Skip to content

පටුනට යන්න

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිස්තියානි සහෝදරත්වය වෙනුවෙන් සේවය කරන්නෝ

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිස්තියානි සහෝදරත්වය වෙනුවෙන් සේවය කරන්නෝ

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිස්තියානි සහෝදරත්වය වෙනුවෙන් සේවය කරන්නෝ

“ජාත්‍යන්තර සේවකයන්” හා “ජාත්‍යන්තර ස්වේච්ඡා සේවකයන්” යන වදන් ඔබ අසා තිබේද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම් බයිබලයේ ඇති රාජ්‍ය පණිවිඩය මුද්‍රණය කර බෙදාහරින ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා තම කාලය හා කුසලතා ස්වේච්ඡාවෙන් පිරිනමති. බයිබල් උපදෙස් දෙන මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා එක්රැස්වීම් ශාලා සහ රාජ්‍ය ශාලා ඉදි කිරීමටද එවන් ස්වේච්ඡා සේවකයෝ අත හිත දෙති. දැනට මෙම ස්වේච්ඡා සේවකයෝ විශේෂයෙන්ම සීමිත සම්පත් තිබෙන විවිධ රටවල් 34ක ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට සහයෝගය දෙමින් සිටිති. ජාත්‍යන්තර මට්ටමකින් ක්‍රිස්තියානි සහෝදරත්වය වෙනුවෙන් සේවය කරන විට එවැනි දේවසේවකයන් අද්දකින්නේ කුමන විශේෂ අභියෝගයන් හා ප්‍රීතියට දායක වන දේවල්ද? ඔවුන් ඉටු කරන “පරිශුද්ධ සේවය” සම්බන්ධයෙන් ඔවුන්ට හැඟෙන්නේ කෙසේද? (එළිදරව් 7:9, 15, NW) ඒ පිළිබඳව දැනගැනීම සඳහා අපි මෙක්සිකෝවේ සේවය කළ ස්වේච්ඡා සේවකයන් කීපදෙනෙකු මුණගැසෙමු.

මෙක්සිකෝවට විදේශීය ස්වේච්ඡා සේවකයන් මුලින්ම පැමිණියේ 1992 මැයිවලදීය. වැඩි කලක් ගතවීමට පෙර ඔවුහු මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන ශාඛාව විශාල කිරීමෙහි පෙරමුණ ගත්හ. මෙම විශාල කිරීමට ශාඛා කාර්යාලයේ, මුද්‍රණාලයේ සහ කාර්යාල ගොඩනැඟිල්ලෙහි සේවය කරන ස්වේච්ඡා සේවකයන්ට නේවාසිකාගාර ඇතුළු නව ගොඩනැඟිලි 14ක් ඉදි කිරීමද ඇතුළත් විය.

මෙම ඉදි කිරීමේ ව්‍යාපෘතියට සහයෝගය දැක්වීම සඳහා එක්සත් ජනපදයෙන්, කැනඩාවෙන්, මහා බ්‍රිතාන්‍යයෙන් හා වෙනත් රටවලින් ස්වේච්ඡා සේවකයන් 730කට වැඩි පිරිසක් පැමිණ මෙක්සිකෝවේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි ස්වේච්ඡා සේවකයන් සියගණනක් සමඟ කරට කර සේවය කළහ. ඊට අමතරව, ශාඛා කාර්යාලය අවට ප්‍රදේශවල පිහිටි සභා 1,600කට පමණ අයත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් 28,000කට වැඩිදෙනෙක් සති අන්තවලදී ඉදි කිරීමේ වැඩවලට සහයෝගය දුන්හ. සියලුදෙනාම තම කුසලතා නොමිලේ ඉදිරිපත් කරමින් කැමැත්තෙන්ම සේවය කළහ. මෙයාකාරයෙන් යෙහෝවාට සේවය කිරීම ඔවුන් සැලකුවේ වරප්‍රසාදයක් ලෙසය. ගොඩනැඟිලි ව්‍යාපෘතිය පැවති කාලය පුරාම ඔවුහු ගීතාවලිය 127:1හි ඇති ආනුභාව ලත් මෙම වදන් නිරතුරුවම මතකයේ තබාගත්හ. “යෙහෝවා ගෙය නොසාදයි නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. යෙහෝවා නුවර ආරක්ෂා නොකරයි නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.”

