ශුභාරංචිය සඳහා ලැට්වියාව හොඳ ප්‍රතිචාරයක් දක්වයි
රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
ශුභාරංචිය සඳහා ලැට්වියාව හොඳ ප්‍රතිචාරයක් දක්වයි
“සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවා” දැකීම දෙවිගේ කැමැත්ත බව බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කර ඇත. (1 තිමෝති 2:3) ලැට්වියාවෙහි ජනයාට වසර ගණනාවක් තිස්සේ ශුභාරංචිය අහන්න නොලැබුණත් දැන් ඔවුන්ට එම ප්‍රස්තාව විවෘත වී තිබේ. ලෝකයේ අනෙක් ප්‍රදේශවල මෙන්ම ලැට්වියාවේද සියලුම වයස් මට්ටම්වලට හා විවිධ පසුතලයන්වලට අයත් මනුෂ්‍යයන් පණිවිඩයට ප්‍රතිචාර දක්වා ඇත. ඒ හා සබැඳි අද්දැකීම් කීපයක් පහත දැක්වේ.
• දිනක් එක් මවක් හා ඇගේ නව යොවුන් වියේ පසු වන දියණිය එක්තරා වීදියකට යන ආකාරය ගැන නැඟෙනහිර ලැට්වියාවේ රිසේක්නේ නගරයේ ජීවත් වූ කාන්තාවකගෙන් විමසූහ. යෙහෝවාගේ සාක්ෂිකාරියක් වූ එම කාන්තාව අවශ්‍ය සියලුම මාර්ග උපදෙස් දීමෙන් අනතුරුව ඔවුන්ට රැස්වීම්වලට ආරාධනා කළාය.
ආගමික කටයුතුවලට ලැදියාවක් දක්වන අය වූ නිසා මේ මව හා දියණිය, රැස්වීම්වලට යෑමට තීරණය කළහ. තවද ඔවුන් දෙදෙනා යමින් ගමන් තීරණය කළේ රැස්වීමේදී නුසුදුසු දෙයක් සිදු වුවහොත් වහාම එම ස්ථානයෙන් පිටත්ව එන්නයි. කෙසේ වෙතත් එම රැස්වීම් කෙතරම් ඔවුන්ගේ සිත් ගත්තාද කිවහොත් එතැනින් පිටත්ව එන්න සිතූ වග ඔවුන්ට මතක් වූයේවත් නැත. තවද ඔවුන් බයිබල් පාඩමක් ආරම්භ කිරීමට කැමති වූ අතර නොකඩවා රැස්වීම්වලටද සහභාගි වෙමින් සිටී. මාස තුනක් ගෙවෙද්දි ප්‍රසිද්ධියේ දේශනා කිරීමට ඔවුන් තම කැමැත්ත පළ කළ අතර ඉදිරියේදී බව්තීස්ම වෙන්න බලාපොරොත්තුවෙන් සිටී.
• බටහිර ලැට්වියාවේ එක් නගරයකදී, සාක්ෂිකරුවෙකුට 85 වියැති ඇනා හමු විය. ඇය අව්‍යාජ උනන්දුවක් දැක්වූ අතර බයිබල් පාඩමක් ආරම්භ කිරීමටද කැමති වූවාය. නමුත් ඇගේ දියණිය හා පවුලේ සාමාජිකයන් දැඩි ලෙස ඇයට විරුද්ධ විය. එම විරුද්ධවාදිකම් ගණනකට නොගත් ඇය බයිබල් පාඩම දිගටම කරගෙන ගිය අතර, ඇගේ මහලු වයස හා දුබල සෞඛ්යයවත් ඊට බාධාවක් කරගත්තේ නැත.
එක් දිනක් ඇනා තම දියණියට පැවසුවේ තමා බව්තීස්ම වෙන්න යන බවයි. එවිට ඇගේ දියණිය “ඔයා බව්තීස්ම වුණොත්, මම ඔයාව ගිහින් ඇරලනවා මහලු නිවසකට” යයි පැවසීය. මෙවැනි තර්ජන හමුවේ ඇනා නොසැලී සිටියාය. ඇගේ ශාරීරිකව දුබලව සිටි නිසා ඇගේ බව්තීස්මය ඇගේ නිවස තුළ සිදු කරන්නට විය.
මෙයට ඇනාගේ දියණිය දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? ඇගේ දැඩි සිත ඉටි පිඩක් මෙන් උණු වූ අතර බව්තීස්මයෙන් පසු මවට ඇය විශේෂ කෑම වේලක් පිළියෙළ කර දුන්නාය. පසුව ඇය මවගෙන් මෙසේ ඇසුවාය. “බව්තීස්මයෙන් පස්සේ අම්මාට මොනවාද හිතෙන්නෙ?” “මම හරියට අලුතින් ඉපදුණා වගෙයි” කියා ඇනා පිළිතුරු දුන්නාය.
• වර්ෂ 1998 දෙසැම්බර් මාසයේදී යෙහෝවාගේ සාක්ෂිකාරියන් දෙදෙනෙකුට සෝවියට් සමූහ ආණ්ඩුවේ සේවයේ නියැලුණු විශ්‍රාම ලත් හමුදා නිලධාරියෙකුව හමු විය. ඔහු, සාමාන්‍යයෙන් මැවුම්කරුවෙකු පිළිබඳව විශ්වාස කළ කෙනෙකි. ඔහු බයිබල් පාඩමක් ආරම්භ කිරීමට කැමති වූ අතර පසුව ඔහුගේ බිරිඳද එයට සහභාගි වුණි. ඔවුන් දෙදෙනා ඉක්මනින් ප්‍රගතියක් ලැබූ අතර වැඩි කල් නොගොස් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් බවට පත් විය. පසුව මේ හමුදා නිලධාරියා, ඊළඟ වසන්තයේදී බව්තීස්මය ලැබීය. ඇත්තටම ඔවුන් ආත්මික දේවලට දක්වන දැඩි ප්‍රේමය සභාවේ අනෙක් අයටද දිරිගැන්වීමකි. එපමණක්ද නොව ,පරණ නිවසක් අලුත්වැඩියා කර කදිම රාජ්‍ය ශාලාවක් බවට පත් කිරීමේදී පවා ඔවුන් ඔවුන්ගේ ශ්‍රමය කැප කර ඇත.