Skip to content

පටුනට යන්න

ස්වාමිපුරුෂයෙනි මූලිකත්වය දැරීමේදී යේසුස්ව අනුකරණය කරන්න

ස්වාමිපුරුෂයෙනි මූලිකත්වය දැරීමේදී යේසුස්ව අනුකරණය කරන්න

ස්වාමිපුරුෂයෙනි මූලිකත්වය දැරීමේදී යේසුස්ව අනුකරණය කරන්න

‘සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්ය.’—1 කොරින්ති 11:3.

1, 2. (අ) සාර්ථක ස්වාමිපුරුෂයෙක් කියා පවසන්නේ මොන වගේ කෙනෙකුටද? (ආ) විවාහයේ ආරම්භකයාණන් දෙවි බව වටහා ගැනීම වැදගත් වන්නේ ඇයි?

සාර්ථක ස්වාමිපුරුෂයෙක් කියා ඔබ යම් කෙනෙක්ව හඳුන්වන්නේ කුමන හේතු නිසාද? ඔහුට තිබෙන බුද්ධිමය හැකියාව හෝ ශාරීරික හැකියාව නිසාද? මුදල් ඉපයීමට ඇති හැකියාව නිසාද? එසේත් නැත්නම් තම බිරිඳට හා දරුවන්ට ආදරයෙන් හා කරුණාවෙන් සලකන නිසාද? අවසාන හේතුව සම්බන්ධයෙන් නම් බොහෝ සැමියන් අසාර්ථකයි. ඊට බොහෝසෙයින් බලපාන කාරණය වන්නේ ‘මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටෙන් ස්ත්‍රියක සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූ’ විවාහයේ ආරම්භකයාණන්ගේ උපදෙස් පිළිපදිනවා වෙනුවට ඔවුන් මේ ලෝකයේ මිනිසුන්ගේ මතිමතාන්තර අනුව ක්‍රියා කිරීම නිසයි.—උත්පත්ති 2:21-24.

2 විවාහයේ ආරම්භකයාණන් දෙවි බව පෙන්වා දෙන උත්පත්ති පොතේ සඳහන් එම වාර්තාව සනාථ කරමින් යේසුස් එදා සිටි විවේචකයන්ට මෙසේ පැවසුවා. “ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බවත්, ‘ඒ නිසා, මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය’ කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද? මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි [විවාහයෙන්] එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!” (මතෙව් 19:4-6) එසේ නම් කෙනෙකුට සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැක්කේ විවාහය ආරම්භ කළේ දෙවි බව වටහා ගැනීමෙන් හා දෙවි බයිබලයේ දී තිබෙන උපදෙස් පිළිපැදීමෙන් පමණයි.

සාර්ථක ස්වාමිපුරුෂයෙකු වීමට නම් . . .

3, 4. (අ) විවාහය සම්බන්ධයෙන් යේසුස්ට හොඳ දැනුමක් තිබෙනවා කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) යේසුස්ගේ භාර්යාවට සමාන කර තිබෙන්නේ කාවද? ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට සැලකිය යුත්තේ කෙසේද?

3 කෙනෙකුට සාර්ථක ස්වාමිපුරුෂයෙක් විය හැකි හොඳම ක්‍රමය නම් යේසුස්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීම හා ඔහුව අනුකරණය කිරීමයි. යේසුස්ට විවාහය ගැන හොඳ දැනුමක් තිබෙනවා කියා පැවසීමට හේතුව මුල්ම යුවළ මැවූ අවස්ථාවේදී මෙන්ම ඔවුන්ගේ විවාහය සිදු වූ අවස්ථාවේදීද යේසුස් දෙවි සමඟ සිටි නිසයි. “අප වාගේ, අපේ ස්වරූපයෙන්ම, අපි මනුෂ්‍යයාව සාදමු” කියා දෙවි පැවසුවේ යේසුස්ටයි. (උත්පත්ති 1:26 නව ලොව පරිවර්තනය, NW.) “දෙවිගේ මැවිල්ලේ පටන්ගැන්ම වූ” ඔහු “මුළු මැවිල්ලේම කුලුඳුලාය.” මින් පෙනී යන්නේ මුළු විශ්වයම නිර්මාණය කිරීමට කලින් යේසුස් සිටි බවයි. (එළිදරව් 3:14; කොලොස්සි 1:15) ඔහු එතැන් පටන් අන් සියලු දේ නිර්මාණය කිරීමට “කර්මාන්තයෙහි මුලාදෑනියෙකු මෙන්” සිට දෙවිට සහය වුණා.—හිතෝපදේශ 8:22-30.

