දෙවිගේ දෘෂ්ටි කෝණයෙන් කාරණා දෙස බලන්න
දෙවිගේ දෘෂ්ටි කෝණයෙන් කාරණා දෙස බලන්න
වර්ෂ 2002 සැප්තැම්බර් 14වනදා, අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයට හොඳින් හිරු පෑයූ උණුසුම් දවසක් වුණා. එම දවසේ, 6,521දෙනෙකුගෙන් සමන්විත වූ ජාත්‍යන්තර සමූහයක් පැටර්සන්හි අධ්‍යාපනික මධ්‍යස්ථානයට හා එම පළාතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තවත් ගොඩනැඟිලි දෙකකට එක්රැස් වුණා. එම සමූහයා එහි එක්රැස් වුණේ ගිලියද්හි වොච්ටවර් බයිබල් පාසැලේ 113වෙනි පංතියේ උපාධි ප්රධානෝත්සවයටයි. එම ශිෂ්‍යයන් රටවල් 14කින් පැමිණ සිටි අතර, ඔවුන් පැවරුම් ලබා සිටි රටවල් 19කට පිටත්ව යෑමට සූදානම් වීම සඳහා පසුගිය මාස පහ ගත කොට තිබුණා.
මෙම වැඩසටහනේ සභාපති ලෙස කටයුතු කළේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන 98 හැවිරිදි කේරි බාබර්. ගිලියද් පාසැලේ වසර 60ක උරුමය කෙරෙහි ඔහු සබයේ අවධානය යොමු කළා. එය මිෂනාරී ක්ෂේත්රයට යෑම පිණිස දහස් ගණනක් සන්නද්ධ කර තිබෙන පාසැලක්. සහෝදර බාබර් මෙසේ පවසා සිටියා. “මෙම පාසැලින් වැඩිදුර පුහුණුව ලබා සිටීමෙන් ඔවුන් ඉමහත් ප්‍රතිඵල නෙළාගෙන තිබෙන බව පැවසීම අතිශයෝක්තියක් නෙවේ. පොළොව පුරා සිටින මොළොක් ගුණැති මනුෂ්‍යයන් සිය දහස් ගණනක් තමන්ගේ ජීවිතය යෙහෝවාට කැප කොට තිබෙන අතර, යෙහෝවාගේ සැබෑ නමස්කාරය වැලඳගෙන ඔහුට පරිශුද්ධ සේවය පිරිනමන්න ඉදිරිපත් වී තිබෙනවා. ඔවුන් එසේ කර තිබෙන්නේ පුහුණුව ලත් මිෂනාරිවරුන් ඔවුන්ට දී ඇති සහාය නිසායි.”
ගිලියද් පාසැලට ඇතුල් වීමට පෙර, මෙම ශිෂ්‍යයන්ගෙන් බොහෝදෙනෙක් තමන්ගේ දේවසේවය පුළුල් කිරීමට බොහෝ උනන්දුවෙන් කටයුතු කළා. කැනඩාවේ වෙසෙන එක් යුවළක් තමන්ගේ ප්‍රදේශයේ සිටි චීන ජාතික ජනයා වෙසෙන විශාල ප්‍රදේශයක සේවය කිරීමට යත්න දරමින් චීන භාෂාව ඉගෙනගැනීම සඳහා වසරකට වැඩි කාලයක් වැය කර තිබුණා. තවත් යුවළක් තමන්ගේම උනන්දුවෙන් ඇල්බේනියානු භාෂාව හැදෑරීමට පටන්ගත් අතර, අන්තිමේදී ඇල්බේනියාවේ බයිබලය ඉගෙනගැනීමට උනන්දුවෙන් සිටි අයට උපකාර කිරීම සඳහා එහි පදිංචියට ගියා. ගිලියද් පාසැලට පැමිණි අනෙකුත් අය හංගේරියාව, ග්වාටමාලාව සහ ඩොමිනිකන් සමූහාණ්ඩුව යන රටවලින් පැමිණ සිටි අතර, දේවවචනය උගන්වන ගුරුවරුන්ව මහත් සේ අවශ්‍යව තිබූ එම රටවල සේවය කිරීම සඳහා ගිලියද් පාසලට යන්න කලින් ඔවුන් ඒ රටවලට ගොස් තිබුණා.
