සභා පියවරු—බයිබල් සත්‍යයට පක්ෂ වූවෝද?
සභා පියවරු—බයිබල් සත්‍යයට පක්ෂ වූවෝද?
ඔබ ක්‍රිස්තියානි භක්තිකයෙකු වුවත් නැතත්, බයිබලයෙහි සඳහන් දෙවි, යේසුස් සහ ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ඔබේ දෘෂ්ටිය ඔවුන්ගේ මතයන්ට අනුව සකස් වී ඇතැයි සිතීමට සාධක ඇත. ඔවුන්ට බොහෝ නම් පටබැඳී තිබේ. එක් අයෙක් රන් හඬ ලෙසද, තවත් අයෙක් ශ්‍රේෂ්ඨයා ලෙසද හඳුන්වනු ලැබීය. සමස්තයක් වශයෙන් “ක්‍රිස්තුස්ගේ ජීවිතය තම ජීවිත තුළින් මනා ලෙස පිළිබිඹු කළ” අය ලෙසද ඔවුන්ව විස්තර කර ඇත. ඔවුන් කවුද? ඔවුන් නම්, පුරාණයේ විසූ ආගමික චින්තකයන්, ලේඛකයන්, දේවධර්මාධරයන් සහ දාර්ශනිකයන්ය. වර්තමානයේ පවතින “ක්‍රිස්තු” චින්තනයට බෙහෙවින් වගකිව යුතු මොවුන්ව හඳුන්වනු ලබන්නේ සභා පියවරුන් ලෙසය.
ග්‍රීක් ඕතඩොක්ස් සභාවේ ආගමික අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය දිමීත්‍රියොස් ජේ. කොන්ස්තන්තීලොස් කියා සිටින්නේ, “දේවවචනය යන යෙදුම බයිබලයට පමණක් සීමා කළ නොහැකි” බවය. “දේවවචනය එළිදරව් කරන්නාවූ ශුද්ධාත්මය පොතක පිටුවලට සීමා කළ නොහැකිය” යන්න ඔහුගේ මතය වේ. එසේ නම් දිව්‍යමය තොරතුරු එළිදරව් කිරීමට තවත් විශ්වාසදායක මූලාශ්‍රයක් තිබිය හැකිද? එසේ විය යුතු බව පිළිගන්නා කොන්ස්තන්තීලොස් ග්‍රීක් ඕතඩොක්ස් සභාව තේරුම්ගැනීම (සිංහලෙන් නොමැත) නමැති සිය පොතෙහි තරයේ මෙසේ කියා සිටියි. “ශුද්ධ සම්ප්‍රදායන් සහ ශුද්ධ ලියවිලි සැලකිය යුත්තේ එකම කාසියේ පැති දෙකක් වශයෙනි.”
එම ‘ශුද්ධ සම්ප්‍රදායන්ට’ සභා පියවරුන්ගේ ඉගැන්වීම් සහ ලියවිලි ඇතුළත් වේ. සභා පියවරුන් යනු පො.යු. දෙවන සහ පස්වන සියවස අතර ජීවත් වූ ප්‍රමුඛ පෙළේ දේවධර්මාධරයන් සහ “ක්‍රිස්තියානි” දාර්ශනිකයන් සමූහයකි. නූතන “ක්‍රිස්තියානි” චින්තනයට ඔවුන් කොතරම් දුරට බලපෑම් කර තිබේද? ඔවුන්ගේ ඉගැන්වීම්වලදී ඔවුන් බයිබලයට ඇලී සිටියාද? යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු ක්‍රිස්තියානි සත්‍යය කුමක්ද කියා තීරණය කිරීමේදී ස්ථිර පදනම කරගත යුත්තේ කුමක්ද?
