Skip to content

පටුනට යන්න

මගේ පවුලේ අයගේ විශ්වාසවන්තකම මට මහත් ශක්තියක් වුණා

මගේ පවුලේ අයගේ විශ්වාසවන්තකම මට මහත් ශක්තියක් වුණා

ජීවිත කතාව

මගේ පවුලේ අයගේ විශ්වාසවන්තකම මට මහත් ශක්තියක් වුණා

කැත්ලීන් කුක්

මගේ ආච්චි වන මේරි එලන් ටොම්සන් 1911දී ස්කොට්ලන්තයේ ග්ලැස්ගව්වල සිටි නෑදෑයන්ව බලන්න ගිය විට බයිබලයේ තොරතුරු ඇතුළත් කතාවකට සවන් දීමටත් ඇයට අවස්ථාවක් ලැබුණා. ඒ කතාව ඉදිරිපත් කළේ එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙක් වන චාල්ස් ටේස් රසල් විසිනුයි. ඒ අහපු කතාව ඇගේ හිතට කොතරම් කාවැදුණාද කියනවා නම් නැවත දකුණු අප්‍රිකාවට පැමිණි විට ඇය බයිබල් ශිෂ්‍යයන් සමඟ සාකච්ඡාවක් ආරම්භ කළා. ඉන් වසර කිහිපයකට පසු 1914 අප්‍රියෙල් මාසයේදී දකුණු අප්‍රිකාවේ බයිබල් ශිෂ්‍යයන්ගේ පළමු සමුළුව පැවතුණා. එහිදී බව්තීස්ම වූ 16දෙනා අතරින් එක්කෙනෙක් වූයේ මගේ ආච්චියි. ඒ වෙනකොට ඇයට ඊඩිත් කියලා අවුරුදු හයක දුවෙක් හිටියා. ඒ තමයි මගේ අම්මා.

වර්ෂ 1916දී සහෝදර රසල්ගේ මරණයත් සමඟ ලොව පුරා සිටි බයිබල් ශිෂ්‍යයන් අතර බෙදීම් ඇති වෙන්න පටන්ගත්තා. ඒ නිසා ඩර්බන් නගරයේ සිටි ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් 60දෙනා 12 දක්වා අඩු වුණා. ඒ ටිකදෙනා අතර මගේ තාත්තාගේ අම්මා වන ඉංගර්බෝග් මර්ඩාල් සහ එයාගේ පුතා වන, එවකට අලුත බව්තීස්ම වූ යෞවනයෙක් වූ හෙන්රි මර්ඩාල්ද සිටියා. පසුව හෙන්රි 1924දී පූර්ණ කාලීන සේවය පටන්ගත් අතර ඊළඟ අවුරුදු පහ පුරාම දකුණුදිග අප්‍රිකාවේ විවිධ පැතිවල දේශනා කළා. හෙන්රි සහ ඊඩිත් 1930දී අතිනත ගත්තා. ඔවුන්ගේ වැඩිමල් දියණිය වන මම ඉපදුණේ ඊට අවුරුදු තුනකට පසුවයි.

පවුලේ වතගොත

මොසැම්බික්වලත් අපි ටික කාලයක් ජීවත් වුණා. නමුත් ඊට පස්සේ අපි 1939දී, ජොහැනිස්බර්ග්වල තිබුණ අපේ අම්මාගේ මහගෙදර පදිංචියට ගියා. මගේ නංගී තෙල්මා ඉපදුණේ ඊට වසරකට පසුවයි. බයිබල් සත්‍යයන්ට සීයා කිසි කැමැත්තක් දැක්වූවේ නැහැ. සමහර වෙලාවලට ආච්චිටත් බැණ වැදුණා. හැබැයි, අමුත්තෝ ගෙදරට ආවාම සීයා ඔවුන්ට හොඳට සැලකුවා. ආච්චිටයි සීයටයි උදව් කිරීමෙන් නංගීයි මායි ඉගෙනගත්තා වයසක අයව රැකබලා ගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන්, දවසේ වෙච්ච දේවල් නැත්නම් පරණ කාලේ රස කතා ගැන හුඟක් වෙලාවට අපි කතා කළේ රෑට කෑම කන වෙලාවලදීයි.

