ශුභාරංචිය ගෙන දෙන ආශීර්වාද
ශුභාරංචිය ගෙන දෙන ආශීර්වා
‘දිළිඳුන්ට [සිතින් මෘදුවූවන්ට, NW] ශුභාරංචිය දේශනා කරන්ට යෙහෝවා මා ආලේප කළේය. බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්නටද ඔහු මා එව්වේය.’—යෙසායා 61:1, 2.
1, 2. (අ) යේසුස් තමන්ව හඳුන්වා දුන්නේ කවුරුන් හැටියටද? ඒ කෙසේද? (ආ) යේසුස් ප්‍රකාශ කළ ශුභාරංචිය මගින් ගෙන දුන් ආශීර්වාද මොනවාද?
යේසුස් දේවසේවය ආරම්භ කළ මුල් කාලයේදී එක් සබත් දවසක නාසරෙත්හි පිහිටි සිනගෝගයක සිටි අවස්ථාවේදී සිදු වූ දෙය ගැන මෙසේ සඳහන් වේ. ‘අනාගතවක්තෘවූ යෙසායාගේ පොත ඔහුට දෙන ලද්දේය. ඔහු පොත දිගහැර, යෙහෝවාගේ ආත්මය මා කෙරෙහිය. මක්නිසාද ශුභාරංචිය දේශනා කරන්ට ඔහු මා ආලේප කළේය කියා ලියා තිබෙන ස්ථානය සොයාගත්තේය.’ අනාවැකිමය වදන්වලින් යුත් එම කොටස දිගටම කියවීමෙන් අනතුරුව, යේසුස් වාඩි වී මෙසේ සඳහන් කළේය. “අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණ වීය.”—ලූක් 4:16-21.
2 යේසුස් ඒ අවස්ථාවේදී තමාව හඳුන්වා දුන්නේ පුරෝකථනය කරන ලද එවැන්ජලිස්තවරයා නොහොත් ශුභාරංචිය පවසන්නා හා සැනසිල්ල ගෙනදෙන්නා ලෙසය. (මතෙව් 4:23) යේසුස් ජනයාට පැවසූ දෙය සැබවින්ම ශුභාරංචියක් විය. යේසුස් ඔහුට සවන් දුන් අයට මෙසේ පැවසුවේය. “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය.” (යොහන් 8:12) ඔහු මෙසේද සඳහන් කළේය. “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය. නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේය.” (යොහන් 8:31, 32) “සදාකාල ජීවනයේ වචන” යේසුස් සතු විය. (යොහන් 6:68, 69) ආලෝකය, ජීවනය හා නිදහස ඉතා අනර්ඝ ලෙස සැලකිය යුතු ආශීර්වාද නොවේද!
3. යේසුස්ගේ ගෝලයන් දේශනා කළ ශුභාරංචිය කුමක්ද?
3 පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසින් පසු ගෝලයෝ යේසුස් දියත් කළ එවැන්ජලිස්ත සේවය ඉදිරියටම ගෙන ගියහ. ඔවුහු ඉශ්රායෙල්වරුන්ට මෙන්ම වෙනත් ජාතීන්ටද ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කළහ. (මතෙව් 24:14; ක්‍රියා 15:7; රෝම 1:16) ශුභාරංචිය පිළිගත් අය යෙහෝවා දෙවිව දැනහඳුනා ගත්හ. ආගමික බැඳීම්වලින් නිදහස ලැබූ ඔවුන් ආත්මික අර්ථයෙන් ‘දෙවිගේ ඉශ්රායෙල්’ කියා හඳුන්වන අලුත් ජාතියක කොටසක් විය. මෙම ජාතියේ සාමාජිකයන්ට තිබෙන අපේක්ෂාව වන්නේ ඔවුන්ගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයෙහි සදහටම පාලනය කිරීමයි. (ගලාති 5:1; 6:16; එපීස 3:5-7; කොලොස්සි 1:4, 5; එළිදරව් 22:5) ඇත්තෙන්ම ඔවුන් ඉදිරියෙහි තිබුණේ මොනතරම් අනර්ඝ ආශීර්වාදද!
අද සිදු කෙරෙන එවැන්ජලිස්ත සේවය
4. ශුභාරංචිය දේශනා කිරීම සඳහා වූ බලපැවරුම අදදින ඉටු කෙරෙන්නේ කෙසේද?
