Skip to content

පටුනට යන්න

දෙවිව සොයන බවට වූ පොරොන්දුව මම ඉටු කළා

දෙවිව සොයන බවට වූ පොරොන්දුව මම ඉටු කළා

ජීවිත කතාව

දෙවිව සොයන බවට වූ පොරොන්දුව මම ඉටු කළා

ෆ්ලොරන්ස් ක්ලාක්

අසාධ්‍ය තත්වයක සිටි මගේ සැමියාගේ අත අල්ලගෙනයි ඒ වෙලාවේ මම හිටියේ. එංගලන්ත සභාවේ සාමාජිකාවක් වූ මම දෙවිට යාච්ඤා කරමින් කිව්වේ මගේ සැමියාව සනීප කරලා දෙන්න කියලයි. එහෙම කළොත් මම දෙවිව සම්බවන තුරු සොයන බවත් ඔහුට කැප වන බවත් මම දෙවිට පොරොන්දු වුණා.

බටහිර ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලි නගරයෙන් එපිට ඌම්බුල්ගූරි ගමේ ජීවත් වූ ආදිවාසී ගෝත්‍රයක කෙනෙක් ලෙස මම ඉපදුණේ 1937 සැප්තැම්බර් 18වන දායි. මගේ දෙමාපියන් මට දී තිබුණේ ෆ්ලොරන්ස් චූලං කියන නමයි.

සතුටින් පිරි නිදහස් ළමා කාලයක් ගත කළ මම දෙවි ගැනත් බයිබලය ගැනත් මූලික දේවල් සමහරක් ඉගෙනගත්තේ පල්ලියෙන්. නමුත් දිනපතා මාත් එක්ක බයිබලය කියවා මට ක්‍රිස්තියානි ප්‍රතිපත්ති කියා දුන්නේ මගේ අම්මයි. ඒ නිසා කුඩා කාලයේ ඉඳලාම දෙවි ගැන දැනගන්න මා තුළ ආශාවක් තිබුණා. ඒ වගේම තමාගේ පල්ලියේ වැඩ කටයුතුවලට ඇප කැපවී වැඩ කළ මගේ අම්මාගේ සොහොයුරිය වගේ වෙන්නයි මට ඕන වුණේ.

අපේ ගමේ ඉගැන්නුවේ පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දවසට පැය දෙකක් විතරයි. මේ ගැන මගේ තාත්තා හිටියේ හරිම කනගාටුවෙන්. අපිට හොඳට උගන්වන්නයි එයාට ඕන වුණේ. ඒ නිසා එයා අපිවත් එක්කගෙන වින්ඩ්හැම් නගරයේ පදිංචියට ගියා. ගමෙන් පිට වුණු දවසේ මම හිටියේ හරිම දුකින් වුණත් වින්ඩ්හැම්වල ගත කළ වසර හතර පුරා, ඒ කියන්නේ 1949 සිට 1952 දක්වා, මට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. ඒ ගැන මම මගේ තාත්තාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

අම්මා වැඩ කළේ වෛද්‍යවරයෙක් ළඟ. වයස අවුරුදු 15දී මම පාසැල් අධ්‍යාපනය නිම කළාම ඒ වෛද්‍යවරයා වින්ඩ්හැම් රෝහලේ හෙදියක් හැටියට රැකියාවට එන්න කියලා මට කිව්වා. ඒ කාලයේදී රස්සාවක් හොයාගන්න එක එච්චර ලේසි දෙයක් නොවූ නිසා මම කැමැත්තෙන් ඒ රස්සාවට ගියා.

වසර කිහිපයකට පසුව, ඒ කියන්නේ 1964දී සත්ව ගොවිපොළක් තිබූ ඇලෙක් සමඟ මම විවාහ වුණේ ඩර්බි නගරයේ පිහිටි එංගලන්ත සභාවේ පල්ලියකයි. දිනක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවා. ඔවුන්ගේ පණිවුඩය ගැන මට කිසිම උනන්දුවක් නැති බවත් නැවත එන්න එපා කියලත් මම ඒ අයට කිව්වා. කොහොමවුණත් ඔවුන් කියපු එක දෙයක් මගේ හිතට කාවැදුණා. ඒ තමයි දෙවිට යෙහෝවා කියා නමක් තියෙනවා කියන එක.

“ඇයි ඔයාටම බැරිද යාච්ඤා කරන්න?”

අපි 1965 වෙද්දී ජීවිතයේ කරදර රාශියකට මුහුණ දුන්නා. මගේ සැමියා දෙපාරක් අශ්වයාගේ පිටෙන් වැටුණා වගේම එක පාරක් වාහනේ අනතුරකට ලක් වෙලා බරපතළ ලෙස තුවාල ලැබුවා. කොහොමවුණත් ඉක්මනින් සුව වෙලා නැවත වැඩ කරන්න එයාට පුළුවන් වුණා. නමුත් වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා නැවතත් අශ්වයාගේ පිටෙන් වැටිලා එයාගේ ඔළුව ගොඩක් තුවාල වුණා. ඒක කොච්චර බරපතළද කියනවා නම් ඔහු මිය යාවි කියලයි වෛද්‍යවරයා මට කිව්වේ. මට කර කියාගන්න දෙයක් නැතුව ගියා. එක හෙදියක් පූජකයෙකුට කතා කරලා මාව බලන්න එන්න පුළුවන්ද කියලා ඇහැව්වාම ඔහු කියලා තිබුණේ “දැන් බැහැ. හෙට එන්නම්!” කියලයි.

මට ඕන වුණේ පූජකයෙක් ගෙන්නලා යාච්ඤා කරන්න. මේ ගැන මම කන්‍යා සොහොයුරියකට කිව්වාම, “ඇයි ඔයාටම බැරිද යාච්ඤා කරන්න?” කියා ඇය කිව්වා. ඒ නිසා මම පල්ලියේ රූප ඉස්සරහ යාච්ඤා කළත් කිසි ප්‍රයෝජනයක් වුණේ නැහැ. දවසින් දවස මගේ සැමියාගේ තත්වය තව තවත් දරුණු වුණා. ‘එයා මැරුණොත් මම කොහොමද තනියම දේවල් කරගන්නේ? තාත්තා කෙනෙක් නැතිව ක්‍රිස්ටීන්, නේනට් සහ ජෙෆ්රී කියන මගේ දරුවෝ තුන්දෙනාගේ ජීවිත මොන වගේ වෙයිද?’ වගේ ප්‍රශ්න ගොඩක් මගේ හිතට වද දුන්නා. නමුත් දින තුනකින් එයාට නැවත සිහිය ආපු වෙලේ අපි ගොඩක් සතුටු වුණා. ඒ වගේම 1966 දෙසැම්බර් 6වන දා එයාව ගෙදර එක්කරගෙන යන්න අපිට පුළුවන් වුණා.

ඒත් ඒ අනතුර මොළයට බලපාලා තිබූ නිසා සමහර දේවල් එයාට අමතක වෙලා තිබුණා වගේම ඉක්මණින් තරහත් ගියා. එයාට දරුවන්වත් තේරුම්ගන්න බැරි වුණා. ඒ නිසා එයාව බලා කියාගැනීම පහසු දෙයක් වුණේ නැහැ. ලියන්න කියවන්න කියා දීම ඇතුළු හැම දෙයක්ම එයාට කරලා දෙන්න වුණේ මටයි. අන්තිමේදී මානසිකව වැටුණු මම අසනීප වුණා. මේ නිසා අනතුරෙන් අවුරුදු හතකට පස්සේ ටික කාලයකට වෙන් වෙන්න අපි තීරණය කළා. මගේ දරුවන්වත් අරගෙන මම පර්ත් නගරයේ පදිංචියට ගියා.

