අභක්තික ලොවක දෙවි හා පා නැඟූ ඒනොක්
අභක්තික ලොවක දෙවි හා පා නැඟූ ඒනොක්
සකල ජනයාව දෙවි වෙතින් ඉවත හැරවීමට තමාට හැකියයි යක්ෂයා තරයේ කියා සිටි අතර, සමහරවිට ඔහු සාර්ථක වූ බවද පෙනෙන්ට ඇත. ආබෙල්ගේ මරණයෙන් පසු සියවස් පහක් යන තුරුම යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයෙකු ලෙස කිසිවෙකු කැපී නොපෙනිණ. ඒ වෙනුවට, පාපතර හා අභක්තික හැසිරීම සාමාන්‍ය දෙයක්ව පැවතිණ.
ඒනොක් ජීවත් වූයේ ආත්මික පිරිහීමක් තිබූ එම කාල වකවානුවේය. බයිබල් කාල නිර්ණයට අනුව ඔහු ඉපද තිබෙන්නේ පො.යු.පෙ. 3404දීය. ඒනොක් සිය සමකාලීනයන්ට වඩා වෙනස් කෙනෙකු විය. තමා දෙවිට පිළිගත හැකි තැනැත්තෙකු බව ඔහු ඔප්පු කළේය. ඔහුගේ ඇදහිල්ල ක්‍රිස්තියානීන් සඳහා ආදර්ශයක් වූ බැවින් ප්‍රේරිත පාවුල් ඔහුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරට එක් කළේය. ඒනොක් යනු කවරෙක්ද? ඔහුට මූණ පාන්න සිදු වූයේ කුමන අභියෝගයන්ටද? ඔහු ඒවාට එඩිතරව මූණ දුන්නේ කෙසේද? ඔහුගේ පක්ෂපාතිත්වයෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද?
ඒනොක්ගේ කාලයට සියවස් හතරකට පමණ පෙර, එනම් ඒනොෂ්ගේ කාලයේදී, ජනයා ‘යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කරන්ට පටන්ගත්තෝය.’ (උත්පත්ති 4:26) දිව්‍ය නාමය භාවිත කර තිබෙන්නේ මිනිස් ඉතිහාසයේ පටන්ගැන්මේ සිටය. මේ නිසා, ඒනොෂ් ජීවතුන් අතර සිටියදී පටන්ගත් එම දෙය යෙහෝවාට ඇදහිල්ලෙන් යාච්ඤා කිරීම හෝ පවිත්‍ර නමස්කාරය දීමක් නොවන බව පැහැදිලිය. ඇතැම් හෙබ්‍රෙව් ප්‍රවීණයන් පවසන්නේ, “කෙලසීමට පටන්ගත්තේය” හෝ “එවිට කෙලසීම පටන්ගත්තේය” යනුවෙන් උත්පත්ති 4:26 කියවිය යුතු බවය. නමස්කාරයේදී දෙවි වෙත ළඟා වෙනවා කියා පෙන්වීමට මිනිසුන් යෙහෝවාගේ නමින් තමන්ව හෝ වෙනත් මිනිසුන්ව හැඳින්වූවා විය හැක. එසේ නැතහොත් ඔවුන් ඔහුගේ නම රූපවලට යොදාගත්තා විය හැක.
‘ඒනොක් දෙවි හා පා නැඟුවේය’
ඒනොක් අභක්තික ලෝකයක් මැද ජීවත් වුවත්, යෙහෝවා ‘දෙවි සමඟ පා නැඟුවේය.’ ඔහුගේ මුතුන්මිත්තන් වූ සෙත්, ඒනොෂ්, කේනාන්, මහලලෙල් හා යරෙද් දෙවි සමඟ පා නැඟූ බවක් නොපෙනේ. ඒනොක් තරම්ම ඔවුන් දෙවිට සමීපව නොසිටි බැවින් ඔහුගේ ජීවන රටාව ඔවුන් අතරේ කැපී පෙනුණ බවයි පෙනෙන්න තිබෙන්නේ.—උත්පත්ති 5:3-27, NW.
යෙහෝවා හා පා නැඟීම යන්නෙන් අදහස් වූයේ දෙවිව දැනහඳුනා ගෙන සිටීම හා දෙවි සමඟ කුලුපගකමක් ඇති කරගැනීමය. ඒනොක්ට එසේ කිරීමට හැකි වූයේ ඔහු දිව්‍ය කැමැත්තට එකඟව ජීවත් වූ නිසාය. යෙහෝවා ඒනොක්ගේ කැපවීම අනුමත කළේය. ඇත්තවශයෙන්ම, ග්‍රීක සෙප්ටූඅජින්ට්හි පවසන්නේ දෙවිගේ “ප්‍රසාදයට ඒනොක් බොහෝ සෙයින් ලක් වූවා” කියාය. ප්‍රේරිත පාවුල්ද එම අදහසම පළ කළේය.—උත්පත්ති 5:22; හෙබ්‍රෙව් 11:5.
යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීමට ඒනොක්ට ඇදහිල්ල තිබීම අත්‍යවශ්‍ය දෙයක් විය. ඔහු දෙවිගේ “ස්ත්‍රිය” වන පොරොන්දු වූ “වංශය” කෙරෙහි ඇදහිල්ල තබන්න ඇති. ඔහුට ආදම් සමඟ පෞද්ගලික ඇසුරක් පවත්වන්න හැකි වූවා නම්, ඒදන් උයනේ සිටි මුල් යුවළ සමඟ දෙවි කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු කීපයක් ආදම්ගෙන් දැනගන්න ඔහුට හැකියාව තිබිණ. “දෙවිව උනන්දුවෙන් සොයන්නන්” අතුරෙන් කෙනෙකු වීමට ඒනොක්ට හැකි වූයේ දෙවි පිළිබඳව ඔහු තුළ තිබූ දැනුම හේතුවෙනි.—උත්පත්ති 3:15; හෙබ්‍රෙව් 11:6, 13, NW.
ඒනොක් හා අප සම්බන්ධයෙන් බලන කල, යෙහෝවා සමඟ හොඳ සබඳතාවක් පැවැත්වීමට දෙවි පිළිබඳ දැනුම තිබීමට වඩා වැඩි දෙයක් අවශ්‍යය. අප යම් පුද්ගලයෙකු සමඟ තිබෙන කුලුපගකම සැබවින් අගය කරන්නේ නම්, අපේ සිතුවිලි හා ක්‍රියා ඔහුගේ අදහස්වලට අනුව හැඩගැස්වීමට බලපෑමක් ඇති
වන බව සැබෑවක් නොවේද? එම මිත්‍රත්වය බිඳහෙළන වචන හෝ ක්‍රියාවලින් අපි වැළකී සිටින්නෙමු. එමෙන්ම අපේම තත්වයන්වල යම් වෙනසක් සිදු කිරීමට අප කල්පනා කරන්නේ නම්, මෙය එම සබඳතාවට කෙතරම් දුරකට බලපායිද කියාත් අප සලකා නොබලන්නේද?එලෙසම දෙවි සමඟ සමීප සබඳතාවක් පවත්වාගැනීමට අප තුළ ආශාවක් තිබේ නම් අප යම් දේවල් කරන්නේ සබඳතාව රැකගන්නා අයුරිනි. එය රැකගැනීමට ඔහු අනුමත කරන හා නොකරන දේවල් පිළිබඳ හරි දැනුමක් තිබිය යුතුය. ඉන්පසු එම දැනුමට අනුව හෘදයෙන් මෙන්ම ක්‍රියාවෙන් ඔහුව සතුටු කිරීමට වෑයම් කිරීම අවශ්‍යය.
ඇත්තෙන්ම, දෙවි හා පා නැඟීමට නම් අප ඔහුව ප්‍රසන්න කළ යුතුය. වසර සියගණනක් පුරා ඒනොක් කළේ එම දෙයයි. හෙබ්‍රෙව් ක්‍රියාපදයේ ස්වරූපයෙන් ඇඟවෙන්නේ, ඒනොක් දෙවි සමඟ නොනැවතී දිගටම ‘පා නැඟූ’ බවය. ‘දෙවි සමඟ පා නැඟූ’ තවත් ඇදහිලිවන්ත තැනැත්තෙකි නෝවා.—උත්පත්ති 6:9.
භාර්යාවක්ද, ‘පුත්‍රයන් හා දූවරුන්ද’ සිටි ඒනොක් පවුල් බර දැරූ අයෙකි. මෙතුසෙලා ඔහුගේ පුතෙකි. (උත්පත්ති 5:21, 22) ඒනොක් තම නිවස මැනවින් පාලනය කිරීමට තමන්ට හැකි සෑම දෙයක්ම කරන්න ඇති. කෙසේවෙතත්, අභක්තික ලෝකය මැද සිටි ඔහුට දෙවිට සේවය කිරීම පහසු කාර්යයක් වූයේ නැත. ඔහුගේ කාලයේදී යෙහෝවා කෙරෙහි ඇදහිල්ල පැවැත්වූ එකම තැනැත්තා නෝවාගේ පියා වූ ලාමෙක් විය හැක. (උත්පත්ති 5:28, 29) එහෙත්, ඒනොක් නිර්භීත ලෙස සැබෑ නමස්කාරයේ යෙදිණ.
