යුදෙව්වන් සිදු කළ චාරිත්‍රානුකූල ස්නානය බව්තීස්මයට පූර්වාදර්ශයක් වූවාද?
යුදෙව්වන් සිදු කළ චාරිත්‍රානුකූල ස්නානය බව්තීස්මයට පූර්වාදර්ශයක් වූවාද?
යොහන් බව්තීස්ත “පසුතැවිල්ල සංකේතවත් කළ බව්තීස්මය” ගැන දේශනා කළා. තමන්ගේ අනුගාමිකයන් වීමට ජනයාට උපකාර කරමින් ඔවුන්ව බව්තීස්ම කරන්න කියා යේසුස්ද ඔහුගේ ගෝලයන්ට ආඥා කළා.—මාක් 1:4; මතෙව් 28:19.
බයිබලයට අනුව ක්‍රිස්තියානි බව්තීස්මයේදී බව්තීස්ම වන පුද්ගලයාව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වීම අවශ්‍යයි. “මේ හා සමාන චාරිත්‍ර බොහෝ ආගම්වලද, සංස්කෘතීන්වලද, රටවලද අතීතයේ මෙන්ම වර්තමානයේද සිදු කරනු ලබනවා” කියා එක් පොතක සඳහන් වෙනවා. (Jesus and His World) ‘ක්‍රිස්තියානි බව්තීස්මය මුලින්ම සිදු කරන ලද්දේ යුදෙව් ආගමෙයි’ කියා එම පොතේ තවදුරටත් සඳහන් වෙනවා. එහෙත් මෙය සත්‍යයක්ද?
යුදෙව්වන් චාරිත්‍රානුකූලව ස්නානය කළ තටාක
යෙරුසලමේ දේවමාලිගාව පිහිටා තිබූ කන්ද අසල කළ කැණීම්වලදී චාරිත්‍රානුකූල ස්නානය කළ තටාක 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකි වුණා. එම තටාක ක්‍රි.පූ. පළමුවන සියවස හා ක්‍රි.ව. පළමුවන සියවස අතර කාලයේදී භාවිත කර තිබෙන බව පෙනී යනවා. ක්‍රිස්තු වර්ෂ දෙවන හෝ තුන්වන සියවසට අයත් සිනගෝගයක තිබී සොයාගත් ශිලා ලේඛනයක සඳහන් වන ආකාරයට “චාරිත්‍රානුකූල ස්නානයක් ලබාගැනීමට අවශ්‍ය අමුත්තන්ට” එම තටාක සපයා දී තිබෙනවා. යෙරුසලමේ ධනවතුන්ගේ හා පූජකයන්ගේ පවුල්වලට අයත් අය විසූ කොටසේ තිබූ තවත් තටාක සොයාගෙන තිබෙනවා. මේ සෑම පවුලකටම වෙන වෙනම තටාක තිබුණා.
ඍජුකෝණාස්රාකාර හැඩයෙන් යුත් එම තටාක පර්වතයකින් කපා ගෙන තිබුණා. එසේත් නැත්නම් පොළොව හරා සාදා ගත් එවන් තටාකයක ගල් අල්ලා තිබුණා. ජලය කාන්දු නොවන ලෙස බදාම ගා තිබු එම තටාක බොහෝමයක් අඩි නවයක් දිගින් හා අඩි හයක් පළලින් යුක්ත වුණා. මෙම තටාකවලට වැසි ජලය ලබාගැනීම සඳහා නළ සවි කර තිබුණා. එහි ජලය අඩුම තරමින් අඩි හතරක්වත් ගැඹුරුට තිබූ නිසා කෙනෙක් දෙකට නැමී ස්නානය කරන විට සම්පූර්ණෙයන්ම ජලයේ ගිලීමට හැකි වුණා. සමහර තටාකවලට බැසීමට තිබූ පඩි පේළිය කුඩා බිත්තියක් මගින් වෙන් කර තිබුණා. මෙම පඩි පේළිවල එක් පැත්තක් භාවිත කළේ අපවිත්‍ර වූ පුද්ගලයෙකු පවිත්‍ර වීම සඳහා ස්නානය කරන්න පැමිණි විටයි. අපවිත්‍ර වීමක් වැළැක්වීම සඳහා ස්නානය ලැබූ තැනැත්තා පිට වී ගියේ පඩි පේළියේ අනිත් පැත්තෙනුයි.
මෙම ස්නානයන් සිදු කළේ යුදෙව්වන් චාරිත්‍රානුකූලව පවිත්‍ර වීම සඳහායි. මෙම චාරිත්‍රය පැවැත්වීමේදී සිදු කළේ මොනවාද?
