යෙහෝවාගේ ඇරයුම් පිළිගැනීමෙන් ආශීර්වාද ලැබ
ජීවිත කතාව
යෙහෝවාගේ ඇරයුම් පිළිගැනීමෙන් ආශීර්වාද ලැබ
පවසන ලද්දේ මාරියා ඩූ ෂෝ සනාඩි විසිනි
“යෙහෝවා දන්නවා යෙහෝවා මොනවද කරන්නේ කියලා. ඇරයුම එවලා තියෙන්නේ ඔහු නම් ඔයා යටහත් පහත්ව ඒක පිළිගන්න ඕනෙ.” අවුරුදු 45කට විතර ඉස්සෙල්ලා මගේ තාත්තා මට කිව්ව ඒ වචන ටික, පූර්ණ-කාලීන දේවසේවකයෙකු හැටියට සේවය කරන්න කියා යෙහෝවාගේ සංවිධානයෙන් ලැබුණ මුල්ම ඇරයුම පිළිගන්න මට උපකාර වුණා. ඒ ඇරයුම පිළිගැනීමෙන් මහඟු ආශීර්වාද ලැබිලා තියෙන නිසා මම තාත්තගේ ඒ උපදෙසට අදත් ස්තුතිවන්ත වෙනවා.
තාත්තා 1928දී මුරටැඹ සඟරාවට දායකයක් ලබාගත් අතර බයිබලය ගැන උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. ඔහු ජීවත් වුණේ මධ්‍යම පෘතුගාලයේ නිසා දෙවිගේ සභාව සමඟ සම්බන්ධකම් පවත්වන්න ඔහුට පුළුවන් වුණේ තැපෑලෙන් ලැබුණ ප්රකාශනවලිනුයි, මගේ සීයාගේ සහ ආච්චිගේ බයිබලයෙනුයි විතරයි. වර්ෂ 1949දි, අපේ පවුල අම්මගේ මව් රට වන බ්‍රසීලයට ගිහින් රියෝ ඩි ජැනීරෝ අසල ප්‍රදේශයක පදිංචි වුණා. එතකොට මට වයස අවුරුදු 13යි.
අපේ අලුත් අසල්වැසියන් ඒගොල්ලන්ගේ පල්ලියට එන්න කියලා ආරාධනා කළ නිසා අපි කීප වතාවක්ම ගියා. නිරාගින්න, ආත්මය සහ ඉදිරි අනාගතය ගැන ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්න තාත්තා කැමැත්තක් දැක්වුවා. ඒත් ඒගොල්ලන්ට උත්තර දීගන්න බැරුව ගියා. ඒ නිසා තාත්තා නිතරම “නියම බයිබල් ශිෂ්‍යයන් එනකම් අපිට ඉන්න සිද්ධ වෙනවා” කියලා කිව්වා.
එක දවසක්, අන්ධ කෙනෙක් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා අරගෙන අපේ ගෙදරට ආවා. තාත්තා ඔහුගෙන් අර ප්‍රශ්නම ඇහැව්වා. ඔහු තර්කානුකූලව බයිබලයෙන් පිළිතුරු දුන්නා. ඊළඟ සතියේදී තවත් සාක්ෂිකරුවෙක් අපිව බලන්න ආවා. තවත් ප්‍රශ්න වැලකට උත්තර දුන්නට පස්සේ ඇය සමුගනිමින් මතෙව් 13:38 කියවලා කෙත කියන්නේ මුළු ලෝකයම ඇතුළත් ක්ෂේත්රයට බව පැහැදිලි කළා. මාත් එන්නද කියලා තාත්තා ඇහැව්වහම “කොච්චර හොඳද එනවා නම්” කියලා ඇය කිව්වා. බයිබල් සත්‍යය අපිට ආපහු හම්බ වුණ එක මොනතරම් ප්‍රීතියක්ද! ඊළඟ සමුළුවේදී තාත්තා බව්තීස්ම වුණා. ඊට පස්සේ 1955 නොවැම්බර් මාසයේදී මමත් බව්තීස්ම වුණා.