4 යේසුස්ව “දෙවිගේ බැටළු පැටවා” කියා හඳුන්වා තිබෙන අතර ඔහුව ස්වාමිපුරුෂයෙකුටද සමාන කර තිබෙනවා. එක් අවස්ථාවකදී දේවදූතයෙක් “මෙතැනට එන්න. බැටළු පැටවාගේ භාර්යාව වන මනාලිය මම ඔබට පෙන්වන්නෙමි” කියා පැවසුවා. (යොහන් 1:29; එළිදරව් 21:9) ‘බැටළු පැටවාගේ භාර්යාව’ කියා මෙහි හඳුන්වන්නේ අනාගතයේදී ස්වර්ගයේ රජකම් කිරීමට නියමිත විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. (එළිදරව් 14:1-3) යේසුස් මෙම අභිෂේක ලත් ගෝලයන්ට පොළොවේ සිටිය කාලයේදී සැලකූ ආකාරයෙන් ස්වාමිපුරුෂයන්ට තම භාර්යාවන්ට සැලකිය යුතු ආකාරය ගැන බොහෝ දේ ඉගෙන ගත හැකියි.

5. යේසුස් විශේෂයෙන්ම ආදර්ශයක් වන්නේ කාටද?

5 “ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය” කියා පවසා තිබෙන්නේ ඔහු ඔහුගේ සියලුම අනුගාමිකයන් සඳහා කදිම ආදර්ශයක් සැපයූ නිසයි. (1 පේතෘස් 2:21) ඒත් විශේෂයෙන්ම ඔහු ආදර්ශයක් වන්නේ පුරුෂයන්ටයි. බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්, ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.” (1 කොරින්ති 11:3) පුරුෂයන් ක්‍රිස්තුස්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුකරණය කළ යුත්තේ ඔවුන්ගේ හිස ක්‍රිස්තුස් වන නිසයි. පවුලක ප්‍රීතිය හා තෘප්තිය තිබෙන්න නම් එම පවුලේ හිස හෙවත් මූලිකයා පවුලේ මූලිකත්වය හොඳින් හෙබවිය යුතුයි. යේසුස් තම භාර්යාව බඳු අභිෂේක ලත් ගෝලයන් සමඟ ක්‍රියා කළ ආකාරයටම පුරුෂයන්ද භාර්යාවන් සමඟ ප්‍රේමණීය ලෙස ක්‍රියා කිරීමෙන් පවුලේ ප්‍රීතිය අත් කරගත හැකියි.

ගැටලු පැන නැගෙන විට. . .

6. ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන් සමඟ ක්‍රියා කළ යුත්තේ කෙසේද?