ඓතිහාසික පසුබිම
පොදු යුගයේ දෙවන සියවසේ මැද භාගයේදී පමණ, රෝමානු පීඩා කරන්නන් සහ මිථ්‍යාග්‍රාහීන් ගෙනා අභියෝගයන් හමුවේ, නාමමාත්‍ර ක්‍රිස්තියානීහු තම ඇදහිල්ලට පක්ෂව කතා කළෝය. කෙසේවෙතත්, මෙම යුගයේදී දේවධර්මීය විෂයන් සම්බන්ධයෙන් විවිධ මතවාද තිබිණ. යේසුස්ව “සර්වබලධාරී දෙවියන්” ලෙස සැලකිය යුතුද, ශුද්ධාත්මය කුමක්ද, එය ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැවති ආගමික මතවාද කොතරම්ද කිවතොත්, ඒවා ප්‍රබල භේද ඇති කිරීමට තුඩු දුන්නේය. “ක්‍රිස්තියානි” ඉගැන්වීම් ලෙස සැලකිය යුතු දේ සම්බන්ධයෙන් ඇති වූ ගැඹුරු මතභේද, ආගමික ක්ෂේත්‍රයෙන් පටන්ගෙන දේශපාලනික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්වලටද පැතිරිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කැරලි කෝලාහල, සිවිල් ආරවුල් හා යුද්ධ පවා හටගත්තේය. ඉතිහාසඥ පෝල් ජොන්සන් මෙසේ ලියයි. “[සැබෑ ඇදහිල්ලෙන් වැටීගිය] ක්‍රිස්තියානි ධර්මය එළි දුටුවේ, වියවුල්සහගත, මතභේදයන්ගෙන් පිරුණු, භේදකාරි වාතාවරණයක් මැදය. එම වාතාවරණය දිගටම පැවතියේය. . . . ක්‍රි.ව. පළමු සහ දෙවන ශතවර්ෂවල මධ්‍යම සහ නැඟෙනහිර මධ්‍යධරණිය තුළ, විවිධ ආගමික මතයන් රැසක් ගොඩනැඟෙමින් තිබූ නිසා, වියවුල්සහගත
තත්වයන් උද්ගත වෙමින් පැවතියේය. . . . මුල පටන්ම, ක්‍රිස්තියානි ධර්මයට එකිනෙකට සහමුලින්ම විරුද්ධ මුහුණුවර කිහිපයක්ම තිබිණ.”ඒ වකවානුවේදී, ලේඛකයන් සහ චින්තකයන්ගේ මතය වූයේ, “ක්‍රිස්තියානි” ඉගැන්වීම් දාර්ශනික දෘෂ්ටියකට අනුව අර්ථ දැක්වීම අත්‍යවශ්‍ය බවය. ක්‍රිස්තියානි ධර්මය වැලඳගත්, උගත් මිථ්‍යා දෘෂ්ටිකයන්ව සෑහීමට පත් කිරීම සඳහා මෙවැනි ආගමික ලේඛකයෝ, ග්‍රීක් සහ යුදෙව් සාහිත්‍යයෙන් බොහෝ තොරතුරු ඈඳාගත්හ. ග්‍රීක් සංස්කෘතියේ දාර්ශනික මතවාද ඈඳාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නාමමාත්‍ර ක්‍රිස්තියානීහු එන්න එන්නම කාරණා දෙස සංකීර්ණව බැලීමට පුරුදු වූහ. මෙය විශේෂයෙන් දක්නට ලැබුණේ ග්‍රීක් බසින් ලේඛනයන් එළිදැක්වූ ජස්ටින් මාටර්ගේ (පො.යු. 100 පමණ-165) අවතීර්ණ වීමත් සමඟය.
ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පැමිණි ග්‍රීක් කර්තෘවරයෙකු වූ ඔරිගන් විසින් රචිත (පො.යු. 185 පමණ-254) ලියවිලිවලින්, මෙම නැඹුරුවාවේ ප්‍රතිඵල දැකගත හැකි විය. මූල- ධර්මයන් හඳුනාගනිමු (සිංහලෙන් නොමැත) යන මැයින් යුත් ඔරිගන්ගේ නිබන්ධය, “ක්‍රිස්තියානි” දේවධර්මවාදයේ මූලික ඉගැන්වීම් ග්‍රීක් දාර්ශනික පසුබිමක් යොදා පැහැදිලි කිරීමට දැරූ මුල්ම විධිමත් ප්‍රයත්නය බවට කියැවේ. නයිසියාහි පැවැත්වූ සම්මේලනය (පො.යු. 325), “ක්‍රිස්තියානි” මූලධර්ම අර්ථ දැක්වීමට නව මුහුණුවරක් දුන් සන්ධිස්ථානය වශයෙන් හැඳින්විය හැක. එහිදී ක්‍රිස්තුස් “සර්වබලධාරී දෙවියන්” ලෙස සැලකිය යුතුය යන්න පැහැදිලි කර සනාථ කිරීමට ප්‍රයත්නයක් දරන ලදි. සභාව විසින් පවත්වන සම්මේලන මගින් මූලධර්මයන් සම්මත කිරීමට වෙර දැරූ යුගයක ආරම්භය, නයිසියාහි පැවැත්වූ සම්මේලනයෙන් සනිටුහන් විය.
ලේඛකයෝ සහ දේශකයෝ
කායිසාරියෙහි යූසීබියස්, නයිසියාහි මුල්ම සම්මේලනය පැවති කාලයේදී තම මතයන් ලේඛනගත කළ අතර, කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ පාක්ෂිකයෙකු ලෙසද පෙනී සිටියේය. නයිසියාහි පැවැත්වූ සම්මේලනයෙන් වසර 100ක් පමණ ගත වූවායින් පසුව, දේවධර්මාධරයෝ තම මාධ්‍යය වශයෙන් ග්‍රීක් බස යොදාගනිමින්, “ක්‍රිස්තියානි” ධර්මයේ වඩාත්ම කැපීපෙනෙන මූලධර්මය වන ත්‍රිත්ව මූලධර්මය ප්‍රබන්ධ කළෝය. මෙසේ කළේ දිගු මෙන්ම දුෂ්කර මතවාදයකින් පසුවය. මොවුන් අතුරින් මුල් තැන ගත්තේ, එඩිතරව කතා කිරීමෙහි දක්ෂයෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිෂොප් ඇතනේසියස් සහ සුළු ආසියාවට අයත් කැපඩෝෂියාවේ පල්ලි නායකයන් තිදෙනෙකු වූ මහා බැසිල්, ඔහුගේ සොහොයුරු නීසාහි ග්‍රෙගරි සහ ඔවුන්ගේ මිතුරු නැසියන්සස්හි ග්‍රෙගරි යන අයයි.
ඒ වකවානුවේ විසූ ලේඛකයෝ සහ දේශකයෝ ඉතා චතුර කථිකයෝ වූහ. නැසියන්සස්හි ග්‍රෙගරි සහ ජොන් ක්‍රිසොස්ටෝම් (අර්ථය, “රන් හඬ ඇත්තා”) ග්‍රීක් බසද, මිලානයේ ඇම්බ්‍රෝස් සහ හිපෝහි ඔගස්ටින් ලතින් බසද චතුර ලෙස කතා කළෝය. එවකට පැවති ජනප්‍රිය මෙන්ම උසස් ලෙස සැලකූ කලා ක්ෂේත්‍රයක මුල් තැන ගෙන කටයුතු කළේ ඔවුන්ය. ඒ කාලපරිච්ඡේදයෙහි ප්‍රබලතම බලපෑමක් කළ ලේඛකයා වූයේ ඔගස්ටින්ය. ඔහුගේ දේවධර්මීය නිබන්ධයන් වත්මන් “ක්‍රිස්තියානි” චින්තනයට මුළුමනින්ම පාහේ බලපෑම් කර තිබේ. එවකට ඉතා ප්‍රමුඛ පෙළේ උගතෙකු වූ ජෙරෝම් බයිබලය මුල් භාෂාවන්ගෙන් ලතින් භාෂාවට පරිවර්තනය කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලතින් වල්ගේට් පරිවර්තනය බිහි විය.