“ක්ෂේත්‍ර සේවයේ” යන්න තියෙනවා කියලා කිව්වා. ඇය අදහස් කරන්නේ මොකක්ද කියලා තාත්තාට නොතේරුණ නිසා ඇය “කෙත නම් ලෝකයය” කියනලද මුල්ම ඇරයුම පිළිගනිමින්
අවුරුදු එකහමාරකට පස්සේ, රියෝ ඩි ජැනීරෝහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් මට දුඹුරු පාට ලොකු ලියුමක් ලැබුණා. පූර්ණ කාලීන දේශනා සේවයට ඇතුල් වෙන්න කියලා එහි ආරාධනා කරලා තිබුණා. එතකොට අම්මා හිටියේ හොඳටම අසනීප වෙලා නිසා මම තාත්තගෙන් ඇහැව්වා මොකක්ද කරන්නේ කියලා. “යෙහෝවා දන්නවා යෙහෝවා මොනවද කරන්නේ කියලා. ඇරයුම එවලා තියෙන්නේ ඔහු නම් ඔයා යටහත් පහත්ව ඒක පිළිගන්න ඕනෙ.” තාත්තගේ මේ වචනවලින් දිරිගැන්වුණ මම ඉල්ලුම් පත්‍රය පුරවා යැවූ අතර 1957 ජූලි 1වෙනිදා ඉඳලා පූර්ණ කාලීන සේවය පටන්ගත්තා. මට මුල්ම පැවරුම ලැබුණේ රියෝ ඩි ජැනීරෝහි ට්‍රේස් රිඕස් නම් නගරයටයි.
අපි කතෝලික බයිබලයක් පාවිච්චි කළේ නැති නිසා ට්‍රේස් රිඕස්වල වැසියන් අපේ පණිවිඩයට සවන් දෙන්න මුලදී වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒත් තද කතෝලිකයෙකු වූ ජෙරාල්ඩෝ රාමාලෝ අපි එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තහම, ඔහුගේ උදව්වෙන් ඒ ප්‍රදේශයේ හිටිය පූජකයෙකුගේ අත්සන තිබුණ බයිබලයක් ලබාගන්න මට පුළුවන් වුණා. එදා ඉඳලා විරුද්ධත්වයක් එල්ල කරපු ඕනෑම කෙනෙකුට මම පූජකයාගේ අත්සන පෙන්නපු නිසා ඉන් එහාට ඔවුන් ප්‍රශ්න කරන්න ආවේ නැහැ. ටික කලකට පස්සේ ජෙරාල්ඩෝ බව්තීස්ම වුණා.
වර්ෂ 1959දී ට්‍රේස් රිඕස්වල මධ්‍යම පළාතේ චාරිකා එක්රැස්වීම පැවැත්වූ විට මට දැනුණේ අමුතුම ප්‍රීතියක්. ඒ දවස්වලදී බයිබලය පාඩම් කරමින් හිටිය පොලිස් ස්ථානාධිපති මුළු නගරය පුරාම වැඩසටහන ප්‍රචාරය කිරීම සඳහා බැනර් එල්ලෙව්වා. ට්‍රේස් රිඕස්වල අවුරුදු තුනක් සේවය කළාට පස්සේ සැවෝ පවුලෝවලට කිලෝ මීටර් 110ක් විතර බටහිරින් පිහිටි ඉටූවල අලුත් පැවරුමක් භාරගන්න කියලා ආරාධනාවක් ලැබුණා.
රතු, නිල් හා කහ පොත්
සෑහෙන වෙහෙසක් දැරුවට පස්සේ මගේ පුරෝගාමි මිතුරියටයි මටයි නගර අභ්‍යන්තරයේ හිටිය කරුණාවන්ත වැන්දඹුවක් වූ මාරියාගේ නිවසේ නවාතැන් පහසුකම් ලබාගන්න පුළුවන් වුණා. මාරියා අපිට සැලකුවේ ඇගේම දියණියන්ට සලකනවා වගෙයි. ඒත් වැඩි කලක් යන්න මත්තෙන් ඉටූවල රෝමානු කතෝලික බිෂොප්වරයා ඇයව හම්බ වෙන්න ඇවිල්ලා අපිව ඇගේ නිවසේ තියාගන්න එපා කිව්වා. නමුත් ඇය සැලුණේ නැහැ. “මගේ මහත්තයා මැරුණහම මාව සනසන්න ඔබ කිසි දෙයක් කළේ නැහැ. මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් නොවුණත් මේ අය මට උපකාර කරලා තියෙනවා.”