දෙවිට විශ්වාසවන්තව සිටීමට ඒනොක්ට උපකාරවත් වූයේ කුමක්ද? යෙහෝවාගේ නම කෙලෙසන්නන් සමඟ හෝ දෙවිගේ නමස්කාරකයෙකුට ඇසුරු කිරීමට නුසුදුසු වූ අය සමඟ ඔහු ඇසුරු නොකළ බවට නිසැකය. යෙහෝවාට යාච්ඤා කර උපකාරය පැතීමෙන්, සිය මැවුම්කරුව අප්‍රසන්න කළ හැකි සෑම දෙයකින්ම වැළකී සිටීමට ඒනොක් ගෙන තිබූ අදිටන තව තවත් ශක්තිමත් කරගැනීමටද ඔහුට හැකි වන්න ඇති.
අභක්තික ලෝකයට එරෙහිව අනාවැකි
අප අභක්තික ජනයා මධ්‍යයෙහි සිටියදී උසස් ප්‍රමිති පවත්වාගැනීම පහසු කාර්යයක් නොවේ. එහෙත් දුෂ්ට ජනයාට එරෙහිව ගෙනෙනු ලබන විනිශ්චය පිළිබඳ ප්‍රබල පණිවිඩයක්ද ඒනොක් ප්‍රකාශ කළේය. දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීම යටතේ ඒනොක් මෙසේ පුරෝකථනය කළේය. “බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් යූද් 14, 15.
විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්, අභක්තික පව්කාරයන් විසින් [ඔහුට] විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, [යෙහෝවා] ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමග [ආවේය].”—එම පණිවිඩය මුරණ්ඩු නොඇදහිලිකාරයන්ට බලපෑවේ කෙසේද? හදට වදින එම තියුණු වචන හේතුවෙන් ඒනොක් ජනප්‍රිය නොවන්න ඇතැයි කියාත්, සමහරවිට සරදම් හා තර්ජනවලට ලක් වන්න ඇතැයි කියාත් සිතීම සාධාරණය. සමහරෙකු ඔහුව නිහඬ කිරීමට වෑයම් කළා කියා සිතන්ට පුළුවන. කෙසේවෙතත්, ඒනොක් නොබියව ඉදිරියට ගියේය. ධර්මිෂ්ඨ ආබෙල්ට සිදු වූ දෙය දැන සිටි ඔහු එන ඕනෑම දෙයකට මූණ දෙමින් දෙවිට සේවය කිරීමට ආබෙල් මෙන් අදිටන් කරගෙන සිටියේය.
‘දෙවි ඔහුව ගත්තේය’
පෙනෙනාකාරයට ‘දෙවි ඒනොක්ව ගත්’ විට ඔහු මරණීය තර්ජනයකට මූණ දී සිටියේය. (උත්පත්ති 5:24) යෙහෝවා සිය විශ්වාසවන්ත අනාගතවක්තෘවරයාට දරුණු සතුරන් අතින් දුක් විඳීමට ඉඩහැරියේ නැත. ප්‍රේරිත පාවුල් පවසන පරිදි, “ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය.” (හෙබ්‍රෙව් 11:5) බොහෝ අය ඒනොක් මියගියේ නැති බවත්, දෙවි ඔහුව ස්වර්ගයට ගත් අතර ඔහු එහි දිගටම ජීවත් වන බවත් පවසති. කෙසේවෙතත්, යේසුස් සරලව මෙසේ පැවසීය. “ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.” ස්වර්ගයට නඟින සියල්ලන්ගේ ‘පෙරටුවෙන්’ සිටින තැනැත්තා යේසුස්ය. —යොහන් 3:13; හෙබ්‍රෙව් 6:19, 20.
එසේනම්, ඒනොක්ට සිදු වූයේ කුමක්ද? ඔහුව ‘මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය’ කීමෙන් අදහස් වන්නේ දෙවි ඔහුට අනාවැකිමය දර්ශනයක් දකින්න සලස්වා, ඔහු එම තත්වයේ සිටියදීම ඔහුගේ දිවි කෙළවර වීමට සැලසූ බව විය හැක. එවැනි තත්වයක සිටියදී ඒනොක්ට මරණයේ වේදනාව නොදැනෙන්න ඇති. එවිට යෙහෝවා මෝසෙස්ගේ ශරීරය නැති වෙන්න සැලැස්වූ ආකාරයටම ඔහුගේ ශරීරයත් නැති වෙන්න සැලැස්වූ බැවින් ‘ඔහුව තවත් දකින්න නොලැබුණ’ බවයි පෙනෙන්න තිබෙන්නේ.—ද්විතීය කථාව 34:5, 6.