දැන්, අප්‍රිකාවේ, නැඟෙනහිර යුරෝපයේ, මධ්‍යම සහ දකුණු අමෙරිකාවේ තම පැවරුම්වලට යෑමට පෙර, උපාධි ලද සියලුම ශිෂ්‍යයන්ව දිරිගන්වනු ලැබුවේ තමන් කරන සියලු දේවලදී දෙවිව සැලකිල්ලට ගන්නා ලෙසටයි.
දෙවිගේ දෘෂ්ටියෙන් කාරණා දෙස බලන්න
ආරම්භක අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව, සහෝදර බාබර්, එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙකු වන මැක්ස්වල් ලොයිඩ්හට ඇරයුම් කළා. ඔහු හුවා දැක්වූ තේමාව වූයේ, “සියලු කාරණා දෙවිගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න” යන්නයි. සහෝදර ලොයිඩ්, දාවිත් සහ දෙවිගේ පුත්‍ර යේසුස්ගේ ආදර්ශයන් කෙරෙහි අවධානය යොමු කළා. (1 සාමුවෙල් 24:6; 26:11, NW; ලූක් 22:42) මාස පහකින් සමන්විත මෙම අධ්‍යයනය මගින් දෙවිගේ දෘෂ්ටි කෝණයෙන් කාරණා දෙස බැලීමට ඔවුන් පුහුණුව ලැබූ බව සිහිපත් කරමින් කථිකයා මෙසේ ඇසුවා. “ඔබගේ නව පැවරුමේදී, මිනිසුන් සමඟ බයිබල් පාඩම් පවත්වන විට දෙවිගේ දෘෂ්ටි කෝණයෙන් කාරණා දෙස බලන්නට ඔබ ඔවුන්ට උපකාර කරනවාද?” ඒ වගේම අනික් අයට උපදෙස් දීම සම්බන්ධයෙන් ඔහු සිය ශිෂ්‍යයන්ට මෙසේ අවවාද කළා. “මට පේන විදිහට, නැත්නම් මට හිතෙන විදිහට කියා කියන්නට එපා. . . . ඒ වෙනුවට දෙවිගේ දෘෂ්ටිය දැකගැනීමට ඔවුන්ට උදව් කරන්න. ඔබ එහෙම කරනවා නම්, ඔබගේ පැවරුම තුළ ඔබ සමඟ ඇසුරු කරන අයට ඔබ නියම ආශීර්වාදයක් වනවාට කිසිම සැකයක් නැහැ.”
වැඩසටහනේ ඊළඟ කොටස ඉදිරිපත් කළේ, පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන ගෙරට් ලොෂ්. ඔහු කතා කළ තේමාව වුණේ, “මම ඔබ සමඟ සිටිමි” යන්නයි. යෙහෝවා තම විශ්වාසවන්ත සේවකයන්ට ‘මම ඔබ සමඟ සිටිමි’ කියා පැවසූ අවස්ථා බොහොමයකට ඔහු අවධානය යොමු කළා. (උත්පත්ති 26:23, 24; 28:15; යෝෂුවා 1:5; යෙරෙමියා 1:7, 8) අපගේ දවසේදී, අප යෙහෝවාට විශ්වාසවන්තව සිටිනවා නම් අපටත් එම නිසැකකමම තබාගත හැකියි. සහෝදර ලොෂ් පැහැදිලි කළේ මෙසේයි. “ඔබ සමඟ බයිබලය පාඩම් කරන්න කැමති අය හමු නොවේය කියා ඔබ ලත වෙනවාද? මතක තබාගන්න, යෙහෝවා කිව්වේ ‘මම ඔබ සමඟ සිටිමි’ කියලායි. ද්‍රව්‍යමය දේවල් ඇති තරම් නොලැබේවිය කියා ඔබ ලත වෙනවාද? යෙහෝවා කිව්වේ, ‘මම කිසි සේත් ඔබෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් ඔබව අත් නොහරිමි’ කියායි. (හෙබ්‍රෙව් 13:5) ඒ වගේම ගෝලයන් සෑදීමේ වැඩය කිරීමේදී යේසුස් තම විශ්වාසවන්ත අනුගාමිකයන් සමඟ සිටිනු ඇති බවට පොරොන්දු වුණා කියා ශිෂ්‍යයන්ට මතක් කරමින් සහෝදර ලොෂ් තම කතාව අවසන් කළා.—මතෙව් 28:20.
