Skip to content

පටුනට යන්න

ඔබ යෙහෝවාව සොයන්නේ ඕනෑකමින්ද?

ඔබ යෙහෝවාව සොයන්නේ ඕනෑකමින්ද?

ඔබ යෙහෝවාව සොයන්නේ ඕනෑකමින්ද?

එක්තරා ක්‍රිස්තියානි මනුෂ්‍යයෙකුට තමන් සමඟ දුම්රියේ ගමන් ගන්න අනෙක් මඟීන්ට බයිබලයේ සඳහන් ශුභාරංචිය පැවසීමට විශාල ආශාවක් තිබුණා. (මාර්ක් 13:10) එහෙත් බියක් දැනුණ නිසා ඔහු කතා නොකර සිටියා. නමුත් ඔහු බියෙන් යටපත් වුණේ නැහැ. ඔහු ඒ ගැන යාච්ඤා කළා. ඉන්පසු විවිධ ක්‍රම යොදාගෙන සාකච්ඡාවකට මුලපිරිය හැකි ආකාරය පුහුණු වුණා. යෙහෝවා දෙවි මෙම මිනිසාගේ ඉල්ලීම ඇසූ අතර ඔහුට සාක්ෂි දැරීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා.

යෙහෝවාව සොයන විටත් ඔහුගේ ආශීර්වාදය බලාපොරොත්තු වන විටත් අප තුළත් එවැනි ඕනෑකමක් තිබිය යුතුයි. “දෙවි වෙත ළඟා වන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුයි” කියා ප්‍රේරිත පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 11:6, NW) යෙහෝවාව නිකම්ම සෙවීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ‘ඕනෑකමින් සොයන්න’ යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් ක්‍රියා පදය තුළ මුළු අවධානයම යොමු කර දැඩි වෑයමක් දරමින් සෙවීම යන අරුත ගැබ් වී තිබෙනවා. මෙයට කෙනෙකුගේ මුළු හදවත, මනස, ආත්මය සහ මුළු ශක්තියම යෙදවීම ඇතුළත් වෙනවා. අප ඕනෑකමින් යෙහෝවාව සොයනවා නම් අප එසේ කරන්නේ උදාසීන, කම්මැළි හෝ අලස ආකාරයකින් නොව අව්‍යාජ උද්‍යෝගයකිනුයි.—ක්‍රියා 15:17, NW; 15:16, පැ.අ.

ඕනෑකමින් යෙහෝවාව සෙවූ අය

යෙහෝවාව සෙවීමේදී අධිෂ්ඨානපූර්වකව වෑයම් දැරූ අය පිළිබඳ උදාහරණ ශුද්ධ ලියවිලිවල පිරී තිබෙනවා. මෙයින් එක් පුද්ගලයෙක් වන්නේ යාකොබ්. ඔහු මනුෂ්‍ය වෙස් ගත් දෙවිගේ දේවදූතයෙක් සමඟ අලුයම දක්වා ඉතා අමාරුවෙන් පොරබැදුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යාකොබ්ට ඊශ්‍රායෙල් (දෙවි සමඟ සටන් වදින්නා) යන නාමය දෙනු ලැබුවා. මන්ද ඔහු දෙවි සමඟ ‘පොරබැදුවා.’ වෙනත් විදිහකින් පවසනවා නම් ඔහු අඛණ්ඩ උත්සාහයක්, ප්‍රයත්නයක් දැරුවා. ඕනෑකමින් යුත් ඔහුගේ උත්සාහවන්තකමට දේවදූතයා ඔහුට ආශීර්වාද කළා.—උත්පත්ති 32:24-30.

