Skip to content

පටුනට යන්න

සමාදානයට රහස සමාව ඉල්ලීමයි

සමාදානයට රහස සමාව ඉල්ලීමයි

සමාදානයට රහස සමාව ඉල්ලීමයි

“සමාව ඉල්ලීම බලගතුයි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගැටුම් නවතාලන්නටත්, ජාතීන් අතර ඇති වන දෙකඩ වීම් යළි පිහිටුවන්නටත්, ආණ්ඩුවලට තම රටවැසියන්ගේ දුක් වේදනාවන් තේරුම්ගන්වන්නටත්, කැඩී බිඳී ගිය පෞද්ගලික සබඳතා යථා තත්වයට පමුණුවන්නටත් ඊට හැකියි.” මෙසේ ලීවේ ජනප්‍රිය ලේඛිකාවක හා වොෂිංටන් ඩී.සී.හි, ජෝර්ජ් ටවුන් සරසවියේ සමාජ වාග්වේදිනියක වන ඩෙබ්රා ටැනන්.

අවංකව සමාව ඉල්ලීම බයිබලයේ ගෙනහැර දක්වා තිබෙන්නේ, කැඩී බිඳී ගිය සබඳතාවන් බොහෝ අවස්ථාවලදී යළිත් පිහිටුවන්නට සමත් වඩාත් බලපෑමෙන් යුත් ක්‍රමයක් ලෙසටයි. නිදසුනක් වශයෙන්, යේසුස් විසින් පවසන ලද නාස්තිකාර පුත්‍රයා පිළිබඳ උපමාවේ, එම පුත්‍රයා නැවත නිවසට හැරී ඇවිත් හෘදයාංගයෙන්ම සමාව ඉල්ලූ අවස්ථාවේ, එම පියා ඔහුව යළිත් පවුලට පිළිගන්නට ඉමහත් කැමැත්තක් දැක්වූවා. (ලූක් 15:17-24) ඔව්, යම් පුද්ගලයෙක් තමාගේ උඩඟුකම පැත්තකට විසි කර දමා සමාව ඉල්ලීමට කිසි විටෙකත් පසුබට නොවිය යුතුයි. ඇත්ත වශයෙන්ම, අවංක නිහතමානි පුද්ගලයන් හට නම් සමාව ඉල්ලීම එතරම්ම අමාරු දෙයක් නෙවෙයි.

සමාව ඉල්ලීමේ ඇති බලගතුකම

ඉපැරණි ඊශ්‍රායෙලයේ විසූ ඥානවන්ත ස්ත්‍රියක වූ අබීගායිල්, තමාගේ ස්වාමිපුරුෂයා කර තිබූ වරදකට වුවත් ඈ විසින් සමාව ඉල්ලීමෙන් තබා ඇත්තේ සමාව ඉල්ලීමේ තිබෙන බලගතුකම ගැන කදිම ආදර්ශයක්. එනම්, පසු කලෙකදී ඊශ්‍රායෙලයේ රජ බවට පත් වූ දාවිත් පාළුකරයේ ජීවත්ව සිටිද්දී අබීගායිල්ගේ සැමියා වූ නාබල්ට අයත්ව තිබූ රැළ තමන් සමඟ සිටි පුරුෂයන් සමඟ එක්ව රැකබලා ගත්තා. එහෙත්, දාවිත්ගේ තරුණයන් රොටි සහ වතුර ඉල්ලූ විට, නාබල් ඔවුන්ව හිස් අතින් යැව්වේ ඔවුන්ට දැඩි ලෙස නිග්‍රහ කරමිනුයි. මින් උදහස් වූ දාවිත්, මිනිසුන් 400 දෙනෙකු පමණ කැටුව නාබල් සහ ඔහුගේ පවුලේ අයට එරෙහිව සටන් කිරීමට පිටත්ව ගියා. මේ තත්වය දැනගත් අබීගායිල් දාවිත්ව හමුවීමට පෙරමඟට ගියා. ඇය ඔහුව දුටු විට ඔහුගේ පාමුල දණින් වැටුණා. අනතුරුව ඇය කීවේ මෙහෙමයි. “ඒ අපරාධය මා පිට, මාගේ ස්වාමිනී, මා පිටම වේවා. ඔබට කතා කරන්ට ඔබගේ මෙහෙකාරීට අවසර ලැබේවා. ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනවි.” අනතුරුව, තත්වය ගැන පැහැදිලි කළ අබීගායිල් තෑගි වශයෙන් ආහාර පාන දාවිත්ට දුන්නා. දාවිත් පැවසුවේ මෙසේයි. “නුඹේ ගෙදරට සමාදානයෙන් යන්න. මම නුඹේ හඬට ඇහුම්කන් දී නුඹ පිළිගතිමි.”—1 සාමුවෙල් 25:2-35.

