මවුපියන් නැති දරුවන්වද වැන්දඹු ස්ත්‍රීන්වද ඔවුන්ගේ විපත්තියේදී බලාගන්න
මවුපියන් නැති දරුවන්වද වැන්දඹු ස්ත්‍රීන්වද ඔවුන්ගේ විපත්තියේදී බලාගන්න
අප ජීවත් වන්නේ ප්‍රේමය මුදලටවත් ලබාගත නොහැකි ලෝකයක බව පිළිගැනීමට සාක්ෂි එමට ඇත. මෙම “අන්තිම දවස්වල” සිටින මනුෂ්‍යයන්ගේ ස්වභාවය කොයි ආකාරයේද කියා පෙන්වමින් ප්‍රේරිත පාවුල් තම වදන් මෙසේ පෙළගැස්වීය. “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, . . . ජන්ම ස්නේහය නැත්තෝව” සිටින්නෝය. (2 තිමෝති 3:1-3, NW) එම වදන්වල ඇත්තේ මොනතරම් සත්‍යයක්ද!
බොහෝදෙනෙකුග් හදවත්වල තෙතමනය වියළී යෑමට හේතු වී ඇත්තේ අපේ කාලයේ තිබෙන සදාචාරය පිරිහුණු සමාජයයි. මනුෂ්‍යයන් අන් අයගේ ශුභසිද්ධිය ගැන පමණක් නොව, සමහරක් අවස්ථාවන්වලදී තම පවුලේ සාමාජිකයන්ගේ ශුභසිද්ධිය ගැනවත් කිසිදු තැකීමක් නොකරයි.
නොයෙකුත් හේතූන් නිසා අසරණ වී සිටින අයට මෙම තත්වය තදින්ම බලපායි. යුද්ධ, ස්වාභාවික විපත් සහ අවතැන් වීම හේතුවෙන්, වැන්දඹුවන්ගේ මෙන්ම මාපිය රැකවරණය හා සෙනෙහස අහිමි දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබේ. (දේශනාකාරයා 3:19) “යුද්ධය නිසා දරුවන් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවකට තම මාපියන් අහිමි වී තිබෙනවා. එසේත් නැත්නම් තම පවුල්වලින් වෙන්වීමට සිදු වී තිබෙනවා” කියා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වාර්තා කළේය. එමෙන්ම තම දරු පවුල රැකගැනීමට වෙහෙසෙන තනි මව්වරුන් නැතහොත් අත්හැර දමා හෝ දික්කසාද කර දමා ඇති මව්වරුන් ඕනෑතරම් ඔබ දැක තිබෙන බවට කිසිම සැකයක් නැත. මෙම තත්වය වඩාත් උග්‍ර වී තිබෙන්නේ වැසියන් බොහෝදෙනෙකුව අන්ත දුගී තත්වයකට ඇද දමමින් ආර්ථික පරිහානියට ලක් වී ඇති රටවලයි.
මෙම තත්වය දෙස බලන විට ප්‍රශ්න කිහිපයක් ඉස්මතු වේ. එනම්, පීඩාවලට මුහුණ දෙන අයට බලාපොරොත්තුවක් තිබේද? වැන්දඹුවන්ට සහ අනාථ දරුවන්ට පිළිසරණක් තිබේද? එමෙන්ම මෙම ගැටලුව කවදා හෝ තුරන් වී යයිද?
බයිබල් කාලවලදී දක්වන ලද ප්‍රේමනීය සැලකිල්ල
දෙවිට කළ නමස්කාරයේ නොකඩවා පැවත ආ අංගයකි, වැන්දඹුවන්ගේ සහ අනාථ දරුවන්ගේ ශාරීරික සහ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වීම. ඉශ්රායෙල්වරු තම කෙත්වතුවලින් ධාන්‍ය හෝ පලතුරු නෙළාගනිද්දී තැනින් තැන වැටුණ ඒවා අහුලා නොගත්තෝය. තැනින් තැන වැටුණ දේ, “විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද” අයිති විය. (ද්විතීය කථාව 24:19-21) මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම මෙසේ සඳහන් කර තිබුණි. “කිසි කනවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න.” (නික්මයාම 22:22, 23) ස්වාමි පුරුෂයා හෝ පියා හෝ එසේ නැතහොත් මාපියන් දෙදෙනාම හෝ මියයාම නිසා පවුලේ ඉතිරි සාමාජිකයන් අසරණ තත්වයකට පත් වේ. එබැවින්, බයිබලයේ වැන්දඹුවන් සහ අනාථ දරුවන් ගැන කතා කරන විට අපේ මතකයට නැඟෙන්නේ දුප්පත් අසරණ අයවයි. එවන් තත්වයක සිටින අය ගැන කුලදෙටු යෝබ් මෙසේ පැවසුවේය. “මක්නිසාද හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද [මම] ගැළෙවුවෙමි.”—යෝබ් 29:12.
