ප්‍රීතියක් අද්දැකිය හැකි අයුරින් සම්මාදම් දීම
ප්‍රීතියක් අද්දැකිය හැකි අයුරින් සම්මාදම් දීම
බ්‍රසීලයේ ඊසාන දෙසට වූ මුඩුක්කු නගරයක ජීවත් වන ජෙනීවෝ දරු පවුලක් රකින්නේ රෝහලක ආරක්ෂිත නිලධාරියෙක් ලෙස සේවය කිරීමෙන් ලද සොච්චම් වැටුපෙනි. කොතරම් අගහිඟකම් තිබුණද තමන් ලද ආදායමෙන් දසයෙන් කොටස දුන්නේ ඉමහත් වගකීමකින් යුක්තවයි. “සමහර දවස්වලට අපිට කන්න පාන් කෑල්ලක්වත් තිබුණේ නැහැ. ඒ මොනවා වුණත් මම දෙවියන්ට මගේ උපරිමය දුන්නා.” ජෙනීවෝ එලෙස පැවසුවේ තම කුස අතගාමිනි.
ජෙනීවෝ, තම රැකියාව අහිමි වූ පසුත් දසයෙන් කොටස ගෙවීම අතපසු කළේ නැත. ඔහුගේ පූජකවරයා ඔහුට ඇවිටිලි කළේ විශාල පරිත්‍යාගයක් කර දෙවියන් ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය නිරීක්ෂණය කරන ලෙසයි. ස්ථිර වශයෙන්ම දෙවියන් විශාල ආශීර්වාදයක් වගුරුවා දෙයි කියා පූජකවරයා ඔහුට සහතික වූයේය. එමනිසා ජෙනීවෝ තමන්ගේ නිවස විකුණා එයින් ලැබෙන මුදල පල්ලියට දීමට තීරණය කළේය.
සම්මාදම් දීමේදී අවංකව කටයුතු කරන්නේ ජෙනීවෝ පමණක් නොවෙයි. බොහෝ අන්ත අසරණ දුගී මනුෂ්‍යයෝ පවා දසයෙන් කොටස ගෙවති. මන්දයත් එය බයිබලයේ අණක් කියා පල්ලි මගින් ඔවුන්ට උගන්වා ඇති හෙයිනි. එය සත්‍යයක්ද?
දසයෙන් කොටස සහ මෝසෙස්ගේ නීතිය
දසයෙන් කොටස ගෙවීමට වූ අණ මෝසෙස්ට දෙන ලද නීතියට ඇතුළත් වී තිබුණු අතර යෙහෝවා එය දෙනු ලැබුවේ අවුරුදු 3,500කට පෙර පුරාණ ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොසටයි. නීතියෙහි නියම කර තිබූ ආකාරයට භූමියෙන් සහ පලතුරු ගස්වලින් ලද පලදාවෙන් දසයෙන් කොටසක්ද සත්ව රැළෙන් දසයෙන් කොටසක්ද ලෙවීවරුන්ට දෙනු ලැබුවේ මණ්ඩපයේ සේවය කරගෙන යෑමට උපකාරයක් වශයෙනි.—ලෙවී කථාව 27:30, 32; ගණන් කථාව 18:21, 24.
නීතිය ඉටු කිරීම ඔවුන්ට ‘දුෂ්කර එකක් නොවන බවට’ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට සහතික විය. (ද්විතීය කථාව 30:11, නව අනුවාදය) ඔවුන් දසයෙන් කොටස ඇතුළුව දෙවිගේ නියමයන් විශ්වාසවන්තව පිළිපැද්ද තාක් කල් පොරොන්දු කළ ලෙස සරු අස්වැන්නක් නෙළාගැනීමට ඔවුන්ට හැකි විය. එලෙසම අවුරුද්දකට වතාවක් දුන් අමතර දසයෙන් කොටස ආගමික වත් පිළිවෙත් සඳහා සෙනඟ රැස් වූ අවස්ථාවේදී භාවිත කිරීම සඳහා වෙන් කරන ලදි. එය කරනු ලැබුවේ, “විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත්” අවුත් කා තෘප්තියට පැමිණෙන පිණිසය.—ද්විතීය කථාව 14:28, 29; 28:1, 2, 11-14.
