Skip to content

පටුනට යන්න

සාමාන්‍ය ජනයා කෙරෙහි යෙහෝවා සැලකිල්ල දක්වයි

සාමාන්‍ය ජනයා කෙරෙහි යෙහෝවා සැලකිල්ල දක්වයි

සාමාන්‍ය ජනයා කෙරෙහි යෙහෝවා සැලකිල්ල දක්වයි

දෙවිගේ අවධානය අප වෙත යොමුවීමට නම් අප යම් ආකාරයකින් විශිෂ්ට හෝ කැපීපෙනෙන පුද්ගලයන් විය යුතුද? එක්සත් ජනපදයේ 16වන ජනාධිපති වූ ඒබ්‍රැහැම් ලින්කන් මෙසේ පැවසූ බවට සඳහන් වේ. “ස්වාමීන් කැමති සාමාන්‍ය පෙනුමක් ඇති ජනයාටයි. මේ නිසයි ඔහු එවැනි මිනිසුන් හුඟදෙනෙකුව බිහි කරන්නේ.” බොහෝදෙනෙකුට හැඟෙන්නේ තමන් සාමාන්‍ය අය නිසාවෙන් තමන් තුළ කිසි විශේෂ දෙයක් නැති බවය. සාමාන්‍ය තත්වයේ සිටීම කියා පැවසීමේදී “දිලිඳු, බාල” තත්වයක් ඇඟවිය හැක. එලෙසම, “පොදු” යන වචනයෙන් “වරප්‍රසාදිත හෝ විශේෂිත තත්වයක් නොතිබීම,” “සාමාන්‍ය ප්‍රමිතියෙන් පහත වැටීම” හෝ “දුර්වල ගනය” යන්නද අදහස් විය හැක. ඔබ කැමති කුමනාකාරයේ ජනයා සමඟ ගැවසීමටද? අහංකාර, බලය පාන, උඩඟු පුද්ගලයන් සමඟද? ඊට වඩා ඔබ කැමති වනු ඇත්තේ මිත්‍රශීලී, යටහත් පහත්, බොරු මවාපෑමක් නොකර අන් අය කෙරෙහි අවංකවම මහත් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට නොවේද?

හද පැරීම හා සරදම් කිරීම අද ලෝකයේ පොදු දෙයක් වී තිබෙන බැවින්, දෙවි තමන් කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වන බව විශ්වාස කිරීම සමහරෙකුට අපහසු කාර්යයකි. “මම හැදී වැඩුණේ ආදරය කරුණාව ඉතා අඩුවෙන් දක්වපු පවුලකයි. මාව ගණන්ගත්තේ නැහැ. මට විහිළු කළා. මට හිනා වුණා. ඒ නිසා, පුංචි කාලේදීම මට හැඟුණේ මගෙන් වැඩක් නැහැයි කියලයි” කියා මෙම සඟරාවේ පාඨකයෙක් ලිව්වේය. “තාමත් මගේ හිතේ අතීත හැඟීම් රැඳිලා තියෙන නිසා යම් විපත්තියකට මූණ දෙනකොට ඒවා ඉස්මතු වෙලා මගේ හිත කඩා වැටෙනවා.” එහෙත්, සාමාන්‍ය ජනයා කෙරෙහි දෙවි පෞද්ගලික උනන්දුවක් දක්වන බව විශ්වාස කිරීමට හොඳ හේතු තිබේ.

පොදු ජනයා කෙරෙහි දෙවිගේ උනන්දුව

“යෙහෝවා උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය. ඔහුගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය” කියා දාවිත් රජ ලිව්වේය. (ගීතාවලිය 145:3) කෙසේ නමුත්, මේ නිසා යෙහෝවා අපට ප්‍රේමණීයව හා සානුකම්පිතව සැලකිල්ල දැක්වීමෙන් වැළකී සිටියේ නැත. (1 පේතෘස් 5:7) උදාහරණයක් වශයෙන්, ගීතිකාකරු මෙසේ පැවසීය. “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි, තැළුණු ආත්ම ඇත්තන් ගලවයි.”—ගීතාවලිය 34:18.

