වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා!
වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා!
යෝබ් දරුණු පීඩාවකට මුහුණ දී සිටියදී එලීපස්, බිල්දද් සහ ශෝපර් යන ඔහුගේ මිත්‍රයන් තුන්දෙනා ඔහුව බැහැදැකීමට පැමිණියා. ඔවුන් පැමිණියේ ඔහුගේ දුක බෙදාගනිමින් ඔහුව සැනසීමටයි. (යෝබ් 2:11) මේ තුන්දෙනා අතරින් වැඩිමල් පුද්ගලයා මෙන්ම කතාවට දක්ෂ පුද්ගලයා වූයේ එලීපස්. යෝබ් සමඟ මුලින්ම කතා කළේ ඔහුයි. එමෙන්ම වැඩිපුර කතා කළේත් ඔහුයි. ඔහු යෝබ් සමඟ කතා කළ අවස්ථා තුනේදීම ඔහුගේ සිතුවිලි ගැන හෙළි වූයේ මොනවාද?
එක්තරා අවස්ථාවකදී එලීපස් අද්දුටු අසාමාන්‍ය අද්දැකීමක් ගැන ඔහු මෙසේ පැවසුවා. “එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය. මාගේ ඇඟේ මවිල් කෙළින් සිටියේය. එය නැවතුණේය. නමුත් එහි රූපාකාරය දැනගන්ට බැරි විය. මාගේ ඇස් ඉදිරියෙහි රූපයක් තිබුණේය. කිසි ශබ්දයක් නොවීය. මෙසේ කතා කරන හඬක් මට ඇසුණේය.” (යෝබ් 4:15, 16) එලීපස්ගේ සිතුවිලි කෙරෙහි මහත් බලපෑමක් ඇති කළේ කාගේ ආත්මය හෙවත් බලයද? ඔහු කළ කතාවලදී දෙවිට කළ චෝදනාවලින් පැහැදිලි වන්නේ ඔහු එසේ කතා කළේ අනිවාර්යයෙන්ම දේවදූතයෙකුගේ බලපෑමක් යටතේ නොවන බවයි. (යෝබ් 4:17, 18) ඔහු ලක් වුණේ දේවදූතයෙකුගේ බලපෑමට නොව දුෂ්ට භූතයෙකුගේ බලපෑමටයි. එය එසේ නොවුණා නම් එලීපස් හා ඔහුගේ මිත්‍රයන් දෙදෙනා බොරු කියූ බවට දෙවි ඔවුන්ට චෝදනා කරන්නේ නැහැ.—යෝබ් 42:7.
එලීපස් පැවසූ දේවලින් පැහැදිලි වන්නේ කුමක්ද? වැරදි සිතුවිලි අපේ සිත්වලට ඇතුල් වීම වළක්වාගත යුත්තේ ඇයි? වැරදි සිතුවිලිවලට එරෙහිව සිටීම සඳහා අපට කළ හැක්කේ මොනවාද?
“ඔහු තම මෙහෙකරුවන් විශ්වාස නොකරන්නේය”
එලීපස් කතා කළ අවස්ථා තුනේදීම ඔහු පෙන්නුම් කළේ දෙවි මනුෂ්‍යයන්ගෙන් බලෙන් දේවල් ඉල්ලා සිටින බවයි. දෙවි ඔවුන් කරන කිසිම දෙයකින් සෑහීමට පත් නොවන බවයි. එලීපස් යෝබ්ට මෙසේ පැවසුවා. “බලව, ඔහු තමන් මෙහෙකරුවන් විශ්වාස නොකරන්නේය. ඔහු තමන් දූතයන් අඥානයන් කොට ඔවුන්ට දොස් තබන්නේය.” (යෝබ් 4:18) තවත් අවස්ථාවකදී ඔහු දෙවි ගැන මෙසේද පැවසුවා. “ඔහු තමන් ශුද්ධවන්තයන් කෙරෙහි විශ්වාසය නොතබන්නේය. එසේය, ස්වර්ගයෝ ඔහු ඉදිරිපිට පිරිසිදු නැත.” (යෝබ් 15:15) ඔහු යෝබ්ගෙන් මෙසේ ඇසුවා. “ඔබේ ධර්මිෂ්ඨකමෙන් සර්වපරාක්‍රමයාණන්ට කිසි ප්‍රීතියක් . . . ඇද්ද?” (යෝබ් 22:3) ඔහු කළ මේ ප්‍රකාශය බිල්දද්ද අනුමත කරමින් මෙසේ පැවසුවා. “හඳ පවා දීප්තිමත් නොවේ. ඔහු [දෙවි] ඉදිරිපිට තාරකාවෝ පිරිසිදු නොවෙති.”—යෝබ් 25:5.
