Skip to content

පටුනට යන්න

දෙවිගේ වචනය උගන්වන්නන් ලෙස සහමුලින්ම සන්නාහ සන්නද්ධව සිටීම

දෙවිගේ වචනය උගන්වන්නන් ලෙස සහමුලින්ම සන්නාහ සන්නද්ධව සිටීම

දෙවිගේ වචනය උගන්වන්නන් ලෙස සහමුලින්ම සන්නාහ සන්නද්ධව සිටීම

“දේවසේවකයන් වශයෙන් අපව පූර්ණ ලෙස සුදුස්සන් කළේ [දෙවිය].”—2 කොරින්ති 3:5, 6, NW.

1, 2. දේශනා කිරීම සඳහා විටින් විට කෙබඳු ආකාරයේ උත්සාහයක් දරනු ලබනවාද? එනමුත් මේවා සාමාන්‍යයෙන් ව්‍යර්ථ වන්නේ ඇයි?

 ඔබට යම් කාර්යයක් පවරනු ලැබුවායයි සිතමු. එම කාර්යය ඉටු කිරීමට අවශ්‍ය සුදුසුකම් ඔබට නැත්නම්, ඔබට හැඟෙන්නේ කොහොමද? මෙසේ සිතා බලන්න: ඔබට අවශ්‍ය ද්‍රව්‍ය හා ආම්පන්න ආදි සෑම දෙයක්ම සපයා තිබෙනවා. ඒ වුණත් කාර්යය ඉටු කරන්නේ කොහොමද කියා ඔබ දන්නේ නැහැ. එම කාර්යයත් හදිස්සියි. එය කරන තෙක් මිනිස්සු බලාගෙන සිටිනවා. මේ වගේ අවස්ථාවක ඔබ කොතරම් අධෛර්යයට පත් වේවිද!

2 මෙය අප සිතින් මවාගත් තත්වයක් නොවෙයි. නිදසුනක් සලකා බලමු. ක්‍රිස්තියානි ලෝකයේ යම් යම් සංවිධාන ගෙයින් ගෙට මෙහෙයක් සංවිධානය කරන්නට උත්සාහ කර තිබෙනවා. කෙසේවෙතත්, සති හෝ මාස කිහිපයක් ඇතුළත මෙවන් උත්සාහයන් ව්‍යර්ථ වෙනවා. ඒ ඇයි? එම කාර්යය ඉටු කිරීමට තම බැතිමතුන්ට අවශ්‍ය සුදුසුකම් ලබා දීමට ක්‍රිස්තියානි ලෝකය උපකාර කර නැති නිසයි. ඔවුන්ගේ පූජකයන් අවුරුදු ගණනාවක් පාසැල්වල සහ සෙමනේරිවල අධ්‍යාපනයක් ලැබුවත්, දේශනා කිරීමේ වැඩයට ඔවුන් පවා සුදුසුකම් ලබා නැහැ. අප එහෙම කියන්නේ ඇයි?

3. දෙවන කොරින්ති 3:5, 6හි තුන් වරක් භාවිත කර ඇත්තේ කවර යෙදුමද? එහි තේරුම කුමක්ද?

3 ශුභාරංචියේ සැබෑ දේශනා කරන්නෙකු වීමට සුදුසුකම් ලබන්නේ කෙසේද කියා දේවවචනය ඉතා පැහැදිලිව විස්තර කරනවා. ප්‍රේරිත පාවුල් දෙවිගේ ආනුභාවය ඇතුව මෙසේ ලිව්වා. “කිසිම දෙයක් උපදවන්න අප තුළ පූර්ණ ලෙස සුදුසුකම් තිබෙනවායයි අප නොසිතිය යුතුය. අප පූර්ණ ලෙස සුදුසුකම් ලබන්නේ දෙවිගෙනි. දේවසේවකයන් වශයෙන් අපව පූර්ණ ලෙස සුදුස්සන් කළේ ඔහුය.” (2 කොරින්ති 3:5, 6, NW) නව ලෝක පරිවර්තනයේ ‘පූර්ණ සුදුසුකම්’ යන යෙදුම තුන් වතාවක්ම භාවිත කර ඇති ආකාරය ඔබ දුටුවාද? ඉන් අදහස් කරන්නේ කුමක්ද? වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් බිබ්ලිකල් වර්ඩ්ස් කියන දේ සලකා බලන්න. එහි මෙසේ කියනවා. “අප්‍රාණවාචි දේවල් ගැන කතා කරන විට [මෙම මුල් ග්‍රීක් වචනයට] ‘ප්‍රමාණවත්’ යන අදහස ඇතත් . . . පුද්ගලයන් ගැන කතා කරන විට, ‘සමර්ථ,’ ‘ඔබින,’ ‘සුදුසු’ යන අදහස ඇත.” එමනිසා කෙනෙක් ‘පූර්ණ සුදුස්සෙක්’ නම්, ඔහු සමර්ථයෙකි. එනම් ඔහු සිටින්නේ භාර දුන් කාර්යය කිරීමට සුදුසු තත්වයකයි. ඔව්, ශුභාරංචියේ සැබෑ දේවසේවකයන් දේශනා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඔවුන්ව දේශනා කිරීමට සමර්ථ, ඔබිනා හෝ සුදුසු අය ලෙස හැඳින්විය හැකියි.