6 අද අපි ජීවත් වන්නේ ප්‍රශ්න ගැටලුවලින් පිරී ලෝකයක නිසා ඉවසීම, ප්‍රේමය පෙන්වීම හා දෙවිගේ ප්‍රමිති පැවැත්වීමේදී ස්ථිරව සිටීම සම්බන්ධයෙන් පුරුෂයන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම අවශ්‍යයි. (2 තිමෝති 3:1-5) ඒ ගැන දේවවචනයේ පවසන්නේ ‘ස්වාමිපුරුෂයෙනි, ඔබත් දැනගැන්මට අනුව ඔවුන් [භාර්යාවන්] සමඟ වාසය කරන්න’ කියායි. (1 පේතෘස් 3:7) විවාහ ජීවිතයේදී ගැටලු ඇති වන විට පුරුෂයන්ද යේසුස් මෙන් ඒවා දැනුම් තේරුම් ඇතුව නිරාකරණය කර ගත යුතුයි. මේ ලෝකයේ කිසිම මිනිසෙකු අද්දැක නැති ආකාරයේ දරුණු පීඩා ප්‍රශ්නවලට යේසුස් මුහුණ දුන්නා. නමුත් ඒවා ගෙනෙන්නේ සාතන් හා ඔහුගේ භූතයන් බව යේසුස් හොඳින්ම දැනගෙන සිටියා. (යොහන් 14:30; එෆීස 6:12) මේ නිසා පැමිණි පීඩා ගැන ඔහු පුදුම වුණේ නැහැ. ඒ හා සමානව පුරුෂයන්ද ‘මාංසයෙහි දුක් ඇතිවන විට’ ඒවා ගැන පුදුම විය යුතු නැහැ. ඊට හේතුව විවාහය තුළ එවැනි ප්‍රශ්න ඇති වන බවට බයිබලයේ අනතුරු අඟවා තිබෙන නිසයි.—1 කොරින්ති 7:28.

7, 8. (අ) භාර්යාවන් සමඟ දැනගැන්මට අනුව වාසය කරන්න යන්නට ඇතුළත් වන්නේ කුමක්ද? (ආ) භාර්යාවන් ගෞරවය ලැබීමට වටින්නේ ඇයි?

7 ස්වාමිපුරුෂයන්ට බයිබලයේ පවසන්නේ “දැනගැන්මට අනුව ඔවුන් සමඟ වාසය කරමින්, වඩා දුර්වල භාජනයකට මෙන් ස්ත්‍රියට ගෞරවය දෙන්න” කියායි. (1 පේතෘස් 3:7) සාමාන්‍යයෙන් පුරුෂයන් භාර්යාවන්ව කර්කශ ලෙස පාලනය කරන බව බයිබලයේ කලින්ම පවසා තිබුණා. නමුත් දෙවිගේ ප්‍රමිති පවත්වන පුරුෂයෙක් තම භාර්යාවට සලකන්නේ ගෞරවනීය ලෙසයි. (උත්පත්ති 3:16) ඔහුට ඇය වටිනා වස්තුවක්. ඒ නිසා තමන්ගේ ශක්තිය බිරිඳට පෙන්වමින් ඇයව රිදවනවා වෙනුවට ඇගේ හැඟීම් වටහා ගන්නා ඔහු ඇයට ගෞරවයෙන් සලකනවා.

8 ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ගෞරවයෙන් සැලකිය යුත්තේ ඇයි? මෙයට පිළිතුරු සපයමින් බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබ ජීවනය නමැති මහත් වරප්‍රසාදයට ඔවුන් සමඟ උරුමක්කාරයෝ වන නිසා, ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස එසේ කරන්න.” (1 පේතෘස් 3:7) යෙහෝවා දෙවි තමන්ට නමස්කාර කරන ස්ත්‍රියකට වඩා පුරුෂයෙක් උතුම් කියා කවදාවත් සිතන්නේ නැති බව ස්වාමිපුරුෂයන් වටහා ගත යුතුයි. දෙවිගේ අනුමැතිය ලත් පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද සදාකාල ජීවනය නමැති ත්‍යාගය ලබනවා. මේ ස්ත්‍රීන්ගෙන් සමහරුන් ස්වර්ගීක ජීවිතය පවා භුක්ති විඳිනවා. එහි ‘පුරුෂයෙකු ස්ත්‍රියෙකු’ කියා වෙනසක් නැහැ. (ගලාති 3:28) දෙවිට වටින්නේ කෙනෙකුගේ ඇදහිල්ල බව ස්වාමිපුරුෂයන් මතක තබා ගත යුතුයි. ඒ තැනැත්තා පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද දරුවෙක්ද යන කාරණය දෙවිට වැදගත් වන්නේ නැහැ.—1 කොරින්ති 4:2.