බටහිර ඕස්ට්‍රේලියාවේ කනනූරා නමින් හැඳින්වූ පුංචි නගරයක විසූ මගේ නංගී, ඒ වෙනකොට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන් අරගෙන තිබුණා. මම පර්ත් නගරයට යන්න කලින් දවසක, පාරාදීස පොළොවක් ගැන බයිබලයේ පොරොන්දුව විස්තර කරන චිත්‍රයක් සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය * කියන පොතෙන් ඇය මට පෙන්නුවා. ඒ වගේම දෙවිගේ නම යෙහෝවා කියලත් ඇය ඒ පොතෙන්ම මට පෙන්නුවා. ඒකට මගේ හිත ඇදිලා ගියා. ඒකට හේතුව මගේ පල්ලියෙන් මට කවදාවත් ඒ ගැන කියලා තිබුණේ නැති නිසයි. පර්ත්වල පදිංචි වුණාට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ කතා කරන්න මම හිතාගත්තා. ඒත් ඒක ටිකෙන් ටික කල් ගියා.

එක දවසක් හවස් වෙලාවේ දොරේ සීනුව වැදුණාම, මගේ පුතා දුවගෙන ඇවිල්ලා මට කිව්වා “අම්මේ ඔයා කතා කරන්න හිතාගෙන හිටපු අය අපේ ගෙදරටම ඇවිල්ලා!” කියලා. ඒ ගැන ටිකක් පුදුම වුණු මම, “අම්මා ගෙදර නැහැ කියන්න” කියලා එයාට කිව්වා. එතකොට පුතා “බොරු කියන්න හොඳ නෑ නේද අම්මේ?” කියලා මට කිව්වා. මම දොර ගාවට ගියාම ඔවුන් බලාපොරොත්තු වුණේ මාව නෙවෙයි කියන එක මට තේරුණා. කලින් මේ ගෙදර හිටපු කෙනෙක්ව හමුවෙන්නයි ඔවුන් ඇවිත් තිබුණේ. ඒ වුණත් මම ඒගොල්ලන්ව ගෙදරට පිළිඅරගෙන දිගින් දිගටම ප්‍රශ්න ඇහැව්වා. ඒවාට ඔවුන් බයිබලයෙන් දීපු උත්තර ගැන මම සෑහීමට පත් වුණා.

ඊළඟ සතියේම සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය කියන පොතෙන් මම ඔවුන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාම දෙවි ගැන ඉගෙනගන්න තිබූ මගේ ආශාව නැවත පිබිදුණා. ඉන් සති දෙකකට පස්සේ තිබූ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවයට ගිය මම, එතැන් පටන් සෑම ඉරිදාවකම පැවැත්වූ රැස්වීම්වලට ගියා. වැඩි කලක් යන්න ඉස්සෙල්ලා අනිත් රැස්වීම්වලට යන්නත්, ඉගෙනගත්ත දේවල් අනිත් අය එක්ක බෙදාගන්නත් මම පටන්ගත්තා. මෙසේ අන් අයට උදව් කරන එක මානසිකව වැටී සිටි මට සුව වෙන්න ලොකු උපකාරයක් වුණා. මාස හයකට පසුව පර්ත්වල පැවති දිස්ත්‍රික් සමුළුවකදී මම බව්තීස්ම වුණා.

බයිබලයේ තිබෙන සත්‍යයන් ගැන මගේ අවබෝධය වැඩි වෙද්දී, යෙහෝවා දෙවි විවාහය දිහා බලන විදිහ ගැනත් එහි ඇති වැදගත්කම ගැනත් තේරුම්ගන්න මට හැකි වුණා. “ස්ත්‍රියකට නොඇදහිලිකාර ස්වාමිපුරුෂයෙකු සිටී නම්, ඔහු ඇය සමඟ ජීවත් වීමට කැමති නම්, ඇය ඔහුව අත් නොහරීවා” යන 1 කොරින්ති 7:13හි සඳහන් ප්‍රතිපත්තියත් මීට ඇතුළත්. මේ නිසා ඇලෙක් ගාවට නැවත යන්න මම තීරණය කළා.

