Skip to content

පටුනට යන්න

නිරවුල්ව සිතන්න නැණවත්ව ක්‍රියා කරන්න

නිරවුල්ව සිතන්න නැණවත්ව ක්‍රියා කරන්න

නිරවුල්ව සිතන්න නැණවත්ව ක්‍රියා කරන්න

මෙම සිද්ධිය සිතින් මවාගන්න. යෙරුසලමේ සිටින තමන්ගේ ආගමික සතුරන් තමන්ට දැඩි සේ වේදනා පමුණුවා, මරණයට පත් කරන බව යේසුස් ක්‍රිස්තුස් පැහැදිලි කරමින් සිටියි. එවැනි දෙයක් සිදුවීම ගැන ඔහුගේ කිට්ටුම මිතුරෙකු වන ප්‍රේරිත පේතෘස්ට විශ්වාස කළ නොහැකිය. මේ අවස්ථාවේදී ඔහු යේසුස්ව පැත්තකට ගෙන ගොස් තරවටු කරයි. පේතෘස් මෙසේ කළේ අවංක චේතනාවෙනි. එමෙන්ම යේසුස් කෙරෙහි දැක්වූයේ අව්‍යාජ සැලකිල්ලකි. ඒ ගැන කිසිම සැකයක් නැත. එනමුත් පේතෘස් සිතූ ආකාරය යේසුස් සලකන්නේ කෙසේද? ඔහු පේතෘස්ට මෙසේ පවසයි. “සාතන් මා පස්සට යව! ඔබ මට බාධාවට හේතුවකි. මන්ද, ඔබ සිතන්නේ මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ.”—මතෙව් 16:21-23, NW.

මෙම වදන් ඇසෙන විට පේතෘස්ගේ සිත මොනතරම් සසල වෙන්න ඇද්ද! ඔහුට වුවමනා වූයේ තම ආදරණීය ස්වාමියාට උපකාර කිරීමටයි. එනමුත් ඒ අවස්ථාවේදී ඔහු සිය ස්වාමියාගේ ‘බාධාවට හේතුවක්’ විය. මෙවැනි දෙයක් සිදු වූයේ කෙසේද? මිනිසුන් දේවල් ගැන සිතන විට පොදුවේ දැකිය හැකි දුර්වලකමකට පේතෘස්ද ගොදුරු වූවා විය හැක. මෙම දුර්වලකම වන්නේ තමන් කැමති දෙය පමණක් විශ්වාස කිරීමයි.

ඕනෑවට වඩා තමන් ගැන විශ්වාස නොකරන්න

ඕනෑවට වඩා තමන් ගැන විශ්වාසය තැබීමේ නැඹුරුවාව නිරවුල්ව සිතීමේ හැකියාවට තර්ජනයකි. ප්‍රේරිත පාවුල් පුරාණයේ විසූ කොරින්තිවරුන්ට මෙසේ අනතුරු ඇඟෙව්වේය. “තමා ස්ථිරව සිටින්නේයයි සිතන තැනැත්තා නොවැටෙන ලෙස පරෙස්සම් වේවා.” (1 කොරින්ති 10:12, NW) පාවුල් එසේ පැවසුවේ මන්ද? මිනිසුන් සිතන ආකාරයෙහි යම් දෝෂ හා වැරදි කොතරම් පහසුවෙන් සිදු විය හැකිද කියා ඔහු දැන සිටි නිසා විය හැක. ක්‍රිස්තියානීන්ගේ මනස් පවා “ක්‍රිස්තුස්ට පෙන්විය යුතු අවංකකමින් හා නිර්මලකමින් අහකට යන තරමටම යම් විධියකින් හෝ දූෂ්‍ය” විය හැකි බව ඔහු දැන සිටීමද එසේ පැවසීමට හේතු වූවා විය හැක.—2 කොරින්ති 11:3, NW.

පාවුල්ගේ මුතුන්මිත්තන් අයත්ව සිටි මුළු පරම්පරාවකටම එවැනි දෙයක් සිදු වූයේය. ඒ සමයේදී යෙහෝවා ඔවුන්ට මෙසේ පැවසුවේය. “මාගේ සිතුවිලි [නුඹලාගේ] සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග [නුඹලාගේ] මාර්ග මෙන් නොවේ.” (යෙසායා 55:8, නව අනුවාදය) ‘තමන් නුවණ ඇත්තෝයයි’ සිතූ ඔවුහු විපත්තිදායක දේවල් අද්දුටූහ. (යෙසායා 5:21) එසේනම් මෙයින් පැහැදිලිව පෙනී යන්නේ නිරවුල්ව සිතමින් එවන් විපත් වළක්වාගැනීමට අපට හැකි ආකාරය ගැන පරීක්ෂා කර බැලීම නැණවත් දෙයක් බවයි.