9. (අ) පේතෘස් පෙන්වා දෙන පරිදි පුරුෂයන් භාර්යාවන්ට ගෞරව කළ යුතු තවත් හේතුවක් වන්නේ කුමක්ද? (ආ) යේසුස් ස්ත්‍රීන්ට ගෞරවය පෙන්නුවේ කෙසේද?

9 පුරුෂයන් භාර්යාවන්ට ගෞරවයෙන් සැලකිය යුතු වීමට තවත් හේතුවක් පැහැදිලි කරන පේතෘස් ඊළඟට මෙසේ පවසනවා. “ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස එසේ කරන්න.” පුරාණයේ සිටි සමහර දෙවිගේ සේවකයන්ගේ යාච්ඤා දෙවි පිළිගත්තේ නැහැ. ඊට හේතුව ඔවුන් තමන්ගේ භාර්යාවන්ට ගෞරවයෙන් සැලකුවේ නැති නිසයි. එම හේතුව නිසා ඔබගේ යාච්ඤාවලටත් එලෙස බාධා ඇති වෙනවා නම් එය කොතරම් කනගාටුදායකද! (විලාප ගී 3:43, 44) විවාහ වූ සහ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රිස්තියානී පුරුෂයන් යේසුස් ස්ත්‍රීන්ට සැලකූ ගෞරවනීය ආකාරය ආදර්ශයට ගන්නවා. යේසුස් සමඟ සේවයේ ගිය අය අතර ස්ත්‍රීන්ද සිටියා. යේසුස් ඔවුන්ට කාරුණික හා ගෞරවනීය ලෙස සැලකුවා. එක් අවස්ථාවකදී යේසුස්ගේ ජීවිතයේ ඉතා වැදගත් කාරණයක් පුරුෂයන්ට දැනුම් දුන්නේ ස්ත්‍රීන් මාර්ගයෙනුයි.—මතෙව් 28:1, 8-10; ලූක් 8:1-3.

ස්වාමිපුරුෂයන්ට කදිම ආදර්ශයක්

10, 11. (අ) විශේෂයෙන්ම ස්වාමිපුරුෂයන් යේසුස්ගේ ආදර්ශය සලකා බැලිය යුත්තේ ඇයි? (ආ) ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ප්‍රේමය පෙන්විය යුත්තේ කෙසේද?

10 ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් අතර තිබෙන බැඳීම යේසුස් සහ ඔහුගේ “මනාලිය” වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාව අතර ඇති බැඳීමට සමාන කළා ඔබට මතක ඇති. ‘ක්‍රිස්තුස් සභාවේ හිස වන්නාක් මෙන් ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය’ යන වදන් යේසුස් මූලිකත්වය දැරූ ආකාරය ගැන උනන්දුවෙන් සොයා බැලීමට ස්වාමිපුරුෂයන් තුළ පෙළඹීමක් ඇති කළ යුතුයි. (එෆීස 5:23) යේසුස් තම ගෝලයන්ට සැලකූ ආකාරයටම තම භාර්යාවන්ට මඟ පෙන්වමින් ප්‍රේමයෙන් සැලකීමට ස්වාමිපුරුෂයන්ට හැකි වන්නේ එසේ කිරීමෙන් පමණයි.

11 “ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න” කියා බයිබලයේ දිරිගන්වා තිබෙනවා. (එෆීස 5:25) මෙම “සභාව” එෆීස හතර වෙනි පරිච්ඡේදයේ පාවුල් සමාන කළේ ‘ක්‍රිස්තුස්ගේ ශරීරයටයි.’ මෙම ශරීරයෙන් සංකේතවත් කළ සභාවට පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද ඇතුළත් වන අතර එහි ක්‍රියාකාරිත්වයට ඒ සැමෝගේම දායකත්වය අවශ්‍යයි. “සභාව නමැති ශරීරයේ හිස” ලෙස කටයුතු කරන්නේ යේසුස්.—එෆීස 4:12; කොලොස්සි 1:18; 1 කොරින්ති 12:12, 13, 27.