ඔවුන්ට මුහුණ දීමට සිදු වන අභියෝග

විදේශ පැවරුමක සේවය කරමින් සිටින ජාත්‍යන්තර ස්වේච්ඡා සේවකයන් මුහුණ දෙන අභියෝග මොනවාද? ඔවුන්ගේ අදහස් කීපයක් මෙන්න. එක්සත් ජනපදයෙන් පැමිණි යුවළක් වන කර්ටිස් සහ සැලී ඉන්දියාවේ, ජර්මනියේ, පැරග්වේහි, මෙක්සිකෝවේ, රුමේනියාවේ, රුසියාවේ, සැම්බියාවේ සහ සෙනිගාල්හි තිබූ ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට උදව් කර තිබේ. කර්ටිස් මෙසේ පවසයි. “පුරෝගාමී සේවය [පූර්ණ-කාලීන සේවය] කරමින් හිටිය අපේ දුවවයි, මිනෙසෝටාහි අපේ සභාවයි දාලා එන එක තමයි මුල්ම අභියෝගය වුණේ. මමයි, මගේ භාර්යාවයි අවුරුදු 24ක්ම ගියේ ඒ සභාවට නිසා ඒක අපිට අපේම ගේ වගේ වුණා.”

සැලී මෙසේ පවසයි. “නුහුරු නුපුරුදු තැනක ජීවත් වෙන එක අභියෝගයක්. පිරිමියෙකුට වඩා ස්ත්‍රියකට ඒක අමාරුයි කියලා මට හිතෙනවා. ඒත් මම ඉගෙනගත්තා තත්වයට අනුව සකස් වෙන්න. ඒ විතරක් නෙවෙයි කෘමීන් වර්ග හුඟක් හිටියත් ඉවසා දරාගෙන ඉන්න මම ඉගෙනගත්තා!” ඇය තවදුරටත් මෙසේද කියයි. “එක රටකදී අපි දහදෙනෙක් හිටියේ මුළුතැන්ගෙයකුත් නැති නාන කාමර දෙකක් විතරක් තිබුණ නවාතැනකයි. එහෙදී මම හුඟක් ඉවසන්න පුරුදු වුණා.”

අලුත් භාෂාවක් ඉගෙනගැනීම, වෑයම සහ නිහතමානිකම අවශ්‍ය වන තවත් අභියෝගයකි. තම සැමියා සමඟ විවිධ රටවල ඉදි කිරීමේ ව්‍යාපෘතිවල සේවය කර තිබෙන ෂැරන් මෙසේ පවසයි. “තමන් සේවය කරන රටේ භාෂාව නොදැන සිටීම අභියෝගයක්. අපේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න බැරි නිසා ආත්මික සහෝදර සහෝදරයන්ට කිට්ටු වෙන්න මුලදී අමාරුයි. එතකොට ඇත්තටම කලකිරීමක් ඇති වෙනවා. ඒත් විදේශ පැවරුම්වල යෙදී සිටින විට ඒ රටවල සහෝදරයන් අපි එක්ක හුඟක් ඉවසීමෙන් කටයුතු කරන අතර අපේ යහපත ගැන සෑහෙන උනන්දුවක් දක්වනවා. වැඩි කල් යන්න කලින් අපි අමාරුවෙන් හරි අදහස් හුවමාරු කරගන්න පුරුදු වෙනවා.”

දේවසේවයේ හවුල් වීමට ධෛර්යය අවශ්‍යයි

එවන් ආත්ම පරිත්‍යාගී ස්වේච්ඡා සේවකයන් ඉදි කිරීමේ වැඩවල දියුණුව වෙනුවෙන් බෙහෙවින් දායක වුවත් තමන් මූලික වශයෙන් දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන්නන් බව ඔවුහු තේරුම්ගෙන සිටිති. එබැවින්, ඔවුහු තමන්ගේ සභාවල කෙරීගෙන යන දේශනා වැඩයට පූර්ණ සහයෝගය දෙති. ග්වාඩලූප්හි, නයිජීරියාවේ, මලාවිවල සහ මෙක්සිකෝවේ ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට සහාය දුන් යුවළක් වන ඕකේ සහ ඉන්ජ්මාරි පවසන්නේ විදේශ රටක ක්ෂේත්‍ර සේවයේ හවුල් වන විට තවත් භාෂාවක් කතා කිරීම සඳහා නිර්භීතකම අවශ්‍ය බවය.