ඒ කාලයේදී, ඉටූවල කතෝලික පූජකයන් “යක්ෂයා පිළිබඳ රතු පොත” කියවීම ඔවුන්ගේ බලප්‍රදේශවල ඉන්න කතෝලිකයන්ට තහනම් කරලා තියෙනවා කියලා එක් ස්ත්‍රියක් අපිට දැනුම් දුන්නා. ඒ පොත අපි ඒ සතිය තුළ ජනයාට ඉදිරිපත් කරපු “දෙවි සැබෑ බව ඔප්පු වේවා!” කියන පොතයි. පූජකයන් රතු පොත “තහනම්” කරලා තිබුණ නිසා අපි නිල් පොත ඉදිරිපත් කරන්න සූදානම් වුණා. (“අලුත් අහසක් සහ අලුත් පොළොවක්”) පස්සේ මේ වෙනස්
කිරීම ගැන පූජකයන්ට ඉව වැටුණ නිසා අපි කහ පොත (මිනිසා වෙනුවෙන් ආගම කුමක් කර ඇද්ද?) (මෙම පොත් සිංහලෙන් නොමැත) යොදාගත්තා. මේ විදිහට දිගින් දිගටම පොත් වෙනස් කළා. විවිධ පාටවලින් පොත් ගණනාවක්ම තිබුණ එක වාසියක් වුණා!ඉටූවල අවුරුද්දක් විතර හිටියට පස්සේ තාවකාලිකව බෙතෙල් නිවසේ වැඩ කරන්න එන්න කියලා මට විදුලි පණිවිඩයක් ලැබුණා. රියෝ ඩි ජැනීරෝහි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එම ශාඛා කාර්යාලයේ එක්රැස්වීම පැවැත්වීමට කටයුතු පිළියෙළ කෙරෙමින් තිබුණා. මම සතුටින් ආරාධනය පිළිගත්තා.
වරප්‍රසාද හා අභියෝග වැඩි වෙමින්
බෙතෙල්හි වැඩවල අඩුවක් නම් තිබුණේ නැහැ. මට හැකි ඕනෑම අයුරකින් උපකාර කරන්න මම සතුටු වුණා. සෑම උදෑසනකම දිනපද සාකච්ඡාවටත්, සඳුදා හැන්දෑ වරුවේ පවුලේ මුරටැඹ පාඩමට සහභාගි වෙන්නත් ලැබුණ එක මොනතරම් භාග්‍යයක්ද! ඔටෝ එස්ටල්මාන් සහ බෙතෙල් පවුලේ වෙනත් පළපුරුදු සාමාජිකයන්ගේ හෘදයාංගම යාච්ඤාවල් මගේ හද පතුලටම කිඳා බැස්සා.
එක්රැස්වීමෙන් පස්සේ ආපහු ඉටූවලට යන්න මම මගේ බඩු ඇහුරුවා. නමුත් මාව පුදුමයට පත් කරවමින් ශාඛා කාර්යාලයේ සේවක ග්‍රාන්ට් මිලර් බෙතෙල් පවුලේ ස්ථිර සාමාජිකයෙකු වෙන්න කියා ආරාධනා කළ ලිපියක් මගේ අතේ තැබුවා. බ්‍රසීලයේ බෙතෙල් නිවසේ සේවය කරනකොට මගේ කාමර මිතුරිය වෙලා හිටිය හෝස යාසෙඩ්ජිආන් තවමත් එහේ සේවය කරනවා. ඒ කාලේදී බෙතෙල් පවුලේ හිටියේ 28දෙනෙක් විතරයි. සුළු සංඛ්‍යාවක් නිසා අපි හැමෝම කිට්ටු මිතුරන් වුණා.
තරුණ පූර්ණ කාලීන දේවසේවකයෙක් වූ ෂෝන් සනාඩි 1964දී පුහුණුවක් ලබන්න බෙතෙල් එකට ආවා. ඊට පස්සේ ඒ කිට්ටුව තියෙන ප්‍රදේශයක චාරිකා සේවකයෙක් නැත්නම් සංචාරක අවේක්ෂකයෙක් හැටියට ඔහුව පත් කළා. ඔහු ඔහුගේ වාර්තා භාර දෙන්න බෙතෙල් එකට ආපු සමහර වෙලාවලදී මට ඔහුව මුණගැහුණා. ශාඛා කාර්යාලයේ සේවක ෂෝන්ට සඳුදා හවස පවුලේ පාඩමට සහභාගි වෙන්න අවසර දුන්න නිසා අපි දෙන්නාට වැඩි කාලයක් එකට ගත කරන්න පුළුවන් වුණා. වර්ෂ 1965 අගෝස්තුවලදී ෂෝන් හා මම විවාහ වුණා. මගේ මහත්තයා එක්ක චාරිකා සේවයේ හවුල් වෙන්න කියලා ලැබුණ ආරාධනය මම සතුටෙන් භාරගත්තා.