එවැනි සිතුවිලි අපේ සිත් තුළත් ඇතිවීමට අපි කිසිම ඉඩක් නොදිය යුතුයි. අපි එවැනි සිතුවිලිවලට ඉඩ දුන්නොත්, අපට කළ හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා කියා අපටත් සිතෙන්න පුළුවන්. මෙම ආකල්පය දෙවියි අපයි අතර තිබෙන සම්බන්ධතාවට අහිතකර ලෙස බලපානවා. මෙවැනි සිතුවිලි අප තුළත් ඇති වුණොත් යම් කෙනෙක් අපේ වැරදි අඩු පාඩු පෙන්වා දෙන විට ඒවා අපි පිළිගනියි කියා සිතන්න බැහැ. අපි නිහතමානිව අපේ වැරදි පිළිගන්නවා වෙනුවට “යෙහෝවාට විරුද්ධව” තරහක් අපේ සිත්වල ඇති වෙන්න ඉඩ තිබෙනවා. (හිතෝපදේශ 19:3) මෙවැනි තත්වයක් ඇති වුණොත් එය දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධතාවට මොන තරම් තර්ජනයක් විය හැකිද!
“මනුෂ්‍යයෙකු දෙවිට ප්‍රයෝජන විය හැකිද?”
දෙවි මිනිසුන්ගෙන් බලෙන් දේවල් ඉල්ලා සිටිනවා කියන්නේ ඔහුට මිනිසුන්ගෙන් ප්‍රයෝජනයක් නැහැයි කියන එකයි. එලීපස් කතා කළ තුන්වෙනි අවස්ථාවේදී ඔහු මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. “මනුෂ්‍යයෙකු දෙවිට ප්‍රයෝජන විය හැකිද? සැබවින් නුවණක්කාරයා තමාටම ප්‍රයෝජනවත් වේ.” (යෝබ් 22:2) එලීපස් කියා සිටියේ දෙවිට මිනිසුන්ගෙන් වැඩක් නැති බවයි. ඒ හා සමාන අදහසක් බිල්දද්ද පැවසුවා. “දෙවි ඉදිරිපිට මනුෂ්‍යයා ධර්මිෂ්ඨ වන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියකගෙන් උපන් අය පවිත්‍ර වන්නේ කොහොමද?” (යෝබ් 25:4) එවැනි තර්ක ඉදිරිපත් කරන විට සාමාන්‍ය මනුෂ්‍යයෙකු වූ යෝබ්ට දෙවි ඉදිරියේ තමන්ගේ ධර්මිෂ්ඨ තත්වය පවත්වාගැනීම ඇත්තෙන්ම අභියෝගයක් වූවාට සැකයක් නැහැ.
සමහර අය තමන්ව අඩුවෙන් තක්සේරු කරගන්න නිසා පීඩා විඳිනවා. ඔවුන්ට එවැනි හැඟීම් ඇති වන්නේ ඔවුන්ගේ පවුල් පසුබිම නිසා හෝ ජීවිතයේ මුහුණපාන්න සිදු වූ සමහර පීඩා නිසා හෝ විය හැකියි. එහෙමත් නැත්නම් ජාතිය හෝ කුලය හේතුවෙන් සමාජයෙන් කොන්වීමට සිදු වූ නිසා විය හැකියි. මේ මොනම හේතුවක් නිසා හෝ කෙනෙක් තදබල ලෙස සිතින් දුක් විඳිනවා නම් සාතන් හා ඔහුගේ භූතයන් එයින් සතුටට පත් වෙනවා. තමන් කරන කිසිම දෙයකින් දෙවි සතුටු වන්නේ නැහැයි කියා සාතන් හා භූතයන් කරන ඒත්තුගැන්වීම්වලින් යමෙක් මුළා වුණොත් ඒ කෙනා තවත් අධෛර්යය වෙනවා. කාලයක් යන විට මෙවැනි කෙනෙක් සත්‍යය මාර්ගයෙන් ටිකෙන් ටික ගසාගෙන යෑමට පමණක් නොව සම්පූර්ණයෙන්ම ඈත් වෙන්නත් පුළුවන්.—හෙබ්‍රෙව් 2:1; 3:12.
