යෙහෝවාගේ සේවය තුළ හිමි වූ අමිල ජීවිතය
ජීවිත කතාව
යෙහෝවාගේ සේවය තුළ හිමි වූ අමිල ජීවිතය
පැවසුවේ රසල් කර්සන්
මම මෙලොව එළිය දුටුවේ 1907 සැප්තැම්බර් 22වෙනිදා. ඒ කියන්නේ පළවෙනි ලෝක මහා යුද්ධය සමඟ ඇති වුණ අමතක නොවන යුගයේ ආරම්භයට අවුරුදු හතකට කලින්. අපේ පවුල ඉතාමත්ම ධනවත් කියලා කියන්න පුළුවන්. අපේ ඉතිහාසය ගැන තොරතුරු බිඳක් දැනගත්තට පස්සේ ඔබ එයට එකඟ වෙයි කියලා මට හිතෙනවා.
මගේ ආච්චි වන කර්සන් පොඩි කාලේදීම දෙවි පිළිබඳ සත්‍යය හෙව්වා. ඇය ජීවත් වූයේ ස්විට්සර්ලන්තයේ දර්ශනීය පළාතක් වූ ස්පට්ස් නගරයේ. ඇය ළමා කාලයේ සිටම ගමේ නොයෙක් පල්ලිවලට ගියා. වර්ෂ 1887දී විවාහ වී වසර කිහිපයක් ගිය පසු, එක්සත් ජනපදයේ වෙරළබඩ තීරවලට පැමිණි සංක්‍රමිකයන්ගේ රැල්ලට කර්සන් පවුලත් එකතු වුණා.
පසුව එම පවුල ඔහයෝවල පදිංචි වුණා. වර්ෂ 1900 විතර ආච්චි සොයමින් සිටිය නිධානය ඇයට හම්බ වුණා. එය සම්බ වුණේ චාල්ස් ටේස් රසල්ගේ කාලය අත ළඟය යන ජර්මන් භාෂාවෙන් තිබුණු පොතක පිටු තුළයි. ඇය කියවූ දෙයෙහි බයිබල් සත්‍යය ගැබ්ව තිබුණා කියා වැටහෙන්න ඇයට වැඩි වේලාවක් ගියේ නැහැ. ආච්චිට ඉංග්‍රීසි භාෂාව කියවීමට එතරම් හැකියාවක් නොතිබුණත් ඇය මුරටැඹ සඟරාව සඳහා දායකයක් ලබාගත්තා. මේ විදිහට ඇය තවදුරටත් බයිබල් සත්‍යය ඉගෙනගත්තා වගේම ඉංග්‍රීසි භාෂාවත් එම කාලයේදීම ප්‍රගුණ කරගත්තා. නමුත් සීයාට නම් ආච්චිට වගේ ආත්මික දේවල් ගැන උනන්දුවක් තිබුණේ නැහැ.
මගේ ආච්චිට සම්බ වුණ ආත්මික නිධානය රැකගත්තේ ඇගේ ළමයි 11දෙනාගෙන් ජෝන් සහ ඇඩොල්ෆ් විතරයි. ජෝන් තමයි මගේ තාත්තා. වර්ෂ 1904දී, එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිසූරි සාන්ත ලුවිස්වල පැවැත්වූ සමුළුවකදී ඔහු බව්තීස්ම වුණා. බයිබල් ශිෂ්‍යයන් හුඟදෙනෙකුට සල්ලි බාගේ වැඩිය තිබුණේ නැහැ. එනිසා සාන්ත ලුවිස්වල තිබුණ ලෝක මහා වෙළඳපොළට යන අය සඳහා දුන් සහනදායි
