Skip to content

පටුනට යන්න

දුප්පතාගේ දුක

දුප්පතාගේ දුක

දුප්පතාගේ දුක

බඩු පටවාගත් කරත්ත එහාට මෙහාට තල්ලු කරන වින්සෙන්ටෙ * නම් තැනැත්තාව බ්‍රසීලයේ සැවෝ පවුලෝ නම් නගරයේදී නිතරම දැකගන්න පුළුවන්. ඔහු නගරය පුරා ඇවිද කාඩ්බෝඩ්, පරණ යකඩ කෑලි, ප්ලාස්ටික් කෑලි වගේ දේවල් එකතු කරගන්නවා. ඇඳිරි වැටීගෙන එද්දී කරත්තේ යටට කාඩ්බෝඩ් කෑල්ලක් එළාගෙන ඔහු කරත්තේ යටම නිදාගන්නවා. රාත්‍රිය පුරා ගමන් කරන රථ වාහනවල සද්දවලට ඔහු කොපමණ හුරු වී සිටියාද කියනවා නම් ඔහුට ඒ සද්ද දැන් නොඇසෙන ගානයි. කලින් ඔහු එහෙම හිටපු කෙනෙක් නෙවෙයි. වින්සෙන්ටෙට රැකියාවක් තිබුණා; පොඩි ගෙයකුත් තිබුණා; දූ දරුවොත් හිටියා. නමුත් ඒ සියල්ල දැන් අතීතයක් විතරයි. දැන් ඔහු මහ පාරේ තම ජීවිතය ගැටගහගන්න උත්සාහ කරන්නේ අපමණ වෙහෙසක් දරමින්.

කනගාටුවට කරුණක් නම් වින්සෙන්ටෙ වගේ මිලියන ගණන් ජනයා ජීවත් වෙන්නේ අන්ත දුගීකමිනුයි. නොදියුණු රටවල හුඟදෙනෙක් ජීවත් වෙන්නේ පදික වේදිකාවල නැත්නම් මුඩුක්කුවලයි. කිරි දෙන මව්වරුන්, කොර අය, අන්ධ අය වැනි දුගී දුප්පතුන්ගෙන් පාරවල් පිරිලා. මංසන්ධිවල වාහන නවත්වද්දී ඒ අතරින් පතර යන ළමයින් වාහනවල අයට කපුරු බෝල පැකට් දික් කරන්නේ කීයක් හරි හම්බ කරගැනීමේ අරමුණින්.

මේ තරම් දුගීකමක් පැතිර පවතින්නේ ඇයි කියන එක තවමත් ඉතිරිව තිබෙන ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍යයේ පළ වූ සඟරාවක මෙහෙම සඳහන් වුණා. “ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා මිනිසා වෛද්‍ය විද්‍යාවෙන්, තාක්ෂණික අතින් මෙන්ම බුද්ධිමත් බවින් ඉහළ තලයක සිටියත් ඒ දැනුම් සම්භාරය දුප්පත්කමින් මිනිසාව ගොඩගැනීමට සමත් වී නැහැ.” (The Economist) හුඟදෙනෙක් ඒ දැනුමෙන් මහත් සේ ප්‍රයෝජන නෙළාගෙන තිබෙනවා. දියුණු වන රටවල් බොහොමයක ප්‍රධාන නගරවල වීදි ඔස්සේ නවීන පන්නයේ රථවාහන වැහි වැහැලා. කාලයේ තාලයට ගැලපෙන බඩු බාහිරාදියෙන් සාප්පු සංකීර්ණ පිරී ඉතිරිලා. ඒවා මිල දී ගන්නා අයගෙනුත් අඩුවක් නම් නැහැ. මෑතකදී බ්‍රසීලයේ සාප්පු සංකීර්ණ දෙකක් වෙළඳ භාණ්ඩ කිහිපයක් හඳුන්වා දීමේ වැඩ පිළිවෙළක් දියත් කළා. ඒවා 2004 දෙසැම්බර් 23 සහ 24 යන දවස් දෙකේ දිවා රෑ විවෘත වෙලයි තිබුණේ. එක තැනක පාරිභෝගිකයන්ව ඇදගැනීමේ අරමුණින් නර්තන අංගයන් ඉදිරිපත් කර තිබුණා. ඒකට 5,00,000ක් පමණ දෙනා පැමිණියා!

ධනවතුන්ගේ මුදල් සම්භාරයෙන් බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබන්නේ නැහැ. ධනවතුන් හා දුප්පතුන් අතර තිබෙන ඇති නැති පරතරය මකා දැමීමට ඉක්මනින්ම පියවර ගත යුතුයි කියා හුඟදෙනෙක් පිළිගන්නවා. වේජා නම් බ්‍රසීලියානු සඟරාවක මෙසේ සඳහන් වුණා. “මේ අවුරුද්දේ [2005] ලෝක නායකයන් සලකා බැලිය යුතු වැදගත්ම කාරණය නම් දුප්පත්කම තුරන් කරන්නේ කොහොමද කියන එකයි.” ඒ සඟරාවේ තවදුරටත් දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු යුරෝපයේ ආර්ථිකය නඟා සිටුවීමට මාර්ෂල් නමැත්තා සැලසුම් කර තිබුණ වැඩසටහනක් වන මාර්ෂල් වැඩපිළිවෙළ ගැනත් සඳහන් වී තිබුණා. ඔවුන් මූලික අවධානය යොමු කළේ අප්‍රිකාව වැනි දුප්පත්ම රටවලටයි. ඒ වගේ යෝජනා ක්‍රමවලින් දුප්පත්කම තුරන් කිරීමට යම් පියවර ගැනෙන බව ප්‍රකාශ කෙරුණත් එම සඟරාවේ මේ වගේ දෙයක් ගැනත් සඳහන් වුණා. “එවැනි වැඩ පිළිවෙළකින් ලැබෙන ප්‍රතිඵල සතුටුදායක වේවිද? හුඟක් රටවල් අරමුදල් එවීමට පසුබසින්නේ ලැබිය යුත්තාට ඒවා නිසි ආකාරයෙන් නොලැබෙන නිසයි.” ආණ්ඩු නිලධාරීන්ගේ, ජාත්‍යන්තර ආයතනවල වගේම සමහර පුද්ගලයන්ගේ වංක සහ අක්‍රමික ක්‍රියා නිසා දෙනු ලබන අරමුදලින් වැඩි ප්‍රමාණයක් අග හිඟකම් ඇති අයට නොලැබීම කනගාටුවට කරුණක්.

දුප්පත්කම දිගටම පවතින ගැටලුවක් බව යේසුස් දැනගෙන හිටියා. “දිලින්දෝ ඔබ සමඟ සැමදාම සිටිති” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (මතෙව් 26:11) ඉන් අදහස් කරන්නේ සැමදාම පොළොව මත දුප්පතුන් සිටීවි කියාද? ඒ තත්වය වෙනස් කරන්න කළ හැකි යමක් තිබෙනවාද? දුප්පත් අයට උපකාර කිරීමට ක්‍රිස්තියානීන්ට කරන්න පුළුවන් මොනවාද?

[පාදසටහන්වල]

^ 2 ඡේ. සැබෑ නම නෙවෙයි.