ඇත්තටම ඔබ ඉවසිලිවන්ත කෙනෙක්ද?
ඇත්තටම ඔබ ඉවසිලිවන්ත කෙනෙක්ද?
ඔබ යම් පුද්ගලයෙකුගේ නොහොබිනා හැසිරීමක් නිසා කෙදිනක හෝ කුපිත වී ඇද්ද? ඔබේ හිත මිතුරන් දූෂිත බලපෑම්වලට හසු වෙනවායයි හැඟෙන විට සාමාන්‍යයෙන් ඔබ ඊට එරෙහිව ක්ෂණික පියවර ගන්න පෙලඹෙනවාද?
සමහර අවස්ථාවලදී බරපතළ පාපිෂ්ට ක්‍රියාවක් ඔඩු දුවන්න කලින් ඊට එරෙහිව කඩිනම් හා ඍජු පියවර ගැනීමට සිදු වේ. උදාහරණයකට, පොදු යුගයට පෙර 15වන ශතවර්ෂයේදී ඉශ්රායෙල් දේශයේ සිදු වූ යමක් සලකා බලන්න. එම අවස්ථාවේදී සිදු කරන ලද බරපතළ පාපයක් හේතුවෙන් මුළු ජාතියටම විශාල තර්ජනයකට මුහුණ දෙන්න සිදු විය. කෙසේවෙතත්, ආරොන්ගේ මුනුබුරා වන පීනෙහාස් එම පාපයට මුල් වූ දෙදෙනාට දඬුවම් කරමින් දේශයෙන් පිළිකුල් දේ ඉවත් කිරීමට ක්ෂණිකව පියවර ගත්තේය. යෙහෝවා දෙවි ඒ අවස්ථාවේදී පීනෙහාස් ගනු ලැබූ පියවරට තම අනුමැතිය ප්‍රකාශ කරමින් මෙසේ පැවසුවේය. ‘පීනෙහාස් මගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත පැමිණීම වැළැක්වීය. ඔවුන් අතර ඔහු පමණක් මට ඉතා ලැදිව සිටි බැවින් මම ඉශ්රායෙල් ජනයා වනසා නොදැමීමි.’ —ගණන් කථාව 25:1-11, නව අනුවාදය.
මුළු ඉශ්රායෙල් සෙනඟම දුරාචාරයට ඇද වැටෙන්න කලින් පීනෙහාස් ඉක්මනින් පියවර ගත්තේය. කෙසේවෙතත්, අසම්පූර්ණකම හේතුවෙන් එකිනෙකා අතින් වැරදි සිදු වන විට පාලනයකින් තොරව කෝපය පෙන්වීම ගැන කුමක් කිව හැකිද? අප සාධාරණ හේතුවක් නොමැතිව හෝ වග විභාගයකින් තොරව කටයුතු කළොත්, ධර්මිෂ්ඨකමට ලැදි හා ඒ වෙනුවෙන් උද්යෝගිමත් ලෙස කටයුතු කරන කෙනෙකු ලෙස නොව, නොඉවසිලිමත් ලෙස කටයුතු කරන කෙනෙකු ලෙස අපට නමක් පටබැඳිය හැක. අන්‍යයන්ගේ අසම්පූර්ණකම් මද වශයෙන්වත් නොඉවසන අය ලෙස අපව හංවඩු ගැසෙන්නත් ඉඩ තිබේ. මෙවැනි උගුලකට හසු නොවී සිටීම සඳහා අප ගත යුතු පියවර මොනවාද?
‘යෙහෝවා ඔබේ සියලු අයුතුකම් කමා කරන්නේය’
යෙහෝවා ‘අන්‍ය භක්ති නොඉවසන්නාවූ, තම නමස්කාරය ජ්වලිතවත්ව ආරක්ෂා කරගන්නාවූ දෙවි කෙනෙක්ය.’ (නික්මයාම 20:5, NW පාදසටහන) ඇත්තෙන්ම අපෙන් තනි භක්තිය ඉල්ලීමට ඔහුට අයිතියක් තිබෙන්නේ ඔහු අපේ මැවුම්කරු වන නිසාය. (එළිදරව් 4:11) ඒ කෙසේවෙතත්, යෙහෝවා මනුෂ්‍යයන් අතින් වන දුර්වලකම් හා අඩුපාඩුකම් ඉවසන දෙවි කෙනෙකි. ගීතිකාකාර දාවිත්ගේ මෙම වදන්වලින් එය මනාව පැහැදිලි වේ. ‘යෙහෝවා අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටින්නේය. කෝපවීමට ප්‍රමාදය. අතිශයින් කරුණාවන්තය. ඔහු නිතර තරවටු නොකරන්නේය. අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළේය. අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නොදුන්නේය.’ ඔව්, අප අවංකවම පසුතැවෙනවා නම් දෙවි ‘අපේ සියලු අයුතුකම් කමා කරන්නේය.’—ගීතාවලිය 103:3, 8-10.
