සැබෑ වටිනාකමක් ඇත්තේ කුමකද?
සැබෑ වටිනාකමක් ඇත්තේ කුමකද?
ඔබට අනර්ඝ වස්තුවක් ලැබුණා නම් ඔබ එයින් ප්‍රීති උද්දාමයට පත් වන බව නිසැකයි. ඒත්, සැබවින්ම අනර්ඝයයි පැවසිය හැක්කේ කුමකටද? විශාල මුදල් කන්දරාවකටද? වෛවාර්ණ මෝස්තරවලින් යුත් ආභරණවලටද? නැත්නම් ගෞරවයටද? කීර්ති නාමයටද? අද බොහෝදෙනෙක් එවන් දේවල් ඉතා අගේ කොට සලකති. මන්ද එවායින් අපේ දෛනික අවශ්‍යතා පිරිමසාගත හැකි අතර ඒවා ජීවිතයට වැඩි අරුතක් එක් කර දෙයි. එපමණක්ද නොව, මිනිසුන්ගේ සිත් දිනාගෙන සාර්ථක දිවියක් ගත කිරීමට අප සතු ආශාවද ඉන් පිරිමැසේ. එවන් දේවල් හඹා යෑමෙන් ඔබේ ඉලක්කයන් හා අපේක්ෂාවන් සාර්ථක වේයයි ඔබ සිතනවාද?
සාමාන්‍යයෙන් මිනිසුන් යම් දෙයක වටිනාකම මනින්නේ එය ඔවුන්ගේ අවශ්‍යතාවන් නැතහොත් පෞද්ගලික ආශාවන් තෘප්තිමත් කරනවාද යන්න මතයි. අප සාමාන්‍යයෙන් යම් දෙයකට ප්‍රිය කරන්නේ එයින් අපට සෙතක් සැලසේ නම් හෝ එමගින් අපට සුරක්ෂිත අනාගතයක් ස්ථිර කරගත හැකි නම් පමණි. එමෙන්ම අප අගේ කොට සලකන්නේ අපට ක්ෂණික සහනයක් ලබා දෙන, සැනසිල්ලක් අත් කර දෙන හෝ අන්‍යයන්ගේ පිළිගැනීම ලබාගැනීමට දායක වන දේවල්ය. ඒත් විටින් විට වෙනස් වීමට ලක් වන අපේ ආශාවන් අනුව යමක වටිනාකම මැනීම බොළඳ ක්‍රියාවකි. මන්ද එසේ කිරීමෙන් අපට ලැබෙන්නේ කෙටි කාලීන ප්‍රයෝජන පමණි. සැබවින්ම වටින්නේ කුමක්ද යන්න නිශ්චය කරගැනීමට නම් අපේ ප්‍රධානතම අවශ්‍යතාව කුමක්ද යන්න වටහාගත යුතුයි.
ඇත්තටම, අපේ ප්‍රධානතම අවශ්‍යතාව වන්නේ කුමක්ද? අපට ජීවිතය අහිමි වුවොත් අප රැස් කරගත් වස්තුවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ කිසිදු දෙයකින් අපට තෘප්තියක් ලබාගත හැකිද? බැහැ, ඒ සියල්ල නිෂ්ඵලයි. පුරාණ ඉශ්රායෙල්හි රජකම් කළ සාලමොන් එම යථාර්ථය විස්තර කළේ මෙලෙසයි. “මළාහු කිසිවක් නොදනිති, . . . නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:5, 10) මරණයේදී අප සතු සියල්ල අත්හැර යෑමට සිදු වේ. එසේ නම්, අපේ ප්‍රධානතම අවශ්‍යතාව වන්නේ අපේ දිවි රැක දෙන යම් දෙයක් අත් කරගැනීමයි. ඇත්තෙන්ම එවැනි යමක් තිබේද?
දිවි සුරකින යමක් ඇද්ද?
