Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානි ආගම මුල් සියවසේ විසූ යුදෙව්වන් අතර පැතිරී යයි

ක්‍රිස්තියානි ආගම මුල් සියවසේ විසූ යුදෙව්වන් අතර පැතිරී යයි

ක්‍රිස්තියානි ආගම මුල් සියවසේ විසූ යුදෙව්වන් අතර පැතිරී යයි

වැදගත් රැස්වීමක් ක්‍රි.ව. 49දී යෙරුසලමේ පවත්වනු ලැබුවා. මුල් සියවසේ තිබූ ක්‍රිස්තියානි සභාවේ “කණු මෙන් වූ” යොහන්ද, පේතෘස්ද, යේසුස්ගේ අර්ධ සහෝදරයෙකු වූ යාකොබ්ද එම රැස්වීමට සහභාගි වුණා. පාවුල් හා ඔහු සමඟ දේවසේවයේ හවුල් වූ බානබස්ද එම රැස්වීමට පැමිණ සිටි බව වාර්තා වෙනවා. ඔවුන් සාකච්ඡා කළ එක් කාරණයක් වූයේ දේශනා කිරීම සඳහා එවකට තිබූ අතිවිශාල බලප්‍රදේශය වෙන් කරන ආකාරයයි. මේ ගැන පාවුල් මෙසේ පැහැදිලි කළා. “[ඔවුහු] අතට අත දී මාව සහ බානබස්ව පංගුකාරකමට පිළිගෙන, අප අන්‍යජාතීන් වෙතටද, ඔවුන් චර්මච්ඡේදනය වූ අය වෙතටද යා යුතු බව තීරණය කළහ.”—ගලාති 2:1, 9. *

ඉහත සඳහන් වූ පරිදි ඔවුන් එම රැස්වීමේදී එකඟත්වයකට පැමිණි කාරණය අපි තේරුම්ගත යුත්තේ කොහොමද? ශුභාරංචිය දේශනා කළ යුතුව තිබූ ප්‍රදේශ වෙන් කරනු ලැබුවේ යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය විසූ ප්‍රදේශ සහ වෙනත් ජාතීන් විසූ ප්‍රදේශ ලෙසද? එසේත් නැත්නම් ජාතීන් අනුව නොව ප්‍රදේශ අනුවද? මෙයට පිළිතුරු දැනගැනීම සඳහා ඊශ්‍රායෙල් දේශයෙන් පිටත විසූ යුදෙව්වන් පිළිබඳව ඉතිහාසයේ සඳහන් තොරතුරු විමසා බැලීම අවශ්‍යයි.

මුල් සියවසේ විසූ යුදෙව්වන්

මුල් සියවසේදී යුදෙව්වන් කොපමණ දෙනෙක් ඊශ්‍රායෙල් දේශයෙන් පිටත විසුවාද? එක් පොතක (Atlas of the Jewish World) පහත සඳහන් වී තිබෙන අදහසට විශාරදයන් බොහෝදෙනෙක් එකඟ වන බව පෙනෙන්න තිබෙනවා. ඊශ්‍රායෙල් දේශයෙන් පිටත විසූ යුදෙව්වන් ගණන “නිශ්චිතවම පැවසීම අමාරු වුණත් ක්‍රි.ව. 70ට කලින් යුදෙව්වන් මිලියන දෙකහමාරක් යුදයේ විසූ බවටත් තවත් යුදෙව්වන් මිලියන හතරකට වැඩි පිරිසක් එවකට පැවති රෝම අධිරාජ්‍යයේ පාලනය යටතේ පැවති වෙනත් ප්‍රදේශවල විසූ බවටත් බොහෝදුරට නිවැරදිව ගණන් බලා තිබෙනවා. . . . රෝම අධිරාජ්‍යයේ පාලන ප්‍රදේශවල සිටි මුළු ජනගහනයෙන් සියයට දහයක් යුදෙව්වන් වූ අතර ඔවුන්ගෙන් බහුතරයක්ම ජීවත් වුණේ එම අධිරාජ්‍යයට අයත් නැඟෙනහිර පළාත්වල තිබූ නගරවලයි. එහි සිටි ජනයාගෙන් සියයට 25කට වැඩි පිරිසක් යුදෙව්වන් වූවා කියා පැවසිය හැකියි.”