යටහත් පහත් ආකල්පයකින් යුතු වූ අබීගායිල්ගේ මුවින් තම සැමියාගේ කුරිරු හැසිරීම ගැන සමාව ඉල්ලමින් පිට වුණු ඒ වචන නිසා ඇගේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂා වුණා. ඒ වගේම, දාවිත්ද ලේ වැගිර වීමෙන් තමාව වැළැක්වීම ගැන ඇයට ස්තුති කළා. දාවිත් සහ ඔහුගේ තරුණයන්ට වැරදි ලෙසට සැලකුවේ අබීගායිල් නොවුණත්, ඇගේ පවුලේ අයට එරෙහිව තිබූ චෝදනාව භාරගත් ඇය දාවිත් සමඟ සමාදාන වුණා.

සමාව ඉල්ලිය යුත්තේ කිනම් අවස්ථාවේද යන්න පිළිබඳ අනික් ආදර්ශය අප හමුවේ තබන්නේ ප්‍රේරිත පාවුල්. වරෙක, සැනෙඩ්‍රිනය යන යුදෙව් මහා අධිකරණයේදී තමා ගැන නිදහසට කරුණු කියන්නට ඔහුට සිදු වුණා. පාවුල්ගේ අවංක වචන ඇසූ උත්තම පූජක අනනියස්, ඒ ගැන කුපිත වී පාවුල්ගේ කටට ගසන ලෙස ඔහු අසල සිටියවුන්ට අණ කළා. ඒ අවස්ථාවේදී පාවුල්, “හුණු ගා සුදු කළ බිත්තියක් වැනි වූ ඔබට, දෙවි පහර දෙනවා ඇත. නීතියට අනුව මාව විනිශ්චය කිරීමට හිඳගෙන සිටින ඔබ, නීතිය උල්ලංගනය කරමින් මට පහර දෙන ලෙස අණ කරනවාද?” කියා ඇසුවා. එහි බලා සිටි අය උත්තම පූජකයාට තමා නින්දා කරනවායයි පාවුල්ට චෝදනා කළ විට, වහාම තම වරද පිළිගත් ප්‍රේරිතවරයා කීවේ මෙසේයි. “සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයා බව මා දැන සිටියේ නැත. මන්ද, ‘ඔබේ ජනයාගේ පාලකයෙකු ගැන අවමන්සහගතව කතා නොකළ යුතුය’කියා ලියා තිබේ.”—ක්‍රියා 23:1-5, NW.