4. (අ) ක්‍රිස්තියානි දේවසේවය සඳහා සුදුසුකම් ලැබීම උගත් අතළොස්සකට සීමා වූ යමක් නොවන බව පාවුල්ගේ ආදර්ශයෙන් පැහැදිලි වන්නේ කෙසේද? (ආ) යෙහෝවා අපව සුදුස්සන් බවට පත් කිරීමට භාවිත කරන මාධ්‍යයන් තුනක් සඳහන් කරන්න.

4 නමුත් ඔවුන්ට එම සමර්ථකම ලැබෙන්නේ කොහෙන්ද? තමන් සතු විශේෂ පෞද්ගලික කුසලතා නිසාද? අන් අයට වඩා බුද්ධිය වැඩි නිසාද? උසස් විද්‍යාලවල විශේෂ අධ්‍යාපනයක් ලැබූ නිසාද? ඇත්තෙන්ම ප්‍රේරිත පාවුල් ඒ හැම අතින්ම සමර්ථව සිටියා. (ක්‍රියා 22:3; පිලිප්පි 3:4, 5) එනමුත් ඔහු යටහත්ව පිළිගත්තේ දේවසේවකයෙකු ලෙස තමා සතු සුදුසුකම් උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි විද්‍යාලවලින් නොව, නමුත් යෙහෝවා දෙවිගෙන් ලද යමක් බවයි. මෙලෙස සුදුසුකම් ලැබෙන්නේ උගත් අතළොස්සකට පමණක්ද? ප්‍රේරිත පාවුල් කොරින්ති සභාවට ලියද්දී “අපව පූර්ණ ලෙස සුදුස්සන්” කිරීම ගැන කතා කළා. තම විශ්වාසවන්ත සේවකයන්ට පවරා ඇති කාර්යය සාර්ථකව ඉටු කිරීමට හැකි වන පරිද්දෙන් ඔවුන් සියලුදෙනාවම සමර්ථ තත්වයකට පත් කරන්න යෙහෝවා වගබලා ගන්නා බව ඉන් පැහැදිලි වෙයි. යෙහෝවා අදදින සැබෑ ක්‍රිස්තියානීන්ව සුදුස්සන් බවට පත් කරන්නේ කෙසේද? ඒ සඳහා ඔහු භාවිත කරන මාධ්‍යයන් තුනක් දැන් සාකච්ඡා කරමු. (1) ඔහුගේ වචනය, (2) ඔහුගේ ශුද්ධාත්මය සහ (3) ඔහුගේ භූමික සංවිධානය.

යෙහෝවාගේ වචනය අපව සුදුස්සන් කරයි

5, 6. ශුද්ධ ලියවිල්ල සැබෑ ක්‍රිස්තියානීන් කෙරෙහි කිනම් බලපෑමක් ඇති කර තිබේද?

5 මුලින්ම, දේවසේවකයන් ලෙස සුදුසුකම් ලබාගැනීමට දෙවිගේ වචනය අපට උපකාර කරන්නේ කෙසේද කියා බලමු. පාවුල් ලීවේ මෙසේයි. “දෙවිගේ මනුෂ්‍යයා සම්පූර්ණව [පූර්ණ සමර්ථකමක් ඇතුව, NW], සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින [සහමුලින්ම සන්නාහ සන්නද්ධව සිටින, NW] පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) ඉතින්, ජනයාට දේවවචනය ගැන ඉගැන්වීමේ ‘යහපත් ක්‍රියාවට’ ‘පූර්ණ සමර්ථකමක් ඇතුව, සහමුලින්ම සන්නාහ සන්නද්ධව සිටීම’ සඳහා අපට උපකාර කරන්න ශුද්ධ ලියවිල්ලට පුළුවන්. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල සියලුම බැතිමතුන් ගැන කියන්න පුළුවන් මොනවාද? ඔවුන් ළඟත් බයිබලය තිබෙනවා නොවේද? තිබෙන්නේ එකම පොත නම් එක් සෙනඟක් සමර්ථ දේවසේවකයන් වන්නෙත් තවත් අය එසේ නොවන්නෙත් කොහොමද? මීට පිළිතුර රඳා පවතින්නේ කෙනෙකු බයිබලය කෙරෙහි දක්වන ආකල්පය මතයි.

