Skip to content

පටුනට යන්න

අල්තාරයට නමස්කාරයේදී හිමි තැන කුමක්ද?

අල්තාරයට නමස්කාරයේදී හිමි තැන කුමක්ද?

අල්තාරයට නමස්කාරයේදී හිමි තැන කුමක්ද?

ඔබේ නමස්කාරයේදී අල්තාරයට අතිවැදගත් ස්ථානයක් හිමි විය යුතුයි කියා ඔබ සිතනවාද? ක්‍රිස්තියානි ලෝකයේ දේවස්ථානවලට යන අයගේ නමස්කාරයේදී නම් අල්තාරයට අතිවැදගත් ස්ථානයක් හිමි විය හැකියි. අල්තාර භාවිතය සඳහා පදනම ලෙස සැලකෙන පූජාසන භාවිතය ගැන බයිබලයේ පවසා ඇති දේ සම්බන්ධයෙන් ඔබ කවදා හෝ සොයා බලා තිබෙනවාද?

බයිබලයේ මුලින්ම පූජාසනයක් ගැන සඳහන් කර තිබෙන්නේ ජල ගැලීමෙන් පසු නෝවා ජීවිත ගැලවීමට ඉවහල් වූ නැවෙන් පිටතට පැමිණ සත්ව පූජාවක් ඔප්පු කිරීම සඳහා පූජාසනයක් ගොඩනැඟූ අවස්ථාවෙයි. *උත්පත්ති 8:20.

බාබෙල් කොත ගොඩනැඟීමේදී භාෂා වියවුල් කිරීමෙන් පසු මනුෂ්‍යයෝ මුළු පොළොව පුරාම විසිරී ගියා. (උත්පත්ති 11:1-9) දෙවිට නමස්කාර කිරීමට සහජයෙන්ම මිනිසුන් තුළ ඇති ආශාව නිසා දෙවිට ළංවීමට උත්සහ කළද තමන්ට කෙමෙන් කෙමෙන් වඩාත් නුහුරු නුපුරුදු කෙනෙකු වූ ඔහුව ඔවුන් සෙව්වේ අන්ධයන් මෙන් ‘අන්ධකාරයෙහි අතගා’ යමිනුයි. (ක්‍රියා 17:27; රෝම 2:14, 15; NW; 2:15, 16, පැ.අ.) නෝවාගේ කාලයේ පටන් බොහෝ ජාතීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පූජාසන ගොඩනඟා තිබෙනවා. විවිධ සංස්කෘතීන් හා ආගම්වලට අයත් ජනයා බොරු නමස්කාරය සඳහා පූජාසන ගොඩනැඟුවා. සැබෑ දෙවිගෙන් ඈත් වී සිටි සමහර ජනයා පූජාසන විටින් විට යොදාගත්තේ දරුවන් ඇතුළු මිනිස් ජීවිත පූජා කිරීම වැනි දරුණු දේවල් කිරීම සඳහායි. යෙහෝවා දෙවිව අතහැරීමෙන් පසු සමහර ඊශ්‍රායෙල් රජවරුන් බාල් වැනි මිථ්‍යා දෙවිවරුන්ට පූජාසන සෑදුවා. (1 රාජාවලිය 16:29-32) නමුත් සැබෑ නමස්කාරයේදී පූජාසන භාවිත කිරීම ගැන කුමක් කිව හැකිද?

පූජාසන හා ඊශ්‍රායෙලයේ සැබෑ නමස්කාරය

සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීම සඳහා නෝවාගෙන් පසු අනෙකුත් ඇදහිලිවන්තයන්ද පූජාසන ගොඩනැඟුවා. ආබ්‍රහම් හෙබ්‍රොන්හිදී බෙතෙල්ට නුදුරින් පිහිටි ස්ථානයකදී හා ෂෙඛෙම් නම් ස්ථානයේදී පූජාසන ගොඩනැඟූ අතර මොරියා කන්දේදී ඊසාක් වෙනුවට පූජා කිරීමට දෙවි ලබා දුන්නාවූ බැටළුවෙකු පූජා කිරීමටද පූජාසනයක් ගොඩනැඟුවා. ඉන්පසු දෙවිට නමස්කාර කිරීම සඳහා ඊසාක්, යාකොබ් සහ මෝසෙස්ද ස්වකැමැත්තෙන්ම පූජාසන සෑදුවා.—උත්පත්ති 12:6-8; 13:3, 18; 22:9-13; 26:23-25; 33:18-20; 35:1, 3, 7; නික්මයාම 17:15, 16; 24:4-8.