කෙසේවෙතත්, මෙම වැදගත් ප්‍රශ්න ඉස්මතු වේ. එවකට සිටි සභා පියවරුන් බයිබලයට ඇලී සිටියාද? ඔවුන් තම ඉගැන්වීම්වලදී දේවානුභාවය ලත් ලියවිල්ලට එකඟව කරුණු ඉදිරිපත් කළාද? දෙවි පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට ඔවුන්ගේ ලියවිලි විශ්වාසදායක මඟ පෙන්වීමක් ලබා දෙනවාද?
දෙවිගේ ඉගැන්වීම්ද නැත්නම් මනුෂ්‍යයන්ගේද?
මෑතකදී, ග්‍රීක් ඕතඩොක්ස් සභාවේ අග්‍රබිෂොප් වන පිසිඩියාහි මෙතෝඩියස්, කිතු දහම ලැබූ හෙලනික පන්නරය (සිංහලෙන් නොමැත) නමැති ග්‍රන්ථය ලීවේ, නූතන “ක්‍රිස්තියානි” චින්තනය හැඩගැස්සීමට ග්‍රීක් සංස්කෘතිය සහ දර්ශනය අවශ්‍ය පදනම සැපයූ බව පෙන්නුම් කිරීමටය. එම පොතෙහි ඔහු නොවළහා මෙසේ
පිළිගනියි. “ප්‍රමුඛ පෙළේ සභා පියවරුන් සැමදෙනෙකුම පාහේ ග්‍රීක් බලපෑම ඉතා ප්‍රයෝජනවත් යමක් ලෙස සැලකූ අතර, පුරාණ ග්‍රීක් සම්භාවනීය මූලාශ්‍රයන්ගේ සංකල්ප රැසක් උපයෝගි කරගත්තේ, ක්‍රිස්තියානි මූලධර්මයන් තේරුම්ගෙන පැහැදිලි කිරීමට මාධ්‍යයක් ලෙසිනි.”නිදසුනකට, පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මය එකතුව ත්‍රිත්වයක් සෑදෙන බවට වූ සංකල්පය සලකා බලන්න. නයිසියාහි පැවති සම්මේලනයෙන් පසු, සභා පියවරුන් බොහෝදෙනෙක් ඉතා දැඩි ත්‍රිත්වවාදීන් බවට පත් වූහ. ඔවුන්ගේ ලියවිලි සහ විග්‍රහයන් ක්‍රිස්තියානි ලෝකය පුරා ත්‍රිත්ව ඉගැන්වීම සම්මත කොට ප්‍රචලිත කිරීමට බෙහෙවින් දායක විය. කෙසේවෙතත්, ත්‍රිත්ව ඉගැන්වීම බයිබලයෙහි දක්නට ලැබෙනවාද? නැත. එසේ නම්, සභා පියවරුන්ගේ මූලාශ්‍රය වූයේ කුමක්ද? ත්‍රිත්වය සම්බන්ධයෙන් ආගමික දැනුම පිළිබඳ ශබ්දකෝෂයක් (සිංහලෙන් නොමැත) යන කෘතිය කියන්නේ “එය මිථ්‍යා දෘෂ්ටික ආගම්වලින් ඈඳාගත් මිථ්‍යා මතයක් වන අතර, ක්‍රිස්තියානි ධර්මයට හඳුන්වා දෙන ලද්දක්” බවය. තවද අප අදහන කිතු දහමෙහි අන්තර්ගත මිථ්‍යා මත නමැති තවත් කෘතියක මෙසේ පිළිගනියි. “[ත්‍රිත්වයට] තිබෙන්නේ සම්පූර්ණයෙන්ම මිථ්‍යා දෘෂ්ටික මූලාරම්භයකි.” a—යොහන් 3:16; 14:28.