අපිව බැහැදකින්න එන සාක්ෂිකරුවන්, විශේෂයෙන් පූර්ණ කාලීන සේවකයන් අපේ ගෙදර නවාතැන් ගනිද්දී අපි හැමෝටම දැනුණේ මහත් ප්‍රීතියක්. ඒ විතරක් නෙවෙයි රෑ කෑම ගනිද්දී අපි කරන කතාබහට ඒගොල්ලොත් හවුල් වුණා. අපිට දැනටමත් ලැබී තිබුණු සත්‍යය තව තවත් අගය කරන්න එවැනි කතාබහ හේතු වුණා. අපිටත් පුරෝගාමීන් ලෙස සේවය කරන්න තිබුණු ආශාව තව තවත් වැඩි කළේ ඔවුන්ගේ ආශ්‍රයයි.

සාමාන්‍යයෙන් අම්මාත්, තාත්තාත්, ආච්චිත් අපිට ඇහෙන්න කතන්දර පොත්වලින් නැත්නම් බයිබලයෙන් කියවනවා. ඒ නිසා අපිට පොඩි කාලේ ඉඳලාම කියවීමට ලොකු ආශාවක් ඇති වුණා. සභා රැස්වීම්වලට සහ දේවසේවයේ යෑම හරියට අපේ ඇඟේම කොටසක් වගේ වුණා. අපේ තාත්තා ජොහැනිස්බර්ග් සභාවේ මුලසුන භාර අවේක්ෂක ලෙස කටයුතු කළ නිසා රැස්වීම්වලට වේලපහින්ම යන්න අපි පුරුදු වුණා. අපිට සමුළු තිබුණු දවස්වලදී තාත්තා එහි කටයුතු අධීක්ෂණය කිරීමට වෙහෙස නොබලා වැඩ කළා. පැමිණෙන අයට නවාතැන් පහසුකම් සූදානම් කළේ අම්මයි.

විශේෂ සමුළුවක්

ජොහැනිස්බර්ග් නගරයේ 1948දී පැවති සමුළුව අපිට විශේෂ එකක් වුණා. ඊට හේතුව නිව් යෝක් නුවරේ බෘක්ලින්වල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සාමාජිකයන් පිරිසක් පළමු වතාවට එහි පැමිණීමයි. අපේ තාත්තාට කාර් එකක් තිබුණ නිසා සහෝදර නේතන් නෝර්ට සහ සහෝදර මිල්ටන් හෙන්ෂල්ට ගමනාගමන පහසුකම් සැලසීම ඔහුගේ වගකීම වුණා. ඒ සමුළුවේදී තමයි මම බව්තීස්ම වුණේ.

ඉන් ටික කලකට පසුව මගේ තාත්තාට පුදුම හිතෙන කතාවක් අහන්න ලැබුණා. ඒ ඔහුගේ පියා කිව්ව දෙයක්. ඔහු කිව්වේ සහෝදර රසල්ගේ මරණයෙන් පස්සේ සත්‍යයෙන් ඉවත්ව ගිය අයට ඇහුම්කන් දීම ගැන තමන් කනගාටු වන බවයි. ඊට මාස කීපයකට පසුව ඔහු මිය ගියා. කොහොමවුණත් මගේ තාත්තාගේ අම්මා, 1955දී තම ජීවිතය අවසන් වන තෙක් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා.