දෙවි ඊශ්‍රායෙල් ජාතියට තම නීතිය දුන් විට ඔවුන්ට මණ්ඩපයක් එනම් තැනින් තැන ගෙන යා හැකි කූඩාරමක් සාදන්න නියම කළා. දෙවි වෙතට ළඟාවීම සඳහා ඇති කළ මූලික මාධ්‍යයක් වූ නිසා මෙය “සම්මුඛ වීමේ කූඩාරම” ලෙසද හඳුන්වා තිබෙනවා. (නික්මයාම 39:32, 40) මෙම මණ්ඩපයේ නැතහොත් කූඩාරමේ පූජාසන දෙකක් තිබුණා. ඉන් එකක් දවන පූජා ඔප්පු කිරීම සඳහායි. මෙම පූජාසනය ෂිටිම් ලීවලින් සාදා පිත්තලවලින් ආවරණය කර තිබුණු අතර සත්ව පූජා ඔප්පු කිරීම පිණිස මෙය මණ්ඩපයේ දොරකඩ ඉදිරියේ තබා තිබුණා. (නික්මයාම 27:1-8; 39:39; 40:6, 29) සුවඳ දුම් පූජාසනය සාදා තිබුණේද ෂිටිම් ලීවලින්. නමුත් එය ආවරණය කර තිබුණේ රත්තරන්වලින්. මෙම පූජාසනය තබා තිබුණේ මණ්ඩපය ඇතුළත එනම් අතිශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිට ශුද්ධස්ථානයේයි. (නික්මයාම 30:1-6; 39:38; 40:5, 26, 27) උදේ හවස එනම් දවසට දෙපාරක් විශේෂ සුවඳ දුම් ඒ මත දවනු ලැබුවා. (නික්මයාම 30:7-9) සලමොන් රජ විසින් ස්ථිර ගොඩනැගිල්ලක් ලෙස සාදන ලද දේවමාළිගාවේද මණ්ඩපයේ මෙන් පූජාසන දෙකක් දක්නට තිබුණා.

“සැබෑ කූඩාරම” හා සංකේතාත්මක පූජාසනය

යෙහෝවා දෙවි ඊශ්‍රායෙලිතයන්ට නීතිය දුන් විට ඔහු ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට අවශ්‍ය උපදෙස් මෙන්ම යාච්ඤා හා පූජා තුළින් දෙවි වෙතට ළඟාවීමේදී අදාළ කරගත යුතු මඟ පෙන්වීම් ලබා දුන්නා පමණක් නොව ඊට වඩා වැඩි යමක්ද සැපයුවා. මෙම ස්ථාපිත වූ විධිවිධානයේ අංග බොහොමයක් ප්‍රේරිත පාවුල් ගෙනහැර දැක්වූයේ “සෙවණැල්ලක්,” “සංකේතයක්” හෝ ‘ස්වර්ගයේ තිබෙන දේවල සංකේතාත්මක ආදර්ශයක්’ ලෙසයි. (හෙබ්‍රෙව් 8:3-5; 9:9; 10:1; කොලොස්සි 2:17; NW) වෙනත් වචනවලින් කියනවා නම් මෙම නීතියේ විවිධ අංග මගින් යේසුස්ගේ පැමිණීම තෙක් ඊශ්‍රායෙලිතයන්ට මඟ පෙන්නුවා පමණක් නොවෙයි යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඉටු වන දෙවිගේ අරමුණු ගැන පෙර දැක්මක්ද ලබා දුන්නා. (ගලාති 3:24) ඇත්තෙන්ම මෙම නීතියේ විවිධ කොටස්වලට අනාවැකිමය වටිනාකමක්ද තිබුණා. උදාහරණයකට, ඊශ්‍රායෙලිතයන්ගේ ගැලවීම සංකේතවත් කිරීම සඳහා භාවිත කරනු ලැබූ පාස්කු බැටළුවාගේ රුධිරයෙන් පූර්වාදර්ශනය කළේ යේසුස් ක්‍රිස්තුස්වයි. “ලෝකයේ පාපය නැති කර දමන, දෙවිගේ බැටළු පැටවාණෝ” ඔහුයි. ඔහු රුධිරය හෙළුවේ අපව පාපයෙන් මුදවාගැනීම සඳහායි.—යොහන් 1:29, NW; එපීස 1:7.