ඒනොක් සිය සමකාලීනයන් තරම්ම කාලයක් ජීවත් වූයේ නැත. ඔහු ජීවත් වූයේ වසර 365කි. එහෙත් යෙහෝවාට ප්‍රේමකරන්නන් දිවි තිබෙන තුරා ඔහුට විශ්වාසවන්තව සේවය කිරීමයි වැදගත්ම දේ වන්නේ. ඒනොක් එසේ කළ බව අප දන්නේ, ‘ඔහුව ගෙන යනු ලැබීමට පෙර ඔහු දෙවිව හොඳින් සතුටු කර තිබෙන බවට සාක්ෂි ඔහුට ලැබී’ තිබුණු බැවිනි. යෙහෝවා ඒනොක්ට මෙය පැවසුවේ කෙසේද යන්න ශුද්ධ ලියවිලි තුළින් අපට අනාවරණය කර නැත. එහෙත්, ඒනොක් මියයෑමට කලින් ඔහුට දෙවිගේ අනුමැතිය තිබෙන බවට සහතිකයක් දී තිබුණු අතර නැවත නැඟිටුවීමේදී යෙහෝවා ඔහුව සිහි කරනු ඇති බව නිසැක වීමට අපට හැක.
ඒනොක්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න
දෙවිට භක්තිවන්තව සිටින්නන්ගේ ඇදහිල්ල නිසි අන්දමින් අනුකරණය කරන්න අපට පුළුවනි. (හෙබ්‍රෙව් 13:7) අනාගතවක්තෲන් අතුරින් මුල්ම ඇදහිලිවන්ත අනාගතවක්තෘ ලෙස දෙවිට සේවය කළේ ඒනොක්ය. ඔහුගේ කාලයේදීත් අපේ කාලයේ මෙන්ම ප්රචණ්ඩත්වය, දූෂණය හා අභක්තිකකම පිරී තිබිණ. එනමුත් ඒනොක්ගේ ක්‍රියාකලාපය ඊට වෙනස් විය. ඔහුට සැබෑ ඇදහිල්ලක් තිබූ අතර දේවභක්තිය සම්බන්ධයෙන් ආදර්ශවත් තැනැත්තෙකු විය. ඇත්තෙන්ම, යෙහෝවා ඔහුට පැවරුවේ බැරෑරුම් විනිශ්චයේ පණිවිඩයක් ප්‍රකාශ කිරීමටය. ඒ සඳහා යෙහෝවා ඔහුට ශක්තියද දුන්නේය. ඒනොක් නිර්භීත ලෙස තම මෙහෙයෙහි යෙදුණු අතර සතුරු ප්‍රහාර හමුවේ දෙවි ඔහුව රැකබලා ගත්තේය.
ඒනොක් මෙන් අපත් ඇදහිල්ල පවත්වනවා නම්, මෙම අන්තිම දවස්වලදී යෙහෝවාගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට යෙහෝවා අපවත් ශක්තිමත් කරනු ඇත. නිර්භීත ලෙස විරුද්ධවාදිකම්වලට මූණ දීමට ඔහු අපට උපකාර කරනු ඇති අතර අපේ දේවභක්තිය නිසා අභක්තික අයට වඩා අපව වෙනස් පුද්ගලයන් කරනු ඇත. ඇදහිල්ල අපට දෙවි සමඟ පා නැඟීමටත්, ඔහුගේ හද පිනවන අයුරින් අපගේ ජීවිත ගත කිරීමටත් හැකි කරවනු ඇත. (හිතෝපදේශ 27:11) ඇදහිල්ල හේතුවෙන් ධර්මිෂ්ඨ ඒනොක් අභක්තික ලොවක යෙහෝවා සමඟ පා නැඟීමෙහි සාර්ථක වූවාක් මෙන් අපටත් සාර්ථක විය හැක.
[30වන පිටුවේ කොටුව]
බයිබලය ඒනොක්ගේ පොතෙන් උපුටා දක්වයිද?