මගේ ජීවිතයට අලුත් අද්දැකීම්

මම 1949 පෙබරවාරි 1වන දා ස්ථාවර පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා. ඊළඟ අවුරුද්දේදී නිව් යෝක් නගරයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන බව නිවේදනය කළාම අපගේ සතුට ඉහ වහ ගියා. නමුත් එහි යෑමට තරම් අපිට වත්කමක් තිබුණේ නැහැ. මගේ මවගේ පියා 1950 පෙබරවාරි මාසයේදී මිය ගියා. අපි පස්දෙනාගේ ගමන් ගාස්තු සඳහා ආච්චිට උරුම වූ ධනය ඇය ඒ වෙනුවෙන් යෙදෙව්වා.

අපි පිටත්වෙන්න සති කිහිපයකට පෙර නිව් යෝක් නුවරේ බෘක්ලින්වල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයෙන් අපිට ලියුමක් ලැබුණා. එහි 16වන ගිලියද් පාසැලට ඇතුළත් වීම සඳහා මට ආරාධනා කර තිබුණා. ඒ වනකොට මට වයස අවුරුදු 17ක්වත් නැහැ. නමුත් මම ඒ ගැන කොතරම් සතුටු වුණාද! පාසැල ආරම්භ වුණාම දකුණු අප්‍රිකාවෙන් ගිය ශිෂ්‍යයන් 10දෙනා අතර මමත් සිටියා. අපි ඔක්කොමලා ඒ වරප්‍රසාදය ගොඩක් අගය කළා.

වර්ෂ 1951 පෙබරවාරි මාසයේදී අපගේ පැවරුම් ලැබුණාට පසුව දකුණු අප්‍රිකාවේම සේවය කිරීමට අපෙන් අටදෙනෙක් නැවත ආවා. ඊළඟ අවුරුදු කීපයේදී මමයි මාත් එක්ක සේවය කරපු සහෝදරියයි අෆ්‍රිකාන්ස් භාෂාව කතා කළ අය සිටින පොඩි නගරවල සේවය කළා. මුලින්ම මට ඒ භාෂාව කතා කරන්න හරි අමාරු වුණා. මට මතකයි එක දවසක් දේශනා සේවය හරි හැටි කරගන්න බැරිව අඬ අඬා බයිසිකලය පැදගෙන ගෙදර ආපු හැටි. කොහොමවුණත් කාලය ගෙවෙද්දී යෙහෝවා දෙවි මගේ වෑයමට ආශීර්වාද කළ නිසා ඒ භාෂාව කතා කරන්න මට පුළුවන් වුණා.

විවාහය සහ සංචාරක සේවය

මම ජෝන් කුක්ව දැන හඳුනා ගත්තේ 1955දීයි. ඔහු දෙවන ලෝක යුද්ධය පටන්ගන්න පෙර සහ ඉන්පසු කාලයේදී ප්‍රංශයේ, පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ දේශනා වැඩ පටන්ගන්න උදව් කර තිබුණා. ඒ වගේම මට ඔහුව මුණගැහුණේ අප්‍රිකාවේ සේවය කරන්න ඇවිල්ල හිටිය අවුරුද්දේදීයි. පසුව අපේ මුණගැසීම ගැන ඔහු මෙහෙම ලිව්වා. “එකම සතියකදී මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධීන් තුනක් සිදු වුණා. . . . ඉතා ත්‍යාගශීලී සහෝදරයෙක් මට පොඩි කාර් එකක් දුන්නා. මාව දිස්ත්‍රික් අවේක්ෂක හැටියටත් පත් කළා. ඒ විතරක් නෙවෙයි මට ආදරය කරන්න කෙනෙකුත් හම්බ වුණා.” * අපි 1957 දෙසැම්බර් මාසයේදී විවාහ වුණා.