තවදුරටත්, අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම සලකා බලන්න. එම ඉගැන්වීමට අනුව ශරීරය මියගියත්, මිනිසාට සම්බන්ධ යම්කිසි දෙයක් නොනැසී පවතී. පුද්ගලයෙකු මැරුණු පසු ඔහුගේ ශරීරයෙන් බැහැර වන යම්කිසි දෙයක් නොනැසී පවතින බවට අල්ප මාත්‍රයක අදහසක්වත් නොතිබූ ආගමකට එවැනි ඉගැන්වීමක් හඳුන්වා දීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙත් සභා පියවරුන්මය. කෙනෙකුගේ මරණයෙන් පසු සිහි කල්පනාව ඇතුළු සෑම දෙයක්ම නැති වී යන බව බයිබලය පැහැදිලිව පෙන්වා දෙයි. මරණයේදී “ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ” කියා එහි සඳහන්ය. (ගීතාවලිය 146:4) එසේ නම්, අමරණීය ආත්මයක් ගැන විශ්වාස කිරීමට සභා පියවරුන්ට තිබූ පදනම කුමක්ද? “දෙවි විසින් මවා, පිළිසිඳ ගැනීමේදී සිරුර තුළට ඇතුළත් කරනු ලැබූ, මිනිසෙකුව සම්පූර්ණ කරන්නාවූ අමරණීය ආත්මය පිළිබඳ ක්‍රිස්තියානි සංකල්පය ක්‍රිස්තියානි දර්ශනවාදයේ අඛණ්ඩ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක. ආත්මය අමරණීය බවට ඉගැන්වීමක් ස්ථාපිත කරමින්, එහි ස්වභාවය සම්බන්ධයෙන් දාර්ශනික සංකල්පයක් ඉදිරිපත් කළේ නැඟෙනහිර සභාවේ ඔරිගන්ගේ බලපෑමෙන් සහ බටහිර සභාවේ ශාන්ත ඔගස්ටින්ගේ බලපෑමෙන් අනතුරුවයි. . . . [ඔගස්ටින්ගේ මූලධර්මය] නව ප්ලේටෝනිකවාදයට බෙහෙවින් ණයගැතිය” කියා නව කතෝලික විශ්වකෝෂය (සිංහලෙන් නොමැත) සඳහන් කරයි. ප්‍රෙස්බිටේරියන් ජීවිතය යන සඟරාව මෙසේ පවසයි. “අමරණීය ආත්මය පිළිබඳ සංකල්පය ග්‍රීක් සංකල්පයකි. පුරාණයේ පැවති ගුප්ත ලබ්ධීන් විසින් ප්‍රබන්ධ කළ මෙම අදහස, දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ විසින් තවත් ප්‍රවර්ධනය කරන ලදි.” b
ක්‍රිස්තියානි සත්‍යතාවන් පිහිටුවීමට නියම පදනම
සභා පියවරුන් හා සම්බන්ධ ඓතිහාසික පසුබිම සහ ඔවුන්ගේ ඉගැන්වීම්වල මූලාරම්භය ගැන කෙටියෙන් මෙලෙස සලකා බැලීමෙන් පසු උචිත ප්‍රශ්නයක් පැන නඟී. අවංක ක්‍රිස්තියානියෙකු තම විශ්වාසයන් සභා පියවරුන්ගේ ඉගැන්වීම් මත පදනම් කරගත යුතුද? බයිබලයේ පිළිතුර දැන් සලකා බලමු.
