Skip to content

පටුනට යන්න

“ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” ප්‍රීතියෙන් එකට එක්රැස් වෙති

“ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” ප්‍රීතියෙන් එකට එක්රැස් වෙති

“ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” ප්‍රීතියෙන් එකට එක්රැස් වෙති

සදාචාරමය හා ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ඇති වන අර්බුද නිසා ලෝකය වියවුල්සහගත තත්වයක පවතී. කෙසේවෙතත් මෙවන් නොසන්සුන් වාතාවරණයක් ලෝකයේ පැවතියද දින තුනක් සාමකාමීව පවත්වන ලද “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එක්රැස් වූහ. වසර 2002 මැයි මාසයේ සිට පටන්ගත් මෙම සමුළු ලොව පුරාම පවත්වන ලදි.

මෙම සමුළු ප්‍රීතිමත් අවස්ථා වූ බව පැහැදිලිව දැකගත හැකි විය. බයිබලය මත පදනම් ගොඩනංවනසුලු මෙම සමුළු වැඩසටහන කෙටියෙන් නැවත සලකා බලමු.

යේසුස්ගේ ජ්වලිතය අවධාරණය කළ පළමුවන දවස

සමුළුවේ පළමුවන දවසේ තේමාව වූයේ “අපගේ ස්වාමී වූ යේසුස්ගේ ජ්වලිතය අනුකරණය කරන්න” යන්නයි. (යොහන් 2:17) “රාජ්‍ය ප්‍රකාශකයන් ලෙස එකතු වන මෙම අවස්ථාවේදී ප්‍රීති වෙමු” නමැති කතාවේදී දෙවිගේ සෙනඟ එක්රැස් වන සමුළුවල කවදත් දැකිය හැකි ප්‍රීතිය භුක්ති විඳීමට පැමිණ සිටි අයට උණුසුම් ලෙස ආරාධනා කරන ලදි. (ද්විතීය කථාව 16:15) මෙම කතාවෙන් පසුව ජ්වලිතව ශුභාරංචිය දේශනා කරන අයව සම්මුඛ සාකච්ඡාවලට කැඳවන ලදි.

“යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න” නමැති කතාවේදී ගීතාවලිය 37:1-11 දක්වා තිබෙන වගන්ති එකින් එක සාකච්ඡා කෙරිණ. දුෂ්ට මිනිසුන් ලබමින් සිටිනවා කියා පෙනෙන්න තිබෙන සාර්ථකත්වයට ‘ඊර්ෂ්‍යා නොකිරීමට’ අපව උනන්දු කරන ලදි. නපුරු චේතනා තිබෙන අය අප ගැන බොරු ප්‍රචාරයන් කළත් යෙහෝවා තම නියමිත කාලයේදී ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් කවුද කියා පැහැදිලිව දැකගන්න සලස්වනු ඇත. දෙවිට අපේ කෘතඥතාව පෙන්විය හැකි ආකාරය “ස්තුතිපූර්වක ස්වභාවයක් පෙන්වන්න” නමැති කතාවේදී සාකච්ඡා කෙරුණි. සියලුම ක්‍රිස්තියානීන් “ප්‍රශංසාව නමැති පූජාව” යෙහෝවාට ඔප්පු කළ යුතුයි. (හෙබ්‍රෙව් 13:15) යෙහෝවාට සේවය කිරීම සඳහා අප කොපමණ කාලයක් යොදවනවාද කියා තීරණය වන්නේ අප කොතෙක් දුරට කෘතඥපූර්වක වනවාද යන්න හා අපේ තත්වයන් මත බව අපි දනිමු.

