විද්‍යාව හා බයිබලය එකිනෙකට පටහැනිද?
විද්‍යාව හා බයිබලය එකිනෙකට පටහැනිද?
කතෝලික සභාව සහ ගැලිලියෝ අතර ඇති වූ ගැටුමේ සුල මුල කුමක්ද? කොපර්නිකස් සහ ගැලිලියෝ ජීවත් වූ කාලයෙන් අවුරුදු දහසකට වඩා කාලයක් අප අතීතයට ගමන් කරමු. ඒ, ආකාශ වස්තු පෘථිවිය වටා පිහිටා ඇති බවට පුරාණ ග්‍රීකයන් විසින් මතයක් ප්‍රබන්ධ කරන ලද කාල වකවානුවයි. එම මතය ප්‍රසිද්ධ වූයේ දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384-322) සහ තාරකා ශාස්ත්‍රඥ ටොලමි (ක්‍රි.පූ. දෙවන සියවස) ඊට අනුග්‍රහය දැක්වූ නිසාය. *
විශ්වය පිළිබඳ ඇරිස්ටෝටල් ඉදිරිපත් කළ සංකල්පයට අඩිතාලම වැටුණේ ග්‍රීක ගණිතඥයෙකු හා දාර්ශනිකයෙකු වූ පයිතගරස් (ක්‍රි.පූ. හයවන සියවස) ඉදිරිපත් කළ අදහස්වලිනි. වෘත්තයක් සහ ගෝලයක් අංග සම්පූර්ණ හැඩ බව පයිතගරස් ඉදිරිපත් කළ මතය ඔහු පිළිගත්තේය. එම මතයේම එල්බගෙන සිටිමින් ඔහු පැවසුවේ පෘථිවි ගෝලය වටා ආකාශ වස්තු පිහිටා ඇත්තේ පළිඟු ස්තර කිහිපයක ආධාරයෙන් බවය. මෙම ස්තර කිහිපය ආකාශ වස්තු සමඟින් භ්‍රමණය වූයේ අවසානයට පිහිටි ස්තරය ආධාරයෙනි. එම ස්තරය දෙවිවරුන්ගේ බලය බව ඔහු පැවසීය. මීට අමතරව සූර්යයා සහ ආකාශ වස්තු නොවෙනස් වනසුලු, ලප හෝ කැලැල්වලින් තොර වස්තූන් බවත් ඇරිස්ටෝටල් කියා සිටියේය.
කොහොම නමුත් ඇරිස්ටෝටල්ගේ මතවලට පදනම වූයේ දර්ශනවාදයයි. ඒවා විද්‍යාත්මක සාක්ෂි මත පිහිටා තිබුණේ නැත. උදාහරණයකට, චලනය වන පෘථිවි ගෝලයක් ගැන සිතීම සාධාරණ නැති බව ඔහු සිතුවේය. පෘථිවිය ඇතුළුව ආකාශ වස්තු වටා හිස් අවකාශයක් ඇති බවට වූ අදහසද ඔහු එකහෙළාම ප්‍රතික්ෂේප කළේය. ඝර්ෂණය නිසා පෘථිවිය තරම් විශාල වස්තුවකට
යම් බාහිර බලයක ආධාරය නොමැතිව ගමන් කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. එවකට මිනිසුන් සොයාගත් දේ අනුව ඇරිස්ටෝටල් පැවසූ දේවල යම් සත්‍යතාවක් ඇති බව වැඩිදෙනාට හැඟුණු නිසා ඔහුගේ මත අවුරුදු 2,000කට ආසන්න කාලයක් පුරා සම්මතයක් සේ පිළිගන්නා ලදි. ක්‍රිස්තු වර්ෂ 16වන සියවසේදීත් ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ජාන් බෝඩාන් ඇරිස්ටෝටල්ගේ මත පිළිගනිමින් මෙසේ පැවසීය. “පෘථිවිය යනු බරින් වැඩි චලනය කිරීමට ඉතා අපහසු වස්තුවකි. එමනිසා භෞතික විද්‍යාව පිළිබඳව අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් ඇති කෙනෙක් පෘථිවිය තම කක්ෂය වටා සහ සූර්යයා වටා භ්‍රමණය වන බවට වූ තර්කය නිවැරදි බව පිළිගන්නේ නැත. ඇත්තෙන්ම පෘථිවිය සුළුවෙන් හෝ චලනය වුවහොත් ගම් බිම්, කඳු හෙල් විනාශ වනවා නියතය.”කතෝලික සභාව ඇරිස්ටෝටල්ට අනුග්‍රහය දක්වයි