6 කනගාටුවට කරුණක් වන්නේ අදදින පල්ලි යන වැඩිදෙනෙකු බයිබලයේ පණිවිඩය ‘ඇත්තෙන්ම දෙවිගේ වචනය’ ලෙස පිළි නොගැනීමයි. (1 තෙසලෝනික 2:13) මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකය තබා තිබෙන වාර්තාව ඇත්ත වශයෙන්ම ලජ්ජාසහගතයි. දේවධර්මය උගන්වන විශේෂ ශාස්ත්‍රාලවල අවුරුදු කිහිපයක් ඉගෙනගැනීමෙන් පසුවවත්, දෙවිගේ වචනය උගන්වන්නන් වීමට පූජක පක්ෂය සන්නාහ සන්නද්ධව සිටිනවාද? ඇත්තෙන්ම නැහැ. ඇතැම් ශිෂ්‍යයන් සෙමනේරිවලට ඇතුල් වන්නේ බයිබලය අදහන අය ලෙසයි. ඒ වුණත් සෙමනේරිවලින් උපාධි ලබා පිට වී යන්නේ ඒ ගැන සැක ඇත්තන් ලෙසයි. දේවවචනය දේශනා කරනවා වෙනුවට ඔවුන් සිය දේවමෙහෙය වෙනත් අභිමතාර්ථයන් ඉටු කරගැනීම සඳහා යොදාගන්නවා. එමනිසා, දේශපාලනික මතභේදවලදී පැති ගැනීමට, සමාජවාදී “ශුභාරංචියක්” දේශනා කිරීමට නැතහොත් තම දේශනාවලදී ලෞකික දර්ශනවාදි අදහස් හුවා දැක්වීමට ඔවුන් නැඹුරු වෙනවා. ඔව්, වැඩිදෙනා තවදුරටත් දේවවචනය මුළු හදින්ම විශ්වාස කරන්නේ නැහැ. (2 තිමෝති 4:3) මීට වෙනස්ව, අව්‍යාජ ක්‍රිස්තියානීන් යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කරනවා.

7, 8. දේවවචනය සම්බන්ධයෙන් යේසුස්ට තිබූ ආකල්පය ඔහුගේ කාලයේ විසූ ආගමික නායකයන්ගේ ආකල්පයට වඩා වෙනස් වූයේ කෙසේද?

7 යේසුස් එවකට සිටි ආගමික නායකයන්ගේ අදහස්වලින් තමාගේ සිතුවිලි පාලනය වීමට ඉඩ දුන්නේ නැහැ. තම ප්‍රේරිතයන් වැනි කුඩා කණ්ඩායමකට හෝ විශාල සමූහයකට හෝ උගන්වද්දී යේසුස් ශුද්ධ ලියවිලි හොඳින් භාවිත කළා. (මතෙව් 13:10-17; 15:1-11) ඔහුගේ මෙම පුරුද්ද නිසා, එවකට සිටි ආගමික නායකයන් සහ යේසුස් අතර කැපීපෙනෙන වෙනසක් දක්නට ලැබුණා. ඒ ආගමික නායකයන් දෙවිගේ ගැඹුරු දේවල් අධ්‍යයනය නොකරන ලෙසට පොදු ජනයාව ප්‍රබල ලෙස අධෛර්යය කළා. ඇත්තෙන්ම ඒ කාලයේ ගුරුවරුන් කියා සිටියේ ඇතැම් ශුද්ධ ලියවිලි පද ඉතා ගැඹුරු බවයි. ඒ කොතරම්ද කිවහොත්, තමාගේ කිට්ටුම ශිෂ්‍යයා සමඟ හැර වෙනත් අය සමඟ ඒවා සාකච්ඡා නොකළ යුතුයි යන්න ඔවුන්ගේ මතය වුණා. එහෙම සාකච්ඡා කරද්දී පවා එය කළ යුතුව තිබුණේ කටහඬේ ස්වරය අඩු කර, හිස වසාගෙනයි. ඒ ආගමික නායකයන් දෙවිගේ නාමය ශබ්ද නඟා කීම අසුබයි කියා සිතුවාක් මෙන්ම, බයිබලයේ ඇතැම් වගන්ති සාකච්ඡා කිරීමත් අසුබයි කියා සිතූ බව පෙනී යනවා!

8 යේසුස් එවැනි අදහස් දැරුවේ නැහැ. ‘යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින්’ පෝෂණය ලැබිය යුත්තේ ඉහළ තනතුරු දැරූ අතළොස්සක් පමණක් නොව, පොදුවේ සෑම කෙනෙකුම එය ලැබිය යුතු බව ඔහු විශ්වාස කළා. නිවැරදි දැනුම පිළිබඳ අවබෝධයක් ඉහළ පෙළේ බයිබල් විශාරදයන් කිහිපදෙනෙකුට පමණක් හෙළි කිරීම යේසුස්ගේ අදහස වූයේ නැහැ. ඔහු තම ගෝලයන්ට කිව්වේ “මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශ කරන්න” කියායි. (මතෙව් 4:4; 10:27) දෙවි පිළිබඳ දැනුම හැකි සෑම කෙනෙකු සමඟම බෙදාගන්න යේසුස්ට දැවෙන ආශාවක් තිබුණා.

9. සැබෑ ක්‍රිස්තියානීන් බයිබලය භාවිත කරන්නේ කෙලෙසද?