12. යේසුස් තම ශරීරය බඳු සභාවට ප්‍රේම කළේ කෙසේද?

12 යේසුස් තම ශරීරය බඳු ‘සභාවට’ ප්‍රේමය පෙන්වමින් එහි සමාජිකයන්ගේ යහපත ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුවා. ඔහුගේ ගෝලයන් වෙහෙස වී සිටී එක් අවස්ථාවකදී “තනිව පාළු තැනකට ඇවිත් මද විවේකයක් ගන්න” කියා පැවසුවේ ඒ නිසයි. (මාර්ක් 6:31) යේසුස් මිය යන්න පැය කිහිපයකට පෙර වූවද ක්‍රියා කළ ආකාරය ගැන ඔහුගේ එක් ගෝලයෙක් පැවසුවේ මෙසේයි. ‘ඔහු ලෝකයේ සිටි තමාගේම [ශරීරය බඳු සභාවේ සාමාජිකයන් වන] අයට අවසානය දක්වාම ප්‍රේම කළේය.’ (යොහන් 13:1) තම භාර්යාවන්ට ආදරයෙන් සැලකීම ගැන ස්වාමිපුරුෂයන්ට යේසුස් මොන තරම් කදිම ආදර්ශයක්ද!

13. ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ප්‍රේම කළ යුත්තේ කෙසේද?

13 යේසුස්ගේ ආදර්ශය දිගටම අනුකරණය කිරීම සඳහා ස්වාමිපුරුෂයන්ට පාවුල් මෙවැනි අවවාදයක් දුන්නා. “ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය. තම භාර්යාවට ප්‍රේම කරන්නා තමාටම ප්‍රේම කරන්නේය. මන්ද, කිසි මිනිසෙක් කිසිදාක තමාගේම මාංසයට වෛර කළේ නැත. ඒ වෙනුවට, ක්‍රිස්තුස් සභාවට සලකන්නාක් මෙන් ඔහු එය පෝෂණය කර ඉතා ආදරයෙන් රැකබලා ගනියි. එහෙත්, ඔබ එකිනෙකාත් තමාට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුය.”—එෆී. 5:28, 29, 33.

14. ස්වාමිපුරුෂයෙක් තම සිරුර ගැන සැලකිල්ලක් දක්වන්නේ කෙසේද? බිරිඳට සැලකිය යුතු ආකාරය ගැන ඉන් පෙන්වන්නේ කුමක්ද?

14 පාවුල් පැවසූ ඉහත වදන් ගැන සිතා බලන්න. සිහිකල්පනාව තිබෙන කෙනෙක් වුවමනාවෙන්ම තමන්ගේ ශරීරයට තුවාල කර ගනියිද? කෙනෙක් පය පැටලී වැටෙන්න ගියා කියා තමාගේ මහපටැඟිල්ල තලා ගනියිද? කොහෙත්ම නැහැ. ඒ වගේම සැමියෙක් තමාගේ මිතුරන් ඉදිරියේ තමාවම පහත් කර කතා කරයිද? තමාගේම අඩු පාඩු ගැන කියයිද? නැහැ. එහෙම නම් තම භාර්යාව අතින් අඩු පාඩුවක් වූ විට ඇයට වචනවලින් පහර දීමට හෝ අතින් පයින් පහර දීම සුදුසු දෙයක්ද? සැමියෙක් තමා ගැනම විතරක් නෙවෙයි තමන්ගේ බිරිඳ ගැනත් සැලකිල්ලක් දැක්විය යුතුයි.—1 කොරින්ති 10:24; 13:5.

