Skip to content

පටුනට යන්න

ඔබට පුහුණු කළ හෘදය සාක්ෂියක් අවශ්‍යය

ඔබට පුහුණු කළ හෘදය සාක්ෂියක් අවශ්‍යය

ඔබට පුහුණු කළ හෘදය සාක්ෂියක් අවශ්‍යය

ඇන්ටාක්ටික් මහාද්වීපය හරහා ගමන් කිරීමට නියමිතව තිබූ නවසීලන්ත ගුවන් සමාගමට අයත් 901 දරන ගුවන් යානයට මඟීන් හා සේවක පිරිස ගොඩ වූයේ අමතක නොවන ගුවන් සවාරියක් අපේක්ෂාවෙනි. මෙම DC-10 ගුවන් යානය ඇන්ටාක්ටික් මහාද්වීපය කරා ළඟා වෙද්දී පහළින් පියාසර කරන්නට විය. ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටි මඟීහු ගුවනේ සිට දිස්වන ඇන්ටාක්ටිකාවේ මනරම් දර්ශන තමන්ගේ කැමරාවලට හසු කරගැනීම සඳහා සූදානම් වෙමින් සිටියහ.

උඩු ගුවනේ පැය 11,000කට වැඩි කාලයක් පියාසර කර තිබූ මෙහි කපිතාන්වරයා වසර 15ක අද්දැකීම් තිබූ ගුවන් නියමුවෙකි. ගුවන්ගත වීමට කලින්, ඔහු ගුවන් ගමනට අදාළ සියලුම තොරතුරු පරෙස්සමින් සිය පරිගණකයට ඇතුළත් කරගත්තේ තමාට ලැබුණු දත්ත අතර වැරදි ඒවාද තිබූ බව නොදැනය. පොළොවේ සිට මීටර් 600ක් පමණ ඉහළින් තිබූ DC-10 ගුවන් යානය වලාකුළක් හරහා පියාසර කරමින් සිටියදී, එරිබස් කන්දේ ගැටුණේ එහි ගමන්ගත් මඟීන් 257දෙනාට මරු කැඳවමිනි.

අදදින ගුවන් යානා ඒවායේ ගමන් මඟ සොයාගැනීම සඳහා රඳා සිටින්නේ පරිගණක මතය. ඒ හා සමානව තමන්ගේ ජීවන ගමනේදී මඟ පෙන්වීම ලබාගැනීම සඳහා මිනිසුන්ට හෘදය සාක්ෂියක් ලැබී තිබේ. අපේ හෘදය සාක්ෂිය ගැන ප්‍රබල පාඩමක් 901 ගුවන් යානයට සිදු වූ ඛේදවාචකයෙන් අපට උගත හැක. නිදසුනක් වශයෙන්, ගුවන් ගමනක ආරක්ෂාව රඳා පවතින්නේ නිසි ලෙස ක්‍රියාත්මක වන ගුවන් ගමන් පද්ධතියක් හා සියයට සියයක්ම නිවැරදිව ලැබෙන මඟ පෙන්වීම් මතය. මේ හා සමානව අපේ අධ්‍යාත්මික, සදාචාරමය හා ශාරීරික ශුභසිද්ධිය රඳා පවතින්නේද සදාචාරය හා සම්බන්ධ නිවැරදි තොරතුරුවලින් මඟ පෙන්වීම ලබන සංවේදී හෘදය සාක්ෂියක් මතය.

එවන් මඟ පෙන්වීම් සැමවිටම නොලැබීම හා නොසලකා හැරීම අද බහුලව දක්නට ලැබෙන අතර, මෙය කනගාටුදායක තත්වයකි. “අමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය පාසැල් සිසුවෙකුට හරිහැටි කියවන්න හා ලියන්න නොහැකි බව බොහෝ අවස්ථාවලදී අපට අසන්න ලැබෙනවා. ලෝක සිතියමේ ප්‍රංශය තිබෙන තැන සොයාගැනීම පවා ඔහුට අමාරුයි” කියා අමෙරිකාවේ අධ්‍යාපනඥවරියක් සඳහන් කළාය. “එම සිසුවාට හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමද අසීරුයි. කියවීම හා ලිවීම මෙන්ම ගණිතය දුර්වල වීම ඇතුළු අධ්‍යාපනය සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලු රාශියට සදාචාරමය ව්‍යාකූලත්වයද එක් කළ යුතුයි.” ඇය තවදුරටත් මෙසේ සඳහන් කළාය. “අද යෞවනයන් ජීවත් වෙන්නේ සදාචාරය හා බැඳි ප්‍රමිති බොඳ වී තිබෙන ලෝකයකයි. ‘හරි වැරැද්ද’ පැහැදිලිව හඳුනාගන්නේ කොහොමද කියා සිසුවෙකුගෙන් ඇසූ විට ඔහු ගල් ගැසී බලා සිටියි. නැත්නම් මොනවා කියන්නද කියා නොදැන බිම බලාගෙන සිටියි. . . . පාසැල් අධ්‍යාපනය ලබන කාලයේදී එම තත්වය යහපත් අතට හැරෙනවා වෙනුවට තව තවත් නරක අතට හැරේ.”

