සතුටින් පිරි ජීවිතයකට අත්‍යවශ්‍ය වූ විශ්වාසය
සතුටින් පිරි ජීවිතයකට අත්‍යවශ්‍ය වූ විශ්වාසය
ආහාර විෂවීමකට ලක් වන්නා ලබන්නේ ඉතා අමිහිරි අද්දැකීමකි. එවන් දෙයකට නිතරම ලක් වන්නෙකු තමා ආහාරයට ගන්නා දේ ගැන පෙරට වඩා පරෙස්සම් විය යුතුය. එහෙත් ආහාර විෂවීමේ අන්තරාය මඟහැරීමට ආහාර අනුභව කිරීම සම්පූර්ණයෙන්ම අත්හැරීම නම් යථාර්ථවාදී පියවරක් නොවේ. එසේ කිරීමෙන් විසඳෙන ගැටලුවට වඩා වැඩියෙන් තවත් ගැටලු රාශියක්ම මතු වේ. ඒ, ආහාර නොමැතිව කිසි කෙනෙකුට වැඩි කලක් ජීවත් විය නොහැකි නිසාවෙනි.
ඒ හා සමානව, කෙනෙකුගේ විශ්වාසය කඩ වන විට එය ඉතා අමිහිරි අද්දැකීමකි. එවන් දෙයක් නිතරම සිදු වී ඇත්නම්, අප තෝරාගන්නා ආශ්‍රිතයන් ගැන බැරෑරුම්ව සිතා බැලීමට සිදු වේ. කෙසේවෙතත්, විශ්වාසය නැවතත් කඩවීමේ අන්තරායෙන් බේරී සිටීමට මිනිස් ඇසුරෙන් සම්පූර්ණයෙන්ම දුරුවීම විසඳුම නොවේ. මන්දයත් අන් අය ගැන අවිශ්වාසයෙන් සිටීමෙන් අපගේ ප්‍රීතිය නැති වී යන බැවිනි. සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට නම්, අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් මිනිස් සබඳතා අපට අවශ්‍යමය.
“එදිනෙදා ජීවිතයේදී එකිනෙකා සමඟ සබඳතා පවත්වද්දී තිබිය යුතු මූලික අවශ්‍යතාවකි විශ්වාසය.” එවන් අදහසක් පළ කර තිබුණේ යූගෙන්ට් 2002 නමැති පොතෙහිය. එක් පුවත්පතක (Neue Zürcher Zeitung) වාර්තා වූ පරිදි “විශ්වාසය තැබිය හැකි කෙනෙකු සිටිනවාට සෑම කෙනෙක්ම බෙහෙවින් ආශා වෙති. විශ්වාසය යමෙකුගේ ජීවන තත්වය කොතරම් වැඩි දියුණු” කරනවාද කිවහොත් “අපගේ අඛණ්ඩ පැවැත්මට එය නැතුවම බැරි දෙයකි.” ඇත්තෙන්ම විශ්වාසය නොමැතිව, “කෙනෙකුට ජීවිතයට මුහුණ දිය නොහැකියි.”
යම්කිසි කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීම සඳහා අපට මූලික අවශ්‍යතාවක් ඇති නිසා, විශ්වාසය කඩවීමේ අවදානමට ලක් නොවී විශ්වාස කළ හැක්කේ කාවද?
ඔබේ මුළු සිතින් යෙහෝවාව විශ්වාස කරන්න
බයිබලය අපට කියන්නේ “ඔබේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න” යනුවෙනි. (හිතෝපදේශ 3:5) ඇත්තටම දේවවචනය පුරාම අපට පුන පුනා දිරිගන්වා ඇත්තේ අපගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි කෙරෙහි අපගේ විශ්වාසය තබන්නට කියාය.
