ලෝ පතළ ඉගැන්වීමක් වන රන් අණ
ලෝ පතළ ඉගැන්වීමක් වන රන් අණ
“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න.”—මතෙව් 7:12, නව අනුවාදය.
තම සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී යේසුස් ක්‍රිස්තුස් මෙම වදන් පවසා දැනට වසර දෙදහසක් පමණ ගත වී තිබේ. එවක් පටන් ගත වූ ශත වර්ෂයන් පුරා එම සරල කියමන සම්බන්ධයෙන් කියූ දෑ සහ ලියූ දෑ බොහෝමයි. නිදසුන් වශයෙන් පවසනවා නම් එය හඳුන්වා තිබෙන්නේ “ලියවිලිවල සාරය,” “ක්‍රිස්තියානියෙකුට තම අසල්වැසියා සම්බන්ධයෙන් ඇති යුතුකම පිළිබඳ දළ අදහසක්” සහ “මූලික ආචාර ධර්මය” ලෙසයි. එතරම් සුප්‍රසිද්ධ එම ඉගැන්වීම බොහෝ අවස්ථාවන්වල රන් අණ ලෙස හඳුන්වා තිබේ.
රන් අණ තුළ ගැබ් වී ඇති අදහස ක්‍රිස්තියානි ලෝකයට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මෙම මූලික ආචාර ධර්මය තුළ ගැබ් වී ඇති සත්‍යය, යුදෙව් ධර්මය තුළත් බෞද්ධ ධර්මය තුළත් ග්‍රීක් දර්ශනවාදය තුළත් වෙනස් මුහුණුවරයන්ගෙන් පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම ආසියාවේ නැඟෙනහිර දෙසින් පිහිටි රටවල වෙසෙන ජනයා ඇතුළු කවුරුත් හොඳින් දන්න එමෙන්ම පඬිවරයෙකු වශයෙන් ප්රාචීනයන් අතර ගෞරවාදරයට පත් කොන්ෆියුෂියස්ගේ ඉගැන්වීම ඉන් එකකි. කොන්ෆියුෂියස්ගේ පොත් හතර නමැති කෘතියේ තුන්වන ග්‍රන්ථය වන දි ඇනලෙක්ට්ස්හි අවස්ථා තුනකදී රන් අණෙහි අදහස ගෙනහැර දක්වා තිබෙන ආකාරය අපට සොයාගැනීමට පුළුවන. මින් අවස්ථාවන් දෙකකදී ශිෂ්‍යයන් නැඟූ ප්‍රශ්නයන්ට පිළිතුරු සපයා ඇති ආකාරය දක්නට තිබේ. එහිදී කොන්ෆියුෂියස් පවසන්නේ මෙසේයි. “ඔබට කරනවාට අකමැති දෙයක් තව කෙනෙකුට කරන්න එපා.” ඔහුගේ ශිෂ්‍යයෙක් වූ සිගෝං “අනිත් අය මට කරනවාට අකමැති දේවල් මම ඒ අයට කරන්නේ නැහැ” කියා ඊට ප්‍රතිචාර දැක්වූ අවස්ථාවේදී ගුරුවරයා ප්‍රතිඋත්තර බැන්දේ මෙසේයි. “ඒත්, ඒක ඔයාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.”
මෙම වදන් කියවන කෙනෙකුට කොන්ෆියුෂියස්ගේ ප්‍රකාශය, පසු කාලයකදී යේසුස් පැවසූ දෙයෙහි නිෂේධාත්මක ප්‍රකාශයක් කියා සිතිය හැක. මන්ද යේසුස් පැවසූ රන් අණෙහි තිබෙන කැපී පෙනෙන වෙනස නම් අන් අයට යහපත කිරීම සඳහා ශුභවාදී ආකල්පයකින් පියවර ගැනීමේ අවශ්‍යතාවය උලුප්පා දක්වා තිබීමයි. ඇත්තෙන්ම යේසුස්ගේ ශුභවාදී ප්‍රකාශය අනුව ජනයා ජීවත් වුණා නම්, ඒ කියන්නේ අන් අය ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ට උපකාර කිරීමට පියවර ගනිමින් සෑම දිනකම ජීවත් වීමට යත්න දැරුවා නම් ලෝකය යහපත් තැනක් වෙයි කියා ඔබ සිතන්නේ නැද්ද? නියත වශයෙන්ම එසේ වනු ඇත.
