ඇදහිල්ල සහ ධෛර්යය වඩවන වාර්තාවක්—යුක්රේනයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
ඇදහිල්ල සහ ධෛර්යය වඩවන වාර්තාවක්—යුක්රේනයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
පළමු ශතවර්ෂයේ සිටියා වූ ක්‍රිස්තියානීන් පීඩා අද්දැක්කා සේම අද දින සිටින දෙවිගේ සෙනඟත් පීඩා අද්දකිනවා. (මතෙව් 10:22; යොහන් 15:20) නමුත් බොහෝ ස්ථානවල යුක්රේනයේ තරම් දීර්ඝ කාල සීමාවක් පුරා දරුණු ලෙස පීඩාවක් පැවත නැත. එහි රාජ්‍ය පිළිබඳ දේශනා කිරීමේ වැඩකටයුතු වසර 52ක් තහනම් කර තිබුණි.
එම රටේ සිටින දෙවිගේ සෙනඟ පිළිබඳව වාර්තාවක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2002 වාර්ෂික පොතේ සපයා ඇත. එය දරුණු දුක් පීඩා හමුවේ ඔවුන්ට තිබුණාවූ ඇදහිල්ල, ධෛර්යය සහ ශක්තිය පිළිබඳව වාර්තාවකි. පහත දැක්වෙන්නේ යුක්රේනයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලැබූ ලිපිවල අගය ප්‍රකාශ කර තිබූ ආකාර කිහිපයකි.
“මම 2002 වාර්ෂික පොත කියවා අවසන් කළා. යුක්රේනයේ ඔබේ කටයුතු ගැන කියවන විට මට නොඅඬා ඉන්න බැරුව ගියා. ඔබගේ ජ්වලිතවත් ආදර්ශයෙනුත් ශක්තිමත් ඇදහිල්ලෙනුත් කොතරම් දිරිගැන්වීමක් මම ලැබුවාද කියා කියන්න කැමතියි. ඔබ සිටින ආත්මික පවුලට මමත් අයිති වීම ගැන මම ආඩම්බර වෙනවා. මගේ හද පත්ලෙන්ම ඔබට තුති පුදනවා!”—ආන්ඩ්‍රේ, ප්‍රංශයෙන්.
“මම 2002 වාර්ෂික පොත වෙනුවෙන් යෙහෝවාටත් ඔබටත් කොතරම් ස්තුති වන්ත වෙනවාද කියා පවසන්න මා හට වචන නැහැ. ජීවිතයේ හොඳම කාලයේ සිර ගෙවල්වල සහ ගාල් කඳවුරු තුළ ගෙවීමට සිදු වූ සහෝදරයන්ගේ අද්දැකීම් බොහොමය කියවන විට මගේ ඇස්වලින් කඳුළු ගලා ගියා. ඔවුන්ගේ ධෛර්යය මම ගොඩාක් අගය කරනවා. මම සාක්ෂිකාරයෙක් වී දැනට අවුරුදු 27ක් ගත වී තිබුණත් තවමත් එම සහෝදර සහෝදරියන්ගෙන් මට ඉගෙනගන්න දේවල් තියෙනවා. අපේ ස්වර්ගික පියා වන යෙහෝවා කෙරෙහි මගේ ඇදහිල්ල ඔවුන්ව ශක්තිමත් කළා.”—කලින් යුගෝස්ලෝවියාවේ විසූ වීරා.
“විරුද්ධවාදිකම් විඳි අවුරුදු ගණනාව තුළ විඳදරාගැනීම හා ඇදහිලිවන්තකම සම්බන්ධයෙන් ඔබ තැබූ යහපත් ආදර්ශය නිසා මම මෙම ලිපිය ලියන්නේ ඉතා සතුටෙන්. යෙහෝවා කෙරෙහි තිබූ ඔබේ සම්පූර්ණ විශ්වාසයත් ඇදහිලිවන්තව සිටීමට ඔබ තුළ තිබූ අදිටනත් ඔබට ගෙන දෙන්නේ ගෞරවයක්. ඊට අමතරව පරීක්ෂා හමුවේ ඔබ දැක්වුවාවූ යටහත්කම, යෙහෝවා තම සෙනඟව අත්හරින්නේ නැහැ කියා මා තුළ තිබෙන දැඩි විශ්වාසය තවත් ශක්තිමත් කළා. ධෛර්යවන්තකම, ස්ථිරකම සහ දැඩි උත්සාහවන්තකම සම්බන්ධයෙන් ඔබේ යහපත් ආදර්ශය නිසා අප මුහුණ දෙන සුළු සුළු ගැටලුවලට වඩාත් සන්සුන්ව මුහුණ දීමට අපට හැකියි.”—ටුටේරීයා, ප්‍රංශයේ පොලිනීසියාවෙන්.