සිරියාව, කුඩා ආසියාව, බැබිලෝනිය, ඊජිප්තුව යන නැඟෙනහිර දෙසින් පිහිටි රටවල ප්‍රධාන යුදෙව් නගර පිහිටා තිබූ අතර, යුදෙව්වන් සුළු පිරිසක් යුරෝපයේද ජීවත් වුණා. මුල් සියවසේ සිටි ප්‍රසිද්ධ යුදෙව් ක්‍රිස්තියානීන් කිහිපදෙනෙක්ම ඊශ්‍රායෙල් දේශයෙන් පිටත ඉපදුණු අයයි. මීට උදාහරණ ලෙස සයිප්‍රසයේ බානබස්, මුලින්ම පොන්තසයේද පසුව රෝමයේද සිටි ප්‍රිස්කා සහ අකිලා, ඇලෙක්සැන්ඩ්‍රියාවේ අපොලොස් සහ ටාසස්හි පාවුල් යන අයව සඳහන් කළ හැකියි.—ක්‍රියා 4:36; 18:2, 24; 22:3.

ඊශ්‍රායෙල් දේශයෙන් පිට ප්‍රදේශවල වාසය කළ යුදෙව්වන් ඔවුන්ගේ මව්බිම සමඟ නිතර සබඳතා පැවැත්වුවා. ඔවුන් යෙරුසලමේ පිහිටි දේවමාලිගාවට වාර්ෂිකව බදු මුදල් එවීම ඊට එක් සාක්ෂියක් වෙනවා. මෙම මුදල් එවීම නමස්කාරයේ හවුල් වීමක් හැටියටත් දේවමාලිගාවේ වැඩකටයුතු සඳහා මෙන්ම එහි සේවය කළ අයගේ අවශ්‍යතා සපුරාලීම සඳහා දායක වීමක් හැටියටත් සලකනු ලැබුවා. මේ ගැන ජෝන් බාක්ලේ නමැති විශාරදයා මෙසේ පවසනවා. “ධනවතුන්ගෙන් ලැබුණු අමතර පරිත්‍යාග ඇතුළුව මෙම බදු මුදල් එකතු කිරීමේදී ඊශ්‍රායෙලයෙන් පිට විසූ යුදෙව්වන් ඔවුන්ගේ කොටස නොවරදවා ලබා දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා.”

සෑම අවුරුද්දකම යෙරුසලමේ පවත්වනු ලැබූ මංගල්‍යවලට බොහෝ ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත බැතිමතුන් පැමිණියා. ඊශ්‍රායෙලයෙන් පිටත විසූ යුදෙව්වන් ඔවුන්ගේ මව්බිම සමඟ සබඳතා පැවැත්වූ බවට මෙය තවත් සාක්ෂියක්. මේ බව ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවස ගැන ක්‍රියා 2:9-11 දක්වා සඳහන් වාර්තාවෙන් පැහැදිලි වෙනවා. එදින පැවති උත්සවයට පාර්තියා, මේදියාව, ඒලාම්, මෙසපොතේමියාව, කපදෝසිය, පොන්තසය, ආසියාව, ෆ්‍රිජිය, පම්ෆිලිය, ඊජිප්තුව, ලිබියාව, රෝමය, ක්‍රීටය හා අරාබිය යන ප්‍රදේශවලින් යුදෙව්වන් පැමිණ සිටියා.

යෙරුසලමේ සිටි ආගමික නායකයන් ඊශ්‍රායෙලයෙන් පිට ප්‍රදේශවල විසූ යුදෙව්වන් සමඟ ලිපි මාර්ගයෙන් අදහස් හුවමාරු කරගත්තා. ක්‍රියා 5:34හි සඳහන් නීතිය පිළිබඳ ගුරුවරයෙකු වූ ගමාලියෙල් බැබිලෝනියට අයත් ප්‍රදේශවලට සහ තවත් රටවලට ලිපි යැවූ බව වාර්තා වෙනවා. පාවුල් ක්‍රි.ව. 59දී පමණ සිරකරුවෙකු හැටියට රෝමයට පැමිණි කාලයේදී “යුදෙව්වරුන්ගේ ප්‍රධානීන්” පාවුල්ට මෙසේ පැවසුවා. “යුදයෙන් ඔබ ගැන අපට ලිපි ලැබුණේවත්, ඇවිත් සිටින සහෝදරයන් ඔබ ගැන කිසි දුෂ්ට දෙයක් අපට දැන්නුවේවත් පැවසුවේවත් නැත.” මෙයින් පෙනී යන්නේ යෙරුසලමේ සිට රෝමයට ලිපි හා වාර්තා නිතර යවා තිබෙන බවයි.—ක්‍රියා 28:17, 21.