පාවුල් පවසා තිබූ දෙය, එනම් විනිශ්චයකරුවෙකු ලෙසට පත් කොට තිබූ කෙනෙක් ප්‍රචණ්ඩ ක්‍රියාවලට නැඹුරු නොවිය යුතුය යන කාරණය නිවැරදියි. එහෙත් අනික් අය සිතූ ලෙස අගෞරවනීය අන්දමකින් උත්තම පූජකයාට තමා කතා කළා නම්, එසේ කළේ ඔහු එවැන්නෙකු බව තමා නොදැන බව පිළිගත් පාවුල් ඒ ගැන සමාව ඉල්ලා සිටියා. * මෙසේ පාවුල් විසින් සමාව ඉල්ලා සිටීමෙන් සිදු වුණේ ඔහුට කියන්නට තිබූ දේට සවන් දීම සඳහා සැනෙඩ්‍රිනයට මං උදාවීමයි. අධිකරණයේ සාමාජිකයන් අතර තිබූ මතභේදය ගැන දැන සිටි පාවුල් තමාව පරීක්ෂා කරනු ලබන්නේ නැවත නැඟිටීම ගැන තමාට තිබෙන විශ්වාසය නිසායයි කියා සිටියා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ වාද හටගත් අතර ඵරිසිවරු පාවුල්ගේ පැත්ත ගත්තා.—ක්‍රියා 23:6-10.

මෙම බයිබල් ආදර්ශ දෙකෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? මේ අවස්ථා දෙකේදීම කනගාටුව පළ කරමින් කළ අවංක ප්‍රකාශයන් නිසා තවදුරටත් අදහස් හුවමාරුවට අඩිතාලම වැටුණා. මේ නිසා සමාව ඉල්ලීමේ වචන සමාදානය ඇති කරගැනීමට අපටද උපකාරවත් වෙනවා. ඔව්, අප කළ වරද පිළිගෙන සිදු වූ හානියට වන්දි ගෙවීමෙන් ගොඩනංවනසුලු කතා බහකට මං විවෘත කරගන්නට පුළුවනි.

‘ඒ වුණත් මම කිසි වරදක් කරලා නැහැ’

අප කළ කී දෙයකින් යම් කෙනෙකුගේ සිත රිදුණු බව අපට තේරුණොත්, ඒ පුද්ගලයා අසාධාරණයි කියා හෝ ඕනෑවට වඩා සංවේදීයි කියා අපට හැඟෙන්න පුළුවන්. එහෙත්, යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ ගෝලයන්ට අවවාද කළේ මෙහෙමයි. “එබැවින්, ඔබේ පඬුර පූජාසනය වෙත ගෙන එන කල, ඔබට විරුද්ධව ඔබේ සහෝදරයාට යම් කාරණාවක් ඇති බව එහිදී ඔබට සිහි වේ නම්, පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න. ඉන්පසු ඔබ ඇවිත් පඬුර ඔප්පු කරන්න.”—මතෙව් 5:23, 24, NW.

නිදසුනක් වශයෙන්, සහෝදරයෙකුට හැඟෙන්නට පුළුවන් ඔබ ඔහුට වරදක් කර ඇති බව. එවන් තත්වයක් යටතේදී යේසුස් පවසන්නේ, ඔහුට වරදක් කර ඇති බව ඔබට හැඟුණත් නැතත්, “ඔබේ සහෝදරයා හා සමාදාන වන්න” ඔබ යා යුතු බවයි. ග්‍රීක් පාඨයට අනුව, යේසුස් මෙහිදී භාවිත කළ වචනවලින් “අඟවන්නේ අන්‍යොන්‍ය එදිරිවාදිකමට පසුව අන්‍යොන්‍ය වශයෙන් වැරදි පිළිගැනීමකි.” (Vine’s Expository Dictionary of Old and New Testament Words.) මිනිසුන් දෙදෙනකු අතර ගැටුමක් තිබෙන විට, දෙදෙනාගේම පැත්තෙන් යම් තරමක වරදක් සිදු වී තිබිය හැකියි. මන්ද දෙදෙනාම අසම්පූර්ණ නිසාත් දෙදෙනාටම වැරදීමට ඉඩ තිබෙන නිසාත්ය. මේ නිසා සාමාන්‍යයෙන් අන්‍යොන්‍ය වශයෙන් වැරැද්ද පිළිගැනීමක් අවශ්‍ය කරවයි.

