‘සැන්හෙඩ්‍රිනය රැස් වුණා’
‘සැන්හෙඩ්‍රිනය රැස් වුණා’
යේසුස්ගේ නඩුව විභාග කළ අවස්ථාවේදී ඔහුව මරණයට පත් කරන්න කියා යුදෙව් ජනයා කෑමොර ගැසුවා. ඔවුන්ව නිහඬ කිරීමට උත්තම පූජකයා හා යුදෙව් පාලකයන් කළේ යේසුස්ට මරණ දණ්ඩනය නියම කිරීමයි. එහෙත් යේසුස්ගේ ගෝලයන් ඔහුගේ නැවත නැඟිටීම ගැන යෙරුසලම පුරාම සාක්ෂි දරද්දී ඔවුන්ව නිහඬ කිරීමට උත්තම පූජකයා හා යුදෙව් පාලකයන් කළේ කුමක්ද? මේ සඳහා ඔවුන් ‘සැන්හෙඩ්‍රිනය රැස් කළා.’ (ක්‍රියා 5:21) සැන්හෙඩ්‍රිනය ලෙස හඳුන්වන්නේ යුදෙව් ජනයාගේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
ඒ කාලයේ ඊශ්‍රායෙලයේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ඉහළම බලතල දැරුවේ රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් විසිනුයි. සැන්හෙඩ්‍රිනය පිලාත් සමඟ එක්ව ක්‍රියා කළේ කෙසේද? පිලාත්ට සහ සැන්හෙඩ්‍රිනයට කොතෙක් දුරට බලතල තිබුණාද? සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් වූයේ කවුරුන්ද? මෙම යුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක වූයේ කෙසේද?
සැන්හෙඩ්‍රිනයේ මූලාරම්භය
“සැන්හෙඩ්‍රිනය” සඳහා තිබෙන ග්‍රීක වචනයේ තේරුම වන්නේ “එකට රැස්වීමයි.” යුදෙව් සම්ප්‍රදායට අනුව මෙය සැලකුවේ ආගමික අධිකරණයක් ලෙසයි.
ක්‍රිස්තු වර්ෂ 70 සිදු වූ යෙරුසලමේ විනාශයෙන් පසු සම්පාදනය කළ තල්මුඩය නමැති යුදෙව් ග්‍රන්ථයේ සැන්හෙඩ්‍රිනය විස්තර කර තිබෙන්නේ පුරාණයේ යුදයේ පැවති ආගමික මණ්ඩලයක් ලෙසයි. එම ග්‍රන්ථයේ ලේඛකයන් සිතුවේ සැන්හෙඩ්‍රිනය කියන්නේ යුදෙව් නීතියේ සඳහන් කාරණා ගැන අදහස් දැක්වීමට එක් රැස් වූ විද්වතුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් හැටියටයි. ඔවුන් විශ්වාස කරන්නේ පුරාණ ඊශ්‍රායෙල් සෙනඟට නායකත්වය දුන් මෝසෙස්ට උපකාර කිරීමට පත් කළ වැඩිමහල්ලන් 70දෙනාගේ කාලයේදී මෙය ආරම්භ වූ බවයි. (ගණන් කතාව 11:16, 17) එහෙත් ඉතිහාසඥයන් දරන්නේ ඊට වෙනස් මතයක්. ඉතිහාසඥයන් පවසන ආකාරයට සැන්හෙඩ්‍රිනය ආරම්භ වුණේ ඊශ්‍රායෙලය පර්සියානු අධිරාජ්‍යයේ පාලනයට යටත් වූ කාලයේදීයි. එම ඉතිහාසඥයන් පවසන්නේ තල්මුඩය සකස් කළ විද්වතුන් දරන අදහස වඩාත් ගැළපෙන්නේ දෙවන හා තුන්වන සියවස්වල පැවති රබ්බිවරුන්ගේ සභාවලට මිස සැන්හෙඩ්‍රිනයට නොවන බවයි. එසේනම් සැන්හෙඩ්‍රිනය ආරම්භ වුණේ කවදාද?