දුම්රිය ගාස්තු ක්‍රමයෙන් ප්‍රයෝජන ගැනීමට, සමුළුවත් වෙළඳපොළ තිබුණ වේලාවටම පැවැත්වුවා. පසුව 1907දී මගේ බාප්පා වන ඇඩොල්ෆ්, නියූ යෝක් නයගරා ඇල්ල පිහිටි ප්‍රදේශයේ පැවැත්වූ සමුළුවකදී බව්තීස්ම වුණා. මගේ තාත්තයි මගේ බාප්පයි බයිබලයෙන් එයාලා ඉගෙනගත් දේවල් ඉතාමත් ජ්වලිතව දේශනා කළා. අවසානයේදී දෙන්නම පූර්ණ කාලීන (දැන් හඳුන්වන්නේ පුරෝගාමීන් ලෙසයි) සේවකයන් වුණා.වර්ෂ 1907 මම ඉපදෙන කොට මගේ පවුල ආත්මික අතින් පොහොසත්. (හිතෝපදේශ 10:22) වර්ෂ 1908 මගේ තාත්තා (ජෝන්) සහ අම්මා (අයිඩා) සමඟින් ඔහයෝ පුට් ඉන් බේ නගරයේ තිබුණ “ජයග්‍රහණය කරා” නමැති සමුළුවට සහභාගි වන විට මම පුංචි දරුවෙක්. එම සමුළුවේ සභාපති ලෙස කටයුතු කළේ එවකට සංචාරක සේවකයෙක් වූ සහෝදර ජෝසෆ් එෆ්. රදෆඩ්. ඊට සති කිහිපයකට කලින් ඔහු ඔහයෝ ඩොල්ටන් නගරයට පැමිණි අතර අපේ නිවසටත් ආවා. එම අවස්ථාවේදී ඔහු එම ප්‍රදේශයේ සිටිය බයිබල් ශිෂ්‍යයන්ට කතාවක් දුන්නා.
මට ඒ සිද්ධීන් මතක නැහැ. නමුත් 1911දී මේරිලන්ඩ් මවුන්ටන් ලේක් පාක්වල සමුළුව නම් මතකයි. එදා මටයි මගේ බාල සහෝදරි එස්තර්ටයි එවකට බයිබල් ශිෂ්‍යයන්ගේ ලෝක ව්‍යාප්ත දේශනා කටයුතු අධීක්ෂණය කළ චාල්ස් ටේස් රසල්ව මුණගැසුණා.
වර්ෂ 1914 ජූනි 28වෙනිදා සරයේවෝහිදී ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාව සහ ඔහුගේ භාර්යාවව ඝාතනය කිරීමත් සමඟම ලෝකය යුද්ධයකට පැටලුණා. ඒ අවස්ථාවේදී මමයි මගේ පවුලේ අයයි ඔහයෝ කොලොම්බස්වල සාමකාමී ලෙස පැවතුණ සමුළුවකට සහභාගි වෙමින් සිටියා. මගේ ජීවිතේ මුල් අවුරුදුවලදීම මට යෙහෝවාගේ සෙනඟගේ සමුළු බොහෝමයකට යෑමේ ප්‍රස්තාව ලැබුණා. සමහරක් එක්රැස්වීම්වල හිටියේ සියදෙනෙක් වගේ ගණනක්. අනෙක් ඒවා ලෝකයේ තිබෙන සුවිසල් ක්‍රීඩාංගණවලින් කිහිපයකදී පැවැත්වූ විශාල එක්රැස්වීම්.
අපේ නිවස පිහිටියේ අපූරු තැනක
වර්ෂ 1908 සිට 1918 දක්වා කාලයේදී අපේ නිවස තිබුණේ ඩෝල්ටන්වලයි. ඒ කියන්නේ පිට්ස්බර්ග්, පෙන්සිල්වේනියා සහ ක්ලීව්ලන්ඩ් ඔහයෝ යන නගර මැද්දෙයි. අපේ නිවසේ තමයි බයිබල් ශිෂ්‍යයන්ගේ කුඩා කණ්ඩායමට රැස්වීම් පැවැත්වීමට ඉඩ පහසුකම් ලබා දුන්නේ. අපේ නිවස කතා දීමට පැමිණෙන බොහෝ කථිකයන්ට ආගන්තුක සත්කාරය පිරිනමන ස්ථානයක් වුණා. ඔවුන් තම අශ්වයන් සහ බක්කි කරත්ත මඩුවේ නවත්වලා තමන් ලබපු අද්දැකීම් සහ ආත්මික සත්‍යයන් එතැන එක්රැස්ව සිටි අයත් සමඟ බෙදාගන්නවා. ඒ දවස් මොනතරම් දිරිගන්වනසුලුද!