ක්‍රිස්තියානි සභාවේ මුල් වකවානුවේදී, විපතට පත් වුණු සහ දෙමාපියන් හෝ ස්වාමි පුරුෂයා මියයාම නිසා උපකාරයක් නොමැතිව අන්ත අසරණ තත්වයකට පත් වුණු අයට අත හිත දීම සැබෑ නමස්කාරයේ කැපීපෙනෙන අංගයක් විය. එවැනි අයගේ ශුභසිද්ධිය වෙනුවෙන් අව්‍යාජ උනන්දුවක් ඇතිව ශ්‍රාවක යාකොබ් මෙසේ ලිවීය. “අපගේ පියවූ [දෙවි] ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.”—යාකොබ් 1:27.
අනාථ දරුවන් සහ වැන්දඹුවන් ගැන සඳහන් කිරීමට අමතරව යාකොබ් දුප්පත් අසරණ වූ අය කෙරෙහිත් අව්‍යාජ සැලකිල්ලක් පෙන්වීය. (යාකොබ් 2:5, 6, 15, 16) ප්‍රේරිත පාවුල්ද එම ආකල්පයම විදහාපෙන්වීය. ඔහුට සහ බාර්ණබස්ට දේශනා කිරීමේ පැවරුමත් සමඟ ලැබුණ උපදෙස් අතර ‘දිළින්දන් සිහි කරන්න’ යන උපදෙසද තිබුණි. “එම දේ කරන්ට මමද ආශාවෙන් සිටියෙමි” කියා ප්‍රේරිත පාවුල්ට කිසි සැකයකින් තොරව පැවසීමට හැකි විය. (ගලාති 2:9,10) ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කර ටික කාලයක් ගිය පසු එහි ක්‍රියාකාරකම් ගැන මෙසේ වාර්තා විය. “හිඟ ඇති කිසිවෙක් ඔවුන් අතරෙහි නොවීය. . . . එකල එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාදෙනලද්දේය.” (ක්‍රියා 4:34, 35) ඔව්, අනාථ අය, වැන්දඹුවන් සහ අසරණයන් බලාගැනීම සම්බන්ධයෙන් පුරාණ ඉශ්රායෙලයේ තිබුණ ක්‍රියා පිළිවෙත ක්‍රිස්තියානි සභාව තුළද ක්‍රියාත්මක විය.
ඇත්තෙන්ම දෙනු ලැබූ උපකාර සාධාරණව සහ 1 තිමෝති 5:3-16 දක්වා දී තිබෙන උපදේශයේ පැහැදිලිව සඳහන් කර තිබේ. අවශ්‍යතා තිබෙන අයට නෑදෑයින් සිටියි නම් එම වගකීම් ඉසිලිය යුත්තේ ඔවුන් විසිනි. අවශ්‍යතා තිබෙන වැන්දඹුවන්ට උපකාර ලබාගැනීමට නම් ඔවුන් විසිනුත් ඉටු කළ යුතු දේවල් කිහිපයක් තිබුණි. මේ සෑම දෙයකින්ම පිළිබිඹු වන්නේ අවශ්‍යතා ඇති අයව රැකගැනීමට යෙහෝවා ඥානවන්ත සැලැස්මක් යොදා ඇති බවයි. ඒ වගේම කරුණාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට යම් කෙනෙකු වෑයම් නොකළ යුතු බවත් එයින් පෙන්වයි.—2 තෙසලෝනික 3:10-12.