“මුදල ආරක්ෂාවක්” කියා සාලමොන් රජ පැවසීය. (දේශනාකාරයා 7:12) ඔව්, අපට ඇති තරම් මුදල් තිබේ නම් ආහාර පාන හා සියලු පහසුකම් සහිත නිවසක් සතු කරගත හැකියි. එමෙන්ම අපේ සිත්ගන්නා දුර බැහැර ප්‍රදේශවලට හෝ රට රාජ්‍යවලට ගමන් කිරීමට හැකියාවක්ද ලැබේ. මහලු විය හෝ අසනීපයක් නිසා රැකියාවක් කිරීමට නොහැකි තත්වයකට පත් වූවොත් අප මුදල් රැස් කරගෙන ඇත්නම් අපේ දෛනික අවශ්‍යතා සපුරාගත හැකි වේ. මුදලෙන් ප්‍රයෝජන රැසක් ලැබෙන බව මින් පැහැදිලියි. ඒ කෙසේවෙතත්, මුදල් අපේ දිවි රැක දෙන්නේ නැති බව අප අවිවාදයෙන් පිළිගත යුතුයි. ප්‍රේරිත පාවුල් තිමෝතිට දුන් මෙම අවවාදයෙන් එය පැහැදිලි වේ. “මේ ලෝකයේ [ධනවතුන්ට] උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ට [ආඥා කරන්න].” (1 තිමෝති 6:17) අපට මුදල් කන්දරාවක් තිබුණද එයින් ජීවිතය මිල දී ගත නොහැකි බව මතක තබාගනිමු.
හිටෝෂිගේ අද්දැකීම නිදසුනකට ගන්න. හිටෝෂි හැදී වැඩුණේ දිළිඳු පවුලක නිසා ධනවත් වීමට ඔහු තුළ දැඩි ආශාවක් තිබිණ. මුදලේ බලය කෙරෙහි ඔහු කොතරම් විශ්වාසයක් තැබුවාද කිවහොත් මිනිසුන්ව ‘සල්ලිවලට ගන්න’ පුළුවන් බව ඔහු සිතුවේය. දිනක් හිටෝෂිගේ නිවසට අමුත්තෙක් පැමිණියේය. යේසුස් ක්‍රිස්තුස් ඔහු වෙනුවෙන් තම ජීවිතය පිදූ බව ඔහු දැන සිටියාද කියා අමුත්තා හිටෝෂිගෙන් ප්‍රශ්න කළේය. මේ ප්‍රශ්නයෙන් මහත් කුතුහලයට පත් වූ හිටෝෂිට තමා වැනි කෙනෙකු වෙනුවෙන් යමෙකු ජීවිතය පුද කළා යන කාරණය අදහාගත නොහැකි විය. ඔහු පසු දිනක ක්‍රිස්තියානි රැස්වීමකට සහභාගි වූයේය. එහිදී ප්‍රසිද්ධ කථාව ඉදිරිපත් කළ කථිකයා ‘ඇස සරලව තබාගන්න’ යන උපදේශය දුන්නේය. ජීවිතයේ මුල්ම වතාවට එවැනි දෙයක් ඇසූ හිටෝෂි පුදුමයට පත් විය. “සරල” ඇසක් යන්නෙන් අදහස් කරන්නේ ආත්මික කාරණා මත නාභිගත වූ දූරදර්ශීව දේවල් දෙස බැලිය හැකි ඇසක් කියා කථිකයා තවදුරටත් පැහැදිලි කළේය. (ලූක් 11:34) එදා පටන් මුදල් පසුපස හඹා යනවා වෙනුවට ආත්මික දේවලට මුල් තැන දීමට හිටෝෂි තීරණයක් ගත්තේය.
ද්‍රව්‍යමය දේවලට හැකියි අපේ ජීවිතයට යම් ස්ථාවරයක් මෙන්ම සුරක්ෂිතබවක් ලබා දීමට. අපට ඇති තරම් මුදල් තිබේ නම් දෛනික අවශ්‍යතාවන් ගැන කරදර වීමට අවශ්‍ය නැත. සුන්දර වටපිටාවක පිහිටි සියලුම පහසුකම් ඇති නිවසක් තිබේ නම් හිතට ලොකු ආඩම්බරයක් දැනෙන්ට පුළුවන. තවද, අපට ලස්සන ඇඳුම් පැළඳුම් හා නවීන පන්නයේ වාහනයක් තිබේ නම් අන්‍යයන් අපව උසස් කොට සලකන්නද ඉඩ තිබේ.