මූලික ඇමතුමේ මාතෘකාව වූයේ “දැවෙන ජ්වලිතයකින් යුත් රාජ්‍ය ප්‍රකාශකයෝ” යන්නයි. ජ්වලිතය සම්බන්ධයෙන් අපට තිබෙන හොඳම ආදර්ශය යේසුස් බව එම කතාවේදී පෙන්වා දුන්නේය. වර්ෂ 1914දී ස්වර්ගික රාජ්‍යය පිහිටුවීමෙන් පසු සැබෑ ක්‍රිස්තියානීන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා ජ්වලිතය අවශ්‍ය විය. වර්ෂ 1922දී අමෙරිකා එක්සත් ජනපදයේ ඔහයෝ සීඩා පොයින්ට්හි පවත්වන ලද සමුළුව ගැන සඳහන් කළ කථිකයා මෙම ඓතිහාසික ඇරයුම අපේ මතකයට නැඟුවේය. “රජු සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න!” කාලයාගේ ඇවෑමත් සමඟ රාජ්‍යය හා සම්බන්ධ මවිතකර සත්‍යයන් සියලුම ජාතීන්ට ප්‍රකාශ කරන්නට දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් තුළ පෙලඹීමක් ඇති කර ඇත්තේ ඔවුන්ගේ ජ්වලිතයයි.

දෙවිගේ සෙනඟ සාතන්ගේ විශේෂ ඉලක්කයක් බව පළමුවන දවසේ පස්වරුවේ ඉදිරිපත් කළ “යෙහෝවා අප සමඟ සිටින බව දැන නිර්භීත වන්න” නමැති කතාවේදී පෙන්වා දුන්නේය. විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වුවත් බයිබලයේ සඳහන් ආදර්ශ හා නවීන දින ආදර්ශ රාශිය සලකා බැලීමෙන් පීඩා හා පරීක්ෂණවලට නිර්භීතව මුහුණ දීමට අවශ්‍ය ධෛර්යය අපට ලැබෙයි.—යෙසායා 41:10.

වැඩසටහනේ ඊළඟ අංගය වූයේ “මීකාගේ අනාවැකිය යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීමට අපව ශක්තිමත් කරයි” නමැති තේමාවෙන් යුත් කොටස් තුනක් ඇතුළත් වූ කතා මාලාවයි. මුල්ම කථිකයා මීකාගේ කාලයේ තිබූ සදාචාරමය පිරිහීම, ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීම හා ද්‍රව්‍යවාදය සමඟ අපේ කාලයේ පවතින තත්වය සැසඳුවේය. ඔහු මෙසේ සඳහන් කළේය. “කීකරු හදවතක් වර්ධනය කරගන්නවා නම්, අපගේ හැසිරීම ශුද්ධ බවට සහතික කරගන්නවා නම්, අපගේ ජීවිතය දේවභක්තික ක්‍රියාවලින් පුරවාගන්නවා නම්, යෙහෝවාගේ දවස ඇත්තටම පැමිණෙන බව අප කිසිදාක අමතක කරන්නේ නැත්නම්, අනාගතය උදෙසා වූ අපගේ බලාපොරොත්තුව ස්ථිර වනු ඇත.”—2 පේතෘස් 3:11, 12.

යූදාහි සිටි නායකයන්ව මීකා විසින් හෙළා දකිනු ලැබීම ගැන මෙම කතා මාලාවේ දෙවන කථිකයා සඳහන් කළේය. ඔවුහු දිළිඳු අසරණ මිනිසුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත්හ. එනමුත් සැබෑ නමස්කාරයේ ජයග්‍රහණය ගැනද මීකා පුරෝකථනය කළේය. (මීකා 4:1-5) යෙහෝවාගේ ශුද්ධාත්මයෙන් ශක්තිය ලබා සිටින අපේ අධිෂ්ඨානය වන්නේ බලාපොරොත්තු ජනිත කරවන එම පණිවිඩය ප්‍රකාශ කිරීමයි. අසනීප හෝ වෙනත් හේතු නිසා අපට කළ හැකි දේවල් සීමිත වීම හේතුවෙන් අප එක තැනකට හිර වී සිටිනවා කියා හැඟෙනවා නම් අප තබාගත යුතු ආකල්පය කුමක්ද? තුන්වන කථිකයා මෙසේ පැවසුවේය. ‘යෙහෝවාගේ අවශ්‍යතා සාධාරණයි. ඒ වගේම ඒවා සපුරාලිය හැකියි.’ තවදුරටත් ඔහු මීකා 6:8හි [NW] පවසන මෙම වදන්වලින් අදහස් වන දෙය සාකච්ඡා කළේය. “යුක්තිය ඉෂ්ට කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් ඔබේ දෙවි සමඟ නිහතමානීව ගමන් කිරීමත් මිස යෙහෝවා ඔබෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?”

