පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
ක්‍රිස්තුස්ගේ දහස් වසර පාලන සමයේදී භූතයන් සිටිනු ඇත්තේ කොහේද?
මෙම ප්‍රශ්නයට බයිබලය කෙළින්ම පිළිතුරු සපයන්නේ නැහැ. නමුත් ක්‍රිස්තුස්ගේ දහස් වසර පාලන සමයේදී භූතයන් සිටිනු ඇත්තේ කොහේද යන්න ගැන තර්කානුකූල නිගමනයකට එන්න අපට පුළුවන්.
මෙම දහස් වසර පාලන සමයේ ආරම්භයේදී හා අවසානයේදී සිදු වන්නට යන දේවල පෙරදැක්මක් ප්‍රේරිත යොහන් සපයන්නේ මෙලෙසයි. “දේවදූතයෙකු අගාධයේ යතුරද මහත් දම්වැලක්ද අතැතිව, ස්වර්ගයෙන් බැස එනවා මම දුටිමි. ඔහු මකරාව, එනම් යක්ෂයාද සාතන්ද වන මුල් සර්පයාව අල්ලා අවුරුදු දහසකට බැඳ තැබුවේය. අවුරුදු දහස අවසන් වන තුරු, ඔහු ජාතීන්ව තවත් නොමඟ නොයවන පිණිස, ඔහුව අගාධයට හෙළා, එය වසා මුද්‍රා කළේය. ඉන්පසු, කෙටි කලකට ඔහුව මුදාහැරීමට නියමිතය.” (එළිදරව් 20:1-3) මෙම පදවල පෙන්වන ආකාරයට, අගාධයට දමනු ලබන්නෙත් පසුව කෙටි කලකට නිදහස් කරනු ලබන්නෙත් සාතන්ව පමණයි. එහෙත් භූතයන් ගැන මෙහි සඳහන් කර නොතිබුණත්, අගාධයේ යතුර සතු දේවදූතයා, එනම් මහිමයට පත් යේසුස් ක්‍රිස්තුස්, යක්ෂයාව අල්ලා ඔහුව අගාධයට දමද්දී, භූතයන්ටත් එම දඬුවමම ලබා දෙයි කියා සිතීම සාධාරණයි.—එළිදරව් 9:11.
වර්ෂ 1914දී, යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයේදී රජ බවට පත් වූ වහාම ප්‍රබල ක්‍රියාමාර්ගයක් ගත්තා. එය සාතන් හා ඔහුගේ භූතයන්ට ඉමහත් බලපෑමක් ඇති කළා. ඒ ගැන එළිදරව් 12:7-9හි මෙසේ සඳහන් වෙයි. “ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය: මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන්ද [එනම් භූතයෝ] යුද්ධ කළ නමුත්, ඌ ජයගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තිබුණේද නැත. එබැවින් ඒ මහත් මකරා පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම්, යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහු පොළොවට හෙළනු ලැබුවේය; ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.” එදා පටන් සාතන් සහ ඔහුගේ භූතයන්ව පොළොවට සීමා කර තිබෙනවා. සාතන්ගේ දුෂ්ට බලපෑමෙන් පොළොව නිදහස් කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස් සාතන්ගේ ක්‍රියා තවදුරටත් සීමා කරන විට භූතයන්ටත් ඔහු එම දේම කරයි කියා අපට තර්කානුකූලව සිතිය හැකියි.
බයිබලයේ වාර්තා වී තිබෙන පළවෙනි අනාවැකිය සලකා බලන්න. එහි කියැවෙන්නේ මෙහෙමයි. “මම [දෙවි] ඔබත් [සාතන්] ස්ත්‍රියත් [යෙහෝවාගේ ස්වර්ගීය සංවිධානය] අතරෙහිද ඔබේ [සාතන්ගේ] වංශයත් ඇගේ වංශයත් [යේසුස් ක්‍රිස්තුස්] අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය ඔබේ හිස පොඩි කරන්නේය; ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහියයි කීවේය.” (උත්පත්ති 3:15) ක්‍රිස්තුස්ගේ දහස් වසර පාලන සමයේදී සාතන්ව අගාධයට හෙළීම සර්පයාගේ හිස පොඩි කිරීමට ඇතුළත් වෙයි. එම අනාවැකියේ තවදුරටත් පවසන ආකාරයට හිස පොඩි කරන තැනැත්තා හා සාතන්ගේ වංශය අතර සතුරුකමක් තිබෙනවා. මෙම වංශයට හෝ සංවිධානයට දුෂ්ට දේවදූතයන් හෙවත් භූතයන්ගෙන් සමන්විත අදෘශ්‍යමාන කොටසක් අයත් වෙනවා. එම නිසා යේසුස් සාතන්ව අගාධයට හෙළන විට ඔහු භූතයන්වත් බැඳ අගාධයට හෙළනු ඇති බව නිගමනය කිරීම සාධාරණයි. අතීතයේදී දුෂ්ට ආත්මයන් අගාධය ගැන මහත් බියෙන් සිටීමෙන් අඟවන්නේ ඔවුන්ට ඉදිරියේදී සිදු වන්නට යන මෙම හිර කිරීම ගැන ඔවුන් දැන සිටින බවයි.—ලූක් 8:31.