ගැලිලියෝ සහ කතෝලික සභාව අතර සිදු වූ ගැටුමට හේතු වූ තවත් දෙයක් 13වන සියවසේ සිදු විය. එවකට කතෝලිකයන් මහත් ගෞරවයෙන් සැලකූ කෙනෙකු වූයේ තෝමස් ඇක්වයිනස් (1225-74) නමැත්තාය. ඇරිස්ටෝටල්ගේ දර්ශනයට ඉමහත් සේ ගෞරවය දැක්වූ ඇක්වයිනස් ඇරිස්ටෝටල්ව හැඳින්වූයේ උතුම් දාර්ශනිකයාණන් ලෙසයි. කතෝලික සභාවේ ඉගැන්වීම් ඇරිස්ටෝටල්ගේ දර්ශනයට සම්බන්ධ කිරීමට අවුරුදු පහක් පුරා ඔහු දැඩි උත්සාහයක නිරත විය. ගැලිලියෝගේ කාලය වෙද්දී “ඇරිස්ටෝටල්ගේ දර්ශනයෙන් පෝෂණය වූ ඇක්වයිනස්ගේ ධර්මය රෝමානු කතෝලික සභාවේ සම්මත ඉගැන්වීම් බවට පත් විය.” එම අදහස ඉදිරිපත් කළේ වේඩ් රෝලන්ඩ් නමැති ලේඛකයාය. (Galileo’s Mistake) අප මතක තබාගත යුතු තවත් දෙයක් වන්නේ එවකට ආගම හා විද්‍යාව නමින් ක්ෂේත්රයන් දෙකක් නොතිබුණු බවයි. එවකට උගතුන් ලෙස පෙනී සිටියේ ආගමික නායකයෝය. එබැවින් ආගම හා විද්‍යාව යන විෂයන් දෙකම හදාරමින් මහජනයාව රිසි පරිද්දෙන් දැනුවත් කළේ ඔවුන්ය.
ඉහත සඳහන් ඓතිහාසික කාරණාවලින් ගැලිලියෝ සහ කතෝලික සභාව අතර ඇති වූ ගැටුමට වේදිකාව සකස් වූ ආකාරය පෙනී යයි. ගැලිලියෝ තාරකා ශාස්ත්‍රය ගැන උනන්දු වීමට කලින් චලනය පිළිබඳව ලිපියක් රචනා කළේය. එම ලිපිය නිසා ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ඇරිස්ටෝටල්ගේ උපකල්පන බොහොමයක නිරවද්‍යතාව ගැන ඔහු ප්‍රශ්න කළේය. එනමුත් ධර්ම විරෝධීන්ගේ අධිකරණය ඉදිරියෙහි 1633දී ඔහු පෙනී සිටියේ ඒ හේතුව නිසා නොවේ. ඊට හේතු වූයේ සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ මැද පිහිටා ඇති බවට වූ අදහසට ඔහු දිගටම සහය දැක්වූ නිසාත්, එම අදහස ශුද්ධ බයිබලයට එකඟ වන බව ඔහු එකහෙළාම පැවසූ නිසාත්ය.
ගැලිලියෝ සිය ස්ථාවරයට පක්ෂව කතා කරමින් පැවසුවේ තමා බයිබලය දේවවචනය ලෙස එකහෙළාම පිළිගන්නා බවය. බයිබලය පොදු ජනයා සඳහා ලියනු ලැබූ පොතක් බවත් ඔහු පැවසීය. එම නිසා සූර්යයා චලනය වන බව බයිබලයේ සඳහන් කළත් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නොගත යුතු බව ඔහු තර්ක කළේය. ඔහු කොතරම් තර්ක ඉදිරිපත් කළත් ඉන් පලක් වූයේ නැත. ග්‍රීක් දර්ශනය පදනම් කරගෙන බයිබලයේ තොරතුරු අර්ථ දැක්වීමේ ස්ථාවරය ගැලිලියෝ ප්‍රතික්ෂේප කළ නිසා ඔහුව හෙළා දකින ලදි. ගැලිලියෝට ඔවුන් දුන් තීන්දුව වැරදි බව කතෝලික සභාව නිල වශයෙන් පිළිගත්තේ 1992දීය. එනම් අවුරුදු 300කට පසුවය!