9 අපගේ ඉගැන්වීම් දෙවිගේ වචනය වටා කේන්ද්‍රගත විය යුතුයි. නිදසුනකට රාජ්‍ය ශාලාවේ කතාවක් දෙන විට, නිකම්ම බයිබලයෙන් පද කිහිපයක් කියවීම පමණක් සෑහෙන්නේ නැහැ. ශුද්ධ ලියවිලි පැහැදිලි කිරීමට සහ නිදර්ශනයක් යොදාගැනීමට මෙන්ම අවට පාඨ ආශ්‍රිතයෙන් අමතර විස්තරයක් සපයමින් එය අදාළ කිරීමට අප කාලය ගත යුතුයි. අපගේ ඉලක්කය වන්නේ මුද්‍රිත පිටුවල සඳහන් බයිබලයේ පණිවිඩය ඉන් ‘ගළවා’ අපට සවන් දෙන අයගේ හදවත් තුළට දැමීමයි. (නෙහෙමියා 8:8, 12) එමෙන්ම, උපදෙස් දීමට හෝ යම් නිවැරදි කරවන හික්මවීමක් දීමට සිදු වන විටද, බයිබලය භාවිත කළ යුතුයි. ඇත්තෙන්ම යෙහෝවාගේ ජනයා විවිධ භාෂාවන් කතා කළත්, විවිධ පසුබිම්වලින් පැමිණියත් ඔවුන් සියලුදෙනාම උතුම්ම පොත වන බයිබලයට ගරු කරනවා.

10. බයිබලයේ දේවානුභාවය ලත් පණිවිඩය අප කෙරෙහි කෙලෙස බලපෑ හැකිද?

10 දෙවිගේ වචනය මෙලෙස ගෞරවනීයව භාවිත කරන විට, එහි පණිවිඩය බලවත් වෙයි. (හෙබ්‍රෙව් 4:12) එහි සඳහන් පණිවිඩය පුද්ගලයන්ගේ ජීවිත තුළ ප්‍රබල වෙනස්කම් කිරීමට ඔවුන්ව පොලඹවනවා. උදාහරණයකට වේශ්‍යාකම, පරදාර සේවනය, රූප වන්දනාව, බේබදුකම සහ සොරකම වැනි ශුද්ධ ලියවිල්ලට පටහැනි පුරුදු අත්හැර දැමීමට ඇතැම් අය පෙලඹී තිබෙන්නේ දේවවචනයෙහි ඇති එම බලය නිසයි. එහි බලයෙන් මහත් ලෙස පෙලඹී පරණ පෞද්ගලිකත්වය පහ කර දමා අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට බොහෝදෙනා පියවර ගෙන තිබෙනවා. (එපීස 4:20-24) අපි ඕනෑම මිනිස් මතයකට හෝ සම්ප්‍රදායකට වඩා බයිබලයට ගෞරවය කරමින්, එය විශ්වාසවන්තව භාවිත කරනවා නම්, දෙවිගේ වචනය උගන්වන්නන් වශයෙන් සමර්ථව, සහමුලින්ම සන්නාහ සන්නද්ධව සිටීමට අපට උපකාර කරන්න එයට පුළුවන්.

යෙහෝවාගේ ආත්මය අපව සුදුස්සන් කරයි

11. යෙහෝවාගේ ශුද්ධාත්මයට “උපකාරකයා” යන නම තැබීම යෝග්‍ය වන්නේ ඇයි?

11 දෙවනුව, අපව සහමුලින්ම සන්නාහ සන්නද්ධ කිරීමට යෙහෝවාගේ ශුද්ධාත්මය නැතහොත් ක්‍රියාකාරක බලය දායක වන අන්දම සාකච්ඡා කරමු. මුළු විශ්වයේම තිබෙන ප්‍රබලතම බලය යෙහෝවාගේ ආත්මය බව අප කිසිදාක අමතක නොකළ යුතුයි. සියලුම ක්‍රිස්තියානීන් වෙනුවෙන් එම සුවිශේෂ බලය භාවිත කිරීමට යෙහෝවා තම ප්‍රේමනීය පුත්‍රයාට අවසර දී තිබෙනවා. එසේ නම් යේසුස් ශුද්ධාත්මය “උපකාරකයා” ලෙස හඳුන්වා ඇත්තේ හොඳ හේතු ඇතුවයි! (යොහන් 16:7, NW) ඇත්තෙන්ම යෙහෝවාගෙන් ශුද්ධාත්මය ඉල්ලන්න කියා යේසුස් තම අනුගාමිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. ඔහු ඒත් සමඟම පොරොන්දු වුණේ යෙහෝවා එය නොමසුරුව සපයන බවටයි.—ලූක් 11:10-13; යාකොබ් 1:17.

12, 13. (අ) අපගේ සේවයේදී අපට උපකාර කිරීම සඳහා ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කිරීම වැදගත් වන්නේ ඇයි? (ආ) ශුද්ධාත්මය තමන් තුළ ක්‍රියාත්මක නොවූ බව ඵරිසිවරුන් පෙන්නුවේ කෙසේද?