15. (අ) ගෝලයන් අතින් සිදු වූ අඩු පාඩුවක් යේසුස් සැලකුවේ කොහොමද? (ආ) මෙයින් ගත හැකි පාඩම කුමක්ද?

15 යේසුස් මිය යන්න පෙර දින රාත්‍රියේදී ඔහුගේ ගෝලයන් අතින් සිදු වූ අඩු පාඩුවක් දෙස ඔහු බැලූ ආකාරය ගැන සිතා බලන්න. යේසුස් ගෙත්සමන උයනේදී දිගටම යාච්ඤා කරමින් සිටින්න කියා නැවත නැවතත් ගෝලයන්ට පැවසුවත් ඔහු පැමිණි තුන් වතාවේම ඔවුන් සිටියේ නිදාගෙනයි. හදිස්සියේම පැමිණි සොල්දාදුවන් ඔවුන්ව වට කළා. “ඔබ සොයන්නේ කාවද?” කියා යේසුස් ඇසූ විට ඔවුන් පිළිතුරු දුන්නේ “නාසරිය යේසුස්ව” කියායි. ‘පැය පැමිණ තිබෙන’ බව දැනගත් යේසුස් “ඒ මමය. ඔබ සොයන්නේ මාව නම්, මොවුන්ට යන්න හරින්න” කියා පැවසුවා. ඒ මොහොතේදී පවා යේසුස් හිතුවේ තම මනාලි පන්තියට අයත් ඔහුගේ ගෝලයන්ගේ යහපත ගැනයි. තම භාර්යාවන්ට සැලකිය යුතු ආකාරය ගැන ස්වාමිපුරුෂයන්ට යේසුස්ගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි.—යොහන් 18:1-9; මාක් 14:34-37, 41.

හැඟීම්වලට වහල් නොවූ ප්‍රේමයක්

16. යේසුස් මාර්තාව සැලකුවේ කෙසේද. එහෙත් ඔහු ඇයව නිවැරදි කළේ කෙසේද?

16 යේසුස් තමන්ට නිතරම ප්‍රේමණීය ලෙස ආගන්තුක සත්කාරය දැක් වූ “මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරුස්ටද ප්‍රේම කළේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 11:5) නමුත් තමන් පවසමින් සිටි වටිනා උපදෙස්වලට සවන් දෙනවා වෙනුවට ආහාර පිළියෙල කිරීමට වැඩි අවධානයක් දුන් මාර්තාව නිවැරදි කිරීමට යේසුස් පසුබට වුණේ නැහැ. ඔහු ඇයට මෙසේ පැවසුවා. “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේවල් ගැන කරදර වී නොසන්සුන්ව සිටින්නෙහිය. අවශ්‍යව තිබෙන්නේ කීපයක් පමණි. නැත්නම් එක දෙයකි.” (ලූක් 10:41, 42) ඔහු ඇයට කරුණිකව සලකා තිබූ නිසා ඒ උපදෙස පිළිගැනීමට මාර්තාට පහසු වුණා. ඒ හා සමානව ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන්ව ප්‍රේමයෙන් හා කරුණාවෙන් සැලකිය යුතු අතර යමක් පවසන විට එය සිත නොරිදෙන ආකාරයෙන් පැවසිය යුතුයි. ඒත් යම් නිවැරදි කිරීමක් අවශ්‍ය විටකදී පසුබට නොවී යේසුස් මෙන් ප්‍රේමණීය ලෙස එය කිරීමට පුරුෂයන් මතක තබා ගත යුතුයි.

17, 18. (අ) පේතෘස් යේසුස්ට දුන් අවවාදය කුමක්ද? පේතෘස්ව නිවැරදි කිරීම අවශ්‍ය වුණේ ඇයි? (ආ) ස්වාමිපුරුෂයෙකුට තිබෙන වගකීම කුමක්ද?