වයස්ගත වීම නිසා හා ශාරීරික දුබලතා නිසා කෙනෙකුට කළ හැකි ප්‍රමාණය සීමා වෙනවා. අප තරුණව සිටි කාලයේදී හා ශක්තිමත්ව සිටි කාලයේදී රාජ්‍ය වැඩකටයුතුවල හවුල් වූ ප්‍රමාණය හා දැන් අපි කරන සේවය අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. දැන් අපි කරන්නේ ටිකක් වෙන්න පුළුවන්. නමුත් මතක තබාගත යුතු දෙයක් නම් සාතන්ට හා ඔහුගේ භූතයන්ට අවශ්‍ය වන්නේ අපි දෙවිට කරන සේවය ප්‍රමාණවත් නැහැයි කියා හැඟීමක් අප තුළ ඇති කිරීමයි. අපි එවැනි වැරදි හැඟීම්වලට ඉඩ නොදිය යුතුයි.
අධෛර්යය කරවන සිතුවිලිවලට ඉඩ නොදෙමු
සාතන් විසින් යෝබ්ට දරුණු පරීක්ෂා ගෙන ආවත් ඔහු මෙසේ පැවසුවා. “මා නසින තෙක් මාගේ අවංකකම පහ නොකරන්නෙමි.” (යෝබ් 27:5) දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය නිසා මොනම තත්වයකට මුහුණ දීමට සිදු වුවත් දෙවිට විශ්වාසවන්තව සිටීමට යෝබ් අධිෂ්ඨාන කරගත්තා. වැරදි සිතුවිලිවලින් අපව ආරක්ෂා කරගැනීමට ගත යුතු වැදගත් පියවරක් ගැන මෙහි පෙන්නුම් කරනවා. එනම් දෙවි අපට පෙන්වා තිබෙන ප්‍රේමය ගැන අප දැනගෙන සිටිය යුතු අතර එම ප්‍රේමය කෙරෙහි අගය කිරීමක් තිබිය යුතුයි. ඒ වගේම දෙවි කෙරෙහි අපේ ප්‍රේමය වැඩි කරගත යුතුයි. මෙය කළ හැක්කේ නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා යාච්ඤාපූර්වකව ඒ තොරතුරු මෙනෙහි කර බැලීමෙනුයි.
උදාහරණයක් ලෙස යොහන් 3:16හි මෙසේ පවසා තිබෙනවා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය.” දෙවි මිනිසුන්ට ඉමහත් සේ ප්‍රේම කරනවා. ඔහු අතීතයේදී මනුෂ්‍යයන් සමඟ කටයුතු කර තිබෙන ආකාරයෙන් එය මනාව පැහැදිලි වෙනවා. දෙවි නොයෙක් මනුෂ්‍යයන් සමඟ කටයුතු කර තිබෙන ආකාර ගැන මෙනෙහි කිරීමෙන් දෙවි කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය හා අගය වැඩි වෙනවා. එමෙන්ම ඔහු ගැන අප තුළ ඇති විය හැකි වැරදි සිතුවිලිවලින් ආරක්ෂා වීමටද එසේ මෙනෙහි කිරීම උපකාරවත් වෙයි.