ඒනොක්ගේ පොත ද්විතීය සම්මත ග්රන්ථයක් මෙන්ම අතිරේක යුදෙව් ආගමික ලියවිල්ලකි. එය ඒනොක්ගේ නමින් දක්වා තිබෙන්නේ නිසි පදනමක් නොමැතිවය. සමහරවිට, පො.යු.පෙ. දෙවන හා මුල් සියවස්වලදී පළ කළ මෙය, අනවශ්‍ය කරුණු රැසකින් හා යුදෙව්වන්ගේ ඓතිහාසික නොවන මිථ්‍යාවන්ගෙන් පිරි පොතකි. මින් පැහැදිලි වන්නේ උත්පත්ති පොතේ ඒනොක් සම්බන්ධයෙන් තිබෙන සුළු තොරතුරු අතිශයෝක්තියෙන් විස්තර කර ඇති බවය. ඒ සාධකය දෙවිගේ ආනුභාවය ලත් වචනය සඳහා ඇලුම්කමක් ඇති අයට ඒනොක්ගේ පොත ප්‍රතික්ෂේප කිරීමට හොඳටම සෑහේ.
බයිබලය තුළ ඒනොක්ගේ අනාවැකිමය වදන් අඩංගු වන්නේ යූද් පොතේ පමණි. “බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්, අභක්තික පව්කාරයන් විසින් [ඔහුට] විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, [ස්වාමීන්] ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමග [ආවේයැයි] කීවේය.” (යූද් 14, 15) බොහෝ ප්‍රවීණයන් තර්ක කරන්නේ, ඒනොක් සිය සමකාලීනයන්ට එරෙහිව අනාවැකි පැවසුවාය යන කාරණය කෙළින්ම උපුටාගෙන තිබෙන්නේ ඒනොක්ගේ පොතෙන් බවය. යූද්, තමාගේ මූලාශ්‍රය වශයෙන් විශ්වාස කළ නොහැකි සම්මත ග්රන්ථයක් යොදාගත්තා විය හැකිද?
යූද් ඒනොක්ගේ අනාවැකි දැනගත්තේ කෙසේද යන්න ශුද්ධ ලියවිල්ලේ අනාවරණය කොට නැත. ඔහු පොදු මූලාශ්‍රයකින්, එනම් පුරාතන යුගයෙන් පැමිණි විශ්වසනීය ඇදහිලි ක්‍රමයකින් උපුටා දැක්වූවා විය හැක. යන්නෙස් සහ යම්බ්‍රෙස් ගැන සඳහන් කරමින් මෝසෙස්ට විරුද්ධව ක්‍රියා කළ, ඵාරාවෝගේ රජමාළිගයේ සිටි නිර්නාමික මායාකාරයන් ගැන සඳහන් කිරීමෙන් පාවුල්ද එවැනිම දෙයක් කළ බව පැහැදිලිය. ඒනොක්ගේ පොත ලියූ ලේඛකයාට මෙවැනි ඉපැරණි මූලාශ්‍රයක් වෙත යෑමට හැකිව තිබුණේ නම් යූද්ට එසේ කළ නොහැකියයි අප නිගමනය කළ යුතුද? *—නික්මයාම 7:11, 22; 2 තිමෝති 3:8.
ඒනොක් අභක්තික මිනිසුන්ට දැන්වූ පණිවිඩය යූද්ට දැනගන්න ලැබුණේ කෙසේද යන්න එතරම් වැදගත් කාරණයක් නොවේ. යූද් දිව්‍ය ආනුභාවය ඇතුව එම කරුණ ලියූ බැවින් එහි විශ්වසනීයත්වය සහතික වී ඇත. (2 තිමෝති 3:16) දෙවිගේ ශුද්ධාත්මය මගින් සැබෑවට විරුද්ධ යමක් ප්‍රකාශ කිරීමෙන් ඔහුව වළක්වන ලදි.
[පාදසටහන]
^ 28 ඡේ. ශ්‍රාවක ස්තේපන්ද බයිබලයේ කොතැනකවත් සඳහන්ව නැති තොරතුරු සැපයුවේය. මිසරයේදී මෝසෙස් ලැබූ අධ්‍යාපනය ගැන, මිසරයෙන් පලා යන විට ඔහු වයස 40ක්ව සිටි බව, 40 වසරක් මිදියන්හි විසීම ගැන, මෝසෙස්ගේ ව්‍යවස්ථාව අන් අයට දීමේදී ඔහු දේවදූතයෙකු මෙන් කටයුතු කළ ආකාරය ගැන ඔහු සඳහන් කළේය.—ක්‍රියා 7:22, 23, 30, 38.
[31වන පිටුවේ පින්තූරය]
ඒනොක් නිර්භීත ලෙස යෙහෝවාගේ පණිවිඩය ප්‍රකාශ කළේය