“පියතුමා” නමැති ආගමික පදවි නාමය භාවිත නොකළ යුතු බව යේසුස් ක්‍රිස්තුස්ම මෙසේ පවසමින් පැහැදිලි කළේය. “පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින [තැනැත්තාමය].” (මතෙව් 23:9) “පියාණෝ” නැතහොත් “පියතුමා” යන වදන යම් ආගමික පදවියක් හොබවන කෙනෙකු සඳහා භාවිත කිරීම ක්‍රිස්තියානි ධර්මයට විරෝධී යමකි. එය ශුද්ධ ලියවිල්ලට පටහැනිය. අනික් කරුණ වන්නේ, දෙවිගේ ලිඛිත වචනය සම්පූර්ණ කිරීම, පො.යු. 98දී පමණ, ප්‍රේරිත යොහන්ගේ ලියවිලි සමඟින් නිමාවකට පත්වීමයි. මේ නිසා, දිව්‍යමය එළිදරව් කිරීම් ලැබීමට, සැබෑ ක්‍රිස්තියානීන් කිසිදු මනුෂ්‍යයෙකු දෙස බලන්නේ නැත. මනුෂ්‍යයන්ගේ පරම්පරාගත සම්ප්‍රදායන් මගින් ‘දෙවිගේ වචනය අවලංගු’ නොකිරීමට ඔවුහු වගබලා ගනිති. දේවවචනයේ තැන මනුෂ්‍යයන්ගේ පරම්පරාගත සම්ප්‍රදායන්වලට දීම ආත්මික අතින් හානිකර දෙයක් වේ. යේසුස් මෙසේ අනතුරු ඇඟවීය. “අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇත.”—මතෙව් 15:6, 14.
බයිබලයෙහි අන්තර්ගත දේවවචනයට අමතරව, ක්‍රිස්තියානියෙකුට යම් එළිදරව් කිරීමක් අවශ්‍යද? නැත. දෙවිගේ ආනුභාවයෙන් ලද බයිබල් වාර්තාවට කිසිම දෙයක් එකතු නොකරන මෙන් එළිදරව් පොත මෙසේ අවවාද කරයි. ‘යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම්, දෙවි මේ පොතෙහි ලියන ලද පීඩා ඔහුට එකතු කරන්නේය.’—එළිදරව් 22:18.
ක්‍රිස්තියානි ධර්මයේ සත්‍යතාව දෙවිගේ ලිඛිත වචනය වන බයිබලයෙහි අන්තර්ගතය. (යොහන් 17:17, 18අ; 2 තිමෝති 3:16; 2 යොහන් 1-4) එය පැහැදිලිව අවබෝධ කරගැනීමට ලෞකික දර්ශනවාදී සංකල්ප අවශ්‍ය නොවේ. දිව්‍යමය එළිදරව් කිරීම් මිනිස් ප්‍රඥාව මගින් පැහැදිලි කිරීමට උත්සාහ කළ පුරුෂයන් සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ඉස්මතු කළ ප්‍රශ්න නැවත සඳහන් කිරීම යෝග්‍යය. “ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව [දෙවි] විසින් මෝඩකළා නොවේද?”—1 කොරින්ති 1:20.
තවදුරටත්, සැබෑ ක්‍රිස්තියානි සභාව “සැබෑවේ කනුව සහ අත්තිවාරම” වශයෙන් ක්‍රියා කරයි. (1 තිමෝති 3:15) එහි අවේක්ෂකයන් සභාව තුළ කරන තම ඉගැන්වීම්වල නිර්මලකම රැකගන්නා අතර, කිසිදු දූෂ්‍ය කරවන ඉගැන්වීමකට රහසින්වත් සභාවට ඇතුල් වීමට ඉඩ නොදෙයි. (2 තිමෝති 2:15-18, 25, 26) ‘බොරු ප්‍රොපේතවරුන්, බොරු ගුරුවරුන් සහ විනාශකාරි ධර්මභේදයන්ද’ සභාව තුළට ඇතුල් වීමට ඔවුන් ඉඩ දෙන්නේ නැත. (2 පේතෘස් 2:1) මීට වෙනස්ව ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු, සභා පියවරු ‘මුළාකරවන ආත්මයන්වලට හා යක්ෂයන්ගේ ගුරුකම්වලට’ ක්‍රිස්තියානි සභාවට ප්‍රවේශ වී සිත් දූෂ්‍ය කරවීමට ඉඩ දුන්නෝය.—1 තිමෝති 4:1.
