිමත් කළ අතර, එමගින් ඔහුට සැබවින්ම කැප වූ දේවසේවකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා විය.—යෙරෙමියා 1:18, 19.

6. ප්‍රේරිත යොහන් අප සඳහා තබා ඇත්තේ කවර ආදර්ශයක්ද?

6 විශ්වාසවන්ත ප්‍රේරිත යොහන් ගැන කුමක් කිව හැකිද? මහලු වියේ පසු වූ ඔහු, ‘දෙවිගේ වචනයද යේසුස්ගේ සාක්ෂියද නිසා’ පත්මොස් නම් දිවයිනේ කටුක වහල් ජීවිතයක් ගත කරමින් සිටියේය. (එළිදරව් 1:9) හෙතෙම විඳදරාගැනීමෙන් යුතුව කැප වූ ක්‍රිස්තියානියෙකු ලෙස වසර 60ක් පුරා විශ්වාසවන්තව සිටියේය. රෝම හමුදාවන් අතින් යෙරුසලම විනාශ වූවායින් පසුවද ඔහු ජීවත් විය. සුවිශේෂයක් හා දේවානුභාවයෙන් ලියන ලද හසුන් තුනකට අමතරව, අර්මගෙදොන් යුද්ධය පිළිබඳ පෙරදැක්මක් ඇතුළත් එළිදරව් පොතද ලිවීමේ වරප්‍රසාදය ඔහු සතු විය. අර්මගෙදොන් යුද්ධය තම ජීවිත කාලය තුළදී නොපැමිණෙන බව දැනගත් විට, ඔහු තම විශ්වාසය අත්හැරියාද? ඔහු උදාසීන තත්වයකට ඇද වැටුණාද? නැත. “කාලය ළඟ” බව යොහන් දැන සිටියද, ඔහු දුටු දර්ශනවල ඉටුවීම මතු කාලයේදී සිදු වන බව ඒත්තුගත්තේය. ඔව්, යොහන් මරණය දක්වාම විශ්වාසවන්තව සිටියේය.—එළිදරව් 1:3; දානියෙල් 12:4.

නවීන දින ආදර්ශයන්

7. එක් සහෝදරයෙකු ක්‍රිස්තියානි කැපවීම සම්බන්ධයෙන් ආදර්ශවත් වූ ආකාරය විස්තර කරන්න.

7 නවීන කාලයේදී, අර්මගෙදොන් නොදැක මියගොස් ඇති විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් දහස් ගණනක්, මරණය දක්වාම ජ්වලිතව තම කැපවීමට එකඟව කටයුතු කර ඇත. එංගලන්තයේ අර්නස්ට් ඊ. බීවර් එවන් පුද්ගලයෙකු විය. දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී, එනම් 1939දී සාක්ෂිකරුවෙකු වූ ඔහු, ඡායාරූප ගැනීමේ ඉතා සාර්ථක ව්‍යාපාරයක නියුතුව සිටියේය. එනමුත් පූර්ණ-කාලීන දේවසේවකයෙකු වීමේ අදහසින් ඔහු එම ව්‍යාපාරය අත්හැරියේය. යුද්ධ කාලයේදී ඔහු තම ක්‍රිස්තියානි ස්ථාවරය රැකගත් නිසා වසර දෙකකට ඔහුව සිර කරන ලදි. ඔහුගේ පවුල ඔහුට මහත් සහයෝගයක් දැක්වූ අතර, 1950දී ඔහුගේ දරුවන් තුන්දෙනා මිෂනාරි පුහුණුව සඳහා නියූ යෝක්හි පැවති ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වූහ. සහෝදර බීවර් දේශනා කිරීමේ වැඩය සම්බන්ධයෙන් කොතරම් ජ්වලිතයක් දැක්වුවාද කිවහොත්, ඔහුගේ මිතුරෝ ඔහුට අර්මගෙදොන් අර්නි යන නම පට බැන්දෝය. තම කැපවීමට එකඟව ජීවත් වූ ඔහු, 1986 තම මරණය සිදු වන තුරුම දෙවිගේ අර්මගෙදොන් යුද්ධය ඉතා ආසන්න බව ප්‍රකාශ කිරීමෙන් නතර වූයේ නැත. හෙතෙම තම කැපවීම සැලකුවේ දෙවි සමඟ කළ කෙටි කාලීන ගිවිසුමක් ලෙස නොවේ. b1 කොරින්ති 15:58.