දසයෙන් කොටස ගෙවීමට අසමත්වූවන්ට නීතියෙන් දඬුවමක් නියම කර නොතිබුණි. නමුත් එය ගෙවීමෙන් සැබෑ නමස්කාරයේ අභිවෘද්ධියට දායක වීම සෑම ඊශ්රායෙලිතයෙකුගේම වගකීමක් විය. ඇත්තෙන්ම තමන්ට දිය යුතු ‘දසයෙන් කොටස සහ යාග සොරාගන්නවා’ කියා මලාකීගේ කාලයේ දසයෙන් කොටස ගෙවීමට අසමත් වූ ඊශ්‍රායෙලිතයන්ට යෙහෝවා චෝදනා කළ බව සත්‍යයක්. (මලාකී 3:8, New International Version) නමුත් දසයෙන් කොටස නොගෙවන ක්‍රිස්තියානීන්ටද එම ප්‍රකාශය අදාළද?
මෙම නිදසුන මොහොතකට සලකා බලන්න. එක රටක නීති පද්ධතියක් තවත් රටකට වලංගු නැත. නිදසුනකින් පෙන්වනවා නම් බ්‍රිතාන්‍ය රියැදුරෙකු එම රටේ මාර්ග නීතිය අනුව වාහනය පැදවිය යුත්තේ වම් පැත්තෙනි. නමුත් එම නීතිය ප්‍රංශයේ රියැදුරන්ට අදාළ නොවෙයි. ඒ හා සමානව දසයෙන් කොටස ගෙවීමේ අවශ්‍යතාව සඳහන් කර තිබුණේ දෙවිත් ඊශ්‍රායෙල් ජාතියත් අතර ඇති කරගත් ගිවිසුමෙහිය. (නික්මයාම 19:3-8; ගීතාවලිය 147:19, 20) එම නීතිය ඉටු කිරීමට බැඳී සිටියේ ඊශ්‍රායෙල්වරුන් පමණි.
දෙවි වෙනස් නොවුණත් ඔහු අපගෙන් අපේක්ෂා කරන දේවල් යම් අවස්ථාවලදී වෙනසකට භාජනය විය හැකියි. (මලාකී 3:6) බයිබලයේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ, පොදු යුගයේ 33දී යේසුස්ගේ යාගික මරණය මගින් නීතිය සහ ‘දසයෙන් කොටස එකතු කිරීමට වූ ආඥාවද’ ‘මකා දමනු’ හෝ ‘නැති කර දමනු’ ලැබූ බවයි.—කොලොස්සි 2:13, 14; එපීස 2:13-15; හෙබ්‍රෙව් 7:5, 18.
ක්‍රිස්තියානි සම්මාදම්
ඒ කෙසේවෙතත්, සැබෑ නමස්කාරයට සහයෝගය දැක්වීම සඳහා සම්මාදම් කිරීමේ අවශ්‍යතාව නම් දිගටම පැවතුණි. ‘පොළොවේ ඈත සීමාව දක්වා සාක්ෂිකරුවෝ වන්න’ කියා යේසුස් තම ගෝලයන්ට පැවරුමක් දෙනු ලැබීය. (ක්‍රියා 1:8) මේ අනුව, අදහන්නන් සංඛ්‍යාවෙන් වැඩි වූ විට සභාව බැහැදැකීමට යෑමට සහ ශක්තිමත් කිරීමට ක්‍රිස්තියානි ගුරුවරු සහ අවේක්ෂකයන් තව තවත් අවශ්‍ය විය. එසේම සමහර අවස්ථාවන්වල වැන්දඹුවන්, අනාථයන් සහ වෙනත් අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමටද සිදු විය. මෙවන් වගකීම් ඉටු කිරීමට අවශ්‍ය කරවන මුදල් පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් විසින් සොයාගනු ලැබුවේ කෙසේද?
