නිර්භීත පක්ෂපාත සෙනඟක් නාට්සි පීඩාවලින් ජය ලබයි
සම්පූර්ණවද, ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න
නිර්භීත පක්ෂපාත සෙනඟක් නාට්සි පීඩාවලින් ජය ලබයි
“මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.” (හිතෝපදේශ 27:11) මෙම උණුසුම් ආයාචනයෙන් හෙළි වන්නේ දෙවිගේ බුද්ධිමත් මැවිලිවලට යෙහෝවාගේ හෘදය ප්‍රීතිමත් කළ හැකි බවයි. ඔවුන් එය කරන්නේ ඔහුට විශ්වාසවන්තව හා පක්ෂපාතව සිටීමෙනුයි. (ශෙපනියා 3:17) කෙසේවෙතත්, නින්දා කරන්නා වූ සාතන් යෙහෝවාට සේවය කරන්නන්ගේ පක්ෂපාතිත්වය බිඳ හෙළීමට අදිටන් කරගෙන සිටියි.—යෝබ් 1:10, 11.
විශේෂයෙන්ම, 20වන සියවසේ මුල් භාගයේදී ඔහුව ස්වර්ගයෙන් පොළොවට හෙළනු ලැබූ දා පටන් ඔහු යෙහෝවාගේ සෙනඟ කෙරෙහි ඉමහත් කෝපයකින් ක්‍රියා කර තිබෙනවා. (එළිදරව් 12:10, 12) කෙසේනමුත්, සැබෑ ක්‍රිස්තියානීන් ‘සම්පූර්ණව හා ස්ථිර විශ්වාසයෙන් සිට’ ඇති අතර දෙවි කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතිත්වයද රැකගෙන තිබෙනවා. (කොලොස්සි 4:12, NW) ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් IIවන ලෝක මහා යුධ සමයේදී එලෙස පක්ෂපාතිත්වය රැකගත් ආකාරය සම්බන්ධයෙන් එක් විශිෂ්ට ආදර්ශයක් කෙටියෙන් සලකා බලමු.
ජ්වලිත ක්‍රියාවන් නිසා පක්ෂපාතිත්වයේ පරීක්ෂණයකට මුහුණ දී
එක්දාස් නවසිය විසි ගණන්වල හා 1930 ගණන්වල මුල් භාගයේදී බීබෙල්ෆෝෂර් වශයෙන් ප්‍රසිද්ධව සිටි ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබල් පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදාහැරියා. වර්ෂ 1919ත් 1933ත් අතර කාලයේදී ඔවුන් ජර්මනියේ සිටි සෑම පවුලකටම පොත්, පොත්පිංච හෝ සඟරා අටක පමණ ප්‍රමාණයක් බෙදාහැරියා.
ඒ කාලයේදී ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් සිටියේ ජර්මනියෙයි. ඇත්තවශයෙන්ම, 1933දී ලොව පුරා ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සහභාගි වූ 83,941දෙනාගෙන් සියයට 30ක් පමණ ජීවත් වුණේ ජර්මනියෙයි. වැඩි කල් යන්න පෙර, මෙම ජර්මානු සාක්ෂිකරුවන් පක්ෂපාතකමේ දැඩි පරීක්ෂණයන්ට මුහුණ දුන්නා. (එළිදරව් 12:16ආ; 14:12) රැකියාවෙන් පහ කිරීම, නිවාස කොල්ලකෑම සහ පාසැල්වලින් නෙරපීම වැනි දේවලින් මෙය පටන්ගත් අතර පහර දීම්, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් වැනි දේවල් දක්වා තත්වය විගස දරුණු වුණා. (1වන පින්තූරය) දෙවන ලෝක මහා යුද්ධය දක්වා දිව ගිය කාලය තුළ ගාල් කඳවුරුවල රඳවා සිටි සියල්ලන් අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියයට 5 සිට 10 දක්වා සංඛ්‍යාවක් සිටියා.
නාට්සීන් සාක්ෂිකරුවන්ට පීඩා කළ හේතුව
එහෙත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිසා නාට්සි රජයේ කෝපය ඇවිස්සුණේ මන්ද? ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ඉයන් ක’ෂෝ, හිට්ලර්—1889-1936: පුහුමාන්නය (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි පවසන්නේ, සාක්ෂිකරුවන් “නාට්සි රජයේ සෑම නියෝගයකටම යටත්” නොවූ නිසා ඔවුන්ට පීඩා එල්ල වූ බවයි.
ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ රොබට් පී. එරික්සන් සහ යුදෙව් අධ්‍යයනයන් පිළිබඳ මහාචාර්යවරියක වූ සූසැනා හෙෂල් විසින් සංස්කරණය කරනු ලැබූ පාවා දීම—ජර්මානු පල්ලි හා සමූලඝාතන (ඉංග්‍රීසියෙන්)
යන පොතේ සාක්ෂිකරුවන් ගැන මෙසේ පැහැදිලි කර තිබෙනවා. “[ඔවුහු] සැහැසියාව හෝ හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළහ. . . . දේශපාලනික වශයෙන් මධ්‍යස්ථව සිටිය යුතුයි කියා විශ්වාස කළ නිසා ඔවුන් හිට්ලර්ට ඡන්දය දුන්නේවත්, ආචාර කළේවත් නැත.” මින් නාට්සීන්ගේ කෝපය ඇවිස්සුණු අතර “ජාතික සමාජවාදය එවැනි ප්‍රතික්ෂේප කිරීමක් නොඉවසූ” නිසා සාක්ෂිකරුවන්ට පීඩාවලට මුහුණ දීමට සිදු වූ බවද එහි සඳහන් වෙනවා.සතර දිගන්තයෙන් විරෝධතාවක් හා දැඩි ප්‍රහාරයක්
නාට්සි වධ හිංසාවලට විරෝධය පෑමක් වශයෙන් එකල සේවයෙහි පෙරමුණ ගෙන සිටි ජෝසෆ් එෆ්. රදෆ’ඩ් 1934 පෙබරවාරි 9වනදා විශේෂ පණිවුඩකරුවෙකු මාර්ගයෙන් හිට්ලර්ට ලිපියක් යවනු ලැබුවා. (2වන පින්තූරය) රදෆ’ඩ්ගේ ලිපියෙන් පසු 1934 ඔක්තෝබර් 7වනදා, ජර්මනිය ඇතුළු විවිධ රටවල් 50ක සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් විරෝධතාවය පළ කළ ලිපි හා විදුලි පණිවිඩ 20,000ක් පමණ හිට්ලර්ට යැව්වා.