8, 9. (අ) ෆ්‍රැන්කෝගේ පාලන සමයේදී තරුණ පුරුෂයන් බොහෝදෙනෙකු තැබූ කදිම ආදර්ශය කුමක්ද? (ආ) අපගෙන් කවර ප්‍රශ්න ඇසීම යෝග්‍යද?

8 දැවෙන ජ්වලිතයක් පෙන්වූ තවත් ආදර්ශයක් ස්පාඤ්ඤයෙන් සොයාගත හැක. ෆ්‍රැන්කෝගේ පාලන සමයේදී (1939-75), තරුණ සාක්ෂිකරුවන් සිය ගණනක් තම ක්‍රිස්තියානි ස්ථාවරයෙහි දිගටම රැඳී සිටියහ. හමුදා බන්ධනාගාරවල දස වසරක් හෝ ඊට වැඩි කාලයක් සිටීමට කිහිපදෙනෙකුට සිදු විය. ඉන් එක් අයෙකි, කේසුස් මාර්ටින්. ඔහුට වසර 22ක සිර දඬුවමක් නියම කෙරිණ. උතුරු අප්‍රිකාවේ හමුදා බන්ධනාගාරයක රඳවා සිටිද්දී, ඔහු ඉතා දරුණු පහර දීමකට ලක් විය. මේවා ඉතා අසීරු අද්දැකීම් වුවත්, තම ස්ථාවරය අත්හැරීමට ඔහු එය හේතුවක් කර නොගත්තේය.

9 තමන් සිර භාරයෙන් මිදෙන්නේ කවදාද කියා බොහෝ අවස්ථාවලදී මෙම යෞවන පුරුෂයන් දැන සිටියේ නැත. ඊට හේතුව වූයේ ඔවුන් සිර දණ්ඩන කිහිපයකටම යටත්ව සිටීමය. එහෙත් සිර භාරයේ සිටිද්දී ඔවුහු තම ස්ථාවරයෙහි රැඳී සිටි අතර, දේවසේවය සඳහා තිබූ තම ජ්වලිතය රැකගත්හ. වර්ෂ 1973දී තත්වය හොඳ අතට හැරුණු විට, සිය 30ගණන්වල මුල් භාගයේ පසු වූ මෙම සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් නිදහස ලබා, කෙළින්ම පූර්ණ-කාලීන සේවයට පා තැබූහ. කිහිපදෙනෙක්ම විශේෂ පුරෝගාමීන් හෝ සංචාරක අවේක්ෂකයන් ලෙස සේවය කළෝය. සිර භාරයේ සිටිද්දී ඔවුන් තම කැපවීමට එකඟව කටයුතු කළා පමණක් නොව, වැඩිදෙනා නිදහස ලැබීමෙන් පසුව පවා දිගටම එසේ ක්‍රියා කළෝය. c අදදින වෙසෙන අප ගැන කුමක් කිව හැකිද? පක්ෂපාතව සේවය කළ ඉහත සඳහන් අය මෙන් අපත් අපගේ කැපවීමට විශ්වාසවන්තව සිටිනවාද?—හෙබ්‍රෙව් 10:32-34; 13:3.

අපගේ කැපවීම පිළිබඳව නිසි ආකල්පයක් පවත්වාගැනීම

10. (අ) අප අපගේ කැපවීම සැලකිය යුත්තේ කෙසේද? (ආ) අප යෙහෝවාට කරන සේවය ඔහු සලකන්නේ කෙසේද?