අපි යාළු වෙලා ඉන්න කාලෙදී ජෝන් කිව්වා අපේ ජීවිතය කවදාවත් නිරස එකක් වෙන්නේ නැහැ කියලා. ඔහු කිව්ව ඒ කතාව නම් හරියට හරි. අපි දකුණු අප්‍රිකාව පුරාම තිබුණු සභාවල් බැහැදකින්න ගියා. එහි වැඩිපුරම හිටියේ කලු ජාතිකයන්. ඒ පළාත්වලට ඇතුල් වීම සඳහා සෑම සතියකම අපිට අවසර ගන්න සිදු වුණා. ඒ පළාත්වල රැයක් නතර වෙනවා නම් ඒ සඳහා අවසර ගන්න එක ගොඩාක් අමාරු වුණා. ඉඳහිට අපි රෑ ගත කළේ සුදු ජාතිකයන් ඉන්න ප්‍රදේශවල කඩපිල්වලයි. ඒ කඩපිල්වල ඉද්දී අපි පුළුවන් තරම් උත්සාහ කළේ යන එන අයට නොපෙනෙන විදිහට ඉන්නයි. බොහෝදුරට අපිට නවාතැන් ගන්න සිදු වුණේ ළඟම සිටි සුදු ජාතික සාක්ෂිකරුවන් සමඟයි. නමුත් ඒගොල්ලොත් හිටියේ කිලෝමීටර් ගණනාවක් ඈතින්.

එක්රැස්වීම් ශාලාව හදලා තිබුණේ කැලෑවක ඇතුළට වෙන්න වගේ නිසා අපිට යම් අභියෝගවලට මුහුණ පාන්න සිදු වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සකස් කළ බයිබලයේ තොරතුරු ඇතුළත් චිත්‍රපට අපි මහජනයාට පෙන්නුවා. ඒවා ලෝක ව්‍යාප්ත සහෝදර සංගමය ගැන අගයක් ඇති කරගැනීමට ඔවුන්ට උපකාර කළා. ඒ ප්‍රදේශවල විදුලි බලය නොතිබුණ නිසා විදුලි ජනක යන්ත්‍ර තැනින් තැනට ගෙන යන්නත් අපිට සිදු වුණා. ඇතැම් ප්‍රදේශ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනය යටතේ තිබුණු නිසා අපගේ පොත්පත් තහනම් කර තිබුණා. අපට තවත් අභියෝගයක් වුණේ සූලු කියන භාෂාව ඉගෙනගැනීමයි. නමුත් අපි සහෝදරයන් වෙනුවෙන් යම් සේවයක් කරනවා කියා දැනගත් නිසා එයින් අපට මහත් ප්‍රීතියක් ලබා දුන්නා.

සභා අවේක්ෂකයන් සඳහා සැලසුම් කර තිබූ සති හතරක රාජ්‍ය සේවා පාසැල 1961දී දකුණු අප්‍රිකාවේ පැවතුණා. එහි පළමු උපදේශක හැටියට සේවය කළේ ජෝන්. ඔහුට ඉගැන්වීමට හොඳ හැකියාවක් තිබුණා. ඔහු ඉගැන්වීමේදී සරල තර්කයන් සහ මතකයේ රැඳෙන උදාහරණයන් පාවිච්චි කළ නිසා ශිෂ්‍යයන්ට ඒවා හොඳින් තේරුම් ගියා. මේ විදිහට අපි අවුරුදු එකහාමාරක් පමණ විවිධ ස්ථානවල ඉංග්‍රීසි බසින් මේ පාසැල පැවැත්තුවා. ජෝන් පාසැල මෙහෙයවද්දී මම එම ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන් සමඟ දේවසේවයේ යෙදුණා. අපිට පුදුම ගෙන දෙන තවත් දෙයක් සිදු වුණා. ඒ තමයි 1964 ජූලි 1වන දා සිට ජොහැනිස්බර්ග් නගරයට කිට්ටුවෙන් තිබුණ දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න කියා අපි දෙදෙනාට ලැබුණ ආරාධනාව.