මෙම ව්‍යාකූලත්වයට එක් හේතුවක් වන්නේ එක් එක් පුද්ගලයන්ගේ හා සංස්කෘතීන්වල රුචි අරුචිකම් අනුව ප්‍රතිපත්ති වෙනස් වේ යන මතය පුළුල්ව ව්‍යාප්ත වී තිබීමයි. මෙය සදාචාරමය සාපේක්ෂතාවාදය ලෙස හැඳින්වේ. ගුවන් නියමුවන්ට පියාසර කරන්න සිදු වන්නේ නිවැරදි මඟ පෙන්වීම් නොමැති, වෙනස් වනසුලු හා ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම නොපෙනී යන ආලෝක සංඥා මත රඳා සිටිමින් නම්, ඇති වන තත්වය සිතා බලන්න! එරිබස් කන්දේ ගැටීමෙන් සිදු වූ ගුවන් අනතුර හා සමාන අනතුරු බහුලව සිදු වනවාට සැකයක් නැත. නිවැරදි සදාචාර ප්‍රමිති නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් දුක් වේදනා විඳීම හා මරණයට ගොදුරු වීම වැඩි වෙමින් පවතී. කලත්‍රයාට ද්‍රෝහිවීම නිසා පවුල් බිඳවැටෙමින් පවතී. ඒඩ්ස් ඇතුළු ලිංගිකව බෝවෙන රෝග නිසා දශලක්ෂ ගණනක් වේදනා විඳිති.

බුද්ධිමතුන් පවා සදාචාරමය සාපේක්ෂතාවාදය අනුමත කළ හැක. එහෙත් යථාර්ථවාදීව බලන කල පෙනී යන්නේ ඊට අනුබල දෙන්නන් පුරාණයේ නිනිවයේ සිටි වැසියන් මෙන් ‘දකුණතවත් වමතවත් නොදැන’ සිටින බවයි. සදාචාරමය සාපේක්ෂතාවාදයට අනුව තමන්ගේ ප්‍රතිපත්ති නියම කරගන්න අය “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද” පවසමින් සැබෑ නමස්කාරය අත්හැර දැමූ පුරාණ ඉශ්‍රායෙල්වරුන්ට සමාන වෙති.—යෝනා 4:11; යෙසායා 5:20.

එසේ නම්, අපව අනතුරුවලින් වළක්වන නිවැරදි මඟ පෙන්වීම් සපයන මාධ්‍යයක් ලෙස අපේ හෘදය සාක්ෂිය පුහුණු කරගැනීම සඳහා ඉවහල් වන පැහැදිලි හා ව්‍යාකූල නොවූ නීති හා ප්‍රතිපත්ති අපට සොයාගත හැක්කේ කොතැනින්ද? එවන් නීති හා ප්‍රතිපත්ති බයිබලයෙහි සඳහන් බව බොහෝදෙනෙකු සොයාගෙන තිබේ. යහපත් හැසිරීම, රැකියාව කෙරෙහි දක්වන ආකල්පය, දෙවිට නමස්කාර කිරීමට දරුවන්ව පුහුණු කිරීම ඇතුළු ජීවිතයේ සෑම කාරණයක් ගැනම බයිබලය මඟ පෙන්වීම් සපයයි. (2 තිමෝති 3:16) බයිබලය සපයන මඟ පෙන්වීම් සියයට සියයක්ම විශ්වාසදායක බව ගත වී තිබෙන සියවස් ගණනාව පුරා තහවුරු වී තිබේ. බයිබලයෙහි සඳහන් සදාචාර ප්‍රමිති නියම කර තිබෙන්නේ බලයෙන් උසස්ම තැනැත්තා වන අපේ මැවුම්කරු නිසා සියලුම මිනිසුන්ට ඒවා එක සේ අදාළ වේ. මේ නිසා සදාචාර ප්‍රමිති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක සිටීමට අපට අවශ්‍ය නැත.

කෙසේවෙතත්, ඔබ ජීවත් වන්නේ වෙන කවරදාටත් වඩා ඔබේ හෘදය සාක්ෂියට හානිකර බලපෑම් එල්ල වන කාලයකයි. එවන් බලපෑම් එල්ල වන්නේ කෙසේද? ඔබේ හෘදය සාක්ෂිය රැකගන්න ඔබට හැක්කේ කෙසේද? මෙහිදී ගත හැකි නැණවත්ම ක්‍රියාමාර්ගය වන්නේ එවන් බලපෑම් ඇති කරන තැනැත්තාව හා ඔහුගේ උපාය මාර්ග හොඳින් හඳුනාගැනීමයි. ඊළඟ ලිපියේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.