Skip to content

පටුනට යන්න

එම්බාම් කිරීම ක්‍රිස්තියානීන්ට සුදුසුද?

එම්බාම් කිරීම ක්‍රිස්තියානීන්ට සුදුසුද?

එම්බාම් කිරීම ක්‍රිස්තියානීන්ට සුදුසුද?

කුලදෙටු යාකොබ්ගේ ජීවිතයේ අග භාගයේදී ඔහු කළ අවසාන ඉල්ලීම නම් “හිත්තීය වූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන . . . ගුහාවෙහි මාගේ පියවරුන් ළඟ මා තැන්පත් කරන්න” යන්නයි.—උත්පත්ති 49:29-31.

එවකට මිසරයේ පැවතුණු චාරිත්‍රයක් ප්‍රයෝජනයට ගනිමින් යෝසෙප් තම පියාගේ කැමැත්තට ගෞරවය දැක්වූයේය. ඔහු “තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂා කරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණ කළේය.” උත්පත්ති 50වෙනි පරිච්ඡේදයේ වාර්තා වන පරිදි චාරිත්‍රානුකූලව මිනිය සූදානම් කිරීමට වෙදුන්ට දවස් 40ක් ගත විය. මෙසේ එම්බාම් කිරීම නිසා යාකොබ්ගේ මිනිය තවලමෙන් කිලෝමීටර් 400ක් එපිටින් පිහිටි හෙබ්‍රොන් දේශයට රැගෙන යෑමට පවුලේ ඥාතීන්ට හා මිසරයේ ප්‍රභූවරුන්ට හැකි වූ අතර එහිදී භූමදාන කටයුතු සිදු කරන ලදි.—උත්පත්ති 50:1-14.

යාකොබ්ගේ එම්බාම් කරන ලද දේහය කවදා හෝ සම්බ වෙයිද? එය සම්බ වීමේ ප්‍රවණතාව ඉතා අල්පය. ඉශ්‍රායෙල් දේශයේ පවතින තෙතමනය සහිත පස නිසා කැනීම් කර සොයාගත හැක්කේ එක්තරා වර්ගයක පුරාවස්තු පමණයි. (නික්මයාම 3:8) පෞරාණික ගල් හා ලෝහ ද්‍රව්‍ය බොහෝ කල් පැවතුණද රෙදි, හම් සහ එම්බාම් කරන ලද ශරීර වැනි දිරාපත් වන දේ කාලයත් සමඟම තෙතමනයට හා වෙනත් විපර්යාසවලට ගොදුරු වෙයි.

එම්බාම් කිරීම යනු කුමක්ද? එම ක්‍රියාවලිය අනුගමනය කර ඇත්තේ ඇයි? මෙය ක්‍රිස්තියානීන්ට සුදුසුද?

මෙම චාරිත්‍රය ආරම්භ වුණේ කොහෙන්ද?

එම්බාම් කිරීම යන වචනයට දිය හැකි නිවැරදිම අර්ථකථනය නම්, එය මිනිස් හෝ සත්ව ශරීර කාලයක් තබාගැනීම සඳහා යොදාගන්නා යම් පිළියමක් යනුයි. ඉතිහාසඥයන්ට අනුව එම්බාම් කිරීම මුලින්ම ආරම්භ කරනු ලැබුවේ මිසරයේ වන අතර සිරියන්වරු, පර්සියන්වරු හා සිතියන්වරුන්ද මෙය අනුගමනය කළ බව අනාවරණය වේ. මුලින්ම මෙම ක්‍රමය අත්හදා බැලීමට තුඩු දුන්නේ කාන්තාර ප්‍රදේශවල වළලන ලද මෘත ශරීර ස්වාභාවිකවම ආරක්ෂා වී තිබීමයි. කාන්තාරවල වැළලූ මෘත දේහ කලක් පැවතීමට හේතුව ඒවා තෙතමනයට හා වාතයට නිරාවරණය නොවීම නිසා විය හැකියි. සමහරුන්ගේ මතයට අනුව, මිසරයේ බහුල ලෙස දක්නට ලැබෙන සෝඩියම් කාබනේට් (දෙවුම් සෝඩා) හා ඇල්කලි (යවකාර ලුණු) තුළ ආරක්ෂා වූ මෘත දේහ සොයාගැනීමෙන් පසු එම්බාම් කිරීම ආරම්භ විය.