මෙහිලා ප්‍රධානතම කාරණය වන්නේ හරි කවුද වැරදි කවුද යන්න නොව, නමුත් සමාදානය ඇති කිරීමට මූලික පියවර ගන්නේ කවුද යන්නයි. කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන් මුදල් සම්බන්ධයෙන් ඇති වූ එකඟ නොවීම් වැනි එවන් පෞද්ගලික ගැටලු නිසා තමන්ගේම සෙසු දේවසේවකයන්ව ලෞකික අධිකරණවලට රැගෙන යන බව දැනගත් ප්‍රේරිත පාවුල් ඔවුන්ව නිවැරදි කළේ මෙහෙමයි. “ඒ වෙනුවට ඔබ අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද?” (1 කොරින්ති 6:7, NW) පාවුල් මෙය කීවේ, එකට සේවය කරන ක්‍රිස්තියානීන් තමන්ගේ පෞද්ගලික ගැටලු ලෞකික අධිකරණවලදී හෙළි කිරීම වැළැක්වීමේ අරමුණින් වුවත්, මෙහිලා ගැනෙන ප්‍රතිපත්තිය අපට පැහැදිලියි. එනම්, කවුද හරි කවුද වැරදි කියා ඔප්පු කරනවාට වඩා වැදගත් වන්නේ එකට සේවය කරන ඇදහිලිවන්තයන් අතර සමාදානය තිබීමයි. අප යම් කෙනෙකුට විරුද්ධව වරදක් කර තිබෙන බව ඔහු හෝ ඇය සිතනවා නම්, මේ ප්‍රතිපත්තිය මනසේ තබාගෙන සිටීම සමාව ඉල්ලීමට උපකාරවත් වෙනවා.

අවංක වීම අවශ්‍යයි

එහෙත්, සමාව ඉල්ලීමට භාවිත කරන යම් වචන ඇතමුන් ඕනෑවට වඩා පාවිච්චි කරනවා. උදාහරණයක් වශයෙන්, ජපන් භාෂාවෙන් සමාව ඉල්ලීම පිණිස භාවිත කරන සූමීමාසෙන් යන වචනය දස දහස් වතාවක් සවනට වැකෙනවා. ඒ වගේම එය කෘතඥතාව පළ කිරීමටත් තමාට කළ උපකාරයකට ප්‍රතිඋපකාරයක් කරන්නට බැරිවීම සඳහා තම කනගාටුව පළ කිරීමටත් යොදාගන්නට පුළුවන්. මෙම වචනයේ තිබෙන අර්ථ පරාසය නිසා එය ඕනෑවට වඩා වැඩියෙන් පාවිච්චි කරන බවට ඇතමුන්ට හැඟී යා හැකි අතර, එය භාවිත කරන අය එසේ කරන්නේ අවංකවද කියාත් කල්පනා කරන්නට හැකියි. වෙනත් සංස්කෘතීන්වලද සමාව ඉල්ලීමේදී භාවිත කරන වචන හෝ යෙදුම් ඕනෑවට වඩා පාවිච්චි කරන බවක් පෙනී යනවා විය හැකියි.