දෙවි වැදගත්කොට සලකන්නේ බාහිර අලංකාරය, කීර්තිය හෝ ධනසම්පත් වැනි මේ ලොවේ පවතින සිත් ඇදගන්නා දේවල් නොවේ. දිලින්දන්, අනාථයන්, වැන්දඹුවන් හා විදේශීන් කෙරෙහි දෙවි සානුකම්පිත උනන්දුවක් දක්වන බව දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියෙහි පෙන්වන ලදි. ඊජිප්තුවේදී කෲර සැලකිලි ලැබූ ඊශ්‍රායෙලිතයන්ට දෙවි මෙසේ පැවසීය. “විදේශිකයෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. . . . කිසි කනවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න. නුඹ යම් ආකාරයකින් ඔවුන්ට හිංසා කළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි.” (නික්මයාම 22:21-24) එපමණක්ද නොව, පහත් අයට දෙවි සලකන බවට වූ නිසැකකමින් ප්‍රොපේත යෙසායා මෙසේ ප්‍රකාශ කළේය. “ඔබ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිලිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටියේය.”—යෙසායා 25:4.

දෙවිගේ “සැබෑ ස්වභාවයේ නියම ස්වරූපය” වන යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ දේවසේවය පුරාම, පොදු ජනයා කෙරෙහි අවංක උනන්දුවක් දක්වමින් තම ගෝලයන්ට ආදර්ශයක් වූයේය. (හෙබ්‍රෙව් 1:3, NW) “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” සෙනඟ දුටු යේසුස් “ඔවුන්ට අනුකම්පා කළේය.”—මතෙව් 9:36, NW.

යේසුස් තම ප්‍රේරිතයන් ලෙස තෝරාගත්තේ කුමනාකාරයේ පුද්ගලයන්ද කියාත් සිතා බලන්න. ඔවුන්ව හඳුන්වනු ලැබුවේ “නූගත්, සාමාන්‍ය” මිනිසුන් වශයෙනි. (ක්‍රියා 4:13, NW) යේසුස්ගේ මරණයෙන් පසු, ඔහුගේ අනුගාමිකයෝ දේවවචනයට සවන් දීමට සියලු ආකාර ජනයාට ආරාධනා කිරීමට පටන්ගත්හ. ‘නොඅදහන්නෙකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට’ ක්‍රිස්තියානි සභාවට ඇතුල් වී අදහන්නෙකු විය හැකියි කියා ප්‍රේරිත පාවුල් ලිව්වේය. (1 කොරින්ති 14:24, 25, NW) දෙවි තම සේවය සඳහා ලෞකික ප්‍රමිති අනුව උසස්යයි සලකනු ලැබූවන්ව පමණක් තෝරා නොගෙන චාම්, සාමාන්‍ය මිනිසුන් බොහෝදෙනෙකුව තෝරාගත්තේය. “සහෝදරයෙනි, ඔහු ඔබව කැඳෙව්වේ කෙසේදැයි ඔබ දන්නහුය. එනම්, මාංසික ලෙස ප්‍රඥාවන්ත බොහෝදෙනෙකු හෝ, බලවත් බොහෝදෙනෙකු හෝ, වංශවත් බොහෝදෙනෙකු කැඳවනු ලැබුවේ නැත. ඒ වෙනුවට දෙවි, ප්‍රඥාවන්තයන්ව ලජ්ජාවට පත් කරන පිණිස, ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්තේය. එමෙන්ම, ශක්තිමත් දේවල් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවි ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්තේය. එමෙන්ම, තිබෙන දේවල් නැති කර දමන පිණිස, දෙවි ලෝකයේ පහත් දේවල්ද, හෙළා දකිනු ලබන දේවල්ද, නොතිබෙන දේවල්ද තෝරාගත්තේය. එසේ කළේ, දෙවි ඉදිරියෙහි කිසිවෙකු පුරසාරම් නොකියන පිණිසය” කියා ප්‍රේරිත පාවුල් පැවසුවේය.—1 කොරින්ති 1:26-29, NW.