එළිදරව් 20:1-3හි භූතයන් ගැන සඳහන් කර නැත්තේ සාතන්ගේ වංශයේ දෘශ්‍යමාන කොටස සමඟ අර්මගෙදොන්හිදී ඔවුන් විනාශ වන නිසා විය හැකිද? මෙය මෙසේ විය නොහැකි බව බයිබලය පෙන්වයි. සාතන්ට අවසානයේදී සිදු වන්නට යන දෙය පිළිබඳව එහි පවසා තිබෙන්නේ මෙලෙසයි. “ඔවුන්ව නොමඟ යවමින් සිටි යක්ෂයාව ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබුවේය. වනමෘගයා හා බොරු අනාගතවක්තෘවරයා ඒ වන විටත් එහි සිටියෝය. ඔවුන්ට සදාකාලයෙන් සදාකාලයට රෑ දාවල් දෙකේ වධ දෙනු ලබන්නේය.” (එළිදරව් 20:10) වනමෘගයාගෙන් හා බොරු අනාගතවක්තෘවරයාගෙන් යොමු දක්වන්නේ දේශපාලන බලවේගවලටයි. ඒවා සාතන්ගේ දෘශ්‍යමාන සංවිධානයට අයත් වෙනවා. (එළිදරව් 13:1, 2, 11-14; 16:13, 14) දෙවිගේ රාජ්‍යය මේ ලෝකයේ සියලු රාජ්‍යයන් කැබලි කර නැති කර දමන අවස්ථාව වන අර්මගෙදොන්හිදී ඒවා විනාශ වෙනවා. (දානියෙල් 2:44) “යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට” බයිබලය යොමු දක්වයි. (මතෙව් 25:41) වනමෘගයා හා බොරු අනාගතවක්තෘව හෙළනු ලබන “ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලට” සාතන්වත් ඔහුගේ භූතයන්වත් හෙළනු ලැබීමෙන් අදහස් කරන්නේ ඔවුන්වත් සදහටම විනාශ කරනු ලබන බවයි. සාතන්ගේ වංශයේ වඩාත්ම බලවත් අදෘශ්‍යමාන අංගය වන භූතයන් අර්මගෙදොන්හිදී විනාශ වුණා නම්, වනමෘගයා හා බොරු අනාගතවක්තෘ සමඟ භූතයන්ද එම සංකේත විලේ සිටින බව අනිවාර්යයෙන්ම එම පදයේ සඳහන් විය යුතුයි. මේ අනුව, එළිදරව් 20:10හි ඔවුන් ගැන එසේ සඳහන් නොවීමෙන් අඟවන්නේ අර්මගෙදොන්හිදී භූතයන් විනාශ නොවන බවයි.
භූතයන්ව අගාධයට හෙළනු ලැබීම ගැන කෙළින්ම සඳහන් නොකරන නිසා, ඔවුන්ව එතැනින් නිදහස් කරනු ලබන බවක් විශේෂයෙන් සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට ලැබෙන විපාකය යක්ෂයාට ලැබෙන විපාකයට සමානයි. දහස් වසර අවසානයේදී යක්ෂයා සමඟ නිදහස් කරනු ලබන භූතයන්, මිනිස් වර්ගයාගේ අවසාන පරීක්ෂණයේදී යක්ෂයාට සහයෝගය දැක්වූවායින් පසුව, ගිනි විලට හෙළනු ලබනවා. මෙසේ ඔවුන්ට සදාකාල විනාශය අද්දකින්නට සිදු වෙනවා.—එළිදරව් 20:7-9.
එම නිසා එළිදරව් 20:1-3හි ක්‍රියා විරහිත තත්වයක් අඟවන අගාධයට සාතන්ව පමණක් හෙළනු ලැබීම ගැන සඳහන් කළත්, ඔහුගේ දූතයන්වත් බැඳ අගාධයට දමනු ලබයි කියා අපට තර්කානුකූලව නිගමනය කළ හැකියි. ක්‍රිස්තුස්ගේ දහස් වසර පාලන සමය තුළ පොළොව පාරාදීසයක් කිරීම හා මිනිස් වර්ගයාව සම්පූර්ණත්වයට පත් කිරීම සම්බන්ධයෙන් දෙවිගේ අරමුණට බාධා කිරීමට සාතන්ටවත් ඔහුගේ භූත සේනාවටවත් ඉඩ දෙනු ලබන්නේ නැහැ.