ඊශ්‍රායෙල් දේශයෙන් පිට ප්‍රදේශවල විසූ යුදෙව්වන් භාවිත කළ බයිබලය වූයේ සෙප්ටූඅජින්ට් කියා හඳුන්වනු ලබන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ග්‍රීක පරිවර්තනයයි. මේ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “ඊශ්‍රායෙලයෙන් පිටත විසූ යුදෙව්වන් ශුද්ධ ලියවිල්ල හැටියට ඔවුන් විසින් කියවනු ලැබුවේ සෙප්ටූඅජින්ට් පරිවර්තනය කියා සිතීම නිවැරදියි.” මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් බොහෝ අවස්ථාවලදී එම පරිවර්තනය ඔවුන්ගේ ඉගැන්වීම්වලදී යොදාගත්තා. මේ ගැන යෙරුසලමේ සිටි ක්‍රිස්තියානි සභාවේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් දැන සිටියා.

මේ ලිපියේ මුලින්ම සඳහන් කළ රැස්වීම පැවැත්වූ ක්‍රි.ව. 49වන විටත් ශුභාරංචිය දමස්කයේ හා අන්තියෝකියේද සිරියාව හා ඒ අවටද විසූ යුදෙව්වන් අතර ව්‍යාප්ත වී තිබුණා. (ක්‍රියා 9:19, 20; 11:19; 15:23, 41; ගලාති 1:21) එම රැස්වීමට සහභාගි වූ අය ශුභාරංචිය ව්‍යාප්ත කිරීමේ ඉදිරි වැඩකටයුතු සැලසුම් කරන්න ඇති කියා සිතිය හැකියි. ශුභාරංචිය යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය අතර වර්ධනය වීම ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරු ගැන දැන් අපි විමසා බලමු.

පාවුල් කළ සංචාරයන් සහ ඊශ්‍රායෙලයෙන් පිට විසූ යුදෙව්වන්

පාවුල්ගේ මුල්ම පැවරුම වූයේ “[යේසුස් ක්‍රිස්තුස්ගේ] නාමය ජාතීන් වෙතටත් රජුන් වෙතටත් ඊශ්‍රායෙල් පුත්‍රයන් වෙතටත් ගෙන [යෑමයි].” * (ක්‍රියා 9:15) යෙරුසලමේ පවත්වන ලද රැස්වීමෙන් පසු පාවුල් ඊශ්‍රායෙලයෙන් පිට ප්‍රදේශවල සංචාරය කරද්දී එම ප්‍රදේශවල විසූ යුදෙව්වන්ට දේශනා කළා. (14වන පිටුවේ තිබෙන කොටුව බලන්න.) මෙයින් පෙනී යන්නේ යෙරුසලමේ පැවති රැස්වීමේදී ශුභාරංචිය දේශනා කළ යුතු බලප්‍රදේශ බෙදාගැනීම තීරණය කරනු ලැබුවේ ජාතීන් අනුව නොව ප්‍රදේශ අනුව බවයි. පාවුල් හා බානබස් බටහිර දෙසින් පිහිටි ප්‍රදේශවල ශුභාරංචිය දේශනා කළ අතර අනිත් අය යුදයේ හා නැඟෙනහිර දෙසින් පිහිටි යුදෙව්වන් බොහෝ පිරිසක් විසූ ප්‍රදේශවල සේවය කළා.