“මම වාර්ෂික පොත කියෙව්වාට පස්සේ මට ලිපියක් නොලියා ඉන්න බැරිව ගියා. හැම දිරිගන්වනසුලු අද්දැකීමක්ම මගේ හදවත තුළ පුදුමාකාර සතුටක් ඇති කළා. අපට නියම වේලාවට ශක්තිය දෙන ආදරණීය මෙන්ම අත හිත දෙන්න කැමති පියෙකුගේ මඟ පෙන්වීම යටතේ පක්ෂපාත, එක්සත් සංවිධානයක සාමාජිකයෙක් වෙන්න ලැබීම ගැන මා තුළ ආඩම්බරයක් ඇති වුණා. ඒ තරම් ජ්වලිතයක් ධෛර්යයක් තිබුණු යෙහෝවාගේ සේවකයන් බොහෝදෙනෙක් දුක් විඳීමත් සමහරෙකු මරණයට පත්වීමත් ඇත්තෙන්ම මා තුළ විශාල දුකක් ඇති කළා. ඒත් ප්‍රීතියකුත් මට දැනුණා. මන්ද ඔවුන්ගේ ධෛර්යයේ හා ජ්වලිතයේ ප්‍රතිඵලයක් වශයෙන් මනුෂ්‍යයන් හුඟදෙනෙක් සත්‍යය ඉගෙනගත් අතර අපගේ ප්‍රේමණීය පියාවත් දැන හඳුනා ගන්න ඔවුන්ට හැකි වුණා.”—කොලට්, නෙදර්ලන්තයෙන්.
“වාර්ෂික පොතේ තිබුණාවූ යුක්රේන්වල හද දනවන වාර්තාව කියවීමෙන් පසුව මටයි මගේ භාර්යාවටයි ඔබට මෙම ලියුම ලියන්නම හිතුණා. ඇදහිලිවන්ත සහෝදරයන් වන ඔබ, දිගු කලක් දැඩි දුෂ්කරතා මැද විඳදරාගැනීමෙන් කැපීපෙනෙන ආදර්ශයක් තබා තිබෙනවා. යක්ෂයාගේ දුෂ්ට ක්‍රියා කොතරම් තිබුණත් යුක්රේනයේ ඇදහිලිවන්ත හිතෝපදේශ 27:11ට අනුව යෙහෝවා කොතරම් සතුටු වන්න ඇද්ද.”—ඇලන්, ඕස්ට්‍රේලියාවෙන්.
සහෝදරයන් විශාල සංඛ්‍යාවක් නොබිඳෙන අඛණ්ඩතාවක් පැවැත්වීම සම්බන්ධයෙන්“යුක්රේනයේ සිටින සහෝදරයන් ගැන කියවන විට මගේ ඇස්වලට කඳුළු ආවා. අවුරුදු ගණන් සිර ගෙවල්වල සිටීම, වධ හිංසා, පීඩාවලට මුහුණ දීම සහ පවුල්වලින් වෙන්වීම වැනි නොයෙකුත් දේ ඔවුන් විඳදරාගෙන තිබෙනවා. තවමත් ඔබේ සභාවන් තුළ සේවය කරන සෑම සහෝදරයෙකුටම මට කියන්න ඕනේ මම එයාලට ගොඩක් ආදරේ කරනවා සහ ගරු කරනවා කියලා. ඔවුන්ගේ ධෛර්යය සහ ස්ථිරකම ගැන මට තිබෙන සතුට කියා නිම කරන්න බැරි තරම්. මම දන්නවා ඔවුන්ගේ බලයේ උල්පත යෙහෝවාගේ ආත්මය බව. යෙහෝවා අප සමීපයේයි ඉන්නේ. ඒ වගේම ඔහු අපට උපකාරය පිරිනමන්න කැමතියි.”—සිර්ගියේ, රුසියාවෙන්.
“2002 වාර්ෂික පොත කියෙව්වාට පස්සේ මට ඇඬුණා. අපේ සභාවේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ඔබ ගැන කතා කළා. ඔබ සැම ඇත්තෙන්ම අමිල නිධානයක්. මෙවැනි විශාල ආත්මික පවුලක කොටසක් වෙන්න ලැබීම ගැන මම හුඟාක් සතුටු වෙනවා.”—ලීයූන්හි, දකුණු කොරියාවෙන්.