ක්‍රිස්තු වර්ෂ 537දී බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස ලබා නැවතත් තම මව්බිමට පැමිණි යුදෙව්වන්ට වෙනම පාලන ක්‍රමයක් තිබූ බව බයිබලයේ සඳහන් දේවලින් පෙනී යනවා. නෙහෙමියා සහ එස්රා සඳහන් කරන ආකාරයට අධිපතීන්, වැඩිමහල්ලන්, උත්තමයන් හා මුලාදෑනීන් ඊශ්‍රායෙලයේ පාලන කටයුතුවල හවුල් වුණා. පසු කලෙක බිහි වූ සැන්හෙඩ්‍රිනයේ ආරම්භය එය විය හැකියි.—එස්රා 10:8; නෙහෙමියා 5:7.
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි සම්පූර්ණ කිරීමේ සිට මතෙව්ගේ ශුභාරංචිය සම්පාදනය කිරීම දක්වා වූ කාල පරිච්ඡේදය තුළ යුදයේ මහත් නොසන්සුන් තත්වයක් පැවතියා. ක්‍රිස්තු පූර්ව 332දී මහා ඇලෙක්සැන්ඩර් යුදයේ පාලනය සියතට ගත්තා. ඔහුගේ මරණින් පසුව යුදය ග්‍රීක රාජ්‍යයන් දෙකේ පාලනයට නතු වුණා. මුලින්ම ටොලමික රාජ්‍යයද පසුව සෙලූසිඩ් රාජ්‍යයද යුදය පාලනය කළා. ක්‍රිස්තු පූර්ව 198දී පටන්ගත් සෙලූසිඩ් පාලනය ගැන සඳහන් වාර්තාවල යුදෙව්වන්ගෙන් සමන්විත සෙනට් මණ්ඩලයක් ගැන සඳහන් වෙනවා. මේ මණ්ඩලයට තිබුණේ සීමිත බලතල වුවත් යුදෙව්වන්ට තමන්ගේම කියා පාලනයක් තිබෙනවා කියන හැඟීම එමගින් ඇති කළා.
ක්‍රිස්තු පූර්ව 167දී සෙලූසිඩ් රාජ වංශයේ IVවන ඇන්ටියෝකස් යුදෙව්වන්ව ග්‍රීක සංස්කෘතියට අනුව හැඩගැස්වීමට වෑයම් කළා. ඔහු යෙරුසලමේ දේවමාලිගාවේ පූජාසනය මත සියුස් දෙවියාට ඌරෙක් පූජා කළා. මෙමගින් පරිශුද්ධ වූ දේවමාලිගාව දූෂ්‍ය වූ නිසා යුදෙව්වන් කෝපයට පත් වී කැරැල්ලක් ගැසුවා. මේ කාලයේදී මකබිවරුන් සෙලූසිඩ් පාලනය ඉවත් කර, හස්මෝනියන් රාජ වංශය පිහිටුවාගත්තා. * එම කැරැල්ලේදී යුදෙව්වන්ට සහය දුන් ලියන්නන් හා පරිසිවරුන් ඔවුන්ගේ පූජක තනතුරු පරිත්‍යාග කර පාලන කටයුතුවලට හවුල් වීමට පටන්ගත්තා.
ග්‍රීක ශුද්ධ ලියවිලිවල සඳහන් වන සැන්හෙඩ්‍රිනය ආරම්භ වූයේ ඒ කාලයේදීයි. පසුව මෙය යුදෙව් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පහදා දීම සඳහා වූ පරිපාලන සභාවක් මෙන්ම යුදෙව්වන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය බවටද පත් වුණා.