පාවුල් හා ඔහු සමඟ සේවය කළ අනිත් අය සිරියාවේ අන්තියෝකියේ සිට දෙවන මිෂනාරි ගමන ආරම්භ කළ කාලයේදී දෙවිගේ මඟ පෙන්වීමට අනුව ඔවුන් සිරියාවට බටහිර දෙසින් පිහිටි කුඩා ආසියාව හරහා ත්‍රෝවසය දක්වා සේවය කරගෙන ගියා. “[මැසිඩෝනියාවේ ජනයාට] ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙස දෙවි [ඔවුන්ව] කැඳවූ බව” තේරුම්ගත් නිසා ඔවුන් මැසිඩෝනියාවට ගියා. ටික කලකට පසු ඇතන්ස් හා කොරින්තිය ඇතුළු යුරෝපයේ පිහිටි වෙනත් නගරවලද ක්‍රිස්තියානි සභා පිහිටුවනු ලැබුවා.—ක්‍රියා 15:40, 41; 16:6-10; 17:1–18:18.

පාවුල් ක්‍රි.ව. 56දී ඔහුගේ තුන්වන මිෂනාරි ගමන අවසානයේදී තවත් බටහිර දෙසට වෙන්න ගමන් කිරීමට සැලසුම් කළා. මෙහිදී ඔහු සූදානම් වුණේ යෙරුසලමේ පැවැත්වූ රැස්වීමේදී තමන්ට හා තමන්ගේ හවුල් සේවකයන්ට පවරන ලද බලප්‍රදේශය පසු කර තවත් ඉදිරියට ගමන් කරන්නයි. මේ ගැන ඔහු මෙසේ ලිව්වා. “රෝමයේ සිටින ඔබටත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මට මහත් ඕනෑකමක් තිබේ.” තවද මම “ඔබව මුණගැසී ස්පාඤ්ඤයට යන්නෙමි.” (රෝම 1:15; 15:24, 28) එහෙත් යෙරුසලමට නැඟෙනහිරෙන් පිහිටි ප්‍රදේශවල විසූ විශාල යුදෙව් ජනපදවල කළ දේශනා සේවය ගැන කුමක් කිව හැකිද?

නැඟෙනහිර දිසාවේ පිහිටි යුදෙව් ජනපද

මුල් සියවසේදී ඊශ්‍රායෙලයෙන් පිටත වැඩිම යුදෙව් ජනගහනයක් සිටියේ ඊජිප්තුවෙයි. විශේෂයෙන්ම එහි අගනුවර වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ යුදෙව්වන් බොහෝදෙනෙක් වාසය කළා. වෙළඳ හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වූ එම නගරයේ යුදෙව්වන් දහස් ගණනක් වාසය කළ අතර නගරය පුරා සිනගෝග පිහිටා තිබුණා. ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපන් ෆීලෝ නම් යුදෙව් ජාතිකයා පවසා තිබෙන පරිදි ඒ කාලයේදී ඊජිප්තුව පුරා අඩුම තරමින් යුදෙව්වන් මිලියනයක්වත් වාසය කර තිබෙනවා. තවත් සැලකිය යුතු යුදෙව් ජනගහනයක් ඊජිප්තුව අසල පිහිටි ලිබියාවේ, සිරේනියේ හා ඒ අවට ප්‍රදේශවල වාසය කර තිබෙනවා.

ක්‍රිස්තියානීන් බවට පත් වූ ඇතැම් යුදෙව්වන් උපත ලැබුවේ එම ප්‍රදේශවලයි. ‘ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපන් අපොලොස්’ ගැනත් සිරියාවේ අන්තියෝකියේ පිහිටි ක්‍රිස්තියානි සභාවට සහය දුන් “සයිප්‍රසයෙන් සහ සිරේනියෙන් වූ සමහර මිනිස්සු” ගැනත් “සිරේනියේ ලූෂස්” ගැනත් බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 2:10; 11:19, 20; 13:1; 18:24) එවැන්ජලිස්තවරයෙකු වූ ෆිලිප් ඉතියෝපියානු නිලධාරියෙකුට සාක්ෂි දැරීම පිළිබඳවත් බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 8:26-39) මේ වාර්තා හැර මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් ඊජිප්තුව සහ ඒ අවට ප්‍රදේශවල කළ සේවය සම්බන්ධයෙන් බයිබලයේ වෙනත් වාර්තා නැහැ.