“ඔබේ ඇදහිල්ල, විඳදරාගැනීම සහ යෙහෝවා හා ඔහුගේ රාජ්‍යයට ඇති නොවෙනස් වනසුලු ප්‍රේමය පිළිබඳ ඔබේ වාර්තාව කියවන විට මගේ දෙනෙතට කඳුළු ආවා. අපි භුක්ති විඳින නිදහසත් යෙහෝවා අපට සපයන බහුල ආත්මික ආහාරත් අගය කරන්න අපි සමහරවිට අසමත් වෙනවා. නමුත් ඔබ එවැනි දෙයක් කළේ නැහැ. අපේ දෙවි සමඟ කිට්ටු සබඳතාවක් අපට තිබෙනවා නම් ඕනෑම ආකාරයේ පරීක්ෂා සමඟ සටන් කරන්න අපට අවශ්‍ය ශක්තිය ඔහු දෙන බව තේරුම්ගන්න ඇදහිල්ල සම්බන්ධ ඔබේ ආදර්ශය අපට උපකාරයක්.”—පාවුලෝ, බ්‍රසීලයෙන්.
“2002 වාර්ෂික පොතෙන් ඔබේ අද්දැකීම කියවීමට මට භාග්‍යය ලැබුණා. එය කියවන විට මගේ හදවතට විශාල බලපෑමක් ඇති වුණා. විශේෂයෙන්ම සහෝදරී ලිඩියා කුර්ඩාස්ගේ අද්දැකීම. මෙම සහෝදරිය කෙරෙහි මා තුළ සමීප බැදීමක් ඇති වුණා.”—නිඩියා, කොස්ටාරිකාවෙන්.
“මම අද 2002 වාර්ෂික පොත කියවා අවසන් කළා. මම එය කියවන විට යෙහෝවා කෙරෙහි තිබූ මගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වුණා. පෙරමුණ ගන්න අය සම්බන්ධයෙන් සැකයන් ඇති කරගැනීම පිළිබඳ වාර්තාව නම් මට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ. පෙරමුණ ගන්න සහෝදරයන්ව කිසිදාක සැක නොකළ යුතුයි යන කාරණය එම වාර්තාව මට ඉගැන්නුවා. බොහොම ස්තුතියි! මෙම ආත්මික ආහාර ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා උපකාරයක්. ඒ වගේම යම් විටෙක අපේ ඇදහිල්ල පරීක්ෂාවන්ට ලක් වුවොත් එයට මුහුණ දෙන්න අපව සූදානම් කරනවා.”—ලෙටිෂියා, එක්සත් ජනපදයෙන්.
“මෙම අනර්ඝ වාර්ෂික පොත පළ කිරීම සම්බන්ධයෙන් අප ස්තුති කරනවා. ප්‍රචාරකයන් බොහෝදෙනෙක් යුක්රේනයේ අපේ සහෝදරයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කියවූ පළමු අවස්ථාවයි මේ. මෙහි සිටින සහෝදරයන් හුඟදෙනෙකුගේ ඇදහිල්ල ශක්තිමත් වුණා. විශේෂයෙන්ම යෞවන අය අතර සිටින බොහෝදෙනෙක් ඔවුන්ගේ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් වැඩි කළා. සමහරෙක් ස්ථාවර හෝ උපකාරික පුරෝගාමීන් ලෙස සේවය කිරීමට පටන්ගත්තා. තහනම පැවති කාල සීමාව තුළ යෙහෝවාට සේවය කළ සහෝදර සහෝදරියන්ගේ අද්දැකීමෙන් හැමෝම දිරිගැන්වුණා.”—යුක්රේනයේ එක් සභාවක සේවා කමිටුවෙන්.
යුක්රේනයේ අපගේ සහෝදරයන්ගේ ඇදහිලිවන්තකම ලොව වටා සිටින යෙහෝවාගේ සෙනඟට නිසැක වශයෙන්ම දිරිගැන්වීමක් වී තිබේ. සෑම වර්ෂයකදීම එළිදකින වාර්ෂික පොතේ තිබෙන හද දනවන වාර්තා නොකඩවා කියවීම, මෙම වැදගත් කාල වකවානුව තුළ අපේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමටත් විඳදරාගැනීමටත් කදිම ක්රමයකි.—හෙබ්‍රෙව් 12:1.