අපට උගත හැකි පාඩම් මොනවාද?
මෙම සිදුවීම් සියල්ල දෙස බලද්දී අපට ඉන් යමක් උගත හැකිද? අප මුලින්ම තේරුම්ගත යුතු දෙයක් නම් ගැලිලියෝට බයිබලය ගැන කිසිදු සැකයක් තිබුණේ නැති බවය. ගැලිලියෝට ප්‍රශ්නයක් වූයේ කතෝලික සභාව ඉගැන්වූ දෙයයි. ආගම් ගැන හදාරන එක් ලේඛකයෙක් මෙසේ ලීවේය. “ගැලිලියෝ සමඟ ඇති වූ මතභේදයෙන් උගත හැකි පාඩම කුමක්ද? එනම් එය ඇති වූයේ කතෝලික සභාව බයිබලයේ ඉගැන්වීම්වලට දැඩි ලෙස පක්ෂව සිටි නිසා නොව, කතෝලික සභාව වෙනත් මතයන් පිළිගත් නිසාය.” ඔව් කතෝලික සභාව ග්‍රීක දර්ශනයේ බලපෑමට හසු විය. බයිබලයේ ඉගැන්වීම්වලට වඩා ඔවුන් ගරු කළේ මිනිස් සම්ප්රදායන්වලටය.
කතෝලික සභාවේ ක්‍රියාකලාපයෙන් අපට මතක් වන්නේ බයිබලයේ සඳහන් මෙම අනතුරු ඇඟවීමය. “ක්‍රිස්තුස්ට එකඟ නොවූ, මිනිස් සම්ප්‍රදායන්ටද ලෝකයේ මූලධර්මවලටද එකඟ වූ දර්ශනවාදයන් සහ හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන් කිසිවෙකු ඔබව කොල්ලයක් කර නොගන්නා හැටියට පරෙස්සම් වන්න.”—කොලොස්සි 2:8.
වර්තමානයේ වුවත් ක්‍රිස්තියානි ආගම්වල සිටින බොහෝදෙනෙක් මෙම අනතුරු ඇඟවීම නොසලකා හරිමින් බයිබලයට පටහැනි මත හා දර්ශන වැලඳගනිති. මීට එක් නිදසුනකි ඩාවින්ගේ පරිණාමවාදය. බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් විශ්වයේ මැවීම පිළිබඳ වාර්තාව ඔවුන් පසෙකට දමා තිබෙන්නේ ඩාවින්ගේ මතය ජනප්‍රිය දෙයක් බවට පත්ව ඇති *
නිසාය. ඇත්තෙන්ම ඩාවින්ව අද සලකන්නේ එදා ඇරිස්ටෝටල්ව සැලකූ ආකාරයටමය.විද්‍යාව හා බයිබලය එකඟ වන තැන්
මෙතෙක් ඉදිරිපත් කළ තොරතුරුවලින් අප බලාපොරොත්තු වන්නේ විද්‍යාව ගැන ඔබ දක්වන උනන්දුව අඩු කිරීමට නොවේ. දෙවි නිර්මාණය කර ඇති දේ හදාරන ලෙසටත්, අප දකින දෙයින් ඔහුගේ පුදුමාකාර ගුණාංග තේරුම්ගන්නා ලෙසටත් බයිබලයේ අපට දිරිගන්වා ඇත. (යෙසායා 40:26; රෝම 1:20) එනමුත් බයිබලය විද්‍යාව උගන්වන පොතක් නොවන බව අප මතක තබාගත යුතුය. එය ලියනු ලැබුවේ දෙවි මැවූ දෙයින් පමණක් උගත නොහැකි ඔහුගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති, ඔහුගේ ප්‍රමිති සහ මිනිස් වර්ගයා වෙනුවෙන් ඔහු කිරීමට බලාපොරොත්තු වන දේ ගැන තොරතුරු මිනිසාට හෙළි කිරීම සඳහාය. (ගීතාවලිය 19:7-11; 2 තිමෝති 3:16) කෙසේවෙතත් විශ්වය ඇතුළුව අවට ලෝකයේ සිදු වන දේවල් ගැන බයිබලයේ ඉදිරිපත් කරන තොරතුරු නිවැරදිය. මේ පිළිබඳව ගැලිලියෝ පැවසුවේ මෙසේය. “ශුද්ධ වූ බයිබලය ලියනු ලැබුවේත් අප අවට පරිසරය බිහි වුණෙත් දේවබලයෙනි. එසේ නම් මේ දෙක එකිනෙකට පටහැනි විය නොහැකිය.” මෙය තේරුම්ගැනීම සඳහා මතු දැක්වෙන උදාහරණ කිහිපය සලකා බලන්න.