‘අප උපයාගත් දෙයින් ප්‍රීතිවීම’ ආශීර්වාදයකි. (දේශනාකාරයා 3:13, නව අනුවාදය) තවද හිතේ හැටියට මුදල් ඇත්නම් අපේ හිතවතුන්ට ‘කා බී ප්රීතිවීමටද’ පුළුවන. නමුත් මෙය මතක තබාගන්න. ද්‍රව්‍යමය දේවලින් අප සතුටක් ලැබුවද ඒ සියල්ල තාවකාලිකයි. යේසුස් ක්‍රිස්තුස් ගිජුකමේ අන්තරාව ගැන අනතුරු අඟවමින් මෙසේ පැවසීය. “මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.” (ලූක් 12:15-21) ඔව්, අප කොතරම් වස්තු රැස් කරගෙන තිබුණද ඒවායින් අපේ දිවි සුරැකෙන්නේ නැත.
ලිස් ඇගේ පුරුෂයා සමඟ ගත කළේ සමෘද්ධිමත් ජීවිතයකි. ඒත් ඇය මෙසේ පවසන්නීය. “අපිට ලස්සන ගෙයක් තිබුණා. කාර් දෙකක් තිබුණා. අපිට හිතේ හැටියට දේවල් ගන්න සල්ලි තිබුණා. කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. . . . හැබැයි මට සල්ලි නැති වෙයි කියලා ලොකු බයක් තිබුණා. මං හිතන්නේ බඩු වැඩි වෙන්න වැඩි වෙන්න බය තවත් වැඩි වෙනවා. මොකද නැති වෙන්න තියෙන දේවලුත් වැඩියිනේ!”
අන්‍යයන්ගෙන් නම්බු නාම ලබාගැනීමට බොහෝදෙනෙකු කැමැත්තක් දක්වන්නේ ගෞරවයත් ප්‍රශංසාවත් ලැබීමට තිබෙන ආශාව නිසයි. අප ජීවත් වන මේ ලෝකයේ බොහෝදෙනෙකුගේ ඉලක්කය වන්නේ වෘත්තියමය අතින් සමර්ථ වීමයි. විශේෂ කුසලතාවන් හෝ හැකියාවන් වර්ධනය කරගන්නා විට අප බොහෝවිට අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ. එමෙන්ම අනුන් අප ගැන හොඳ කියනවා වෙන්න පුළුවන. අපේ අදහස් උදහස් ඉහළින් ගරු කරමින් අපේ සිත දිනාගැනීමටද වෙර දරනවා විය හැක. මේ සෑම දෙයක්ම අපව සෑහීමකට පත් කරන්නත් අපට මහත් සතුටක් ලබා දෙන්නත් දායක විය හැකියි. ඒත් එය වැඩි කල් පවතින්නේ නැති බව අමතක නොකරන්න. සාලමොන් රජ ඉතා බලවත් පුද්ගලයෙක් විය. තවද ඔහු සියල්ලන්ගේම ගෞරවයට පාත්‍ර වුණි. ඒත්, අවසානයේදී ඔහුගේ නිගමනය වූයේ මෙයයි. “සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය.” (දේශනාකාරයා 2:16) ඔව්, අනුන්ගේ කීර්ති නාමය දිනාගත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ පමණින් අපට ජීවනය නමැති දීමනාව අත් කරගත නොහැකියි.