ඉන්ජ්මාරි මෙසේද පවසයි. “අපි නිතරම සේවයේ ගියේ භාෂාව හොඳින් දන්න සාක්ෂිකරුවන් එක්ක හින්දා අපිට ලජ්ජා හිතිලා හුඟක් වෙලාවට ඒගොල්ලන්ට කතා කරන්න අපි ඉඩ දුන්නා. ඒ හින්දා මුලින්ම අපිට සහභාගි වෙන්න පුළුවන් වුණේ සීමිත ප්‍රමාණයකටයි. කොහොමවුණත්, දවසක් උදේ අපි තීරණය කළා අපි දෙන්නා විතරක් ක්ෂේත්‍ර සේවයේ යන්න. අපි පටන්ගත්තේ සෑහෙන භයකින්. ඇත්තටම අපේ කකුල් වෙවුලුවා; පපුව හයියෙන් ගැහෙන්න පටන්ගත්තා. අපිට තරුණ කාන්තාවක් මුණගැහුණා. මම කලින් සූදානම් වුණු වචන ටික කියද්දී ඇය මට හොඳින් ඇහුම්කන් දුන්නා. ශුද්ධ ලියවිල්ලෙන් පදයක් කියවලා මම පොත් පත් කීපයක් ඇයට දුන්නා. එතකොට ඒ තැනැත්තිය මෙහෙම කිව්වා. ‘මේ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න පුළුවන්ද? මගේ නෑදෑයෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරනවා. මටත් ආසයි පාඩමක් කරන්න. කොහොමද ඒක කරන්නේ?’ මට අදහගන්න බැරුව ගියා. සතුට යටපත් කරගෙන මමම ඉදිරිපත් වුණා බයිබල් පාඩමක් කරන්න.”

ඉන්ජ්මාරි මෙසේ පවසයි. “සත්‍යය බෙදාගන්න අපි ගත්තු පියවරට සහ අපේ ආශාවට ලැබුණු ආශීර්වාදය නිසා මට ඇති වුණ ප්‍රීතියත්, යෙහෝවා කෙරෙහි දැනුණ ස්තුතිවන්තභාවයත් මොනතරම්ද කියලා සිතා බලන්න.” මෙම ස්ත්‍රිය කදිම ප්‍රගතියක් ලැබූ අතර මෙක්සිකෝ නගරයේ පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවකදී ඈ බව්තීස්ම වූවාය. ඕකේ සහ ඉන්ජ්මාරි ඔවුන්ගේ දේවසේවය ගැන මෙසේ කැටි කොට දක්වති. “විවිධ ඉදි කිරීමේ ව්‍යාපෘතිවල අපිට ලැබුණ පැවරුම් ඇත්තෙන්ම අපි අගේ කරනවා. ඒත් කෙනෙකුට සත්‍යය වැලඳගන්න උපකාර කරන එකෙන් ලැබෙන තරම් ප්‍රීතියක් සහ තෘප්තියක් වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ.”

ආත්ම පරිත්‍යාගී ස්වභාවයක්

පවුලේ අයගෙන් සහ මිත්‍රයන්ගෙන් වෙන්ව විදේශ රටවල සිටින තම සහෝදරයන්ට සේවය කිරීමට ස්වේච්ඡා සේවකයන් පරිත්‍යාගයන් කරන බව ඇත්තයි. එහෙත් ඔවුහු කියා නිම කළ නොහැකි ප්‍රීතිමත් දේවල් අද්දකිති. ඒවා මොනවාද?

