Skip to content

පටුනට යන්න

‘යහපත් තැනැත්තා දෙවිගේ අනුමැතිය ලබයි’

‘යහපත් තැනැත්තා දෙවිගේ අනුමැතිය ලබයි’

‘යහපත් තැනැත්තා දෙවිගේ අනුමැතිය ලබයි’

සෑම ජීවිතයක්ම බිහි වන්නේ යෙහෝවා දෙවි කරණකොටගෙනය. (ගීතාවලිය 36:9) ඇත්තෙන්ම, “අපට ජීවිතය තිබෙන්නෙත් අප ක්‍රියා කරන්නෙත් අප පවතින්නෙත් ඔහු මාර්ගයෙනි.” (ක්‍රියා 17:28, NW) එමෙන්ම, ඔහු සමඟ සමීප සබඳතාවක් තිබෙන අයට ඔහු පිරිනමන තිළිණය ගැන සලකා බලන කල අපේ හදවත් කෘතඥතාවෙන් පිරී නොයන්නේද? ඇත්තෙන්ම, “දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය.” (රෝම 6:23, NW) එසේනම්, අප යෙහෝවාගේ අනුමැතිය සෙවීම කෙතරම් වැදගත්ද!

‘දෙවි අනුග්‍රහය’ දක්වන බවට ගීතිකාකරු අපට සහතික කරයි. (ගීතාවලිය 84:11) එහෙත්, ඔහු එය දක්වන්නේ කවරෙකුටද? අද දින ජනයා බොහෝවිට අන්‍යයන්ට කරුණාව පාන්නේ අධ්‍යාපනය, ධනය, සමේ පාට, වාර්ගික පසුබිම හා තවත් එවැනි දෑ මත පදනම්වය. දෙවි අනුග්‍රහය දක්වන්නේ කවරෙකුටද? පුරාණ ඊශ්‍රායෙලයේ සලමොන් රජ මෙසේ පිළිතුරු දෙයි. “යහපත් තැනැත්තා යෙහෝවාගේ අනුමැතිය ලබයි; එහෙත් ඔහු දුෂ්ට උපා යොදන තැනැත්තා දුෂ්ටයෙකු බව පවසන්නේය.”හිතෝපදේශ 12:2, NW.

පැහැදිලිවම, යෙහෝවා යහපත් තැනැත්තා, එනම් සුචරිතවත් තැනැත්තා කෙරෙහි ප්‍රසන්නව සිටියි. යහපත් මිනිසෙකුගේ සුචරිතයන්ට තමාවම හික්මවාගැනීම, සාධාරණකම, නිහතමානිකම, දයානුකම්පාව හා දූරදර්ශීභාවය ඇතුළත් වේ. ඔහුගේ සිතුවිලි ධර්මිෂ්ඨය; වචන දිරිගන්වනසුලුය; ක්‍රියා යුක්තිසහගත මෙන්ම ප්‍රයෝජනවත්ය. බයිබලයේ හිතෝපදේශ පොතේ 12වන පරිච්ඡේදයේ මුල් කොටසෙන්, අපේ දෛනික ජීවිතයට යහපත්කම බලපෑ යුතු ආකාරය පෙන්වා දෙන අතර මෙම ගුණාංගය විදහාපෑමෙන් ලැබෙන ප්‍රයෝජනද ගෙනහැර දක්වයි. එහි පවසා ඇති දේ සලකා බැලීමෙන් “යහපත කිරීමට තීක්ෂ්ණ බුද්ධිය” අපට ලැබෙනු ඇත. (ගීතාවලිය 36:3, NW) එහි ඇති නැණවත් ඔවදන් පිළිපැදීම දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අපට උපකාරවත් වේ.

හික්මවීම අත්‍යවශ්‍යය

“හික්මවීමට ඇලුම් කරන්නා දැනුමට ඇලුම් වන්නේය. එහෙත් හික්මවීමට ද්වේෂ කරන්නා අනුවණයෙකි” කියා සලමොන් පවසයි. (හිතෝපදේශ 12:1, NW) පෞද්ගලිකත්වය යහපත් අතට හරවාගැනීමට ආශාවක් දක්වන යහපත් මනුෂ්‍යයෙකු වේද ඔහු හික්මවීමට ඇලුම් කරන්නේය. ක්‍රිස්තියානි රැස්වීම්වලදී හෝ පෞද්ගලික සංවාදයන්වලදී ලැබෙන ඔවදන් පිළිපැදීමට ඔහු යුහුසුලු වන්නේය. ශුද්ධ ලියවිල්ලේ හා බයිබලය මත පදනම් ප්‍රකාශනවල තිබෙන වදන්, නිවැරදි මාර්ගයක ගමන් කිරීමට ඔහුව පොලඹවන කෙවිටවල් වැනිය. ඔහු දැනුම ලබාගැනීමට මං සොයන අතර තම මාර්ග සමතලා කරගැනීම සඳහා එය භාවිත කරයි. එසේනම්, හික්මවීමට ඇලුම් වන්නෙකු දැනුමටද ඇලුම් වන්නෙකු වෙයි.

