පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
යෝබ් පීඩා විඳි කාලය කොතරම් දීර්ඝ වීද?
යෝබ් පීඩා විඳි කාලය අවුරුදු කිහිපයක් දක්වා දිව යන්න ඇතැයි කියා සමහරෙකු කියා සිටියි. නමුත් යෝබ් පොතෙහි එවන් දීර්ඝ කාලයක් ගැන කතා කරන්නේ නැත.
යෝබ්ගේ පීඩාව ආරම්භ වූයේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ දේපළ අහිමි වීමත් සමඟය. මේ සියල්ල සිදු වූයේ ඉතා කෙටි කාලයක් ඇතුළත බව ලියා තිබෙන දෙයින් පෙනේ. එහි මෙසේ කියැවේ. “තවද එක් දවසක් ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිද්ධවිය.” (අකුරු ඇල කළේ අපය.) ඔහුගේ ගවයන්, බූරුවන්, බැටළුවන්, ඔටුවන් සහ එම සතුන්ව බලාගත් සේවකයන්ද මිය ගිය බවට එක පිට එක යෝබ්ට වාර්තා ලැබුණි. ඉන්පසු “ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින්” සිටියදී මිය ගියා කියා ඔහුට ආරංචි විය. මේ සියල්ලම සිදු වූයේ එකම දිනයකදී බව පෙනේ.—යෝබ් 1:13-19.
යෝබ්ගේ ශරීරයට පහර දුන් විට ඔහු තම අඛණ්ඩතාවය අත්හරියි කියා අභියෝග කිරීමට සාතන් දෙවි වෙතට ගිය නිසා යෝබ්ගේ ඊළඟ පීඩාව ආරම්භ වීමට කෙටි කාල සීමාවක් ගත වන්න ඇති. පසුව, ‘පතුල පටන් හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැනීමෙන්’ යෝබ් පහර ලැබුවේය. මෙම රෝගය ඔහුගේ ශරීරය පුරාම පැතිරීමට යම්කිසි කාලයක් ගත වන්න ඇති. එලෙසම, ඔහුව මුණගැසීමට පැමිණ සැනසිලිකාරයන් ලෙස මවා පෑ අයට, “මුළු විපත්තිය ගැන” දැනගැනීමටත් ඔහුව බැහැදැකීම සඳහා පැමිණීමටත් කාලය ගත වෙන්න ඇතැයි කියා අපට උපකල්පනය කිරීමට පුළුවන.—යෝබ් 2:3-11.
එලීපස් සිටියේ එදෝමීය නගරයක් වන තේමානියේය. ශෝපර් පදිංචි වී සිටියේ අරාබියේ වයඹදිග පළාතක පිහිටි නගරයකය. මෙම නගර දෙක යෝබ් පදිංචි වී සිටි උතුරු අරාබියේ ඌශ් දේශයට යාබදව පිහිටා තිබිණ. නමුත් බිල්දද් ෂුහිය ජාතිකයෙකු වූ අතර ඔහුගේ නෑ පරපුර ජීවත් වූයේ යුප්‍රටීස් ගඟ අසබඩය. බිල්දද් එම අවස්ථාව වන විට තම ගම් ප්‍රදේශයේ සිටියා නම්, යෝබ්ට සිදු වුණ විපත්තිය දැනගෙන ඌශ් නගරය බලා ඒමට ඔහුට සති හෝ මාස ගණනක් ගත වේ. සමහරවිට මේ මිත්‍රයන් තිදෙනා යෝබ් පීඩා අද්දකින කාලයේදී ඔහුගේ නිවසට ආසන්න ප්‍රදේශවල සිටියා විය හැකියි. තත්වය කුමක් හෝ වේවා, යෝබ්ගේ මිත්‍රයන් තිදෙනා පැමිණි පසු ඔහු සමඟ වචනයක්වත් කතා නොකර “රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමග බිම හිඳගන උන්නෝය.”—යෝබ් 2:12, 13.
යෝබ්ගේ පීඩාවේ අවසන් අදියර ඇරඹුණි. ඒ සම්බන්ධව විස්තර රාශියක් යෝබ් පොතේ පරිච්ඡේද කිහිපයක් තුළ දක්නට තිබේ. සැනසිලිකරුවන්ගේ වාද හෝ කතාවන් සහ ඊට යෝබ් ප්‍රතිචාරය දැක්වූ ආකාරය පිළිබඳව විස්තර බොහෝමයක් එහි ඇතුළත්ව තිබේ. ඉන්පසු තරුණ එලීහු යෝබ්ට තරවටු කළ අතර යෙහෝවාද ස්වර්ගයේ සිට යෝබ්ව නිවැරදි කළේය.—යෝබ් 32:1-6; 38:1; 40:1-6; 42:1.
යෝබ්ගේ පීඩාව මාස කිහිපයක් හෝ අවුරුද්දකට අඩු කාලයක් පුරා තිබෙන්න ඇති. යම් පීඩාවක් සාමාන්‍යයෙන් ජීවිත කාලය පුරාවටම තිබෙන බවක් සමහරවිට ඔබට දැනෙන්න පුළුවන. නමුත් යෝබ්ට මෙන් අපටත් අපේ පීඩාවලදී විසඳුමක් ලැබෙන බව අමතක නොකළ යුතුයි. අප මුහුණ දෙන පීඩාව කොතරම් කාලයක් පුරා පැවතුණත් දෙවිගේ අනුභාවය ලත් වචනයේ සඳහන් ආකාරයට ඔහු අපට උපකාර කරන බව අමතක නොකරන්න. “මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාවූ අපට, ඉතාමත් වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය.” (2 කොරින්ති 4:17, 18) ප්‍රේරිත පේතෘස් මෙසේ ලිවීය. ‘ක්‍රිස්තුස් තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවිම, නුඹලා ස්වල්ප කලක් දුක් වින්ද පසු, නුඹලා සම්පූර්ණ කර, ස්ථිර කර, ශක්තිමත් කර පිහිටුවන්නේය.’—1 පේතෘස් 5:10.