Skip to content

පටුනට යන්න

“එය මගේ හදවතේ තිබුණු අඩුවක් පිරෙව්වා”

“එය මගේ හදවතේ තිබුණු අඩුවක් පිරෙව්වා”

“එය මගේ හදවතේ තිබුණු අඩුවක් පිරෙව්වා”

යෙහෝවාට ළං වන්න පොත මට ලැබුණු හරිම ලස්සන තෑග්ගක්. මගේ මුළු හදවතින්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා. එය මගේ හදවතේ තිබුණු අඩුවක් පිරෙව්වා. ඒ අඩුව තමයි, යෙහෝවා මට ආදරය පෙන්වමින් මා වටිනා පුද්ගලයෙක් හැටියට සලකනවා කියන හැඟීම දැනීමේ අවශ්‍යතාව. මට හැඟෙන්නේ මම යෙහෝවාටත් ඔහුගේ ආදරණීය පුත්‍රයාටත් හුඟාක් ළං වෙලා කියලයි. මට ඕනේ මේ පොත ගැන හැම කෙනෙක්ටම කියන්න. ඒ වගේම මම ආදරය කරන හැම කෙනෙකුටම පිටපතක් දෙන්න.” වසර 2002/03 පවත්වන ලද “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවේදී මුදාහැරිය පිටු 320කින් යුත් අලුත් පොත ගැන යෙහෝවාගේ සාක්ෂිකාරියකට හැඟුණේ එලෙසයි. මෙම අලුත් පොතේ ලක්ෂණ සමහරක් සහ එය ප්‍රකාශයට පත් කිරීමට හේතු ගැන ටිකක් පරීක්ෂා කර බලමු.

අලුත් පොතේ ලක්ෂණ සමහරක්

මේ අලුත් පොතේ ඇතුළත් වන්නේ මොනවාද? මෙම පාඩම් ලිපි දෙකේ සඳහන් සියලුම තොරතුරු ඇතුළුව තවත් බොහෝ දේවල් එහි අඩංගු වේ. මෙම පොතේ පරිච්ඡේද 31ක් ඇත. මේ සෑම පරිච්ඡේදයක්ම මුරටැඹ සඟරාවේ තිබෙන පාඩම් ලිපියක් තරම් දිගය. පෙරවදනින් හා මුල් පරිච්ඡේද තුනෙන් පසු මේ පොත කොටස් හතරකට වෙන් කර ඇත. යෙහෝවාගේ ප්‍රධානතම ගතිලක්ෂණ එකින් එක ඒවායේ සාකච්ඡා කෙරේ. මේ සෑම කොටසක්ම ආරම්භ වන්නේ සාකච්ඡා කෙරෙන ගුණාංගය පිළිබඳව සමස්ත අදහසක් ඉදිරිපත් කරමිනි. යෙහෝවා අදාළ ගුණාංගය විදහා පෙන්වන ආකාරය ගැන ඊළඟට පරිච්ඡේදවල සාකච්ඡා කෙරේ. මේ සෑම කොටසකම එක් පරිච්ඡේදයක් වෙන් කර තිබෙන්නේ යේසුස් ගැන සාකච්ඡා කරන්නයි. මෙසේ කර තිබෙන්නේ මන්ද? යේසුස් මෙසේ පැවසුවේය. “මාව දුටු තැනැත්තා පියාණන්වද දැක තිබේ.” (යොහන් 14:9, NW) යේසුස් යෙහෝවාව පරිපූර්ණ ලෙස අනුකරණය කළ නිසා දෙවිගේ ගුණාංග ක්‍රියාවට නඟමින් ජීවමාන ආදර්ශයක් අපට සැපයුවේය. සෑම කොටසක්ම අවසන් වන්නේ, සාකච්ඡා කරනු ලබන දෙවිගේ ගුණාංගය විදහා පෙන්වමින් යෙහෝවාව අනුකරණය කිරීමට අපට හැකි ආකාරය පෙන්වා දෙමිනි. යෙහෝවාගේ ගුණාංග සාකච්ඡා කිරීමේදී මෙම අලුත් පොත බයිබලයේ සෑම පොතකටම යොමු දක්වයි.

