රන් අණ ප්‍රායෝගිකයි
රන් අණ ප්‍රායෝගිකයි
රන් අණ යේසුස්ගේ යහපත් ඉගැන්වීමක් ලෙස බහුතරයක් සලකන නමුදු යේසුස් තම ඉගැන්වීම් පිළිබඳව පැවසුවේ, “මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ [තැනැත්තාගේය]” කියායි.—යොහන් 7:16.
රන් අණ ලෙස සුප්‍රසිද්ධ වූ ඉගැන්වීමත් යේසුස්ගේ අනෙකුත් ඉගැන්වීම්වලත් ප්රභවය වූයේ මැවුම්කරු වන යෙහෝවාය. යේසුස්ව මෙලොවට එවනු ලැබුවේද ඔහු විසිනි.
දෙවිගේ මුල් අරමුණ වූයේ සියලු මනුෂ්‍යවර්ගයා විසින් ඔවුන්ට අන් අය සලකනවාට කැමති කොයි ලෙසද එලෙසින්ම ඔවුනුත් අන් අයටත් සලකනවා දැකීමයි. ඔහු මනුෂ්‍යයාව මැවූ ආකාරයෙන් පෙන්වූයේ අන් අයගේ ශුභසිද්ධිය ගැන තමන් සැලකිල්ල දක්වන බවය. ‘දෙවි තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුවේය. දෙවිගේ ස්වරූපයෙන් ඔහු මැවුවේය. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුවේය.’ (උත්පත්ති 1:27) මෙයින් අදහස් කරන්නේ දෙවි ඔහුගේම ගුණාංග ප්‍රේමනීයව මනුෂ්‍යයාට ලබා දීමෙන් මනුෂ්‍යයාට සමඟියෙන්, සමාදානයෙන් සහ සතුටෙන් පිරි ජීවිතයක් සදාකාලයට භුක්ති විඳිමට හැකි කරවූ බවයි. දෙවි ඔවුන්ට දුන් හෘදය සාක්ෂිය නිසි ලෙස පුහුණු කළ විට, අන් අය තමන්ට සලකනවාට කැමති කොයි ආකාරයටද එලෙසම අන් අයටත් සැලකීමට මඟ පෙන්වීමේ හැකියාව එම හෘදය සාක්ෂියට තිබුණි.
ඉස්මතු වුණේ ආත්මාර්ථකාමීත්වයයි
මනුෂ්‍යයාගේ ආරම්භය යහපත් වූවා නම් තත්වය වෙනස් වූයේ කෙසේද? මෙයට හේතුව ආත්මාර්ථකාමීත්වය නමැති පිළිකුල්සහගත ගුණාංගය ඉස්මතු වීමයි. පළමු මනුෂ්‍ය යුවළගේ ක්‍රියාකලාපය පිළිබඳව බයිබලයේ උත්පත්ති තුන්වන පරිච්ඡේදයෙහි ඇති වාර්තාව බොහෝ මනුෂ්‍යයන්ට නුහුරු දෙයක් නොවෙයි. දෙවිගේ සියලුම ධර්මිෂ්ඨ ප්‍රමිතීන්ට විරුද්ධව ක්‍රියා කළ සාතන්ගේ උසිගැන්වීමට අවනත වූ ආදම් සහ ඒව ආත්මාර්ථකාමී ලෙස ස්වාධීනත්වයට ඇලුම් වී දෙවිගේ පාලනය එපා කළෝය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී සහ කැරලිකාර ක්‍රියාව නිසා ඔවුන්ට පමණක් නොව ඔවුන්ගෙන් පැවත එන සියල්ලන්ටත් දරුණු ප්‍රතිවිපාක අද්දකින්නට සිදු විය. මෙය රන් අණ නොතැකීමෙන් දරුණු ප්‍රතිඵල ඇති වන බවට පැහැදිලි නිදසුනකි. එහි ප්‍රතිඵලය නම් “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල් වුණාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12.