මූර්ති කලා ශිල්පියෙක් වන චෙලෝ කීර්ති නාමයට වඩා බෙහෙවින් වටිනා යමක් සොයාගත්තේය. ඔහු සතු කුසලතාවන් දියුණු කරගැනීමට උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීමට ඔහුට ප්‍රස්තාවක් ලැබිණ. වැඩි කල් යන්න මත්තෙන් ඔහු කලා විවේචකයන්ගේ හා පුවත්පත් කලාවේදීන්ගේ ප්‍රශංසාවට ලක් විය. ඔහුගේ නිර්මාණ බොහෝමයක් යුරෝපයේ ප්‍රධාන නගර කිහිපයකම ප්‍රදර්ශනය කෙරිණ. චෙලෝ මෙසේ පවසයි. “මට කලාවෙන් තොර ලෝකයක් තිබුණේ නෑ. මගේ මුළු ජීවිතයම මම කැප කළේ ඒ වෙනුවෙන්. හැබැයි වෘත්තියමය කටයුතුවලම එල්බගෙන සිටීම ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරනවා වගේ වැඩක් කියලා මම පස්සේ තේරුම්ගත්තා. (මතෙව් 6:24) දේවරාජ්‍යය ගැන අන්‍යයන්ට කියා දීම තමයි මට කරන්න පුළුවන් වැදගත්ම දේ කියලා මට වැටහුණා. ඒ හින්දා මූර්ති කලා ශිල්පියෙක් හැටියට මම කළ වැඩ නතර කරන්න මම තීරණය කළා.”
අනර්ඝතම වස්තුව
ජීවිතය අහිමි වුවොත් අප සතු වස්තුවලින් කිසිම ප්‍රයෝජනයක් ඇද්ද? එසේ නම් ජීවිතය අහිමි නොවන බව සහතික කරගන්නේ කොහොමද? ජීවනයේ උල්පත යෙහෝවා දෙවිය. (ගීතාවලිය 36:9) අප ‘ජීවත් වන්නේද, හැසිරෙන්නේද, පවතින්නේද ඔහු තුළයි.’ (ක්‍රියා 17:28) ඔහු ප්‍රිය කරන සෑම කෙනෙකුටම ඔහු සදාකාල ජීවනය නමැති දීමනාව පිරිනමයි. (රෝම 6:23) මෙම දීමනාව ලබාගැනීමට අප කුමක් කළ යුතුද?
සදාකාල ජීවනය නමැති ත්‍යාගය ලබාගැනීමට නම් අප යෙහෝවා සමඟ කිට්ටු මිත්‍රත්වයක් ගොඩනඟා ගත යුතුයි. එමනිසා, ඔහුගේ අනුමැතිය ලබාගැනීම තරම් වටිනා දෙයක් නැත. එම වස්තුව අප සතු වූ විට සැබෑ මෙන්ම සදාකාලික සතුට ලැබීමේ අපේක්ෂාවද අප සතු වේ. අනිත් අතට අපට දෙවිගේ අනුමැතිය නැත්නම් සදාකාල විනාශයට මුහුණ දීමට සිදු වේ. මින් පැහැදිලි වන්නේ කුමක්ද? යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධයක් වර්ධනය කරගැනීමට දායක වන ඕනෑම දෙයකට මිල කළ නොහැකි වටිනාකමක් තිබෙන බවයි.
අප කළ යුතු දේ
දෙවි සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීමට නම් අප දැනුම ලබාගත යුතුයි. නිවැරදි දැනුම ලබාගත හැකි එකම මූලාශ්‍රය වන්නේ යෙහෝවා දෙවිගේ වචනය වන බයිබලයයි. දෙවිව සතුටු කිරීමට අප කළ යුතු දේ පිළිබඳව දැනගත හැක්කේද එතුළින් පමණයි. එනිසා ශුද්ධ ලියවිලි කල්පනාකාරිව අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි. අප යෙහෝවා දෙවි ගැනත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඉගෙනගැනීමට දැඩි වෙහෙසක් දරනවා නම් ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම’ අපට ලබාගැනීමට පුළුවන. (යොහන් 17:3) එම දැනුම අප සැලකිය යුත්තේ ඉතා අගනා වස්තුවක් ලෙසයි.—හිතෝපදේශ 2:1-5.