සැබෑ නමස්කාරකයන්ට හික්මවීම, විශේෂයෙන්ම තමාවම හික්මවාගැනීම කෙතරම් අවශ්‍යද! දෙවිගේ වචනය පිළිබඳව වඩාත් ගැඹුරු දැනුමක් තිබුණා නම් කියා අපට සිතෙන්නට පුළුවන. වඩාත් බලපෑමෙන් යුතුව ක්‍රිස්තියානි දේවසේවයේ යෙදීමටත්, දෙවිගේ වචනය වඩාත් හොඳින් උගන්වන්නන් වීමටත් අප ආශා විය හැක. (මතෙව් 24:14; 28:19, 20) එහෙත් ඒ ආශාවන් මුදුන්පත් කරගැනීමට නම් තමාවම හික්මවාගැනීම අවශ්‍යය. ජීවිතයේ වෙනත් පැතිවලදීද තමාවම හික්මවාගැනීම අවශ්‍යය. උදාහරණයක් වශයෙන්, වැරදි ආශාවන් ජනිත කිරීම සඳහා අද දින ඕනෑතරම් දේවල් පිළියෙළ කර තිබේ. නුසුදුසු දේ කෙරෙහි ඇස යොමු නොකිරීමට නම් තමාවම හික්මවාගැනීම අවශ්‍ය නොවන්නේද? එපමණක් නොව, ‘බාල වයසේ පටන් මනුෂ්‍යයාගේ සිතේ කල්පනා නපුරුව’ තිබෙන බැවින්, ඇත්තෙන්ම මනසේ සැඟවුණු තැනකින් දුරාචාර සිතුවිලි හටගත හැක. (උත්පත්ති 8:21) එවැනි සිතුවිල්ලක නිමග්න වී නොසිටීමට නම් ඇත්තෙන්ම තමාවම හික්මවාගැනීම අවශ්‍යය.

අනික් අතට, අවවාද ලැබීමට අකමැති තැනැත්තා හික්මවීමට හෝ දැනගැන්මට ඇලුම් කරන්නේ නැත. අවවාද ප්‍රතික්ෂේප කිරීමේ පාපතර මිනිස් නැඹුරුවාවට ඉඩ දීමෙන් කෙනෙකු සදාචාර සාරධර්ම නැති නපුරු සතෙකුගේ, එනම් මෘගයෙකුගේ මට්ටමට තමාවම පත් කරගන්නේය. අප මෙම ප්‍රවණතාව තරයේම ප්‍රතික්ෂේප කළ යුතුය.

“උදුරා දැමිය නොහැකි මුල්”

ඇත්තෙන්ම, යහපත් මිනිසෙකුට අධර්මිෂ්ඨ හෝ අයුක්තිසහගත විය නොහැක. එබැවින් යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට ධර්මිෂ්ඨකමද අත්‍යවශ්‍යය. දාවිත් රජ මෙසේ ගැයුවේය. “ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරන්නේය. යෙහෝවා, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් [අනුමැතියෙන්, NW] ඔහු වට කරන්නේය.” (ගීතාවලිය 5:12) ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතර තිබෙන වෙනස දක්වමින් සලමොන් මෙසේ පවසයි. “මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය. එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය.”හිතෝපදේශ 12:3.

දුෂ්ටයන් සඵල වන බවක් පෙනෙන්ට තිබිය හැක. ගීතිකාකාර ආසාප්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු පවසන්නේ “මාගේ පාද ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය” කියාය. මන්ද? “මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යා කළෙමි” කියා ආසාප් පිළිතුරු දෙයි. (ගීතාවලිය 73:2, 3) එහෙත් ඔහු දෙවිගේ ශුද්ධ දේවමාළිගාව තුළට ඇතුල් වන විට යෙහෝවා ඔවුන්ව තබා තිබෙන්නේ ලිස්සන තැනක බව ඔහුට වැටහෙන්නට විය. (ගීතාවලිය 73:17, 18) දුෂ්ටයන් යම් දුරකට සාර්ථකත්වයක් අත් කරගනිමින් සිටින බවක් පෙනෙන්ට තිබිය හැකි නමුත් එය තාවකාලිකය. ඔවුන් ගැන අප ඊර්ෂ්‍යා වන්නේ කුමටද?