17 තවත් අවස්ථාවකදී යේසුස් තමන් යෙරුසලමට යා යුතු බවත් එහිදී “වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විදින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව” ගෝලයන්ට පැවසුවා. එවිට පේතෘස් ඔහුව පැත්තකට ගෙන ගොස් ඔහුට අවවාද කරමින් “ස්වාමිනි, ඔබ ගැන හිතන්න. ඔබට එවැන්නක් කවදාවත් සිදු නොවේ” යයි පැවසුවා. පේතෘස් එවැනි දෙයක් පැවසුවේ ඔහු හැඟීම්වලට වහල් වී සිටි නිසයි. මේ නිසා ඔහුව නිවැරදි කළ යුතු වුණා. “සාතන් මා පස්සට යන්න! ඔබ මට බාධාවට හේතුවකි. මන්ද, ඔබ සිතන්නේ මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ” යයි යේසුස් පැවසුවේ ඒ නිසයි.—මතෙව් 16:21-23.

18 එහිදී යේසුස් පවසමින් සිටියේ තමන් පීඩා විඳීම හා මරණයට පත් වීම දෙවිගේ අරමුණට එකඟ බවයි. (ගීතාවලිය 16:10; යෙසායා 53:12) පේතෘස් හැඟීම්වලට යට වී එම අරමුණට විරුද්ධ වීම වැරදි දෙයක් වුණා. පේතෘස්ගේ එම වැරදි සිතුවිලි නිවැරදි කිරීමට යේසුස් තදින් අවවාද කළේ ඒ නිසයි. අපිටත් එවැනි නිවැරදි කිරීම් කලින් කලට අවශ්‍ය වෙනවා. තම බිරිඳ ඇතුළු පවුලේ අයව නිවැරදි කිරීමට පවුලේ මූලිකයා හැටියට ස්වාමිපුරුෂයාට අධිකාරියක් මෙන්ම වගකීමක්ද තිබෙනවා. යම් කාරණා ගැන ස්ථිරව හා තදින් සිටිය යුතු අවස්ථා තිබිය හැකි වුණත් එය කළ යුත්තේ කාරුණික හා ප්‍රේමණීය ලෙසයි. යේසුස් පේතෘස්ට කාරණා නිවැරදිව තේරුම් ගැනීමට උපකාර කළා හා සමානව පුරුෂයාත් තම භාර්යාවට කාරණා වටහා ගන්න උපකාර කළ යුතුයි. උදාහරණයක් ලෙස ඇගේ ඇඳුම් පැළඳුම්, ආභරණ පැළඳීම හා රුව අලංකාර කිරීමට භාවිත කරන ආලේපන වැනි දෑ ශුද්ධ ලියවිලිවලට පටහැනි ආකාරයට තිබෙනවා නම් ඒ ගැන කාරුණිකව ඇයව නිවැරදි කළ යුතුයි.—1 පේතෘස් 3:3-5.

ස්වාමිපුරුෂයෙනි ඉවසන්න

19, 20. (අ) යේසුස්ගේ ගෝලයන් අතර තිබුණු ප්‍රශ්නය කුමක්ද? ඒ වගේම යේසුස් ඒ ප්‍රශ්නය හැසුරුවේ කොහොමද? (ආ) යේසුස්ගේ වෑයම කොතරම් සාර්ථකද?

19 යම් කාරණයක් නිවැරදි කළ පමණින් එය ඉක්මනින් හදා ගනියි කියා ස්වාමිපුරුෂයන් බලාපොරොත්තු නොවිය යුතුයි. යේසුස්ටත් තම ගෝලයන්ගේ ආකල්ප වෙනස් කිරීමට දිගින් දිගටම උත්සාහ කරන්න සිදු වුණා. උදාහරණයක් හැටියට ගෝලයන් අතර තිබූ තරඟකාරී ස්වභාවයක් යේසුස්ගේ සේවයේ අවසාන කාලයේදීත් නැවත මතු වී ඔවුන් අතරේ ප්‍රධානියා කවුද කියා ඔවුන් නිතර වාද කළා. (මාර්ක් 9:33-37; 10:35-45) මෙම වාදය දෙවෙනි වතාවටත් ඇති වී වැඩි කාලයක් යන්න කලින් යේසුස් ඔවුන් සමඟ පාස්කු මංගල්‍යය පැවැත්වීමට සැලසුම් කළා. ඔවුන් අතර චාරිත්‍රයක් ලෙස තිබූ පාද සේදීම වැනි යටහත් පහත් ක්‍රියාව කිරීමට කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒත් යේසුස් ඉදිරිපත් වී එය කිරීමෙන් පසු “ආදර්ශය මම ඔබට දුනිමි” කියා පැවසුවා.—යොහන් 13:2-15.