විශ්වයේ සියලු වස්තු යම් නීති මගින් පාලනය වන බව කවුරුත් පිළිගනියි. ඉන් එක් නීතියකි ගුරුත්වය. භෞතික ලෝකය යම් නීති පද්ධතියක් මාර්ගයෙන් ක්‍රියාත්මක වන බව පයිතගරස් පැවසුවේ ක්‍රි.පූ. හයවන සියවසේ පමණය. ඔහු පැවසුවේ ආකාශ වස්තුවල පිහිටීම ගණිත ශාස්ත්‍රය උපයෝගි කරගෙන ගණනය කළ හැකි බවය. අවුරුදු 2,000කට පසුව සෑම වස්තුවක්ම යම් නිශ්චිත නීති මාලාවක් අනුව පාලනය වන බව ගැලිලියෝ, යොහැනස් කෙප්ලර් සහ අයිසැක් නිව්ටන් පැහැදිලිව ඔප්පු කළෝය.
බයිබලයේ මේ ගැන පවසන්නේ කුමක්ද? විශ්වය යම් නීති මාලාවක් මගින් පාලනය වන බව මුලින්ම සඳහන් කර තිබුණේ යෝබ් නමැති පොතෙහිය. ඒ, ක්‍රි.පූ. 1600දී පමණය. දෙවි යෝබ්ගෙන් මෙසේ ඇසීය. “ඔබ අහසේ නියමයන් [හෙවත් නීති] දන්නෙහිද?” (යෝබ් 38:33) ක්‍රිස්තු පූර්ව සත්වන සියවසේ ලියනු ලැබූ යෙරෙමියා නම් පොතේ සඳහන් කරන්නේ යෙහෝවා දෙවි “සඳ සහ තාරකාවල නියෝගයන්” සහ “අහසත්, පොළොවත් මෙහෙයවන නීති රීති” [නව අනුවාදය] සම්පාදනය කළ තැනැත්තා බවය. (යෙරෙමියා 31:35; 33:25) බයිබලය පිළිබඳව තොරතුරු හදාරන ජී. රෝලින්සන් නමැත්තා ඒ ගැන මෙසේ අදහස් පළ කළේය. “අප අවට ලෝකය විධිමත් නීති මාලාවක් මගින් පාලනය වේ යන අදහස නවීන විද්‍යාව තුළින් සනාථ වන්නා සේම ශුද්ධ ලියවිල්ලේ ලේඛකයන් විසින්ද පැහැදිලිව සනාථ කරනු ලැබේ.”
පයිතගරස් තම මතය පළ කළ කාලය සහ බයිබලයේ ඉහත සඳහන් අදහස් පළ වූ කාලය සසඳා බැලීමේදී අපට හෙළි වන්නේ කුමක්ද? එනම් යෝබ් පොතේ මේ පිළිබඳව අදහසක් පළ වූයේ පයිතගරස්ට වඩා අවුරුදු 1,000කට පමණ පෙරාතුව බවයි. මෙහිදී අප මතක තබාගත යුතු දෙයක් සඳහන් කිරීම වටී. බයිබලය ලියන ලද්දේ භෞතික ලෝකයේ තොරතුරු අපට අනාවරණය කිරීමට පමණක් නොවේ. එය ලියනු ලැබුවේ භෞතික නීති ඇතුළුව සියලු දේවල නිර්මාතෘවරයා හෙවත් මැවුම්කරු වන්නේ යෙහෝවා දෙවි බව අපට ඒත්තුගැන්වීම සඳහාය.—යෝබ් 38:4, 12, 13; 42:1, 2.