කෙනෙක් මිය යෑමෙන් අනතුරුව පැය කිහිපයක් ඇතුළත මෘත දේහයේ බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය ආරම්භ වන අතර ශරීරය ක්ෂය වීමට පටන්ගනී. එමනිසා එම්බාම් කරන්නාගේ මූලික පරමාර්ථය වන්නේ මෘත දේහයේ එම ක්‍රියාකාරිත්වය අඩාළ කිරීමයි. බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය වැළැක්විය හැකි නම් මෘත දේහයේ ක්ෂය වීම වැළැක්වීමට හෝ යම්තාක් දුරට එහි වේගය අඩාළ කිරීමට පුළුවන. මෙහිදී බලාපොරොත්තු වන්නේ මෙම කාරණා තුනයි. එනම්, පණ තිබුණු විට පැවතුණ පෙනුම මෘත දේහයට ලබා දීම, කුණුවීම වැළැක්වීම හා කෘමීන්ගෙන් දේහයට විය හැකි හානි වළක්වාලීමයි.

ආදි කාලයේ මිසරවරුන් ප්‍රධාන කොට එම්බාම් කළේ ආගමික හේතු නිසයි. ඔවුන් පසු ජීවිතයක් ගැන විශ්වාස කළ නිසා මිය ගිය තැනැත්තා මනුෂ්‍ය ලෝකය සමඟ දිගටම සම්බන්ධකම් පැවැත්විය යුතුයැයි විශ්වාස කළා. ඔවුන්ගේ තවත් විශ්වාසයක් වූයේ තම ශරීර සදාකාලිකවම පවතින බව හා පසුව එයට ජීවය ලැබී ක්‍රියා කිරීමට හැකි වනු ඇති බවය. මිසරයේ එම්බාම් කිරීම සාමාන්‍ය දෙයක් වුවද මිසරවරුන් දේහ ආරක්ෂා කළේ කෙසේද යන්න පිළිබඳ වාර්තාවක් තවම සොයාගෙන නැත. පො.යු.පෙ. පස්වන සියවසේ ග්‍රීක ඉතිහාසඥ හෙරෝඩෝටස්ගෙන් ලද වාර්තාව මේ සම්බන්ධව ලැබී ඇති හොඳම වාර්තාවයි. කෙසේනමුත්, හෙරෝඩෝටස් සපයා තිබූ තොරතුරු අනුව අත්හදා බැලීම් කළ අතර ඒවාද අසාර්ථක විය.

එය ක්‍රිස්තියානීන් සඳහාද?

යාකොබ්ව එම්බාම් කළේ ඔහු හා සමාන ආගමික අදහස් දැරූ අය නොවෙයි. යෝසෙප් ඔහුගේ පියාගේ දේහය එම්බාම් කිරීම සඳහා වෙදුන්ට භාර දීමේදී එවකට මිසරයේ පැවති යාච්ඤා හා පිළිවෙත් අනුගමනය කරනු ලැබුවායැයි සිතීම උගහටයි. මන්ද යාකොබ් හා යෝසෙප් යන දෙදෙනාම ශක්තිමත් ඇදහිල්ලක් තිබුණු අයයි. (හෙබ්‍රෙව් 11:21, 22) යාකොබ්ගේ දේහය ආරක්ෂා කිරීමට යෙහෝවා විසින් අණ කර තිබුණේ නැති වුණත් ශුද්ධ ලියවිල්ලේ එසේ කිරීම හෙළා දැක නැත. යාකොබ්ව එසේ එම්බාම් කළේ එදා ඉශ්‍රායෙල් ජනයාට හෝ ක්‍රිස්තියානි සභාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහාද නොවෙයි. මේ සම්බන්ධව නිශ්චිත උපදෙස් දේවවචනයේ අඩංගු වී නැති අතර මිසරයේදී යෝසෙප්ගේ දේහය එම්බාම් කිරීමෙන් පසු එවැනි ක්‍රියාවක් සිදු වූ බවට කිසිදු සඳහනක් නැත.—උත්පත්ති 50:26.

