දුප්පතා කබලෙන් ලිපට
දුප්පතා කබලෙන් ලිපට
“අන්ත දුගී අසරණ සාමාජිකයන් වැඩිදෙනෙක් ඉන්න සමාජයක් සමෘද්ධිමත් හා සන්තෝෂවත් එකක් විය නොහැකි බව නම් ස්ථිරයි.”
ආර්ථික විද්‍යාඥයෙකු වන ඇඩම් ස්මිත් එසේ පැවසුවේ 18වන සියවසේදීය. බොහෝදෙනෙකු ඒත්තුගෙන තිබෙන්නේ වෙන කවරදාටත් වඩා අද එය සැබෑවක් වී ඇති බවය. දැන්, ඇති හැකි අය සහ නැති බැරි අය අතර වෙනස වෙන කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන්න තිබේ. පිලිපීනයේ ජනගහනයෙන් තුනෙන් එකක් දිවිපෙවෙත ගෙවන්නේ දිනකට ඩොලරයකටත් (එ.ජ.) වඩා අඩු ආදායමකින් වන අතර මෙම මුදල බොහෝවිට ධනවත් රටවල නම් විනාඩි කිහිපයකින් උපයන්නකි. එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව 2002 (සිංහලෙන් නැත) පවසන්නේ “ලෝකයේ සිටින ධනේශ්වරයන්ගෙන් සියයට 5ක් ලබන ආදායම අන්ත දුගීන්ගෙන් සියයට 5ක් උපයන ආදායම මෙන් 114 ගුණයකින් වැඩි” බවය.
ඇතමුන් සෑහෙන දුරකට සැපපහසු නිවහන්වල වෙසෙන නමුත් බොහෝදෙනෙකු වෙසෙන්නේ කොතැනක හෝ අනවසරයෙන් අටවාගත් පැල්පත්වලය. වෙනත් අය ඒ තරමටවත් භාග්‍යවන්තයෝ නොවෙති. සමහරවිට තමන් සන්තකයටම ඇති එකම කාඩ්බෝඩ් කෑල්ල හෝ ඉටි රෙද්ද එලාගෙන ඔවුන් දිවි ගෙවන්නේ අගු පිල්වලය. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් කුණු කසළ ඇදීම, බර ඇදීම හෝ නැවත භාවිතයට ගත හැකි ඉවතලන දෑ අත් කරත්තවල පටවාගෙන යෑම වැනි මාර්ගවලින් ඉතා අමාරුවෙන් තම දිවි සරි කරගනිති.
ධනවතුන් හා දුප්පතුන් අතර තිබෙන අසමානතාව දක්නට ලැබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොව, ලෝක බැංකුව පවසන ආකාරයට “සියලු රටවල ‘සුළුවෙන් හෝ දිලිඳුකම’ දක්නට ලැබීමද පොදු දෙයකි.” ඕන තරම් දේවල් ඇතුව ජීවත් වන සමහරෙකු සිටියත්, බංගලාදේශයේ සිට එක්සත් ජනපදය දක්වා දිවෙන සෑම ප්‍රදේශයකම පාහේ කුසට හරි අහරක් හෝ හිසට නිසි සෙවණක් ලබාගැනීමට වෙර වීරිය දරන බොහෝදෙනෙක්ද සිටිති. එක්සත් ජනපදයේ ධනවතුන් හා දුප්පතුන් අතර පවතින විෂමතාව එන්න එන්නම වැඩි වන බව එ.ජ. ජනලේඛන කාර්යාලයේ 2001 පළ වූ වාර්තාවක සඳහන් විය. එවැන්නක් පළ වූයේ ද නිව් යෝක් ටයිම්ස්හිය. තවදුරටත් එහි මෙසේද පවසා තිබිණ. “පෝසත්ම ජනගහනයෙන් පහෙන් එකක් ඉකුත් වසරේ සියලු පවුල්වල මුළු ආදායමෙන් අඩක් ලබාගත්තේය. . . . දුප්පත්ම පහෙන් එක ලබාගත්තේ සියයට 3.5ක් පමණයි.” අනික් රටවල සංඛ්‍යාද එලෙසම හෝ ඊටත් වඩා දරුණු තත්වයක තිබිණ. ලෝක ජනගහනයෙන් සියයට 57ක් පමණ දිනකට එ.ජ. ඩොලර් 2කටත් වඩා අඩු ආදායමකින් ජීවත් වන බව ලෝක බැංකු වාර්තාවක් පෙන්නුම් කළේය.
සැක කටයුතු ක්‍රම උපයෝගි කරගෙන ධනවත් වූ විධායක නිලධාරීන්ගේ සංඛ්‍යාව ගැන ඇසූ මිලියන ගණනක් නොසන්සුන් වීමෙන් වර්ෂ 2002දී තත්වය තවත් දරුණු විය. නීති විරෝධී යමක්
කෙළින්ම සිදු නොකර තිබුණත් ෆෝචූන් සඟරාවේ පළ කළ ආකාරයට, බොහෝදෙනෙකුට හැඟුණේ සමාගම්වල සේවය කරන මෙම විධායකයන් “ක්ෂණිකව, අසාමාන්‍ය මෙන්ම නොමනා අන්දමින් ධනවත් වෙමින් සිටින” බවය. ලොව තුළ සිදු වන මේ දේ සලකා බලන කල, අපමණ සංඛ්‍යාවක් දුගී දිවියක් ගත කරද්දී ඇතැමෙකු පමණක් ඩොලර් මිලියන සිය ගණනක් ලැබීමේ වාසනාව ලබන්නේ කොහොමද කියා සමහරු කල්පනා කරති.දුප්පත්කම තුරන් කිරීමට නොහැකි වේද?
අප පැවසීමට වෑයම් කරන්නේ දුගීබවේ ඛේදවාචකය ගැන යමක් කිරීමට කිසි කෙනෙකු වෑයම් නොකරන බව නොවේ. ඇත්තෙන්ම හොඳ අභිප්රායක් ඇති රජයේ නිලධාරීහු හා සරණාධාර සංවිධාන වෙනසක් ඇති කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරති. කෙසේ නමුත්, දත්තයන් දිගටම පවතින්නේ අධෛර්යය කරවනසුලු තත්වයකය. මානව සංවර්ධන වාර්තාව 2002 (සිංහලෙන් නැත) පවසන්නේ මෙලෙසය. “දියුණුවක් ඇති කිරීමට මොන තරම් වෑයමක් දැරුවද මීට වසර 10කට, 20කට හා සමහරවිට 30කට පවා කලින් තිබුණාට වඩා අද බොහෝ රටවල් දිලිඳු තත්වයකට ඇද වැටී ඇත.”
මින් අදහස් කරන්නේ දුප්පතුන්ට කිසිම බලාපොරොත්තුවක් තබාගත නොහැකි බවද? අදම ඔබට උපකාරවත් විය හැකි යම් ප්‍රායෝගික යෝජනා මෙන්ම ඔබ කිසිදාක සිතා නොතිබිය හැකි විසඳුම් ගැන සලකා බැලීමට ඊළඟ ලිපිය කියවන්නැයි අපි ඔබට ඇරයුම් කරන්නෙමු.