තවත් උදාහරණයක් සලකා බලන්න. එය නම් ජල චක්රයයි. ජල චක්‍රයේ ක්‍රියාකාරිත්වය සරලව විස්තර කළහොත් එය මෙසේය. මුලින්ම සමුද්‍රයේ තිබෙන ජලය වාෂ්ප වී වලාකුළු සෑදෙයි. ඉන් අනතුරුව එම වලාකුළුවල ගබඩා වී ඇති ජලය වැසි ලෙස ඇද හැලී, පොළෝ තලය තෙමා, ඇළ දොළ ගංගා මාර්ගයෙන් මුහුදට නැවත ගලා බසී. ජල චක්‍රය ගැන ක්‍රි.පූ. සතරවන සියවසේ තොරතුරු සඳහන් කර ඇතත් ඒ ගැන බයිබලයෙහි සඳහන් කර ඇත්තේ ඊටත් වඩා අවුරුදු සිය ගණනකට කලින්ය. උදාහරණයකට ක්‍රි.පූ. 11වන සියවසෙහි ඊශ්‍රායෙල් රාජ්‍යයේ සලමොන් රජ මෙසේ ලීවේය. “සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනටම නැවත වතුර යයි.”—ධර්මදේශකයා [දේශනාකාරයා] 1:7, න.අ.
ක්‍රිස්තු පූර්ව 800දී පමණ විසූ අනාගතවක්තෘවරයෙකු වූ ආමොස්ද ඒ ගැන සඳහන් කළේය. ඔහු ඉතා නිහතමානී එඬේරෙකු මෙන්ම කුලී වැඩ කරන්නෙකු වුවත්, ඉතා නිවැරදිව පැවසුවේ ‘මුහුදේ ජලධාරාවන්ට අඬගසන්නේත් ඒවා පොළෝ තලයෙහි වත් කරන්නේත්’ යෙහෝවා දෙවි බවය. (ආමොස් 5:8) ඉහත සඳහන් බයිබල් වාර්තා දෙකෙහිම ජල චක්‍රයේ ක්‍රියාවලිය විස්තර කිරීමට සලමොන් සහ ආමොස් සංකීර්ණ වචන මාලාවක් භාවිත කර නැත. එහෙත් වෙනම කෝණ දෙකකින් ඔවුහු ඒ ගැන නිවැරදිව විස්තර කරති.
තවත් උදාහරණයක් බලන්න. දෙවි ‘පොළොව හිස් අවකාශයෙහි එල්ලා තබන’ බව බයිබලයෙහි සඳහන් වෙයි. (යෝබ් 26:7, න.අ.) මෙම වචන ලියනු ලැබුවේ ක්‍රි.පූ. 1600දී පමණය. එවකට මිනිසා මෙවැනි දේවල් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් හා සැසඳූ කල, පෘථිවිය හා සමාන ගන වස්තුවක් කිසිදු දෘශ්‍යමාන ආධාරයකින් තොරව හිස් අවකාශයෙහි පාවෙනවා යන්න කෙනෙකු විසින් පැවසීමට සෑහෙන බුද්ධියක් හා ධෛර්යයක් අවශ්‍ය වනු ඇත. කලින් සඳහන් කළ පරිදි මීට අවුරුදු 1,200කට පසුව ජීවත් වූ ඇරිස්ටෝටල් පවා මෙවැනි අදහසක් ප්‍රතික්ෂේප කළේය.
බයිබලය ලියනු ලැබූ කාලයේදී මිනිසුන් හාස්‍ය උපදවන මතිමතාන්තර ඉදිරිපත් කළත් බයිබලය ඉතා නිවැරදිව තොරතුරු ඉදිරිපත් කළ ආකාරය ඔබ දුටුවාද? ඔබ ඉන් මවිතයට පත් වූවාද? ඇත්තටම මෙවැනි කාරණාවලදී බයිබලයේ නිරවද්‍යතාව ඒත්තුගැනීමෙන් පසුව එය දෙවිගේ මඟ පෙන්වීමෙන් සම්පාදනය කරනු ලැබූ බව තව තවත් සනාථ වේ. එම නිසා දේවවචනයට පටහැනිව උගන්වන ඉගැන්වීම්වලින් හෝ මතවලින් ප්‍රවේසම් වීම නුවණට හුරු දෙයකි. මන්ද ඉතා බුද්ධිමත් මිනිසුන් පවා ප්‍රබන්ධ කරන මත, ඉදිරිපත් කරන අදහස්, ජනප්‍රිය වුවත් ඒවා සැණෙකින් පහ වී යයි. එනමුත් ‘යෙහෝවා දෙවි පවසන දේ සදහට පවතින්නේය.’—1 පේතෘස් 1:25.
[පාදසටහන්වල]
^ 2 ඡේ. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සාමොස් දිවයිනේ ඇරිස්ටාකස් නම් ග්‍රීකයෙක් ආකාශ වස්තු සූර්යයා වටා පිහිටා ඇති බවට මතයක් ඉදිරිපත් කළත් ඇරිස්ටෝටල්ගේ මතයට අනුග්‍රහය දැක්වූ වැඩිදෙනා එය ප්‍රතික්ෂේප කළෝය.