සොදොම සහ ගෝමෝරාව විනාශ කරන්න පෙර යෙහෝවා ආබ්‍රහම් සමඟ ක්‍රියා කළ ආකාරය ගැන සලකා බලමු. යෙහෝවා ගෙනෙන්න යන විනාශය ගැන ආබ්‍රහම් ඔහුගෙන් අට සැරයක් ප්‍රශ්න කළා. මේ කිසිම අවස්ථාවකදී යෙහෝවා කෝප වුණේ නැහැ. ඔහු දුන් පිළිතුරුවලින් ආබ්‍රහම්ට ලොකු සහනයක් මෙන්ම නිසැකකමක් ඇති වුණා. (උත්පත්ති 18:22-33) සොදොම් නගරය විනාශ කරන විට ලොත්ට හා ඔහුගේ පවුලේ අයට කන්දකට පලා යන්න කියා දෙවි පැවසුවා. නමුත් ලොත් කන්දට පලා යනවා වෙනුවට ඒ අසල නුවරකට යෑමට අවසර ඉල්ලුවා. එයට යෙහෝවා මෙසේ පිළිතුරු දුන්නා. “ඔබ සඳහන් කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැන ඔබ පිළිගතිමි.” (උත්පත්ති 19:18-22) මෙම වාර්තාවලින් පෙනී යන්නේ දෙවි අසාධාරණ ලෙස දේවල් ඉල්ලන, කිසිම ප්‍රේමයක් නැති, තම බලය වැරදි විදිහට පාවිච්චි කරන පාලකයෙක් බවද? නැහැ කිසිසේත් නැහැ. එයින් පෙනී යන්නේ ඔහු ප්‍රේමණීය, කරුණාවන්ත, අනුකම්පාසහගත මෙන්ම අනුන්ව තේරුම්ගත හැකි පාලකයෙක් බවයි.
පුරාණ ඊශ්‍රායෙලයේ විසූ දාවිත්, ආරොන් හා මනස්සේ සමඟ දෙවි කටයුතු කළ ආකාරය සලකා බැලීමෙන් පැහැදිලිව පෙනී යන්නේ දෙවි මනුෂ්‍යයන්ගේ වැරදි හොයන කෙනෙකු නොවන බවයි. එමෙන්ම කිසිම කෙනෙකුට ඔහුව සතුටු කරන්න බැහැයි යන කාරණය බොරු බවයි. දැන් අපි ඒ ආදර්ශ තුන සලකා නික්මයාම 32:3, 4; ගණන් කතාව 12:1, 2; 20:9-13.
බලමු. ආරොන් බරපතළ වැරදි තුනක් කර තිබුණා. ඔහු රන් වස්සෙක් සෑදුවා. ඔහුගේ සහෝදරී වන මීරියම් සමඟ එකතු වී මෝසෙස්ව විවේචනය කළා. ඒ විතරක් නෙවෙයි, මෙරිබාහිදී යෙහෝවා කළ ප්රාතිහාර්යය සඳහා ඔහුට ගෞරවය හා ප්‍රශංසාව දුන්නේ නැහැ. ඒත් යෙහෝවා ඔහුගේ හොඳ ගුණාංග දැක්කා. ඒ නිසා ඔහුට ඔහුගේ මරණය දක්වාම උත්තම පූජකයා ලෙස සේවය කිරීමට යෙහෝවා ඉඩහැරියා.—දාවිත් රජ ඔහුගේ පාලන සමයේදී දරුණු පව් කළා. ඔහු අනාචාරයේ යෙදුණා, අහිංසක කෙනෙකුව මරණයට පත් කළා. වැරදි සංගණනයක් ගත්තා. ඒත් යෙහෝවා දාවිත්ගේ අවංක පසුතැවිල්ල සැලකිල්ලට ගෙන රාජ්‍යය පිළිබඳව ඔහු සමඟ ඇති කරගත් ගිවිසුම අඛණ්ඩව ඉදිරියට ගෙන ගියා. මේ නිසා දාවිත්ගේ මරණය දක්වාම රජකම් කිරීමට දෙවි ඔහුට ඉඩහැරියා.—2 සාමුවෙල් 12:9; 1 ලේකම් 21:1-7.
යූදාහි රජ මනස්සේ බාල් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පූජාසන තැනුවා, ඔහුගේ පුත්‍රයන් ගිනි මැදින් යැව්වා, භූතයන්ව සම්බන්ධ කරගෙන කරන ක්‍රියාවලට අනුබල දුන්නා. ඒ වගේම දේවමාලිගාවේ පිහිටි මළුවේ බොරු දෙවිවරුන්ට පූජාසන ගොඩනැඟුවා. ඒ වුණත් ඔහු හද පත්ලෙන්ම ඒ වැරදි ගැන පසුතැවිලි වූවාට පසු යෙහෝවා ඔහුට සමාව දුන්නා. ඔහුව වහල්භාවයෙන් මුදවා නැවතත් ඔහුට රජකම ලබා දුන්නා. (2 ලේකම් 33:1-13) කිසි කෙනෙක් තමන්ට වටින්නේ නැහැයි කියා දෙවි සිතනවා නම් එලෙස ක්‍රියා කරයිද? කොහෙත්ම නැහැ.