මේ වන කොට ජෝන්ගේ සෞඛ්‍ය තත්වය ටිකක් වෙනස් වෙන්න පටන්ගත්තා. වර්ෂ 1948දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒකෙන් පස්සේ එයාට නිතරම තෙහෙට්ටුවක් දැනෙන්න පටන්ගත්තා. ජෝන්ට විටින් විට උණ හෙම්බිරිස්සාව හැදුණු නිසා දවස් ගණන් එක දිගට ඇඳට වෙලා ඉන්න වුණා. ඒ විතරක් නෙවෙයි එයා කාත් එක්කවත් කතාබහ කරන්න කැමති වුණෙත් නැහැ. මේ තත්වය නිසා ශාඛා කාර්යාලයේ වැඩ පටන්ගන්න පෙර අපි වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න ගියා. එතකොට ඔහු කිව්වේ ඒවා මානසික පීඩනයේ රෝග ලක්ෂණ කියලයි.

වෛද්‍යවරයා යෝජනා කරපු විදිහට අපේ සේවය අඩු කරන එක ගැන අපිට හිතාගන්නවත් බැරි වුණා. ඉතින් අපි ශාඛා කාර්යාලයේ සේවය කරන්න ආවා. එහි අපගේම කියල කාමරයක් තිබුණු එක ගැන අපි කොයි තරම් සතුටු වුණාද! ජෝන් වැඩ කළේ සේවා අංශයේ, මම වැඩ කළේ සෝදුපත් බලන කෙනෙක් හැටියටයි. වර්ෂ 1967දී අපිට කිව්වා ජොහැනිස්බර්ග් නගරයේ සිටිය පෘතුගීසි භාෂාව කතා කරන එකම සාක්ෂිකාර පවුල සමඟ එකතු වී ඒ නගරයේ සහ ඒ අවට සිටින පෘතුගීසි භාෂාව කතා කරන අයට දේශනා කරන්න කියලා. මොකද අපි බඳින්න ඉස්සර වෙලා ජෝන් පෘතුගීසි භාෂාව කතා කළ ප්‍රදේශයක වැඩ කරල තිබුණා. නමුත් මට පෘතුගීසි භාෂාවත් ඉගෙනගන්න සිදු වුණා. ඒ මට තිබුණ ඊළඟ අභියෝගයයි.

එම භාෂාව කතා කළ ජනයා විවිධ තැන්වල හිටපු නිසා හුඟක් වෙලාවට ගොඩක් දුර ගමන් කරන්න සිදු වුණා. සමහර වෙලාවට සත්‍යයට උනන්දු අයව සෙවීමට කිලෝමීටර් 300ක් විතර දුර යන්නත් සිදු වුණා. එක්රැස්වීම් තිබෙන කාලවලදී මොසැම්බික් රටේ හිටපු පෘතුගීසි බස කතා කරපු අය අපිව බලන්න ආවා. ඒකෙන් නවකයන් හුඟක් දිරිගැන්වුණා. පෘතුගීසි අයට දේශනා කරමින් අපි ගත කළ අවුරුදු 11 පුරා අපි දැක්කා 30ක් පමණ වූ අපේ කුඩා කණ්ඩායම සභා හතරක් දක්වා වර්ධනය වෙන හැටි.

මහගෙදර ඇති වූ සමහර වෙනස්කම්

මේ අතරේ මගේ මහගෙදර යම් යම් වෙනස්කම් සිදු වුණා. මගේ නංගී තෙල්මා 1960දී එක්සත් ජනපදයේ පුරෝගාමි සේවය කළ ජෝන් අර්බන් සමඟ විවාහ වුණා. ඒ දෙන්නා 1965දී 40වන ගිලියද් පාසැලට සහභාගි වූ අතර බ්‍රසීලයේ අවුරුදු 25ක් විශ්වාසවන්තව සේවය කළා. නමුත් නංගීගේ මහත්තයාගේ දෙමාපියන් හුඟක් වයසට ගිහිල්ලා හිටපු නිසා ඔවුන් නැවතත් 1990 එක්සත් ජනපදයට ගියා. දෙමාපියන්ගේ ඕනෑ එපාකම් සපුරමින් ඔවුන් මේ දක්වා පූර්ණ කාලීන සේවයේ නියැලෙනවා.