ඒ කාලයේදී බ්‍රසීලයේ පිටිසරබද පළාත්වල වැඩ කිරීම අවදානම් සහිතයි. මිනාස් ගෙරායි ප්‍රාන්තයේ ආරාන්නහි ප්‍රචාරකයන් කණ්ඩායමක් බලන්න ගිය අවස්ථා මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපිට සිද්ධ වුණා ඉස්සෙල්ලා කෝච්චියෙන් ටික දුරක් ගිහින් ඉතුරු ටික පයින් යන්න. ඒ යද්දී ඇඳුම් බෑග්, යතුරු ලියනය, ස්ලයිඩ් ප්‍රොජෙක්ටරය, සේවයේදී යොදාගන්න පොත් බෑග් සහ වෙනත් පොත් පත් යන මේ ඔක්කොම උස්සගෙනයි යන්න සිද්ද වුණේ. අපේ බෑග් අරගෙන යන්න උපකාර කරන්න වයසක සහෝදරයෙකු වූ ලෝරිවාල් චාන්ටාල් නිතරම දුම්රියපොළට ඇවිත් ඉන්නවා දැක්කහම ඒක අපිට මොනතරම් සතුටක් වුණාද!
ආරාන්නවල රැස්වීම් පැවැත්තුවේ කුලී නිවසකයි. ඒකෙ පිටිපස්සේ තිබුණ පුංචි කාමරයකයි අපි නිදාගත්තේ. එක පැත්තක කෑම උයාගන්නත්, වතුර උණු කරගන්නත් දර ලිපක් තිබුණා. සහෝදරයන් බාල්දිවලට වතුර ගෙනත් දුන්නා. වැසිකිළිය හැටියට පාවිච්චි කළේ අසල පිහිටි උණගස් යායක් මැද්දේ බිම හාරලා තිබුණ වළයි. චාගාස් රෝගය බෝ කරන කෘමීන්ව හරවලා යවන්න අපි ගෑස් ලාම්පුවක් පත්තු කරලා තිබ්බා. උදේට අපේ නාස් පුඩු දුම නිසා කළු වෙලා තිබුණා. ඒ නම් හරිම අපූරු අද්දැකීමක්!
පාරානා ප්‍රාන්තයේ චාරිකාවක වැඩ කරද්දී, අපිට ආපහු ශාඛා කාර්යාලයෙන් දුඹුරු පාට ලොකු ලියුම් කවරයක් ලැබුණා. මේ වතාවේ යෙහෝවාගේ සංවිධානයෙන් අහලා එවලා තිබුණේ පෘතුගාලයේ සේවය කරන්න කැමතිද කියලයි! මේ පැවරුම භාරගන්න ලූක් 14:28හි ඇති ප්‍රතිපත්තියට අනුව හොඳින් කල්පනා කරලා බලන්න කියලා උපදෙස් දීලා තිබුණා. මොකද එහෙ අපේ ක්‍රිස්තියානි සේවය තහනම් කරලා පෘතුගීසි ආණ්ඩුව ඒ වෙනකොටත් සහෝදරයන් හුඟදෙනෙකුව අත්අඩංගුවට අරගෙන තිබුණා.
කලින්ඒ වගේ පීඩාවලට මූණ දෙන්න සිද්ධ වෙන රටකට අපි ගියාද? “අපේ පෘතුගීසි සහෝදරයන්ට එහෙ ඉඳන් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි” කියලා ෂෝන් කිව්වා. තාත්තා මාව දිරිගන්වන්න කිව්ව වචන මතක් කරගෙන මම එකඟ වුණා. “අපිට ඇරයුම එවලා තියෙන්නේ යෙහෝවා නම් අපි ඒක පිළිගන්න ඕනෙ. ඔහුව විශ්වාස කරන්න ඕනෙ.” වැඩි කල් යන්න කලින් අපි සැවෝ පවුලෝ බෙතෙල් නිවසට ගිය අතර එහිදී අපිට වැඩි දුර උපදෙස් ලැබුණා. ඒ වගේම අපි අපේ ගමනට අවශ්‍ය ලියකියවිලිත් සූදානම් කරගත්තා.