තවද, යෙහෝවා අපේ පව්කාර ස්වභාවය ගැන මනා අවබෝධයකින් සිටින නිසා, ඔහු පසුතැවිලි වන වරදකරුවන්ට ‘නිතර තරවටු කරන්නේ’ නැත. (ගීතාවලිය 51:5; රෝම 5:12) එපමණක්ද නොව, පාපය හා අසම්පූර්ණකම සහමුලින්ම ඉවත් කර දැමීමටද ඔහු අරමුණු කර ඇත. එම අරමුණ ඉටු කරන තෙක්, ‘අපේ අයුතුකම්වල ප්‍රකාරයට අපට විපාක නොදී’ යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව පදනම් කරගෙන අපට දයානුකම්පිත ලෙස ඔහු සමාව දෙයි. යෙහෝවා සුදුසු අවස්ථාවලදී අපට දයාව දැක්වූයේ නැත්නම් අප කිසිවෙකුට ගැළවීම ලබාගත නොහැක. (ගීතාවලිය 130:3) අපෙන් සාධාරණ ලෙස තනි භක්තිය අපේක්ෂා කරන යෙහෝවා දෙවි දයානුකම්පිත පියෙකු වීම ගැන අප මොනතරම් ස්තුතිවන්ත විය යුතුද!
සමබර වීමේ වැදගත්කම
මුළු විශ්වයේම සර්වපරාක්‍රම දෙවි අසම්පූර්ණ මනුෂ්‍යයන් සමඟ ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් අපත් එසේ කළ යුතු නැද්ද? ඉවසීම යන්නෙන් අදහස් වන්නේ අප අන්‍යයන්ගේ ක්‍රියා ගැන හෝ ඔවුන්ගේ අදහස් ගැන කෝප නොවී සිටීමයි. අප තුළ එවැනි ස්වභාවයක් තිබෙනවා කියා පැවසිය හැකිද? ඇතැම් අවස්ථාවලදී අන්‍යයන් කරන කියන දේවල් අප නුරුස්සනවා විය හැක. ඔවුන් නොහොබිනා ලෙස කටයුතු කරනවා වෙන්නත් පුළුවන. ඒත් සිදු වී ඇති වරද බරපතළ එකක් නොවේ නම්, කෝප නොවී ඉවසිලිවන්තව කටයුතු කරන්න අප පුරුදු වී සිටිනවාද? එසේත් නැත්නම්, අප ක්ෂණිකව කෝපය පිට කරනවාද?
කෙසේවෙතත්, අප බරපතළ වැරදිවලට ඉඩ දෙන තරමටම ඒ ගැන ඉවසීම සුදුසු නැත. මේ සම්බන්ධයෙන් අප සමබරව කටයුතු කරන්න අවශ්‍යයි. නිදසුනකට, අහිංසක දරු දැරියන්ව අතවරයට ලක් කරන පූජකයන්ට ආගමික නායකයන් විසින් දඬුවම් ලබා නොදීම යහපත් දෙයක් කියා පැවසිය හැකිද? එවැනි ඉවසීමකින් ඇති විය හැකි හානිය ගැන කල්පනා කර බලන්න. අයර්ලන්තයේ පුවත්පත් කලාවේදියෙක් එම රටේ සිදු වන එවැනි අතවර ගැන මෙසේ වාර්තා කරයි.