10 දෙවිගේ කැමැත්ත කිරීම සඳහා අප ඔහුට කැප වී සිටිනවා යන කාරණය අප සලකන්නේ කෙසේද? අපගේ ජීවිතයේ මුල් තැන ඊට හිමි වේද? ඔබ යෞවනයෙක්ද නැත්නම් වයසින් මුහුකුරා ගිය කෙනෙක්ද? ඔබ විවාහකද? අවිවාහකද? නිරෝගීද? නැතහොත් අසනීපවලින් පෙළෙනවාද? ඔබේ තත්වය කුමක් වෙතත්, ඒ තත්වයෙන් ඉඩ සැලසෙන තරමට ඔබේ කැපවීමට එකඟව ජීවත් වීමට වෑයම් දැරිය යුතුය. මෙය අප සැමගේ අදිටන විය යුතුය. පුරෝගාමියෙකු, වොච්ටවර් සමිතියේ ශාඛා කාර්යාලයක ස්වේච්ඡා සේවකයෙකු, මිෂනාරිවරයෙකු හෝ සංචාරක සේවයෙහි නියුතු කෙනෙකු ලෙස සේවය කිරීමේ ප්‍රස්තාව ඇතැම් අයට උදා විය හැක. අනික් අතට, පවුලේ ද්‍රව්‍යමය සහ ආත්මික අවශ්‍යතා පිරිමැසීමේ වගකීම සමහර දෙමාපියන්ට සෑහෙන වෙහෙසකාරි කාර්යයක් විය හැක. එක් පාර්ශ්වයක් සේවය සඳහා සෑහෙන පැය ප්‍රමාණයක් වැය කරද්දී අනික් පාර්ශ්වය පැය කිහිපයක් සේවය කළ හැකිය. යෙහෝවා ඔවුන් කළ සේවය දෙස බලන්නේ වෙනස් ආකාරයකින්ද? එනම් ඔහු බලන්නේ වැය කළ පැය ප්‍රමාණයද? නැත. දෙවි අපට කළ නොහැකි දෙයක් කිසිවිටෙක අපගෙන් අපේක්ෂා නොකරයි. මෙහිදී ප්‍රේරිත පාවුල් සඳහන් කරන මෙම ප්‍රතිපත්තිය අදාළ වේ. ‘දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවි, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නේය.’—2 කොරින්ති 8:12, නව අනුවාදය.

11. අපගේ ගැළවීම රඳා පවතින්නේ කුමක් මතද?

11 කෙසේවෙතත්, අපගේ ගැළවීම රඳා පවතින්නේ අප කරන යම් දෙයක් මත නොව නමුත්, අපගේ ස්වාමි වූ ක්‍රිස්තුස් යේසුස් තුළින් යෙහෝවා පෙන්වන ලබන්නට නොවටිනා තරම් වූ කරුණාව මතය. පාවුල් ඒ කාරණය පැහැදිලිව ගෙනහැර දක්වන්නේ මෙලෙසය. ‘මක්නිසාද සියල්ලෝම පව් කොට දෙවිගේ මහිමයෙන් හීනව සිටිති. එබැවින් ඔවුහු ඔහුගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති.’ කෙසේවෙතත්, දෙවිගේ අරමුණු සම්බන්ධයෙන් අපට ක්‍රියාශීලී ඇදහිල්ලක් තිබෙනවාද යන්න අපගේ ක්‍රියා තුළින් ඔප්පු වේ.—රෝම 3:23, 24; යාකොබ් 2:17, 18, 24.

12. අප යම් සැසඳීම් කිරීම නුසුදුසු වන්නේ මන්ද?

12 දෙවිගේ සේවයෙහි අප කොපමණ කාලයක් ගත කර ඇද්ද, පොත් පත් සඟරා ආදිය කොතරම් බෙදා ඇද්ද, අප පවත්වන බයිබල් පාඩම් ගණන කොපමණද කියා එකිනෙකා සමඟ සැසඳීම් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැත. (ගලාති 6:3, 4) ක්‍රිස්තියානි දේවසේවය තුළදී අප ඉටු කරන දෙය කුමක් හෝ වේවා යේසුස්ගේ මෙම වදන් සිහියේ තබාගැනීම යෝග්‍යය. “එසේම නුඹලාත් නුඹලාට අණකළ සියල්ල කළ පසු: අපි නිෂ්ප්‍රයෝජන දාසයෝය; අප විසින් කටයුතුව තිබුණු දේ කළෙමුයයි කියන්න.” (ලූක් 17:10) අවංකවම කියනවා නම්, ‘අපට අණ කළ සියල්ලම කළා’ කියා කීමට පුළුවන්ද? අප අපොහොසත් වන අවස්ථා මොනතරම්ද! එමනිසා, දෙවිට අප කරන සේවය ගුණාත්මක අතින් කවර මට්ටමක තිබිය යුතුද යන්න අපගේ සැලකිල්ලට යොමු විය යුතුය.—2 කොරින්ති 10:17, 18.