ෂෝන් මාරියා සහ මාරියා ෂෝන්
අපි 1969 සැප්තැම්බර් 6වෙනිදා සැවෝ පවුලෝ ප්‍රාන්තයේ සැන්ටස් වරායෙන් ඉවූජෙනිඕ සී. බෝට්ටුවට නැග්ගා. මුහුදේ දවස් නවයක් ගත කළාට පස්සේ අපි පෘතුගාලයට ආවා. මුලින් අපි ලිස්බන්හි පැරණි දිස්ත්‍රික්ක වන ඇල්ෆාමා සහ මොරාරියහි පටු වීදිවල අද්දැකීම් ලත් සහෝදරයන් එක්ක මාස කීපයක් වැඩ කළා. පහසුවෙන්ම අපිව පොලිසියට කොටු කරගන්න බැරි වෙන විදිහට සුපරීක්ෂාවෙන් ඉන්න ඔවුන් අපිව පුහුණු කළා.
සභා රැස්වීම් පැවැත්තුවේ සාක්ෂිකරුවන්ගේ ගෙවල්වලයි. අසල්වැසියන් සෝදිසියෙන් ඉන්න බව අපි දැනගත්තහම ඉක්මනින්ම රැස්වීම් පවත්වන තැන මාරු කළා. ඒ නිසා ගේ වටලන්නවත් සහෝදරයන්ව අත්අඩංගුවට ගන්නවත් පුළුවන් වුණේ නැහැ. විනෝද ගමන් ලෙස හැඳින්වූ අපේ එක්රැස්වීම් පැවැත්වුණේ ලිස්බන් සීමාවේ තිබුණු මොන්සාන්ටෝ උද්‍යානයේ සහ වෙරළබඩ කැලෑ ප්‍රදේශයක් වූ කොස්ටා ඩ කැපරිකාවලයි. අපි විනෝද ගමනක් යනවා වගේ ඇඳ පැළඳගෙන ගියා. කලින් නියම කරගත්ත ස්ථානවල කණ්ඩායමක් මුර කළා. ඉතින් සැකකටයුතු කෙනෙක් එනවා වගේ දැනුණොත් එක්කෝ ක්‍රීඩාවක් පටන්ගන්න, එහෙමත් නැත්නම් විනෝද ගමනකට ඇවිත් වගේ ඉන්න හෝ ජන ගීයක් ගායනා කරන්න පටන්ගන්න අපිට වෙලාව තිබුණා.
අපි අපේ නියම නම් පාවිච්චි නොකර ආරක්ෂක පොලිසියට අපිව අඳුරගන්න බැරි වෙන විදිහේ ක්‍රමයක් යොදාගත්තා. සහෝදරයන් අපිව දැනගෙන හිටියේ ෂෝන් මාරියා සහ මාරියා ෂෝන් හැටියටයි. ලිපිවල හෝ විස්තර ඇතුළත් වාර්තාවල අපි අපේ නම් සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට අපි එක් එක්කෙනාට නොම්මර දාගත්තා. සහෝදරයන්ගේ ලිපින මතකයේ තබා නොගන්න මම තිර අධිෂ්ඨානයක් ගත්තා. එහෙම හිටිය නිසා මාව අත්අඩංගුවට ගත්තත් අනිත් අයව පාවලා දෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තිබුණා.