පලස්තීනයේ සොහොන් ගෙවල්හි සොයාගත් දිරාපත් වී තිබූ මළ සිරුරුවලින් පෙනී යන්නේ මෘත දේහ එම්බාම් කිරීම හෙබ්‍රෙව්වරුන්ගේ සිරිතක්ව නොපැවති බවයි. එසේ කළා නම් එය සිදු කර ඇත්තේ කෙටි කාලයක් සඳහා පමණයි. නිදසුනකට, ලාසරුස්ගේ ශරීරය එම්බාම් කර තිබුණේ නැත. ඔහුගේ ශරීරය රෙදි පටිවලින් ඔතා තිබුණද සොහොන් ගෙයි ගල ඉවත් කරන අවස්ථාවේදී අන් අය ඒ ගැන සැලකිලිමත් වූයේ ඒ වන විට ඔහු මිය ගොස් දින හතරක් ගෙවී ගොස් තිබුණු නිසයි. ඔහුගේ සහෝදරිය දැන සිටියා සොහොන් ගෙය විවර කරන විට එයින් දුගඳක් නික්මෙන බව.—යොහන් 11:38-44.

යේසුස් ක්‍රිස්තුස්ගේ ශරීරය එම්බාම් කර තිබුණාද? සුවිශේෂ වාර්තාව මෙම අදහස හා එකඟ නොවේ. එවකට යුදෙව් සමාජයේ මෘත ශරීරයක් තැන්පත් කිරීමට පෙර එයට සුවඳ ද්‍රව්‍ය හා සුවඳවත් තෙල් ආලේප කිරීම සිරිතක්ව තිබුණි. යේසුස්ගේ ශරීරයේ ගැල්වීම සඳහා නිකොදේමුස් සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යොදාගත් බව වාර්තා වේ. (යොහන් 19:38-42) මෙතරම් ප්‍රමාණයක් සුවඳ ද්‍රව්‍ය අවශ්‍ය වුණේ ඇයි? යේසුස් කෙරෙහි ඔහුට තිබූ අව්‍යාජ ප්‍රේමය හා ගෞරවය මෙතරම් සුවඳ ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතු වුණා විය හැකියි. මෙය යේසුස්ගේ ශරීරය ආරක්ෂාකාරිව කාලයක් තබාගැනීම සඳහා සිදු කළ දෙයක් බව නිගමනය නොකළ යුතුයි.

ක්‍රිස්තියානියෙකුට එම්බාම් කිරීමේ සිරිතට විරුද්ධ විය හැකිද? මෙහි සත්‍ය තත්වය නම් එම්බාම් කිරීමෙන් සිදු කරන්නේ වැළැක්විය නොහැකි දෙයක් කල් දැමීමයි. අපි දූවිල්ලෙන් සාදනු ලැබ නැවත දූවිල්ලට හැරෙන්නෙමු. (උත්පත්ති 3:19) නමුත් මරණය සිදු වූ අවස්ථාවේ සිට අවමඟුල් කටයුතු සිදු කරන තුරු කොපමණ කාලයක් බලා සිටිය යුතුද? පවුලේ සාමාජීකයන් හා යහළුවන් ඈතින් පැමිණෙනවා නම් හා ඔවුන්ට මෘත ශරීරය දැකබලා ගැනීමට ආශාවක් ඇත්නම් දින කිහිපයකට තබාගැනීම සඳහාවත් එය එම්බාම් කිරීමට සිදු වේ.

ප්‍රාදේශීය නීතිවලට අනුව මෘත ශරීරය එම්බාම් කළ යුතු නම් හෝ එසේත් නැත්නම් පවුලේ සාමාජීකයන් එසේ කිරීමට කැමති නම් එය කළ හැකියි. මෙය ශුද්ධ ලියවිල්ල හෙළා දකින්නේ නැත. මන්ද මළාවූ අය “කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) ඔවුන් දෙවිගේ මතකයේ සිටිනවා නම් පොරොන්දුවේ හැටියට ඔවුන්ව නව ලොවේදී නැවත නැඟිටුවනවා ඇත.—යෝබ් 14:13-15; ක්‍රියා 24:15; 2 පේතෘස් 3:13.