සෑම දිනකින්ම උපරිමය නෙළාගැනීම

13. අපගේ කැපවීමට එකඟව දිවි ගෙවද්දී අපට තිබිය යුත්තේ කවර ආකල්පයක්ද?

13 භාර්යාවන්ට, පුරුෂයන්ට, දරු දැරියන්ට, දෙමාපියන්ට සහ දාසයන්ට උපදෙස් දීමෙන් අනතුරුව, පාවුල් මෙසේ ලියයි. “නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය [යෙහෝවාගෙන්] ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව [යෙහෝවාට] මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමීවූ [ක්‍රිස්තුස්ටය].” (කොලොස්සි 3:23, 24) යෙහෝවාගේ සේවයෙහි අප දේවල් ඉටු කරද්දී මනුෂ්‍යයන්ගේ සිත් ඇදගැනීමේ අරමුණින් අපි සේවය නොකරන්නෙමු. අප උත්සාහ කරමින් සිටින්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් දෙවිට සේවය කිරීමටයි. යේසුස් කෙටි කාලයකට සීමා වූ තම භූමික සේවය හදිසිතාවේ හැඟීමකින් යුතුව ඉටු කළේය.—1 පේතෘස් 2:21.

14. පේතෘස් අන්තිම දවස් සම්බන්ධයෙන් දුන්නේ කිනම් අනතුරු ඇඟවීමද?

14 ප්‍රේරිත පේතෘස්ද හදිසිතාවේ හැඟීමක් විදහාපෙන්වීය. ඔහු ලියූ දෙවන ලිපියෙහි, අන්තිම දවස්වලදී ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය සම්බන්ධයෙන් තමන්ට රිසි පරිද්දෙන් ප්‍රශ්න කරන කවටකම් කරන්නන්, එනම් ඇදහිල්ල අත්හරින්නන් සහ සැක පහළ කරන්නන් සිටින්නට යන බවට හෙතෙම අනතුරු ඇඟවීය. එනමුත් පේතෘස් මෙසේද පැවසීය. ‘ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට යෙහෝවා තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන්නේය; නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට ඔහු නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන්නේය. එහෙත් සොරෙකු මෙන් යෙහෝවාගේ දවස පැමිණෙන්නේය.’ යෙහෝවාගේ දවස පැමිණෙන බවට සැකයක් නැත. එමනිසා, දෙවිගේ පොරොන්දු කෙරෙහි අපගේ ඇදහිල්ල කොතරම් ස්ථිරද, කොතරම් ශක්තිමත්ද යන කාරණය සම්බන්ධයෙන් අප දෛනිකව සැලකිලිමත් විය යුතුය.—2 පේතෘස් 3:3, 4, 9, 10.

15. අපගේ ජීවිතයේ ගෙවී යන සෑම දවසක් දෙසම අප බැලිය යුත්තේ කෙසේද?

15 අපගේ හෘදය සාක්ෂියට එකඟව යුතුකම් නොපිරිහෙළා ඉටු කරමින් අපගේ කැපවීමට එකඟව ජීවත් වීමට නම්, අප සෑම දිනක්ම යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙන අයුරින් ගත කළ යුතුය. සෑම දිනකම අවසානයේදී, දෙවිගේ නාමය විශුද්ධ කිරීමේ සහ රාජ්‍යයේ ශුභාරංචිය පතළ කිරීමේ කාර්යයට අප යම් ආකාරයකින් දායක වූවාද යන්න ගැන කල්පනා කර බැලිය හැක. ඇතැම්විට අප එය කළේ, අපගේ පිරිසිදු හැසිරීමෙන් සහ කතා බහෙන් නැතහොත් පවුලේ සාමාජිකයන්ට සහ මිතුරු මිතුරියන්ට අප දැක්වූ ප්‍රේමනීය සැලකිල්ල තුළින් විය හැක. අපගේ ක්‍රිස්තියානි බලාපොරොත්තුව ගැන අන්‍යයන් සමඟ කතා කිරීමට අපට ලැබෙන සෑම ප්‍රස්තාවකින්ම අපි ප්‍රයෝජන ගන්නවාද? දෙවිගේ පොරොන්දු ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට අප යමෙකුට උපකාර කර තිබෙනවාද? ඔව්, දිනපතා ආත්මික අර්ථයකින් අපි යම් වටිනා දෙයක් කිරීමට වෑයම් කරමු. එසේ කිරීමෙන් ආත්මික ආකාරයෙන් අප වස්තු නිදන් කරගන්නවා කියා පැවසිය හැක.—මතෙව් 6:20; 1 පේතෘස් 2:12; 3:15; යාකොබ් 3:13.