ඊට වෙනස්ව, යෙහෝවාගේ අනුමැතිය තිබෙන අය ස්ථිරය. ශක්තිමත් ලෙස මුල් විහිද ගිය ගසක රූපකාලංකාරය යොදාගනිමින් සලමොන් මෙසේ පවසයි. “යහපත් මිනිසුන් තුළ උදුරා දැමිය නොහැකි මුල් තිබේ.” (හිතෝපදේශ 12:3, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) කැලිෆෝනියාවේ සෙකුවා වැනි යෝධ ගසක නොපෙනෙන මුල් අක්කර කීපයක ප්‍රදේශයක් පුරා විහිද යා හැකි අතර, ගංවතුරකදී සහ තද සුළඟකදී ගස ඉදිරී නොයෑම සඳහා ශක්තිමත් නැංගුරමක් වීමට ඒවාට හැකිය. ප්‍රබල භූමිකම්පාවකට පවා ඔරොත්තු දීමට විශාල සෙකුවා ගසට පුළුවනි.

භූමියේ සාරවත් පසෙහි ඇති එම මුල් මෙන්, අපේ මනස් හා හදවත්ද දේවවචනය තුළ නිමග්න වී එහි ඇති ජීවන වතුර පිටතට ඇදගත යුතුය. එවිට අපේ ඇදහිල්ල ස්ථිරව, ශක්තිමත්ව පිහිටා තිබෙන එකක් බවට පත් වන අතර අපේ බලාපොරොත්තුවද සැබෑ සහ ස්ථිර එකක් බවට පත් වේ. (හෙබ්‍රෙව් 6:19) එමෙන්ම අපි “සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසි වෙමින් ගෙන යනු ලබන්නාවූ බාලයන්” නොවන්නෙමු. (එපීස 4:14) නිසැකවම, කුණාටුවක් මෙන් පැමිණෙන පීඩාවල ප්‍රතිඵල අපට දැනෙනු ඇති අතර විරුද්ධවාදිකම් හමුවේ අප බියවීමට පවා ඉඩ තිබිය හැක. එහෙත් අපේ ‘මුල් කිසි කලකත් නොසෙල්වෙන්නේය.’

“දක්ෂ භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නකි”

“සෑම සාර්ථක මිනිසෙකුම පිටුපස යහපත් ස්ත්‍රියක් සිටියි” යන්න බොහෝදෙනෙකු අසා ඇති කියමනකි. සහයෝගය දෙන ස්ත්‍රියකගේ වැදගත්කම හුවා දක්වමින් සලමොන් මෙසේ පවසයි. “දක්ෂ භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නකි. එහෙත් ලජ්ජාසහගත ක්‍රියා කරන තැනැත්ති ඔහුගේ ඇට දිරවීමට සලස්වන්නියකි.” (හිතෝපදේශ 12:4, NW) “දක්ෂ” යන වචනය තුළ යහපත්කමේ ගති ලක්ෂණ බොහොමයක් අන්තර්ගතය. හිතෝපදේශ 31වන පරිච්ඡේදයේ යහපත් භාර්යාවකගේ සුචරිතවත් ක්‍රියා සම්බන්ධයෙන් දී ඇති පැහැදිලි විස්තරයට කඩිසරභාවය, විශ්වාසවන්තභාවය සහ ප්‍රඥාව ඇතුළත්ය. මෙම ලක්ෂණ තිබෙන ස්ත්‍රියක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක් වේ. මන්ද ඇගේ යහපත් හැසිරීමෙන් ඔහුට ගෞරවය ගෙනෙන නිසාත්, ඒ හේතුවෙන් අන් අයද ඔහුව උසස් කොට සලකන නිසාත්ය. ඇය අභිලාෂකාමී ලෙස ඔහුට ඉදිරියෙන් යන්නේ හෝ පිළිගැන්ම ලැබීමේ අටියෙන් ඔහු සමඟ තරඟ වදින්නේ හෝ නැත. ඒ වෙනුවට, ඇය තම ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතාවලදී උපකාර කරන්නියක වෙයි.