මගේ තාත්තා පාසැල් ගුරුවරයෙක්. ඒත් ඔහුගේ ලොකුම ආශාව වුණේ විශිෂ්ටතම ඉගැන්වීමේ වැඩය වන ක්‍රිස්තියානි දේවසේවයේ යෙදීමයි. තාත්තා පවුලේ අයට යෙහෝවා ගැන උගන්වන එක අතපසු
කළේ නැහැ. ඒ වගේම අපි හැම රාත්‍රියකම පවුලක් හැටියට එකතු වෙලා යාච්ඤා කළා. වර්ෂ 1919 වසන්ත ඍතුවේදී තාත්තා අපේ අශ්වයාවයි බක්කි කරත්තයයි ඩොලර් 175කට වික්කා. දේශනා සේවයේදී මනුෂ්‍යයන් හුඟදෙනෙකු වෙත ළඟාවීම සඳහා, 1914 තිබුණ ෆෝඩ් කාර් එකක් තාත්තා ඒ සල්ලිවලින් මිල දී ගත්තා. වර්ෂ 1919 සහ 1922දී ඔහයෝ සීඩා පොයින්ට්වල පැවැත්වූ බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවට අපේ පවුල එම කාර් එකෙන් තමයි ගියේ.අපේ මුළු පවුලම, ඒ කියන්නේ අම්මා, තාත්තා, එස්තර්, මගේ මල්ලි ජෝන් සහ මම දේශනා සේවයේ හවුල් වුණා. පළමු වතාවට ගෙහිමියෙක් බයිබලයේ තිබෙන ප්‍රශ්නයක් මගෙන් ඇසූ ආකාරය මට හොඳට මතකයි. මට එතකොට අවුරුදු හතක් විතර ඇති. එම ගෙහිමියා මෙහෙම ඇසුවා. “මොකක්ද පුතා අර්මගෙදොන් කියන්නේ?” මම ඔහුගේ එම ප්‍රශ්නයට මගේ තාත්තාගේ පොඩි උදව්වකුත් ඇතුව බයිබලයේ සඳහන් පිළිතුර පෙන්නුවා.
පූර්ණ කාලීන සේවයට ඇතුල් වීම
වර්ෂ 1931දී ඔහයෝ කොලම්බස් නුවර පැවති සමුළුවට අපේ පවුලත් සහභාගි වුණා. එම සමුළුවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් නමැති අලුත් නාමයෙන් අපිව හැඳින්වීම ගැන අපි හුඟාක් සතුටු වුණා. ජෝන් කොයිතරම් සතුටු වුණාද කියනවා නම් ඔහු තීරණය කළා මාත් සමඟ පුරෝගාමී සේවයට ඇතුල් විය යුතුයි කියලා. a අපි දෙන්නා වගේම අම්මයි තාත්තායි එස්තර් නංගියි එම තීරණයම ගත්තා. දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට පවුලම හවුල් වීම තරම් උතුම් දෙයක් තවත් නැහැ! මෙම අනගි ත්‍යාගය ගැන යෙහෝවාට කොච්චර ස්තුති කළත් මට මදි. අපි හුඟාක් සතුටු වුණත් ඊටත් වඩා දේවල් අනාගතයේ ලැබෙන්න තිබුණා.
වර්ෂ 1934 පෙබරවාරි මාසයේ පටන් මම නියූ යෝක් බෘක්ලින්වල තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ (බෙතෙල් නිවසේ) සේවය ආරම්භ කළා. ජෝන් ඊට සති කිහිපයකට පස්සේ එහි සේවයට පැමිණියා. ජෝන් එයාගේ භාර්යාව වන ජෙසිව 1953දී විවාහ කරගන්න තුරු අපි දෙන්නා හිටියේ එකම කාමරේ.
ජෝනුයි මමයි බෙතෙල් නිවසට පැමිණියාට පසු අපේ දෙමාපියන් රට පුරා විවිධ ප්‍රදේශවල පුරෝගාමී පැවරුම් භාරගත් අතර, එස්තර් සහ ඇගේ සැමියා ජෝජ් රීඩ් ඔවුන් සමඟ හවුල් වුණා. වර්ෂ 1963 අපේ දෙමාපියන් ඔවුන්ගේ භූමික ජීවිතය අවසන් කරන තුරුම පුරෝගාමී සේවයේ නිරත වුණා. එස්තර් සහ ඇගේ සැමියා ලස්සන පවුල් ජීවිතයක් ගත කළ අතර මට මාමා කෙනෙක් වෙන්න භාග්‍යය ලැබුණා. මම එයාලගේ දරුවන්ට හුඟාක් ආදරෙයි.