නමක් සඳහන් වී නැති ගලීලයේ ස්ත්‍රියක් පිළිබඳ වාර්තාවක සඳහන් වන්නේ මෙලෙසයි. ඇය අවුරුදු 12ක් පුරා ලේ ගැලීමක් නිසා “අපමණ වේදනා” වින්ද තැනැත්තියක්. මෙම තත්වයේ සිටින විට ඇයට අන් මනුෂ්‍යයන්ව ස්පර්ශ කිරීමට අවසර ලැබුණේ නැහැ. නමුත් ඈ යේසුස්ව මුණගැසීමට යෑම සඳහා දිරිය වඩවාගත්තා. “ඔහුගේ පිට වස්ත්‍ර විතරක්වත් ඇල්ලුවොත් මා සුව වෙන්නේ” යැයි ඇය තමාටම කියාගත්තා. ‘මහත් සමූහයක් යේසුස් පසුපස තෙරපෙමින්’ යන විට ඇය යේසුස්ට ළංවීමට කොයිතරම් වෙහෙසක් ගන්න ඇද්ද කියා මොහොතකට කල්පනා කර බලන්න. ඇය යේසුස්ගේ පිට වස්ත්‍රය ඇල්ලූ සැණින් “ඇගේ ලේ ගැලීම වියළී ගිය” බව, ඇගේ දරුණු රෝගය සුව වී ඇති බව ඇයට දැනුණා! “මාගේ පිට වස්ත්‍ර ස්පර්ශ කළේ කවුද?” කියා යේසුස් ඇසූ විට ඈ භය වුණා. නමුත් යේසුස් ඇගේ බිය සැක දුරු කරමින් මෙසේ පැවසුවා. “දියණියෙනි, ඔබේ ඇදහිල්ල ඔබව සුව කළේය. සමාදානයෙන් ගොස්, ඔබේ බරපතළ රෝගයෙන් සුව වී සිටින්න.” ඔව්, ඇගේ වෑයම්වලට ප්‍රතිඵල ලැබුණා.—මාක් 5:24-34, NW; ලෙවී කථාව 15:25-27.

තවත් අවස්ථාවක ෆිනීෂියානු ස්ත්‍රියක් තම දියණියව සුව කරන මෙන් ඉතා ඕනෑකමින් යේසුස්ගෙන් ඉල්ලා සිටියා. යේසුස්ගේ පිළිතුර වූයේ දරුවන්ගේ කෑම බලු පැටවුන්ට දීම සුදුසු නැති බවයි. ඔහු එයින් අදහස් කළේ යුදෙව්වරුන්ට දිය යුතු සැලකිල්ල ඊශ්‍රායෙල් ජාතියට අයිති නොවන අයට දිය නොහැකි බවයි. යේසුස්ගේ නිදර්ශනයේ හරය අවබෝධ කරගත් ස්ත්‍රිය මෙසේ අයැද සිටියා. “නමුත් බලු පැටව් තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි කන්නෝය.” ඇයට තිබුණ දැඩි ඇදහිල්ලත් අවංකකමත් නිසා යේසුස් මෙවැන්නක් කීමට පෙලඹුණා. “ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත්ය. ඔබේ කැමැත්ත ලෙස ඔබට වේවා!”—මතෙව් 15:22-28, NW.

මෙම එක් එක් පුද්ගලයන් තමන්ට අවශ්‍ය වූ දේ ලබාගැනීමට උත්සාහයක් නොදැරුවා නම් තත්වය කුමක් වේවිද? මුලින් ඔවුන් අද්දුටු බාධාවන් නැතහොත් ප්‍රතික්ෂේප කිරීම් හමුවේ උත්සාහය අත්හැරියා නම් ඔවුන්ට ආශීර්වාද ලැබේවිද? කොහෙත්ම නැහැ! යේසුස් ඉගැන්වූ පරිදි යෙහෝවාව සෙවීමේදී “එඩිතර අඛණ්ඩ උත්සාහය” දැරීම අත්‍යවශ්‍ය බවට වූ කාරණය මෙම නිදසුන් තුළින් මනාව පැහැදිලි වෙනවා.—ලූක් 11:5-13, NW.