20 යේසුස් හා සමානව එවැනි යටහත් පහත්කමක් පෙන්වන ස්වාමිපුරුෂයන්ට තම භාර්යාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන බව නම් නිසැකයි. නමුත් මේ සඳහා ඉවසීම අත්‍යවශ්‍යයි. කෙසේවූවද එම පාස්කු මංගල්‍යය දින රාත්‍රියේදීම නැවතත් ඔවුන් අතර උතුම් තැනැත්තා කවුද යන කාරණය ගැන වාදයක් ඇති වුණා. (ලූක් 22:24) නමුත් පසු කාලයකදී ඔවුන් මෙම වැරදි ආකල්ප වෙනස් කර ගත්තා. මින් පෙනී යන්නේ ආකල්පවල හා හැසිරීම්වල වෙනස්කම් එක රැයකින් සිදු නොවන බවයි. නමුත් කාලයත් සමඟ පියවරෙන් පියවර එය වෙනස් වේවි.

21. ස්වාමිපුරුෂයන් මතක තබා ගත යුතු කාරණය කුමක්ද? ඒ වගේම ඔවුන් කළ යුත්තේ කුමක්ද?

21 අද පවුල් ජීවිත වෙන කවරාදටත් වඩා බොහෝ අභියෝගවලට මුහුණු දෙනවා. බොහෝදෙනෙක් තමන්ගේ විවාහ පොරොන්දුව සලකන්නේ සැහැල්ලුවෙන්. මේ නිසා ස්වාමිපුරුෂයෙනි, විවාහයේ මූලාරම්භකයාණන් වන්නේ අපේ ප්‍රේමණිය දෙවි වන යෙහෝවා බව නිතරම මතක තබාගන්න. දෙවි යේසුස්ව මේ පොළොවට එව්වේ ගැළවුම්කරුවෙක් ලෙස ජීවිතය දීමට පමණක් නොව තමන් සඳහා කදිම ආදර්ශයක් සැපයීමට බවත් ස්වාමිපුරුෂයන් මතක තබා ගත යුතුයි.—මතෙව් 20:28; යොහන් 3:29; 1 පේතෘස් 2:21.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• විවාහයේ මූලාරම්භකයාණන් දෙවි බව වටහාගත යුත්තේ ඇයි?

• තම භාර්යාවන්ට ප්‍රේම කිරීමට ස්වාමිපුරුෂයන්ව උනන්දු කර තිබෙන්නේ කුමන ආකාරවලින්ද?

• මූලිකත්වය දැරිය යුතු ආකාරය ගැන යේසුස් ස්වාමිපුරුෂයන්ට ආදර්ශයක් දුන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූරය]

යේසුස් ස්ත්‍රීන්ට සැලකූ ආකාරය ස්වාමිපුරුෂයන් හොඳින් සොයා බැලිය යුත්තේ ඇයි?

[15වන පිටුවේ පින්තූරය]

ගෝලයන් වෙහෙසී සිටි අවස්ථාවේදී යේසුස් ඔවුන් ගැන සැලකිලිමත් වුණා

[16වන පිටුවේ පින්තූරය]

ස්වාමිපුරුෂයන් භාර්යාවන්ට උපදෙස් දිය යුත්තේ කාරණිකව හා සිත නොරිදෙන ලෙසයි