4 අදදින ආලේප ලත් ක්‍රිස්තියානීහු වැඩි වෙමින් පවතින ‘වෙනත් බැටළුවන්ගෙන්’ සමන්විත ‘මහත් සමූහයේ’ සහයෝගයද ඇතුව මුලින්ම යේසුස්ට දෙන ලද, පුරෝකථනය කර තිබූ බලපැවරුම ඉටු කරමින් සිටිති. (එළිදරව් 7:9; යොහන් 10:16) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මින් පෙර සිදු නොවූ පරිමාණයකින් අදදින ශුභාරංචිය දේශනා කරනු ලැබේ. රටවල් හා ප්‍රදේශ 235ක සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ‘දිළිඳුන්ට [සිතින් මෘදුවූවන්ට, NW] ශුභාරංචිය දේශනා කරන්ටද, බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශ කරන්ටද, යෙහෝවාගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවිගේ පළිගැනීමේ දවස ප්‍රකාශ කරන්ටද, වැලපෙන සියල්ලන් සනසවන්ටද’ ඔවුන්ගේ කාලය වැය කර තිබේ. (යෙසායා 61:1, 2) මේ නිසා එවැන්ජලිස්ත සේවය මගින් බොහෝදෙනෙකුට ආශීර්වාද මෙන්ම ‘කොයි පීඩාවක් නමුත් විඳින්නන්ට’ සැබෑ සැනසිල්ලද අඛණ්ඩව ගෙන දෙයි.—2 කොරින්ති 1:3, 4.
5. ශුභාරංචිය දේශනා කිරීම සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවලට වඩා වෙනස් වන්නේ කෙසේද?
5 ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මගින් විවිධ ආකාරවලින් එවැන්ජලිස්ත සේවයට අනුග්‍රහය දක්වන බව සැබෑය. දේශීය ජනයාව තම ආගමට හරවාගැනීම සඳහා බොහෝ පල්ලි මිෂනාරිවරුන්ව විදෙස් රටවලට යවයි. නිදසුනක් වශයෙන් ටැන්සානියාව, දකුණු අප්‍රිකාව, මැඩගස්කරය හා සිම්බාබ්වේ යන රටවල සිටින ඕතඩොක්ස් පල්ලියේ මිෂනාරිවරුන්ගේ ක්‍රියාකාරකම් ගැන එක් සඟරාවක (Orthodox Christian Mission Center Magazine) වාර්තා විය. කෙසේවෙතත්, ක්‍රිස්තියානි ලෝකයේ වෙනත් පල්ලිවල මෙන් ඕතඩොක්ස් පල්ලියේද සාමාජිකයන්ගෙන් බහුතරයක් එම කාර්යයෙහි හවුල් නොවේ. ඔවුන්ට වෙනස්ව යෙහෝවාගේ කැපවූ සාක්ෂිකරුවෝ සියලුදෙනාම එවැන්ජලිස්ත සේවයෙහි හවුල් වීමට වෑයම් කරති. ඔවුන් තේරුම්ගෙන සිටින දෙයක් නම්, සැබෑ ඇදහිල්ලක් තිබෙන බවට එක් සාක්ෂියක් වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වීම බවය. මේ ගැන පාවුල් මෙසේ සඳහන් කළේය. “මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය.” යමෙකුව ක්‍රියාවට පොලඹවන්නේ නැති ඇදහිල්ල මැරී තිබේ.—රෝම 10:10; යාකොබ් 2:17.
සදාකාලික ආශීර්වාද ගෙනෙන ශුභාරංචිය
6. අදදින දේශනා කරනු ලබන ශුභාරංචිය කුමක්ද?
6 යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නේ ජනයාට සවන් දීමට තිබෙන හොඳම ශුභාරංචියයි. මනුෂ්‍යවර්ගයාට දෙවි වෙතට ළඟාවීමේ හා පාපවලට සමාව ලබාගැනීමේ මාර්ගයද සදාකාල ජීවනයේ බලාපොරොත්තුවද විවෘත කර දෙමින් යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළ බව ඔවුහු තමන්ගේ බයිබලය පෙරළා සවන් දීමට කැමති අයට පහදා දෙති. (යොහන් 3:16; 2 කොරින්ති 5:18, 19) අභිෂේක කර තිබෙන රජු වන යේසුස් ක්‍රිස්තුස් යටතේ දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා තිබෙන බවත්, වැඩි කල් නොගොස් එය මිහිතලයෙන් දුෂ්ටකම තුරන් කර දමා පොළොව පාරාදීසයක් බවට පත් කරන බවත් ඔවුහු ප්‍රකාශ කරති. (එළිදරව් 11:15; 21:3, 4) යෙසායා 61වන පරිච්ඡේදයේ ආරම්භක වගන්තිවල සඳහන් අනාවැකියේ ඉටුවීමක් වශයෙන් ශුභාරංචියට සවන් දීමේ ප්‍රස්තාව මිනිසුන්ට විවෘතව තිබෙන ‘යෙහෝවාගේ කරුණාවේ අවුරුද්ද’ තවමත් තිබෙන බව ඔවුහු ජනයාට දැනුම් දෙති. ළඟදීම ‘දෙවිගේ පළිගැනීමේ දවස’ පැමිණෙන බවටද ඔවුහු අනතුරු අඟවති. ඒ කාලයේදී පසුතැවිලි නොවී දිගටම වැරදි කරන අයව යෙහෝවා විනාශ කර දමනු ඇත.—ගීතාවලිය 37:9-11.
7. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එකමුතුකම පෙන්වන අද්දැකීමක් විස්තර කරන්න. ඔවුන් එවන් එකමුතුකමක් භුක්ති විඳින්නේ මන්ද?
7 ඛේදජනක දේවල් බහුලව සිදු වන ලොවක වෙසෙන මිනිසුන්ට සදාකාලික ප්‍රයෝජන ගෙන දෙන එකම ශුභාරංචිය එයයි. මෙය පිළිගන්න අය ජාතික, වාර්ගික හෝ දුප්පත් පොහොසත් භේදවලින් තොර ලෝක ව්‍යාප්ත එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වයක කොටසක් වේ. ඔවුහු ‘එකමුතුකමේ පරිපූර්ණ බැම්මක් වන ප්‍රේමයෙන් සැරසී’ සිටිති. (කොලොස්සි 3:14, NW; යොහන් 15:12) පසුගිය වසරේදී ඔවුන් අතර තිබෙන එකමුතුකම එක් අප්‍රිකානු රටකදී දැකගත හැකි විය. එක් උදෑසනක අගනුවර සිටි ජනයාව අවදි කළේ නගරය පුරා ඇසුණු වෙඩි හඬයි. පවතින ආණ්ඩුව පෙරළා දැමීමේ කැරැල්ලක් දියත් වෙමින් තිබිණ. මෙය වාර්ගික අර්බුදයක් බවට පත් වූ විට වෙනත් වර්ගයකට අයත් පිරිසක්ව ඔවුන්ගේ නිවසේ තබාගැනීම නිසා සාක්ෂිකාර පවුලක් දැඩි විවේචනයට ලක් විය. එම පවුලේ අය මෙසේ පැවසූහ. “අපේ ගෙදර ඉන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විතරයි.” ඔවුන් වැදගත් කොට සැලකුවේ වාර්ගික වෙනස්කම් නොව, උපකාර අවශ්‍ය වූ අයට සැනසිල්ල දෙමින් ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීමයි. එම පවුලේ සාක්ෂිකරුවෙකු නොවන ඥාතියෙක් මෙසේ තම අදහස් පළ කළාය. “හැම ආගමකම අය ඔවුන්ගේ ආගමේ අයව පාවා දුන්නා. එසේ නොකළ එකම පිරිස යෙහෝවාගේ සාක්ෂිකරුවන් විතරයි.” සිවිල් යුද්ධ පවතින රටවලින් වාර්තා වන ඒ හා සමාන අද්දැකීම් ගණනාවකින් පැහැදිලි වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් “මුළු සහෝදර සංගමයට ප්‍රේම කරන” බවයි.—1 පේතෘස් 2:17, NW.
ශුභාරංචිය ජනයාව වෙනස් කරයි
8, 9. (අ) ශුභාරංචිය පිළිගන්න අය සිදු කරන වෙනස්කම් මොනවාද? (ආ) ශුභාරංචිය සතු බලය පැහැදිලි කරන අද්දැකීම් විස්තර කරන්න.
8 ‘දැන් තිබෙන ජීවිතය හා මතු ජීවිතය’ යනුවෙන් ප්‍රේරිත පාවුල් හැඳින්වූ දෙය හා ශුභාරංචිය අතර සම්බන්ධයක් තිබේ. (1 තිමෝති 4:8) ශුභාරංචිය අනාගතය පිළිබඳව මවිතකර හා නිසැක බලාපොරොත්තුවක් ඉදිරිපත් කරනවා පමණක් නොව, “දැන් තිබෙන ජීවිතය” වඩාත් යහපත් කරගැනීමටද උපකාර කරයි. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එක් එක්කෙනා දෙවිගේ කැමැත්තට එකඟව තමන්ගේ ජීවිත ගොඩනඟා ගැනීම සඳහා දෙවිගේ වචනය වන බයිබලයේ මඟ පෙන්වීම්වලට යටත් වෙති. (ගීතාවලිය 119:101) ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකම වැනි ගුණාංග වර්ධනය කරගන්නා විට ඔවුන්ගේ පෞද්ගලිකත්වයන්ද අලුත් වේ.—එපීස 4:24, NW.