ලෝකයේ සදාචාරය පිරිහීම ක්‍රිස්තියානීන්ට බලපෑ හැකි නිසා අපි සියලුදෙනාම “ඔබේ හදවත රැකගැනීමෙන් ඔබේ නිර්මලකම පවත්වාගන්න” නමැති මාතෘකාව යටතේ ඉදිරිපත් කළ කතාවෙන් ප්‍රයෝජන ලැබුවෙමු. උදාහරණයක් හැටියට අප නිර්මලකම පවත්වාගැනීම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් භුක්තිවිඳීමට උපකාරවත් වේ. ලිංගික දුරාචාරයේ නියැලීමේ අදහසක් පවා සිත් තුළ ඇතිවීමට ක්‍රිස්තියානීන් හැටියට අප කවදාවත් ඉඩ නොදිය යුතුයි.—1 කොරින්ති 6:18.

නියම දේ විකෘති කර දක්වන ප්‍රකාශයන්, ඇත්ත සම්පූර්ණයෙන්ම හෙළි නොකිරීම හා ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසා ඇති අය පතුරුවන සහමුලින්ම බොරු වූ ප්‍රබන්ධ කථා යනාදිය අප නැණවත් ලෙස සැලකිය යුත්තේ විෂ දේවල් ලෙස බව “නොරැවටෙන්න” නමැති කතාවේදී පැහැදිලි කරන ලදි. (කොලොස්සි 2:8) හානිකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නේ නැතිව අපට යම් පව්කාර ආශාවන් තෘප්තිමත් කරගත හැකියි කියන සිතුවිල්ලට අපව රැවටීමට අප කිසිවිටකත් ඉඩ නොදිය යුතුයි.

පළමු දවසේ අවසාන කතාවේ මාතෘකාව වූයේ “එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න” යන්නයි. ලෝකයේ පවතින තත්වය වඩ වඩා දරුණු වන මේ කාලයේදී යෙහෝවා ළඟදීම ඔහුගේ නව ලොව ගෙනෙන බව දැනගන්න ලැබීම මොනතරම් සහනයක්ද! එහි ජීවත් වනු ඇත්තේ කවුද? යෙහෝවාට නමස්කාර කරන අය පමණි. අපටද, අපේ දරුවන්ටද, අපේ බයිබල් ශිෂ්‍යයන්ටද එම ඉලක්කය අත් කරගැනීම සඳහා උපකාර කිරීමක් හැටියට එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති අලුත් පාඩම් පොත කථිකයා විසින් මුදාහරින ලදි. මේ පොත ලැබීම ගැන අප මොනතරම් ප්‍රීති වුණාද!

යහපත් දේ ගැන ජ්වලිතව සිටීම විශේෂ කොට දැක්වූ දෙවන දවස

සමුළුවේ දෙවන දවසේ තේමාව වූයේ “යහපත් දේ ගැන ජ්වලිතව සිටින්න” යන්නයි. (1 පේතෘස් 3:13) මුල්ම කථිකයා එදිනට නියමිතව තිබූ දිනපදය සාකච්ඡා කළේය. නිතිපතා අර්ථාන්විතව දිනපදය සලකා බැලීම අපේ ජ්වලිතය වැඩි කිරීමට හේතු වන බව ඔහු අවධාරණය කළේය.