සමබර පාලනයක්
පළමුවන සියවස වන විට යුදය පැවතුණේ රෝම අධිරාජ්‍යයේ පාලනය යටතේයි. කෙසේවෙතත් යුදෙව්වන් යම් ප්‍රමාණයක නිදහසක් භුක්ති වින්දා. තමන්ගේම පාලනයක් පිහිටුවාගැනීමට රෝමය යුදෙව්වන්ට ඉඩහැරියා. මේ නිසා රෝම අධිරාජ්‍යයේ නිලධාරීන් යුදෙව් අධිකරණවල සිදු කළ රාජකාරීවලට ඇඟිලි ගැසුවේ නැහැ. සංස්කෘතික වෙනස්කම් නිසා ගැටලු ඇතිවීමට රෝමවරුන් ඉඩ දුන්නේද නැහැ. යුදෙව්වන්ට තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමටත් තමන්ගේම කියා පාලනයක් කරගෙන යෑමටත් ඉඩ දීමෙන් රෝමවරුන් බලාපොරොත්තු වුණේ යුදය පුරා සාමය ඇති කිරීම හා යුදෙව්වන් තම අධිරාජ්‍යයට දක්වන පක්ෂපාතිත්වය රැකගැනීමයි. සැන්හෙඩ්‍රිනයේ මුලසුන හෙබවූ උත්තම පූජකයාව පත් කිරීම හෝ ඉවත් කිරීමත් අයබදු එකතු කිරීමත් හැරුණුකොට රෝමවරුන් යුදෙව්වන්ගේ කටයුතුවලට මැදහත් වූයේ ඔවුන්ගේ අධිරාජ්‍යයට යුදෙව්වන්ගෙන් යම් තර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී පමණයි. යේසුස්ගේ නඩු විභාගයේදී පෙනී යන්නාක් මෙන් රෝමවරුන් මරණ දණ්ඩනය නියම කිරීමේ බලතලද ඔවුන් සතුව තබාගත්තා.—යොහන් 18:31.
යොහන් 7:32) පහළ උසාවි මගින් සුළු සුළු අපරාධ හා සිවිල් නඩු විභාග කළා. මේවාට රෝමය මැදිහත් වුණේ නැහැ. යම් නඩුවකදී තීන්දුවක් දීමට පහළ උසාවියකට නොහැකි වූ අවස්ථාවලදී ඒ නඩුව සැන්හෙඩ්‍රිනයට යොමු කළා. එහි තීරණය අවසන් තීරණය වුණා.
යුදෙව් සමාජයේ සිදු වූ බොහෝ දේවල් පාලනය කළේ සැන්හෙඩ්‍රිනය මගිනුයි. යම් අයව අත්අඩංගුවට ගැනීමේ බලතල ඔවුන්ට තිබුණා. ඒ සඳහා ඔවුන්ට නිලධාරීන්ද සිටියා. (සැන්හෙඩ්‍රිනයට එය සතු බලතල දිගටම භුක්ති විඳීමට නම් රෝම අධිරාජ්‍යය සමඟ සාමය පවත්වාගනිමින් එයට සහය දිය යුතු වුණා. යම් ආකාරයකින් තම අධිරාජ්‍යයට යුදෙව්වන්ගෙන් යම් තර්ජනයක් ඇති වන බව රෝමවරුන්ට දැනුණා නම් ඒ සඳහා ඔවුන් තමන්ට හරියයි සිතන තීරණ ගත්තා. පාවුල්ව අත්අඩංගුවට ගැනීම ඊට හොඳ උදාහරණයක්.—ක්‍රියා 21:31-40.