යුදෙව්වන් විසූ තවත් ප්‍රධාන නගරයක් වූයේ බැබිලෝනියයි. මේ නගරයට ඔබ්බෙන් පිහිටි පාර්තියාව, මේදියාව හා ඒලාම් නමැති ප්‍රදේශවලද යුදෙව්වන් වාසය කළා. එක් ඉතිහාසඥයෙක් පවසන පරිදි “ටයිග්‍රිස් හා යුප්‍රටීස් ගංගා අසල පිහිටි තැනිතලා ප්‍රදේශවල මෙන්ම ආර්මේනියාවේ සිට පර්සියානු බොක්ක දක්වාද, ඊසානදිග පිහිටි කැස්පියන් මුහුද දක්වාද, නැඟෙනහිර දෙසින් මේදියාව දක්වාද පිහිටි සෑම ප්‍රදේශයකම යුදෙව්වන් වාසය කළා.” එක් විශ්වකෝෂයකට (Encyclopaedia Judaica) අනුව එම ප්‍රදේශවල යුදෙව්වන් 8,00,000ක් හෝ ඊට වඩා වැඩි පිරිසක් ජීවත් වුණා. වාර්ෂිකව යෙරුසලමේ පැවැත්වූ මංගල්‍යවලට සහභාගි වීම සඳහා බැබිලෝනියේ විසූ යුදෙව්වන් දහස් ගණනක් පැමිණි බව යුදෙව් ඉතිහාසඥයෙකු වන ජොසීෆස් සඳහන් කරනවා.

බැබිලෝනියේ සිට යෙරුසලමට පැමිණි අයගෙන් සමහරදෙනෙක් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී බව්තීස්ම වූ අයද? මේ ගැන අපි හරියටම දන්නේ නැහැ. කෙසේවෙතත් ඒ දවසේදී පේතෘස් ඉදිරිපත් කළ කතාවට සවන් දුන් අය අතර මෙසපොතේමියාවෙන් පැමිණි අයත් සිටියා. (ක්‍රියා 2:9) පේතෘස් ක්‍රි.ව. 62 සිට 64 අතර කාලයේදී බැබිලෝනියේ සිටි බව නම් අපි දන්නවා. ඔහු සිය පළමු ලිපිය ලීවේ එහි සිටයි. ඇතැම්විට දෙවන ලිපියද ලියන්න ඇත්තේ එහි සිට විය හැකියි. (1 පේතෘස් 5:13) මින් පෙනී යන්නේ ගලාතිවරුන්ට ලියන ලද ලිපියේ සඳහන් රැස්වීමේදී පේතෘස්, යොහන් සහ යාකොබ් යන අයට පැවරූ බලප්‍රදේශයට යුදෙව්වන් විශාල පිරිසක් විසූ බැබිලෝනියද අයත් වූ බවයි.

යෙරුසලම් සභාව සහ ඉන් පිටත විසූ යුදෙව්වන්

ශුභාරංචිය දේශනා කිරීමේ ප්‍රදේශ තීරණය කළ රැස්වීමට සහභාගි වූ යාකොබ් යෙරුසලමේ පිහිටි සභාවේ අවේක්ෂකයෙක් ලෙස සේවය කළා. (ක්‍රියා 12:12, 17; 15:13; ගලාති 1:18, 19) යෙරුසලමට පිට ප්‍රදේශවලින් පැමිණි යුදෙව්වන් දහස් ගණනක් පෙන්තකොස්ත දවසේදී ශුභාරංචිය පිළිගෙන බව්තීස්ම වූ ආකාරය යාකොබ් සියැසින් දුටුවා.—ක්‍රියා 1:14; 2:1, 41.