නැවතත් ඩර්බි නගරයට

මගේ සැමියාගෙන් වෙන්වී අවුරුදු පහකට පස්සේ, 1979 ජූනි 21වන දා මම නැවත ඩර්බිවලට ආවා. මගේ පැමිණීම ගැන ඔහු ගොඩක් සතුටු වුණත් මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වී සිටීම ගැන නම් ඔහු එච්චර සතුටු වුණේ නැහැ. මම කලින් ගිය පල්ලියටම යන්න කියලා ඔහු මට කිව්වත් ඒක කරන්න බැරි ඇයි කියන එක මම ඔහුට පැහැදිලි කළා. ඔහුගේ මූලිකත්වයට ගරු කරමින් හොඳ ක්‍රිස්තියානි භාර්යාවක් ලෙස මට හැකි හැම දෙයක්ම මම කළා. යෙහෝවා දෙවි ගැනත් අනාගතය සඳහා ඔහුගේ පොරොන්දු ගැනත් මගේ සැමියාට කියන්න මම කොච්චර උත්සාහ කළත් ඔහු පොඩ්ඩක්වත් ඒ ගැන උනන්දු වුණේ නැහැ.

කාලයක් යද්දී ඇලෙක් ටිකක් වෙනස් වුණා. සමුළු, එක්රැස්වීම් සහ රැස්වීම්වලට යන්න ඔහු මට උපකාර කළා. දේවසේවයේ යෑමට කාර් එකක් පවා ඔහු මට අරන් දුන්නා. අපි හිටියේ දුෂ්කර ප්‍රදේශයක නිසා ඒක මට ගොඩක් වටිනා දෙයක්. ඒ ගැන මම එයාට හුඟක් ස්තුතිවන්ත වුණා. චාරිකා අවේක්ෂකයා ඇතුළු සහෝදර සහෝදරියන් නිතරම වගේ අපේ ගෙදර දවස් කිහිපයකට නවාතැන් ගත්ත නිසා ඇලෙක්ට ඔවුන්ව දැන හඳුනාගන්න අවස්ථාවක් ලැබුණා. ඔහු ඔවුන්ගේ ඇසුරට ප්‍රිය කළා.

එසකියෙල් වගේ

ළඟම සභාව තිබුණේ කිලෝමීටර් 220ක් ඈතින් පිහිටි බෘම් නගරයේ. සහෝදර සහෝදරියන්ගේ පැමිණීම ඩර්බිවල සිටි එකම සාක්ෂිකරුවා වූ මට ලොකු දිරිගැන්වීමක් වුණා. තනියම වුණත් ගෙයින් ගෙට ගොස් මගේ උපරිමයෙන් දේශනා කරන්න මට හැකි වුණේ යෙහෝවාගේ උපකාරය නිසයි. ඒක පහසු දෙයක් වුණේ නැහැ. නමුත් “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ” කියන පාවුල්ගේ වචන මම නැවත නැවත මතකයට නංවාගත්තා.—ෆිලිප්පි 4:13.

ඒ ප්‍රදේශයේ සිටි පූජකයන් මගේ වැඩ ගැන, විශේෂයෙන් ආදිවාසීන්ට දේශනා කරන එක ගැන සතුටු වුණේ නැහැ. මාව බය කරලා දේශනා කිරීම නවත්වන්න ඔවුන් උත්සාහ කළා. ඒකෙන් වුණේ දිගටම දේශනා කිරීමට වූ මගේ අධිෂ්ඨානය තවත් වැඩිවීමයි. මට උපකාර කරන්න කියා මම නිතිපතා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. යෙහෝවා එසකියෙල්ව දිරිගන්වමින් පැවසූ මේ වචන මට නිතරම මතක් වුණා. “බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව ඔබේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව ඔබේ නළලත් දැඩි කළෙමි; ඔබේ නළල ගිනිගලට වඩා තද වූ විදුරක් මෙන් කළෙමි; ඔවුන් කැරලිකාර වංශයක් නමුත් ඔවුන්ට භය නොවන්න; ඔවුන්ගේ මුහුණට තැති නොගන්න.”—එසකියෙල් 3:8, 9.