ඊළඟට ඉදිරිපත් කරනු ලැබුවේ “තම දේවසේවය ගෞරවයට පත් කරන රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති තේමාවෙන් යුත් කතා මාලාවයි. දෙවිගේ වචනය නිසියාකාරව හැසිරවීමේ තිබෙන අවශ්‍යතාව ගැන මුල් කොටසින් අවධාරණය කරන ලදි. (2 තිමෝති 2:15) අප බයිබලය බලපෑමෙන් යුක්තව භාවිත කරද්දී ජනයාගේ ජීවිත කෙරෙහි බලපෑම් කරන ‘බලයක්’ වීමට එයට අවස්ථාව සැලසේ. (හෙබ්‍රෙව් 4:12) අප බයිබලය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර ඒත්තුගන්වනසුලු අයුරින් එය හේතු සාධක සහිතව පහදා දිය යුතුයි. උනන්දුව දක්වන අයව නැවත නැවතත් ගොස් හමුවීමට කතා මාලාවේ දෙවන කතාව මගින් අපව උනන්දු කරන ලදි. (1 කොරින්ති 3:6) උනන්දුව දැක්වූ අයව හැකි විගස හමුවීම සඳහා සූදානම් වීම මෙන්ම නිර්භීතකමද අවශ්‍යයි. අපට හමු වන සෑම කෙනෙකුවම අනාගතයේ ගෝලයෙකු විය හැකි කෙනෙකු ලෙස සලකන්න කියා තුන්වන කොටසේදී උනන්දු කරන ලදි. එමෙන්ම මුල් හමුවීමේදීම බයිබල් පාඩමක් ඉදිරිපත් කිරීමෙන් ගෝලයන් වීම සඳහා පුද්ගලයන්ට උපකාර කිරීමේදී අද්දකින ප්‍රීතිය භුක්ති විඳීමට මඟ සැලසෙන බවද එහිදී පෙන්වා දෙන ලදි.

“‘නොකඩවා යාච්ඤා කළ’ යුතු හේතු.” ඊළඟට ඉදිරිපත් කළ කතාවේ තේමාව වූයේ එයයි. ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිගේ මඟ පෙන්වීම සොයන්න කියා බයිබලය ක්‍රිස්තියානීන්ට උපදෙස් සපයයි. පෞද්ගලික යාච්ඤාව සඳහා අප කාලය සොයාගත යුතුයි. එපමණක්ද නොව අප නොකඩවා යාච්ඤා කළ යුතුයි. මන්දයත් අපේ යාච්ඤාවලට පිළිතුරු ලබා දෙන තෙක් යම් කලකට නොකඩවා යාච්ඤා කිරීමට යෙහෝවා අපට ඉඩහැරිය හැකි නිසාය.—යාකොබ් 4:8.

අප සතු කතා කිරීමේ හැකියාව අපගේ මෙන්ම අන් අයගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්න කියා “ආත්මික තලයක කෙරෙන සංවාද ගොඩනංවනසුලුය” නමැති කතාව මගින් අපව දිරිමත් කරන ලදි. (පිලිප්පි 4:8) විවාහක කලත්‍රයන් හා දරුවන් දිනපතාම ආත්මික දේවල් ගැන කතාබහ කිරීම අවශ්‍යයි. මෙය කිරීම සඳහා සෑම දවසකම අඩුම තරමින් එක ආහාර වේලක්වත් පවුලේ අය එකට ගැනීමට වෑයම් කළ යුතුයි. එමගින් ගොඩනංවනසුලු අයුරින් කතාබහ කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලැබේ.

දෙවන දින උදෑසන වැඩසටහන අවසන් වූයේ හද උණුසුම් කරවන කතාවකිනි. එහි තේමාව වූයේ “කැපවීම හා බව්තීස්මය ගැලවීමට මඟ පෙන්වන අයුරු” යන්නයි. බව්තීස්ම අපේක්ෂකයෝ දැනුම ලබාගෙන, ඇදහිල්ල දක්වා, පසුතැවිලි වී, වැරදි ක්‍රියාවන් අත්හැර දෙවිට කැප වී සිටියෝය. බව්තීස්මයෙන් පසු ඔවුන් දිගටම ආත්මිකව වර්ධනය වෙමින් තමන්ගේ ජ්වලිතය හා යහපත් හැසිරීම දිගටම පවත්වාගත යුතුයි.—පිලිප්පි 2:15, 16.

එදින දහවලේදී ඉදිරිපත් කළ “නිහතමානි වන්න, ඔබේ ඇස සරලව තබාගන්න” නමැති කතාව මගින් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරන ලදි. නිහතමානි වීම යනුවෙන් අදහස් වන්නේ දෙවි ඉදිරියෙහි අපේ සීමාවන් හා තත්වයන් පිළිබඳව යථාර්ථවාදී දෘෂ්ටියක් ඇතුව සිටීමයි. අපේ ඇස “සරලව” තබාගැනීමට එනම් ද්‍රව්‍යමය දේවල් කෙරෙහි නොව දේවරාජ්‍යය කෙරෙහි යොමු කර තබාගැනීමට අපට උපකාර කරන්නේ නිහතමානිකමයි. අප මෙය කරනවා නම් අප සිත්තැවුල්වලින් පසු වන්නේ නැත. මන්ද යෙහෝවා අපේ අවශ්‍යතා සපයන බැවිනි.—මතෙව් 6:22-24, 33, 34.