බෙතෙල්හි වැඩ රාජකාරින් සහ ඇසුර
ජෝන්ට තිබුණ තාක්ෂණික හැකියාවන් බෙතෙල් නිවසේ වැඩවලට යෙදෙව්වා. ඔහු සෙසු බෙතෙල් සාමාජිකයන් සමඟ එකතු වී එහා මෙහා ගෙන යා හැකි තැටි වාදන යන්ත්‍ර නිෂ්පාදනය කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දහස් ගණනක් තම ගෙයින් ගෙට සේවයේදී මෙම යන්ත්‍ර තමයි භාවිතයට ගත්තේ. ඒ වගේම ජෝන් සඟරා දායක ලබාගන්න අයගේ සඟරා එතීමට සහ ලේබල් ඇලවීමට යන්ත්‍රයක් නිර්මාණය කළා.
මගේ බෙතෙල් සේවය ආරම්භ වුණේ පොත් පත් බඳින අංශයෙන්. ඒ දවස්වල කර්මාන්ත ශාලාවේ වැඩ කළ තරුණයෝ දැන් වයසට ගිහිල්ලත් තවමත් විශ්වාසවන්තව බෙතෙල් නිවසේ සේවය කරමින් සිටිනවා. මේ අයගෙන් දෙන්නෙක් තමයි කේරි බාබ සහ රොබට් හැට්ෆෙල්ට්. මට මතක තියෙන අනෙක් අය තමයි නේදන් නෝර්, කාල් ක්ලයින්, ලයිමන් ස්විංගල්, ක්ලොස් ජෙන්සන්, ග්‍රාන්ට් සුටර්, ජෝර්ජ් ගැන්ගස්, ඔරින් හිබ්බාබ්, ජෝන් සියෝහිරස්, රොබට් පේන්, චාල්ස් ෆෙකල්, බෙනෝ බර්චික් සහ ජෝන් පෙරි. මේ අය දැන් ජීවතුන් අතර නැහැ. ඔවුන් තම සේවා පැවරුමේ දිගටම රැඳී සිටි අතර කවමදාකවත් කන් කෙඳිරි ගෑවේවත් කිසි “උසස් වීමක්” බලාපොරොත්තු වුණේවත් නැහැ. කොහොම වුණත්, ආත්මයෙන් අභිෂේක ලත් මෙම පක්ෂපාත ක්‍රිස්තියානීන්ගෙන් බොහෝදෙනෙකුට සංවිධානය වර්ධනය වෙනවාත් සමඟම වැඩි වගකීම් දරන්න සිදු වුණා. සමහරෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ පවා සේවය කළා.
ආත්ම පරිත්‍යාගශීලී මෙම සහෝදරයන් සමඟ වැඩ කරන විට මට ඉතාමත් වටිනා පාඩමක් ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණා. සාමාන්‍යයෙන් රැකියාවලදී නම් සේවකයන්ගේ ශ්‍රමයට මුදල් ගෙවනවා. ඒක තමයි එයාලාට ලැබෙන දීමනාව. නමුත් බෙතෙල් නිවසේ සේවය කරනකොට ලැබෙන්නේ ආත්මික ආශීර්වාද. ආත්මික මනසක් තිබෙන පුරුෂයන් සහ ස්ත්‍රීන් විතරයි එවැනි ආශීර්වාද අගය කරන්නේ.—1 කොරින්ති 2:6-16.