ඔබේ දෘෂ්ටිය බොඳ නොවන ආකාරයෙන් කටයුතු කිරීම

16. දෙවිට අප කර ඇති කැපවීම දුබල කිරීමට සාතන් උත්සාහ කරන ආකාරය විස්තර කරන්න.

16 අප ජීවත් වන කාලය හේතුවෙන් ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වන දුෂ්කරතා එන්න එන්නම වැඩි වේ. යහපත සහ නපුර, පවිත්‍ර සහ අපවිත්‍ර දෙය, සදාචාරයට එකඟ දේ සහ දුරාචාරමය දේ මෙන්ම සුචරිතවත් සහ දුෂ්චරිතවත් දේවල් අතර වෙනස බොඳ කිරීමට සාතන් සහ ඔහුගේ සගයෝ උත්සාහ කරති. (රෝම 1:24-28; 16:17-19) රූපවාහිනියක දුරස්ථ පාලකය මගින් හෝ පරිගණකයක යතුරු පුවරුවේ යතුරු කිහිපයක් ක්‍රියාත්මක කිරීම මගින් අපගේ හදවත් සහ මනස් දූෂ්‍ය කිරීම පහසු කාර්යයක් වී ඇත්තේ ඔහුගේ බලපෑම නිසාය. අපගේ ආත්මික දෘෂ්ටිය බොඳ වී යෑමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ කපටි ක්‍රියා තේරුම්ගැනීමට අප අපොහොසත් විය හැක. ඔව්, අපගේ ආත්මික ප්‍රතිපත්ති අත්හැරීමට පෙලඹෙනවා නම්, අපගේ කැපවීමට එකඟව ජීවත් වීමේ අදිටන දුර්වල වී, ‘නගුල’ අත්හැර යෑමට එය හේතු විය හැක.—ලූක් 9:62; පිලිප්පි 4:8.

17. දෙවි සමඟ අපගේ සම්බන්ධතාව රැකගැනීමට පාවුල්ගේ උපදෙස් අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?

17 එමනිසා පාවුල් තෙසලෝනික සභාවේ විසූවන්ට පැවසූ දේ කාලෝචිතය. ‘දෙවිගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය.’ එනම්, ‘නුඹලා වේශ්‍යාකමින් වැළකී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවි නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව, ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගෙන සිටීමය.’ (1 තෙසලෝනික 4:3-5) දුරාචාරය හේතුවෙන් සමහරුන්ව ක්‍රිස්තියානි සභාවේ ඇසුරෙන් පහ කර ඇත. මොවුහු දෙවිට තමන් කළ කැපවීම නොසලකා හැර ගිය අය වෙති. ඔවුහු දෙවි සමඟ ඔවුන්ගේ සම්බන්ධය දුර්වල වීමට ඉඩ දුන් නිසා, තම ජීවිතයේදී දෙවිව නොතකන බවට පෙන්වූහ. එනමුත් පාවුල් මෙසේ පැවසීය. “[දෙවි] අප කැඳෙවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය. එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ [ශුද්ධාත්මය] නුඹලාට දෙන්නාවූ [දෙවිව] එපා කරන්නේය.”—1 තෙසලෝනික 4:7, 8.

ඔබේ අදිටන කුමක්ද?

18. අපගේ අදිටන කුමක් විය යුතුද?

18 අපි යෙහෝවා දෙවිට කැප වී ඇති බවට කාරණයේ බැරෑරුම්කම අගය කරන්නෙමු නම්, අපගේ අදිටන කුමක් විය යුතුද? අපගේ හැසිරීම සහ සේවය සම්බන්ධයෙන් යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමයි. පේතෘස් මෙසේ අවවාද කළේය. “[ක්‍රිස්තුස්] තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.” (1 පේතෘස් 3:16) දෙවි කෙරෙහි තම ඇදහිල්ල සහ පක්ෂපාතිත්වය පෙන්නුම් කිරීම හේතුවෙන් ක්‍රිස්තුස්ටද දුක් පීඩාවලට මුහුණ දීමට සිදු වූ බව අප දන්නා නිසා, අපගේ ක්‍රිස්තියානි හැසිරීම හේතුවෙන් එවැනිම තත්වයකට මුහුණ දීම අපට ගැටලුවක් නොවේ. ‘ඉතින් ක්‍රිස්තුස් මාංසයෙන් (අප උදෙසා) වධ වින්ද බැවින්, දෙවිගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස එම සිත [මානසික ස්වභාවය, NW] ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධ වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.’—1 පේතෘස් 4:1, 2.