අපට අපගේ විශ්වාසය දෙවි කෙරෙහි තැබිය හැක්කේ මන්ද? මුලින්ම යෙහෝවා දෙවි ශුද්ධව සිටින නිසාය. අනාගතවක්තෘ යෙසායා ලිව්වේ “යෙහෝවා ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියාය. (යෙසායා 6:3) ශුද්ධකම ගැන සිතද්දී ඔබ ඊට ආකර්ෂණය වෙනවාද? ඇත්තටම එය ඔබව ආකර්ෂණය කළ යුතුය. මන්ද යෙහෝවා ශුද්ධය කීමෙන් අදහස් වන්නේ ඔහු නිර්මල බවත්, සියලුම ආකාරයේ දෝෂවලින් ඔහු තොර බවත්, සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකි කෙනෙකු වන බවත්ය. ඔහු දූෂිත පුද්ගලයෙකු වන්නේවත් කර්කශ ලෙස ක්‍රියා කරන්නේවත් නැත. ඒ දේවල් කරන්නට ඔහුට නුපුළුවන. එමෙන්ම අපගේ විශ්වාසය කඩ කිරීම ඔහුට කොහෙත්ම කළ නොහැකිය.
1 යොහන් 4:8, NW) දෙවි සෑම දෙයක්ම කිරීමට පෙලඹෙන්නේ ඔහු සතු ප්‍රේමය නිසයි. එසේනම්, දෙවිගේ ශුද්ධකම සහ වෙනත් කැපීපෙනෙන ගුණාංග හේතුවෙන් ඔහු කදිම පියෙකුයයි පැවසිය හැක. ඔහු පූර්ණ විශ්වාසය තැබිය හැකි කෙනෙකු බව ඉන් සනාථ වෙයි. යෙහෝවා තරම් විශ්වාසවන්ත කෙනෙක් තවත් නැත.
මීට අමතරව අපට දෙවි කෙරෙහි විශ්වාසය තැබිය හැකි වන්නේ, තමාට සේවය කරන අයට අත හිත දෙන්නට ඔහු සතු හැකියාව නිසාත් එසේ කිරීමට ඔහුට ආශාවක් තිබෙන නිසාත්ය. නිදසුනකට ඔහුගේ අතිශ්‍රේෂ්ඨ බලය නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔහුට හැකියාව තිබේ. ඔහු ක්‍රියා කරන ආකාරය මෙහෙයවනු ලබන්නේ ඔහුගේ පරිපූර්ණ යුක්තිය සහ ප්‍රඥාව මාර්ගයෙනි. එමෙන්ම ඔහුව ක්‍රියාවට පොලඹවන්නේ ඔහුගේ අසමසම ප්‍රේමයයි. ප්‍රේරිත යොහන් ලිව්වේ “දෙවි ප්‍රේමයය” කියාය. (යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා සතුටු වන්න
යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට තිබෙන තවත් හොඳ හේතුවක් නම්, අන් කිසිවෙකුට වඩා ඔහුට අප ගැන මනා අවබෝධයක් තිබීම යන කාරණයයි. සෑම මිනිසෙකුටම තම මැවුම්කරු සමඟ ශක්තිමත්, කල් පවතින, විශ්වාසය මත පදනම් වූ සබඳතාවක් පවත්වාගැනීමේ මූලික අවශ්‍යතාව ඇති බව ඔහු දනියි. එවන් සබඳතාවක් භුක්ති විඳින අයට වැඩි ආරක්ෂාවක් දැනෙයි. දාවිත් රජුගේ නිගමනය වූයේ ‘යෙහෝවා කෙරෙහි විශ්වාස කරන තැනැත්තා ආශීර්වාද ලද්දෙක්’ නැතහොත් සන්තෝෂවත් කෙනෙකු බවය. (ගීතාවලිය 40:4) අද දින මිලියන ගණන් අය දාවිත්ගේ එම අදහසට ඉත සිතින්ම එකඟ වෙති.