එක්දාස් නවසිය තිස් ගණන්වලදී කර්මාන්ත ශාලාවේ අවේක්ෂක හැටියට කටයුතු කළේ 1923දී බෙතෙල් නිවසට පැමිණි නේදන් නෝර්. බෙතෙල්
නිවසට එන විට ඔහු සිටියේ නහඹර වියේ. ඔහු හැමදාම කර්මාන්ත ශාලාවට පැමිණෙන අතර වැඩ කරන හැම කෙනෙකුගෙන්ම සැප දුක් විමසනවා. එලෙස පෞද්ගලිකව සැලකිල්ලක් දැක්වීම අපි වගේ නවක බෙතෙල් සාමාජිකයන් හුඟාක් අගය කළා. අපිට 1936දී ජර්මනියෙන් අලුත් මුද්‍රණ යන්ත්‍රයක් ලැබුණා. එම මුද්‍රණ යන්ත්‍රයේ කොටස් සවි කිරීමේදී තරුණ සහෝදරයන්ට යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා සහෝදර නෝර් උඩුවැස්මක් පැළඳගෙන තරුණ සහෝදරයන් එම යන්ත්‍රවලට හුරු වෙන තුරු ඔවුන් සමඟ මසකට වඩා කාලයක් වැඩ කළා.සහෝදර නෝර් වෙහෙස මහන්සි වී වැඩ කරන්න පුළුවන් කඩිසර සේවකයෙක්. අපෙන් හුඟදෙනෙකුට එයත් එක්ක කරට කර වැඩ කරන්න බැරුව ගියා. කොච්චර වැඩ කළත් විනෝදයටත් ඔහුගේ ජීවිතයේ ඉඩක් තිබුණා. වර්ෂ 1942 ජනවාරියේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත දේශනා කටයුතු අධීක්ෂණය කිරීමේ පැවරුම ලැබුණත්, ඔහු බෙතෙල් පවුලේ සාමාජිකයන් සමඟත් නියූ යෝක් සවුත් ලැන්සින්වල ගිලියද් මිෂනාරි පාසැලේ ශිෂ්‍යයන් සමඟත් බේස් බෝල් ක්‍රීඩාවේ නිරත වුණා.
වර්ෂ 1950 අප්‍රියෙල් මාසයේ නියූ යෝක් බෘක්ලින් කොලොම්බියා හයිට්ස් අංක 124 දරන නේවාසික ගොඩනැඟිල්ලේ අලුතින් සෑදූ තට්ටු දහයේ ගොඩනැඟිල්ලට බෙතෙල් පවුල පදිංචියට ගියා. එහි තිබූ අලුත් කෑම කාමරයේ අපි හැමෝටම එකට වාඩි වෙලා කෑම කන්න පුළුවන් වුණා. මෙම ගොඩනැඟිල්ල තැනීමට ගිය අවුරුදු තුනක කාලයේදී අපේ උදෑසන නමස්කාරය පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ආයෙත් උදෑසන නමස්කාරය ආරම්භ කරන්න ලැබුණාම දැනුණ සතුට කියා නිම කරන්න බැහැ! සහෝදර නෝර් ඔහුත් සමඟ සභාපතිගේ මේසයේ අසුන් ගන්න කියා මට වගකීමක් භාර දුන්නා. එවැනි වගකීමක් භාර දුන්නේ අපේ බෙතෙල් පවුලට පැමිණෙන අලුත් සාමාජිකයන්ගේ නම් ඔහුට මතක් කර දීමටයි. මම අවුරුදු 50ක්ම උදෑසන නමස්කාරය සහ උදේ කෑම වේලාවට එකම අසුනේ ඉඳගත්තා. ඉන්පස්සේ 2000 අගෝස්තු 4වෙනිදා එම කෑම කාමරය වසා දැමූ අතර කලින් ටවර්ස් හෝටලය තිබුණු ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා කළ කෑම කාමරයකට යන්න නියම කළා.
වර්ෂ 1950දී මම ටික කාලයකට කර්මාන්ත ශාලාවේ ලයිනෝටයිප් මුද්‍රණ යන්ත්‍රය ක්‍රියාකරවන්නෙක් හැටියට කටයුතු කළා. එහිදී මම කළේ මුද්‍රණ තහඩුවේ අකුරු අච්චු පිළියෙළ කිරීමයි. එම වැඩේට මම එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් යන්ත්‍ර භාරව සිටි විලියම් පීටර්සන් මට කාරුණිකව සැලකුව නිසා මම සතුටින් වැඩ කළා. වර්ෂ 1960දී කොලොම්බියා හයිට්ස් අංක 107 දරන අලුත් ගොඩනැඟිල්ල තීන්ත ගෑමට ස්වේච්ඡා සේවකයන්ගේ අවශ්‍යතාවයක් තිබුණා. දිනෙන් දින වැඩි වන බෙතෙල් පවුලට අවශ්‍ය මෙම අලුත් පහසුකම් සූදානම් කර දීමට මගේ ශ්‍රමය කැප කිරීමට මම හුඟාක් සතුටු වුණා.