ස්නානය, නීතිය සහ චාරිත්‍ර
දෙවිගේ සෙනඟට ආගමානුකූලව හා ශාරීරික වශයෙන් පවිත්‍රව සිටීමේ අවශ්‍යතාව මෝසෙස්ට දෙන ලද නීතිය මගින් අවධාරණය කර තිබුණා. ඊශ්‍රායෙල්වරයෙක් අපවිත්‍ර විය හැකි විවිධ දේවල් පැහැදිලිව නීතියේ සඳහන් කර තිබුණා. අපවිත්‍ර වූ කෙනෙක් තමන්ගේ සිරුර හා වස්ත්‍ර සෝදාගෙන පවිත්‍ර විය යුතු වුණා.—ලෙවී කතාව 11:28; 14:1-9; 15:1-31; ද්විතීය කතාව 23:10, 11.
යෙහෝවා දෙවි ශුද්ධ දෙවි කෙනෙක්. මේ නිසා දෙවිට පූජා ඔප්පු කිරීමට කලින් පූජකයන් හා ලෙවිවරුන් ඔවුන්ගේ අත් හා පාද සෝදාගත යුතු වුණා. එසේ නොකළා නම් ඔවුන්ට දුන් දඬුවම මරණයයි.—නික්මයාම 30:17-21.
විද්වතුන් විශ්වාස කරන ආකාරයට පළමුවන සියවස වන විට පවිත්‍ර වීම සම්බන්ධයෙන් පූජකයන් පිළිපැඳිය යුතු නියමයන් ලෙවීවරුන් නොවන අයද පිළිපැඳිය යුතුයි කියා යුදෙව් ආගම විසින් නියම කර තිබුණා. චාරිත්‍රානුකූලව කළ යුතු සෝදා පවිත්‍ර වීම එසනිවරුන් (යුදෙව් නිකායකට අයත් අය) හා පරිසිවරුන් යන දෙපිරිසම පිළිපැද්දා. යේසුස්ගේ කාලයේ සිදු වූ චාරිත්‍රයක් ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “යුදෙව්වෙක් යෙරුසලමේ දේවමාලිගාව පිහිටි කන්ද නඟින්න කලින්ද, පූජාවක් ඔප්පු කරන්න කලින්ද, පූජකයන් ඔප්පු කරන පූජාවක ප්‍රයෝජන ලබන්න කලින් හා ඒ හා සමාන වෙනත් කාර්යයන්වලදී චාරිත්‍රානුකූලව පවිත්‍ර වීම හා සම්බන්ධ නීති පිළිපැඳිය යුතු වුණා.” තල්මුඩය නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි ස්නානය කරන අය සම්පූර්ණයෙන් ජලයේ ගිලිය යුතු වුණා.
චාරිත්‍රානුකූලව පවිත්‍ර වීම සම්බන්ධයෙන් පරිසිවරුන් ජනයාට කළ දැඩි බලපෑම් යේසුස් හෙළා දැක්කා. ඔවුන් “කුසලානද පැන් කළද තඹ භාජනද දියෙහි ගිල්වීම” ඇතුළු විවිධ “දේවල් ජලයේ ගිල්වීම” සිදු කළා. පරිසිවරුන් විවිධ චාරිත්‍ර වාරිත්‍ර පනවමින් දෙවිගේ නීති අභිබවා ගිය බව යේසුස් පැවසුවා. (හෙබ්‍රෙව් 9:10; මාක් 7:1-9; ලෙවී කතාව 11:32, 33; ලූක් 11:38-42) සම්පූර්ණ සිරුරම ජලයේ ගිල්විය යුතුයි කියා මෝසෙස්ට දෙන ලද නීතියේ කොතැනකවත් සඳහන් වී නැහැ.
ක්‍රිස්තියානි බව්තීස්මයේ ආරම්භයට අඩිතාලම දැමුවේ යුදෙව්වන් චාරිත්‍රනුකූලව කළ ස්නානයද? පිළිතුර නැත යන්නයි.