[31වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එම්බාම් කිරීම—එදා සහ අද

පුරාණ මිසරයේ මෘත දේහයක් එම්බාම් කරන ආකාරය රඳා පැවතියේ එම පවුලේ සමාජීය තත්වය මතයි. ධනවත් පවුලක් පහත සඳහන් ක්‍රමය අනුගමනය කිරීමට කැමති වූවා විය හැකියි.

ලෝහ උපකරණයක් භාවිතයෙන් මොළයේ කොටස් නාස්පුඩු තුළින් එළියට අදිනු ලැබේ. ඉන්පසු හිස්කබලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය යොදා ප්‍රතිකාර කරනු ලැබේ. ඊළඟ පියවර නම්, හෘදය වස්තුව හා වකුගඩු හැර අනෙකුත් සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් ඉවත් කරනු ලැබීමයි. උදරය පිරිසිදු කිරීම සඳහා ශරීරය කැපීමට සිදු විය. නමුත් මෙය පාපයක් හැටියට ගණන් ගනු ලැබුණි. ඒ නිසා මතභේදවලට තුඩු දුන් මෙම කාර්යය ඉටු කිරීම සඳහා මිසරයේ එම්බාම් කරන්නන් කපන්නෙකුව පාවිච්චි කළා. මෙවැනි සැහැසිකකම් කරන කෙනෙකුට දුන් දඬුවම නම් ශාප කිරීම හා ගල් ගැසීමයි. එමනිසා ශරීරය කැපූ විගස එය සිදු කළ තැනැත්තා එතැනින් පළා ගියේය.

උදර කුහරය හිස් කිරීමෙන් පසු එය හොඳින් සෝදා පිරිසිදු කරනු ලැබීය. ඉතිහාසඥ හෙරෝඩෝටස් ලිව්වේ, “ඔවුන් තලාගත් පිරිසිදු සුවඳලාටු (myrrh), කුරුඳු වර්ගයක් වන කසියා හා අන් සියලුම සුවඳ ද්‍රව්‍ය (කට්ටකුමංජල් හැර) දමා කුහරය පුරවා මැහුම් දමා කැපුම වසා දැමුවා” කියායි.

ඊළඟට තනුක දෙවුම් සෝඩාවල මෘත ශරීරය විජලනය වන තුරු දවස් 70ක් පොඟවා තබනු ලබයි. ඉන්පසු ශරීරය සෝදා පිරිසිදු කර රෙදිවලින් ඔතනු ලැබීය. මෙම රෙදිවලට උඩින් මැලියම් ආලේප කළ අතර අලංකාර ලී පෙට්ටියක එය තැන්පත් කෙරුණි. මෙම මිනිය නියම මිනිස් ශරීරයක හැඩය ගැනුණි.

අද එම්බාම් කිරීම පැය කිහිපයකින් කළ හැකි දෙයකි. සාමාන්‍යයෙන් දැන් එය සිදු කරනු ලබන්නේ නහරවලට, ධමනිවලට, උදරයට හා උරස් කුහරයට එම්බාම් දියර ඇතුළත් කරනු ලැබීමෙනි. පහුගිය වසර කිහිපය තුළ විවිධ බෙහෙත් ද්‍රව්‍ය අත්හදා බලා තිබෙන අතර ඒවා භාවිතා කර තිබේ. කෙසේනමුත්, මිල හා ආරක්ෂාව යන දෙකටම සරිලන ලෙස වර්තමානයේ වැඩිපුරම භාවිතා කරන බෙහෙත නම් ෆෝමැල්ඩිහයිඩ් නම් රසායනික ද්‍රව්‍යයයි.

[පින්තූරය]

ටුටන්කාමන් රජුගේ රත්තරන් මිනි පෙට්ටිය