මාංසික ලෙස සිතීම ගැන පරෙස්සම් වන්න

කොරින්තියේ සිටි සමහරු මාංසික ලෙස සිතීමේ ප්‍රතිඵලයක් හැටියට අහිතකර තත්වයන්ට මුහුණ දුන්හ. (1 කොරින්ති 3:1-3) ඔවුන් වඩා වැදගත්කොට සැලකුවේ දර්ශනවාදීන්ගේ අදහස් මිස දෙවිගේ වචනයේ තිබෙන අදහස් නොවේ. ඒ කාලයේ සිටි ග්‍රීක චින්තකයන් ඉතාමත් බුද්ධිමත් අය වූ බවට සැකයක් නැත. කෙසේවෙතත් දෙවිගේ ඇස් හමුවෙහි ඔවුහු මෝඩ අය වූහ. මේ ගැන පාවුල් පැවසුවේ මෙසේය. “‘මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව විනාශ වීමට සලස්වමි. බුද්ධිමතුන්ගේ බුද්ධිය පහ කරන්නෙමි’ යයි ලියා තිබේ. ප්‍රඥාවන්තයා කොතැනද? ලියන්නා කොතැනද? මේ සමාජ ක්‍රමයේ වාද කරන්නා කොතැනද? ලෝකයේ ප්‍රඥාව දෙවි විසින් මෝඩකම බවට පත් කළා නොවේද?” (1 කොරින්ති 1:19, 20, NW) එවන් බුද්ධිමතුන්ව හසුරුවනු ලැබුවේ දෙවිගේ ආත්මය මගින් නොව, “ලෝකයේ ආත්මය” මගිනි. (1 කොරින්ති 2:12, NW) ඔවුන්ගේ දර්ශනයන් හා අදහස් යෙහෝවාගේ සිතුවිලිවලට අනුකූල නොවීය.

එවැනි මාංසික චින්තනයේ උල්පත වන්නේ ඒවව රැවටීමට සර්පයෙකුව යොදාගත් සාතන් නමැති යක්ෂයාය. (උත්පත්ති 3:1-6; 2 කොරින්ති 11:3) ඔහු තවමත් අපට අනතුරු කරනවාද? ඔව්! දෙවිගේ වචනයේ පවසන්නේ සාතන් ජනයාගේ “මනස් අන්ධ” කර තිබෙන බවයි. ඔහු මෙය කොතෙක් දුරට කරමින් සිටිනවාද කියනවා නම්, “මුළු පොළොවම නොමඟ [යවමින්]” සිටියි. (2 කොරින්ති 4:4; එළිදරව් 12:9; NW) ඔහුගේ උපායවල් ගැන නිරතුරුව අවධානයෙන් සිටීම මොනතරම් වැදගත්ද!—2 කොරින්ති 2:11.

‘මිනිසුන්ගේ ප්‍රයෝග’ ගැන කල්පනාකාරී වන්න

ප්‍රේරිත පාවුල් ‘මිනිසුන්ගේ ප්‍රයෝග’ ගැනද අනතුරු ඇඟෙව්වේය. (එෆීස 4:14) සත්‍යය පවසන බව ඇඟෙව්වත්, ඇත්තෙන්ම එය විකෘති කොට දක්වන ‘වංචනික වැඩකරුවන්ව’ ඔහුට මුණ ගැසිණ. (2 කොරින්ති 11:12-15, NW) තම අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා එවන් මිනිසුන් තමන්ගේ අදහස් තහවුරු කරන සාක්ෂි පමණක් තෝරා බේරා ගත හැකියි. අන් අයගේ සිත් ඇදගන්නා වදන් භාවිතා කිරීමට ඉඩ ඇත. සත්‍යයෙන් අඩක් පමණක් පවසා අන් අයව නොමඟ යැවිය හැකියි. අන් අයව වැරදි නිගමනවලට එලඹීමට සලස්වමින් කූට ලෙස දේවල් වක්‍රාකාරව පැවසිය හැකියි. අමූලික බොරු පවා පැවසීමට එවැනි අය පසුබට නොවෙති.