උදාහරණ කිහිපයක් සලකා බලමු. ඩොමිනිකන් සමූහාණ්ඩුව, ජර්මනිය, ග්‍රීසිය සහ එක්සත් ජනපදය යන රටවල ජීවත් වූ කෙනෙකි ඩොරිස්. ඇය පවසන්නේ මෙසේය. “යෙහෝවා කෙරෙහි මගේ විශ්වාසය තබන්න මම හරිම කැමතියි. මාව ශාරීරිකව, ආත්මිකව හා චිත්තවේගීයව බලාගන්න සැටි ඔහු දන්නවා. කෙනෙකුට ඉන්න පුළුවන් හොඳම මිතුරා ඔහුයි.” නීතික උපදේශකයෙකු වන වෝල්ෆ්ගාං තම අදහස් පළ කළේ මෙලෙසයි. “ඔබට උපරිම යහපතක් වෙනවා දකින්න කැමති ඒ වෙනුවෙන් යමක් කළ හැකි සහ යම් දෙයක් කිරීමට ඇත්තෙන්ම ඉදිරිපත් වන කෙනෙක් කෙරෙහි රඳා සිටින්න පුළුවන් වන එක මහත් ආශීර්වාදයක්. “ ආසියාවේ උපන්, දැනට යුරෝපයේ ජීවත් වන හාම් පවසන්නේ මෙලෙසයි. “යෙහෝවා හැම කාරණයක්ම නියම විදිහට හසුරුවනවා කියලා මට විශ්වාසයි. ඔහු අතින් වැරදි වෙන්නේ නැහැ. එම නිසා ඔහු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියන්න මම කැමතියි.”
කෙසේවෙතත්, අපගේ මැවුම්කරු කෙරෙහි පමණක් නොව මිනිසුන් කෙරෙහිත් අප සියලුදෙනාම විශ්වාසය තැබීම අවශ්‍යය. එබැවින්, ඥානවන්ත මෙන්ම අද්දැකීම් ලත් මිතුරෙකු වන යෙහෝවා, අප විශ්වාසය තැබිය යුත්තේ කවර ආකාරයේ පුද්ගලයන් කෙරෙහිද යන්න ගැන හොඳ උපදෙස් සපයයි. බයිබලය හොඳින් කියවා බැලීමෙන් අපට මේ සම්බන්ධයෙන් ඔහු දී ඇති උපදෙස් මොනවාදැයි දැනගත හැකියි.
අපට විශ්වාසය තැබිය හැකි අය
ගීතිකාකරු ලිව්වේ මෙලෙසය. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබන්න.” (ගීතාවලිය 146:3) මනුෂ්‍යයන් බොහෝදෙනෙකු අපගේ විශ්වාසය ලැබීමට තරම් වටිනා අය නොවන බව පිළිගැනීමට දේවානුභාවයෙන් ලියන ලද මෙම අදහස අපහට ඉවහල් වෙයි. මේ ලෝකයේ “අධිපතීන්” ලෙස බොහෝදෙනෙක් ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටිති. නිදසුනකට, දැනුම ප්‍රගුණ කළ යම් ක්ෂේත්රයක හෝ කාර්යයක නිපුණත්වයක් ලබා ඇති ප්‍රවීණයන් සඳහන් කරන්නට පුළුවන. කෙසේවෙතත් අප ඔවුන් කෙරෙහි නිකම්ම විශ්වාසය තැබිය යුතු බව ඉන් අදහස් වන්නේ නැත. නිතරම පාහේ ඔවුන් දෙන මඟ පෙන්වීම් වරදිනසුලුය. එම නිසා එවන් “අධිපතීන්” කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපගේ බලාපොරොත්තු සැණෙකින් සුන් වී යයි.
කෙසේවෙතත්, අප සෑම කෙනෙකු දෙසම වපර ඇසින් බැලිය යුතු බව මින් අදහස් වන්නේ නැත. එනමුත් නික්මයාම 18:21) අපට මෙයින් උගත හැක්කේ කුමක්ද?