උසාවියේ සාමාජිකයන්
සැන්හෙඩ්‍රිනය සමන්විත වුණේ උත්තම පූජකයා ඇතුළුව යුදෙව්වන් අතර සිටි වැදගත් පුරුෂයන් 70දෙනෙකුගෙනුයි. රෝමවරුන්ගේ කාලයේදී සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් වූයේ පූජකයන් (මූලිකව සද්දුසිවරුන්), රදල පැළැන්තියේ අය, පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් වූ උගත් ලියන්නන් යන අයයි. සැන්හෙඩ්‍රිනයේ මූලිකත්වය දැරුවේ රදල පැළැන්තියේ පූජකයන් විසිනුයි. ඔවුන්ට ඉහළ පන්තියේ යුදෙව්වන්ගෙන් සහය ලැබුණා. * සද්දුසිවරුන් සම්ප්‍රදායික මත දැරුවත් පරිසිවරුන් ඊට වෙනස් අය වුණා. රදල පැළැන්තියට අයත් නොවූ පරිසිවරුන් නිදහස් මත දැරූ අතර පොදු ජනයා කෙරෙහි වැඩි බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වුණා. ඉතිහාසඥ ජොසීෆස් පවසන පරිදි පරිසිවරුන්ගේ ඉල්ලීම්වලට සද්දුසිවරුන් යටත් වුණේ අකමැත්තෙන්. පාවුල් සැන්හෙඩ්‍රිනය ඉදිරියේ කතා කරද්දී මේ කණ්ඩායම් දෙක අතර තිබූ මතභේද හා විශ්වාසයන් සම්බන්ධයෙන් ඔවුන් දැරූ වෙනස් මතයන් ප්‍රයෝජනයට ගනිමින් තමන් නිවැරදි බව තහවුරු කළා.—ක්‍රියා 23:6-9.
සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් රදල පැළැන්තියට අයත් වූ නිසා ඔවුන්ගේ සාමාජිකත්වය ස්ථිරව පැවතියා. එමෙන්ම සාමාජික තනතුරක් හිස් වුණා නම් ඒ සඳහා පත් කළේ දැනට සිටින සාමාජිකයන් විසිනුයි. මිෂ්නා නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි අලුත් සාමාජිකයන් වූයේ “පූජකයන් හා ලෙවීවරුනුයි.” එමෙන්ම “පූජකයන්ව විවාහ කරගැනීමට සුදුසුකම් තිබූ දූවරුන් සිටි ඊශ්‍රායෙල්වරුන්ටද එහි සාමාජිකයන් විය හැකි වුණා.” තමන්ගේ පෙළපත යුදෙව්වන්ගෙන් පැවතෙන බව තහවුරු කිරීමට හැකි වූ ඕනෑම ඊශ්‍රායෙල්වරයෙකුට එහි සාමාජිකයෙකු වීම සඳහා ඉදිරිපත් විය හැකි වුණා. සැන්හෙඩ්‍රිනයට මුළු දේශයේම නීතිමය කාරණා හැසිරවීමට බලතල තිබුණා. පහළ උසාවියේ කීර්ති නාමයක් ලබාගෙන තිබූ කෙනෙකුට සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙකු වීමට හැකියාව තිබුණා.
සැන්හෙඩ්‍රිනයට තිබූ බලතල
යුදෙව්වන් සැන්හෙඩ්‍රිනය මහත් ගෞරවයෙන් යුතුව සැලකූ අතර පහළ උසාවිවල විනිසුරුවන් එමගින් දුන් නීති ක්‍රියාත්මක කිරීමට බැඳී සිටියා. ඔවුන් එසේ නොකළා නම් ඔවුන්ට මරණ දණ්ඩනය නියම වුණා. සැන්හෙඩ්‍රිනය පූජකයන්ගේ සුදුසුකම්, යෙරුසලම හා එහි තිබූ දේවමාලිගාව සහ එහි නමස්කාරය හා සම්බන්ධ කාරණා ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුවා. සැන්හෙඩ්‍රිනයේ බලය ක්‍රියාත්මක වූයේ යූදා දේශය තුළ පමණයි. එහෙත් දෙවි මෝසෙස් මගින් ඊශ්‍රායෙල්වරුන්ට දෙන ලද නීතිය ලොව පුරා සිටි යුදෙව් ජනයාට පහදා දෙමින් හරි වැරැද්ද සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ පූර්ණ අයිතිය තිබුණේ සැන්හෙඩ්‍රිනයටයි. උදාහරණයක් හැටියට උත්තම පූජකයා සහ ඔහුගේ උපදේශක සභාව දමස්කයේ පිහිටි සිනගෝගයේ නායකයන්ට යේසුස්ගේ අනුගාමිකයන්ව අත්අඩංගුවට ගැනීමට සහය වන්න කියා ඉල්ලා සිටියා. (ක්‍රියා 9:1, 2; 22:4, 5; 26:12) යෙරුසලමේ පැවති ආගමික උත්සවවලට සහභාගි වීම සඳහා වෙනත් දේශවලින් පැමිණි යුදෙව්වන් සැන්හෙඩ්‍රිනයේ තීරණ තම ප්‍රදේශවල සිටි ජනයාට දැනුම් දුන්නා කියා සිතිය හැකියි.