මොනතරම් බාධා ආවත්, කොයි මොහොතේ හරි අපේ නිදහස නැති වෙන්න ඉඩ තියෙන බව දැනගෙන හිටිය නිසා ෂෝනුයි මමයි සාක්ෂියක් දෙන්න පුළුවන් හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. අපි අපේ ස්වර්ගික පියා වූ යෙහෝවා මත රඳා ඉන්න ඉගෙනගත්තා. අපේ ආරක්ෂකයා වන ඔහු දේවදූතයන්ව හොඳින් යොදාගත් නිසා අපිට හැඟුණේ ‘අදෘශ්‍යමාන තැනැත්තා දකිනවා’ වගෙයි.—එක අවස්ථාවකදී, පෝටෝවල ගෙයින් ගෙට දේශනා සේවයේ යනකොට එක මනුස්සයෙක් අපිට ඇතුලට එන්න කියලා ඇවිටිලි කළා. මාත් එක්ක වැඩ කරමින් හිටිය සහෝදරි අදිමදි නොකර ආරාධනය පිළිගත්ත නිසා ඇය එක්ක යනවා මිසක් වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. හමුදා නිල ඇඳුමක් ඇඳගෙන හිටිය කෙනෙකුගේ ඡායාරූපයක් කොරිඩෝරයේ තියෙනවා දැක්කහම මගේ ඇඟ සීතල වෙලා ගියා. දැන් මොකද කරන්නේ කියලා හිතුවා. එතකොටම අපිට ආරාධනා කළ තැනැත්තා අපිට ඉඳගන්න කියලා මගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහැව්වා. “ඔබේ පුතාට හමුදාවට බැඳෙන්න කිව්වොත් ඔබ ඉඩඅරිනවාද?” ඒක උපායශීලී විය යුතු අවස්ථාවක්. නිහඬව යාච්ඤා කළාට පස්සේ මම සන්සුන්ව මෙහෙම පිළිතුරු දුන්නා. “මට දරුවෝ නැහැ. මම ඔය වගේ ප්‍රශ්නයක් ඔබෙන් ඇහැව්ව නම් ඔබත් මට ඒ වගේම උත්තරයක් දෙයි කියලා මට විශ්වාසයි.” ඔහු නිහඬ වුණා. ඒ නිසා මම දිගටම කතා කළා. “සහෝදරයෙක් හෝ පියෙක් මියගියා නම් ඔබට මොන වගේ හැඟෙයිද කියලා මම අහන්න කැමතියි. ඒ වගේ ප්‍රශ්නයකට නම් මට උත්තර දෙන්න පුළුවන් මොකද මගේ මල්ලියි, මගේ තාත්තයි දෙන්නම මැරුණා.” මම එහෙම කියනකොට මගේ ඇස් කඳුළින් පිරී ගියා. ඒ විතරක් නෙවෙයි ඔහුත් අඬනවා වගේ මම දැක්කා. ඊට පස්සේ ඔහු ඔහුගේ භාර්යාවත් මෑතකදී මියගියා කියලා විස්තරයක් කිව්වා. මම නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන පැහැදිලි කරද්දී ඔහු උනන්දුවෙන් සවන් දුන්නා. ඊට පස්සේ අපි ආචාරශීලීව සමුගෙන කාරණය යෙහෝවාගේ අතට භාර කරමින් කරදරයක් නැතුව එතනින් පිට වෙලා ගියා.
තහනම තිබුණත් අවංක අයට සත්‍යය පිළිබඳ දැනුමක් ලබාගන්න උපකාරය පිරිනැමුණා. ව්‍යාපාරිකයෙකු වන හොරේෂියෝ එක්ක මගේ මහත්තයා පාඩමක් පටන්ගත්තේ පෝටෝවලදියි. ඔහු ඉක්මනින්ම ආත්මික පැත්තෙන් දියුණු වුණා. ඊට පස්සේ දක්ෂ වෛද්‍යවරයෙකු වූ ඔහුගේ පුතා එමිලියෝත් යෙහෝවා වෙනුවෙන් ඔහුගේ ස්ථාවරය ගෙන බව්තීස්ම වුණා. ඇත්තෙන්ම යෙහෝවාගේ ශුද්ධාත්මය ගලා ඒම නවත්වන්න කිසිවකට හැකියාවක් නැහැ.
“යෙහෝවා මොනවා කරයිද කියලා කවුද දන්නේ?”
වර්ෂ 1973දී ෂෝන්ටයි මටයි බෙල්ජියමේ බ්‍රසල්ස්වල පැවැත්වීමට නියමිත “දිව්‍ය ජයග්‍රහණය” නම් ජාත්‍යන්තර එක්රැස්වීමට සහභාගි වෙන්න කියලා ආරාධනාවක් ලැබුණා. ස්පාඤ්ඤ සහ බෙල්ජියම් සහෝදරයන් දහස්ගණනක් මෙන්ම මොසැම්බික්, ඇන්ගෝලා, කේප්වර්ඩ්, මැඩීරා හා එසෝරස්වලින් නියෝජිතයන්ද ඇවිත් හිටියා. නියූ යෝක්හි මූලස්ථානයෙන් ආව සහෝදර නෝර් ඔහුගේ කතාවේ අවසානයේදී මෙහෙම අවවාද කළා. “යෙහෝවාට විශ්වාසවන්තව දිගටම සේවය කරන්න. යෙහෝවා මොනවා කරයිද කියලා කවුද දන්නේ? සමහරවිට ඊළඟ ජාත්‍යන්තර සමුළුව පෘතුගාලයේම පවත්වන්නත් පුළුවන් වෙයි!”