ස්ත්‍රියක් ලජ්ජාසහගත ලෙස ක්‍රියා කිරීමට ඉඩ ඇත්තේ කෙසේද? එයින් කුමන ප්‍රතිඵල විඳීමට සිදු වනු ඇද්ද? මෙම ලජ්ජාසහගත හැසිරීමට තරඟකාරිත්වයේ සිට පරදාර සේවනය දක්වා විවිධ ක්‍රියාවන් ඇතුළත් විය හැක. (හිතෝපදේශ 7:10-23; 19:13) එවැනි ක්‍රියාවල නිරත වීමෙන් භාර්යාවකට කිරීමට හැකි වන්නේ ඇගේ ස්වාමිපුරුෂයාව චිත්තවේගීයව හා ශාරීරිකව බිඳ වැටීමට සැලැස්වීම පමණි. ඇය ‘ඔහුගේ ඇට දිරවීමට සලස්වන්නේ ශරීර කූඩුව දුර්වල කරන රෝගයක් මෙන් ඔහුට හානි පැමිණවීමෙනි’ යයි එක් යොමු සටහනක පැවසේ. “ඊට සමාන්තරව දිව යන නවීන දින යෙදුමක් විය හැක්කේ ‘පිළිකාවක්’ යන්නයි. ඉන් අදහස් වන්නේ පුද්ගලයෙකුගේ ජීවය ටිකෙන් ටික කා දමන යම් රෝගයක් යන්නයි” කියා වෙනත් යොමු සටහනක දැක්වේ. දක්ෂ භාර්යාවකගේ සුචරිත ක්‍රියාවල නිරත වීම මගින් ක්‍රිස්තියානි භාර්යාවෝ දෙවිගේ අනුමැතිය දිනාගැනීමට වෑයම් කරත්වා!

සිතුවිලිවලින් ක්‍රියා, ක්‍රියාවලින් ප්‍රතිඵල

සිතුවිලි ක්‍රියාවලට මඟ පාදන අතර, ක්‍රියාවලින් ප්‍රතිඵල අත් වේ. සලමොන් ඊළඟට සිතුවිලි ක්‍රියාවලට මඟ පාදන ආකාරය ඉදිරිපත් කරන්නේ ධර්මිෂ්ඨයන් හා දුෂ්ටයන් අතර සැසඳීමක් කරමිනි. ඔහු මෙසේ පවසයි. “ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචා සහිතය. දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැක සිටීමක් වේ. එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගලවන්නේය.”හිතෝපදේශ 12:5, 6.

යහපත් අයගේ සිතුවිලි පවා සදාචාරමය වශයෙන් පවිත්‍ර ඒවා වන අතර සාධාරණ හා යුක්තිසහගත දේ කෙරෙහි යොමු වී තිබේ. ධර්මිෂ්ඨයන් යමක් කිරීමට පෙලඹෙන්නේ දෙවි කෙරෙහි සහ සෙසු මිනිසුන් කෙරෙහි වූ ප්‍රේමය මගින් නිසා ඔවුන්ගේ අභිප්‍රායන් යහපත් වේ. අනික් අතට, දුෂ්ට අය එසේ පෙලඹෙන්නේ ආත්මාර්ථකාමිත්වය මගිනි. ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ උපා, එනම් තම අභිප්‍රායන් මුදුන්පත් කරගැනීමට භාවිත කරන ක්‍රම මුළා කරවනසුලුය. ඔවුන්ගේ ක්‍රියාවන් රැවටිලිකාරය. අහිංසක අයට උගුලක් ඇටවීමට, බොරු චෝදනා කරමින් සමහරවිට ඔවුන්ව නඩු හබයකට පැටලවීමට පවා ඔවුහු පසුබට නොවෙති. තම අහිංසක ගොදුරුවලට හානි කිරීමට ඔවුන්ට වුවමනා නිසා ඔවුන්ගේ වචන “ලෙය ගැන රැක සිටීමක් වේ.” දුෂ්ට උපා ගැන දැනුමැතිව සිටීමට හා උපායශීලී වීමට අවශ්‍ය ප්‍රඥාව ඇතුව සිටින අවංක අයට මෙම අනතුරෙන් වැළකිය හැක. අපරීක්ෂාකාරී අයට අනතුරු අඟවා දුෂ්ට අයගේ මුළා කරවනසුලු උපක්‍රමවලින් ඔවුන්ව ගලවාගැනීමට පවා ඔවුනට අවස්ථාවක් උදා විය හැක.