අද දින, එලෙසම දෙවි අප කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දක්වයි. දෙවිගේ කැමැත්ත නම්, “සියලු ආකාර මිනිසුන් ගැලවීමත්, සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:4, NW) අප වෙනුවෙන් මිය යෑම සඳහා තම පුත්‍රයාව මෙලොවට එවීමට තරම් දෙවි මනුෂ්‍යවර්ගයාට ප්‍රේම කළා නම්, අප ප්‍රේමය නොලබන හෝ නොවටිනා පුද්ගලයන්ය යන හැඟීම ඇති කරගැනීමට අපට හොඳ හේතුවක් නොමැත. (යොහන් 3:16) යේසුස් ක්‍රිස්තුස් සමඟ පෞද්ගලිකව කටයුතු කරන ආකාරයටම, යේසුස්ගේ ආත්මික සහෝදරයන්ගෙන් නොවැදගත්ම තැනැත්තා සමඟද කටයුතු කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. ඔහු පැවසුවේ මෙයයි. “මාගේ මේ සහෝදරයන් අතරින් සුළුම තැනැත්තන්ගෙන් කෙනෙකුට ඔබ එසේ කළා නම්, ඔබ එය කළේ මටය.” (මතෙව් 25:40, NW) ලෝකයා අපව කොයි ආකාරයෙන් සැලකුවත්, අප සත්‍යයට ඇලුම් වෙනවා නම් දෙවිගේ නෙත් හමුවේ අප අනර්ඝය.

දෙවි සමඟ පෞද්ගලික සබඳතාවක් වර්ධනය කරගත් පසු පියා නැති බ්‍රසීලියානු පිරිමි ළමයෙකු වූ ෆ්‍රැන්සිස්කෝට * හැඟුණේ එලෙසය. ඔහු මෙසේ පැහැදිලි කරයි. “යෙහෝවා ගැනත්, ඔහුගේ සංවිධානය ගැනත් දැනගන්න ලැබීමෙන් මා තුළ තිබූ අනාරක්ෂිතභාවයේ හා ලජ්ජාශීලීභාවයේ හැඟීම්වලින් ගොඩ ඒමට මට හැකි වුණා. යෙහෝවා අපි හැම කෙනා ගැනම පෞද්ගලික උනන්දුවක් දක්වන බව මම දැනගත්තා.” ෆ්‍රැන්සිස්කෝට යෙහෝවා සැබෑ පියෙකු බවට පත් විය.

යෞවනයන් කෙරෙහි සැලකිල්ල

යෙහෝවා යෞවනයන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ කණ්ඩායමක් වශයෙන් නොව එක් එක් පුද්ගලයා වශයෙනි. සැබවින්ම, බාල වුවත්, මහලු වුවත් අප අප ගැන මහ ඉහළින් නොසිතිය යුතුය. එහෙත්, අනාගතයේදී දෙවිට යම් ප්‍රයෝජනයක් ගත හැකි කුසලතාවන් හා ගුණාංග අප තුළ තිබෙනවා විය හැක. අප සතු දෙයින් උපරිමය නෙළාගැනීම සඳහා අප දියුණු විය යුතු පැති හා අපට මොන විදිහේ පුහුණුවක් අවශ්‍යදැයි යෙහෝවා දන්නේය. උදාහරණයක් වශයෙන්, 1 සාමුවෙල් 16වන පරිච්ඡේදයේ වාර්තාව බලන්න. ඊශ්‍රායෙල්හි රජු වීමට අපේක්ෂාවෙන් සිටි වෙනත් අයට යෙස්සේගේ බාල පුතා වූ දාවිත්ට වඩා සුදුසුකම් තිබෙනවායයි ප්‍රොපේත සාමුවෙල්ට පෙනුණු බැවින්, ඊශ්‍රායෙල්හි අනාගත රජු වශයෙන් තමා දාවිත්ව තෝරගත්තේ මන්දැයි යෙහෝවා පැහැදිලි කළේය. “ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න. මක්නිසාද මම ඔහු [දාවිත්ගේ වැඩිමල් සහෝදරයා] එපා කළෙමි. දෙවි මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලන්නේය. මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් යෙහෝවා සිත බලන්නේය.”—1 සාමුවෙල් 16:7.

