රුදුරු මරණය
රුදුරු මරණය
“මිනිසෙකු ඉපදුණු පසු කොයි මොහොතක හෝ මරණයට පත් විය හැකියි. මරණය වළක්වාගත හැකි කිසිවෙක් නැහැ” කියා බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයෙකු වන ආනල්ඩ් ටොයින්බි පැවසුවා. අපේ පවුලේ කෙනෙකු හෝ මිතුරෙකු මරණයට පත් වූ විට දැනෙන වේදනාව වචනවලින් විස්තර කරන්න බැරි තරම් මහත්!
මිනිසා වසර දහස් ගණනක සිට රුදුරු මරණයට ගොදුරු වී තිබෙනවා. අපි ආදරය කරන කෙනෙක් මිය ගිය විට මහත් අසරණ බවක් අපිට දැනෙනවා. කුමන තරාතිරමක සිටියත් සෑම කෙනෙක්ම මරණයට පත් වෙනවා. මරණයේදී අපි සෑම කෙනෙක්ම කුඩා ළමයින් වගේ අසරණයි. මරණය වැළැක්විය නොහැකියි. මහත් ධනයක් හෝ බලයක් තිබුණා කියා මරණයෙන් වළකින්න බැහැ. මරණයට විසඳුමක් බුද්ධිමතුන් ළඟ නැහැ. දුබලයන් මෙන්ම බලසම්පන්න අයද මරණයේදී ශෝක වෙයි.
පුරාණ ඊශ්‍රායෙලයේ විසූ දාවිත් රජුගේ පුත් අබ්සලොම් මරණයට පත් වූ අවස්ථාවේදී ඔහු මහත් වේදනාවක් අද්දැක්කා. තම පුතාගේ මරණය ගැන දැනගන්න ලැබුණු විට දාවිත් රජ මහත් සේ ශෝක වෙමින් මෙසේ පැවසුවා. “අහෝ, මාගේ පුත්‍ර වූ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍ර වූ අබ්සලොම්! ඔබ වෙනුවට මම මළෙම් නම් යහපත; අහෝ, අබ්සලොම් මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය.” (2 සාමුවෙල් 18:33) බලවත් සතුරන්ව පරාජය කර දැමූ රජෙකු වුණත් මරණය මගින් ඇති කරන වේදනාව හමුවෙහි ඔහු අසරණ වුණා. තම පුතා වෙනුවට ‘අන්තිම සතුරා වන මරණයට’ යටත් වෙන්න තමන්ට සිදු වුණා නම් හොඳයි කියා ඔහු සිතුවා.—1 කොරින්ති 15:26.
මරණයට විසඳුමක් තිබෙනවාද? එසේනම් දැනටමත් මිය ගොස් සිටින අයට එය බලපාන්නේ කෙසේද? මිය ගොස් සිටින අපේ පවුලේ අය හා මිතුරන්ව නැවත දැකගන්න අවස්ථාවක් ලැබේවිද? බයිබලය පදනම් කරගනිමින් මේ ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ ලිපියේදී සලකා බලමු.