ඔහුගේ කැමැත්ත ලෙස

ආශ්චර්යවත් ලෙස සුවවීම් අද්දුටු අය එවන් ආශීර්වාදයක් ලැබීමට එකම සුදුස්සන් වූයේ ඔවුන් තුළ තිබුණාවූ ඕනෑකම නිසාමද? නැහැ. ඔවුන්ගේ එම ඉල්ලීම් දෙවිගේ කැමැත්තට එකඟ විය යුතු වුණා. යේසුස්ට එම ආශ්චර්යවත් බලය දෙනු ලැබුවේ පොරොන්දු වූ මෙසියස් හෙවත් දෙවිගේ පුත්‍රයා ඔහු බව කැපීපෙනෙන අන්දමකින් පෙන්නුම් කිරීමටයි. (යොහන් 6:14; 9:33; ක්‍රියා 2:22) ඊට අමතරව, යේසුස් ආශ්චර්යයන් සිදු කළේ ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී යෙහෝවා මනුෂ්‍යවර්ගයාට දෙනු ලබන උදාර ආශීර්වාද පිළිබඳ පෙරදැක්මක් හැටියටයි.—එළිදරව් 21:4; 22:2.

අද දින සැබෑ ආගම පිළිපදින අය ලෙඩුන් සුව කිරීම හා අන්‍ය භාෂාවලින් කතා කිරීම වැනි ආශ්චර්යවත් දේවල් කිරීම දෙවිගේ කැමැත්ත නෙවෙයි. (1 කොරින්ති 13:8, 13) අපගේ කාලයේ ඔහුගේ කැමැත්තට ඇතුළත් වන්නේ රාජ්‍යයේ ශුභාරංචිය පොළොව පුරා දේශනා කිරීමයි. මන්දයත් එමගින් ‘සියලු ආකාර මිනිසුන්ට සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්’ ලබාගැනීමට හැකියාව ලැබෙන නිසයි. (1 තිමෝති 2:4, NW; මතෙව් 24:14; 28:19, 20) දෙවිගේ කැමැත්තට එකඟව අවංක ලෙස වෑයමක් දරනවා නම් බලවත් උනන්දුවකින් දෙවිගේ සේවකයන් කරන යාච්ඤාවලට දෙවි සවන් දෙයි කියාත් ඒවා පිළිගනියි කියාත් ඔවුන්ට බලාපොරොත්තු විය හැකියි.

සමහරෙක් මෙසේ සිතිය හැකියි. ‘ඇයි ඔය තරම් කරදර වෙන්නේ? දෙවිගේ අරමුණ කොයි විදිහකින් හරි ඉටු වෙයි.’ දෙවිට තම අරමුණ මනුෂ්‍ය උත්සාහයන්වලින් තොරව සාක්ෂාත් කරගත හැකි බව සත්‍යයක්. නමුත් පුද්ගලයන් ඔහුගේ කැමැත්ත කිරීමෙහි හවුල් වී සිටිනවා දකින්න ඔහු සතුටුයි. යෙහෝවාව ගෘහයක් ගොඩනඟන මිනිසෙකුට සමාන කරන්න පුළුවන්. ගොඩනඟන්නාට නිශ්චිත සැලැස්මක් තිබෙන බව ඇත්තයි. ඒත් ඔහු ඒ සඳහා එම ප්‍රදේශයේ තිබෙන ගොඩනැඟිලි ද්‍රව්‍ය යොදාගන්නවා. ඒ හා සමානව අද දින නිම කළ යුතු වූ ව්‍යාපෘතියක් යෙහෝවාට තිබෙනවා. කැමැත්තෙන්ම ඉදිරිපත් වන ඔහුගේ සේවකයන්ව ඒ සඳහා යොදවන්න ඔහු සතුටුයි.—ගීතාවලිය 110:3; 1 කොරින්ති 9:16, 17.