අවස්ථා කිහිපයකදීම මම සාප්පු යන ගමන් එක්තරා පල්ලියකට අයත් පිරිමින් දෙදෙනෙක් ඇවිත් හැමෝටම ඇහෙන්න මට සමච්චල් කළත් මම ඒවා ගණන්ගත්තේ නැහැ. එක දවසක් උනන්දු වූ කෙනෙක්ව බලන්න ගිය අවස්ථාවකදී පල්ලියේ දේවගැතිවරයා ඇවිල්ලා මම යේසුස්ව විශ්වාස කරන්නේ නැහැ කියලා මට චෝදනා කළා. ඔහු මගේ අතේ තිබූ බයිබලය උදුරාගෙන මට බැන්නේ, ඒක මගේ මූණට දික්කරලයි. පසුව ඔහු තරහෙන් ඒක මගේ අතටම දුන්නා. යොහන් 3:16හි සඳහන් වචන ඔහුට පෙන්නූ මම කාරුණිකව නමුත් ස්ථිරව කිව්වේ මම යේසුස්ව විශ්වාස කරන බවයි. මගේ නිසැකභාවය දැක ගොළු වුණු ඔහු කිසිවක් නොකියා හැරිලා ගියා.

ඩර්බි ප්‍රදේශයේ සිටි ආදිවාසීන්ට දේශනා කිරීමෙන් මම ලොකු ප්‍රීතියක් ලැබුවා. ඒත් එක ගමක සිටි පූජකයෙක් නිසා එහි දේශනා කරන්න මට හැකි වුණේ නැහැ. නමුත් ඔහුට මාරුවීමක් ලැබුණ නිසා ඒ ගමේත් දේශනා කරන්න මට හැකි වුණා. කුඩා කාලයේ පටන් මගේ අම්මාගේ සොහොයුරිය වගේ වෙන්න මට තිබුණු ආශාව දැන් ටිකෙන් ටික ඉටු වෙලා. මොකද මමත් දැන් දෙවි ගැන අන් අයට කියා දෙනවා. ආදිවාසීන් හුඟදෙනෙක් එක්ක මට බයිබල් පාඩම් පටන්ගන්නත් අවස්ථාව ලැබුණා.

මගේ ඇදහිල්ල ශක්තිමත් වුණා

වසර පහක් පුරා මේ විදිහට මම තනිවම යෙහෝවා දෙවිට සේවය කළා. නිතිපතා පැවැත්වෙන රැස්වීම් සහ වෙනත් සාක්ෂිකරුවන්ගේ ඇසුර මට තිබුණේ නැති නිසා මගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම ලේසි දෙයක් වුණේ නැහැ. එක දවසක් සෑහෙන්න අධෛර්ය වෙලා හිටපු මම වාහනේ නැඟලා ඔහේ පදවගෙන ගියා. මම ආපහු ගෙදර ආවාම බෘම් සභාවේ බෙටි බටෆීල්ඩ් නමැති සහෝදරියයි ඇගේ දරුවන් හත්දෙනායි මාව බලන්න ඇවිත් හිටියා. ඔවුන් මට සඟරා පොත් පත් ගෙනල්ලා තිබුණා. එදා පටන් මේ සහෝදරිය මාසයකට එක සති අන්තයක් මාත් එක්ක සේවයේ ගිහිල්ලා ඊට පස්සේ මුරටැඹ ලිපිය මගේ නිවසේදී පාඩම් කරන්න සැලසුම් කළා. ඒ වගේම මමත් මාසයකට වරක් බෘම්වලට ගියා.

බෘම් සභාවේ සහෝදරයෝ මට ගොඩක් උදව් කළා. ඈත වුණත් ඒ අය ඉඳලා හිටලා ඩර්බිවලට ඇවිත් මාත් එක්ක සේවයේ ගියා. ඩර්බි හරහා යන එන හැම සහෝදර සහෝදරියකටම මාව බලන්න යන්න කියාත් මාත් එක්ක සේවයේ යන්න කියාත් ඔවුන් උනන්දු කළා. එහෙම ආපු අය පටිගත කරපු ප්‍රසිද්ධ කථාත් මට ගෙනත් දුන්නා. සමහරු මාත් එක්ක මුරටැඹ පාඩමට සහභාගි වුණා. මෙසේ සහෝදරයන් එක්ක කෙටි වෙලාවකට හරි ආශ්‍රය කරන්න ලැබීමෙන් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා.