‘සාමාන්‍යයෙන් දරුවන්ව අතවරයට ලක් කරන පූජකයාට දඬුවම් කරනවා වෙනුවට, සෑම අවස්ථාවක්ම සුළු අත්වැරදීමක් වශයෙන් සලකමින් වරද සිදු කරන පූජකයාව වෙනත් පල්ලියකට මාරු කරයි.’එවැනි වරදක් සිදු කළ කෙනෙකු සමඟ මෙතරම් ලිහිල් ලෙස කටයුතු කිරීම අනුමත කළ හැකිද? එය කිසිසේත් අනුමත කළ නොහැකියි! අපි සිතමු තම රෝගීන්ව ආබාධිතයන් බවට පත් කරවමින් හෝ මරණයට පත් කරවමින් ඉතා නොසැලකිලිමත් ලෙස කටයුතු කරන ශල්‍ය වෛද්‍යවරයෙකු සිටිනවා කියා. වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔහුව රෝහලෙන් රෝහලට මාරු කරමින් දිගටම ශල්‍යකර්ම කිරීමට ඔහුට ඉඩ දෙනවා නම් කුමක් සිදු විය හැකිද? ඇතැම්විට වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙය දකින්නේ තම සෙසු වෛද්‍යවරයෙකුට දක්වන ලෙන්ගතුකමක් ලෙස විය හැක. ඒත් එසේ සිතන්න ගියොත් එම වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් හානි සිදු වන හෝ විනාශ වන අහිංසක ජීවිතවලට වග කියන්නේ කවුද?
අනික් අතට, මද වශයෙන් හෝ නොඉවසීම ගැනද අප පරෙස්සම් විය යුතුයි. යේසුස් මිහිපිට සිටියදී, අති උද්යෝගවාදීන් ලෙස හැඳින්වූ ඇතැම් යුදෙව්වරු පීනෙහාස්ගේ ආදර්ශය තම වාසියට හරවාගත්හ. ඔවුහු තමන් දැරූ අන්තවාදී අදහස්වලට නිදහසට හේතුවක් වශයෙන් එම ආදර්ශය ගෙනහැර දැක්වූහ. මෙම යුදෙව්වන් අන්තවාදී ලෙස කළ ක්‍රියාවකට උදාහරණයක් සලකා බලන්න. “යෙරුසලමේ පැවති මංගල්‍යවලට හෝ වෙන යම් උත්සවවලට සහභාගි වන විට, [ඔවුහු] සෙනඟ අතරින් තමන් නුරුස්සන පුද්ගලයන්ව සොයාගෙන ඔවුන්ගේ පිටුපසින් ගොස් පිහියෙන් ඇණ මරා දැමූහ.”
ක්‍රිස්තියානීන් වන අප, අති උද්යෝගවාදීන් මෙන් අපව අමනාපයට පත් කළ කෙනෙකු වෙතට ගොස් ඔහුට ශාරීරිකව හානි නොකරන බව නම් නිසැකයි. නමුත් අප තුළ ඇති නොඉවසුම් ස්වභාවය නිසා වෙනත් ක්‍රම භාවිත කරමින් අප ඔවුන්ට පහර දෙනවාද? සමහරවිට ඔවුන්ට වචනවලින් පහර දෙන්න අප පෙලඹෙනවාද? ඇත්තටම ඉවසීමෙන් ක්‍රියා කරනවා නම් අප ඔවුන්ගේ සිත රිදෙන ආකාරයට කතා කරන්නේ නැත.
පළමුවන ශතවර්ෂයේ සිටි ඵරිසිවරුන් නොඉවසුම් ස්වභාවයක් විදහාපෙන්වූ තවත් පිරිසකි. නිතරම අන්‍යයන්ගේ වැරදි සෙවූ මොවුහු, සුළු සුළු අත්වැරදීම් සම්බන්ධයෙන්ද අන්‍යයන්ව විවේචනයට ලක් කළෝය. පුහුමානයෙන් ඉදිමුණු ඵරිසිවරු පොදු ජනයාව පහත් සෙනඟක් වශයෙන් සලකමින් “මේ සමූහයා ශාපලද්දෝ” යයි කියමින් ඔවුන්ට නින්දා කළෝය. (යොහන් 7:49) එසේ නම්, යේසුස් මෙම ආත්ම ධර්මිෂ්ඨයන්ව හෙළා දුටුවේ හොඳ හේතු ඇතුව බව පැහැදිලියි. ඔහු පැවසූ දේ සැලකිල්ලට ගන්න. “ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය. නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවල් නෑර මේවාත් කටයුතුව තිබුණේය.”—මතෙව් 23:23.
යේසුස් මෙසේ පැවසුවේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව බාල කිරීමේ අදහසින් නොවේ. ඒ වෙනුවට ඔහු පැහැදිලි කළේ, ව්‍යවස්ථාව අදාළ කරගැනීමේදී සමබර විය යුතු බවත් සාධාරණකම හා දයාව වැනි “වඩා වැදගත්” කාරණා අතපසු නොකළ යුතු බවත්ය. යේසුස් සහ ඔහුගේ ගෝලයන්, දැඩි මෙන්ම නොඉවසිලිවන්තව කටයුතු කළ ඵරිසිවරුන්ට හා අති උද්යෝගිවාදීන්ට වඩා කොතරම් වෙනස් වූවාද!