යොවුන් වියේ පසු වන ටොෂියෝගේ අද්දැකීම සලකා බලන්න. උසස් පාසැලට ඇතුල් වූ පසු ඔහු එය තමාටම විශේෂ වූ බලප්‍රදේශයක් ලෙස සැලකූ අතර තමන්ට හැකි උපරිම ආකාරයෙන් එහිදී සාක්ෂි දැරීමට ඔහුට අවශ්‍ය වුණා. හැම මොහොතකම ඔහුගේ බයිබලය ඔහු ළඟ තිබූ අතර ආදර්ශවත් ක්‍රිස්තියානියෙකු වීමට ඔහු සෑහෙන වෙහෙස මහන්සියක් ගත්තා. ඔහුගේ පළමු පාසැල් වසර අවසානයේදී පංතියේ කතාවක් දීමේ ප්‍රස්තාව ඔහුට ලැබුණා. ටොෂියෝ උපකාරය පතා යෙහෝවාට යාච්ඤා කළා. “මගේ ඉලක්කය පුරෝගාමි සේවය කිරීම” යන මාතෘකාවෙන් යුත් ඔහුගේ කතාවට මුළු පංතියේම සිසුන් හොඳ අවධානයක් දීම ඔහුගේ ප්‍රීතියට කාරණයක් වුණා. ඔහු පැහැදිලි කළා, ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයෙක් වීමට අවශ්‍ය බව. එක් ශිෂ්‍යයෙකු ඔහුත් සමඟ බයිබලය පාඩම් කිරීමට කැමති වූ අතර එම ශිෂ්‍යයා බව්තීස්මය දක්වා වර්ධනය වුණා. යාච්ඤාවට එකඟව ක්‍රියා කිරීමට ටොෂියෝ විසින් ගනු ලැබූ ප්‍රයත්නයන්ට බොහෝ ආශීර්වාද ලැබුණා.

ඔබට කොයිතරම් ඕනෑකමක් තිබෙනවාද?

ඔබ යෙහෝවාව සහ ඔහුගේ අනුමැතිය ඕනෑකමින් සොයනවා කියා පෙන්වීමට මාර්ග බොහොමයක් තිබෙනවා. ඔබට කළ හැකි මූලික දේවල්වලින් එකක් ලෙස ක්‍රිස්තියානි රැස්වීම්වලට හොඳින් සූදානම් වීම සඳහන් කළ හැකියි. මනා සූදානමකින් යුත් අදහස්, පොලඹවනසුලු කතා සහ බලපෑමෙන් යුත් නිරූපණ ඔබ ඉදිරිපත් කිරීමේදී ඔබ යෙහෝවාව සොයන්නේ කොයිතරම් දුරකටද යන්න ඉන් හෙළි වෙනවා. ඔබේ ක්ෂේත්‍ර සේවයේ ගුණාත්මකභාවය දියුණු කරගැනීමෙන්ද ඔබට තිබෙන ඕනෑකම පෙන්විය හැකියි. ගේහිමියන්ට කතා කරන විට වඩාත් මිත්‍රශීලී වීමටත් ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයට හැඳින්වීම් යොදාගැනීමටත් උත්සාහ කරන්න. (කොලොස්සි 3:24) මුළු සිතින්ම වෑයමක් දැරීමෙන් ක්‍රිස්තියානි පුරුෂයෙකුට සභා සේවකයෙකු ලෙස හෝ වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමේ පැවරුම් ලබාගැනීමට හැකියාව තිබෙනවා. (1 තිමෝති 3:1, 2, 12, 13) සේවා පැවරුම් සඳහා ඉදිරිපත් වීමෙන්, දීම තුළින් ලැබෙන ප්‍රීතිය ඔබට අද්දැකිය හැකියි. ඔබට පුළුවන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල ගොඩනැඟීමේ ව්‍යාපෘතියක හෝ ශාඛා කාර්යාලයක සේවය කිරීමට හෝ ඉල්ලුම් කරන්න. ඔබ සුදුසුකම් තිබෙන තනිකඩ සහෝදරයෙක් නම් ආත්මික පුරුෂයන්ව දක්ෂ එඬේරුන් වීමට පුහුණු කරන දේවසේවා පුහුණු පාසැලට සහභාගි වීමට ඉලක්කයක් තබාගත හැකියි. ඔබ විවාහක නම් යෙහෝවාට වැඩි සේවයක් දීමට ඔබට ඇත්තටම ඕනෑ බව පෙන්වීම සඳහා මිෂනාරි සේවයත් තවත් ක්‍රමයක්. හැකිකමක් තිබේ නම් රාජ්‍ය දේශනාකරුවන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශවලට යන්න තීරණය කිරීමට ඔබට පුළුවන්.—1 කොරින්ති 16:9.