12 විශේෂයෙන් අපගේ සේවය හොඳින් ඉටු කිරීමට, අප දිනපතා ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කළ යුතුයි. එම ක්‍රියාකාරක බලය අප කෙරෙහි බලපෑ හැක්කේ කෙසේද? එය අපගේ මනස සහ හදවත තුළ ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නා විට, අවශ්‍ය වෙනස්කම් කිරීමට, ආත්මික වර්ධනයක් ලැබීමට සහ පරණ පෞද්ගලිකත්වය වෙනුවට අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමට එය අපට උපකාර කරන්නට පුළුවන්. (කොලොස්සි 3:9, 10) එමෙන්ම ක්‍රිස්තුස්ගේ අනර්ඝ ගුණාංග අපගේ චරිතය තුළින් ප්‍රවර්ධනය කරන්නත් එය උපකාර වෙනවා. අපෙන් බොහෝදෙනෙකුට කටපාඩමෙන් ගලාති 5:22, 23හි සඳහන් දේ කිව හැකියි. එම පදවල දෙවිගේ ශුද්ධාත්මයේ ඵලවල ලැයිස්තුවක් තිබෙනවා. එයින් මුල්ම ඵලය වන්නේ ප්‍රේමයයි. එම ගුණාංගය අපගේ සේවය සඳහා අත්‍යවශ්‍යයි. ඒ ඇයි?

13 ප්‍රේමයට පුදුමාකාර පෙලඹවීමේ හැකියාවක් තිබෙනවා. ශුභාරංචිය බෙදාගැනීමට සැබෑ ක්‍රිස්තියානීන්ව පොලඹවන්නේ යෙහෝවා සහ අසල්වාසීන් උදෙසා ඔවුන්ට ඇති ප්‍රේමයයි. (මාර්ක් 12:28-31) එමනිසා, අපට එවැනි ප්‍රේමයක් නැත්නම්, දෙවිගේ වචනය උගන්වන්නන් වශයෙන් අප ඇත්තටම සුදුසුකම් ලබයි කියා කියන්න බැහැ. මෙය පැහැදිලිව දැකගැනීම සඳහා යේසුස් සහ ඵරිසිවරුන් අතර තිබුණු වෙනස සලකා බලන්න. යේසුස් සම්බන්ධයෙන් මතෙව් 9:36හි මෙසේ සඳහන් වෙනවා. ‘ඔහු සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළේය.’ ඵරිසිවරුන් පොදු ජනයා ගැන දැරුවේ කවර ආකල්පයක්ද? ඔවුන් මෙසේ පැවසුවා. “ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාප ලද්දෝය.” (යොහන් 7:49, අකුරු ඇල කළේ අපය.) මින් පැහැදිලි වන්නේ ඒ ඵරිසිවරුන්ට ජනතාව කෙරෙහි කිසිම ප්‍රේමයක් තිබුණේ නැති බවයි. ඒ වෙනුවට ඔවුන් කළේ ජනතාවට අවමන් කිරීම විතරයි. ඒ විතරක් නොවෙයි, යෙහෝවාගේ ශුද්ධාත්මය ඔවුන් තුළ නොතිබුණු බවත් පැහැදිලියි.

14. තම දේවසේවයේදී ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය අපව පෙලඹවිය යුත්තේ කෙසේද?

14 යේසුස්ට ජනයා ගැන සැබෑ කැක්කුමක් තිබුණා. ඔවුන් විඳි වේදනා ඔහුටද දැනුණා. ඔහු හොඳින් දැන සිටියේ ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි බවයි. යොහන් 2:24හි කියන විදිහට යේසුස් ‘මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්දැයි දැන’ සිටියා. මනුෂ්‍යයන්ව මවද්දී යේසුස් යෙහෝවාගේ ප්‍රධාන කර්මාන්තකාරයා ලෙස සේවය කළ නිසා, මිනිස් ස්වභාවය ගැන ගැඹුරු අවබෝධයක් ඔහුට තිබුණා. (හිතෝපදේශ 8:30, 31) එම අවබෝධය නිසා ඔහුගේ ප්‍රේමය තවත් ගැඹුරු වුණා. දේශනා කිරීමේ හවුල් වීමට අපව සැමදා පෙලඹවීමට එවන් ප්‍රේමයකට ඉඩහරිමු. මේ සම්බන්ධයෙන් දියුණු වන්න පුළුවන් කියා අපට හැඟෙනවා නම්, යෙහෝවාගේ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කර, අපගේ යාච්ඤාවලට එකඟව කටයුතු කිරීමට උත්සාහ කරමු. යෙහෝවා අපගේ එවැනි යාච්ඤාවලට නියත වශයෙන්ම පිළිතුරු දේවි. ඔහු තම ප්‍රබල බලය අප වෙත එවමින්, ශුභාරංචිය දේශනා කිරීමට ඉහළම සුදුසුකම් ලැබූ ක්‍රිස්තුස් හා සමාන වීමට අපට උපකාර කරාවි.