“ගිනිමය පරීක්ෂාවලදී ඔබ ආරක්ෂාව ලබනු ඇතිද?” යන්න ගිලියද් උපදේශකයෙකු වූ ලෝරන්ස් බොවෙන්ගේ කතාවේ තේමාවයි. ඒදන් උයනේදී පැනනැඟි ප්‍රශ්න නිසා, යෙහෝවාට තනි භක්තිය දීමට කැමති සියල්ලන්ම දුෂ්කරතාවලට, ඇතැම් අවස්ථාවලදී ගිනිමය පරීක්ෂාවලට මුහුණ දී ඇති බව ඔහු පෙන්නුම් කළා. හෙබ්‍රෙව් 5:8-10) නිසි ප්‍රමාණයට ගිනියම් කරමින් රත්රන්වල අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරන රන්කරුවෙකුට යෙහෝවාව සමාන කළ හැකියි. ඇත්ත වශයෙන්ම ගිනිමය පරීක්ෂාවලින් පිරිසිදු කරන ඇදහිල්ල මගින්, පිරිපහදු කරන ලද රත්රන්වලින් ලැබෙන ආරක්ෂාවට වඩා බොහෝ ආරක්ෂාවක් ලැබිය හැකියි. ඒ ඇයි? සහෝදර බොවෙන් ඊට පිළිතුරු දුන්නේ මෙසේයි. “පිරිපහදු කරන ලද ඇදහිල්ල මගින් ඕනෑම පරීක්ෂාවකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා පමණක් නොව ‘අන්තිමය දක්වාම’ විඳදරාගැනීමටද එය අපව සන්නද්ධ කරනවා.”—මතෙව් 24:13.
තවදුරටත් ඔහු උපාධි ලබන ශිෂ්‍යයන්හට දිරිගන්වා සිටියේ, යෙහෝවා කෙරෙහි මුළුමනින්ම රඳා සිටීමෙන් සහ සිය පුත්‍රයාගේ කීකරුකම සම්පූර්ණ කිරීමට යෙහෝවා විසින් ඉඩහළ ගිනිමය පීඩා භාරගැනීමෙන් සැබෑ ආරක්ෂාව සොයාගත් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන ලෙසටයි. (තවත් ගිලියද් උපදේශකවරයෙකු වන මාර්ක් නූමෙයා මෙසේ ඇසුවා. “ඔබ ප්‍රියමනාප පුද්ගලයෙකු වනු ඇද්ද?” ඔහුගේ තේමාව පදනම් වුණේ 1 සාමුවෙල් 2:26 මතයි. එහි විස්තර කරන්නේ සාමුවෙල් “යෙහෝවා ඉදිරියෙහිත් මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ප්‍රසන්නව [ප්‍රිය මනාපව, NW] සිටි” කෙනෙකු ලෙසටයි. සාමුවෙල්ගේ ආදර්ශය ගැන සලකා බැලුවායින් පසුව අප්‍රිකාවේ මිෂනාරී සේවයේ දශකයකට වඩා නියැලී සිටි සහෝදර නූමෙයා මෙසේ ප්‍රකාශ කළා. “දෙවි ඔබට දී ඇති වැඩයට පක්ෂපාතව ඇලී සිටීමෙන් ඔබටත් දෙවි ඉදිරියේ ප්‍රියමනාප පුද්ගලයෙකු විය හැකියි. ඔහු ඔබට දී ඇත්තේ ඉතා වටිනා මිෂනාරී පැවරුමක්.” අනතුරුව සහෝදර නූමෙයා උපාධි ලබන මෙම පංතිය දිරිගන්වමින් කියා සිටියේ මෙය දෙවි විශ්වාසයෙන් යුතුව භාර දුන් පරිශුද්ධ වගකීමක් ලෙස සලකන ලෙසටත් තමන්ගේ පැවරුම ඉදිරියට කරගෙන යෑමේදී දෙවිගේ සිතිවිලි තමන්ගේ සිතිවිලි කරගන්නා ලෙසටත්ය.