ස්වර්ගික බලාපොරොත්තුවක් තිබූ මගේ අම්මාගේ අම්මා 1965දී මියයන විට ඇයට වයස අවුරුදු 98යි. මගේ පියා විශ්‍රාම ගියෙත් එම අවුරුද්දෙමයි. ඒ නිසා අපි පෘතුගීසි ප්‍රදේශවල වැඩ පටන්ගනිද්දී මගේ දෙමාපියන් කැමැත්තෙන්ම අපිත් එක්ක හවුල් වුණා. කණ්ඩායම තවත් ශක්තිමත් කරන්න ඔවුන් ඉමහත් සහයෝගයක් දුන්නා. ප්‍රතිඵලයක් හැටියට මාස කිහිපයකට පසුව ඒ ප්‍රදේශයේ පළමු සභාව පිහිටෙව්වා. ඉන් ටික කලකට පසු අම්මාට පිළිකාවක් වැලඳී ඇති බව දැනගත්තා. පිළිකාව නිසා 1971දී ඇය මිය ගියා. තාත්තා මිය ගියේ ඊට අවුරුදු හතකට පසුවයි.

ජෝන්ගේ අසනීපය එක්ක කටයුතු කිරීම

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අපි දැනගත්තා ජෝන්ගේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා කියන එක. මෙතෙක් ඔහු හරිම ආශාවෙන් කරගෙන ගිය ශාඛා කාර්යාලයේ සතිපතා මුරටැඹ පාඩම සහ දිනපද සාකච්ඡාව මෙහෙයවීම වැනි වගකීම් එකින් එක බාර දෙන්න ඔහුට සිද්ධ වුණා. මේ විදියට ඔහු සේවා අංශයේ කළ පැවරුම වෙනුවට ලිපි හුවමාරු කරන අංශයටත් ඒකෙන් පසුව වත්තේ වැඩ කිරීමටත් මාරු කළා.

ජෝන්ට සේවය කිරීම සඳහා තිබුණු උද්‍යෝගය නිසා යම් වෙනස්කම් කරන එක ඔහුට අමාරු වුණා. සමහර දේ කරන්න එපා කියලා මම ඔහුට ටිකක් බල කරද්දී ඔහු මට විහිළු කළේ ‘ඔයා නම් මහ හිසරදයක්’ කියලයි. නමුත් ඊට පස්සේ එයා මාව අගය කරලා බදාගෙන ඉඹගන්නවා. ඉතින් අපිට තේරුණා ජෝන්ගේ රෝගී තත්වය නිසා තවදුරටත් පෘතුගීසි ප්‍රදේශයේ සේවය කරන එක ප්‍රායෝගික නැහැ කියලා. ඒ නිසා අපි ශාඛා කාර්යාලයට අයත් රාජ්‍ය ශාලාවේ රැස් වූ සභාව සමඟ සේවය කරන්න පටන්ගත්තා.

සෞඛ්‍ය තත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබුණත් ජෝන්ට යෙහෝවා දෙවි සමඟ තිබූ කිට්ටු මිත්‍රත්වය දැකීම මට මහත් ශක්තියක් වුණා. සමහර දවස්වල දැඩි මානසික පීඩනයක් ඇති වුණාම රෑ දෙගොඩහරියේ කලබල වෙලා එක පාරටම ඔහු ඇහැරෙනවා. ඒ වෙලාවට අපි ඒක ටිකක් මඟ හැරෙනකං කතා කර කර ඉන්නවා. ඊට පස්සේ යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න ඔහුට පුළුවන් වෙනවා. නිතර නිතර එහෙම වෙද්දී ඒක පාලනය කරන්නේ කොහොමද කියලා ඔහු ඉගෙනගත්තා. බොහෝවිට ඔහු කළේ ෆිලිප්පි 4:6, 7, “කිසි දෙයක් ගැන කනස්සලු නොවී . . . ” කියන පද මුමුණන එකයි. ඊට පසු ඔහු යාච්ඤා කරනවා. එවැනි රාත්‍රිවලදී ඉතා ඕනෑකමින් ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කරන හැටි මම අනන්තවත් දැක තිබෙනවා.