චාරිත්‍රානුකූල ස්නානය හා ක්‍රිස්තියානි බව්තීස්මය
පවිත්‍ර වීම හා සම්බන්ධ චාරිත්‍ර ඉටු කළේ යුදෙව්වන් විසින්මයි. එහෙත් යොහන් කළ බව්තීස්මය යුදෙව්වන් කළ චාරිත්‍රානුකූල ස්නානයට වඩා වෙනස් වුණා. බව්තීස්ම කරන්නා කියා යුදෙව්වන් යොහන්ව හැඳින්වීමෙන් පෙනී යන්නේ ඔහු ජනයාව දියේ ගිල්වමින් කළ බව්තීස්මය චාරිත්‍රානුකූල ස්නානයට වඩා වෙනස් බවයි. “ඔබ බව්තීස්ම කරන්නේ මන්ද?” කියා ඇසීම සඳහා යුදෙව් ආගමික නායකයන් යොහන් වෙතට නියෝජිතයන්ව පවා පිටත් කර හැරියා.—යොහන් 1:25.
මෝසෙස් මගින් දෙන ලද නීතියට අනුව දෙවිට නමස්කාර කරන කෙනෙක් අපවිත්‍ර වන සෑමවිටම පවිත්‍ර වීම හා සම්බන්ධ නියමයන් පිළිපැඳිය යුතු වුණා. කෙසේවෙතත් යොහන් කළ බව්තීස්මය හා පසුව ක්‍රිස්තියානීන් කළ බව්තීස්මය ලබාගත යුතු වූයේ එක් වතාවක් පමණයි. පසුතැවිලි වීම හා කලින් ගත කළ ජීවිත රටාව වෙනස් කිරීම යොහන් කළ බව්තීස්මයෙන් අදහස් වුණා. ක්‍රිස්තියානි බව්තීස්මයෙන් සංකේතවත් කරන්නේ බව්තීස්ම වන තැනැත්තා දෙවිට තමන්ව කැප කර තිබෙන බවයි. ඔහු මෙය කරන්නේ විටින් විට නොව එක් වතාවක් පමණයි.
යුදෙව් පූජකයන්ගේ නිවෙස්වල සිදු කළ චාරිත්‍රානුකූල ස්නානය සහ දේවමාලිගාව පිහිටි කන්ද අසල ජනයා කළ ස්නානය ක්‍රිස්තියානි බව්තීස්මයට සමාන වන්නේ මතු පිටින් පමණයි. චාරිත්‍රනුකූල ස්නානයේදී හා ක්‍රිස්තියානි බව්තීස්මයේදී කළ දියේ ගිල්වීමේ අර්ථයන් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. බයිබලය පිළිබඳ එක් ශබ්දකෝෂයක මෙසේ සඳහන් වෙනවා. ‘යොහන් කළ බව්තීස්මය ඔහුගේ කාලයේ සිටි යුදෙව්වන් කළ චාරිත්‍රානුකූල ස්නානයට වඩා වෙනස් බව විද්වතුන් පිළිගන්නවා.’ (The Anchor Bible Dictionary) ක්‍රිස්තියානි සභාවේ සිදු කරන බව්තීස්මය ගැනද කිව හැක්කේ ඒ දෙයමයි.
‘යහපත් හෘදය සාක්ෂියක් සඳහා දෙවිගෙන් කරන ඉල්ලීමක්’ ක්‍රිස්තියානි බව්තීස්මයෙන් අදහස් කරනවා. (1 පේතෘස් 3:21) එමෙන්ම බව්තීස්ම වන තැනැත්තා යේසුස්ගේ ගෝලයෙකු හැටියට යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා කැප වී සිටින බවද එයින් සංකේතවත් කරනවා. බව්තීස්ම වන තැනැත්තාව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වීම, එම කැපවීමට යෝග්‍ය සංකේතයක් කියා පැවසිය හැකියි. බව්තීස්ම වන තැනැත්තා ජලයේ සම්පූර්ණයෙන්ම ගිලීමෙන් අදහස් කරන්නේ ඔහු කලින් ගත කළ ජීවිතයට අනුව මිය යන බවයි. ජලයෙන් එසවීමෙන් අදහස් කරන්නේ ඔහු දෙවිගේ කැමැත්ත කිරීම සඳහා අලුත් පුද්ගලයෙක් හැටියට ජීවත් වන බවයි.
තමන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතිව සිටීමේ වටිනා ප්‍රස්තාව යෙහෝවා දෙවි එසේ කැප වී බව්තීස්ම වන අයට ලබා දෙනවා. ‘බව්තීස්මය දැන් ඔබව ගලවන්නේය’ කියා දේවානුභාවයෙන් සෙසු ඇදහිලිවන්තයන්ට පැවසීමට පේතෘස්ට හැකි වූයේ ඒ නිසයි. යුදෙව්වන් චාරිත්‍රානුකූලව සිදු කළ ස්නානයෙන් කිසිමදාක එවැනි දෙයක් අත් කරගැනීමට හැකි වූයේ නැහැ.