පිළිතුරු වශයෙන් නාට්සීන් තව තවත් ඔවුන්ට පීඩා කරන්න පටන්ගත්තා. වර්ෂ 1935 අප්‍රියෙල් 1වනදා රට පුරාම සාක්ෂිකරුවන්ව තහනම් කරනු ලැබුවා. එමෙන්ම 1936 අගෝස්තු 28වනදා ගෙස්ටාපෝ පොලිසිය ඔවුන්ට විරුද්ධව දැඩි ප්‍රහාරයක් එල්ල කළා. එහෙත් සාක්ෂිකරුවන් “දිගටම පත්‍රිකා බෙදාහරිමින් තමන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගත්” බව පාවා දීම—ජර්මානු පල්ලි හා සමූලඝාතන යන පොතේ තවදුරටත් සඳහන් වෙනවා.
උදාහරණයක් වශයෙන්, සාක්ෂිකරුවන් 3,500දෙනෙකු පමණ තමන් විඳිමින් සිටි වධ හිංසා සම්බන්ධයෙන් සඳහන් මුද්‍රිත සම්මුතියක පිටපත් දසදහස් ගණනක් 1936 දෙසැම්බර් 12වනදා, ගෙස්ටාපෝ මරු කටේ සිටම බෙදාහැරියා. මෙම බෙදාහැරීම සම්බන්ධයෙන්, මුරටැඹ මෙසේ වාර්තා කළා. “එය විජයග්රහණයක් මෙන්ම සතුරාට කඩු පහරක් මෙන් වූ අතර ඇදහිලිවන්ත සේවකයන්ට නිම් හිම් නැති ප්‍රීතියක් විය.”—රෝම 9:17.
පීඩා නිෂ්ඵල වේ!
නාට්සීන් නොනැවතී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ලුහුබැන්දා. වර්ෂ 1939 වන විට ඔවුන්ගෙන් හයදාහක් සිරගත කර තිබූ අතර දහස් ගණනක් ගාල් කඳවුරුවලට යවා තිබුණා. (3වන පින්තූරය) දෙවන ලෝක මහා යුද්ධය නිම වන විට තත්වය කුමක් වීද? සිර අඩස්සියේ සිටි සාක්ෂිකරුවන් 2,000ක් පමණ මියගිය අතර, 250කට වැඩි ගණනක් ඝාතනය කරනු ලැබුවා. එසේවුවත්, “යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් පීඩා අබියස තම ඇදහිල්ල පවත්වාගත්” බව මහාචාර්යවරුන් වූ රික්සන් හා හෙෂල් සඳහන් කළා. ඉතින් හිට්ලර්ගේ හමුදාව පරාජයට පත් වූ අවස්ථාවේදී, සාක්ෂිකරුවන් දාහකට වඩා වැඩි සංඛ්‍යාවක් විජයග්‍රාහී ලෙස කඳවුරුවලින් පිටතට ආවා.—4වන පින්තූරය; ක්‍රියා 5:38, 39; රෝම 8:35-37.
පීඩා විඳදරාගැනීමට යෙහෝවාගේ සෙනඟට ශක්තියක් වුණේ කුමක්ද? ගාල් කඳවුරෙන් නිදහස් වූ අඩල්ෆ් ආනල්ඩ් මෙසේ පැහැදිලි කළා. “ඔබ අන්තයටම කලකිරී සිටින අවස්ථාවලදී පවා ඔබ ගැන සැලකිලිමත් වන යෙහෝවා ඔබ අද්දකිමින් සිටින දේ දන්නවා. ඒ තත්වයෙන් ගොඩ ඒමටත් දිගටම ඇදහිලිවන්තව සිටීමටත් ඔහු ඔබට අවශ්‍ය ශක්තිය දෙනවා. එසේ නොකරන්න ඔහුගේ අත කොට වෙලා නැහැ.”
එම ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට අනාගතවක්තෘ ශෙපනියාගේ වචන මොනතරම් හොඳට අදාළ වෙනවාද! ඔහු මෙසේ ප්‍රකාශ කළා. ‘නුඹේ දෙවි වූ යෙහෝවා නුඹ තුළ සිටින්නේය. ඔහු ගළවන්ට බලවත් වූ තැනැත්තේය. ඔහු සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීති වේ.’ (ශෙපනියා 3:17) අදදින සිටින සැබෑ දෙවිගේ සියලුම නමස්කාරකයන්, නාට්සි පීඩා අබියස පක්ෂපාතකම රැකගනිමින් යෙහෝවාගේ හෘදය ප්‍රීතිමත් කළ විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල අනුකරණය කරාවා!—පිලිප්පි 1:12-14.
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Państwowe Muzeum Oświȩcim-Brzezinka, courtesy of the USHMM Photo Archives