තම වාසිය සඳහා අදහස් ප්‍රකාශ කරන්නෝ අන් අයව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් “නිකාය” යන වචනය වැනි වචන බොහෝ අවස්ථාවලදී යොදාගනිති. “මෙම වචනය භාවිතා කිරීමෙන් වැළකී සිටීම යහපති” කියා නව ආගමික කණ්ඩායම් ගැන සොයා බලන බලධාරීන්ට යෝජනා කරන ලදි. මෙම යෝජනාව කරනු ලැබුවේ යුරෝපීය කවුන්සලයේ පාර්ලිමේන්තු එක්රැස්වීම සඳහා කළ නිර්දේශ කිරීමකදීය. එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ මන්ද? “ලබ්ධිය” යන වචනයෙන් හෙළා දැකිය යුතු දෙයක් අදහස් වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව පෙනී ගිය නිසාය. ඔහු තවදුරටත් මෙසේද පැවසීය. “වර්තමානයේ සිටින බහුතරයක් සිතන්නේ නිකායක් යනු අතිශයින්ම නපුරු හා භයානක දෙයක් කියාය.” මේ හා සමාන ආකාරයකින් ග්‍රීක බුද්ධිමතුන් ප්‍රේරිත පාවුල්ව දෝෂාරෝපණයට ලක් කළේ, ඔහු ‘වාචාලයෙක්’ නැතහොත් පදගතාර්ථයෙන් සලකන කල ‘බීජ අහුලන්නෙක්’ කියාය. ඔවුන් පාවුල්ව හැඳින්වූ එම වදනින් අඟවනු ලැබුවේ, ඔහු වැදගැම්මකට නැති දේවල් දොඩවන කෙනෙකු හා සමාන බව හෝ එහෙං මෙහෙං අහුලාගත් දැනුමක් ගිරවෙකු මෙන් පවසන බවයි. ඇත්තෙන්ම පාවුල් ඒ අවස්ථාවේදී කරමින් සිටියේ “යේසුස් ගැනත් නැවත නැඟිටීම ගැනත් වූ ශුභාරංචිය ප්‍රකාශ [කිරීමයි].”—ක්‍රියා 17:18, NW පාදසටහන.

තම වාසිය සඳහා අදහස් ප්‍රකාශ කරන්නන් යොදාගන්න ක්‍රම සාර්ථකද? ඔව්. වෙනත් ජාතීන් හා ආගම් පිළිබඳව මහජනයා දරන අදහස් විකෘති කොට දැක්වීමෙන් වාර්ගික හා ආගමික වෛරය ඉස්මතු කිරීමට ප්‍රධානතම හේතුකාරකයක් වී තිබෙන්නේ ඔවුන් භාවිත කරන මෙවැනි ක්‍රමයන්ය. ජනප්‍රිය නැති සුළුතර කණ්ඩායම් කොන් කිරීමට එවන් උපක්‍රම බොහෝදෙනෙකු විසින් යොදාගෙන ඇත. යුදෙව්වන්ව හා වෙනත් සුළුතර කණ්ඩායම් “පිරිහුණු” “දුෂ්ට” හා පවතින ආණ්ඩුවට “තර්ජනයක්” කියා හංවඩු ගසා විස්තර කරමින් ඇඩොල්ෆ් හිට්ලර් සාර්ථක ලෙස එවන් උපක්‍රම යොදාගත්තේය. ඔබේ සිතුවිලි දූෂ්‍ය කිරීමට එවන් ප්‍රයෝගවලට කෙදිනකවත් ඉඩ නොදෙන්න.—ක්‍රියා 28:19-22.

ඔබවම රවටා නොගන්න

අප විසින් අපවම රවටාගැනීම පහසුවෙන්ම සිදු විය හැකි තවත් දෙයකි. බොහෝ සේ ප්‍රිය කරනු ලබන අදහස් බැහැර කිරීම හෝ ඒවා ගැන ප්‍රශ්න කිරීම පවා ඉතාමත් දුෂ්කර විය හැකියි. මීට හේතුව කුමක්ද? අපේ මතිමතාන්තරවලට අප චිත්තවේගී ලෙස ඇලී සිටීම එයට හේතුවයි. අප මෙවන් තත්වයකට පත් වුවහොත් අප බොරු තර්ක විතර්ක ගෙනහැර දැක්වීමෙන් හෝ අප වරදවා වටහාගෙන තිබෙන දේවල් හා අපගේ වැරදි විශ්වාසයන් සාධාරණීකරණය කිරීමට හේතු මවාපෑමෙන් අප විසින්ම අපව රවටාගැනීමට ඉඩ තිබේ.