එම සිද්ධියෙන් පසුවත් යුදෙව්වන් බොහෝදෙනෙක් වාර්ෂිකව පවත්වන ලද මංගල්‍යවලට සහභාගි වීම සඳහා යෙරුසලමට පැමිණියා. නගරය ජනයාගෙන් පිරී ඉතිරී ගිය නිසා පිට පළාත්වලින් පැමිණි අයට නතර වීමට සිදු වුණේ අසල පිහිටි ගම්වල හෝ කූඩාරම්වලයි. යෙරුසලමට පැමිණි බැතිමතුන්ට ඔවුන්ගේ හිතමිතුරන්ව හමුවීමට අවස්ථාවක් ලැබුණා පමණක් නොව, දේවමාලිගාවට ගොස් නමස්කාර කිරීමටත් පූජා ඔප්පු කිරීමටත් නීතිය අඩංගු ලියවිලි (ටෝරා) ගැන කළ අධ්‍යයනයට හවුල් වීමටත් ඔවුන්ට අවස්ථාව ලැබුණා කියා එක් විශ්වකෝෂයක (Encyclopaedia Judaica) සඳහන් වෙනවා.

යාකොබ්ද ඇතුළුව යෙරුසලමේ පිහිටි සභාවේ සිටි සෙසු ක්‍රිස්තියානීන් උත්සව කාලවලදී පිට පළාත්වලින් නගරයට පැමිණි යුදෙව්වන්ට සාක්ෂි දැරූ බවට සැකයක් නැහැ. ස්තේපන්ව ඝාතනය කිරීමෙන් පසු “යෙරුසලමෙහි වූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් හටගත්” කාලයේදී මුල් සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් පිට පළාත්වලින් පැමිණි යුදෙව්වන්ට සාක්ෂි දැරීමේදී හුඟාක් කල්පනාකාරී වූවා කියා සිතිය හැකියි. (ක්‍රියා 8:1) කොහොමවුණත්, බයිබල් වාර්තාවේ සඳහන් වන පරිදි එම සිද්ධියට කලින් හා පසුව ක්‍රිස්තියානීන් උද්‍යෝගයෙන් දේශනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ශුභාරංචිය දිගටම වර්ධනය වුණා.—ක්‍රියා 5:42; 8:4; 9:31.

අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?

මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් සෑම තැනකම වාසය කළ යුදෙව්වන්ට සාක්ෂි දැරීමට මහත් වෑයමක් දැරූ බව අපි සලකා බැලූ කරුණුවලින් පැහැදිලි වෙනවා. එමෙන්ම පාවුල් සහ ඔහු සමඟ සේවය කළ සෙසු ක්‍රිස්තියානීන් යුරෝපයට අයත් ප්‍රදේශවල විසූ වෙනත් ජාතීන්ට සාක්ෂි දැරීම සඳහා ඒ ප්‍රදේශවලට ගමන් කළා. “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව” ගෝලයන් කරන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන් සමුගන්න විට දුන් ආඥාව ඔවුන් පිළිපැද්දා.—මතෙව් 28:19, 20.

අපගේ සේවයට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ලැබීමට නම් දේශනා සේවය හොඳින් සංවිධානය කළ යුතු බව ඔවුන්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. විශේෂයෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් ටිකදෙනෙක් සිටින ප්‍රදේශවල දෙවිගේ වචනය පිළිගන්න ජනයාව නැවත හමුවීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් අපිට සිතා බැලිය හැකියි. ඔබේ සභාවට ශුභාරංචිය දේශනා කිරීම සඳහා පවරා තිබෙන ප්‍රදේශයට අයත් ඇතැම් ගම්වල වෙනත් ගම්වලට වඩා හොඳ ප්‍රතිචාරයක් දක්වන අය සිටිනවාද? මෙවැනි අය සිටින ගම්වල නිතර නිතර සේවය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. මිනිසුන් විශාල වශයෙන් රැස් වන විශේෂ අවස්ථා ඔබ ප්‍රදේශයේ තිබෙනවා නම් අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට හෝ වීදි සාක්ෂි දැරීමට විශේෂ වෑයමක් දැරිය හැකියි.

මුල් සියවසේ ක්‍රිස්තියානීන් ගැන බයිබලයේ සඳහන් වාර්තා කියවීමෙන් පමණක් නොවෙයි, ඒවාට අදාළ ඓතිහාසික හා භූගෝලීය තොරතුරුත් දැනගැනීමෙන් අපිට තවත් ප්‍රයෝජන ලබන්න පුළුවන්. මේ කාරණා පිළිබඳව අපේ අවබෝධය තවත් වැඩි කරගැනීම සඳහා ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ නමැති විවරණිකාවේ තිබෙන සිතියම් සහ ඡායාරූප බලන්න පුළුවන්.