භාෂාව කුමක් වුවත් සමාව ඉල්ලීමේදී අවංක වීම ඉතා වැදගත්. කියන වචන හා කටහඬේ ස්වරූපය මගින් තමා කළ වරද සම්බන්ධයෙන් තමා අවංකවම ශෝක වන බව පැහැදිලිව දිස් විය යුතුයි. යේසුස් ක්‍රිස්තුස් කන්ද උඩ දේශනාවේදී තම ගෝලයන්ට ඉගැන්වූයේ මෙයයි. “ඔව් නම් ඔව් කියාද නැත නම් නැත කියාද පැවසීම ප්‍රමාණවත්ය. මන්ද ඊට වැඩි දෙයක් එන්නේ දුෂ්ට කෙනෙක්ගෙන්ය.” (මතෙව් 5:37, NW) ඔබ සමාව ඉල්ලනවා නම්, එය අවංකව කරන්න. නිදසුනකින් මෙය පැහැදිලි කරගමු. එක්තරා ගුවන් තොටුපොළක මඟීන්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කරන පෝලිමක සිටින මඟියෙකුගේ බෑගය එම පෝලිමේ සිටින තවත් කාන්තාවකගේ ඇඟේ හැපුණා. වහාම ඔහු ඇයගෙන් සමාව ඉල්ලුවා. විනාඩි කිහිපයකට පසුව පෝලිම ඉදිරියට ඇදී යන විට, එම බෑගය නැවතත් ඇගේ ඇඟේ හැපුණා. තවත් වරක් මිනිසා සමාව ඉල්ලුවේ ආචාරශීලී ලෙසයි. එම දේම නැවත වරක් සිදු වූ අවස්ථාවේ එම කාන්තාව සමඟ සිටි පුරුෂයා ඔහුට කියා සිටියේ සමාව ඉල්ලුවේ අවංකවම නම්, යළිත් එම කාන්තාවගේ ඇඟේ එම බෑගය නොවදින බවට ඔහු වගබලා ගත යුතු බවයි. ඔව්, සමාව ඉල්ලන්නේ අවංකවම නම්, කළ වරද නැවතත් නොකිරීමේ අධිෂ්ඨානය අපට තිබිය යුතුයි.

අපි අවංක නම්, අපි අප කරන ඕනෑම වරදක් පිළිගනිමු. වරදට සමාව අයදිමු. හැකි තරම් දුරට සිදු වූ හානිය අවම කිරීමට ප්‍රයත්න දරමු. අනෙක් අතට වරද නිසා සිත් රිදවාගත් තැනැත්තාද පසුතැවිලි වෙන වැරදිකරුවාට අප්‍රමාදව සමාව දිය යුතුයි. (මතෙව් 18:21, 22; මාර්ක් 11:25; එපීස 4:32; කොලොස්සි 3:13) පාර්ශ්වයන් දෙකම අසම්පූර්ණ බැවින්, සමාදානය ඇති කිරීම සෑමවිටම පහසුවෙන් සිදු නොවෙන්නට පුළුවන්. කෙසේවෙතත්, සමාව ඉල්ලමින් කියන වචන සමාදානය ඇති කිරීමට බලගතු හේතුවක් වෙයි.

සමාව ඉල්ලීම නුසුදුසු වන අවස්ථා

කනගාටුව හා ශෝකය පළ කරමින් කියන වචනවල සුමට බලපෑමක් තිබුණද, ඒවා සමාදානයට දායක වුවද, ඥානවන්ත පුද්ගලයෙක් එවැනි ප්‍රකාශයන් නුසුදුසු අවස්ථාවලදී පාවිච්චි කරන්නේ නැහැ. නිදසුනක් වශයෙන්, දෙවිට දක්වන අඛණ්ඩතාව සම්බන්ධ ප්‍රශ්නයක් ගනිමු. යේසුස් ක්‍රිස්තුස් පොළොව මත සිටින විටදී, “මරණය දක්වා, එනම්, වධ කණුවක මරණය දක්වා යටහත් වී කීකරු විය.” (පිලිප්පි 2:8, NW) කෙසේවෙතත්, ඔහු තමාගේ දුක් වේදනාවලින් නිදහස් වීමට තම විශ්වාසයන් වෙනුවෙන් සමාව ඉල්ලුවේ නැහැ. “ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවිගේ නාමයෙන් මම ඔබව දිවුරුම් පිට තබමි” කියා උත්තම පූජකයා අණ කළ විට යේසුස් ඒ ගැන සමාව ඉල්ලන්නට ගියේ නැහැ. නිකම්ම බයාදු ගතියකින් යුතුව සමාව ඉල්ලනවා වෙනුවට, ඉතා එඩිතරව යේසුස් පිළිතුරු දුන්නේ මෙහෙමයි. “ඔබම කීවෙහිය. නමුත් මම ඔබ සැමට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා බලවත් තැනැත්තාගේ දකුණු පැත්තේ හිඳගෙන සිටිනවාත්, ආකාශයේ වලාකුළු පිට පැමිණෙනවාත් ඔබ දකින්නහුය.” (මතෙව් 26:63, 64, NW) තම පියා වන යෙහෝවා දෙවිට දැක්වූ අඛණ්ඩතාව පාවා දෙමින් උත්තම පූජකයා සමඟ සමාදානය පවත්වාගැනීමේ අදහසවත් කිසිදා යේසුස්ගේ සිතට ආවේ නැහැ.