මුල් සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන්ට මෙවන් දෙයක් සිදු විය. දේවවචනය ගැන ඔවුන් දැන සිටියත්, ඔවුන් සිතන ආකාරය කෙරෙහි මඟ පෙන්වීමට ඔවුන් එයට ඉඩහැරියේ නැත. අන්තිමේදී නොසිතූ ලෙස ඔවුන්ට සිදු වූයේ “බොරු තර්ක විතර්කවලින් තමන්වම [රවටාගැනීමයි].” (යාකොබ් 1:22, 26, NW) අප සිතන දේවල සත්‍යය බව හෝ පිළිගත හැකි බව ප්‍රශ්න කිරීමට ලක් වෙද්දී අප තුළ කේන්තියක් ඇති වන බව අපට පෙනී යනවා නම්, තමන්වම රවටාගැනීමේ උගුලට අප හසු වී තිබිය හැකි බවට එය ඇඟවීමක් වේ. කේන්ති යනවා වෙනුවට, ගත හැකි නැණවත් ක්‍රියාමාර්ගය වන්නේ විවෘත මනසක් ඇතුව සිටීම හා අපේ මතය හරියයි අපට දැඩි විශ්වාසයක් තිබුණත් අන් අයට පැවසීමට තිබෙන දේවලට ඕනෑකමින් සවන් දීමයි.—හිතෝපදේශ 18:17.

“දෙවි පිළිබඳ දැනුම” සඳහා හාරන්න

නිරවුල්ව සිතීමේ හැකියාව අඛණ්ඩව පවත්වාගැනීම සඳහා අපට කුමක් කළ හැකිද? මේ සඳහා අපට උපකාර බොහොමයක් තිබුණද, ඒ සම්බන්ධයෙන් උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටිය යුතුයි. නැණවත් සලමොන් රජ මෙසේ පැවසුවේය. “මාගේ පුත්‍රය, විචාර බුද්ධියට ඔබේ සිත යොමු කළ හැකි වන පිණිස ඔබේ සවන් ප්‍රඥාවට යොමු කිරීම සඳහා ඔබ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා ඔබ නිදන් කරගන්නෙහි නම්, ඔබ අවබෝධයට හඬගසා, විචාර බුද්ධියට ඔබේ හඬ නඟන්නෙහි නම්, ඔබ රිදී මෙන් ඇය සොයමින් නිධාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නෙහි නම්, ඔබ යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගන්නේය. එමෙන්ම දෙවි ගැන සැබෑ දැනුම සොයාගන්නෙහිය.” (හිතෝපදේශ 2:1-5, NW) දේවවචනයේ සඳහන් සත්‍යයන්ගෙන් අපේ මනස් හා හදවත් පුරවාගැනීමට අප පෞද්ගලිකව වෑයම් කරනවා නම්, අපට සැබෑ ප්‍රඥාව, තීක්ෂ්ණ බුද්ධිය හා විචාර බුද්ධිය අත් කරගත හැක. අප රන් රිදී හෝ වෙනත් කිසිම ද්‍රව්‍යමය වස්තුවකට කිසිසේත් සම කළ නොහැකි වටිනා දේවල් සොයමින් හාරනු ඇත.—හිතෝපදේශ 3:13-15.

ප්‍රඥාව හා දැනුම, නිරවුල්ව සිතීම සඳහා අත්‍යවශ්‍ය දේවල් වේ. “ප්‍රඥාව ඔබේ සිතට ඇතුල් වූ කලද, දැනුම ආත්මයට ප්‍රසන්න වූ කලද සිතීමේ හැකියාව ඔබව රැකවල් කරන්නේය. විචාර බුද්ධිය ඔබව නපුරු මාර්ගයෙන්ද, දූෂිත දේවල් කතා කරන මිනිසුන්ගෙන්ද, අන්ධකාර මාර්ගවල ගමන් කරන පිණිස අවංක මාවත්වල ගමන් කිරීම අත්හරින අයගෙන්ද ඔබව ආරක්ෂා කරනු ඇත.”—හිතෝපදේශ 2:10-13, NW.