ධර්මිෂ්ඨ හා දුෂ්ට අයට කුමක් සිදු වනු ඇද්ද? “දුෂ්ටයෝ හෙළා දමනු ලැබ නැති වන්නෝය. එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව [ගෘහය, NW] පවතින්නේය” කියා සලමොන් පිළිතුරු දෙයි. (හිතෝපදේශ 12:7) ගෘහයෙන් “යොමු දැක්වෙන්නේ පවුලේ සිටින සාමාජිකයන්ටයි. එමෙන්ම තමන් සතු වටිනවායයි කිව හැකි සෑම දෙයකටයි. මෙම අංගයන් අර්ථවත් ජීවිතයක් ගත කිරීමට මඟ විවෘත කරයි” කියා එක් පොතක පැවසේ. පවුලට හා ධර්මිෂ්ඨයන්ගෙන් පැවතෙන්නන්ට පවා එය යොමු දැක්විය හැක. කෙසේවෙතත්, හිතෝපදේශයෙහි සඳහන් කරුණ පැහැදිලියි: විරෝධතා යටතේ ධර්මිෂ්ඨයන් ස්ථිරව සිටිනු ඇත.

යටහත් පහත් තැනැත්තා වඩාත් සතුටින් කල් යවයි

විචක්ෂණ බුද්ධියේ වටිනාකම අවධාරණය කරමින් ඊශ්‍රායෙලයේ රජ මෙසේ පවසයි. “මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනා කරනු ලැබේ. එහෙත් වංක සිතක් ඇත්තා හෙළා දකිනු ලැබේ.” (හිතෝපදේශ 12:8) බුද්ධිමත් තැනැත්තා තම මුවින් ඉක්මන් වී වචන පිට නොකරන්නේය. කතා කිරීමට පළමුවෙන් ඔහු සිතා බලන අතර, අන් අය සමඟ ඔහු සාමකාමී සබඳතා පවත්වාගන්නේ ‘ප්‍රඥාවන්ත කතාව’ ඔහුගේ වචන පරෙස්සමින් තෝරාගැනීමට ඔහුට මඟ පාදන නිසාය. අනුවණ හෝ අනුමාන ප්‍රශ්න අසද්දී විචක්ෂණ බුද්ධිය ඇති මිනිසෙකුට ‘තමාගේ වචන ස්වල්ප කරගත’ හැක. (හිතෝපදේශ 17:27) එවැනි මිනිසෙකු ප්‍රශංසාවට ලක් වන අතර යෙහෝවාට ප්‍රසන්න වේ. ‘වංක සිතකින්’ හටගන්නා වංක අදහස් ඇති තැනැත්තෙකුට වඩා ඔහු කෙතරම් වෙනස්ද!

තීක්ෂ්ණ බුද්ධිය ඇති තැනැත්තා ප්‍රශංසාව ලබන බව ඇත්තයි. නමුත් යටහත් පහත්කමේ ඇති වටිනාකම පිළිබඳව ඊළඟ හිතෝපදේශය අපට උගන්වයි. එය මෙසේ පවසයි. “කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය.” (හිතෝපදේශ 12:9) පෙනෙනාකාරයට සලමොන් පවසමින් සිටින්නේ, උසස් සමාජ තත්වයක් පවත්වාගැනීමේ අටියෙන් ජීවිතයේ අවශ්‍යතාවන් සඳහා වියහියදම් කරනවාට වඩා එක් සේවකයෙකු පමණක් සිටින වැඩි වත්කමක් නැති සුළු තැනැත්තෙකු වීම වඩාත් සුදුසු බවයි. අපේ ආදායමට සරිලන ජීවිතයක් ගත කිරීම සඳහා එය මොනතරම් කදිම උපදෙසක්ද!