ක්‍රිස්තියානීන් බලතල දරන අයට ගෞරවය දක්වන අතර ඔවුන්ව උතුම් කොට සලකනවා. එහෙත්, දෙවිට තිබෙන කීකරුකමවත් තමන්ගේ සහෝදරයන්ට දක්වන ප්‍රේමයවත් පාවා දෙමින් කාගෙන්වත් සමාව ඉල්ලීම අවශ්‍ය වන්නේ නැහැ.—මතෙව් 28:19, 20; රෝම 13:5-7.

සමාදානයට බාධා නැති කල

දැන් අප අතින් වැරදි සිදු වන්නේ අපගේ මුතුන්මිත්තා වන ආදම්ගෙන් උරුම වූ පාපය නිසා අපට උරුම වූ අසම්පූර්ණකම හේතුවෙනි. (රෝම 5:12; 1 යොහන් 1:10) ආදම්ගේ පව්කාර තත්වය මැවුම්කරුට එරෙහිව ඔහු කරන ලද කැරැල්ලේ ප්‍රතිඵලයක් වුණා. එහෙත්, මූලාරම්භයේදී ආදම් සහ ඒව සිටියේ පරිපූර්ණ පාප රහිත පුද්ගලයන් හැටියටයි. ඒ වගේම දෙවි පොරොන්දු වී තිබුණ මිනිසුන්ව පරිපූර්ණ තත්වයට යළි පමුණුවනවා කියා. පාපයත් එහි සියලු බලපෑ මුත් ඔහු ඉවත් කරනවා ඇති.—1 කොරින්ති 15:56, 57.

ඉන් අදහස් කරන දෙය ගැන නිකම් හිතා බලන්න! දිව පාවිච්චි කරන ආකාරය ගැන උපදෙස් දෙද්දී, යේසුස්ගේ අර්ධ සහෝදර යාකොබ් කිව්වේ මෙහෙමයි. “යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.” (යාකොබ් 3:2) පරිපූර්ණ මනුෂ්‍යයෙකුට තමාගේ දිව කොතරම් හොඳින් දමනය කරගන්නට පුළුවන්ද කියනවා නම්, තමාගේ දිව වැරදි ලෙස පාවිච්චි කිරීම ගැන කිසිවිටෙකත් සමාව ඉල්ලන්නට ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට තම ‘ශරීරය මුළුමනින්ම දමනය කරගන්නට’ හැකියි. අපත් පරිපූර්ණ පුද්ගලයන් වන විට, එය මොනතරම් පුදුමාකාර දෙයක් වේවිද! ඉන්පසු පුද්ගලයන් අතර සමාදානයට කිසිවිටෙකත් වැටකඩොලු නොතිබෙනු ඇත! ඒ අතරතුර අප කළ වරදකට සුදුසු ලෙස අවංකව සමාව ඉල්ලනවා නම්, සමාදානය ඇති කරගැනීමට එය මහත් රුකුලක් වෙනවා නොඅනුමානයි.

[පාදසටහන]

^ 8 ඡේ. මෙම උත්තම පූජකයාව පාවුල්ට හොඳ හැටි හඳුනාගන්නට බැරි වුණේ ඔහුගේ ඇස් පෙනීම දුර්වල වී තිබීම නිසා විය හැකියි.

[5වන පිටුවේ පින්තූරය]

පාවුල්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

[7වන පිටුවේ පින්තූරය]

සෑම කෙනෙක්ම පරිපූර්ණ වන විට, සමාදානයට කිසිදු බාධාවක් තිබෙන්නේ නැහැ