කොලොම්බියා හයිට්ස් අංක 107 දරන ගොඩනැඟිල්ල තීන්ත ගා අවසන් කර වැඩි කාලයක් යන්න මත්තෙන් බෙතෙල් නිවසට අමුත්තන් පිළිගැනීමේ පැවරුම ලැබුණාම මට පුදුම හිතුණා. පසුගිය වසර 40 පුරාම මම පිළිගැනීමේ නිලධාරියා හැටියට කටයුතු කර තිබෙනවා. බෙතෙල් නිවසේ මෙම කාලය, මම ගොඩක්ම ආශාවෙන් ගත කරපු කාලය හැටියට හඳුන්වන්න පුළුවන්. බෙතෙල් නිවසට පැමිණෙන අමුත්තෙකුට වුණත් බෙතෙල් පවුලට එන අලුත් සාමාජිකයෙකුට වුණත් රාජ්‍යයේ අභිවෘද්ධියට අප සෑම කෙනෙකුගේම දායකත්වය ලැබෙන හැටි පැහැදිලි කර දීමට අවස්ථාව ලැබීම ඇත්තෙන්ම ප්‍රීතියක්.
උනන්දුමත් බයිබල් ශිෂ්‍යයෝ
අපේ බෙතෙල් පවුලේ සාමාජිකයන් බයිබලයට හුඟාක් ඇලුම්කමක් දක්වන නිසා ආත්මිකව ඉතාමත් දියුණුයි. මම බෙතෙල් එකට ආපු දවස්වල සෝදුපත් කියවන්නියක් වූ එමා හැමිල්ටන්ගෙන් ඇය කී වතාවක් බයිබලය කියවා තිබෙනවාද කියා ඇහුවා. “තිස්පස් වතාවක් කියවලා තියෙනවා. ඊට පස්සේ කියවපු වාර ගණන මම ගණන් කළේ නැහැ” කියා ඇය පැවසුවා. මේ සහෝදරිය හා සමාන කාලයක් බෙතෙල් සේවයේ නිරතව ඇති තවත් ශක්තිමත් ක්‍රිස්තියානියෙක් වන ඇන්ටන් කෝබ මෙහෙම කිව්වා. “අතට අසු වන මායිමට එහායින් කවදාවක්වත් බයිබලය තියන්න එපා.”
වර්ෂ 1916දී සහෝදර රසල් මිය ගියාට පසු ඔහු සංවිධානයේ දැරූ වගකීම්වලට උර දුන්නේ සහෝදර ජෝසෆ් එෆ්. රදෆඩ්. රදෆඩ් දක්ෂ කථිකයෙක්. ඔහු නීතිඥයෙක් නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් තිබූ නඩුවලට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියා. රදෆඩ් 1942 මිය ගියායින් පසු සහෝදර නෝර් ඔහුගේ වගකීම් භාරගත් අතර ඔහු කථික හැකියාවන් නිපුණ කරගැනීමට මහත් ආයාසයක් දැරුවා. මම ඔහු සිටි කාමරයට යාබද කාමරයට පදිංචියට පැමිණි දා පටන් ඔහු කතා සූදානම් වන ආකාරය මට හොඳ හැටි ඇහුණා. කාලයක් යන විට ඔහුගේ නොමද උත්සහයම ඔහුව දක්ෂ කථිකයෙක් කළා.
බෙතෙල් නිවසේ සිටිය සහෝදරයන්ගේ ඉගැන්වීමේ හැකියාවන් සහ කථික හැකියාවන් ප්‍රගුණ කිරීම සඳහා 1942 පෙබරවාරියේ සහෝදර නෝර් වැඩසටහනක් ආරම්භ කළා. එම වැඩසටහනට ඔහු අත හිත දුන්නා. එම පාසැල මූලික වශයෙන් අවධානය යොමු කළේ බයිබලය පර්යේෂණය කිරීමට සහ ප්‍රසිද්ධ කියවීමටයි. ආරම්භයේදී එක් එක්කෙනාට බයිබලයේ තිබෙන පුද්ගලයන්ගේ චරිත ගැන කෙටියෙන් කතා දීමට පැවරුවා. මගේ පළවෙනි කතාව මෝසෙස් ගැනයි. වර්ෂ 1943 මෙවැනිම පාසැලක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලත් ආරම්භ කළ අතර අද දක්වාම එය ක්‍රියාත්මක වෙනවා. අදටත් බෙතෙල් නිවසේ උනන්දු කරන්නේ බයිබල් දැනුම සහ බලපෑමෙන් යුත් ඉගැන්වීමේ ක්‍රම වර්ධනය කරගන්නා ලෙසයි.