අප “පීඩාකාරී කාලවලදී යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තබන්න” අවශ්‍ය වීමට හේතු ඊළඟ කථිකයා පැහැදිලි කළේය. පෞද්ගලික දුර්වලකම්, මුදල් හා සෞඛ්‍ය ගැටලු වැනි දේවල් සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට හැක්කේ කෙසේද? ප්‍රායෝගික ප්‍රඥාව යෙහෝවාගෙන් ඉල්ලමු. අන් අයගේ උපකාරය ලබමු. බියට පත් වෙනවා හෝ බලාපොරොත්තු කඩ කරගන්නවා වෙනුවට දේවවචනය කියවීමෙන් දෙවි කෙරෙහි ඇති අපේ දැඩි විශ්වාසය තව තවත් ශක්තිමත් කරගත යුතුයි.—රෝම 8:35-39.

සමුළුවේ අවසාන කතා මාලාවේ තේමාව වූයේ “විවිධ පරීක්ෂා මගින් සෝදිසි කෙරෙන අපේ ඇදහිල්ලේ ගුණය” යන්නයි. සියලුම සැබෑ ක්‍රිස්තියානීන් හිංසා පීඩාවලට මුහුණ දෙන බව එහි මුල් කොටසින් අපට මතක් කර දුන්නේය. සාක්ෂියක් දීමට එමගින් අපට ප්‍රස්තා උදා වන අතර අපේ ඇදහිල්ලද තවත් ශක්තිමත් වේ. එමෙන්ම දෙවි කෙරෙහි තිබෙන අපේ පක්ෂපාතකම පෙන්වීමටද පීඩාවලදී අපට අවස්ථාව උදා වෙයි. අප තේරුමක් නැතුව අපේ ජීවිත අවදානමේ හෙළන්නේ නැති වුණත් හිංසා පීඩාවලින් බේරීමට අප කවදාවත් ශුද්ධ ලියවිල්ලට පටහැනි මාර්ග සොයන්නේ නැත.—1 පේතෘස් 3:16.

මෙම කතා මාලාවේ දෙවන කථිකයා මධ්‍යස්ථභාවය හා සම්බන්ධ ප්‍රශ්නවලට උත්තර සැපයුවේය. මුල් ක්‍රිස්තියානීහු සාමවාදීන් නොවූ නමුත් තමන් මූලිකව පක්ෂපාත වන්නේ දෙවිට බව වටහාගෙන සිටියහ. ඒ හා සමානව අදදිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ‘ඔබ ලෝකයේ කොටසක් නොවේ’ යන ප්‍රතිපත්තියට ස්ථිරව ඇලී සිටිති. (යොහන් 15:19, NW) අපේ මධ්‍යස්ථභාවය හා සම්බන්ධ පරීක්ෂණ විගස ඉස්මතු විය හැකි නිසා මේ කාරණය පිළිබඳව බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් පරෙස්සමින් සලකා බැලීමට පවුලක් හැටියට කාලය වෙන් කරගත යුතුයි. මෙම කතා මාලාවේ තුන්වන කතාවෙන් පෙන්වා දුන් පරිදි සාතන්ගේ ඉලක්කය වන්නේ අපව මරා දැමීමම නොව දෙවිට අවිශ්වාසවන්ත වීම සඳහා අප මත පීඩනයක් ඇති කිරීමයි. එනමුත් විශ්වාසවන්තකම රැකගනිමින් සරදම්, දුරාචාරය සඳහා ඇති කරන පීඩන, චිත්තවේගීය වේදනා හා අසනීප යනාදිය දරාගැනීමෙන් යෙහෝවාට ප්‍රශංසාව ගෙන ඒමට අපට පුළුවනි.