වැරදිකරු වන්නේ චෝදනා කරන්නාමයි
යෙහෝවා ගැන කළ චෝදනා සියල්ලක්ම අදාළ වන්නේ ඔහුට චෝදනා කළ සාතන්ටයි. සාතන් බිහිසුණු පුද්ගලයෙක්. ඔහු දේවල් බලෙන් ඉල්ලා සිටී. ඈත අතීතයේ බොරු වන්දනාව සමඟ බැඳී තිබූ දරුවන් පූජා කිරීමේ සිරිත දෙස බලද්දී මේ බව මනාව පෙනී යයි. දෙවිට විරුද්ධව කැරලිගැසූ ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ දරුවන්ව ගින්නෙන් පූජා කළා. මෙය නම් යෙහෝවාගේ සිතටවත් ආ දෙයක් නොවෙයි.—යෙරෙමියා 7:31.
වැරදි සොයන්නේ සාතන් මිසක යෙහෝවා නොවෙයි. එළිදරව් 12:10හි සාතන්ව හඳුන්වා දී ඇත්තේ “අපේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි චෝදනා කරන පැමිණිලිකරු” ලෙසයි. ඊට හාත්පසින්ම වෙනස්ව යෙහෝවා දෙවි ගැන ගීතිකාකරු මෙසේ පැවසුවා. “ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම් යෙහෝවා, සිටින්ට පුළුවන් කාටද? . . . . ඔබ වෙත කමාව ඇත්තේය.”—ගීතාවලිය 130:3, 4.
වැරදි සිතුවිලි තවදුරටත් නැති කාලයක්
සාතන් හා ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් පලවාහැරියාට පසු එහි දේවදූතයන් කොතරම් සහනයක් අද්දකින්න ඇද්ද! (එළිදරව් 12:7-9) ඉන්පසු මේ භූතයන්ට ස්වර්ගයේ සිටින දේවදූතයන් කෙරෙහි කිසිම බලපෑමක් කරන්න හැකියාවක් නැහැ.—දානියෙල් 10:13.
ඒ හා සමාන තත්වයක් ඉතා ඉක්මනින් මේ පොළොවේ සිටින අයටත් භුක්ති විඳින්න ලැබෙනවා. නුදුරු අනාගතයේදී ස්වර්ගයෙන් දේවදූතයෙක් අගාධයේ යතුරුද මහත් දම්වැලක්ද රැගෙන ඇවිත් සාතන්ව හා ඔහුගේ භූතයන්ව බැඳ එයට හෙළනු ලබනවා. (එළිදරව් 20:1-3) එය සිදු වූ විට පොළොවේ ඉන්න අපි කොතරම් සහනයක් අද්දකිනවා ඇද්ද!
ඒ කාලය දෙස මහත් ඕනෑකමින් බලා සිටින අතරේදී වැරදි සිතුවිලි අප තුළ ඇතිවීමට අප කිසිම ඉඩක් නොතැබිය යුතුයි. එවැනි නරක සිතුවිල්ලක් අපේ මනසට ඇතුල් වූ වහාම එය ඉවත් කර යෙහෝවා අපට දක්වා තිබෙන ප්‍රේමය ගැන කල්පනා කළ යුතුයි. එවිට ‘සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ඔබේ සිත්ද මනස්ද ආරක්ෂා කරනවා ඇත.’—ෆිලිප්පි 4:6, 7.
[26වන පිටුවේ පින්තූරය]
වැරදි සිතුවිලි තමන් තුළ ඇතිවීමට යෝබ් කිසිම ඉඩක් තැබුවේ නැහැ
[28වන පිටුවේ පින්තූරය]
යෙහෝවා දෙවි මිනිසුන්ව තේරුම්ගන්න පාලකයෙක් බව ලොත් දැනගත්තා