වර්ෂ 1943 පෙබරවාරියේ ගිලියද් මිෂනාරි පාසැලේ පළවෙනි පංතිය ආරම්භ කළා. මෑතකදී ගිලියද් පාසැලේ උපාධිය ලැබුවේ 111වන පංතිය! අවුරුදු 58ක කාලයක් පුරා මෙම පාසැල පුද්ගලයන් 7,000කට පමණ ලොව වටා මිෂනාරිවරුන් ලෙස සේවය කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දී තිබෙනවා. වර්ෂ 1943 පාසැල ආරම්භ කරන විට ලොව වටා සාක්ෂිකරුවන් සිටියේ 1,00,000ක් පමණයි. දැන් 60,00,000ට වඩා දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහි හවුල් වෙනවා! ඇත්තෙන්ම එය සුවිශේෂ දෙයක්.
මගේ ආත්මික උරුමය අගය කිරීම
ගිලියද් පාසැලේ ආරම්භයට කලින් බෙතෙල් නිවසෙන් මටත් තවත් දෙදෙනෙකුටත් එක්සත් ජනපදය පුරා තිබෙන සභාවන් බැහැදැකීමට යන්න කියා පැවරුමක් දුන්නා. මෙම සභාවන් ආත්මිකව ශක්තිමත් කිරීම සඳහා අපි සමහර විට දවසක්, දවස් කිහිපයක් හෝ සතියක් නැවතුණා. අපිව හැඳින්වූයේ සහෝදරයන්ට උපකාර කරන සේවකයන් ලෙසයි. පස්සේ එය චාරිකා සේවකයන් එසේ නැතහොත් චාරිකා අවේක්ෂකයන් හැටියට වෙනස් කළා. ගිලියද් පාසැල ආරම්භ කළායින් පසු එහි යම් පාඨමාලා මෙහෙයවීම සඳහා මට නැවත බෙතෙල් නිවසට එන්න කියා ඇරයුම් කළා. මම දෙවෙනි පංතියේ සිට පස්වන පංතිය දක්වා උපදේශකයෙක් ලෙස කටයුතු කළ අතරම 14වෙනි පංතිය සඳහා ආදේශක උපදේශකයෙක් ලෙසද කටයුතු කළා. යෙහෝවාගේ සංවිධානයේ ඉතිහාසයේ සිදු වෙච්ච වැදගත් දේවල් ශිෂ්‍යයන් සමඟ සමාලෝචනය කරද්දී මම විස්තර
කළ ගොඩක් දේවල් මගේම පෞද්ගලික අද්දැකීම්. එය මගේ ආත්මික උරුමය තවත් වැඩියෙන් අගය කරන්න පෙලඹුවා.යෙහෝවාගේ සෙනඟගේ ජාත්‍යන්තර සමුළුවලට අවුරුදු ගණනාවක් පුරා යන්න ලැබීම මට ලැබුණ තවත් භාග්‍යයක්. වර්ෂ 1963දී සමුළු නියෝජිතයන් 500දෙනෙකු සමඟ “සදාකාල ශුභාරංචි” යන තේමාවෙන් පැවැත්වූ සමුළුවට සහභාගි වීම සඳහා මම ලොව වටා සංචාරය කළා. මම සහභාගී වූ තවත් ඓතිහාසික සමුළු තමයි 1989 පෝලන්තයේ වෝර්සෝවල පැවති සමුළුව, 1990 ජර්මනියේ බර්ලීන්වල සහ 1993 රුසියාවේ මොස්කව්වල පැවති සමුළුව. ඒ හැම සමුළුවකදීම නාට්සි පාලනය යටතේ, කොමියුනිස්ට් පාලනය යටතේ, නැතහොත් එම පාලන කාලයන් දෙකේදීම විඳදරාගත් අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ව මුණගැහෙන්නත් මට අවස්ථාවක් ලැබුණා. එය මොනතරම් ඇදහිල්ල ශක්තිමත් කරන අද්දැකීමක්ද!