^ 12 ඡේ. මෙම විෂය ගැන තවත් තොරතුරු සම්භාරයක් ලබාගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ඉංග්‍රීසියෙන් පළ කර ඇති Life—How Did It Get Here? By Evolution or by Creation? යන පොතේ “Why Do Many Accept Evolution?” නමැති 15වන පරිච්ඡේදය බලන්න.
[6වන පිටුවේ කොටුව⁄පින්තූර]
රෙපරමාදු සභාවේ ස්ථාවරය
රෙපරමාදු සභාවේ නායකයෝද සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ මැද පිහිටා ඇති බවට වූ අදහසට විරුද්ධ වූහ. ඔවුන් අතර මාටින් ලූතර් (1483-1546), ෆිලිප් මෙලන්තන් (1497-1560) සහ ජෝන් කැල්වින් (1509-64) යන අය සිටියෝය. කොපර්නිකස් ගැන ලූතර් පැවසුවේ මෙවැනි දෙයකි. “ඒ මෝඩයා තාරකා ශාස්ත්‍රය කණපිට හරවන්නයි උත්සාහ කරන්නේ.”
මෙම ආගමික නායකයෝ බයිබලයේ ඇතැම් පදවල අදහස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගනිමින් ඔවුන්ගේ තර්කවලට පදනම වශයෙන් ඒවා යොදාගත්හ. නිදසුනකට ඔවුන් යෝෂුවා 10වන පරිච්ඡේදයේ සඳහන් විස්තරය ගෙනහැර දක්වමින් පැවසුවේ සූර්යයා සහ චන්ද්‍රයා ‘නොසෙල්වී සිටින’ බවය. * මෙම රෙපරමාදු නායකයන් මෙවැනි මතයක එල්බගෙන සිටියේ මන්ද? කතෝලික සභාවෙන් කැඩී ආවත් රෙපරමාදු නායකයන් ඇරිස්ටෝටල් සහ තෝමස් ඇක්වයිනස් “ඉගැන්වූ දේවල් ප්‍රතික්ෂේප කිරීමට අසමත් වූ” බව එක්තරා පොතක (Galileo’s Mistake) සඳහන් වේ. ඒ ඉගැන්වීම් “කතෝලික රෙපරමාදු දෙපාර්ශ්වය විසින්ම පිළිගන්නා ලදි.”
[පාදසටහන]
^ 28 ඡේ. විද්‍යාත්මක කෝණයකින් බැලුවොත් අපට ‘ඉර නඟිනවා’ සහ ‘ඉර බහිනවා’ කියා පැවසීම වැරදිය. එනමුත් එදිනෙදා කතා බහේදී එසේ පවසන විට එය කොයි කවුරුත් තේරුම්ගනිති. පෘථිවිය මත සිටින පුද්ගලයෙකුගේ කෝණයෙන් එවැනි දෙයක් සිදු වන බව පෙනෙන නිසා එසේ පැවසීමේ වරදක් නැත. යෝෂුවාද තාරකා ශාස්ත්‍රය ගැන කතා කරමින් සිටියේ නැති බව මතක තබාගත යුතුයි. ඔහු කළේ ඔහු දුටු සිද්ධියක් ඒ ආකාරයට විස්තර කිරීම පමණි.
[පින්තූර]
ලූතර්
කැල්වින්
[හිමිකම් විස්තර]
Servetus and Calvin යන නමින් 1877දී පළ වූ පොතෙන්
[4වන පිටුවේ පින්තූරය]
ඇරිස්ටෝටල්
[හිමිකම් විස්තර]
A General History for Colleges and High Schools යන නමින් 1900දී පළ වූ පොතෙන්
[5වන පිටුවේ පින්තූරය]
තෝමස් ඇක්වයිනස්
[හිමිකම් විස්තර]
Encyclopedia of Religious Knowledge යන නමින් 1855දී පළ වූ පොතෙන්
[6වන පිටුවේ පින්තූරය]
අයිසැක් නිව්ටන්
[7වන පිටුවේ පින්තූරය]
පෘථිවියේ ජල චක්‍රය ගැන මීට අවුරුදු 3,000කට පෙර බයිබලයෙහි සඳහන් විය