තම බිරිඳ වූ පැමලා සමඟ ඇන්ගෝලාව, ඉක්වදෝරය, එල් සැල්වඩෝරය, කොලම්බියාව, ගයනාව, පුවටෝ රිකෝ සහ මෙක්සිකෝව යන රටවල සේවය කර තිබෙන හවඩ් මෙසේ පැහැදිලි කරයි. “විවිධ රටවල සහෝදර සහෝදරියන්ව මුණගැහෙන එකත්, අපේ ජාත්‍යන්තර සහෝදරත්වය තුළ පවතින ප්‍රේමයේ බැඳීම හැබැහින් අද්දකින්න ලැබීමත් ඇත්තෙන්ම වරප්‍රසාදයක්. අපි හුඟක් වෙලාවට ඒ ගැන කියවලා තිබුණත් විවිධ සංස්කෘතීන්වල සහ පසුබිම්වල සිටින අය එක්ක ජීවත් වෙලා ඔවුන් එක්ක සේවය කරලාම බලන්න ඕනේ. එතකොටයි අපේ වටිනා සහෝදරත්වයේ අගය අපිට වැඩියෙන් දැනෙන්නේ.”

ඉක්වදෝරය, කොලම්බියාව, කොස්ටා රිකා, මෙක්සිකෝව සහ සැම්බියාව යන රටවල ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට උපකාර කර තිබෙන ගැරීටද හැඟී තිබෙන්නේ මෙම වැඩසටහනෙන් ඔහුට ඉමහත් ප්‍රයෝජනයක් ලැබී තිබෙන බවය. ඔහු මෙසේ පවසයි. “මට පැවරුම් ලැබුණ රටවල ශාඛා කාර්යාලවල මේරූ සහෝදරයන් සමඟ ඇසුරු කිරීමෙන් වසර ගණනාවක් පුරා ලද පුහුණුව මගේ පැවරුම්වල අභියෝගවලට හොඳින් සූදානම්ව ඉන්න මට උපකාරයක් වුණා. යෙහෝවාගේ ලෝක ව්‍යාප්ත සංවිධානය සලකුණු කරන එක්සත්බව අද්දැකීමට ප්‍රස්තාවක් සපයන නිසා ඇත්තෙන්ම එය ඇදහිල්ල ශක්තිමත් කරන්නක් වී තිබෙනවා. එය භාෂාවේ, ජාතියේ හෝ සංස්කෘතියේ වෙනස්කම් අබිබවා යන දෙයක්.”

මේ වෙනකොට මෙක්සිකෝවේ ඉදි කිරීමේ වැඩකටයුතු සම්පූර්ණ කර තිබෙන අතර විශාල කළ ශාඛා ගොඩනැඟිලි මෙම වසරේදී කැප කරන ලදි. දෙවි කෙරෙහි වූ තම ප්‍රේමයෙන් පෙලඹී මෙක්සිකෝවේ සහ වෙනත් ස්ථානවල සැබෑ නමස්කාරය පුළුල් කිරීම සඳහා ජාත්‍යන්තර සේවකයෝ සහ ජාත්‍යන්තර ස්වේච්ඡා සේවකයෝ බොහෝ සේ දායක වී ඇත. ජාත්‍යන්තර මට්ටමකින් තම ක්‍රිස්තියානි සහෝදරයන්ට සේවය කිරීමට ඔවුන් සතු වූ කැමැත්ත හා ආත්ම පරිත්‍යාගී ස්ප්‍රීතුව ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් බෙහෙවින් අගය කරනු ලබන්නකි.

[25වන පිටුවේ පින්තූරය]

ඉක්වදෝරය

[25වන පිටුවේ පින්තූරය]

කොලම්බියාව

[25වන පිටුවේ පින්තූරය]

ඇන්ගෝලාව

[26වන පිටුවේ පින්තූරය]

මෙක්සිකෝ ශාඛාවේ නව ගොඩනැඟිලිවල වැඩ ඇරඹේ

[26වන පිටුවේ පින්තූරය]

ශාඛාව පිහිටි වත්ත

[26වන පිටුවේ පින්තූරය]

පහළ: අලුත් ගොඩනැඟිල්ලේ කොටසක් ඉදිරියෙහි සිටින ඉදි කිරීමේ අංශයේ සාමාජිකයන් කීපදෙනෙක්

[27වන පිටුවේ පින්තූරය]

ඉදි කිරීමෙහි නියැලෙන ස්වේච්ඡා සේවකයෝ ප්‍රාදේශීය සභාවල දේශනා වැඩයට ප්‍රීතියෙන් සහාය වෙති