15. යෙසායා 61:1-3හි වදන් යේසුස්ට අදාළ වුණේ කොහොමද? ඒත් සමඟම ලියන්නන් සහ ඵරිසිවරුන්ගේ කුහකකම එමගින් හෙළි වූයේ කෙසේද?

15 යේසුස් කළ දේ කරන්නට ඔහු සුදුසුකම් ලැබුවේ කොහෙන්ද? ඔහු පැවසුවේ ‘යෙහෝවාගේ ආත්මය මා කෙරෙහිය’ කියායි. (ලූක් 4:17-21) මින් පැහැදිලි වන්නේ යෙහෝවා යේසුස්ව ශුද්ධාත්මයෙන් පත් කළ බවයි. එමනිසා, යේසුස්ට කිසිම මනුෂ්‍යයෙකුගෙන් අමතර සුදුසුකම් ලබන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. එවකට සිටි ආගමික නායකයන්ව ශුද්ධාත්මයෙන් පත් කර තිබුණාද? නැහැ. යෙසායා 61:1-3හි සඳහන් අනාවැකිය ඉටු කිරීමටවත් ඔවුන් සන්නාහ සන්නද්ධව සිටියේ නැහැ. ඒ කුහක ලියන්නන් සහ ඵරිසිවරුන්ට සුදුසුකම් නොතිබුණු බව සනාථ කරගැනීමට කරුණාකර එම පද කියවා සෝදිසි කර බලන්න. දිළිඳුන්ට දේශනා කරන්න තරම් ශුභාරංචියක් ඔවුන්ට තිබුණේ නැහැ. අනික, වහලුන්ට මිදීමක් සහ අන්ධයන්ට පෙනීමක් ගැන ඔවුන් දේශනා කරන්නේ කොහොමද? ආත්මික අර්ථයකින් ඔවුන්ද සිටියේ අන්ධ තත්වයකයි. ඔවුන් සිටියේ මිනිසුන්ගේ සම්ප්‍රදායන්වලට වහල් වෙලයි. කොහොම වුණත්, ඔවුන්ට වෙනස්ව ජනයාට උගන්වන්න අපට සුදුසුකම් ඇද්ද?

16. දේවසේවකයන් ලෙස තම සුදුසුකම් සම්බන්ධයෙන් යෙහෝවාගේ සෙනඟට ඇත්තේ කවර නිසැකකමක්ද?

16 අපි ක්‍රිස්තියානි ලෝකයේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනයක් ලබා නැති බව ඇත්තයි. සෙමනේරියකින් අපව ගුරුවරුන් වශයෙන් පත් කර නැහැ. එයින් අදහස් කරන්නේ අපට සුදුසුකම් නැති බවද? නැහැ, අපිට සුදුසුකම් තිබෙනවා! මන්ද යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස අපගේ පත්වීම ලැබී තිබෙන්නේ යෙහෝවාගෙනුයි. (යෙසායා 43:10-12) අප යෙහෝවාගේ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කර, එයට එකඟව වැඩ කරනවා නම්, ලැබිය හැකි උසස්ම සුදුසුකම් අප සතු වෙනවා. අප අසම්පූර්ණ නිසා උතුම් ගුරුවරයා වූ යේසුස් ක්‍රිස්තුස් තැබූ ආදර්ශය සියයට සියයක්ම අනුගමනය කරන්න අපට පුළුවන්කමක් නැහැ. කෙසේවෙතත්, අපව සුදුස්සන් කරන්නත්, ඔහුගේ වචනය උගන්වන්නන් ලෙස අපව සන්නාහ සන්නද්ධ කරන්නත්, යෙහෝවා තමාගේ ශුද්ධාත්මය අපට ලබා දීම ගැන අප කෘතඥපූර්වක වන්නේ නැද්ද?

යෙහෝවාගේ සංවිධානය අපව සුදුස්සන් කරයි

17-19. යෙහෝවාගේ සංවිධානය මගින් සපයන සතිපතා රැස්වීම් පහ දේවසේවකයන් ලෙස සුදුසුකම් ලැබීමට අපට උපකාර කරන්නේ කෙසේද?

17 දෙවිගේ වචනය උගන්වන්නන් ලෙස යෙහෝවා අපව සන්නාහ සන්නද්ධ කරවීමට භාවිත කරන තුන්වන මාධ්‍යය දැන් සාකච්ඡා කරමු. ඒ ඔහුගේ භූමික සභාව නොහොත් සංවිධානයයි. එම සංවිධානය දේවසේවකයන් වීමට අපට පුහුණුවක් ලබා දෙනවා. ඒ කෙසේද? අප භුක්ති විඳින අධ්‍යාපනික වැඩසටහන ගැන මඳකට සිතා බලන්න. සාමාන්‍යයෙන් සතියකට අපට සහභාගි වීම සඳහා ක්‍රිස්තියානි රැස්වීම් පහක් තිබෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) සභා පොත් පාඩමේදී කුඩා කණ්ඩායමක් ලෙස අප එක්රැස් වී, යෙහෝවාගේ සංවිධානය මාර්ගයෙන් සපයා ඇති අත්පොතක් තුළින් බයිබලය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක නිරත වෙනවා. එහිදී සවන් දීමෙන් හා අදහස් දැක්වීමෙන් එකිනෙකාගෙන් ඉගෙනගත හැකි අතර, එය අන්‍යොන්‍ය දිරිගැන්වීමකටද හේතු වෙනවා. පොත් පාඩම් අවේක්ෂකයාගෙන්ද අපට පෞද්ගලික උපදෙස් සහ අවධානය ලැබෙනවා. ප්‍රසිද්ධ කථාවේදී සහ මුරටැඹ පාඩමේදීද අපට තවත් අනගි ආත්මික ආහාර බහුලව ලැබෙනවා.