[පාදසටහන්වල]

^ 2 ඡේ. මෙම රැස්වීම පවත්වන්න ඇත්තේ පළමු සියවසේදී පාලක මණ්ඩලය විසින් චර්මඡේදනය පිළිබඳ කාරණය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විය හැකියි.—ක්‍රියා 15:6-29.

^ 13 ඡේ. මෙම ලිපියේ මූලිකව සාකච්ඡා කරන්නේ පාවුල් යුදෙව්වන්ට සාක්ෂි දැරීම ගැන මිස ඔහු “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙකු” වශයෙන් කළ සේවය ගැන නොවෙයි.—රෝම 11:13.

[14වන පිටුවේ වගුව]

ඊශ්‍රායෙලයෙන් පිට ජීවත් වූ යුදෙව්වන් කෙරෙහි පාවුල් දැක්වූ සැලකිල්ල

ක්‍රිස්තු වර්ෂ 49දී යෙරුසලමේ පැවැත්වූ රැස්වීමට කලින්

ක්‍රියා 9:19, 20 දමස්කය — “ඔහු . . . සිනගෝගවල දේශනා කරන්න පටන්ගත්තේය”

ක්‍රියා 9:29 යෙරුසලම — “ග්‍රීක බස කතා කරන යුදෙව්වරුන් සමඟ

කතා කරමින්”

ක්‍රියා 13:5 සයිප්‍රසයේ පිහිටි සලමිසය — “යුදෙව්වරුන්ගේ සිනගෝගවල

දෙවිගේ වචනය ප්‍රකාශ කරමින්”

ක්‍රියා 13:14 පිසිදියේ පිහිටි අන්තියෝකිය — “සිනගෝගයට ඇතුල් වී”

ක්‍රියා 14:1 ඉකෝනිය — “යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල් වී”

ක්‍රිස්තු වර්ෂ 49දී යෙරුසලමේ පැවැත්වූ රැස්වීමට පසුව

ක්‍රියා 16:14 ෆිලිප්පිය — “දෙවිට නමස්කාර කරන්නියකද වූ ලිදියා”

ක්‍රියා 17:1 තෙසලෝනිකය — “යුදෙව්වරුන්ගේ සිනගෝගයක්”

ක්‍රියා 17:10 බෙරීයය — “යුදෙව්වරුන්ගේ සිනගෝගය”

ක්‍රියා 17:17 ඇතන්ස් — ‘සිනගෝගයේදී යුදෙව්වරුන් සමඟ තර්කානුකූලව සාකච්ඡා කළේය’

ක්‍රියා 18:4 කොරින්තිය — “සිනගෝගයේදී කතාවක් දී”

ක්‍රියා 18:19 එෆීසය — “සිනගෝගයට ඇතුල් වී යුදෙව්වරුන්ට

තර්කානුකූලව ඉගැන්නුවේය”

ක්‍රියා 19:8 එෆීසය — “සිනගෝගයට ඇතුල් වී මාස තුනක් පුරා

නිර්භීතව කතා කළේය”

ක්‍රියා 28:17 රෝමය — “යුදෙව්වරුන්ගේ ප්‍රධානීන්ව

රැස් කරවාගත්තේය”

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී ශුභාරංචියට සවන් දුන් අය යෙරුසලමට පැමිණියේ විවිධ ප්‍රදේශවලින්

ඉලිරිකම

ඉතාලිය

රෝමය

මැසිඩෝනියාව

ග්‍රීසිය

ඇතන්ස්

ක්‍රීට්

සිරේනිය

ලිබියාව

බිතිනිය

ගලාතිය

ආසියාව

ෆ්‍රිජිය

පම්ෆිලිය

සයිප්‍රසය

ඊජිප්තුව

ඉතියෝපියාව

පොන්තසය

කපදෝසිය

සිලීසියාව

මෙසපොතේමියාව

සිරියාව

සමාරිය

යෙරුසලම

යුදය

මේදියාව

බැබිලෝනිය

ඒලාම්

අරාබිය

පාර්තියා

[මුහුදු]

මධ්‍යධරණී මුහුද

කලු මුහුද

රතු මුහුද

පර්සියානු බොක්ක