කෘෂිකාර්මික ජීවිතය තුළ යහපත්කමේ පාඩම් අඩංගු වේ

කෘෂිකාර්මික ජීවිතයේ අංග නිදසුන් වශයෙන් යොදාගනිමින් සලමොන් යහපත්කමේ පාඩම් දෙකක් උගන්වයි. “ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.” (හිතෝපදේශ 12:10) ධර්මිෂ්ඨ මිනිසා තමන් ඇති කරන සත්වයන්ට සලකන්නේ කරුණාවෙන්ය. උන්ගේ අවශ්‍යතාවන් දන්නා ඔහු උන්ගේ ශුභ සිද්ධිය ගැන සැලකිලිමත් වේ. තමා සත්වයන්ට කරුණාව දක්වන බව දුෂ්ට කෙනෙකු පැවසිය හැකි මුත් උන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔහු පෙලඹෙන්නේ නැත. ඔහුට තිබෙන්නේ ආත්මාර්ථකාමී චේතනාවන් වන අතර ඔහු සත්වයන්ට දක්වන සත්කාර රඳා පවතින්නේ උන්ගෙන් ලබාගත හැකි ආදායම මතය. සතුන්ට සලකන්න ඕන ප්‍රමාණය මෙතැකැයි කියා තක්සේරු කරන පුද්ගලයා ඇත්තෙන්ම උන්ට දක්වන්නේ කෲර සැලකිල්ලක් විය හැක.

සත්වයන්ට කරුණාවන්තව සැලකීමේ ප්‍රතිපත්තිය සුරතල් සතුන්ව රැක බලාගැනීමේදීද අදාළ වේ. සුරතලේට සතුන් ඇති කර පසුව නොසලකා හැරීමෙන් හෝ උන්ට අඩන්තේට්ටම් කිරීමෙන් අනිසි වේදනාවක් දීම මොනතරම් කෲර ක්‍රියාවක් වනු ඇද්ද! නමුත් දරුණු අසනීපයක් හෝ තුවාලයක් හේතුවෙන් ඉමහත් වේදනාවක් විඳින සත්වයෙකු ගැන බලන කල, උගේ ජීවිතය කෙළවර කර දැමීම ඇත්තෙන්ම කරුණාව පෑමක් විය හැක.

කෘෂිකාර්මික ජීවිතය පිළිබඳ තවත් නිදසුනකි වගා කිරීම. සලමොන් මෙසේ පවසයි. “තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි.” අර්ථවත් වැඩකට වෙහෙසීමෙන් ප්‍රයෝජන ලැබෙන බව සත්‍යයකි. “එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති [හෘදයේ අඩුවක් ඇති, NW] කෙනෙක්ය.” (හිතෝපදේශ 12:11) හොඳ විනිශ්චයේ හෝ තේරුම්ගැනීමේ ඌනතාව හේතුවෙන් ‘හෘදයේ අඩුවක් ඇති තැනැත්තා’ කාලය නාස්ති වන, අවදානම් හා නිෂ්ඵල ව්‍යාපාරවලට අතගසයි. මෙම පද දෙකේ හිතෝ 12:10, 11 ඇති පාඩම් පැහැදිලිය: දයාවන්ත වන්න. කඩිසර වන්න.

ධර්මිෂ්ඨ තැනැත්තා සඵල වේ

“දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය” කියා නැණවත් රජ පවසයි. (හිතෝපදේශ 12:12අ) දුෂ්ටයා එසේ කරන්නේ කෙසේද? පෙනෙනාකාරයට, නපුරු ක්‍රියා මගින් ලබාගත් දේවලට ආශාවීමෙනි. යහපත් තැනැත්තා ගැන කුමක් කිව හැකිද? එවැනි තැනැත්තෙකු හික්මවීමට ඇලුම් කරන්නෙකු වන අතර ඇදහිල්ලේ ස්ථිරව පිහිටා සිටින්නෙකි. ඔහු ධර්මිෂ්ඨ හා යුක්තිසහගත, තීක්ෂ්ණ බුද්ධියෙන් යුත් හා යටහත් පහත්, දයානුකම්පිත හා කඩිසර කෙනෙකි. තවද “ධර්මිෂ්ඨයන්ගේ මුල ඵල දෙන්නේය” නැතහොත් “සඵල වේ” කියාද සලමොන් පවසයි. (හිතෝපදේශ 12:12ආ; නිව් ඉන්ටනැෂනල් වර්ෂන්) “ධර්මිෂ්ඨයාගේ මුල සදහටම පවතියි” කියා ඇන් අමෙරිකන් ට්‍රාන්ස්ලේෂන් පවසයි. එවැනි පුද්ගලයෙක් ස්ථිරව හා සුරක්ෂිතව සිටියි. ඇත්තෙන්ම, ‘යහපත් තැනැත්තා දෙවිගේ අනුමැතිය ලබයි.’ එසේනම්, අපි “යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම්” කරමු.—ගීතාවලිය 37:3.

[31වන පිටුවේ පින්තූර]

ශක්ති සම්පන්න ගසක් මෙන් ධර්මිෂ්ඨ තැනැත්තාගේ ඇදහිල්ල ස්ථිරවම පිහිටා තිබේ