‘ඇගේ ආගමට ගරු කරන්න ඇය අපට ඉගැන්නුවා’
‘ඇගේ ආගමට ගරු කරන්න ඇය අපට ඉගැන්නුවා’
ඉතාලියේ රෝවිගෝ ප්‍රාන්තයේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකාරියකට දැනගන්නට ලැබුණා තමන්ට පිළිකාවක් ඇති බවත් තත්වය එතරම් හොඳ නැති බවත්. කිහිප වතාවක් රෝහල් ගතවීමට සිදු වූ අතර රුධිරය නොමැතිව ප්‍රතිකාර කරන මෙන් ඈ ඉල්ලා සිටියා. පසුව එම ප්‍රදේශයේ තිබුණ පිළිකා රෝගීන්ට සාත්තු සේවා සපයන ආයතනයකින් පැමිණි සේවකයන්ගේ උපකාරය ඇයට නිවසේදීම ලැබුණා.
මෙම 36 හැවිරිදි රෝගියාගේ ශක්තිමත් ඇදහිල්ලත්, සහයෝගිතාවත් ඇයට සාත්තු කළ සෞඛ්‍ය සේවකයන්ගේ සිතට තදින් කාවැදුණා. පිළිකාව හේතුවෙන් මෙම රෝගියා මිය යෑමට පෙර ඇයට ඇප උපස්ථාන කළ එක් සාත්තු සේවකයෙක් හෙද සඟරාවකට මෙම රෝගියාගේ අද්දැකීම ලිව්වා. ඔහු එම රෝගියාව හැඳින්වූයේ ආන්ජෙලා කියායි.
“ආන්ජෙලා හරිම ප්‍රබෝධමත් කෙනෙක්. ඇයට ජීවත් වීමට ලොකු වුවමනාවක් තියෙනවා. ඇගේ රෝගය ගැනත් එහි බරපතළකම ගැනත් ඇය හොඳින් දන්නවා. අපි ලෙඩ වුණාම කරන දේමයි ඇයත් කරන්නේ. එනම් ඇයත් ප්‍රතිකාරයක් සොයනවා. . . . සාත්තු සේවකයන් වන අප, ටිකෙන් ටික ඇයට ළං වුණා. ඇය අපට හොඳ සහයෝගයක් දුන්නා. ආන්ජෙලා සමඟ කටයුතු කිරීමට පහසු වුණේ ඇය හැම දෙයක්ම විවෘතව කතා කළ නිසයි. ඇයට ඇප උපස්ථාන කිරීමෙන් අප සතුටක් ලැබුවා. මෙය අවංක පුද්ගලයෙකු සමඟ කටයුතු කිරීමට ලැබුණු අවස්ථාවක් මෙන්ම අප සියලුදෙනාටම ප්‍රයෝජනදායක විය හැකි අවස්ථාවක් කියා අපි දැනගෙන හිටියා. . . . ඇගේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඇගේ ආගම හරහාට සිටින බව අපට විගස තේරුම් ගියා.” ඒ ඔහුගේ අදහසයි. මන්ද ඔහුට හැඟුණා ආන්ජෙලාට රුධිරය ශරීරගත කළ යුතු බව. නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළා.—ක්‍රියා 15:28, 29.
“පළපුරුදු සාත්තු සේවකයන් වශයෙන් අප ආන්ජෙලාට කියා සිටියේ ඇගේ තීරණයට අප එකඟ වන්නේ නැති බවයි. නමුත් ජීවිතය ඇය කොතරම් අගේ කොට සලකනවාද කියා තේරුම්ගන්න ඈ අපට උදව් කළා. ඒ වගේම ඇගේ ආගම ඇයටත් ඇගේ පවුලේ අයටත් කොතරම් වැදගත් වුණාද යන කාරණයත් අපි තේරුම්ගත්තා. ආන්ජෙලා බලාපොරොත්තු අත්හැරියේවත් අධෛර්යයට පත් වුණේවත් නැහැ. ඇය ඉක්මනින් සැලෙන කෙනෙක් නෙමෙයි. ඇය ජීවත් වෙන්න පූර්ණ සටනක නිරත වෙනවා. ඇයට මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්නයි අවශ්‍ය. ඇය ඇගේ අධිෂ්ඨානය සහ ඇගේ විශ්වාසය අපට දැනගන්න සැලැස්සුවා. අපට නැති ස්ථිර අධිෂ්ඨානයක් ඇයට තියෙනවා. ඇයට තරම් ශක්තිමත් ඇදහිල්ලක් අපට නැහැ. . . . ආන්ජෙලා ඇගේ ආගමට ගරු කිරීමේ ඇති වැදගත්කම අපට ඉගැන්නුවා. එය ඇත්තෙන්ම අප කරන රැකියාවේ ආචාර ධර්මවලට වඩා ගොඩාක් වෙනස් දෙයක්. . . . අපට හිතෙනවා ආන්ජෙලා අපට ඉතා වැදගත් දෙයක් උගන්වලා තියෙනවා කියලා . මන්ද අපට විවිධ මනුෂ්‍යයන්, විවිධ තත්වයන් සහ විවිධ ආගම් සමඟ කටයුතු කරන්න සිදු වෙනවා. අපට මුණගැසෙන හැම කෙනෙකුගෙන්ම යමක් ඉගෙනගන්නත් ඔවුන්ට යමක් දෙන්නත් අපට හැකියි.”
ඊළඟට එම සඟරාවේ එම ලිපිය, 1999දී අනුමත කරනු ලැබූ ඉතාලියේ හෙද වෘත්තියේ ආචාර ධර්ම නීති රීතිවලට අවධානය යොමු කළා. “සාත්තු සේවකයෙකු හෝ සේවිකාවක තම සේවය පිරිනමද්දී කෙනෙකුගේ ආගමික, සදාචාරාත්මක, සංස්කෘතික පසුබිම මෙන්ම ජාතිය සහ ස්ත්‍රී පුරුෂභාවයත් සැලකිල්ලට ගත යුතුයි.” සමහර අවස්ථාවල වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගියෙකුගේ විශ්වාසයන්ට ගරු කිරීම දුෂ්කර කාර්යයක් විය හැකියි. නමුත් එසේ කටයුතු කිරීමට කැමති අයව ඉතා අගය කොට සැලකිය යුතුයි.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ සෞඛ්‍යය සහ තමන් ලබාගන්න වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණ ගන්නේ හොඳින් සිතා බැලීමෙන් පසුවයි. ශුද්ධ ලියවිල්ලේ පවසන දේ ඔවුන් වැදගත් කොට සලකනවා. ආන්ජෙලාගේ අද්දැකීමෙන් පැහැදිලි වන ආකාරයට ඔවුන් අන්තවාදීන් නොවෙයි. (පිලිප්පි 4:5) ලොව වටා සිටින සෞඛ්යාරක්ෂක නිලධාරීන් විශාල සංඛ්‍යාවක් තම සාක්ෂිකාර රෝගීන්ගේ හෘදය සාක්ෂියට ගරු කිරීමට ඉදිරිපත් වී සිටිනවා.