විශ්වාසය තැබිය යුතු අය තේරීමේදී තෝරා බේරා කටයුතු කිරීමේ වැදගත්කම ගැන අමුතුවෙන් කිව යුතු නැත. එසේ කරද්දී අප කවර ප්‍රමිතියක් අනුගමනය කළ යුතුද? පුරාණ ඊශ්‍රායෙල් ජාතියෙන් අපට යමක් උගත හැකියි. ඊශ්‍රායෙල්හි යම් බැරෑරුම් වගකීම් ඉසිලීමට පුද්ගලයන්ව පත් කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟුණු විට “දෙවි කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදී වූ අයුතු ලාභයට ද්වේෂ කරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන්” තෝරාගැනීමට මෝසෙස්ට උපදෙස් ලැබිණ. (මෙම පුරුෂයෝ එම බැරෑරුම් වගකීම් ලැබීමටත් පෙර සිටම ඇතැම් දිව්‍ය ගුණාංග විදහාපෙන්වූ අය වූහ. ඔවුන් දෙවිට භයින් සිටි බවට ඒ වන විටත් සාක්ෂි සපයා තිබිණ. මැවුම්කරු කෙරෙහි ඔවුන්ට හෘදයාංගම ගෞරවයක්ද, ඔහුව අසතුටු කිරීමට මහත් අකමැත්තක්ද ඔවුන් තුළ විය. මෙම පුරුෂයන් දෙවිගේ ප්‍රමිති රක්ෂා කිරීමට තම උපරිමය කළ බව කොයි කාටත් පැහැදිලි විය. ඔවුහු අයුතු ලාභයට ද්වේෂ කළෝය. මින් අදහස් වූයේ බලතල ලැබී තිබෙන නිසා දූෂ්‍ය නොවී සිටීමට තරම් ශක්තියක් ඔවුන් සතුව තිබුණු බවය. තමන්ට භාර දී තිබුණු වගකීම අනිසි ලෙස භාවිත කරමින් තම පෞද්ගලික අභිලාෂයන් හෝ නෑදෑ හිත මිතුරන්ගේ මනාපයන් ඉටු කිරීමට ඔවුන් උත්සාහ කළේ නැත.
අප විශ්වාසය තබන්නේ කවුරුන් කෙරෙහිද යන්න තීරණය කිරීමේදී ඒ හා සමාන ප්‍රමිතියක් අනුගමනය කිරීම නුවණට හුරු නැද්ද? තමන් හැසිරෙන අන්දම තුළින් දෙවි කෙරෙහි භයක් විදහාපෙන්වන පුද්ගලයන්ව අප හඳුනනවාද? දෙවිගේ ප්‍රමිති තම දෛනික කටයුතුවලදී රක්ෂා කිරීමට ඔවුන් අදිටන් කරගෙන සිටිනවාද? වැරදි දේවල් නොකර සිටීමට තරම් ශක්තියක් ඔවුන්ට තිබේද? යම් තත්වයක් තම වාසියට හරවා නොගෙන සිටීමට හෝ තමාට අවශ්‍ය දේ කෙසේ හෝ ඉටු කරගැනීමෙන් වැළකී සිටීමට තරම් අවංකකමක් ඔවුන්ට තිබේද? එවැනි ගතිලක්ෂණ විදහාපෙන්වන පුරුෂයෝ හා ස්ත්‍රීහු ඇත්තෙන්ම අපගේ විශ්වාසය ලැබීමට වටිනා අය වෙති.