ඊළඟ අවුරුද්දේදී පෘතුගාලයේ දේශනා සේවයට නීතියෙන් අවසර ලැබුණා. සහෝදර නෝර් කිව්ව දේ ඒ විදිහටම සිද්ධ වුණා. වර්ෂ 1978 අප්‍රියෙල් 25වෙනිදා
අපි ලිස්බන්වල අපේ මුල්ම ජාත්‍යන්තර සමුළුව පැවැත්තුවා. පාඨ ලියා තිබූ පුවරු, සඟරා සහ ප්‍රසිද්ධ කතාවට ආරාධනා පත් රැගෙන සාක්ෂියක් දෙමින් ලිස්බන්හි වීදි පුරා ගමන් කරන්න ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද! ඒක හරියට සිහිනයක් සැබෑ වුණා වගෙයි.අපේ පෘතුගීසි සහෝදරයන්ට අපි වැඩි වැඩියෙන් ප්‍රේම කළා. ඔවුන්ගෙන් හුඟදෙනෙක් ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය රැකගැනීම නිසා හිරේ ඉඳලත් පහරකෑම්වලට ලක් වෙලත් තිබුණා. අපේ ආශාව වුණේ දිගටම පෘතුගාලයේ සේවය කරන්නයි. ඒත්, ඒක එහෙම වුණේ නැහැ. ෂෝන්ට 1982දී දරුණු හෘද රෝගයක් හටගත්තා. ඒ නිසා ශාඛා කාර්යාලයෙන් කිව්වා අපිට ආපහු බ්‍රසීලයට යන්න කියලා.
දුෂ්කර කාලයක්
බ්‍රසීලයේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් හුඟක් උපකාර කළා. අපිට කිව්වා සැවෝ පවුලෝ ප්‍රාන්තයේ ටෝබේටෙහි ක්විරිරිම් සභාවේ සේවය කරන්න කියලා. ෂෝන්ගේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම දුර්වල වුණා. වැඩි කල් නොගොස් ඔහුට ගෙදරටම වෙලා ඉන්න සිද්ධ වුණා. උනන්දුව දැක්වුව අය බයිබලය පාඩම් කරන්න අපේ ගෙදරට ආවා. හැම දවසකම ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් සහ සතිපතා පොත් පාඩම පැවැත්තුවේ අපේ ගෙදරයි. මේ දේවල් අපේ ආත්මිකත්වය පවත්වාගන්න අපිට උපකාර කළා.
ෂෝන් 1985 ඔක්තෝබර් 1වෙනිදා මියයන තුරුම යෙහෝවාගේ සේවය තුළ ඔහුට කළ හැකි දේ දිගටම කළා. මම දුකෙන් කලකිරිලා හිටියත් මගේ පැවරුම දිගටම කරගෙන යන්න මම තීරණයක් අරගෙනයි හිටියේ. වර්ෂ 1986 අප්‍රියෙල්වලදී මගේ ගෙදරට හොරු පැනලා වටිනා කියන හැම දේම අරගෙන ගිය වෙලාවේ මම ආපහු පසුබෑමකට ලක් වුණා. මට තනිකම සහ භය දැනුණ මුල්ම අවස්ථාවයි ඒ. ප්‍රේමනීය යුවළක් මට ආරාධනා කළා ටික දවසකට ඇවිත් ඔවුන් එක්ක ඉන්න කියලා. ඒ ගැන මම හුඟක් ස්තුතිවන්ත වුණා.
ෂෝන්ගේ මරණයයි, හොරු පැනීමයි යෙහෝවාට මං කළ සේවයටත් බලපෑවා. දේවසේවයේ යනකොට කලින් වගේ නිසැකකමක් මට තිබුණේ නැහැ. ප්රශ්නය ගැන ශාඛා කාර්යාලයට ලිව්වට පස්සේ, ආපහු මගේ චිත්තවේගයන් පාලනය කරගන්න මට උපකාර කිරීම සඳහා ටික කාලයක් බෙතෙල් නිවසේ නවතින්න එන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ඒ කාලය තුළ මට මොනතරම් ශක්තියක් ලැබුණද!