මිෂ්නා නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි ජාතියට වැදගත්කමක් තිබූ කාරණා ගැන තීරණ ගැනීමේ බලතල සැන්හෙඩ්‍රිනය සතු වුණා. උදාහරණයක් හැටියට එමගින් දුන් තීරණ ක්‍රියාත්මක නොකළ විනිසුරුවන්ව හා බොරු අනාගතවක්තෘවරුන්ව සැන්හෙඩ්‍රිනය මගින් විනිශ්චය කළා. දෙවිට අපහාස කරන්නන් කියා චෝදනාවට ලක් වූ යේසුස් හා ස්තේපන් සැන්හෙඩ්‍රිනය ඉදිරියේ පෙනී සිටියා. පේතෘස් සහ යොහන් එය ඉදිරියේ පෙනී සිටියේ ජාතිය නොමඟ යවන්නන් කියා ඔවුන්ට කළ චෝදනා නිසයි. පාවුල්වද එය ඉදිරියට කැඳෙව්වා. ඊට හේතු වුණේ දේවමාලිගාව කෙලසන්නෙක් කියා ඔහුට චෝදනා කිරීමයි.—මාක් 14:64; ක්‍රියා 4:15-17; 6:11; 23:1; 24:6.
යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ට දුන් තීන්දු
සබත් දවස්වල හා ශුද්ධ දවස්වල හැර අනෙකුත් සෑම දවසකම උදෑසන පූජාව ඔප්පු කළ වේලාවේ මතෙව් 26:57-59; යොහන් 11:47-53; 19:31.
පටන් සැන්දෑවේ ඔප්පු කළ පූජාව දක්වා කාලය තුළ සැන්හෙඩ්‍රිනය රැස් වුණා. නඩු විභාග කළේ ඒ කාලය අතරතුර පමණයි. පසු දින සබත් දිනයක් හෝ උත්සව දිනයක් වූවා නම් එදින මරණ දඬුවම නියම විය හැකි නඩු විභාග කළේ නැහැ. නිදොස් පුද්ගලයන්ව වැරදිකරුවන් වන ආකාරයට සාක්ෂි නොදීමට සාක්ෂිකරුවන්ට තරයේ අවවාද කර තිබුණා. මේ අනුව යේසුස්ගේ නඩුව කායෆස්ගේ නිවසේදී උත්සව දිනකට කලින් දින රාත්‍රියේ විභාග කිරීම නීති විරෝධීයි. මීටත් වඩා දරුණු දෙය වන්නේ සැන්හෙඩ්‍රිනයේ විනිසුරුවන් බොරු සාක්ෂිකරුවන්ව සොයාගැනීම හා යේසුස්ට මරණ දඬුවම දීමට පිලාත්ව පොලඹවාගැනීමයි.—තල්මුඩයේ සඳහන් වන පරිදි මරණ දඬුවම නියම විය හැකි නඩු විභාග කළ විනිසුරුවන් විත්තිකරුට නිරපරාදේ දඬුවම් නොකිරීමේ අරමුණින් සාක්ෂි විභාග කළේ ඉතා පරෙස්සමෙන්. එහෙත් යේසුස්ගේ සහ ස්තේපන්ගේ නඩු විභාග කරද්දී ඔවුන් එලෙස ක්‍රියා කළේ නැහැ. ස්තේපන් සැන්හෙඩ්‍රිනය ඉදිරියේ තමා වරදක් කර නැති බව පෙන්වා දුන්නත් ඔහුව ගල් ගසා මරා දැමුවා. රෝම හමුදාව මැදිහත් නොවන්න පාවුල්ටත් ඒ හා සමාන දෙයකට මුහුණ දෙන්න ඉඩ තිබුණා. ඇත්තෙන්ම සැන්හෙඩ්‍රිනයේ විනිසුරුවන් ඔහුව මරා දමන්න කුමන්ත්‍රණය කළා.—ක්‍රියා 6:12; 7:58; 23:6-15.