මෙලෙස ඇදහිල්ල අත්හැර යෑමේ ප්‍රතිඵලය, අදදින ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සහ සභාවන් තුළ ඉතා පැහැදිලිව දැකගත හැක. එහි විශ්වාසයන් සහ චාරිත්‍ර වාරිත්‍ර බයිබල් සත්‍යයට හාත්පසින්ම වෙනස්ය!
[පාදසටහන්වල]
a Should You Believe in the Trinity? (ඔබ ත්‍රිත්වය විශ්වාස කළ යුතුද?) නමැති විවරණිකාවෙන් ත්‍රිත්ව ඉගැන්වීම ගැන ගැඹුරු අධ්‍යයනයක් කළ හැක. එය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.
b මේ පිළිබඳව බයිබලය උගන්වන දේ පැහැදිලිව දැනගැනීමට Reasoning From the Scriptures (ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම) යන ප්‍රකාශනයෙහි 98-104 සහ 375-80 දක්වා පිටු බලන්න. මෙය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.
[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]
කැපඩෝෂියානු පියවරුන්
“ඕතඩොක්ස් සභාව . . . සිව්වන සියවසේ ලේඛකයන්ට, විශේෂයෙන්ම ‘අතිඋත්තම නායකතුමන් තිදෙනා’ ලෙස හඳුන්වා ඇති නැසියන්සස්හි ග්‍රෙගරි, මහා බැසිල් සහ ජොන් ක්‍රිසොස්ටෝම්ට විශේෂ ගෞරවයක් පිරිනමයි.” ඒ අදහස පළ කළේ පැවිදි ලේඛක කැලිස්ටොස් විසිනි. මෙම සභා පියවරුන් තම ඉගැන්වීම් දේවානුභාවය ලත් ශුද්ධ ලියවිල්ල මත පදනම් කළාද? මහා බැසිල් සම්බන්ධයෙන් ග්‍රීක් සභාවේ පියවරු (සිංහලෙන් නොමැත) යන පොතෙහි මෙසේ සඳහන් වේ. “හෙතෙම දිවි ඇති තුරා ප්ලේටෝ, හෝමර් මෙන්ම ඉතිහාසඥයන් සහ දේශකයන්ගේ අදහස් උදහස් අනුව ක්‍රියා කිරීමට ප්‍රබල නැඹුරුවාවක් දැක්වූ බව ඔහුගේ කෘතිවලින් පෙනී යන අතර, ඔවුන්ගේ අදහස් උදහස් ඔහුගේ ලේඛන ශෛලියට බලපෑ බවට සාධක එමටය. . . . මේ අනුව, ‘ග්‍රීක්’ අනන්‍යතාවක් නැතහොත් නැඹුරුවාවක්” බැසිල්ට තිබුණේය. නැසියන්සස්හි ග්‍රෙගරි සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි. “ඔහුගේ මතය වූයේ, සභාව ජයග්‍රහණය කරන්නෙත්, සියල්ල අභිභවා යන්නෙත්, සම්භාව්‍ය ග්‍රීක් සංස්කෘතියේ සම්ප්‍රදායන් මුළුමනින්ම ඈඳාගතහොත් පමණක් බවය.”