යෙහෝවා තමන් කෙරෙහි අව්‍යාජ උනන්දුවක් පෙන්වන බවට නිසැකකමක් ඇති කරගන්න අද දින යෞවනයන්ට හැකිද? යෞවන බ්‍රසීලියානු ස්ත්‍රියක වූ ආනා ගැන සලකා බලන්න. වෙනත් යෞවනයන් බොහෝදෙනෙකු වාගේම ඇයද දූෂණය හා අයුක්තිය දැකීමෙන් කලකිරීමට පත්ව සිටියාය. එවිට ඇගේ පියා ඇයව හා ඇගේ සහෝදරියන්ව ක්‍රිස්තියානි රැස්වීම්වලට කැටුව ගියේය. කල් යත්ම, දෙවිගේ වචනය සම්බන්ධව උගනිමින් සිටි දේ කෙරෙහි ඈ තුළ ආශාවක් වර්ධනය විය. ක්‍රිස්තියානි ප්‍රකාශන සමඟ බයිබලය කියවීමටත්, යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමටත් ආනා පටන්ගත්තාය. ක්‍රමක්‍රමෙන්, ඈ දෙවි සමඟ කිට්ටු සබඳතාවක් වර්ධනය කරගත්තාය. ඇය මෙසේ පැහැදිලි කරයි. “අලංකාර ලෙස හිරු අවරට යන දිහා බලාගෙන ඉන්න ආස නිසා මම බයිසිකලෙන් මගේ ගේ කිට්ටුව තිබුණ කන්දක් උඩට යන්න පුරුදු වෙලා හිටියා. යෙහෝවාට මම කොච්චර ආදරේද කියලා කියන්න උත්සාහ කරමින්, ඔහුට යාච්ඤා කරලා ඔහුගේ කරුණාවන්තකම සහ ත්‍යාගශීලීභාවය ගැන ඔහුට ස්තුති කළා. යෙහෝවා දෙවිව හා ඔහුගේ අරමුණු දැනගැනීමෙන් මගේ හිත නිරවුල් වෙලා ආරක්ෂිත හැඟීමක් ඇති වුණා.” යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල ගැන කල්පනා කර බැලීමට කාලය සොයාගන්න ඔබත් වෑයම් කරනවාද?

අපේ පසුබිම හේතුවෙන් යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධයක් තබාගැනීම අපහසු විය හැකි බව ඇත්තයි. ලිඩියාගේ උදාහරණය සලකා බලමු. ඇගේ සිතට තදින් බලපෑ කරුණක් ගැන ඇය ඇගේ පියා සමඟ පැවසූ විට, ඔහු කිසිම සැලකිල්ලක් නොදක්වමින් “පිස්සු වැඩක්” යයි පැවසීය. එම ගැටලුව තමා අමතක කර දමයි කියා පියා බලාපොරොත්තු වූ බව අවබෝධ වුවත්, ලිඩියා මෙසේ පවසයි. “බයිබලය අධ්‍යයනය කිරීමෙන් මං ආශා වුණ දේවලටත් වඩා දෙයක් මට ලැබුණා. යෙහෝවාව මගේ හොඳම මිතුරා කළේ ඔහුගේ ආකර්ෂණීය පෞද්ගලිකත්වයයි. මගේ හැඟීම් සහ මං හුඟක් භය වෙන කාරණා ගැන නොසඟවා කියන්න පුළුවන් ප්‍රේමණීය, තේරුම්ගන්නාසුලු පියෙක් දැන් මට ඉන්නවා. විශ්වයේ අතිඋතුම් පුද්ගලයා මට සවන් දෙනවා කියන නිසැක විශ්වාසය ඇතුව ඔහු එක්ක පැය ගාණක් කතා කරන්න දැන් මට පුළුවන්.” පිලිප්පි 4:6, 7 [NW] වැනි බයිබල් පාඨ යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල තිබෙන බව දැනගැනීමට ඇයට උපකාරවත් විය. එම කොටසේ තිබෙන්නේ මෙයයි. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මානසික ශක්තියද ආරක්ෂා කරනවා ඇත.”

ඔබේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට උපකාර

යෙහෝවා තම එක් එක් සේවකයා කෙරෙහි මෙන්ම ඔහුගේ ලෝක ව්‍යාප්ත සභාව කෙරෙහි තම සැලකිල්ල පෙන්වන්නේය. අපේ ස්වර්ගික පියා සමඟ කතා කිරීමට කාලය ගත කිරීමෙන් ඔහු කෙරෙහි ඇති අපේ ප්‍රේමය පෙන්වීමට අපට පුළුවන. ඔහු සමඟ ඇති අපේ සබඳතාව ගැන අප කිසි විටෙක සුළුවෙන් නොසිතිය යුතුය. යෙහෝවා සමඟ වූ තම සබඳතාව ගැන දාවිත් නිරතුරුවම අවධානයෙන් සිටියේය. ඔහු මෙසේ පැවසීය. “යෙහෝවා, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව. ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව. මක්නිසාද ඔබ මාගේ ගැලවීමේ දෙවිය. දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලා සිටිමි.”—ගීතාවලිය 25:4, 5.

දෙවි සමඟ කිට්ටු සබඳතාවක් ඇතුව සිටීමේ අදහස ඔබට අලුත් යමක් වීමටද ඉඩ ඇත. ඔබට මොන ප්‍රශ්නයක් තිබුණත්, ඔහුගේ කැමැත්තට එකඟව ඔබට උපකාර කරන්න මහෝත්තමයාට හැකි බවට නිරතුරුවම නිසැකකමක් තබාගන්න ඔබට හැකියි. (1 යොහන් 5:14, 15) මෙබැවින්, ඔබේ තත්වයන් හා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් යම් දේවල් ගැන නිශ්චිතවම සඳහන් කරමින් යාච්ඤා කරන්න.

සාලමොන් රජ දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී කළ යාච්ඤාවකින් අපේ අවශ්‍යතා හඳුනාගැනීමේ වැදගත්කම හුවා දැක්වේ. “දේශයට සාගතයක් පැමුණුණොත්, නොහොත් වසංගතයක් ආවොත්, නොහොත් ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමුණුණොත්, ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ට හෝ මොන පීඩාවක් නමුත් මොන රෝගයක් නමුත් පැමිණෙන්ට හෝ යෙදුණොත්, කොයි මනුෂ්‍යයෙකු විසින් නමුත්, ඔබගේ මුළු සෙනඟ වූ ඊශ්‍රායෙල් විසින් නමුත්, තම තමුන්ගේ සිත්වල පීඩාවද දුකද දැනගෙන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, කමා වී, . . . තම තමාගේ සියලු මාර්ගවල හැටියට විපාක දුන මැනව.” (2 ලේකම් 6:28-31) ඇත්තෙන්ම, ‘ඔබේ සිතේ තිබෙන පීඩාවද දුකද දන්නේ’ ඔබ පමණි. එසේනම්, ඔබේ සැබෑ අවශ්‍යතා සහ ආශාවන් පිළිගැනීම මොන තරම් වැදගත්ද! ඔබ එසේ කළොත් “[යෙහෝවා] ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන්නේය.”—ගීතාවලිය 37:4.