පොදු යුගයට පෙර 55දී පමණ යුදයේ අගහිඟකම් තිබූ සභාවකට උපකාර කරන්න කියා යුරෝපයේ සහ කුඩා ආසියාවේ සිටි යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ගෙන් අයැදීමක් කරන ලදි. “ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්” එකතු කරනු ලැබුවේ කෙසේද කියා පාවුල් කොරින්ති සභාවට ලියූ ලිපිවල පැහැදිලි කළේය. (1 කොරින්ති 16:1) ක්‍රිස්තියානීන් සම්මාදම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පාවුල් කළ පැහැදිලි කිරීම දුටු විට ඔබ පුදුමයට පත් විය හැකියි.
සම්මාදම් කරන්න කියා පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට බල කළේ නැත. මකිදෝනියේ ක්‍රිස්තියානීන් ‘දුක් විඳිමින්’ සහ ‘මහත් දිළිඳුකමින්’ සිටියත් ‘ශුද්ධවන්තයන්ට උපස්ථාන කිරීමට පංගුකාරයන් වීමේ ප්‍රසාදය තමන්ටද දෙන මෙන් ඔවුහු බොහෝ කන්නලව් ඇතුව ඔහුගෙන් ඉල්ලුවෝය.’—2 කොරින්ති 8:1-4.
කොරින්තියේ සිටි ධනවත් ක්‍රිස්තියානීන්ට මකිදෝනියේ සිටි පරිත්‍යාගශීලි සහෝදරයන්ව අනුකරණය කරන්නැයි පාවුල් පැවසූ බව සත්‍යයකි. නමුත් ඔහු එය කළේ ‘බල කිරීමෙන් නොව අයැදිමින්, යෝජනා කරමින් හෝ දිරිගන්වමින්ය. සම්මාදම් කරන්න කියා බල කර තිබුණා නම් ආශාවකින් සහ සිතේ කැමැත්තකින් ඔවුන් සම්මාදම් කරන්න ඇතැයි කියා සිතිය නොහැකියි’ කියා එක් විශ්වකෝෂයක සඳහන් විය. “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව . . . සතුටු සිතින් දෙන්නාට දෙවි ප්‍රේම කරන” බව පාවුල් හොඳාකාරවම දැන සිටියේය.—2 කොරින්ති 9:7.
ශක්තිමත් ඇදහිල්ල සහ දැනුම මෙන්ම සෙසු ක්‍රිස්තියානීන්ට දක්වන අව්‍යාජ ප්‍රේමය සිතේ කැමැත්තෙන් සම්මාදම් කිරීමට ඔවුන්ව පෙලඹූ බව නිසැකයි.—2 කොරින්ති 8:7, 8.
‘තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දෙන්න’
පාවුල් යම් ප්‍රමාණයක් හෝ සියයට ගණනක් සඳහන් නොකර “සෑම සතියකම පළමුවෙනි දින ඔබෙන් එකිනෙකා තම තමාගේ ආදායමට අනුව, යම් මුදලක් වෙන් කර තබාගන්න” කියා ඔවුන්ට යෝජනා කළේය. (1 කොරින්ති 16:2, NIV) කලින්ම දෙන ප්‍රමාණය තීරණය කර එය වෙන් කර තැබීම හේතුවෙන් පාවුල් පැමිණි කල ඔහුට සම්මාදම් දීම ඔවුන්ට මහත් හිසරදයක් ලෙසට හෝ බලහත්කාරයෙන් ඉල්ලන යමක් ලෙසට හැඟුණේ නැත. එය ක්ෂණිකව පහළ වූ සිතුවිලිවලින් පෙලඹී කළ යමක්ද නොවීය. සෑම ක්‍රිස්තියානියෙකුම තමන් කොතරම් ප්‍රමාණයක් දෙනවාද කියා තීරණය කිරීම පෞද්ගලික කාරණයක් විය. එනම් දෙනු ලැබුවේ තමන් ‘සිතින් නියම කරගත් ලෙසයි.’—2 කොරින්ති 9:5, 7.