අපගේ ශාඛා කාර්යාලයේ ඉඩ පහසුකම් මදි වූ නිසා ජොහැනිස්බර්ග් නගරයට පිටින් වෙන්න වඩා විශාල ශාඛා කාර්යාලයක් ගොඩනඟන්න පටන්ගත්තා. ජෝන් සහ මම නිතර නිතර ඒක හදන තැන බලන්න ගියා. එය හරිම නිස්කලංක වගේම පරිසර දූෂණය නැති තැනක්. අලුතෙන් හදන ශාඛා කාර්යාලය හදලා අවසන් වෙනකං අපි දෙන්නාට ඒ අසල ඇති තාවකාලික නවාතැනකට යන්න කියා ආරාධනා කළා. ඒ තැන ජෝන්ගේ තත්වය සමඟ කටයුතු කරන්න හොඳ තැනක් වුණා.

අලුත් අභියෝග

තවත් කල් යද්දී ජෝන්ගේ සිතීමේ සහ තේරුම්ගැනීමේ හැකියාව තවත් දුර්වල වුණ නිසා ඔහුගේ පැවරුම ඉෂ්ට කිරීම වඩාත් අමාරු වුණා. නමුත් මම ගොඩක් අගය කරන දෙයක් තමයි අනිත් අය ජෝන් හිටපු තත්වය තේරුම් අරගෙන ඔහුට උදව් කළ විදිය. මට මතකයි එක සහෝදරයෙක් මහජන පුස්තකාලයට යද්දී ජෝන්වත් එක්කර ගෙන ගියා. ඒ යනකොට ජෝන් සාක්කු පිරෙන්න සඟරා සහ පත්‍රිකා දාගෙන යනවා. මෙය, ඔහුට යමක් කරන්න හැකි වුණා කියන හැඟීමත් තෘප්තියත් ගෙන දුන්නා.

පසුව ඔහුට ඇල්සයිමර්ස් රෝගය (අමතක වීමේ රෝගය) නිසා කියවීමේ හැකියාව නැති වුණා. නමුත් අපිට බයිබලය මත පදනම් පොත්වල සහ රාජ්‍ය ගීතිකාවල පටිගත කරන ලද කැසට් පට තිබීම ගැන අපි ස්තුතිවන්ත වුණා. අපි නැවත නැවත ඒවාට ඇහුම්කන් දුන්නා. ඒවාට සවන් දෙද්දී මම බැරි වෙලාවත් ජෝන් එක්ක ඉඳගෙන හිටියේ නැත්නම් ඔහු කලබල වෙනවා. ඒ නිසා මම ඔහුගේ ළඟම ඉඳගෙන ඒ වෙලාවේ මැහුම් ගෙතුම් වැඩ කළා. ඒ සඳහා කොච්චර පැය ගානක් ගත කළාද කිව්වොත් අපිට ජර්සිවලින් සහ ඇඳ ඇතිරිලිවලින් නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ!