යෙහෝවා සමඟ තිබෙන ඔබේ සබඳතාව ශක්තිමත් කරන්න

සාමාන්‍ය ජනයා තමා සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වනවාට යෙහෝවා කැමතියි. ඔහුගේ වචනයෙහි මෙසේ සහතික කර ඇත. “‘මම ඔබට පියෙක් වන්නෙමි. ඔබ මට පුත්‍රයන්ද දූවරුන්ද වන්නහුය’යි සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා කියන්නේය.” (2 කොරින්ති 6:18, NW) ඇත්තෙන්ම, අප සාර්ථක වී සදාකාල ජීවනය ලබාගන්නවා දැකීම යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයාගේ කැමැත්තය. පවුල තුළ, සේවා ස්ථානයේ සහ ක්‍රිස්තියානි සභාවේ ඇති අපේ වගකීම් ගැන සැලකිලිමත් වීමට යෙහෝවා අපට උපකාර කරනු ඇති බව දැනගැනීමට ලැබීම මොන තරම් දිරිගන්වනසුලුද!

කෙසේවෙතත්, අපි සියල්ලෝම අසීරු කාලවලට මුහුණ දෙන්නෙමු. දුර්වල සෞඛ්‍යය, පවුල් ප්‍රශ්න, අඩු ආදායම හෝ වෙනත් එවන් යමක් අපට වේදනා ගෙන දිය හැක. පරීක්ෂාවක් හෝ පීඩාවක් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි අප නොදැන සිටිය හැක. වැඩි වී ඇති තාඩන පීඩන කෙළින්ම හෝ වක්‍රාකාරව පැමිණෙන්නේ දෙවිගේ සෙනඟට එරෙහිව ආත්මික යුද්ධයක නිරත වී සිටින දුෂ්ට චෝදකයෙකු වූ යක්ෂයා නමැති සාතන්ගෙන්ය. එහෙත්, යෙහෝවා සමඟ හොඳ සම්බන්ධයක් පවත්වාගැනීමට අපට උපකාර කරන හා අපව තේරුම්ගන්නා කෙනෙක් සිටියි. ඔහු නම්, ස්වර්ගයේ උසස් තත්වයෙහි සිටින යේසුස්ය. අපට මෙසේ කියවීමට තිබේ. “අපට සිටින උත්තම පූජකයා, අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන තැනැත්තෙක් නොව, පව් රහිත වූ නමුත් අප මෙන් හැම අතින්ම පරීක්ෂා කරනු ලැබූ තැනැත්තෙකි. එබැවින්, නියම වේලාවට උපකාරය සඳහා අපට දයාව ලැබෙන පිණිසත්, මහත් කරුණාව සම්බ වන පිණිසත්, අපි කතා කිරීමේ නිදහසින් යුක්තව, මහත් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු.”—හෙබ්‍රෙව් 4:15, 16, NW.

දෙවිගේ අනුග්‍රහය භුක්ති විඳීමට අප ජනප්‍රිය හෝ ධනවත් පුද්ගලයන් වීම අවශ්‍ය නොවන බව දැනගැනීමට ලැබීම මොන තරම් බිය සැක දුරු කරවන්නක්ද! ඔබ පීඩාකාරී තත්වයකට මැදිව සිටියදී පවා දාවිත් මෙන් මෙසේ යාච්ඤා කරන්න. “මම දුප්පත්මි, දිලින්දෙමි. එහෙත් යෙහෝවා මා සිහි කරන්නේය. ඔබ මාගේ උපකාරයය, මාගේ මිදුම්කාරයාණෝය.” (ගීතාවලිය 31:9-14; 40:17) යටහත් පහත්, සාමාන්‍ය මිනිසුන්ට යෙහෝවා ප්‍රේම කරන බවට සහතිකයක් තබාගන්න. ඇත්තෙන්ම, ‘ඔහු අප ගැන සලකන නිසා, අපේ සියලු කරදර ඔහු පිට තබන්න අපට හැකියි.’—1 පේතෘස් 5:7, NW.

[පාදසටහන]

^ 10 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[29වන පිටුවේ පින්තූර]

යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් වැඩිදෙනෙක් නූගත්, සාමාන්‍ය මනුෂ්‍යයන්ය

[30වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානීන් වෙර දරන්නේ ශක්තිමත් ඇදහිල්ලක් වෙනුවෙනි

[31වන පිටුවේ පින්තූර]

දෙවිගේ අනුග්‍රහය භුක්ති විඳීමට අප ප්‍රමුඛ පෙළේ අය විය යුතු නැත