යෙහෝවාගේ සේවයේදී මගේ ජීවිතය ඇත්ත වශයෙන්ම ආත්මික ආකාරයෙන් ධනවත් වී තිබෙනවා. කවමදාකවත් ආත්මික ආශීර්වාද ඉවර වෙන්නේ නැහැ. ද්‍රව්‍යමය දේවල් වගේ නෙමෙයි, මෙම වටිනා දේවල් අපි බෙදාගන්න ගන්න අපේ ධනය වැඩි වෙනවා. මට ඉඳලා හිටලා ඇහෙනවා සමහර අය කියනවා එයාලා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් විදිහට හැදුණේ වැඩුණේ නැත්නම් හොඳයි කියලා. දෙවිගේ සංවිධානයෙන් පිට අද්දැකීම් ලබලා ආව නම් බයිබල් සත්‍යය ගොඩක් අගය කරන්න පුළුවන් කියලා තමයි එයාලා කියන්නේ.
තරුණ අය ඒ වගේ කියද්දී මට හරි දුකයි. ඔවුන් ඇත්තටම කියන්න හදන්නේ යෙහෝවාගේ මාර්ග පිළිබඳ දැනුම ඇතුව ඇති දැඩි නොවීම වඩා හොඳයි කියලා. යම් මනුෂ්‍යයෙකුට ජීවිතයේ පසු කාලයකදී බයිබල් සත්‍යය සොයාගන්න ලැබෙන කොට ඔහුගේ සියලුම නරක පුරුදු සහ දූෂිත සිතුවිලි ලෙහෙසියෙන් අත්හරින්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්ද? මම නම් මගේ දෙමාපියන් තමන්ගේ දරුවන් තුන්දෙනාව ධර්මිෂ්ඨ මාර්ගයේ ඇති දැඩි කළ එක ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ජෝන් 1980 ජූලි මාසයේ මියයන තුරුම යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයෙක් වශයෙන් සිටියා. එස්තර් තවමත් විශ්වාසවන්ත සාක්ෂිකාරියක්.
විශ්වාසවන්ත ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ අපි භුක්ති විඳින කදිම මිත්‍රත්වය මම සිහි කරන්නේ මහත් ආශාවෙන්. මම දැනට අවුරුදු 67කට වැඩි කාලයක් පුරා අසිරිමත් ජීවිතයක් බෙතෙල් නිවසේ ගත කරලා තියෙනවා. මම විවාහ නොවුණත් මට ආත්මික දරුමුනුබුරෝ හුඟදෙනෙක් සිටිනවා. ඒ වගේම ලෝක ව්‍යාප්ත ආත්මික පවුලට එකතු වීමට සිටින අලුත් සාමාජිකයන් ගැන හිතන එකත් මට සතුටක්. ඒ හැම කෙනෙක්ම වටිනවා. ‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය’ යන වචන කොයිතරම් සැබෑද! —හිතෝපදේශ 10:22.
[පාදසටහන]
a මම බව්තීස්ම වුණේ 1932 මාර්තු 8 වෙනිදා. ඒ කියන්නේ මම පුරෝගාමියෙක් විය යුතුයි කියා තීරණය කළාට පස්සේ තමයි බව්තීස්ම වුණේ.
[20වන පිටුවේ පින්තූරය]
වමේ සිට දකුණට: මගේ තාත්තා, මගේ මල්ලි ජෝන් (ඔඩොක්කුවේ ඉඳගෙන), එස්තර්, මම සහ මගේ අම්මා
[23වන පිටුවේ පින්තූර]
වර්ෂ 1945දී ගිලියද් පංතියකට උගන්වමින්
ඉහළ දකුණේ: ගිලියද් උපදේශකයන් වන එඩ්වර්ඩෝ කෙල, ෆ්‍රෙඩ් ෆ්‍රාන්ස්, මම සහ ඇල්බට් ෂ්‍රෝඩර්
[24වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සේවයේ මගේ වටිනා ජීවිතය ගැන මෙනෙහි කරමින්