19. අප කැමති වන්නේ අප ගැන කුමක් පවසනවාටද?

19 අපගේ කැපවීමට එකඟව ජීවත් වීමට අප තිර අදිටනකින් යුක්තව සිටිනවා නම් ආත්මිකව, සදාචාරමය අතින් සහ භෞතිකව දූෂ්‍ය වූ සාතන්ගේ ලොවේ උගුල්වලින් ආරක්ෂා විය හැක. ඊටත් වඩා, අපට දෙවිගේ අනුමැතිය ඇති බවට වූ සහතිකය තිබෙනු ඇත. සාතන්ට සහ ඔහුගේ සගයන්ට අප වෙත ඉදිරිපත් කළ හැකි කිසිවක් එයට සමාන කළ හැකිද? එමනිසා, අප මුලින්ම සත්‍යය දැනගත් අවස්ථාවේදී ඇති වූ ප්‍රේමය අත් නොහැරීමට වෙර දරමු. “මම නුඹේ ක්‍රියාද ප්‍රේමයද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹේ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියා වැඩි බවද දනිමි” කියා මුල් සියවසේ තියාතිරා සභාවේ සාමාජිකයන්ට පැවසූ දේ අප සම්බන්ධයෙන්ද කිව හැකි නම් එය කොපමණ ආශීර්වාදයක්ද! (එළිදරව් 2:4, 18, 19) එසේ නම්, අපගේ කැපවීම සම්බන්ධයෙන් උදාසීන නොවෙමු. ඒ වෙනුවට, ‘ආත්මයෙන් ජ්වලිත වෙමු.’ වේගයෙන් අප කරා ඇදී එන අන්තිමය දක්වා ස්ථිරව සිටිමු.—රෝම 12:11; එළිදරව් 3:15, 16.

[පාදසටහන්වල]

a 1987 අප්‍රියෙල් 15 ඉංග්‍රීසි මුරටැඹ සඟරාවෙහි 31වන පිටුව බලන්න.

b අර්නස්ට් බීවර්ගේ අද්දැකීම ගැන සවිස්තර තොරතුරු ලබාගැනීමට 1980 මාර්තු 15 මුරටැඹ ඉංග්‍රීසි කලාපයේ 8-11 දක්වා පිටු බලන්න.

c Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත 1978 Yearbook of Jehovah’s Witnesses, 156-8, 201-18 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• කැපවීමට අයත් වන්නේ කුමක්ද?

• අනුකරණය කිරීමට වටිනා දෙවිගේ කැප වූ සේවකයන් වශයෙන් පුරාණයේ මෙන්ම නවීන කාලයේ ආදර්ශවත් වූ කිහිපදෙනෙකු නම් කරන්න.

• දෙවිට කරන සේවය අප සැලකිය යුත්තේ කෙසේද?

• දෙවිට අප කර ඇති කැපවීම සම්බන්ධයෙන් අපගේ අදිටන කුමක් විය යුතුද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යෙරෙමියා කෲර පීඩාවලට ලක් වුවද තම විශ්වාසවන්තකම රැක්කේය

[16වන පිටුවේ පින්තූරය]

අර්නස්ට් බීවර් ජ්වලිත ක්‍රිස්තියානියෙකු ලෙස තම දරුවන් සඳහා ආදර්ශයක් තැබීය

[17වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤයේ සිර කඳවුරුවල සිටි තරුණ සාක්ෂිකරුවෝ සිය ගණනක් තම අඛණ්ඩතාව රැක්කෝය

[18වන පිටුවේ පින්තූර]

සෑම දිනකම ආත්මික පැත්තෙන් යම් වර්ධනයක් සිදු කිරීමට දායක වෙමු