මණ්ඩපය හා දේවමාළිගාවේ සේවය සම්බන්ධ බොහෝ දේවලින් ආත්මික කාරණා සංකේතවත් කෙරුණි. (හෙබ්‍රෙව් 8:5; 9:23) නිදසුනකට, “මිනිසා විසින් නොව, යෙහෝවා විසින් සාදන ලද සැබෑ කූඩාරම” ගැන පාවුල් ලිව්වා. ඔහු තවදුරටත් පැවසුවේ “පැවතුණ යහපත් දේවල උත්තම පූජකයෙකු ලෙස ක්‍රිස්තුස්, වඩා උතුම් හා වඩා සම්පූර්ණ වූද, අතින් නොසෑදුවා වූද, එනම් මේ මැවිල්ලට අයත් නොවන කූඩාරම තුළින් පැමිණි” බවයි. (හෙබ්‍රෙව් 8:2; 9:11; NW) ‘වඩා උතුම් හා වඩා සම්පූර්ණ වූ කූඩාරම’ වන්නේ දෙවිගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගා විධිවිධානයයි. සමඟි කිරීම සඳහා වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පූජාව කරණකොටගෙන මනුෂ්‍යයාට යෙහෝවා වෙතට ළඟා විය හැකි විධිවිධානය ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව වන බව ශුද්ධ වූ ලියවිලිවල තර්ක ගොඩනඟා ඇති ආකාරයෙන් පෙනී යයි.—හෙබ්‍රෙව් 9:2-10, 23-28.

ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම තුළින් නීතියෙහි වූ සැපයුම්වලින් හා ප්‍රමිතිවලින් වඩා උතුම් මෙන්ම වඩාත් අර්ථවත් ආත්මික ඉටුවීම් පූර්වාදර්ශනය වූ බව දැනගන්න ලැබීමෙන් ඇත්තෙන්ම බයිබලය දිව්‍ය මඟ පෙන්වීමකට අනුව ලියවුණා යන අපේ විශ්වාසය තවත් තහවුරු වේ. ශුද්ධ ලියවිලිවලටම ආවේණික වූ දිව්‍ය ප්‍රඥාව කෙරෙහි ඇති අපේ අගයද එමගින් වැඩි වනවාට කිසිම සැකයක් නැහැ.—රෝම 11:33; 2 තිමෝති 3:16.

දවන පූජාසනයේද යම් අනාවැකිමය වටිනාකමක් තිබෙනවා. යේසුස්ගේ පරිපූර්ණ ජීවිත පූජාව පිළිගැනීමට දෙවි දක්වන “කැමැත්ත” නොහොත් ඔහුගේ මනාපය එයින් නියෝජනය කෙරෙන බව පෙනේ.—හෙබ්‍රෙව් 10:1-10.

පසුව හෙබ්‍රෙව් පොතේ පාවුල් මේ ගැන කදිම අදහසක් ඉදිරිපත් කරනවා. “අපට පූජාසනයක් තිබේ. කූඩාරමේ පරිශුද්ධ සේවය කරන අයට එයින් කන්න අවසර නැත.” (හෙබ්‍රෙව් 13:10, NW) “පූජාසනය” යන වචනය භාවිත කළ විට ඔහුගේ මනසට ආවේ කවර පින්තූරයක්ද? ඔහු මෙහිදී කතා කරමින් සිටියේ දැන් “අල්තාරය” ලෙස හැඳින්වෙන දේ ගැනද?

බොහෝ කතෝලික පරිවර්තකයන් කියා සිටින්නේ හෙබ්‍රෙව් 13:10හි සඳහන් පූජාසනයෙන් අදහස් වන්නේ අල්තාරය ඉදිරියෙහි සත්ප්‍රසාද ලැබීම නොහොත් පූජාව පවත්වනු ලබන විට යේසුස්ගේ ජීවිත පූජාව නැවත අලුත් වන බව කියන “සක්‍රමේන්තුව” බවයි. නමුත් මෙහි පාඨ සම්බන්ධය කියවීමෙන් මනාව පැහැදිලි වන්නේ පාවුල් සඳහන් කළ පූජාසනය සංකේතාත්මක පූජාසනයක් බවයි. මෙම කොටසේ “පූජාසනය” යන යෙදුම භාවිත කර තිබෙන්නේ උපමාලංකාර ආකාරයෙන් බව සමහර විශාරදයන්ගේ අදහසයි. ජේසු නිකායේ පූජකයෙක් වන ජූසෙප්පේ බොන්සීර්වන් පැවසුවේ “මෙය හෙබ්‍රෙව්වරුන්ට ලියා ඇති හසුනෙහි ඇති අනෙකුත් සියලුම සංකේතාත්මක වචන හා සීයට සීයක්ම ගැළපෙන” බවයි. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කරනවා. “ක්‍රිස්තියානි ව්‍යවහාරයට අනුව ‘පූජාසනය’ යන යෙදුම මුලින්ම භාවිත කළේ ආත්මික අර්ථයකින්. නමුත් අයිරීනියස්ගෙන් පසු, විශේෂයෙන්ම ටර්ටූලියන් සහ ශාන්ත සයිප්‍රියන්ගෙන් පසු පූජාසනය යන වචනෙන් අදහස් වූයේ සත්ප්‍රසාද ලැබීමත් ඊටත් වඩා නිශ්චිත ලෙස සත්ප්‍රසාද අල්තාරයත්ය.”