යෙහෝවාට ළං වන්න නමැති පොතේ විශේෂ අංග කිහිපයක්ද දැකිය හැකියි. දෙවන පරිච්ඡේදයේ පටන් සෑම පරිච්ඡේදයකම “මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න” කියා නම් කර තිබෙන කොටුවක් තිබේ. මෙහි සඳහන් ශුද්ධ ලියවිලි පාඨ හා ප්‍රශ්න සපයා තිබෙන්නේ සලකා බැලූ පරිච්ඡේදය පුනරීක්ෂණය කිරීමේ අරමුණින් නොවේ. මෙම කොටුවල සඳහන් කරුණු සකස් කර තිබෙන්නේ සලකා බලන විෂය ගැඹුරින් මෙනෙහි කිරීම සඳහා බයිබලය යොදාගැනීමට ඔබට උපකාර කිරීමටයි. සඳහන් කර තිබෙන සෑම ශුද්ධ ලියවිලි පාඨයක්ම අවබෝධයෙන් යුතුව කියවීමට නිර්දේශ කර ඇත. ඉන් අනතුරුව එහි සඳහන් ප්‍රශ්න ගැන මෙනෙහි කරමින් පෞද්ගලිකව අදාළ කරගැනීමට වෑයම් කරන්න. මෙසේ මෙනෙහි කිරීමෙන් ඔබේ හදවත කැලතීමට හැකියි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔබ පෙරට වඩා වැඩියෙන් තව තවත් යෙහෝවාට ළං වනු ඇත.—ගීතාවලිය 19:14.

යෙහෝවාට ළං වන්න පොතේ දැකිය හැකි චිත්‍ර සකස් කර තිබෙන්නේ හොඳින් පර්යේෂණ කිරීමෙන් අනතුරුවයි. ඒවායේ අරමුණ වන්නේ ඉගැන්වීම වගේම ක්‍රියාවට පෙලඹවීමයි. මෙම පොතේ පරිච්ඡේද 17කම බයිබලයේ සඳහන් සිද්ධීන් දක්වන මුළු පිටුවම ආවරණය කරන අලංකාර චිත්‍ර සිතුවම් කර ඇත.

ප්‍රකාශයට පත් කිරීමට හේතු

යෙහෝවාට ළං වන්න නමැති පොත ප්‍රකාශයට පත් කර තිබෙන්නේ මන්ද? මෙම අලුත් ප්‍රකාශනයේ මූලික අරමුණ වන්නේ අපේ දෙවි සමඟ පෞද්ගලිකව වඩාත් ශක්තිමත් සබඳතාවක් ගොඩනඟාගැනීමට අපට හැකි වන පරිදි යෙහෝවාව වඩාත් හොඳින් දැනහඳුනා ගැනීමට අපට උපකාර කිරීමයි.

යෙහෝවාට ළං වන්න පොතෙන් ප්‍රයෝජන ගත හැකි යමෙකු ගැන ඔබට සිතාගත හැකිද? සමහරවිට ඒ කෙනා බයිබල් ශිෂ්‍යයෙක් හෝ අක්‍රියාශීලී ක්‍රිස්තියානි සහෝදරයෙක් හෝ සහෝදරියක් විය හැකියි. ඔබ ගැන කුමක් කිව හැකිද? මේ අලුත් පොත කියවීමට ඔබ පටන්ගෙන තිබෙනවාද? පටන්ගෙන නැත්නම් හැකි විගස එසේ කිරීම සඳහා කාලසටහනක් සාදාගැනීම හොඳ අදහසක් නොවේද? ඔබ කියවන දෙය ගැන මෙනෙහි කිරීමට කාලය ගන්න. පෙරට වඩා යෙහෝවාට තව තවත් ළං වීමට මෙම අලුත් ප්‍රකාශනය ඔබට උපකාරවත් වේවා! ඔහුගේ රාජ්‍යයේ ශුභාරංචිය වැඩි ජ්වලිතයකින් හා ප්‍රීතියකින් ප්‍රකාශ කිරීමට එමගින් ඔබට හැකි වේවා!