දෙවන දවසේ අවසන් කතාවේ මාතෘකාව වූයේ “යෙහෝවාට ළං වන්න” නමැති උණුසුම් ඇරයුමයි. යෙහෝවාගේ ප්‍රධාන ගතිලක්ෂණ තේරුම්ගන්න විට අප ඔහු වෙතට ඇදී යනු ඇත. ඔහු තම සෙනඟව ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම ඔවුන්ව ආත්මිකව ආරක්ෂා කිරීමට තමන් සතු අසීමිත බලය යොදාගනී. ඔහුගේ යුක්තිය අසංවේදී නැත. ධර්මිෂ්ඨකම විදහාපෙන්වීමට වෑයම් කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවිතය ලබා දීමට ඔහුව පොලඹවන්නේ ඔහුගේ යුක්තියයි. දෙවි බයිබලය ලිවීමට අසම්පූර්ණ මිනිසුන්ව යොදාගෙන තිබෙන ආකාරයෙන් ඔහුගේ ප්‍රඥාව පැහැදිලිව දැකගත හැක. ඉතාමත් සිත්ගන්නා ගුණාංගය වන්නේ ඔහුගේ ප්‍රේමයයි. යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මනුෂ්‍යවර්ගයාට ගැලවීමේ මඟ සලසා දීමට ඔහුව පෙලඹුවේ ප්‍රේමයයි. (යොහන් 3:16) කථිකයා සිය කතාව අවසන් කළේ රැස්ව සිටි අයව ප්‍රීතියෙන් ඉපිල යෑමට හේතු වූ යෙහෝවාට ළං වන්න නමැති අලුත් පොත මුදාහරිමිනි.

යහපත් ක්‍රියා ගැන ජ්වලිත වීම අවධාරණය කළ තුන්වන දවස

සමුළුවේ තුන්වන දවසේ තේමාව වූයේ “යහපත් ක්‍රියා ගැන ජ්වලිත වූ සෙනඟක්” යන්නයි. (තීතස් 2:14) මෙදින උදෑසන වැඩසටහන ආරම්භයේදී පවුලක් විසින් දිනපදය සාකච්ඡා කරනු ලැබීමෙන් එදිනට කදිම ආරම්භයක් ලබා දුණි. “ඔබේ විශ්වාසය යෙහෝවා කෙරෙහිද?” ඊළඟ කතාවේ තේමාව වූයේ එයයි. ජාතීන් විශ්වාසය තබා තිබෙන්නේ වැරදි දේවල් මතය. එනම් ඔවුන්ගේම ප්‍රඥාව සහ ශක්තිය මතයි. කෙසේවෙතත්, ඊට වෙනස්ව යෙහෝවාගේ සේවකයෝ විවිධ දුෂ්කරතා මැද ධෛර්යයෙන් යුතුව හා ප්‍රීතියෙන් යෙහෝවා මත රඳා සිටිති.—ගීතාවලිය 46:1-3, 7-11.

“යෞවනයෙනි—යෙහෝවාගේ සංවිධානය සමඟ එක්ව අනාගතය ගොඩනඟන්න” නමැති මාතෘකාවෙන් යුත් කොටසේදී මෙම ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරන ලදි. යෞවනයෙකුට ඔහුගේ ජීවිතයෙන් උපරිමය නෙළාගත හැක්කේ කෙසේද? මුදල්, සැප සම්පත්, කීර්තිය ලුහුබැඳීමෙන් එය අත් කරගත නොහැකියි. අපේ මැවුම්කරු ප්‍රේමණීය ලෙස යෞවනයන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ යෞවන කාලයේදී ඔහුව සිහි කරන්න කියායි. තමන්ගේ යෞවන වියේදී ක්‍රිස්තියානි දේවසේවය සඳහා තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරන යෞවනයන් කිහිපදෙනෙකුවම සම්මුඛ සාකච්ඡාවලට කැඳවන ලදි. ඔවුන් ප්‍රීතියෙන් සිටින බව අපට දැකගත හැකි විය. යෞවනයෙනිඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද? නමැති අලුත් පත්‍රිකාව අපගේ අතට පත්වීම මොනතරම් ප්‍රයෝජනදායක දෙයක් වීද! මෙම පත්‍රිකාව පිළියෙළ කර තිබෙන්නේ යෙහෝවාගේ සංවිධානය සමඟ සදාකාලික අනාගතයක් ගොඩනඟාගැනීමට යෞවන සාක්ෂිකරුවන්ට උපකාර කිරීමේ අරමුණ ඇතුවයි.