දෙවිගේ වචනයෙන් අප ලද දැනුම ඊළඟ පියවර ගැනීමට අපව පොලඹවයි. එනම් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තැබීමයි. තමන් වෙතට එළඹීමට වෑයම් කරන සියලුදෙනාම යේසුස්ගේ මාර්ගයෙන් එසේ කළ යුතු බව යෙහෝවා පවසා තිබේ. (යොහන් 14:6) ඇත්තෙන්ම ඔහු තුළ මිස “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය.” (ක්‍රියා 4:12) අපේ ගැළවීම රඳාපවතින්නේ ‘රන් රිදී මත නොව, ක්‍රිස්තුස්ගේ අනර්ඝ ලෙය’ මතයි. (1 පේතෘස් 1:18, 19) එනිසා අපි යේසුස්ගේ ඉගැන්වීම් විශ්වාස කරමින් හා ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින් ඔහු කෙරෙහි ඇදහිල්ල තිබෙන බව නිරූපණය කරමු. (හෙබ්‍රෙව් 12:1-3; 1 පේතෘස් 2:21) ඔහුගේ ජීවිත පූජාව කොතරම් වටිනවාද කියා සලකා බලන්න! එය මනුෂ්‍යවර්ගයාට සදාකාල අනාගතයක් සහතික කර දෙයි. එයින් අත් වන සෑම ප්‍රයෝජනයක්ම අපට ලැබෙන්න සැලැස්සූ විට මිල කළ නොහැකි වටිනාකමක් ඇති සදාකාල ජීවනය නමැති දීමනාව අප සතු වෙයි.—යොහන් 3:16.
‘නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන්න’ කියා යේසුස් පැවසුවේය. (මතෙව් 22:37) යෙහෝවාට ප්‍රේම කරනවා නම් ‘ඔහුගේ ආඥා පැවැත්වීමට’ අප තුළ පෙලඹීමක් ඇති වෙයි. (1 යොහන් 5:3) අප දෙවිගේ ආඥා පවත්වන්නේ නම් මේ ලෝකයෙන් වෙන්ව සිටීමට, නිදොස් ජීවිතයක් ගත කිරීමට හා දෙවිගේ රාජ්‍යයට පක්ෂව සිට එයට සහයෝගය දැක්වීමට වෙර දැරිය යුතුයි. අප මරණය වෙනුවට ‘ජීවනය තෝරාගන්නේ’ එලෙසයි. (ද්විතීය කථාව 30:19) තවද අප ‘දෙවිට ළං වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහුත් අපට ළං වෙනවා’ ඇත.—යාකොබ් 4:8.
දෙවිගේ අනුමැතිය තිබෙන බවට අපට ලැබෙන සහතිකය මෙලොවෙහි සොයාගත හැකි සෑම වස්තුවකටම වඩා අනර්ඝයි. ඔහුගේ අනුමැතිය තිබෙන අය ලෝකයේ ධනවත්ම පුද්ගලයන් වශයෙන් නම් කළ හැකියි. එසේ නම්, සැබෑ වටිනාකමක් ඇති අනර්ඝතම වස්තුව වන යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට අපි වෙර දරමු. ඒත් සමඟම අපි ප්‍රේරිත පාවුල්ගේ මෙම අවවාදයද සිතට ගනිමු. “ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද [විඳදරාගැනීමද,NW] මොළොක්ගුණයද පස්සේ යන්න. ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න.”—1 තිමෝති 6:11, 12.
[21වන පිටුවේ පින්තූර]
ඔබ ඉතා අගනා කොට සලකන්නේ කුමක්ද? මුදල්ද? ද්‍රව්‍යමය දේවල්ද? කීර්ති නාමයද? එසේත් නැත්නම් වෙන යම් දෙයක්ද?
[23වන පිටුවේ පින්තූරය]
අප ශුද්ධ ලියවිලි කල්පනාකාරිව අධ්‍යයනය කළ යුතුයි