කෙසේවෙතත් සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් කිහිපදෙනෙක් ප්‍රතිපත්තිගරුක පුද්ගලයන් වුණා. යේසුස් සමඟ කතා කළ තරුණ යුදෙව් පාලකයා සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙක් කියා සිතිය හැකියි. යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට ඒ පාලකයාගේ ධන සම්පත් බාධාවක් වූවත් තමාගේ අනුගාමිකයෙක් වෙන්න කියා යේසුස් ඔහුට ආරාධනා කළේ ඔහු සතු වූ හොඳ ගුණාංග නිසයි.—මතෙව් 19:16-22; ලූක් 18:18, 22.
“යුදෙව්වරුන්ගේ පාලකයෙකු වූ” නිකදේමස් යේසුස්ව රාත්‍රි කාලයේදී හමුවීමට පැමිණියේ සෙසු විනිසුරුවන් තමන් ගැන වැරදි ලෙස සිතයි කියා තිබූ බිය නිසා විය හැකියි. එහෙත් නිකදේමස් යේසුස්ට පක්ෂව කතා කරමින් සැන්හෙඩ්‍රිනයෙන් මෙසේ ඇසුවා. “පළමුකොට ඔහුගෙන් නොවිමසා, ඔහු කරන්නේ කුමක්දැයි නොදැන අපගේ නීතියට අනුව මිනිසෙකුව විනිශ්චය කරන්න පුළුවන්ද?” යේසුස්ගේ මරණින් පසු නිකදේමස් යේසුස්ගේ සිරුර භූමදානය සඳහා සූදානම් කිරීමට අවශ්‍ය “සුවඳ ලාටු සහ කලු අගිල් මිශ්‍ර රෝලක්” ලබා දුන්නා.—යොහන් 3:1, 2; 7:51, 52; 19:39.
සැන්හෙඩ්‍රිනයේ තවත් සාමාජිකයෙකු වූ අරිමාතියේ යෝසෙප් ඔහුට අයිති අලුත් සොහොන් ගෙයි යේසුස්ගේ සිරුර තැන්පත් කිරීමට නිර්භීතව පිලාත්ගෙන් අවසර ඉල්ලා සිටියා. යෝසෙප් “දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටි” කෙනෙකු වූවත් යුදෙව්වන්ට තිබූ බිය නිසා තමා යේසුස්ගේ ගෝලයෙකු බව හඳුන්වා දීමට කැමති වූයේ නැහැ. කෙසේවෙතත් යේසුස්ව මරණයට පත් කරන්න සැන්හෙඩ්‍රිනය කළ කුමන්ත්‍රණයට යෝසෙප් හවුල් නොවීම පැසසීමට ලක් විය යුතු දෙයක්.—මාක් 15:43-46; මතෙව් 27:57-60; ලූක් 23:50-53; යොහන් 19:38.
සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙකු වූ ගමාලියෙල් යේසුස්ගේ ගෝලයන්ව නිදහස් කර යවන්න කියා සෙසු විනිසුරුවන්ට නැණවත් ලෙස මෙසේ උපදෙස් දුන්නා. “එසේ නැත්නම්, [ගෝලයන්ව නිදහස් නොකළොත්] ඔබ ඇත්තෙන්ම දෙවිට විරුද්ධව සටන් කරන්නන් ලෙස පෙනෙනු ඇත.” (ක්‍රියා 5:34-39) යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ට දෙවිගේ උපකාරය තිබූ බව සැන්හෙඩ්‍රිනය පිළි නොගැනීමට හේතු වූයේ කුමක්ද? යේසුස් කළ ප්‍රාතිහාර්යයන් පිළිගන්නවා වෙනුවට සැන්හෙඩ්‍රිනය මෙසේ කරුණු ගෙනහැර පෑවා. “අපි කුමක් කරමුද? මේ මිනිසා බොහෝ ලකුණු සිදු කරයි. අප මේ ආකාරයට ඔහුට ඉඩහැරියොත්, සියල්ලන්ම ඔහු කෙරෙහි ඇදහිල්ල තබනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇත.” (යොහන් 11:47, 48) මෙසේ බලයට තිබූ කෑදරකම නිසා සැන්හෙඩ්‍රිනය යුක්තිය ඉටු කළේ නැහැ. එමෙන්ම යේසුස්ගේ ගෝලයන් මිනිසුන්ගේ ලෙඩ රෝග සුව කිරීම ගැන ප්‍රීති වෙනවා වෙනුවට ඒ ආගමික නායකයන් ‘ඊර්ෂ්‍යාවෙන් පිරුණා.’ (ක්‍රියා 5:17) විනිසුරුවන් හැටියට ඔවුන් දෙවි කෙරෙහි ගෞරවනීය බියක් ඇති අය මෙන්ම යුක්තිගරුක පුද්ගලයන් විය යුතුව තිබුණා. එහෙත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දූෂිත, වංක පුද්ගලයන් වුණා.—නික්මයාම 18:21; ද්විතීය කතාව 16:18-20.
දෙවිගේ විනිශ්චය
ඊශ්‍රායෙල් ජාතිය දෙවිගේ නීතියට අකීකරු වූ නිසත් ගැලවුම්කරු වන යේසුස්ව ප්‍රතික්ෂේප කළ නිසත් යෙහෝවා දෙවි ඔවුන්ව එපා කළා. ක්‍රිස්තු වර්ෂ 70දී රෝම හමුදාව යෙරුසලම නගරයද එහි දේවමාලිගාවද මුළු යුදෙව් සමාජ ක්‍රමයමද නැති කර දැමුවා. අවසානයේදී සැන්හෙඩ්‍රිනයද පහ වී ගියා.
යෙහෝවා දෙවි පත් කර තිබෙන විනිසුරු වන යේසුස් මුල් සියවසේදී තිබූ සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් අතරින් නැවත නැඟිටීමට සුදුසු කවුද කියා අනාගතයේදී තීරණය කරයි. එමෙන්ම ඔවුන් අතරින් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයට විරුද්ධව ක්‍රියා කළ අය කවුද කියාද ඔහු විනිශ්චය කරයි. (මාක් 3:29; යොහන් 5:22) මෙම තීරණය ගැනීමේදී යේසුස් යුක්තිය පරිපූර්ණ ලෙස ඉටු කරන බවට සැකයක් නැහැ.—යෙසායා 11:3-5.
[පාදසටහන්වල]
^ 9 ඡේ. මකබිවරුන් සහ හස්මෝනියන්වරුන් ගැන විස්තර දැනගැනීම සඳහා 1998 නොවැම්බර් 15 මුරටැඹ සඟරාවේ 21-24 දක්වා පිටුද, 2001 ජූනි 15 මුරටැඹ සඟරාවේ 27-30 දක්වා පිටුද බලන්න.
^ 16 ඡේ. බයිබලයේ සඳහන් “නායක පූජකයෝ” කීමෙන් අදහස් කරන්නේ දැනට සිටින හෝ කලින් සිටි උත්තම පූජකයන් හා අනාගතයේදී පූජකයන් වීමට නියමිතව සිටින පවුල්වල සාමාජිකයනුයි.—මතෙව් 21:23.