රිවිස්ටා ඩයි ආර්කියෝලෝජියා ක්‍රිස්ටියානා (ක්‍රිස්තියානි පුරා විද්‍යා විවරණය) නම් කතෝලික සඟරාවේ සඳහන් වන ආකාරයට ක්‍රිස්තියානි යුගයේ අල්තාර භාවිත කිරීම ආරම්භ කර තිබුණේ “කොන්ස්ටන්ටයින්ගේ යුගයේ බැසිලිකා ඉදි කිරීමෙන් අනතුරුවයි.” “මුල් ශතවර්ෂ දෙක තුළදී නමස්කාරය සඳහා විධිමත් ස්ථාන තිබුණු බවට සාක්ෂි නැහැ. ප්‍රසිද්ධ නමස්කාරය සඳහා රැස්වීම් පැවැත්වූවේ පෞද්ගලික නිවෙස්වල හෝ කාමරවලයි. නමස්කාරය සඳහා යොදාගැනීමෙන් පසු මෙම නිවෙස් නැවතත් එදිනෙදා කටයුතු සඳහා නිවසක් ලෙස පාවිච්චි කෙරුණා.”

ක්‍රිස්තියානි ලෝකය භාවිත කරන අල්තාර

ලා චිවිල්ටා කාටෝලිකා නම් ජර්නලයට අනුව “අල්තාරය” “පල්ලි ගොඩනැඟිල්ලේ මූලික තැන ගන්නවා පමණක් නොව එය පල්ලි යන බැතිමතුන්ගේ ජීවයයි.” කෙසේවෙතත් යේසුස් එකම අවස්ථාවකදීවත් ආගමික පිළිවෙතක් පූජාසනයක් මත සිදු කළේවත් තම ගෝලයන්ට එසේ කරන්න කියා අණ කළේවත් නැහැ. යේසුස් මතෙව් 5:23, 24හි සහ තවත් අවස්ථාවලදී පූජාසන ගැන සඳහන් කළේ එවකට යුදෙව් ආගමිකයන් අතර පැවති චාරිත්‍රයක් හුවා දැක්වීමට මිස තම ගෝලයන් දෙවි වෙතට ළඟාවීම සඳහා පූජාසනයක් භාවිත කළ යුතුයයි කීමට නොවේ.

අමෙරිකානු ඉතිහාසඥයෙක් වන ජෝන් ෆුට් මෝර් (1851-1931) ලිව්වේ මෙයයි. “ක්‍රිස්තියානි නමස්කාර ක්‍රමයේ ප්‍රධාන අංගයන් සැමදාම එක සේ පැවතිණ. එහෙත් කල් යත්ම දෙවන සියවසේ මුල් භාගයේදී ජස්ටින් විසින් හඳුන්වා දෙන ලද චාම් වතාවත්වලට කාලයාගේ ඇවෑමෙන් විසිතුරු මුහුණුවරක් ආරූඪ කරන ලදි.” කතෝලික උත්සව හා ප්‍රසිද්ධ ආගමික උත්සව කොතරම් බහුලද හා සංකීර්ණද කිවහොත් කතෝලික සෙමනේරිවල මෙය වෙනම විෂයක් හැටියට උගන්වනු ලබනවා. මෝර් තවදුරටත් මෙසේ පැවසුවා. “වතාවත් විසිතුරු ලෙස ඉදිරිපත් කිරීමට තිබෙන මෙම ප්‍රවණතාවට තවදුරටත් ඉවහල් වුණේ පරණ ගිවිසුමේ ආභාශයයි. ඊට හේතුව වූයේ එහි සඳහන් පැරණි පූජක තන්ත්‍රය වෙනුවට ක්‍රිස්තියානි පූජක තන්ත්‍රය පත් වූ බව සැලකීමයි. අතිශයින්ම මනහර ඇඳුමෙන් සැරසී සිටි උත්තම පූජකයා උත්සවාකාර පූජක ඇඳුමෙන් සැරසී සිටි අනෙකුත් පූජකයන් ගම්භීරකමින් යන පෙරහැර, ලෙවී ගායකයන්ගෙන් සමන්විත භක්ති ගී කණ්ඩායම්, සුවඳ දුම් භාජනවලින් දසත පැතිරී යන සුවඳ දුම් ආදී මේ සෑම ලක්ෂණයක්ම දිව්‍ය අනුමැතිය ලත් වන්දනා ක්‍රමයක තිබිය යුතු ලක්ෂණ සේ සලකන ලදි. ඇත්තෙන්ම පුරාණ මිථ්‍යා දෘෂ්ටික ආගම්වල තිබූ විසිතුරු චාරිත්‍ර වාරිත්‍ර හා තරඟ වැදීමට මේවා පල්ලියට හොඳ පදනමක් සැපයීය.”