9 ෆ්රැන්කෝගේ අද්දැකීම සලකා බලන්න. නිතර කෝපයට පත්වීමේ ගැටලුව ඔහුට තිබිණ. තමා බලාපොරොත්තු වූ ලෙස දේවල් සිදු නොවූ විට ඔහු දරුණු ලෙස කෝපයට පත්ව නිවසේ තිබෙන දේවල් කුඩු කර දැමුවේය. ඔහුගේ භාර්යාව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළ අතර, තමා වෙනස් විය යුතු බව තේරුම්ගැනීමට ඔවුන්ගේ ආදර්ශය ෆ්‍රැන්කෝට ටිකෙන් ටික උපකාරවත් විය. සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත් ඔහු කල් ගතවීමත් සමඟ ශුද්ධාත්මයේ ඵල වන සාමය හා ආත්මදමනය විදහාපෙන්වන්න පටන්ගත්තේය. (ගලාති 5:22, 23) දෙදහස් එක සේවා වසරේදී බෙල්ජියමේ බව්තීස්ම වූ 492දෙනාගෙන් ඔහුද එක් අයෙකි. ආලෙහාන්ඩ්රෝගේ අද්දැකීමද සලකා බලන්න. මෙම යෞවනයා මත් ද්‍රව්‍යවලට මොනතරම් ඇබ්බැහි වී සිටියාද කියනවා නම්, මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට මුදල් සොයාගැනීම සඳහා විකුණන්න පුළුවන් දේවල් සෙවීමට කුණු ගොඩවල් පවා අවුස්සා බලන තත්වයට පත් විය. විසිදෙවන වියේ පසු වූ ඔහුගෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා සාක්ෂිකරුවෝ ඇසුවෝය. ඔහු එයට එකඟ වූයේය. දිනපතාම බයිබලය කියවීමට පටන්ගත් ඔහු ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමටද පටන්ගත්තේය. මොනතරම් ඉක්මනින් ඔහු තම ජීවිතය පවිත්‍ර තත්වයකට පත් කරගත්තාද කියනවා නම්, මාස හයකට වඩා අඩු කාලයකදී එවැන්ජලිස්ත සේවයේ හවුල් වීමට ඔහුට හැකි විය. පසුගිය වසරේ පැනමාහි එවැන්ජලිස්ත සේවයේ හවුල් වූ 10,115දෙනාගෙන් ඔහුද එක් අයෙකි.
ශුභාරංචිය සිතින් මෘදුවූවන්ට ආශීර්වාද ගෙන දෙයි
10. ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන්නේ කවුද? ඔවුන් දේවල් දෙස බලන ආකාරය වෙනස් වන්නේ කෙසේද?
10 සිතින් මෘදුවූවන්ට ශුභාරංචිය දේශනා කරනු ලබන බවට යෙසායා පුරෝකථනය කළේය. සිතින් මෘදුවූවන් වන්නේ කවුද? ඔවුන්ව ක්‍රියා පොතෙහි විස්තර කර ඇත්තේ “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් ඇති” අය ලෙසය. (ක්‍රියා 13:48, NW) සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් වන මොවුහු නිහතමානී අය වන අතර සත්‍යයේ පණිවිඩයට තම හදවත්ද විවෘත කරති. ලෝකයේ කිසිම දෙයකින් ලබාගත නොහැකි උතුම් ආශීර්වාද ලබාගත හැක්කේ දෙවිගේ කැමැත්ත කිරීමෙන් බව ඔවුහු ඉගෙනගනිති. (1 යොහන් 2:15-17) කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවැන්ජලිස්ත සේවය කරද්දී ජනයාගේ හදවත්වලට ළඟා වන්නේ කෙසේද?
11. පාවුල් සඳහන් කළ පරිදි ශුභාරංචිය දේශනා කළ යුත්තේ කෙසේද?