ඉඳ හිට බලාපොරොත්තු කඩ වුණද අධෛර්යය නොවන්න
අපට විශ්වාස කළ හැක්කේ කාවද යන්න තීරණය කිරීමේදී ඉවසිලිවන්ත වීම අත්‍යවශ්‍යය. මන්දයත් විශ්වාසය ගොඩනැඟීමට සෑහෙන කාලයක් ගත වන බැවිනි. ඥානවන්තම දේ නම්, යම් කෙනෙකු කෙරෙහි අපගේ විශ්වාසය ක්‍රමානුකූලව, පියවරෙන් පියවර ගොඩනැඟීමයි. ඒ කෙසේද? යම් කාල පරිච්ඡේදයක් පුරා කෙනෙකුගේ හැසිරීම නිරීක්ෂණය කරමින්, ඇතැම් තත්වයන්වලට මුහුණ දෙද්දී ඔහු ක්‍රියා කරන ආකාරය සැලකිල්ලට ගත හැක. කුඩා දේවලදී වුවත් ඒ පුද්ගලයා විශ්වාසවන්තද? නිදසුනකට, යම් දෙයක් තාවකාලිකව පාවිච්චියට ගන්නවා නම්, පොරොන්දු වූ ලෙස ඔහු එය ආපසු භාර දෙනවාද? ඔහු නිසි වේලාවට පැමිණෙන කෙනෙක්ද? මෙවැනි දේවලදී ඔහු විශ්වාසවන්ත නම්, වඩාත් බැරෑරුම් කාරණාවලදී වුවත් ඔහු කෙරෙහි බියක් සැකක් නොමැතිව විශ්වාසය තැබිය හැකි බව අපට සිතෙන්නට පුළුවන. “ඉතා සුළු දේ ගැන විශ්වාසවන්තව කටයුතු කරන්නා මහත් දේ ගැනත් විශ්වාසවන්තව කටයුතු කරන්නේය” යන ප්‍රතිපත්තියට මෙය අනුකූල වේ. (ලූක් 16:10, NW) එසේනම් අප තෝරා බේරා, ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් අපට හැකි වෙයි දරුණු බලාපොරොත්තු කඩවීම් වළක්වාගැනීමට.
එනමුත්, අපගේ විශ්වාසය කඩ කරනු ලැබුවහොත්? යේසුස් ක්‍රිස්තුස්ව අත්අඩංගුවට ගත් රාත්රියේදී ඔහුගේ ප්‍රේරිතයන් ඔහුව අත්හැර ගිය බව බයිබල් ශිෂ්‍යයන් හොඳින් දන්නා කරුණකි. යූදස් ඉස්කාරියොත් ඔහුව පාවා දුන්නේය. අනික් ප්‍රේරිතයෝ බියෙන් පලා ගියෝය. පේතෘස් පවා යේසුස්ව හඳුනන්නේ නැතැයි තුන් වරක් පැවසීය. එනමුත් හිතා මතා ක්‍රියා කළේ යූදස් පමණක් බව යේසුස් වටහාගත්තේය. එම තීරණාත්මක මොහොතේදී ඔහුව අත්හැරියද, සති කිහිපයක් තරම් කෙටි කලකට පසු ඉතිරි ප්‍රේරිතයන් 11දෙනාව තමා විශ්වාස කරන බව කීමට යේසුස් පසුබට වූයේ නැත. (මතෙව් 26:45-47, 56, 69-75; 28:16-20) ඉතින් අප විශ්වාස කරන කෙනෙකු අපගේ විශ්වාසය කඩ කළ බව අපට හැඟෙනවා නම්, එය ඔහු හිතා මතා කළ ද්‍රෝහිකමක් වූ බවට සාක්ෂියක්ද? නැත්නම් සැණෙකින් ඉස්මතු වූ මිනිස් දුර්වලකමක් නිසා සිදු වූ දෙයක්ද කියා ගැඹුරින් කල්පනා කර බැලීම සුදුසුය.
මම විශ්වාසවන්ත කෙනෙක්ද?
තමා විශ්වාස කරන්නේ කාවද යන්න ගැන තෝරා බේරා කටයුතු කරන අයෙකු තමාගෙනුත් සාධාරණව මෙසේ අසාගත යුතුය: ‘මම විශ්වාසවන්ත කෙනෙක්ද? විශ්වාසවන්තකම සම්බන්ධයෙන් මගෙනුත් අන් අයගෙනුත් මා අපේක්ෂා කළ යුත්තේ කවර සාධාරණ ප්‍රමිතියක්ද?’