මෙම පාසැල පැවැත්වෙන කාලය අතරතුරේදී, බයිබලයේ දක්වා ඇති ලෙසට “දෙවිගේ මහිමාන්විත දේවල්” ගැන ජනයා සමඟ කතා කිරීමට සති අන්තවලදී ඔවුන්ට බොහෝ ප්‍රස්තා තිබුණා. (ක්‍රියා 2:11, NW) ඇත්තටම කියනවා නම්, ඔවුන්ට මෙම දේවල් ගැන විවිධ භාෂා දහයකින් කතා කිරීමට හැකි වුණා. තවත් ගිලියද් උපදේශකවරයෙකු වන වොලස් ලිවරන්ස් ශිෂ්‍යයන් කණ්ඩායමක් සම්මුඛ සාකච්ඡාවට භාජනය කළ අතර, “‘දෙවිගේ මහිමාන්විත දේවල්’ ජනයාව ක්‍රියාවට පොලඹවයි” යන තේමාව යටතේ ඔවුන් තම අද්දැකීම් ඉදිරිපත් කළා. ඔහු සටහන් කළේ මෙහෙමයි. “පෙන්තකොස්ත දවසේදී උඩුමහල් කාමරයේ සිටි අයට ‘දෙවිගේ මහිමාන්විත දේවල්’ ගැන කතා කිරීමට පෙලඹවූයේ දෙවිගේ ආත්මයයි. එම ආත්මයම අද දිනත් දෙවිගේ විශ්වාසවන්ත සියලු සේවකයන් කෙරෙහි ක්‍රියා කරනවා.” සමහරක් අය තවත් බොහෝදෙනෙකුට සාක්ෂි දැරීමේ අරමුණින් නව භාෂාවන් ඉගෙනගැනීමටත් පෙලඹී සිටිනවා.
කාරණා දෙස දෙවිගේ දෘෂ්ටි කෝණයෙන් බැලීම පිළිබඳ ප්‍රායෝගික අවවාද
ආරම්භක කතාවලට පසුව, එක්සත් ජනපදයේ ශාඛාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන ගැරී බ්‍රෝ සහ විලියම් යං, මිෂනාරිවරුවන් දැනට සේවය කරන විවිධ රටවල ශාඛා කමිටුවල සාමාජිකයන්වද, මිෂනාරී සේවයේ වසර 41ක් සේවය කළ විවාහක යුවළක්වද සම්මුඛ සාකච්ඡාවට භාජනය කළා. මෙහිදී කරනු ලැබූ එක් නිරීක්ෂණයක් මෙසේයි. “වැඩියෙන් දේවල් ඉල්ලන්නේ නැති අයයි වැඩි කල් සේවය තුළ රැඳී සිටින්නේ. ඔවුන් නිතරම අවධානය යොමු කරන්නේ තමන් ආපු කාරණය වෙතටයි. ඔවුන් දන්නවා තමන් ආවේ ශුභාරංචිය දේශනා කරන්නටත් යෙහෝවා ගැන දැනගන්න ජනයාට උපකාර කරන්නටත් කියලා.”
පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන ඩේවිඩ් ස්ප්ලේන්, “ඔබ යන්නේ එතරම් දුරකට නොවේ!” යන තේමාව යටතේ වැඩසටහන අවසන් කරමින් කතා කළා. ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? ඇරත් උපාධිධාරීන් 46දෙනාව ලෝ වටා ඇති රටවලට යවන මේ අවස්ථාවේදී ඔහු මින් අදහස් කළේ කුමක්ද? ඔහු පැහැදිලි කළේ මෙහෙමයි. “ඔබ ලෝකයේ කොහේ හිටියත්, ඔබ විශ්වාසවන්තව සිටින තාක් කල් ඔබ සැමවිට සිටින්නේ දෙවිගේ ගෘහය තුළයි.” ඔව්, තමන් කොහේ ජීවත් වුණත්, විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් සියල්ලන්ම සේවය කරන්නේ දෙවිගේ මහත් ආත්මික මාළිගාවේ හෙවත් ගෘහයේ කොටසකයි. මෙම ආත්මික මාළිගාව පවතින්නේ පළමු සියවසේ යේසුස්ගේ බව්තීස්මයේ සිටයි. (හෙබ්‍රෙව් 9:9) යෙහෝවා පොළොව මත ජීවත් වන තම විශ්වාසවන්ත සේවකයන් සියලුදෙනාටම ළංව සිටින බව දැනගැනීම එහි පැමිණ සිටි අයට මොනතරම් සැනසීමක් වුණාද! යේසුස් පොළොවේ ජීවත් වෙනකොට යෙහෝවා ඔහු කෙරෙහි සැලකිලිමත් වුණාක් මෙන්, අප කොහේ හිටියත් ඔහු අප සියල්ලන් කෙරෙහිත් අප ඔහුට කරන සේවය කෙරෙහිත් ඔහු සැලකිලිමත් වෙනවා. ඉතින් නමස්කාරය සම්බන්ධ කාරණාවලදී, අපි යෙහෝවාගෙන් සහ යේසුස්ගෙන් මෙන්ම එකිනෙකාගෙන් එතරම් ඈතක නොවෙයි ඉන්නේ.