11 ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශය සලකා බලන්න. කොරින්තිවරුන්ට ඔහු මෙසේ ලීවේය. ‘සහෝදරයෙනි, මා නුඹලා වෙතට ආ කල්හි දෙවිගේ රහස නුඹලාට එළිදරව් කරමින් ආවා මිස කථාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔහු [වධ කණුවෙහි, NW] ඇණගසනු ලැබූ බවත් මිස වෙන කිසිවක් නුඹලා අතරෙහි නොදැන සිටින්ට නියම කරගතිමි.’ (1 කොරින්ති 2:1, 2) තමාට සවන් දුන් අයගේ සිත්ගැනීමට ඔහු තම දැන උගත්කම යොදාගැනීමට වෑයම් කළේ නැත. ඔහු ඉගැන්වූයේ දෙවි එළිදරව් කළ සත්‍යයන් මිස වෙන කිසිවක් නොවේ. එම සත්‍යයන් අදදින බයිබල් වාර්තාවෙන් සොයාගත හැක. පාවුල් ඔහු සමඟ එවැන්ජලිස්ත සේවයෙහි හවුල් වූ තිමෝතිට දුන් මෙම දිරිගැන්වීම ගැන සලකා බලන්න. ‘හදිසිතාවේ හැඟීමෙන් යුතුව වචනය දේශනා කරන්න.’ (2 තිමෝති 4:2, NW) තිමෝති දේශනා කළ යුතුව තිබුණේ ‘වචනයයි.’ එනම් දෙවිගේ පණිවිඩයයි. පාවුල් තවදුරටත් තිමෝතිට මෙසේද ලීවේය. “සැබෑවේ වචනය හරි ආකාර පහදා දෙන්නාවූ, ලජ්ජා වෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, [දෙවිට] ඒත්තු වුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහ කරන්න.”—2 තිමෝති 2:15.
12. අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් පාවුල්ගේ වදන් හා ආදර්ශය ක්‍රියාවට නඟන්නේ කෙසේද?
12 යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පාවුල්ගේ ආදර්ශය අනුකරණය කිරීමටද තිමෝතිට ඔහු පැවසූ වදන් ක්‍රියාත්මක කිරීමටද වෑයම් කරති. දෙවිගේ වචනයේ තිබෙන බලය හඳුනාගෙන සිටින ඔවුහු ජනයාට බලාපොරොත්තුව හා සැනසිල්ල ගෙන දීම සඳහා එහි සඳහන් යෝග්‍ය වදන් හොඳින් යොදාගනිති. (ගීතාවලිය 119:52; 2 තිමෝති 3:16; හෙබ්‍රෙව් 4:12) උනන්දුව දක්වන අය විවේකීව සිටින අවස්ථාවලදී බයිබලය ගැන තව තවත් දැනුම ලබාගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන් බයිබලය මත පදනම් පොත් පත් යොදාගන්න බව සැබෑවකි. එහෙත් ඔවුන් සැමවිටම වෑයම් කරන්නේ ශුද්ධ ලියවිල්ලේ තිබෙන වදන් ජනයාට පෙන්වීමටයි. නිහතමානි අයගේ හදවත්වල පෙලඹීමක් ඇති කරන්නේ දෙවිගේ ආනුභාවයෙන් ලිය වී තිබෙන වචන බව ඔවුහු දනිති. මෙයාකාරයෙන් එය භාවිත කිරීමේදී ඔවුන්ගේ ඇදහිල්ලද තව තවත් ශක්තිමත් වේ.
‘වැලපෙන සියල්ලන්ට සැනසිල්ල’
13. වසර 2001දී, වැලපෙන අයට සැනසිල්ල සැපයීමේ මහත් අවශ්‍යතාවක් මතු වූයේ කුමන සිද්ධීන් නිසාද?
13 වසර 2001දී, ලොව පුරා වාර්තා වූ විවිධාකාරයේ ඛේදජනක සිද්ධීන්ගෙන් පැහැදිලි වන්නේ බොහෝදෙනෙකුට සැනසිල්ල අවශ්‍ය බවයි. මෙය මොනතරම් අවශ්‍යද කියා පසුගිය සැප්තැම්බර් මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයේ නියූ යෝක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා වොෂිංටන් ඩී.සී. අසල පිහිටි පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පැහැදිලි වේ. මුළු රටම එයින් දැඩි ලෙස කම්පාවට පත් විය. මෙවන් සිදුවීම් මැද ‘වැලපෙන සියල්ලන්ට සැනසිල්ල’ සැපයීම සඳහා තමන්ට ලැබී තිබෙන පැවරුම ඉටු කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරන්නේ මහත් පරිශ්රමයකි. ඔවුන් මෙය කරන ආකාරය මතු දැක්වෙන අද්දැකීම් කිහිපයෙන් පැහැදිලි වේ.
14, 15. වැලපෙන අයට සැනසිල්ල ගෙන දීම සඳහා සාක්ෂිකරුවන් අවස්ථා දෙකකදී බලපෑමෙන් යුක්තව ශුද්ධ ලියවිලි යොදාගත්තේ කෙසේද?