එම අණ ශුභවාදීව හෝ අශුභවාදීව හෝ මොනයම් ක්‍රමයකට ප්‍රකාශ කළත් නොයෙකුත් වකවානුවල සහ ප්‍රදේශවල ජීවත් වූ විවිධ පසුබිම්වලට අයත් ජනයා රන් අණ නමැති සංකල්පය කෙරෙහි විශ්වාසයක් තැබීය. මෙයින් එක් දෙයක් පැහැදිලි වෙයි. එනම් අද ලෝ පතළ ඉගැන්වීමක් බවට පත් වී තිබෙන යේසුස් කන්ද
උඩ දේශනයෙහි පැවසූ දේ කොයි කාගෙත් ජීවිතවලට බලපෑම් කර ඇති බවයි.ඔබෙන්ම මෙසේ අසන්න. ‘මට ගෞරවාන්විතව, සාධාරණව සහ අවංකව සලකනවාට මම කැමතිද? ජාතිවාදය, අගතිය, අපරාධ සහ යුද්ධ නොමැති ලෝකයක ජීවත් වෙන්න මම කැමතිද? අන් අයගේ හැඟීම් ගැනත් ශුභසිද්ධිය ගැනත් සැලකිලිමත් වන පවුල් කවයක ජීවත් වෙන්න මම කැමතිද?’ ඇත්තටම කවුද මෙවන් දේවල් එපා කියන්නේ? නමුත් සැබෑව නම් මෙවැනි දේවල් භුක්ති විඳින්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. බහුතරයකට එලෙස සිතීමත් උගහටය.
දිස්නය ගිලිහී ගිය රන් අණ
මිනිස් අයිතිවාසිකම් නොතකා කරන ලද අමානුෂික අපරාධ පිළිබඳ වාර්තාවලින් ඉතිහාසය පිරී ඇත. අප්‍රිකාවේ වහල් වෙළඳාම, නාට්සි ඝාතන කඳවුරු, බලහත්කාරයෙන් ළමා ශ්‍රමය සූරා කෑම සහ බොහෝ ස්ථානවල ජාතීන්ව සමූලඝාතනය කර තිබීම පිළිබඳ වාර්තා ඉන් ස්වල්පයකි. මෙම තැතිගන්වන ලැයිස්තුව මීටත් වඩා දික් විය හැකියි.
නවතම ක්‍රම සහ අංග උපාංගවලින් සමන්විත නවීන ලෝකය තුළ තිබෙන්නේ ආත්මාර්ථකාමීත්වයයි. තමන්ට අවාසිදායක තත්වයක් ඇති වන විට හෝ තමන්ගේ අයිතිවාසිකම්වලට තර්ජනයක් එල්ල වන විට අන් අයගේ යහපත ගැන තකන්නේ කීයෙන් කීදෙනාද? (2 තිමෝති 3:1-5) ඇයි මෙපමණ පිරිසක් ආත්මාර්ථකාමී, නපුරු, අනෙකුගේ දුක නොතේරෙන තත්වයට පත් වී තිබෙන්නේ? තවමත් සුප්‍රසිද්ධ රන් අණ අදදිනට වලංගු නැතැයි කියා අහක දැමීම නිසාවෙන්ද? දෙවිව විශ්වාස කරනවා කියා ප්‍රකාශ කරන අයත් මෙසේ කර තිබීම ඇත්තෙන්ම කනගාටුවට කාරණයකි. එක් දෙයක් නම් පැහැදිලියි. එනම් මෙම නැඹුරුවාව දිගින් දිගටම පැවතුණොත් ඉන් සිදු වන්නේ මනුෂ්‍යයන් තව තවත් ආත්මාර්ථකාමීත්වයට ගොදුරු වීමයි.
එමනිසා මෙම වැදගත් ප්‍රශ්න සැලකිල්ලට ගැනීම උචිතය. එනම් රන් අණට එකඟව ජීවත් වෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ අනුව ජීවත් වන අය අද සිටීද? කවදා හෝ සියලු මිනිස්වර්ගයා රන් අණට එකඟව ජීවත් වේවිද? මෙම ප්‍රශ්නවලට අවංක පිළිතුරු ලබාගැනීම සඳහා ඊළඟ ලිපිය කියවන්න.
[3වන පිටුවේ පින්තූරය]
කොන්ෆියුෂියස්ගේ ඉගැන්වීම් සහ අනෙකුත් ඉගැන්වීම් තුළ රන් අණ වෙනස් මුහුණුවරයන්ගෙන් පෙන්වා තිබේ