මගේ තත්වය ටිකක් හොඳ අතට හැරුණට පස්සේ සැවෝ පවුලෝ ප්‍රාන්තයේ නගරයක් වූ ඉපූආන්වල සේවය කරන්න ලැබුණ පැවරුම පිළිගත්තා. මම දේශනා සේවයෙහි කාර්ය බහුලව හිටියත් සමහර වෙලාවට අධෛර්යයට පත් වුණා. ඒ වගේ අවස්ථාවලදී, මම ක්විරිරිම්වල හිටිය සහෝදරයන්ට දුරකථනයෙන් ඇමතුවහම පවුලක් ආවා ටික දවසකට මාත් එක්ක ඉන්න. එහෙම ආපුවහම ඇත්තෙන්ම ලොකු දිරිගැන්වීමක් ලැබුණා! මම ඉපූආන්වල හිටිය මුල් අවුරුද්දේදී දුරකතර ගෙවාගෙන සහෝදර සහෝදරියන් 38දෙනෙක් මාව බලන්න ආවා.
ෂෝන් මියගිහින් අවුරුදු හයකට පස්සේ, ඒ කියන්නේ 1992දී මට යෙහෝවාගේ සංවිධානයෙන් තවත් ආරාධනාවක් ලැබුණා. මේ අවස්ථාවේදී සැවෝ පවුලෝ ප්‍රාන්තයේ ෆ්රැන්කාවලටයි. තාමත් මම පූර්ණ කාලීන සේවයේ යෙදිලා ඉන්නේ මෙහෙයි. මෙහේ බලප්‍රදේශයේ සේවය කරන එක හුඟක් සාර්ථකයි. වර්ෂ 1994දී මම ආණ්ඩුවේ නිලධාරියෙක් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒ කාලයේදී ඔහු බ්‍රසීල් කොන්ග්‍රසයේ ආසනයකට තරඟ වැදෙමිනුයි හිටියේ. කාර්ය බහුල කාලසටහනක් තිබුණත්, හැම සඳුදාවකම දවල් වරුවේ අපි පාඩම කළා. ඒ වෙලාවේදී බාධාවක් නොවීමට ඔහු දුරකථනය විසන්ධි කර තැබුවා. ඔහු ටිකෙන් ටික දේශපාලනයෙන් ඈත් වෙනවා දැකීමත්, සත්‍යයේ ආධාරයෙන් ඔහුගේ විවාහය ආපහු ගොඩනඟාගන්නවා දැකීමත් මොනතරම් සතුටක්ද! ඔහුත් ඔහුගේ භාර්යාවත් 1998දී බව්තීස්ම වුණා.
මගේ පූර්ණ කාලීන දේවසේවය දිහා හැරිලා බලද්දී ආශීර්වාද සහ වරප්‍රසාද පිරිලා ඉතිරිලා තිබුණා කියලා කියන්න පුළුවන්. යෙහෝවා ඔහුගේ සංවිධානය තුළින් මට ඉදිරිපත් කරපු ආරාධනාවන් පිළිගැනීමෙන් ආශීර්වාද රැසක් ලැබිලා තියෙනවා. ඒ වගේම අනාගතයේදී ලැබෙන ඕනෑම ආරාධනාවක් පිළිගන්න එදා වගේම අදත් මම සූදානම්.
[25වන පිටුවේ පින්තූර]
1957දී මම පූර්ණ කාලීන සේවයට ඇතුල් වුණහම සහ අද
[26වන පිටුවේ පින්තූරය]
1963දී බ්‍රසීලයේ බෙතෙල් පවුල සමඟ
[27වන පිටුවේ පින්තූරය]
1965 අගෝස්තුවලදී අපේ විවාහ මංගල්‍යය
[27වන පිටුවේ පින්තූරය]
සේවය තහනම් කර තිබියදී පෘතුගාලයේ පැවැත්වූ එක්රැස්වීමක්
[28වන පිටුවේ පින්තූරය]
ලිස්බන්හි 1978 “දිව්‍ය ඇදහිල්ල” නම් ජාත්‍යන්තර සමුළුවේදී වීදි සේවයේ යෙදෙමින්