නොමසුරුව කපාගැනීම සඳහා නොමසුරුව වැපීරීමට කොරින්තිවරුන්ට සිදු විය. කිසිම අවස්ථාවක අතේ ඇති අන්තිම සතෙත් දෙන්න කියා ඔවුන්ට සඳහන් නොකළ බව සහතිකයි. සම්මාදම් කළ යුත්තේ ‘ඔබට අමාරු වන ලෙස නොවෙයි’ කියා පාවුල් ඔවුන්ට සහතික විය. සම්මාදම් පිළිගනු ලැබුවේ ‘යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්රකාරයටය.’ (2 කොරින්ති 8:12, 13; 9:6) ප්‍රේරිතවරයා පසුව ලියූ ලිපියක මෙලෙස ලියනු ලැබීය. “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය රක්ෂා නොකරන්නේ නම් ඔහු ඇදහිල්ල එපා කළේය. ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) මෙම නීතිය උල්ලංගනය කරමින් සම්මාදම් කරන්න කියා පාවුල් කිසිවිටකත් දිරිගැන්වූයේ නැත.
පාවුල් ‘ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්’ එකතු ක්‍රියා 3:6) සභාවන් විසින් ඔහුට එවනු ලැබූ පරිත්‍යාගයන් පාවුල් සතුටෙන් භාරගත්තද තම සහෝදරයන්ට ‘බරක් නොවීමට’ හේ වගබලා ගත්තේය.—1 තෙසලෝනික 2:9; පිලිප්පි 4:15-18.
කළ විට එසේ කළේ අවශ්‍යතා තිබූ අයට පමණක් බව අවධානයට ගන්න. පාවුල් හෝ වෙනත් ප්‍රේරිතවරු තමන්ගේ සේවය සඳහා සම්මාදම් එකතු කළා කියා හෝ දසයෙන් කොටසක් ලබාගත්තා කියා ලියවිලි තුළ අපට කියවන්න ලැබෙන්නේ නැත. (අදදින පිරිනමන ස්වේච්ඡා සම්මාදම්
පළවෙනි ශතවර්ෂයේ සිටි ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ස්වේච්ඡාවෙන් සම්මාදම් කළා මිසක් දසයෙන් කොටසක් දෙනු ලැබුවේ නැති බව පැහැදිලියි. නමුත් ශුභාරංචිය දේශනා කිරීමට සහ අගහිඟකම් මැද සිටින ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට තවමත් තිබෙන හොඳම ක්‍රමය මෙයද කියා ඔබ කල්පනා කරනවා විය හැකියි.
මතු සඳහන කෙරෙහි සැලකිල්ලක් දක්වන්න. වර්ෂ 1879දී මෙම සඟරාවේ සංස්කාරකයන් විවෘතව කියා සිටියේ ඔවුන් “කිසිවිටකත් මනුෂ්‍යයන්ගෙන් ආධාර ඉල්ලන්නේවත් අයැදින්නේවත් නැති” බවයි. ඔවුන් ගත් එම තීරණය නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබල් සත්‍යයන් ප්‍රකාශ කිරීමට ගත් වෑයම්වලට බාධා ඇති වූවාද?
වර්තමානයේදී සාක්ෂිකරුවෝ බයිබල්, ක්‍රිස්තියානි පොත් පත් සහ වෙනත් ප්‍රකාශන රටවල් 235ක් පුරා බෙදාහරිමින් සිටියි. බයිබල් දැනුම ලබා දෙන ද වොච්ටවර් සඟරාව මුලදී එක් භාෂාවකින් මුද්‍රණය කළ අතර එහි පිටපත් 6000ක් බෙදාහැරීය. නමුත් වර්තමානයේ එය මසකට සඟරා දෙකක් එළි දකින ආකාරයෙන් පිටපත් 24,000,000කට අධික සංඛ්‍යාවක් භාෂා 146කින් මුද්‍රණය කරනු ලැබේ. ඔවුන්ගේ බයිබල් අධ්‍යයන වැඩය සංවිධානය කිරීම සඳහා සාක්ෂිකරුවන් රටවල් 110ක ශාඛා කාර්යාල පිහිටුවා තිබේ. ඊට අමතරව බයිබල් උපදෙස් ලබාගැනීමට සතුටු අය සඳහා රැස්වීම් පවත්වන ස්ථාන සහ එක්රැස්වීම් ශාලා දහස් ගණනක් ගොඩනඟා ඇත.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් මනුෂ්‍යයන්ගේ ආත්මික අවශ්‍යතා කෙරෙහි මූලික අවධානය දෙනු ලැබුවත් ඔවුන් තම සෙසු ඇදහිලිවන්තයන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතාවන් පිරිමැසීමද අතපසු කරන්නේ නැත. යුද්ධ, භූමිකම්පා, සාගත, කුණාටු වැනි ආපදාවන්ට ඔවුන්ගේ සහෝදරයන් මුහුණ දෙන විට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ආහාරපාන, ඇඳුම් සහ වෙනත් අවශ්‍යතාවන් සපයා දීමට ඔවුහු යුහුසුලුව
ක්‍රියාත්මක වෙති. මෙම සේවාවන් සඳහා මූල්‍යමය සහාය ලබාගන්නේ එක් එක් ක්‍රිස්තියානීන් සහ සභාවන් මගින් දෙනු ලබන පරිත්යාගයන්ගෙනි.ස්වේච්ඡා සම්මාදම් ක්‍රමය සාර්ථක ක්‍රමයක් වන අතරම එය අගහිඟකම් මැද සිටින ලිපිය ආරම්භයේදී සඳහන් කළ ජෙනීවෝ වැනි උදවියට සහනයක් ගෙන දෙයි. භාග්‍යයකට ඔහු තම නිවස විකිණීමට පෙර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවිකාවක් වන මරියාව ඔහුට මුණගැසිණ. “එදා ඇති වුණ සාකච්ඡාව මගේ පවුල මුහුණ දෙන්න ගිය දුෂ්කරතාවලින් ආරක්ෂා කළා.” ජෙනීවෝ තම අතීතය සිහිපත් කළේ එලෙසයි.
දෙවිගේ සේවය රඳා තිබෙන්නේ දසයෙන් කොටස මත නොවෙයි කියා ජෙනීවෝ වටහාගත්තේය. ඇත්තෙන්ම දසයෙන් කොටස ගෙවීම තවදුරටත් ශුද්ධ ලියවිලිමය අණක්ද නොවෙයි. සතුටු සිතින් සම්මාදම් කරන විට ක්‍රිස්තියානීන් ආශීර්වාද ලබන බවත් තමන්ගේ හැකියාවන්ට ඔබ්බෙන් දේවල් දීමට තමන් බැඳී නැති බවත් ඔහු ඉගෙනගත්තේය.
සතුටු සිතින් සම්මාදම් කිරීම ජෙනීවෝට සැබෑම සතුටක් ගෙනාවේය. “සමහරවිට මම දසයෙන් කොටසක්ම නොදෙනවා වෙන්න පුළුවන්. නමුත් මම දෙන දේ ගැන මම සැහීමට පත් වෙනවා. මට විශ්වාසයි යෙහෝවාත් ඒ ගැන සතුටු වෙනවා කියලා.”
[6වන පිටුවේ කොටුව⁄පින්තූර]
මුල් සභා පියවරුන් දසයෙන් කොටස දීමේ නීතිය උගන්වනු ලැබුවාද?
“අප අතර සිටින පොහොසත් අය දුප්පත් අයට උපකාරය පිරිනමයි . . . අත මිට සරු අය කැමැත්තෙන් එක් එක්කෙනා සුදුසුයි කියා සිතන ප්‍රමාණයක් දෙනු ලබයි.”—The First Apology, ජස්ටින් මාටර්, පො.යු. 150 පමණ.
“ඇත්තටම යුදෙව්වන් තම ආදායමින් දසයෙන් කොටසක් කැප කළේ දෙවිට. නමුත් ක්‍රිස්තියානීන් තමන්ගේ සෑම දෙයක්ම කැප කරන්නේ දෙවිගේ අරමුණ උදෙසා, . . . හරියට දුප්පත් වැන්දඹු ස්ත්‍රිය තමන් සන්තක සියල්ල දෙවිගේ භාණ්ඩාගාරයට සම්මාදම් කළා වගේයි.”—Against Heresies, ඉරෙනියස්, පො.යු. 180 පමණ.
“අපිට සම්මාදම් එකතු කිරීමට කැටයක් තිබෙනවා. නමුත් ගැලවීම ලබාගන්නට නම් අනිවාර්යයෙන්ම මුදලක් දැමිය යුතුයි කියන ආගම් මෙන් එයට මුදලක් දැමිය යුතුමයි කියා කිසිදු බල කිරීමක් නැහැ. යම් පුද්ගලයෙක් සතුටු නම් මාසයකට වතාවක් සුළු පරිත්‍යාගයක් කිරීමට ඔහුට හැකියි. ඒත් සම්මාදම් දෙන්නේ ඔහු සතුටු පරිදි සහ ඔහුට හැකි නම් පමණයි. කිසිම බල කිරීමක් නැහැ. සතුටු නම් පමණයි.”—Apology, ටර්ටූලියන්, පො.යු. 197 පමණ.
“පල්ලිය පුළුල් වී ඊට අනුබද්ධ නොයෙකුත් ආයතන බිහිවීමට පටන්ගත් විට පූජකයන්ට ක්‍රමවත්ව සහ නොකඩවාම මූල්‍යමය සහාය ලබාගැනීම සඳහා නීති දැමීමේ අවශ්‍යතාවය පැනනැඟිණ. මේ සඳහා මෝසෙස්ගේ නීතියෙහි තිබූ දසයෙන් කොටස ගෙවීමේ නීතිය ඈඳාගනු ලැබීය . . . පෙනෙන ආකාරයට, ඉහත සඳහන් කරන ලද නීතිය නිශ්චිත ලෙස සඳහන් කරනු ලැබුවේ පො.යු. 567දී ප්‍රංශයේ ටූර්ස් නුවරේ රැස් වූ බිෂොප්වරුන්ගේ ලිපියක් තුළ සහ පො.යු. 585 ප්‍රංශයේ මැකන් නුවර රැස් වූ දේවගැතියන්ගේ කවුන්සලය විසින් ස්ථාපිත කරන ලද [නීති පද්ධතිය] තුළය.”—The Catholic Encyclopedia.
[හිමිකම් විස්තර]
Coin, top left: Pictorial Archive (Near Eastern History) Est.
[4, 5වන පිටුවේ පින්තූරය]
සතුටු සිතින් සම්මාදම් කිරීම ප්‍රීතිය ගෙන දේ
[7වන පිටුවේ පින්තූර]
සතුටු සිතින් දෙන සම්මාදම් දේශනා සේවයට, හදිසි සහනාධාර සැපයීමට, රැස්වීම් පවත්වන ස්ථාන ගොඩනැඟීමට යොදාගැනේ