14 පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියක ලෙස සේවය කරන සහෝදරියක් පදික වේදිකාවක සිටි කාන්තාවක් ළඟට ගොස්, ළඟදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර ගැන ඇය සිතන්නේ කුමක්ද කියා ඇසුවාය. ඒ අවස්ථාවේදී කාන්තාවගේ ඇස්වලින් කඳුළු ගලා ආවේය. ඇය පැවසුවේ තමන්ට සෑහෙන වේදනාවක් දැනුණු බවත් මොනයම් ආකාරයකින් හෝ උපකාර කරන්නට තමන් කැමැත්තෙන් සිටින බවත්ය. අප සෑම කෙනෙකු ගැනම දෙවි සැලකිලිමත් වන බව පවසමින් සාක්ෂිකාරිය යෙසායා 61:1, 2 කියෙව්වාය. සෑම කෙනෙකුම වැලපෙමින් සිටි බවට එකඟ වූ ඒ කාන්තාවට තේරුම්ගියේ දෙවිගේ ආනුභාවයෙන් ලියා තිබෙන එම වදන්වල සත්‍යතාවක් තිබෙන බවය. පත්‍රිකාවක් ලබාගත් ඇය සාක්ෂිකාරියගෙන් ඉල්ලා සිටියේ තම නිවසට පැමිණ තමාව හමු වන්න කියාය.
15 එවැන්ජලිස්ත සේවයේ හවුල් වෙමින් සිටි සාක්ෂිකරුවන් දෙදෙනෙකුට කුඩා මඩුවක වැඩ කරමින් සිටි මිනිසෙකුව හමු විය. මෑතකදී ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සිදු වූ විනාශය සැලකිල්ලට ගනිමින් සැනසිල්ල ගෙන දෙන වචන කිහිපයක් ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වනවාට කැමතිද කියා සාක්ෂිකරුවෝ දෙදෙනා ඔහුගෙන් ඇසූහ. ඔහු කැමැත්ත පළ කළ විට ඔවුන් මෙම වදන් කිහිපයද ඇතුළත් 2 කොරින්ති 1:3-7 දක්වා කියවන්නට විය. ‘ක්‍රිස්තුස් කරණකොටගෙන අපේ සැනසිල්ල අධික වන්නේය.’ තමාගේ අසල්වැසි සාක්ෂිකරුවන් අන් අයට සැනසිල්ල ගෙන දෙන යමක් බෙදාගනිමින් සිටීම ගැන අගය ප්‍රකාශ කළ එම මිනිසා මෙසේ පැවසුවේය. “ඔයාලා කරන මේ යහපත් සේවයට දෙවිගේ ආශීර්වාද ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”
16, 17. විපත්ති නිසා දුකට පත්ව සිටින අයට උපකාර කිරීමට බයිබලය සතු බලය පැහැදිලි කරන අද්දැකීම් දෙක කුමක්ද?
16 උනන්දුව දැක්වූ අයව නැවත හමු වෙන්න යමින් සිටි සාක්ෂිකරුවෙකුට කලින් උනන්දුවක් දැක්වූ ස්ත්‍රියකගේ පුතෙකුව හමු විය. ළඟදී සිදු වූ අනතුරෙන් පසු තමන්ගේ ප්‍රදේශයේ සිටින අයගේ තත්වය ගැන තමන් මහත් සැලකිල්ලෙන් පසු වන බව සාක්ෂිකරුවා ඔහුට පැහැදිලි කළේය. මේ සාක්ෂිකරුවා තමාගේ කාලය වැය කරමින් මිනිසුන්ගේ තත්වය සොයා බලන්න යෑම ගැන ඔහු පුදුමයට පත් විය. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී තමන් වැඩ කරමින් සිටියේ ඒ අසල නිසා මුළු සිද්ධියම තමාගේ ඇස් දෙකින්ම දුටු බව පැවසූ ඔහු, දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියා ඇසුවේය. ඒ අවස්ථාවේදී, සාක්ෂිකරුවා බයිබලය පෙරළා කියවූ වගන්ති කිහිපය අතර ගීතාවලිය 37:39ද විය. එහි මෙසේ සඳහන් වේ. ‘ධර්මිෂ්ඨයන්ගේ ගැළවීම යෙහෝවාගෙන්ය. විපත්ති කාලයේදී ඔහු ඔවුන්ගේ බලකොටුව වන්නේය.’ සාක්ෂිකරුවාගේ හා ඔහුගේ පවුලේ අයගේ සුව දුක් කාරුණිකව විමසූ මේ තැනැත්තා නැවත එන්න කියා ආරාධනා කළ අතර, ඔහුව බලන්න පැමිණීම ගැනද උණුසුම් හැඟීමෙන් යුතුව අගය පළ කළේය.