ලොව වටින්ම පැමිණි සුබ පැතුම් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ පැවරුම් ගැන නිවේදනය කළා. ගිලියද්හි තමන් ලද පුහුණුව කෙරෙහි පංතිය තම අගය ප්‍රකාශ කරන ලිපිය කියවීමෙන් පසුව, සභාපති එම වැඩසටහන ඉතා සාර්ථක අවසානයකට ගෙන ආවා. යෙහෝවාට කරන සේවය කිරීමේදී යහපත් ක්‍රියාවන්වල දිගටම නියැලෙන ලෙසටත් ඔහුගේ සේවය තුළ ප්‍රීති වන ලෙසටත් ඔහු නව මිෂනාරිවරුන්ට දිරිගැන්වුවා.—පිලිප්පි 3:1.
[23වන පිටුවේ කොටුව]
පංතියේ දත්ත
නියෝජිත රටවල් සංඛ්‍යාව: 14
පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 19
ශිෂ්‍ය සංඛ්‍යාව: 46
වයස් සාමාන්‍යය: 35.0
සත්‍යය තුළ සිටි අවුරුදු ගණනේ සාමාන්‍යය: 17.2
පූර්ණ කාලීන සේවය කර ඇති අවුරුදු ගණනේ සාමාන්‍යය: 13.7
[24වන පිටුවේ පින්තූරය]
ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 113වන පංතිය
පහත සඳහන් ලැයිස්තුවේ පේළි ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර නම් ලැයිස්තුගත කර තිබෙන්නේ වමේ සිට දකුණටයි.
(1) ලික්ට්හාට්, එම්.; හොසොයි, එස්.; බර්ක්ටෝල්ඩ්, ඒ.; ලිම්, සී.; ආඕකි, ජේ. (2) බාගියාෂ්, ජේ.; බියුකේ, එස්.; බොස්සී, ඒ.; ඕල්ටන්, ජේ.; එස්කෝබාර්, අයි.; එස්කෝබාර්, එෆ්. (3) ස්ටොයිකා, ඒ.; ස්ටොයිකා, ඩී.; ෆ්රීමර්ත්, එස්.; කාල්සොන්, එම්.; ලබ්ලොන්, ආර්. (4) බියංකි, ආර්.; බියංකි, එස්.; කාමින්ස්කි, එල්.; ජෝසෆ්, එල්.; පැරිස්, එස්.; ලබ්ලොන්, එල්. (5) පැරිස්, එම්.; ස්කිඩ්මෝර්, බී.; හෝටන්, ජේ.; හෝටන්, එල්.; ස්කිඩ්මෝර්, ජී. (6) ලිම්, බී.; ඕල්ටන්, ජී.; ක්විරීසි, ඊ.; ලැන්ග්ල්වා, එම්.; ස්ටයිනිංගර්, එස්.; ආඕකි, එච්. (7) ලැන්ග්ල්වා, ජේ.; ස්ටයිනිංගර්, එම්.; බොස්සී, එෆ්.; කාමින්ස්කි, ජේ.; බියුකේ, ජේ.; ලික්ට්හාට්, ඊ.; හොසොයි, කේ. (8) බාගියාෂ්, ජේ.; ක්විරීසි, එම්.; කාල්සොන්, එල්.; ෆ්රීමර්ත්, සී.; බර්ක්ටෝල්ඩ්, ඩබ්.; ජෝසෆ්, ආර්.