මානසික පීඩනයකට ලක් වූ විට හෝ අනතුරුදායක තත්වයන්වලට මුහුණ දෙන විට අපගේ සිතුවිලි දෙවි සිතන ආකාරයට අනුව හරිගස්වා ගැනීම ඉතාමත් වැදගත්. කෝපය හෝ බිය වැනි ප්‍රබල චිත්තවේගයන් නිසා නිරවුල්ව සිතීම දුෂ්කර විය හැක. “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩ වන්නේය” කියා සලමොන් පවසයි. (දේශනාකාරයා 7:7) ‘යෙහෝවාට විරුද්ධව පවා කිපෙන්න’ ඉඩ තිබේ. (හිතෝපදේශ 19:3) මෙය සිදු වන්නේ කෙසේද? අප මුහුණ දෙන ගැටලුවලට දෙවිට දොස් නැඟීමෙන් හෝ ඔහුගේ නීති හා ප්‍රතිපත්තිවලට පටහැනි දේවල් කිරීම සඳහා එම ගැටලු නිදහසට කරුණක් කරගැනීමෙන් එවන් දෙයක් සිදු වේ. සැමවිටම හරි දෙය දන්නේ අපයයි කියා සිතනවා වෙනුවට, ශුද්ධ ලියවිල්ල යොදාගෙන නැණවත් ලෙස උපදෙස් සපයමින් අපට උපකාර කිරීමට වෑයම් කරන අයට අපි නිහතමානිව සවන් දෙමු. අප දරන අදහස් හා මත වැරදියි කියා පැහැදිලිව දකින්න තිබෙන අවස්ථාවලදී, අපි ඒවාට දැඩි සේ ඇලුම් කළත්, අවශ්‍ය නම් ඒවා අත්හැරීමට සූදානම්ව සිටිමු.—හිතෝපදේශ 1:1-5; 15:22.

‘නොකඩවා දෙවිගෙන් ඉල්ලන්න’

අප ජීවත් වන්නේ වියවුල්සහගත හා අනතුරුදායක කාලයකයි. නිවැරදි තීරණ ගනිමින් නැණවත්ව ක්‍රියා කරන්න අපට ඕනෑ නම් අප යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලමින් නිතිපතාම යාච්ඤා කිරීම අත්‍යවශ්‍ය දෙයකි. පාවුල් මෙසේ ලියයි. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මානසික ශක්තියද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7, NW) අපව ව්‍යාකූලත්වයට පත් කරවන ගැටලුවලට හෝ පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න තරම් ප්‍රඥාවක් අපට නැත්නම් අප කළ යුත්තේ මෙයයි. “දෙවි සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන හෙයින් . . . නොකඩවා දෙවිගෙන් [ඉල්ලන්න].”—යාකොබ් 1:5-8, NW.

සෙසු ක්‍රිස්තියානීන් ප්‍රඥාවෙන් කටයුතු කිරීම අවශ්‍ය බව තේරුම්ගත් ප්‍රේරිත පාවුල්, ‘ඔවුන් සතු පැහැදිලිව සිතීමේ හැකියාවන් පුබුදුවාලන්න’ මං සෙව්වේය. ‘ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් විසින් කලින් කියන ලද දේවල්ද, ස්වාමීන් සහ ගැලවුම්කරු වන තැනැත්තාගේ ආඥාද ඔවුන්ට සිහිගන්වන්න’ ඔහුට අවශ්‍ය විය. (2 පේතෘස් 3:1, 2, NW) අපත් එය සිහියේ තබාගනිමින් යෙහෝවාගේ වචනයට අනුකූලව අපේ මනස සකස් කරගන්නවා නම්, අප නිරවුල්ව සිතනු ඇත. නැණවත්ව ක්‍රියා කරනු ඇත.

[21වන පිටුවේ පින්තූර]

මුල් ක්‍රිස්තියානීන් තමන් සිතන ආකාරය හැඩගැස්වීමට ඉඩහැරියේ දෙවිගේ ප්‍රඥාවට අනුව මිස මිනිසුන්ගේ දර්ශනවාදී අදහස්වලට අනුව නොවේය

[හිමිකම් විස්තර]

දාර්ශනිකයන් වමේ සිට දකුණට: එපිකියුරස්: ඡායාරූපය British Museum අනුග්‍රහයෙනි. සිසෙරෝ: The Lives of the Twelve Caesars කෘතියෙනි. ප්ලේටෝ: Roma, Musei Capitolini

[23වන පිටුවේ පින්තූර]

යාච්ඤාව හා දේවවචනය අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි