“සෝදිසියෙන් සිටින්න”
“සෝදිසියෙන් සිටින්න”
පුරාණ කාලවලදී නගරවල සහ දේවමාලිගාවල දොරටු අසල දොරටු පාලකයන් සේවය කළා. සමහර මිනිසුන්ගේ පෞද්ගලික නිවාසවලටත් දොරටු පාලකයන් සිටියා. රාත්රියේදී දොරටු වැසීම පමණක් නොව මුරකරුවන් ලෙස සේවය කිරීමත් ඔවුන්ගේ වැඩ කොටසට ඇතුළත් වුණා. මෙය ඉතාමත්ම භාරදූර වගකීමක්. නගරයේ ආරක්ෂාව රඳා පැවතුණේ මුරකාරයා අනතුරක් දුටු විගස ජනයාට දෙන අනතුරු ඇඟවීම මතයි.
දොරටු පාලකයන්ට තිබූ වැඩ කොටස ගැන යේසුස් ක්‍රිස්තුස් හොඳින් දැනගෙන සිටියා. එක් අවස්ථාවකදී ඔහු තම ගෝලයන්ව දොරටු පාලකයන්ට සමාන කරමින් යුදෙව් සමාජ ක්රමයේ අවසානය ගැන සෝදිසියෙන් සිටින මෙන් ඔවුන්ට දිරිගැන්නුවා. ඔහු පැවසුවේ මෙයයි. “නියම කරන ලද කාලය කවදාදැයි ඔබ නොදන්නා හෙයින් පරෙස්සමෙන් සිටින්න, අවදිව සිටින්න. . . . සෝදිසියෙන් සිටින්නැයි දොරටු පාලයාට අණ දී, තම නිවස අත්හැර පිටරට ගිය මිනිසෙකුට එය සමානය. නිවසෙහි ස්වාමියා කොයි වේලේ එන්නේද [කියා] . . . ඔබ නොදන්නා හෙයින් සෝදිසියෙන් සිටින්න.”—මාක් 13:33-35.
දැන් වසර 125කට අධික කාලයක් පුරා මුරටැඹ නමැති මෙම සඟරාව මගින් “සෝදිසියෙන් සිටින්න” කියා යේසුස් දුන් ආඥාව පතළ කර තිබෙනවා. ඒ කෙසේද? මෙම සඟරාවේ 2වෙනි පිටුවේ සඳහන් ආකාරයට මෙම සඟරාව “ලෝක සිද්ධීන් වෙත දිගටම අවධානය යොමු කරමින් ඒවා තුළින් බයිබල් අනාවැකි ඉටු වන ආකාරය දෙස එය බලා සිටී. සෙසු ජනයාට පීඩා කරන අයව ළඟදීම දේවරාජ්‍යය මගින් විනාශ කරන බවටත් පෘථිවිය පාරාදීසයක් කරන බවටත් වූ ශුභාරංචිය දැනුම් දීමෙන් එය සියලුම ජනයාට සැනසීමක් ගෙන දෙයි.” මුරටැඹ සඟරාවේ සෑම කලාපයක්ම භාෂා 150කින් සම්පාදනය කරනු ලබන අතර පිටපත් 2,60,00,000ක් මුද්‍රණය කර බෙදාහරිනවා. මේ අනුව දැනට ලෝකයේ වැඩියෙන්ම බෙදාහරිනු ලබන ආගමික සඟරාව මෙයයි. පුරාණයේ විසූ දොරටු පාලකයන් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද මෙම සඟරාව යොදාගෙන සෑම තැනකම සිටින මිනිසුන්ට උනන්දු කරන්නේ ආත්මිකව ‘අවදියෙන් සිටීමටයි.’ ඊට හේතුව මෙම සමාජ ක්‍රමයට විනිශ්චය ඉටු කිරීමට ඔවුන්ගේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණීම ආසන්න නිසයි.—මාක් 13:26, 37.