යෙහෝවා දෙවිවත්, යේසුස් ක්‍රිස්තුස්වත් වැරදි නොසලකා හරින්නේ නැත. ළඟදීම, ‘දෙවි නාඳුනන්නන්ටත් ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල’ ලැබෙයි. (2 තෙසලෝනික 1:6-10) කෙසේවෙතත්, තම ස්වර්ගික පියා හා සමානව යේසුස්ද ධර්මිෂ්ඨකම වෙනුවෙන් මහත් උද්යෝගයකින් කටයුතු කළත්, යහපත කිරීමට වෑයම් කරන සියලුදෙනාටම ප්‍රේමනීය සැලකිල්ලක් දක්වමින් ඔවුන් සමඟ ඉවසිල්ලෙන් හා දයාවෙන් කටයුතු කිරීමටද ඔහු කෙදිනකවත් අසමත් නොවන්නේය. (යෙසායා 42:1-3; මතෙව් 11:28-30; 12:18-21) යේසුස් අපට තබන්නේ කොතරම් අනගි ආදර්ශයක්ද!
එකිනෙකා සමඟ ඉවසිලිවන්තව කටයුතු කරන්න
ධර්මිෂ්ඨකම වෙනුවෙන් මහත් උද්යෝගයකින් කටයුතු කරන අතරතුරේදී අපි ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන් අදාළ කරගනිමු. ‘එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමා වෙන්න. යෙහෝවා නුඹලාට කමා වුණාක් මෙන් නුඹලාත් කරන්න.’ (කොලොස්සි 3:13; මතෙව් 6:14, 15) අපට ඉවසීම තිබෙනවා නම් අප අන්‍යයන්ගේ දුර්වලකම් නිසා හෝ ඔවුන් විසින් සිදු කරන සුළු සුළු වැරදි නිසා හෝ කුපිත වන්නේ නැත. මෙම අසම්පූර්ණ ලෝකය පවතින තාක්කල් අප අන්‍යයන්ගෙන් අපේක්ෂා කරන දේවල් සම්බන්ධයෙන් සාධාරණ විය යුතුය.—පිලිප්පි 4:5.
අප ඉවසීමෙන් කටයුතු කරනවා යන්නෙන් අදහස් කරන්නේ අප අන්‍යයන්ගේ වැරදි වසාලන බවවත්, ඔවුන්ගේ වැරදි නොදකින බවවත් නොවේ. අපේ සෙසු ඇදහිලිවන්තයන්ගේ චින්තනය හෝ හැසිරීම යම් දුරකට යෙහෝවාගේ ප්‍රමිතිවලට පටහැනිව දිව යනවා විය හැකියි. නමුත් ඔවුන් දෙවිගේ අප්‍රසාදය ලැබීමට තරම් බරපතළ පාපයක් නොකරනවා වෙන්න පුළුවන. ඒත් ඔවුන්ගේ හැසිරීම් රටාවේ යම් සකස් කිරීමක් කරගත යුතු බවට එය අනතුරු ඇඟවීමක් විය හැක. (උත්පත්ති 4:6, 7) ආත්මික වශයෙන් සුදුසුකම් ඇති අය, මෙවන් දෝෂ සහිත ස්වභාවයක් විදහාපෙන්වන කෙනෙකුට මෘදු ලෙස කාරණා පැහැදිලි කර දෙමින් ඔහුව නිවැරදි කිරීමට වෑයම් කිරීම කොතරම් ප්‍රේමනීය දෙයක්ද! (ගලාති 6:1) කෙසේවෙතත්, එම වෑයම සාර්ථක කරගැනීමට නම් එම තැනැත්තාගේ ආත්මික ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වීමට අමතරව අධෛර්යයට පත් කරවනසුලු, විවේචනාත්මක ස්වභාවයකින් ඔහුට කතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි.