ඊළඟ අංගය වූයේ කාගෙත් නෙත් සිත් බැඳගත් “දුෂ්කර කාලවලදී ස්ථිරව සිටින්න” නමැති බයිබල් නාට්‍යයයි. යෞවන කාලයේ පටන් තමා ජ්වලිතව පුරෝකථනය කළ යෙරුසලමේ විනාශය සිදු වන තෙක් යෙරෙමියා දිගු කාලයක් පුරා සේවය කළ ආකාරය පිළිබඳ විස්තරයක් එම නාට්‍යය මගින් ඉදිරිපත් කරන ලදි. තමාට ලැබුණු පැවරුම ඉටු කිරීමට තරම් සුදුසුකම් තමාට නැතැයි කියා යෙරෙමියාට හැඟුණත් විරුද්ධවාදිකම් මැද පවා ඔහු සිය පැවරුම ඉටු කළ අතර යෙහෝවා ඔහුව ගලවාගත්තේය.—යෙරෙමියා 1:8, 18, 19.

නාට්‍යයෙන් පසු ඉදිරිපත් කළ කතාවේ තේමාව වූයේ “යෙරෙමියා මෙන් වන්න—නිර්භීතව දේවවචනය ප්‍රකාශ කරන්න” යන්නයි. වර්තමානයේ සිටින රාජ්‍ය ප්‍රකාශකයන් ගැන බොහෝ අවස්ථාවලදී බොරු ප්‍රචාරයන් පතුරුවාහරිනු ලැබේ. එමෙන්ම ඔවුන් ගැන ද්වේෂසහගත ප්‍රකාශයන්ද කරනු ලැබේ. (ගීතාවලිය 109:1-3) කෙසේවෙතත්, යෙහෝවාගේ වචනයෙන් ප්‍රීතිය ලැබීමෙන් අධෛර්යය වීම්වලට මුහුණ දෙන්න යෙරෙමියා වගේ අපටත් පුළුවනි. එමෙන්ම අපට විරුද්ධව සටන් කරන අය කවදාවත් ජයගන්නේ නැති බව අපට විශ්වාසයි.

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතී” යන තේමාවෙන් යුත් ප්‍රසිද්ධ කථාව ඇත්තෙන්ම කාලෝචිත එකක් විය. කැපීපෙනෙන වෙනස්කම් මගින් අපේ යුගය සුවිශේෂි යුගයක් බවට පත් වී තිබේ. “සාමය හා සුරක්ෂිතභාවය” පිළිබඳව ලොවටම ඇසෙන පරිදි කෙරෙන ප්‍රකාශයන් ඇතුළු එවන් සුවිශේෂ වෙනස්කම් දෙවිගේ බිය උපදවන විනිශ්චය දවසට කලින් සිදු වන බව බයිබලයේ පුරෝකථනය කර තිබුණි. (1 තෙසලෝනික 5:3, NW) එම දවසේදී පුදුමසහගත වෙනස්කම් සිදු වනු ඇත. සියලුම යුද්ධ, අපරාධ, ප්‍රචණ්ඩත්වය හා ලෙඩ රෝග පවා පහව යනු ඇත. වත්මන් සමාජ ක්‍රමය මත විශ්වාසය තබනවා වෙනුවට දේවභක්තිය ලුහුබඳිමින් පවිත්‍ර හැසිරීම දිගටම පවත්වාගැනීමට කාලය දැන්ය.

එම සතියට නියමිතව තිබූ මුරටැඹ පාඩමේ සාරංශයකින් පසුව සමුළුවේ අවසාන කතාව ඉදිරිපත් කරන ලදි. එහි තේමාව වූයේ “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් ලෙස යහපත් වැඩවල බහුලව යෙදෙන්න” යන්නයි. මෙම සමුළු වැඩසටහන ආත්මික ක්‍රියාකාරකම් සඳහා අප තුළ පෙලඹීමක් ඇති කළ ආකාරයත් යෙහෝවා මත රඳා සිටීමට අපව දිරිගැන්වූ ආකාරයත් කථිකයා පෙන්වා දුන්නේය. දේවරාජ්‍යයේ පවිත්‍ර, ප්‍රේමණීය හා ජ්වලිත ප්‍රකාශකයන් වීමට කතාව අවසානයේදී අපගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටින ලදි.—1 පේතෘස් 2:12.