පුදුම දනවන කාරණයක් නම් විවිධ පල්ලි ක්‍රමවලට අයත් චාරිත්‍ර, උත්සව, පූජක ඇඳුම් සහ වෙනත් අංග පැමිණ තිබෙන්නේ ක්‍රිස්තියානි ඉගැන්වීම් පදනම් වී තිබෙන සුවිශේෂවලින් නොව යුදෙව් හා මිථ්‍යා දෘෂ්ටික චාරිත්‍රවලින් වීමයි. එන්චික්ලෝපෙඩියා කාටෝලිකාහි සඳහන් වන්නේ කතෝලික ආගම “අල්තාර භාවිත කිරීමට පටන්ගෙන තිබෙන්නේ යුදෙව් ආගමේ හා යම් දුරකට මිථ්‍යා දෘෂ්ටික ආගම්වල ආභාශයෙන්” බවයි. පොදු යුගයේ තුන්වන ශතවර්ෂයේ විසූ අපොලජිස්තවරයෙකු (apologist) වූ මිනුසියස් ෆීලික්ස් ක්‍රිස්තියානීන් ගැන ලිව්වේ ඔවුන්ට ‘දේවමාළිගාවත්, අල්තාරවත් තිබුණේ නැහැ’ කියායි. විශ්වකෝෂීය ශබ්දකෝෂයක් වන රිලිජෝනී ඒ මීටිහි (ආගම හා මිථ්‍යා) ඒ හා සමාන අදහසක් මෙසේ ඉදිරිපත් කර තිබුණි. “මුල් ක්‍රිස්තියානීන් යුදෙව් ආගමිකයන්ගෙන් හා මිථ්‍යා ඇදහිලි ක්‍රමවලින් ඔවුන්ව වෙන් කර හඳුනාගැනීම සඳහා අල්තාර භාවිත කිරීම ප්‍රතික්ෂේප කළා.”

ක්‍රිස්තියානි ධර්මය මූලිකව පදනම් වී තිබෙන්නේ සෑම රටකම එදිනෙදා ජීවිතයේදී පිළිගත යුතු හා අදාළ කරගත යුතු ප්‍රතිපත්ති මත නිසා පොළොවේ ශුද්ධ නගරයක්වත්, අල්තාරවලින් හෙබි දේවමාළිගාවත්, විශේෂ ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු හෝ නිලතල දරන මිනිස් පූජකයන්වත් එයට අවශ්‍ය වන්නේ නැහැ. යේසුස් මෙසේ පැවසීය. “මේ කන්දේදීවත්, යෙරුසලමේදීවත් ඔබ සියලුදෙනා පියාණන්ට නමස්කාර නොකරන පැය පැමිණෙන්නේය. . . . සැබෑ නමස්කාරකරන්නන් විසින් පියාණන්ට ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර” කළ යුතුය. (යොහන් 4:21, 23, NW) පල්ලිවල භාවිත කරන අල්තාර හා සංකීර්ණ චාරිත්‍රවලින් කියා පාන්නේ ඔවුන් ඇත්තටම යේසුස් පෙන්නුම් කළ අන්දමට සැබෑ දෙවිට නමස්කාර කිරීම නොසලකා හරිමින් සිටින බවයි.

[පාදසටහන]

^ 3 ඡේ. මීට පෙර කායින් හා ආබෙල් යෙහෝවාට පඬුරු ඔප්පු කිරීමට පූජාසනයක් ගොඩනැඟුවා විය හැකියි.—උත්පත්ති 4:3, 4.