17 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ගත වූ දින කිහිපයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් සැනසිල්ල ලබා දුන් දහස් ගණන අතර එක්තරා කාන්තාවක්ද විය. සාක්ෂිකරුවන්ට ඇයව හමු වූයේ ඔවුන් අසල්වැසියන්ව බලන්න යමින් සිටියදීය. සිදු වූ දෙය ගැන දැඩි ලෙස ශෝකයට පත්ව සිටි ඇය සාක්ෂිකරුවන් ගීතාවලිය 72:12-14 දක්වා කියවද්දී ඊට සවන් දීගෙන සිටියාය. එහි මෙසේ සඳහන් වේ. “[ඔහු] මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. [ඔහු] දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. [ඔහු] ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය. ඔවුන්ගේ ලේ [ඔහුගේ] ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.” එම වදන් මොනතරම් අර්ථාන්විත වූවාද! නැවත වතාවක් එම වගන්ති කියවන්න කියා ඒ ස්ත්‍රිය සාක්ෂිකරුවන්ගෙන් ඉල්ලා සිටි අතර, තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ගේ ඇතුළට එන්න කියාද ආරාධනා කළාය. සාකච්ඡාව අවසානයේදී බයිබල් පාඩමක් පටන්ගන්නා ලදි.
18. තමන් සමඟ සිටි අය වෙනුවෙන් යාච්ඤා කරන්න කියා සාක්ෂිකරුවෙකුට ආරාධනා කරනු ලැබූ අවස්ථාවේදී ඔහු ඔවුන්ට උපකාර කළේ කෙසේද?
18 එක් සාක්ෂිකරුවෙක් වැඩ කරන්නේ සෑහෙන ධනවත් නගරයක පිහිටි අවන්හලකය. කලින් මේ මිනිසුන් රාජ්‍යයේ ශුභාරංචියට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඔවුන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවක් දක්නට ලැබිණ. සියලුදෙනාටම එළියට ගොස් ඉටි පන්දම් අතේ තබාගෙන විපතට පත් වූ අයව ටික වේලාවක් සිහිපත් කරන්න කියා එහි කළමනාකාරිණිය ප්‍රහාරයෙන් පසු සිකුරාදා සැන්දෑවේ සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටියාය. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ හැඟීම්වලට ගරු කරමින් සාක්ෂිකරුවාද එළියට ගොස් නිහඬව පදික වේදිකාවේ සිටගෙන සිටියේය. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු බව කළමනාකාරිණිය දැන සිටියාය. විපතට පත් වූ අයව සිහි කිරීමෙන් පසු එතැන සිටි සියලුදෙනා වෙනුවෙන් යාච්ඤාවක් කරන්න කියා ඇය සාක්ෂිකරුවාට ආරාධනා කළ විට ඔහු එයට එකඟ විය. බොහෝදෙනෙකු වැලපෙමින් සිටියත් බලාපොරොත්තු සුන් තත්වයකට ඔවුන් පත් විය යුතු නැති බව ඔහු යාච්ඤාවේදී සඳහන් කළේය. එවන් බිහිසුණු සිද්ධීන් තවදුරටත් සිදු නොවන කාලය ගැන සඳහන් කළ ඔහු බයිබලය සපයන නිවැරදි දැනුම ලබාගැනීමෙන් සැනසිල්ලේ දෙවි වෙත සියලුදෙනාටම ළඟා විය හැකි බවද පැවසුවේය. “ආමෙන්” කියා පැවසීමෙන් පසු එළියේ සිටි 60කට වඩා වැඩිදෙනාද කළමනාකාරිණියද සාක්ෂිකරුවා ළඟට පැමිණ, අතට අත දී ඔහුව වැලඳගනිමින් ඔහුට ස්තුති කළ අතර තමා මෙතෙක් අසා තිබෙන හොඳම යාච්ඤාව එය බවද ඇය පැවසුවාය.
සමාජයට ආශීර්වාදයක්
19. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උසස් ප්‍රමිති ඇතැමුන් පිළිගන්න බවට තිබෙන අද්දැකීමක් විස්තර කරන්න.
19 බොහෝදෙනෙකු පවසා තිබෙන පරිදි විශේෂයෙන්ම මේ කාලයේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙසෙන ප්‍රදේශවල සිටින ජනයා ඔවුන්ගේ බැහැදැකීම්වලින් ප්‍රයෝජන ලබති. සාමය හා අවංකකම ඇතුළු යහපත් සාරධර්ම වඩවන්න අත හිත දෙන සෙනඟක් සිටීමෙන් සමාජයට යහපතක් සිදු නොවෙයි කියා සිතිය හැකිද? මධ්‍යම ආසියාවේ රටක වෙසෙන සාක්ෂිකරුවන්ට රජයේ ආරක්ෂක අංශයක සේවය කළ විශ්‍රාම ලත් නිලධාරියෙකුව හමු විය. විවිධ ආගමික සංවිධාන ගැන තොරතුරු සොයා බැලීමට තමාව පත් කර තිබූ බව ඔහු පැවසුවේය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන සොයා බලද්දී ඔවුන්ගේ අවංකකම හා යහපත් හැසිරීම ඔහුගේ සිත්ගත්තේය. නොබිඳිය හැකි ඔවුන්ගේ ඇදහිල්ල හා ඔවුන්ගේ ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ල මත පදනම් කරගැනීම ගැන ඔහු අගය ප්‍රකාශ කළේය. බයිබල් පාඩමක් කිරීමටද මොහු එකඟ විය.