‘මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන්’
අප දරන ආගමික මතයන් හා අනෙක් අයගේ ආගමික මතයන් එකිනෙකට ගැටෙන අවස්ථාවලදී අප ඉවසීම විදහාපෙන්වන්නේ කෙසේද? වර්ෂ 1831දී අයර්ලන්තයේ සෑම පාසැලකම පාහේ “පොදු පාඩමක්” යන මැයෙන් යුත් දැන්වීමක් පළ කර තිබිණ. එහි සඳහන් කර තිබුණේ මෙසේය. “යේසුස් ක්‍රිස්තුස් තම ධර්මය බලහත්කාරයෙන් පතුරුවන්න කියා පැවසුවේ නැත. . . . අපේ අසල්වැසියන් සමඟ රණ්ඩු දබර කිරීමෙන්, අප කියන දේ නිවැරදි බවවත් ඔවුන් වැරදි බවවත් පෙන්වීමට අප කිසිවිටෙක සමත් වන්නේ නැත. එයින් සිදු වන්නේ අප තුළ ක්‍රිස්තියානි ගුණාංග අල්ප මාත්‍රයක්වත් නොමැති බව ඔවුන්ට පෙනී යෑම පමණයි.”
අප කටයුතු කළ යුත්තේ යේසුස් කටයුතු කළ ආකාරයටයි. ඔහු සැමවිටම තම ඉගැන්වීම්වලින් හා හැසිරීමෙන් මිනිසුන්ව දේවවචනය වෙත ළඟා කළේය. (මාර්ක් 6:34; ලූක් 4:22, 32; 1 පේතෘස් 2:21) දෙවිගෙන් ලද තීක්ෂ්ණ බුද්ධිය සතු පරිපූර්ණ මනුෂ්‍යයෙක් වූ යේසුස්ට මිනිසුන්ගේ සිතේ තිබෙන දේ දැනගැනීමේ හැකියාව තිබිණ. එමනිසා අවශ්‍ය වූ විට යෙහෝවාගේ සතුරන්ව තදබල ලෙස ප්‍රසිද්ධියේ හෙළා දැකීමට පවා ඔහුට පුළුවන් විය. (මතෙව් 23:13-33) මෙයින් ඔහුට නොඉවසුම් ස්වභාවයක් තිබුණු බව අදහස් නොකෙරේ.
අපට යේසුස්ට මෙන් අන්‍යයන්ගේ හදවත්වල තිබෙන දේ දැනගත නොහැක. එමනිසා ප්‍රේරිත පේතෘස්ගේ මෙම උපදෙස් අප අදාළ කරගන්න වෑයම් කළ යුතුයි. “නුඹලාගේ සිත්වලින් [ස්වාමීන්] කොට [ක්‍රිස්තුස්ට] ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද [ගැඹුරු ගෞරවයකින්ද, NW] එසේ කළ යුතුය.” (1 පේතෘස් 3:15) යෙහෝවාගේ සේවකයන් හැටියට බයිබලය මත ස්ථිර ලෙස පදනම් වූ අපේ විශ්වාසයන් වෙනුවෙන් කතා කිරීමට අපට පුළුවන්කම තිබිය යුතුයි. කෙසේවෙතත්, අන් අයටත් ඔවුන් අවංක සිතින් පිළිගන්නා විශ්වාසයන් තිබෙන බව වටහාගනිමින් අප ඔවුන්ට ගෞරවය දිය යුතුයි. පාවුල් ලීවේ, ‘නුඹලා එකිනෙකාට උත්තර දිය යුත්තේ කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කතාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා’ කියාය.—කොලොස්සි 4:6.
යේසුස්ගේ සුප්‍රකට කන්ද උඩ දේශනාවේදී ඔහු පැවසුවේ, “මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න” කියාය. (මතෙව් 7:12) එබැවින් අපි එකිනෙකා සමඟ ඉවසිලිවන්තව කටයුතු කරමු. එමෙන්ම අපි ශුභාරංචිය දේශනා කරන විට අන්‍යයන්ට ගෞරවය පෙන්වමු. මෙසේ, ධර්මිෂ්ඨකම වෙනුවෙන් උද්යෝගිමත් ලෙස කටයුතු කරන අතරතුර බයිබලය අපට පෙන්නුම් කරන ආකාරයට ඉවසීම සමබරව විදහාපෙන්වීමටද උත්සාහ කරමු. එවිට යෙහෝවාව සතුටට පත් කරවමින් අපට ඇත්තෙන්ම ඉවසීම තිබෙන බව ඔප්පු කළ හැක.
[23වන පිටුවේ පින්තූරය]
ඵරිසිවරුන් තුළ තිබූ නොඉවසිලිමත් ස්වභාවයෙන් වැළකී සිටිමු
[23වන පිටුවේ පින්තූරය]
යේසුස් තම පියා මෙන් ඉවසීමෙන් කටයුතු කළේය. ඔබත් එලෙස කරනවාද?