18 අපගේ දිව්‍යාණ්ඩු සේවා පාසැල සැලසුම් කර තිබෙන්නේ ඉගැන්විය යුතු ආකාරය ගැන අපව දැනුවත් කිරීමටයි. ශිෂ්‍ය කතාවලට සූදානම් වීමෙන් විවිධ විෂයන් ගැන ඉගැන්වීමට දේවවචනය භාවිත කරන ආකාරය අපි ඉගෙනගන්නවා. (1 පේතෘස් 3:15) සමහරවිට ඔබට පවරා ඇති කතාවේ විෂය ඔබට හුරු පුරුදු එකක් විය හැකියි. කෙසේ නමුත්, එයට සූදානම් වූවායින් පසු එම විෂය ගැන ඔබ අලුත් දේවල් ඉගෙනගත් බව ඔබට හැඟෙන්නේ නැද්ද? එය පොදුවේ අපි සැමගේ අද්දැකීම වී තිබෙනවා. යම් විෂයක් පිළිබඳව අපගේ දැනුම තවත් තියුණු කිරීමට හොඳම මාර්ගය, එය අනුන්ට ඉගැන්වීමයි. අප ශිෂ්‍ය කතාවක් නොදෙන අවස්ථාවලදී පවා, වඩාත් හොඳ ගුරුවරුන් වීමට අපට ඉගෙනගත හැකියි. සෑම ශිෂ්‍යයෙකු තුළම අපි හොඳ ගුණාංග දකින අතර, එම ගුණාංග අනුකරණය කළ හැකි ආකාරය ගැන කල්පනා කිරීමට අපට පුළුවන්.

19 දෙවිගේ වචනය උගන්වන්නන් ලෙස අපව සන්නාහ සන්නද්ධ කරවීමට සේවා රැස්වීමෙන්ද වැදගත් කාර්යයක් ඉටු වෙනවා. සතියක් සතියක් පාසා අපගේ සේවය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරන ප්‍රාණවත් කතා, සාකච්ඡා සහ නිරූපණවලින් අපි ආස්වාදයක් ලබනවා. අපි ශුභාරංචිය ඉදිරිපත් කිරීමේදී පාවිච්චි කරන්නේ මොන ක්‍රමයද? අපගේ ප්‍රසිද්ධ දේවසේවයෙහි පැනනඟින විශේෂ අභියෝගයන් සමඟ කටයුතු කරන්නේ කොහොමද? අප විසින් අත්හදා බැලිය යුතු දේශනා කිරීමේ වෙනත් පැති මොනවාද? නැවත බැලීම් කිරීමේදී සහ බයිබල් පාඩම් පැවැත්වීමේදී අපට වඩාත් ඵලදායී ගුරුවරුන් වීමට උපකාරවත් වන්නේ කුමක්ද යනාදි කරුණු අපි සේවා රැස්වීමේදී සාකච්ඡා කරනවා. (1 කොරින්ති 9:19-22) ඇතැම් ප්‍රශ්න සේවා රැස්වීමේදී බොහෝ විස්තර ඇතුව සාකච්ඡාවට ලක් කෙරෙනවා. මෙම රැස්වීමෙහි කොටස් බොහොමයක් අපගේ රාජ්‍ය සේවාව නමැති පත්‍රිකාවෙහි පළ වන ලිපි මත පදනම් වී තිබෙනවා. මෙයත් අපගේ අතිවැදගත් වැඩයට අපිව සූදානම් කරවීම සඳහා යෙහෝවාගේ සංවිධානයෙන් ලැබෙන තවත් වැදගත් මෙවලමක්.

20. රැස්වීම් සහ එක්රැස්වීම්වලින් පූර්ණ ලෙස අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?