වැදගත් වන්නේ ඔබ කරන පැවරුම ගැන ඔබට තිබෙන හැඟීමයි. ඔබට මොනයම් වගකීමක් ලැබුණද එය ඕනෑකමින්, ක්‍රියාශීලීව සහ “අවංක සිතින්” කරන්න. (ක්‍රියා 2:46; රෝම 12:8; NW) සෑම පැවරුමකින්ම යෙහෝවාට ප්‍රශංසාව ගෙන දීමට ඔබට තිබෙන උනන්දුව නිරූපණය කරන්න. යෙහෝවාගේ උපකාරය පතා නිරතුරුවම යාච්ඤා කරන්න. ඔබේ උපරිමය කරන්න. එවිට ඔබට අනගි ආශීර්වාද ලැබෙන බව නිසැකයි.

ඕනෑකමින් යුත් වෑයම්වලට ලැබේ ආශීර්වාද

දුම්රියේ ගමන් කළ මඟීන්ට දේශනා කිරීමට තිබුණාවූ බියෙන් ගොඩ ඒමට උපකාර ඉල්ලා යාච්ඤා කළ ක්‍රිස්තියානි සහෝදරයාව ඔබට මතකද? යෙහෝවා ඔහුගේ අවංක ආශාවට ආශීර්වාද කළා. සුහදශීලීව පුද්ගලයන් වෙත එළඹෙන ආකාරය හා සාකච්ඡාවන් ඇරඹීමට විවිධ මාතෘකාවන් යොදාගත හැකි ආකාරය එම සහෝදරයා උනන්දුවෙන් පුහුණු වුණා. ඔහු බයිබලය යොදාගනිමින් පීඩනයෙන් හෙම්බත් වී සිටි මිනිසෙකුට සාක්ෂි දැරුවා. තවත් අවස්ථා කිහිපයකදී ඔහු සමඟ නැවත බැලීම් කළ පසු එය නිවාස බයිබල් පාඩමක් බවට පත් වුණා. ඔහු බලවත් ඕනෑකමින් යුතුව දැරුවාවූ වෑයම්වලට යෙහෝවා ඇත්තෙන්ම ආශීර්වාද කළා!

ඔබත් යෙහෝවාව ඕනෑකමින් දිගටම සොයනවා නම් එවැනිම ප්‍රතිඵල ලබාගත හැකියි. ඔබ අඛණ්ඩව උත්සාහ දරමින් ඔබගේ මුළු හදවතින්ම ඔබ යෙදී සිටින දිව්‍යාණ්ඩු පැවරුම ඉටු කරනවා නම් යෙහෝවා තම අරමුණට එකඟව ඔබව යොදාගනු ඇති අතර ඔබට බොහෝ සෙයින් ආශීර්වාදද ලබා දෙනු ඇත.

[26වන පිටුවේ පින්තූරය]

මේ ස්ත්‍රිය අඛණ්ඩ උත්සාහයක් නොගත්තා නම් සිදු වනු ඇත්තේ කුමක්ද?

[27වන පිටුවේ පින්තූරය]

ඔබ යෙහෝවාගේ ආශීර්වාද පතා නොකඩවා ඔහුගෙන් අයදිනවාද?

[28වන පිටුවේ පින්තූර]

ඔබ ඕනෑකමින් යෙහෝවාව සොයනවා කියා ඔබට පෙන්විය හැක්කේ කොහොමද?