එක් එක් සභාවේ අවශ්‍යතාවය අනුව පිරිනමන ලදි. මුදල් නිරපරාදේ නාස්ති කිරීමක් සිදු නොවුණ අතර ඇත්තටම අවශ්‍යතාවය තිබුණ අයට උපකාර කිරීමට පිළියම් යෙදීය. කිසිම ක්‍රිස්තියානියෙකු එම සැලැස්මෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතු වූ අතර සභාවට අනවශ්‍ය ලෙස බරක් නොවිය යුතු විය. මේ පිළිබඳව පාවුල්අදදින මාපියන් නැති දරුවන්ව සහ වැන්දඹුවන්ව බලාගැනීම
අතීතයේ සිටි දෙවිගේ සේවකයන් අනුගමනය කළ ප්රතිපත්තියම අදදිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල අසරණ තත්වයේ සිටින අයට උපකාර කිරීමේදී අදාළ කරගනී. යේසුස් පෙන්නූ ආකාරයට සහෝදර ප්‍රේමය කැපීපෙනෙන ගුණාංගයකි. ඔහු පැවසුවේ, “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත” කියාය. (යොහන් 13:35) යම් අය යුද්ධ නිසා හෝ සිවිල් කෝලාහල නිසා විපතට පත්ව සිටින විට අනෙකුත් ජාත්‍යන්තර සහෝදරයන් මහත් ඕනෑකමකින් සොයා බලන්නේ ඔවුන්ට ආත්මික සහ ශාරීරික උපකාරය ලබා දිය හැකි මාර්ග ගැනයි. මේ සම්බන්ධයෙන් නවීන දින ආදර්ශ කිහිපයක් අපි සලකා බලමු.
පෙඩ්රෝගේ මව මියගියේ ඔහුට අවුරුදු එකහමාරක් වන විටයි. එහෙයින් ඔහුට තම මව ගැන එතරම් මතකයක් නැත. ඔහුට වයස අවුරුදු පහක්ව තිබියදී ඔහුගේ පියාද මියගියේය. පෙඩ්රෝ තම සහෝදරයන් සමඟ තනි විය. පියා ජීවතුන් අතර සිටියදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුව හමුවීමට පැමිණි අතර පියාගේ මරණයෙන් පසුව පෙඩ්රෝත් ඔහුගේ වැඩිමහල් සහෝදරයන් සියලුදෙනාමත් නිවාස බයිබල් පාඩමක් ආරම්භ කළෝය.
පෙඩ්රෝ මෙසේ තම අදහස් දක්වයි. “ඊළඟ සතියේම අපි රැස්වීම්වලට සහභාගි වුණා. අපි සහෝදරයන්ව ආශ්‍රය කරනකොට එයාලා අපිට දක්වපු ප්‍රේමය අපිට හොඳින් දැනුණා. සහෝදර සහෝදරියන් ආදරය සහ සැලකිල්ල පෙන්නුවේ හරියට මගේම දෙමාපියන් වගේ. එනිසා, සභාව මට රක්ෂස්ථානයක් වුණා.” එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු ඔහුගේ නිවසට තමන්ට ආරාධනා කළ ආකාරයත් එහිදී ඔහුගේ පවුලත් සමඟ සතුටින් කාලය ගත කළ ආකාරයත් පෙඩ්රෝ සිහිපත් කරන්නේ මහත් ආශාවෙන්. “මේවා තමයි මගේ සුන්දර මතකයන්” කියා අවුරුදු 11දී තම ඇදහිල්ල ගැන දේශනා කිරීමට පටන්ගනු ලැබ අවුරුදු පහළවේදී බව්තීස්ම ලැබූ පෙඩ්රෝ පවසයි. සභාවේ සිටින්නන්ගෙන් ලැබූ උපකාරය නිසා ඔහුගේ වැඩිමහල් සහෝදරයන්ද ඔහු මෙන් ආත්මිකව වර්ධනය විය.
ඩේවිඩ්ගේ සිද්ධියත් මේ හා සමානයි. ඩේවිඩ්ගේ දෙමාපියන් වෙන් වූ විට තම නිවුන් සහෝදරිය සමඟ ඔහු තනි විය. ඔවුන්ගේ ආච්චියි සීයයි, නැන්දා කෙනෙකුයි ඔවුන්ව හදා වඩා ගත්හ. “අපි ලොකු වෙනකොට අපි ඉන්න තත්වය අපිට තේරුණා. අපිට දුකක් දැනුණා වගේම පුදුම අසරණබවක් හැඟුණා. අපිට කාගේ හරි පිළිසරණක් අවශ්‍ය වුණා. මේ කාලයේදී මගේ නැන්දා යෙහෝවාගේ සාක්ෂිකාරියක් වුණා. එයාට ස්තුතිවන්ත වෙන්න අපිට බයිබල් උපදෙස් ලබාගන්න පුළුවන් වුණා. සහෝදරයෝ හරිම කරුණාවන්තයි ඒ වගේම හරිම මිත්‍රශීලීයි. අපිට අපේ ඉලක්කයන් අත් කරගන්නත් යෙහෝවාට දිගටම සේවය කරන්නත් එයාලා අපිව දිරිගැන්නුවා. මට අවුරුදු දහයේදී සභා සේවකයෙක් ඇවිල්ලා මාව දේශනා සේවයේ එක් කරගෙන ගියා. තවත් සහෝදරයෙක් මට සමුළුවලට යන්න අවශ්‍ය වුණ මුදල් මට ලබා දුන්නා. වෙනත් අයගෙනුත් උදව් ලැබුණ නිසා රාජ්‍ය ශාලාවට සම්මාදම් කරන්නත් මට පුළුවන් වුණා.”
ඩේවිඩ් අවුරුදු දහහතේදී බව්තීස්ම වූ අතර පසුව මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න පටන්ගත්තේය. ඔහු අදටත් ඒ දේවල් සිහිපත් කරන්නේ මහත් අගයකිනි. “මගේ අධ්‍යාපන කටයුතුවලට වැඩිමහල්ලන් කිහිපදෙනෙක්ම මට උපකාර කරමින් අවශ්‍ය
මඟ පෙන්වීම ලබා දුන්නා. මේ නිසා මට කිසිම පිළිසරණක් නැහැයි කියන හැඟීම නැති වෙලා ගියා. ඒ විතරක් නෙවෙයි මට දැන් තනිකමක් දැනෙන්නෙත් නෑ.”ඒබල් මෙක්සිකෝවේ සභාවක වැඩිමහල්ලෙක්. ඔහුගේ සභාවේ උපකාරය අවශ්‍ය කරන වැන්දඹුවන් කිහිපදෙනෙක්ම සිටිති. ඔහු ඒ පිළිබඳව මෙසේ තම අදහස් දක්වයි. “මගේ විශ්වාසයේ හැටියට වැන්දඹුවන්ට අවශ්‍යම දේ තමයි මානසික සහනය. සමහර අවස්ථාවලදී ඒ අය දිගු කාලයක් පුරා මානසික අවපීඩනයෙන් පීඩා විඳිනවා. ඔවුන්ට තනිකමද දැනෙනවා. ඒ නිසා උපකාර පිරිනැමීම වගේම එයාලට ඇහුම්කන් දීමත් හරිම වැදගත්. සභාවේ වැඩිමහල්ලන් හැටියට අපි නිතරම එයාලව හමු වෙන්න යනවා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රශ්නවලට අවධානය දීමත් හොඳ දෙයක්. මෙය ඔවුන්ගේ ආත්මික ශුභසිද්ධියටත් දායක වෙනවා.” තවත් දෙයක් අමතක නොකළ යුතුයි. එනම් ආර්ථික පැත්තෙන් ලබා දෙන උපකාරය. ඒ ගැන ඒබල් මෙසේ පැවසීය. “මේ දවස්වල අපි වැන්දඹු සහෝදරියකට ගෙයක් හදනවා. අපි සෙනසුරාදා දවස්වල සහ සතියේ දිනවල සන්ධ්‍යා වරුවේ ඇගේ නිවස ඉදි කිරීමේ වැඩවල නිරත වෙනවා.”
මාපියන් නැති දරුවන්ට සහ වැන්දඹුවන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් තවත් වැඩිමහල්ලෙකු තම අද්දැකීම් මෙසේ ගෙනහැර දක්වයි. “මට හිතෙන්නේ වැන්දඹුවන්ටත් වඩා මාපියන් නැති දරුවන්ට වැඩි ක්‍රිස්තියානි ප්‍රේමයක් පෙන්විය යුතුයි කියලා. දෙමාපියන් දෙදෙනාම සිටින දරුවන්ට සහ තරුණ අයට වඩා, ඒ අයට තමන්ව ප්‍රතික්ෂේප කරලා කියන හැඟීම වැඩියෙන් දැනෙනවා කියන එක මම නිරීක්ෂණය කරලා තියෙනවා. එයාලට සහෝදර ප්‍රේමය හුඟක් දැනෙන්න සලස්වන්න ඕනේ. රැස්වීම්වලින් පස්සේ එයාලගේ සැප දුක් හොයලා බලන එක හොඳයි. අපේ සභාවේ විවාහක සහෝදරයෙක් ඉන්නවා, එයා කුඩා කාලයේදීම මාපිය සෙනෙහස එයාට අහිමි වුණා. මම ඒ සහෝදරයාව රැස්වීමේදී දැක්කහම ඔහුගෙන් සැප දුක් විමසන්න කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔහුත් මාව දැක්කහම ළඟට ඇවිත් මාව වැලඳගන්නවා. මෙසේ කිරීමෙන් සැබෑ සහෝදරත්වයේ බැම්ම ශක්තිමත් වෙනවා.”
යෙහෝවා “උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය”
වැන්දඹුභාවය සහ මාපිය රැකවරණය අහිමි වන අවස්ථාවන් සමඟ කටයුතු කිරීමේදී යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම අත්‍යවශ්‍යයි. යෙහෝවා පිළිබඳව මෙසේ පවසා තිබේ. ‘යෙහෝවා විදේශීන් ආරක්ෂා කරයි. පියා නැත්තා හා වැන්දඹුවටද උපකාර කරයි. නමුත් ඔහු දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරයි.’ (ගීතාවලිය 146:9) මෙවන් ප්‍රශ්නවලට ස්ථිර විසඳුම් ලැබෙන්නේ යේසුස්ගේ හස්තයේ තිබෙන දෙවිගේ රාජ්‍යයෙන් පමණයි. මෙසියානු පාලනය ගැන අනාවැකිමය ලෙස විස්තර කරමින් දාවිත් මෙසේ ලිවීය. “මක්නිසාද [ඔහු] මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. [ඔහු] දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය.”—ගීතාවලිය 72:12, 13.
වර්තමානයේ පවතින තත්වය ක්‍රමයෙන් විනාශයට ළං වන විට ක්‍රිස්තියානීන් සාමාන්‍යයෙන් මුහුණ දෙන පීඩනයන්ද තව තවත් උග්‍ර වෙයි. (මතෙව් 24:9-13) එමනිසා ක්‍රිස්තියානීන් එකිනෙකාට වැඩි සැලකිල්ලක් සහ “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව” සිටිය යුතුයි. (1 පේතෘස් 4:7-10) ක්‍රිස්තියානි පුරුෂයන් විශේෂයෙන්ම වැඩිමහල්ලන් මාපිය රැකවරණය අහිමි අයට සැලකිල්ල සහ අනුකම්පාව පෙන්විය යුතුයි. එමෙන්ම සභාවේ සිටින මේරූ ක්‍රිස්තියානි ස්ත්‍රීන්ටත් හැකියි වැන්දඹුවන්ට උපකාරය සහ සහනය ගෙන දීමට. (තීතස් 2:3-5) ඇත්තෙන්ම විපත්තිවලට මුහුණ දෙන වෙනත් අය කෙරෙහිත් සැලකිල්ල දැක්වීම සඳහා සෑම කෙනෙකුටම දායක විය හැකියි.
සැබෑ ක්‍රිස්තියානීන් ‘තමාගේ සහෝදරයාගේ හිඟකම දැක, ඔහුට අනුකම්පා නොකර සිටින්නේ නැත.’ ඔවුන් ප්‍රේරිත යොහන්ගේ මෙම උපදේශය හොඳින් හෘදයට ගෙන තිබේ. “මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.” (1 යොහන් 3:17, 18) එමනිසා, අපි ‘මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගනිමු.’—යාකොබ් 1:27.
[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.” 1 යොහන් 3:18
[10වන පිටුවේ පින්තූර]
සැබෑ ක්‍රිස්තියානීන් මාපියන් නැති දරුවන්ගේ සහ වැන්දඹුවන්ගේ ද්‍රව්‍යමය, ආත්මික සහ මානසික අවශ්‍යතා ඉටු කරයි