ජෝන්ගේ රෝගී තත්වය තව තවත් දරුණු අතට හැරුණු නිසා මට සිදු වුණා ඔහුට වැඩියෙන් අවධානය දෙන්න. සමහර වෙලාවට මට කොච්චර මහන්සිද කිව්වොත් පොතක් පතක් කියවන්නවත් පාඩම් කරන්නවත් බැහැ. අන්තිමට 1998දී ජෝන් මිය යන විට මම හිටියේ ඔහු ළඟමයි. එතකොට ඔහුට අවුරුදු 85 ලැබුවා විතරයි. ඔහු ළඟම ඉඳගෙන ඔහු මිය යන තෙක් ඔහුව ආදරයෙන් රැකබලාගන්න ලැබුණු එක ලොකු වරප්‍රසාදයක් කියලයි මම හිතන්නේ. නැවත නැඟිටීමේදී සම්පූර්ණ සුවය ලබා සිටින මගේ ආදරණීය ජෝන්ව දැකගන්න මං ඉන්නේ කොයි තරම් ආසාවෙන්ද!

ප්‍රබෝධයක් ලබමින්

ජෝන් නැති වුණාට පස්සේ තනියම ජීවත් වෙන එක එතරම් ලෙහෙසි වුණේ නැහැ. ඒ නිසා මම 1999 මැයි මාසයේදී මගේ නංගී තෙල්මා සහ එයාගේ මහත්තයාව බලන්න එක්සත් ජනපදයට ගියා. එහිදී විශේෂයෙන්ම, නිව් යෝක්වල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය බලන්න ගියාම යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් සහ හිතවත් යාලු මිත්‍රයන් ගණනාවක් මට හම්බ වුණා. ඇත්තටම ඒ ගමනින් මම කොයි තරම් ප්‍රබෝධයක් ලැබුවාද! මට ඕන වුණෙත් ඒ වගේ දිරිගැන්වීමක් තමයි.

දෙවිට විශ්වාසවන්තව සිට මිය ගිය මගේ පවුලේ අයගේ අද්දැකීම් ගැන කල්පනා කරද්දී ඒවායින් ඉගෙනගන්න ගොඩාක් දෙවල් තියෙනවා කියලා මට තේරෙනවා. ඔවුන්ගේ උපදෙස්, ආදර්ශ සහ උපකාර නිසා මට හැකි වුණා වෙනත් ජාතිවල සිටින මිනිසුන්ටත් දෙවි ගැන දැනගන්න උපකාර කරන්න. ඉවසීමෙන් කටයුතු කරන්න වගේම ජීවිතයේ වෙනස් වන තත්වයන්ට හැඩගැහෙන්නත් මම ඉගෙනගත්තා. ඒ සියල්ලටම වඩා වැඩියෙන් මම අද්දැක්ක දේ තමයි අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන තැනැත්තා හැටියට යෙහෝවා දෙවි කොතරම් කරුණාවන්තද කියලා. ගීතිකාකරුගේ මෙම වචන සමඟ මමත් එකඟයි. “ඔබගේ මණ්ඩපවල වසන පිණිස ඔබ තෝරාගන්නාවූ ළං වන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය. අපි ඔබගේ ගෘහය වූ ඔබගේ මාලිගාවෙහි ශුද්ධස්ථානයේ යහපතින් තෘප්තියට පැමිණෙන්නෙමු.”—ගීතාවලිය 65:4.

[පාදසටහන්වල]

^ 18 ඡේ. වර්ෂ 1959 අගෝස්තු 1 මුරටැඹ කලාපයේ පිටු 468-72 දක්වා බලන්න. (සිංහලෙන් නැත)

[8වන පිටුවේ පින්තූරය]

ආච්චි එයාගේ දුවලා එක්ක

[9වන පිටුවේ පින්තූරය]

මම මගේ දෙමාපියන් එක්ක 1948දී බව්තීස්ම වූ දවසේදී

[10වන පිටුවේ පින්තූරය]

ගිලියද් පාසලේ රෙජිස්ත්‍රාවරයා වන ඇල්බර්ට් ශ්‍රෝඩර් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණි ශිෂ්‍යයන් නවදෙනා සමඟ

[10වන පිටුවේ පින්තූරය]

මම ජෝන් සමඟ 1984දී