මනුෂ්‍යවර්ගයා යෙහෝවා දෙවිගේ ප්‍රේමනීය මාර්ගයන් ප්‍රතික්ෂේප කළත් ඔහු මනුෂ්‍යයාව අත්හැරියේ නැත. යෙහෝවා ඉශ්රායෙල් ජාතියට මඟ පෙන්වීම සඳහා තම ව්‍යවස්ථාව දීම මෙයට නිදසුනක් ලෙස දැක්විය හැක. තමන්ට සලකනවාට කැමති ලෙසම අන් අයටත් සැලකීමට එමගින් ඔවුන්ට උගන්වනු ලැබීය. දාසයන්ට, පියා නැති පිරිමි ළමුන්ට සහ වැන්දඹුවන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ව්‍යවස්ථාව මගින් ලබා දුන්නේය. එහි අඩන්තේට්ටම් කිරීමට, පැහැරගෙන යෑමට සහ සොරකම වැනි දේවලට යෙදිය යුතු පිළියම්ද සඳහන් කර තිබුණි. සනීපාරක්ෂාව සම්බන්ධ නීති මගින් අන් අයගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමේ අවශ්‍යතාවය පෙන්වන ලදි. ලිංගික කාරණා සම්බන්ධයෙන් පවා නීති පෙන්වා දී තිබුණි. යෙහෝවා තම ව්‍යවස්ථාවේ සාරය මනුෂ්‍යයන්ට පෙන්වා දුන්නේ මෙසේයි. “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරන්න.” මෙය පසු කාලයකදී යේසුස් විසින්ද හුවා දක්වන ලදි. (ලෙවී කථාව 19:18; මතෙව් 22:39, 40) ව්‍යවස්ථාව මගින් ඉශ්රායෙල්වරුන් අතර සිටි විදේශිකයන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳවත් පවසා තිබුණි. ව්‍යවස්ථාවේ මෙසේ අණ කර තිබුණේය. “විදේශියෙකුට පීඩා නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශීව සිටි බැවින් විදේශියාගේ සිත දන්නහුය.” වෙනත් විදිහකින් පවසනවා නම් ඉශ්රායෙල්වරුන් විසින් නැති බැරි අයට සංවේදනාත්මක ලෙස කරුණාව දැක්විය යුතු විය.—නික්මයාම 23:9; ලෙවී කථාව 19:34; ද්විතීය කථාව 10:19.
ඉශ්රායෙල්වරුන් විශ්වාසවන්තව ව්‍යවස්ථාව අනුගමනය කළ තාක් කල් යෙහෝවා එම ජාතියට ආශීර්වාද කළේය. දාවිත්ගේ සහ සාලමොන්ගේ පාලන සමය තුළ ජාතිය සමෘධිමත් වූ අතර සතුට සහ තෘප්තිය අද්දැකීය. ඓතිහාසික වාර්තාවක අපට පවසන්නේ මෙසේයි. “යූදාවරුද ඉශ්‍රායෙල්වරුද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය. ඔව්හු කමින් බොමින් ප්‍රීති වෙමින් පසු වූහ. යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.”—1 රාජාවලිය 4:20, 25.
නමුත් ජාතිය තුළ තිබූ සාමය සහ සුරක්ෂිතභාවය දිගු කල් නොපැවතුණි. දෙවිගේ ව්‍යවස්ථාව ඔවුන්ට තිබුණත් ඔවුන් එය පිළිපැද්දේ නැත. අන් අයගේ ශුභසිද්ධිය ගැන තැකීමට නොහැකි වන සේ ඔවුන් තම ආත්මාර්ථකාමී ස්වභාවය ලියලන්නට ඉඩ දී තිබුණි. එමෙන්ම, ඇදහිල්ල අත්හැරීම නිසා පුද්ගලික වශයෙන් සහ ජාතියක් වශයෙන් දුෂ්කරතා අත් විඳින්න ඔවුන්ට සිදු විය. අවසානයේදී පො. යු. පෙ. 607 යෙරුසලම් නගරය, යූදා රාජධානිය සහ අග්‍රගණයේ දේවමාලිගාව විනාශ කිරීමට බබිලෝනිවරුන්ට යෙහෝවා ඉඩහැරියේය. එසේ කිරීමට හේතුව පිළිබඳව යෙහෝවා මෙසේ පවසයි. “නුඹලා මාගේ වචන නොඇසූ බැවින්, මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයා වූ බබිලෝනියේ රජ වූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශ කොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.” (යෙරෙමියා 25:8, 9) යෙහෝවාට පිරිනමන පරිශුද්ධ නමස්කාරය අත්හැරීම නිසා ගෙවන්නට සිදු වූ වන්දිය කොයිතරම්ද!