නෙහෙමියාගේ කාලයේ සිටි යෙහෝවාගේ සේවකයන් තුළ තිබූ ස්ප්‍රීතුවට සමාන ස්ප්‍රීතුවක් විදහාපෙන්වමින් අප ආපසු නිවෙස් බලා පැමිණියේ “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවේදී අප ලැබූ ආත්මික ආශීර්වාදවලින් ඉමහත් ප්‍රීතියක් ලබමිනි. (නෙහෙමියා 8:12) මහත් පෙලඹීමක් ඇති කළ මේ සමුළුවෙන් ඔබ ඉමහත් ප්‍රීතියක් ලැබුවේ නැද්ද? එමෙන්ම රාජ්‍ය ප්‍රකාශකයන් හැටියට දිගටම ක්‍රියාශීලීව සිටීමට එමගින් ඔබ තුළ අධිෂ්ඨානයක් ඇති වුණේ නැද්ද?

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අධ්‍යයනය සඳහා අලුත් ආධාරකයක්!

සමුළුවේ පළමු දවස අවසානයේදී එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති පොත මුදාහරින ලදි. ඒ අවස්ථාවේදී පැමිණ සිටි සියලුදෙනාටම ඉමහත් ප්‍රීතියක් දැනුණි. මෙම පොත පිළියෙළ කර තිබෙන්නේ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත පාඩම් කිරීම සම්පූර්ණ කර තිබෙන අය සමඟ පාඩම් කිරීම සඳහායි.එම පොත පාඩම් කිරීමෙන් ‘සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් තිබෙන’ අයගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවාට සැකයක් නැත.—ක්‍රියා 13:48, NW.

[හිමිකම් විස්තර]

පොතේ කවරයේ තිබෙන පින්තූරය: U.S. Navy photo

[24වන පිටුවේ කොටුව⁄පින්තූර]

දෙවිට තව තවත් ළංවීමට ආධාරකයක්

සමුළුවේ දෙවන දවස නිමාවට පත් කරමින් අවසන් කතාව ඉදිරිපත් කළ කථිකයා යෙහෝවාට ළං වන්න නමැති අලුත් පොත මුදාහැරීම ගැන නිවේදනය කළේය. මෙහි මූලික කොටස් හතරක් තිබෙන අතර මේ එක් එක් කොටස මගින් යෙහෝවාගේ ප්‍රධාන ගතිලක්ෂණ වන බලය, යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමය ගැන සාකච්ඡා කෙරේ. යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ ගුණාංග විදහාපෙන්වූ ආකාරය පිළිබඳ ප්‍රබල බලපෑමකින් යුත් උදාහරණ මේ පොතේ එක් එක් කොටසින් පැහැදිලි කෙරේ. මේ පොතේ මූලික අරමුණ වන්නේ යෙහෝවා දෙවි සමඟ වඩාත් කිට්ටු හා ශක්තිමත් සබඳතාවක් ගොඩනඟා ගැනීමට අපටත් අපේ බයිබල් ශිෂ්‍යයන්ටත් උපකාර කිරීමයි.

[26වන පිටුවේ කොටුව⁄පින්තූර]

යෞවනයන්ට ආත්මික මඟ පෙන්වීමක්

සමුළුවේ තුන්වන දවසේ සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ විශේෂ පත්‍රිකාවක් මුදාහැරීමයි. එහි මාතෘකාව වූයේ යෞවනයෙනි—ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද? යන්නයි. තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට යෞවන සාක්ෂිකරුවන්ට උපකාර කිරීමේ අරමුණින් පිළියෙළ කර තිබෙන මෙම අලුත් පත්‍රිකාව, යෙහෝවාට සේවය කිරීම තමන්ගේ සදාකාලික ජීවන මඟ කරගැනීම සම්බන්ධයෙන්ද උපදෙස් සපයයි.