දක්ෂ නායකත්වයක් ලෝක ව්‍යාප්ත අභියෝගයකි
දක්ෂ නායකත්වයක් ලෝක ව්‍යාප්ත අභියෝගයකි
මේ මිනිසා ලේඛකයෙකු මෙන්ම කිවියෙකුද විය. අනාගතය සැමටම සුභදායි වේයැයි ඔහු හද පත්ලෙන්ම විශ්වාස කළේය. “නිරවුල් මනසකින් බියෙන් තොරව හිස කෙළින් තබාගත හැකි, නොමිලේ දැනුම ලබා දෙන, පටු ජාතිවාදී හැඟීම් නිසා රටවල් මායිම් කර ලෝකය කැබලිවලට නොබෙදෙන, සැබෑව රජයන, වෙහෙසී වැඩකර පරිපූර්ණත්වය කරා යා හැකි” ස්ථානයක් ගැන දැනට වසර 90කට වැඩි කාලයකට පෙර ඔහු සිහින මැව්වේය.
කෙදිනක හෝ තම රටත් මුළු ලෝකයත් එවන් ස්ථානයක් හිමි කරගනීයැයි එවකට මේ ලේඛකයා පැතීය. නමුත් මේ නොබෙල් ත්‍යාගලාභී කිවියා අද සිටියා නම්, ඔහු පැතූ දේ ගැන අන්ත කලකිරීමකට පත් වනු නියතය. ලෝකය එහි දියුණුවේ හිණිපෙත්තටම නැඟ තිබුණත්, එය වෙන කවරදාකටත් වඩා කොටස්වලට බෙදී පවතී. පොදුවේ ගත් කල මිනිසාගේ හෙට දවස කාලකණ්ණි වී ඇත.
තමන්ගේ රටේ විවිධ කොටස් හදිසියේම එකිනෙකාට විරුද්ධව ඇණ කොටාගැනීමට හේතුව විමසූ විට, එරටේ ගොවියෙකු ඊට හේතුව ලෙස සඳහන් කළේ, “නායකත්වයේ දුර්වලකම” කියාය. ඉතිහාසඥ ජොනතන් ග්ලවර් මානව කරුණාව—විසිවන සියවසේ සදාචාර ඉතිහාසයක් (සිංහලෙන් නැත) නමැති තම පොතේ ඒ හා සමාන අදහසක් දෙමින් මෙසේ ලීවේය. [ඉහත කී රටේ] “වාර්ගික සමූලඝාතනය හදිසියේ ඇති වූ ගෝත්‍රික වෛරයෙන් සිදු වූවක් නොව, දිගටම බලයේ සිටීමට කැමති වූ අයගේ කූට සැලසුමක් විය.”
එක්දහස් නවසිය අනූගණන්වල මුල් අවධියේදී, කලින් යුගෝස්ලෝවියාවේ
පිහිටි ජනරජ දෙකක් අතර හටගත් යුද්ධයේදී, එක් පුවත්පත් කලාවේදිනියක් මෙසේ ලීවාය. “අපි අවුරුදු ගණනාවක් එකා මෙන් සතුටින් කල් ගෙවීමු. ඒත් දැන් අපි එකිනෙකාගේ බිළිඳුන් මරා දමන තැනටත් පැමිණ ඇත්තෙමු. අපිට මේ මොකද වුණේ?”මුලින්ම සඳහන් කළ කිවියාගේ නිජබිම වන යුරෝපයේ සිට කිලෝ මීටර් දහස් ගණනක් ඈතින් පිහිටි ඉන්දියාව ගැන කුමක් කිව හැකිද? “එක ජාතියක් හැටියට ඉන්දියාවට දිගටම පැවතිය හැකිද?” යන මැයෙන් යුත් දේශනයේදී ලේඛක ප්රණයි ගුප්තා මෙසේ අදහස් දැක්වීය. “ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 70ක් තරම් විශාල සංඛ්‍යාවක් අයිති වන්නේ වයස අවුරුදු 30ට අඩු කාණ්ඩයටය. එහෙත්, ඔවුන්ට පාර පෙන්විය හැකි සාදෘශ්‍යයක් වීමට කිසිවෙකු නැහැ.”
සමහර රටවල නායකයන්ට දූෂණ චෝදනා මත ඔවුන්ගේ තනතුරු හැර දා යෑමට සිදුව තිබේ. මේ අනුව බලන කල, විවිධ හේතූන් නිසා පැහැදිලිවම ලෝකය නායකත්වය පිළිබඳ අර්බුදයකට මුහුණපාමින් සිටී. පවතින තත්වය දැනට අවුරුදු 2,600කට පමණ පෙර සිටි ප්‍රොපේතවරයාගේ වචනවල සත්‍යතාව තහවුරු කරයි. “මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත” කියා ඔහු පැවසීය.—යෙරෙමියා 10:23.
ලෝකය මුහුණ දෙමින් සිටින වත්මන් විපත්තිදායක තත්වයට විසඳුමක් තිබේද? මිනිස් සමාජය අරගලයෙන් නොබෙදා, බියෙන් තැති නොගන්වා, සත්‍යඥානය රජ කරවා, මිනිසා පරිපූර්ණත්වය කරා ගෙන යා හැකි නායකත්වයක් දිය හැක්කේ කාටද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Fatmir Boshnjaku