අනුගමනය කිරීමට ආදර්ශයක්
යේසුස් ක්‍රිස්තුස් රන් අණ ඉගැන්වූවා පමණක් නොව ඔහුත් එය අනුගමනය කරමින් කදිම ආදර්ශයක් තැබුවේය. ඔහු අන් අයගේ ශුභසිද්ධිය ගැන අව්‍යාජ සැලකිල්ලක් දැක්වීය. (මතෙව් 9:36; 14:14; ලූක් 5:12, 13) එක් අවස්ථාවක නායින් නුවර අසල වැන්දඹු ස්ත්‍රියක් හැඬූ කඳුලින් තම එකම පුතුගේ අවමඟුල් පෙරහැරේ ගමන් කරන ආකාරය යේසුස්ගේ නෙත ගැටිණි. ඒ පිළිබඳ බයිබල් වාර්තා මෙසේ කියවීමට තිබේ. ‘ස්වාමීන් ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාවෙන් පෙලඹුණේය.’ (ලූක් 7:11-15) එක් ශබ්ද කෝෂයක (Vines’s Expository Dictionary of Old and New Testament Words) ‘අනුකම්පාවෙන් පෙලඹුණේය’ යන්න දක්වා තිබෙන්නේ ‘කෙනෙකු තුළ ඇතුළාන්තයෙන්ම ඇති වන පෙලඹීම’ ලෙසයි. ඇගේ හදවතේ තිබුණ වේදනාව ඔහුට දැනුණ අතර ඇගේ වේදනාව තුනී කිරීම සඳහා ඒකාන්ත පියවර ගැනීමට එය ඔහු තුළ පෙලඹීමක් ඇති කළේය. යේසුස් එම තරුණයාව නැවත නැඟිටුවා ‘ඔහුගේ මෑණියන්ට ඔහුව භාර දුන් විට’ එම වැන්දඹුවට මොනතරම් සතුටක් දැනෙන්න ඇද්ද!
අවසානයේදී දෙවිගේ අරමුණට එකඟව මනුෂ්‍යවර්ගයාව පාපයේ සහ මරණයේ වහල්කමින් මුදවාගැනීමට යේසුස් සිය කැමැත්තෙන්ම දුක් විඳ, මිදීමේ මිලයක් ලෙස තම ජීවිතයද පූජා කළේය. රන් අණට අනුව ජීවත් වෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා පෙන්වීමට තිබෙන උතුම්ම ආදර්ශය මෙයයි.—මතෙව් 20:28; යොහන් 15:13; හෙබ්‍රෙව් 4:15.
රන් අණ අදාළ කරගන්නා මනුෂ්‍යයන්
රන් අණට එකඟව ජීවත් වෙන මනුෂ්‍යයන් අපේ කාලයෙත් සිටිනවාද? ඇත්තෙන්ම ඔව්. ඔවුන් එසේ ජීවත් වන්නේ හිතකර වාතාවරණයක් පවතින විට පමණක් නොවෙයි. උදාහරණයකට, දෙවන ලෝක මහා යුධ සමයේදී නාට්සි ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දෙවිට දැක්වූ ඇදහිල්ල සහ අසල්වැසියන් සඳහා වූ ප්‍රේමය පවත්වාගත් අතර රන් අණට එකඟවද කටයුතු කළහ. රජය මගින් සෑම යුදෙව්වෙකුටම වෛර කිරීමේ සහ අයුතු ලෙස සැලකීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ විට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දිගටම රන් අණට එකඟව කටයුතු කළෝය. ගාල් කඳවුරුවල සිටියදී පවා ඔවුහු සෙසු මනුෂ්‍යයන් ගැන සැලකිලිමත් වෙමින් තම ආහාර පාන හාමතින් සිටි යුදෙව්වන් සමඟත් අන් අය සමඟත් එක සමානව බෙදාගත්හ. එපමණක් නොවෙයි, අන් අයව මැරීමට ආයුධ අතට ගන්නයැයි රජය අණ කළ විට පවා ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. එසේ කළේ, වෙනත් කෙනෙකු තමන්ව මරණයට පත් කරනවාට අකමැති සේම ඒ දේ අන් අයටද කිරීමට තිබූ අකමැත්ත නිසයි. ඔවුන් තමන්ට මෙන් ප්‍රේම කළ යුතු වූ අයව මරණයට පත් කරන්නේ මොන හිතකින්ද? ඔවුන් එලෙස කටයුතු කිරීම නිසා බොහෝදෙනෙකුට ගාල් කඳවුරුවලට යන්න සිදු වූවා පමණක් නොව මරණය වැලඳගැනීමටද සිදු විය.—මතෙව් 5:43-48.