තවත් දිරිගැන්වීම්

බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයේ සිටි විශ්‍රාම ලත් යුවළක් වූ ආතර් සහ මේරි විලස් අවුරුද්දේ සිසිල් සමයේ මාස තුන පුරා මාත් එක්ක සේවයේ හවුල් වෙන්න පැමිණීම මට තවත් දිරිගැන්වීමක් වුණා. සහෝදර විලස් රැස්වීම්වලින් වැඩිහරියක් පැවැත්වුවා වගේම සේවයෙත් පෙරමුණ ගත්තා. අපි තුන්දෙනා එකතු වෙලා කිම්බර්ලි ප්‍රදේශයේ ඈත එපිට පිහිටි විශාල ගව ගොවිපොළවලට පවා ගියා. මේ විදිහට ඔවුන් අවුරුදු කිහිපයක් පුරා ඇවිත් ගියා. ඔවුන් යන හැම වතාවකදීම මට ලොකු පාළුවක් දැනුණා.

අන්තිමේදී 1983 වසරේ අගභාගයේදී මට ප්‍රීතිමත් ආරංචියක් දැනගන්න ලැබුණා. ඒ තමයි සාක්ෂිකාර පවුලක් වූ ඩැනී සහ ඩෙනීස් ස්ටර්ජන් ඔවුන්ගේ පුත්තු හතරදෙනාත් එක්ක ඩර්බිවල පදිංචියට එනවා කියන එක. ඔවුන් ආවාට පස්සේ සතිපතා රැස්වීම් පවත්වන්නත් සේවයේ එකට යන්නත් අපිට පුළුවන් වුණා. ඩර්බිවල සභාවක් පිහිටුවනු ලැබුවේ 2001දී. දැන් ඒක වැඩිමහල්ලන් දෙදෙනෙක් සහ සභා සේවකයෙක් ඇතුළු ප්‍රචාරකයන් 24දෙනෙක් සිටින ශක්තිමත් සභාවක්. සමහර දවස්වල 30දෙනෙක් පමණ රැස්වීම්වලට එනවා.

මගේ සැමියා තවමත් සාක්ෂිකාරයෙක් නොවුණත් තවමත් ඔහු මට සහය දෙනවා. මගේ දුවලා දෙන්නයි, මිණිබිරියන් දෙන්නයි, මගේ නංගිගේ දුවෙකුයි දැන් දෙවිට කැපවී බව්තීස්ම වෙලා. මගේ නෑදෑයන්ගෙන් කිහිපදෙනෙකුත් බයිබලය පාඩම් කරනවා. ගත වුණු අවුරුදු ගණනාව පුරා යෙහෝවා මට දුන්නු ප්‍රේමණීය උපකාරය ගැන හිතද්දී ඔහු ගැන මට ලොකු ආදරයක් ඇති වෙනවා.

යෙහෝවා දෙවිව සොයාගන්න ඔහු දුන්නු උපකාරයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සදහටම ඔහුට සේවය කිරීමයි මගේ අධිෂ්ඨානය.—ගීතාවලිය 65:2.

[පාදසටහන්වල]

^ 14 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොවේ.

[15වන පිටුවේ සිතියම⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ඕස්ට්‍රේලියාව

වින්ඩ්හැම්

කිම්බර්ලි

ඩර්බි

පර්ත්

බෘම්

[හිමිකම් විස්තර]

Kangaroo and lyrebird: Lydekker; koala: Meyers

[14වන පිටුවේ පින්තූරය]

වින්ඩ්හැම් රෝහලේ හෙදියක් ලෙස 1953දී

[15වන පිටුවේ පින්තූරය]

ඩර්බි සභාව, 2005