Skip to content

පටුනට යන්න

බයිබල් ඉතිහාසය කොතරම් නිවැරදිද?

බයිබල් ඉතිහාසය කොතරම් නිවැරදිද?

බයිබල් ඉතිහාසය කොතරම් නිවැරදිද?

ඊශ්‍රායෙල් ජනරජයේ හිටපු ජනාධිපති කිම් හර්සොග් සහ ටෙල් අවිව් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මෝර්ඩෙකී ගීකොන් යන දෙදෙනා ලියූ කෘතියක (Battles of the Bible [බයිබලයෙහි සඳහන් සටන්]) පහත සඳහන් අදහස් පළ කර ඇත:

“බයිබලයේ සඳහන් යුද්ධ පිළිබඳ විස්තර නිකම්ම අතින් දමා ලියූ ඒවා විය නොහැකියි. නිදසුන් වශයෙන් විනිශ්චයකාරයෝ පොතේ 6 සිට 8 දක්වා පරිච්ඡේදවල සඳහන් කර ඇති, මිදියන්වරුන් සහ ඔවුන්ගේ මිත්‍ර හමුදාවන් සමඟ ගිඩියොන් කළ සටන, හෝමර් විසින් ලියන ලද ඉලියඩ් නම් ග්‍රන්ථයේ විස්තර කරන ලද ට්‍රෝජන් යුද්ධය සමඟ සසඳමු. ට්‍රෝජන් යුද්ධය සිදු වූ ස්ථානය පෙන්වීම සඳහා ඕනෑම මුහුදු වෙරළක් හා ආරක්ෂක නුවරක් සලකුණු කළ හැකියි. නමුත් ගිඩියොන්ගේ සටන පිළිබඳ බයිබලයේ සඳහන් වාර්තාව එසේ නොවේ. සතුරු හමුදාවන්ගේ හා මිත්‍ර හමුදාවන්ගේ යුද්ධ උපක්‍රම හා යුද්ධමය විස්තර මෙන්ම ඔවුන් ආ ගිය තැන් පිළිබඳව ඉතා සවිස්තර තොරතුරු සපයා ඇත. එම සිදුවීම්, දිගින් කිලෝමීටර් 60ක් තරම් වූ ප්‍රදේශයක් පුරා සිදු වූ බවටද සඳහන් වේ. ඒවා සිතෙන් මවාගෙන විස්තර කළ හැකි කාරණා නම් නොවේ. මේ සියලු කාරණා සලකා බලන කල, බයිබලයේ විස්තර කර ඇති යුද්ධ පිළිබඳ තොරතුරු අපට අනිවාර්යයෙන්ම පිළිගැනීමට සිදු වේ.”

‘ඒ සරුසාර දේශය දැකගනිමු’  * නමැති සිතියම් පොතේ 18වන සහ 19වන පිටු හොඳින් සෝදිසි කිරීමෙන් ගිඩියොන් කළ සටන පැවති ප්‍රදේශ පිළිබඳව යම් අදහසක් ලබාගැනීමට ඔබට හැකියි. මෙම කතාව ආරම්භ වෙන්නේ, “සියලු මිදියන් හා අමෙලෙක්වරුද පෙරදිග පුත්‍රයෝද රැස්ව එතෙර ගොස් යෙශ්‍රෙයෙල් මිටියාවතේ කඳවුරු බැඳගත්තෝය” යන විස්තරය සමඟිනි. ගිඩියොන් තමාට උපකාර කරන ලෙස අසල්වාසී ගෝත්‍රවලට ඇරයුම් කළේය. හාරොද්හි උල්පත පිහිටි ප්‍රදේශයේ සිට මෝරේ කන්ද දක්වා සටන සිදු වූ අතර, ඉන් පසුව යොර්දාන් ගඟේ නිම්නයේ පහළ ප්‍රදේශය දක්වාද මෙම සටන සිදු විය. යොර්දාන් ගඟෙන් එගොඩ වී සතුරු හමුදාවන් පසුපස ලුහුබැඳ ගිය ගිඩියොන් එහිදී ඔවුන්ව අල්ලාගත්තේය.—විනිශ්චයකාරයෝ 6:33–8:12.

‘ඒ සරුසාර දේශය දැකගනිමු’ පොතේ කලින් සඳහන් කළ සිතියමේ, එම සටනට සම්බන්ධ වූ වැදගත් ස්ථාන සහ දේශයේ යම් යම් භූ ලක්ෂණ පිළිබඳව විස්තර සපයා තිබේ. තවත් සිතියමක (15වන පිටුව) පෙන්වන්නේ ඊශ්‍රායෙල් ගෝත්‍රවලට පිළිවෙළින් හිමි භූමි ප්‍රදේශයි. බයිබලයේ සඳහන් මෙම වාර්තාවන් කොතරම් නිවැරදිද කියා මෙම සිතියම් දෙකම පරීක්ෂා කිරීමේදී ඔබට වැටහේවි.

මේ ගැන තවදුරටත් පැහැදිලි කරන කාරණයක් මහාචාර්යවරයෙකු වූ නැසීගිය යොහනාන් අහරෝනි නිරීක්ෂණය කළ දෙයින් පෙනී යයි. “බයිබලයේ සඳහන් දේශවල භූගෝලීය කරුණු හා ඉතිහාසය කොතරම් ගැඹුරින් එකිනෙකට බැඳී තිබේද යත්, මේ එකක්වත් අනෙකේ උපකාරය නැතුව තේරුම්ගන්නට බැරිය.”

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පසුබිමේ සිතියම: Pictorial Archive මගින් හිමිකම් ලද සිතියම් අනුසාරයෙන් (Near Eastern History) Est. සහ ඊශ්‍රායෙලයේ සමීක්ෂණයකින්