ඇත්තෙන්ම විශ්වාසවන්ත පුද්ගලයෙක් නිතරම සත්‍යය කතා කරයි. (එපීස 4:25) එනිසා යම් පෞද්ගලික වාසියක් ලබාගැනීමේ අටියෙන් හෙතෙම තමන් අමතන පුද්ගලයන්ට ගැළපෙන විදිහට කතා කරන්නේද නැත. විශ්වාසවන්ත මිනිසා යම් පොරොන්දුවක් වෙනවා නම්, එම පොරොන්දුවට ඇලී සිටින්නට තම උපරිමය කරයි. (මතෙව් 5:37) යමෙක් විශ්වාසයෙන් තමාට යමක් කියනවා නම් විශ්වාසවන්ත පුද්ගලයා එම විශ්වාසය කඩ කරන්නේ නැති අතර ඒ ගැන ඕපාදූප පතුරුවන්නේද නැත. විශ්වාසවන්ත පුද්ගලයෙක් තම විවාහක සහකාරියටද විශ්වාසවන්තව සිටියි. ඔහු කාමුක දර්ශන නරඹන්නේවත්, කාමුකත්වයෙන් පිරි සිහින ලෝකයක ජීවත් වන්නේවත් නැත. අනික් අතට විරුද්ධ ලිංගයේ අය සමඟ ආලවන්ත හැඟීම් පාන්නට උත්සාහ දරන්නේද නැත. (මතෙව් 5:27, 28) අපගේ විශ්වාසය ලැබීමට වටිනා කෙනෙක් තමා සහ තම පවුලේ අය වෙනුවෙන් ඉපයීමට දැඩි මහන්සියක් දරන අතර, අනුන්ට බරක් වෙමින් ලෙහෙසියෙන් මුදල් හම්බ කරගැනීමට වෑයම් නොකරයි. (1 තිමෝති 5:8) අප මෙවැනි සාධාරණ මෙන්ම ශුද්ධ ලියවිල්ලට එකඟ වූ ප්‍රමිති සිහියේ තබාගතහොත්, විශ්වාස කළ හැකි පුද්ගලයන් කවුද කියා හඳුනාගැනීම වඩාත් පහසු කාර්යයක් වනු ඇත. අනික් අතට, අපිද එම ප්‍රමිතිවලට ඇලී සිටින නිසා, අන් අය විසින් විශ්වාසය තැබීමට වටිනා පුද්ගලයන් වන්නට අපි සුදුස්සෝ වන්නෙමු.
සියලුම පුද්ගලයන් විශ්වාසවන්ත වූද, විශ්වාසය කඩවීම නිසා බලාපොරොත්තු සුන්වීම් සිදු නොවන්නා වූද ලෝකයක ජීවත් වීම මොන තරම් සතුටක් වනු ඇද්ද! ඇත්තටම එවැනි දෙයක් නිකම්ම සිහිනයක්ද? බයිබලයෙහි සඳහන් පොරොන්දු බැරෑරුම්ව සලකන අයට නම් එවැනි දෙයක් අපේක්ෂා කිරීම සිහිනයක් නම් නොවේ. මන්දයත් සියලු බොරු වංචාවලින් හා සූරා කෑම්වලින්ද, දුක, අසනීප හා මරණයෙන් පවා තොර වූ ඉතා අලංකාර “අලුත් පොළොවක්” පැමිණෙන බව දේවවචනයෙහි පුරෝකථනය කර තිබෙන බැවිනි. (2 පේතෘස් 3:13; ගීතාවලිය 37:11, 29; එළිදරව් 21:3-5) මෙම අපේක්ෂාව ගැන වැඩිමනත් තොරතුරු සොයා බැලීම යෝග්‍ය නොවේද? මේ පිළිබඳවද වෙනත් වැදගත් විෂයන් පිළිබඳවද තවත් තොරතුරු සැපයීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටු වනු ඇත.
[4වන පිටුවේ පින්තූරය]
අන් අය ගැන අවිශ්වාසයෙන් සිටීමෙන් අපට ප්‍රීතිය අහිමි වෙයි
[5වන පිටුවේ පින්තූරය]
අපගේ විශ්වාසය ලැබීමට වඩාත්ම වටිනා තැනැත්තා යෙහෝවාය
[7වන පිටුවේ පින්තූර]
අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් සබඳතා පවත්වාගෙන යෑම අප සැමගේ මූලික අවශ්‍යතාවකි