යෙසායා 2:2-4හි පුරෝකථනය කර ඇති පරිදි ‘බොහෝ ජනයන්,’ එනම් ලොව වටා මිලියන හයකට වඩා වැඩි පිරිසකට ‘යෙහෝවාගේ මාර්ගත් ඔහුගේ මාවත්වල යෑමටත් උගන්වා තිබේ.’ උපමාලංකාරයෙන් පවසනවා නම් ඔවුන් ‘තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගෙන තිබේ.’ මේ නිසා මෙම කරදරකාරි කාලවලදී පවා ඔවුන්ට සාමය සහ සුරක්ෂිතභාවය සොයාගැනීමට හැකි වී තිබේ.
මෙම ලිපිය කියවීමේදී රන් අණ ක්‍රියාත්මක වන තවත් ආකාරයක් දැකගැනීමට ඔබට හැකි වෙයි. අදදින බොහෝදෙනෙක් බලාපොරොත්තුවක්, උපකාරයක් නොමැතිව සිටින බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට වැටහී තිබේ. එමනිසා, බයිබලයේ තිබෙන බලාපොරොත්තුව සහ ප්‍රායෝගික මඟ පෙන්වීම් අන් අයටත් ඉගෙනීමට උපකාර කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ස්වේච්ඡාවෙන් අවශ්‍ය ඒකාන්ත පියවරගනියි. එය පෙර නොතිබූ පරිමානයකින් ලෝක ව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපනික වැඩසටහනකි. ඇති වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද?ඔබේ තත්වය කුමක්ද?
ඒදන් උයනේදී රන් අණ නොතකා සාතන් නමැති යක්ෂයාගේ උසිගැන්වීමට අවනත වී කැරලි ගැසූ දා සිට මනුෂ්‍යවර්ගයා මුහුණ දුන් දුක් වේදනා ගැන මොහොතකට කල්පනා කර බලන්න. යෙහෝවා ළඟදීම මේ දේවල් යථා තත්වයට පත් කරන්න අරමුණු කරමින් සිටියි. ‘දෙවිගේ පුත්‍රයා ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය.’ (1 යොහන් 3:8) මෙය සිදු වන්නේ දෙවිගේ රාජ්‍යය යටතේදීයි. එනම් රන් අණ ඉගැන්වූ, ඊට එකඟව ජීවත් වූ ඥානවන්ත සහ විශ්වාසවන්ත යේසුස් ක්‍රිස්තුස්ගේ පාලන සමයේදීයි.—ගීතාවලිය 37:9-11; දානියෙල් 2:44, 45ආ.
පුරාණ ඉශ්රායෙලයේ විසූ දාවිත් රජ ප්‍රකාශ කළේ මෙසේයි. “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි. එසේ වී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි. දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියා කරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි.” (ගීතාවලිය 37:25, 26) වර්තමානයේ මනුෂ්‍යයන් බොහෝදෙනෙකු ‘කරුණාවෙන් ක්‍රියා කරමින් ණයට දීමට’ වඩා උදුරාගැනීමටයි මාන බලන්නේ කියා ඔබට සිතෙන්නේ නැද්ද? නමුත් රන් අණට අනුකූලව ජීවත් වූ විට එය සැබෑ සාමයට සහ සුරක්ෂිතභාවයට මඟ පාදන අතර වර්තමානයෙත් අනාගතයේත් දෙවිගේ රාජ්‍යය යටතේදීත් ආශීර්වාද භුක්ති විඳිමටද හැකියාව ලබා දෙයි. දේවරාජ්‍යය ආත්මාර්ථකාමීත්වය සහ දුෂ්ටකම පොළවෙන් තුරන් කර දැන් පවතින මේ ක්රමයේ දූෂිත මිනිස් පාලනය වෙනුවට දෙවි විසින් නිර්මාණය කරන නව ක්‍රමය ස්ථාපිත කරාවි. එවිට සැමෝම රන් අණට එකඟව ජීවත් වීමෙන් සතුට භුක්ති විඳිනු ඇත.—ගීතාවලිය 29:11; 2 පේතෘස් 3:13.
[4, 5වන පිටුවේ පින්තූර]
යේසුස් රන් අණ ඉගැන්වූවා පමණක් නොව එය ක්‍රියාවට නැංවීමෙන් උතුම්ම ආදර්ශය සපයන ලදි
[7වන පිටුවේ පින්තූර]
රන් අණ පිළිපැදීමෙන් සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය භුක්ති විඳිය හැකියි