මොවුන් තිදෙනාම සම්බන්ධයෙන් මහාචාර්ය පානායියෝටිස් කේ. ක්‍රීස්තූ මෙසේ ලියයි. “අලුත් ගිවිසුමට යම් එකඟතාවක් දැක්වීමේ අරමුණින් ඉඳහිට ‘පණ්ඩිතකම් සහ හිස් වූ රැවටිලිකාරකම්’ [කොලොස්සි 2:8] ගැන අනතුරු ඇඟවීම් කළත්, ඒ අතරවාරයේදීම ඔවුහු දර්ශනවාදය සහ ඊට අදාළ ක්ෂේත්‍රයන් මහත් උද්‍යෝගයකින් හැදෑරූ අතර, එසේ කරන මෙන් අන්‍යයන්ටද උපදෙස් දුන්නෝය.” මොවුන්ගේ අදහස්වලට අනුබල දීම සඳහා බයිබලයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව මෙම සභා ගුරුවරුන්ට හැඟෙන්න ඇති බව පැහැදිලිය. වෙනත් පිළිගත් මූලාශ්‍රයන්ගේ සහාය පැතීමෙන් අදහස් කළේ ඔවුන්ගේ ඉගැන්වීම් බයිබලයට පටහැනිව පැවති බවක්ද? ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට දුන් අනතුරු ඇඟවීමෙන් මෙයට පිළිතුර ලැබේ. “අනේකාකාරවූ අමුතු ඉගැන්වීම් කරණකොටගෙන අහකට ගෙනයනු නොලබන්න” කියා ඔහු පැවසීය.—හෙබ්‍රෙව් 13:9.
[හිමිකම් විස්තර]
© Archivo Iconografico, S.A./CORBIS
[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් මතභේදයට හේතු වූ සභා පියෙක්
සභා පියවරුන් අතුරින් මතභේදයට හේතු වූ ප්‍රමුඛ පුද්ගලයෙකි, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් (පො.යු. 375 පමණ-444). සභා ඉතිහාසය වාර්තා කළ හාන්ස් ෆෝන් කාම්පන්හව්සන් ඔහු ගැන මෙවැනි විස්තරයක් සපයයි. “තමාට ඉතා උතුම් කැඳවීමක් ලැබී ඇති බවත්, තමාගේ ධුරය ඉතා ගෞරවාන්විත එකක් බවත් සිතමින් එය අතකොළුවක් කරගත් ඔහු, තම මතයෙහිම එල්බගෙන සිටි, සාහසික මෙන්ම කපටි” පුද්ගලයෙක් විය. “ඔහු යම් දෙයක් නිවැරදිය කියා සැලකුවේ, එය තම බලය සහ ආධිපත්‍යය පුළුල් කිරීමට ප්‍රයෝජනවත් වූවා නම් පමණි . . . ඉතා දරුණු මෙන්ම දුෂ්ට ක්‍රම අනුගමනය කිරීමට ඔහු කිසිදාක පසුබට නොවීය.” ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිෂොප් තනතුර හොබවමින් සිටින අතරතුරේදී, සිරිල් අල්ලස් දූෂණය, අපහාස, චෝදනා වැනි ක්‍රම උපයෝගි කරගනිමින්, කොන්ස්තන්තිනෝපලයේ බිෂොප්වරයාව එම තනතුරෙන් පහ කළේය. එමෙන්ම පොදු යුගයේ 415දී සිදු වූ හයිපේෂා නමැති ප්‍රසිද්ධ දාර්ශනිකයාගේ ඝාතනයට ඔහු වගකිව යුතු බවට සැලකේ. සිරිල්ගේ දේවධර්මීය කෘති සම්බන්ධයෙන් කාම්පන්හව්සන් මෙසේ පවසයි. “ඇදහිය යුතු දේ සම්බන්ධයෙන් ඉස්මතු වූ ප්‍රශ්න නිරාකරණය කිරීමේදී පදනම වශයෙන් බයිබලය පමණක් නොව, පිළිගත් මූලාශ්‍රවලින් එකතු කරගත් උපුටා දැක්වීම්ද යොදාගැනීමේ පුරුද්ද හඳුන්වා දුන්නේ ඔහුය.”
[19වන පිටුවේ පින්තූරය]
ජෙරෝම්
[හිමිකම් විස්තර]
Garo Nalbandian