20. (අ) පසුගිය සේවා වසර තුළදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් කළ සේවයෙන් පෙනී යන්නේ කුමක්ද? (ආ) තව බොහෝ දේ කරන්න තිබෙන බව පැහැදිලි වන්නේ කුමකින්ද? එවැන්ජලිස්තවරුන් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය අප සලකන්නේ කෙසේද?
20 අද්දැකීම් දහස් ගණනක් අතරින් මෙම ලිපියේ සඳහන් අද්දැකීම් කිහිපයෙන් පැහැදිලි වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් 2001 සේවා වසර පුරා කාර්ය බහුලව සිටි බවයි. a ඔවුහු මිනිසුන් දශලක්ෂ ගණනක් සමඟ කතා කළ අතර, වැලපෙමින් සිටි බොහෝදෙනෙකුට සැනසිල්ල ගෙන දුන්හ. ඔවුන් කරන එවැන්ජලිස්ත සේවය ජනයාට ආශීර්වාදයක් වී තිබේ. පසුගිය සේවා වසරේදී 2,63,431දෙනෙක් තමන් දෙවිට කැප වී සිටින බව බව්තීස්මයෙන් සංකේතවත් කළහ. ලොව පුරා එවැන්ජලිස්තවරුන්ගේ ගණන සියයට 1.7කින් වැඩි විය. වාර්ෂිකව පවත්වනු ලබන යේසුස්ගේ මරණය සිහි කිරීමට 1,53,74,986දෙනෙක් පැමිණ සිටීමෙන් පෙනෙන්නේ තව මහත් වැඩක් කරන්න තිබෙන බවයි. (1 කොරින්ති 11:23-26) ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දක්වන සිතින් මෘදුවූවන්ව දිගටම සොයමු. යෙහෝවාගේ කරුණාවේ අවුරුද්ද තිබෙන තාක් කල් ‘බිඳුණු සිත් ඇත්තන්ව’ සනසවමු. අපට ලැබී තිබෙන්නේ මොනතරම් ආශීර්වාද ලත් වරප්‍රසාදයක්ද! අප සියලුදෙනාම යෙසායාගේ මෙම වදන් ප්රතිරාවය කරනවාට සැකයක් නැත. “මම [යෙහෝවා] තුළ බොහෝ සේ ප්‍රීති වන්නෙමි, මාගේ ආත්මය මාගේ [දෙවි] තුළ සන්තෝෂ වන්නේය.” (යෙසායා 61:10) අපේ ආශාව වන්නේ යෙසායා පැවසූ මතු දැක්වෙන වදන් ඉටු වන කාලය තෙක් දෙවි අපව දිගටම මේ සේවයේ යොදාගන්නවා දැකීමයි. “පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමි වූ [යෙහෝවා] ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.”—යෙසායා 61:11.
[පාදසටහන]
a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2001 සේවා වසරේ වාර්තාව ගැන සටහනක් 19 සිට 22 දක්වා පිටුවල සඳහන් වේ.
ඔබට මතකද?
• යේසුස් දේශනා කළ ශුභාරංචිය සිතින් මෘදුවූවන්ට ආශීර්වාදයක් වූයේ කෙසේද?
• පළමු සියවසේ සිටි යේසුස්ගේ ගෝලයන් සිදු කළ එවැන්ජලිස්ත සේවයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අය ලැබූ ආශීර්වාද මොනවාද?
• අදදින ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇති අය ආශීර්වාද ලබා තිබෙන්නේ කෙසේද?
• එවැන්ජලිස්තවරුන් ලෙස සේවයේ කිරීමේ වරප්‍රසාදය අප සලකන්නේ කෙසේද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[19-22වන පිටුවේ වගුව]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2001 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව
[15වන පිටුවේ පින්තූර]
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එවැන්ජලිස්තවරුන් ලෙස සේවය කිරීමට වූ තම වගකීම සැමවිටම මතකයේ තබාගනිති
[17වන පිටුවේ පින්තූර]
ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දක්වන අය ලෝක ව්‍යාප්ත එක්සත් සහෝදරත්වයක සාමාජිකයන් බවට පත් වෙති