20 අපගේ රැස්වීම්වලට සූදානම් වී පැමිණීමෙන් හා අප ඉගෙනගත් දේ ගුරුවරුන් හැටියට අදාළ කරගැනීමෙන්, අපි විශාල පුහුණුවක් ලබනවා. එනමුත් ලැබෙන පුහුණුව එතැනින් නතර වන්නේ නැහැ. අපට වඩාත් විශාල එක්රැස්වීම් සහ සමුළුද තිබෙනවා. මේවා සැලසුම් කර තිබෙන්නේ දෙවිගේ වචනය උගන්වන්නන් හැටියට අපව වඩාත් පූර්ණ ආකාරයකින් සන්නාහ සන්නද්ධ කරවීමටයි. එසේ නම්, හොඳින් සවන් දීමත්, ලැබෙන උපදෙස් ක්‍රියාවට නැංවීමත් අපගේ උනන්දුමත් ආශාව වන බවට සැකයක් නැහැ.—ලූක් 8:18.

21. අප ලබන පුහුණුව සාර්ථක යමක් බවට තිබෙන සාක්ෂි මොනවාද? ඒ සඳහා ප්‍රශංසාව හිමි වන්නේ කාටද?

21 යෙහෝවා මෙලෙස සපයා ඇති පුහුණුවෙන් හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවාද? අපි තිබෙන සාක්ෂි සලකා බලමු. බයිබලයේ මූලික ඉගැන්වීම් ඉගෙනගැනීමටත්, දෙවිට ඔවුන්ගෙන් ඕනෑ කරන දේට එකඟව ජීවත් වන්නත් මිනිසුන් සියදහස් ගණනකට වසරක් වසරක් පාසා උපකාර ලැබෙනවා. දිනෙන් දින අප සංඛ්‍යාවෙන් වැඩි වුණත්, ඒ සඳහා පෞද්ගලිකව අපගෙන් කාටවත් ප්‍රශංසාව හිමි වන්නේ නැහැ. අප යේසුස් මෙන් කාරණා දෙස බැලිය යුතුයි. ඔහු මෙසේ පැවසුවා. ‘මා එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.’ එදා සිටි ප්‍රේරිතයන් මෙන්, අපගෙන් වැඩිදෙනාත් නූගත් වූ අපණ්ඩිත වූ මනුෂ්‍යයන්. (යොහන් 6:44; ක්‍රියා 4:13) අප සාර්ථක ප්‍රතිඵල නෙළාගන්නේ යෙහෝවා නිසයි. මන්ද අවංක හදවත් ඇති අයව සත්‍යයට ඇදගන්නේ ඔහුයි. එනිසා, පාවුල්ගේ ප්‍රකාශය මෙහිදී හොඳින් අදාළ වෙනවා. ‘මම හිටෙවුවෙමි. අපොල්ලොස් වතුර වත් කළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවිය.’—1 කොරින්ති 3:6.

22. ක්‍රිස්තියානි දේවසේවයෙහි පූර්ණ ලෙස සහභාගි වීම සම්බන්ධයෙන් අප අනවශ්‍ය ලෙස අධෛර්යයට පත් නොවිය යුත්තේ මන්ද?

22 ඔව්, දෙවිගේ වචනය උගන්වන්නන් හැටියට අපට පවරා ඇති වැඩයට යෙහෝවා දෙවි ක්‍රියාශීලීව සම්බන්ධ වී සිටිනවා. සමහරවිට, ගුරුවරුන් හැටියට සුදුසුකම් තිබෙනවා කියා අප හැමවිටම නොසිතනවා විය හැකියි. මෙහිදී, මනුෂ්‍යයන්ව තමා වෙතටත් තම පුත්‍රයා වෙතටත් ඇදගන්නේ යෙහෝවායි කියා අප මතක තබාගත යුතුයි. තම වචනය, ශුද්ධාත්මය සහ භූමික සංවිධානය මාර්ගයෙන් තම සේවකයන් හැටියට අපව සුදුස්සන් කරන්නේ යෙහෝවායි. එමනිසා අපි යෙහෝවාගෙන් ලැබෙන පුහුණුවට හොඳ ප්‍රතිචාරයක් දක්වමු. ඒ සඳහා දෙවිගේ වචනය උගන්වන්නන් ලෙස සහමුලින්ම සන්නාහ සන්නද්ධ කරවීමට යෙහෝවා අපට දැන් සපයමින් සිටින මෙම යහපත් දේවල් ප්‍රයෝජනයට ගනිමු!

ඔබේ පිළිතුර කුමක්ද?

• බයිබලය දේශනා කිරීමේ වැඩය සඳහා අපව සන්නාහ සන්නද්ධ කරන්නේ කෙසේද?

• දේවසේවකයන් ලෙස අපව සුදුස්සන් කරවීමට ශුද්ධාත්මයෙන් ඉටු කෙරෙන කාර්යය කුමක්ද?

• ශුභාරංචියේ දේශනා කරන්නෙකු ලෙස ඔබව සුදුස්සෙකු කිරීමට යෙහෝවාගේ භූමික සංවිධානය ඔබට උපකාර කර ඇති ආකාරය විස්තර කරන්න.

• දේවසේවයෙහි නිරත වන විට අපට හොඳ නිසැකකමක් ඇතුව එය කළ හැක්කේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූරය]

යේසුස් දෙවිගේ වචනය උගන්වන්නෙකු ලෙස ජනයාට ප්‍රේමය විදහාපෑවා