Skip to content

පටුනට යන්න

‘මේ ලෝකයේ කොටසක් නොවන’ රාජ්‍යයක් කෙරෙහි බලා සිටීම

‘මේ ලෝකයේ කොටසක් නොවන’ රාජ්‍යයක් කෙරෙහි බලා සිටීම

ජීවිත කතාව

‘මේ ලෝකයේ කොටසක් නොවන’ රාජ්‍යයක් කෙරෙහි බලා සිටීම

නිකලායි ගුසුල්යාක්

සිරකඳවුරේ ඇති වූ කැරැල්ලක් නිසා දවස් 41ක් මම ඒකට කොටු වී සිටියා. එකවරම ඇසුණු කාලතුවක්කු හඬ නිසා නිදාගෙන හිටිය මම උඩ ගිහින් ඇහැරුණා. හදිස්සියේම කඩා වැදුණු යුධ ටැංකි සහ සොල්දාදුවන් සිරකරුවන්ට පහර දෙන්න පටන්ගත්තා. ඒ වෙලාවේ මගේ ජීවිතේ තිබුණේ මරණය අබියසයි.

මට ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න සිදු වුණේ ඇයි කියලා මම කියන්නම්. එය සිදු වුණේ 1954දීයි. එතකොට මට වයස අවුරුදු 30යි. දේශපාලන කාරණාවලට හවුල් නොවුණ නිසාත් දේවරාජ්‍යය ගැන අන්‍යයන්ට පැවසීම නිසාත් අනෙකුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මෙන් මාවත් සෝවියට් ආණ්ඩුව විසින් සිරභාරයට ගත්තා. එම සිරකඳවුරේ සහෝදරයන් 46දෙනෙකුත් සහෝදරියන් 34දෙනෙකුත් සිටියා. එම සිරකඳවුර පිහිටා තිබුණේ කසක්ස්තානයේ කෙන්ගර් නම් ගමට ආසන්නවයි. එහිදී අපිට බර වැඩ කිරීමට නියමිත වුණා. එහි අපිත් එක්ක තවත් දහස්ගණන් සිරකරුවෝ සිටියා.

මම හිරේට එන්න කලින් අවුරුද්දෙයි සෝවියට් සමූහාණ්ඩුවේ නායකයා වූ ජෝසෆ් ස්ටාලින් මැරුණේ. ඉන්පසුව මොස්කව්වල බලයට පත් වූ අලුත් ආණ්ඩුවෙන්වත් සිරකඳවුරේ ඇති දුක්ඛිත තත්වයට සහනයක් ලැබෙයි කියා සිරකරුවන් හිතුවා. නමුත් එසේ නොවීම නිසා ඒ තත්වය කැරැල්ලකට මඟ පෑදුවා. ඇති වූ මේ තත්වය නිසා සාක්ෂිකරුවන් වන අපගේ ස්ථාවරය ගැන කැරලිකරුවන්ටත් කඳවුරේ සිටි ආරක්ෂක භටයන්ටත් පැහැදිලි කර දීමට අපිට සිදු වුණා. නමුත් අපිට මෙම කාරණයේදී පැති නොගෙන සිටීම සඳහා දෙවි කෙරෙහි ඇදහිල්ල තැබීම අවශ්‍ය වුණා.

කැරැල්ල!

සිරකඳවුරේ කැරැල්ල ආරම්භ වුණේ මැයි මස 16වෙනිදායි. ඉන් දවස් දෙකකට පස්සේ, දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ට පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා සිරකරුවන් 3,200කට වඩා වැඩි සංඛ්‍යාවක් වැඩ වර්ජනයේ යෙදුණා. දේවල් හරි ඉක්මනට සිද්ධ වෙන්න පටන්ගත්තා. මුලින් කැරලිකරුවෝ කඳවුරේ සිටි ආරක්ෂක භටයන්ව එළවා දැම්මා. වටේ තිබුණු වැටවල් කඩා දැමූ ඔවුන්, ස්ත්‍රීන්ව හා පුරුෂයන්ව වෙන් කළ තාප්පයද බිඳ දැමුවා. ඔවුන් පසුව එය හැඳින්වූයේ ‘පවුල් කඳවුර’ කියලයි. සමහර සිරකරුවන් විවාහ වුණු අතර සිරගත වී සිටි පූජකයන් විසින් ඔවුන්ගේ මංගල මෙහෙයන් පැවැත්තුවා. මේ කැරැල්ලට සිරකරුවන් 14,000ක් පමණ සහභාගි වුණා.

හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා කැරලිකරුවන් කඳවුර තුළ කමිටුවක් පත් කළා. කොහොමවුණත් කමිටු සාමාජිකයන් අතරම ඇති වූ මත ගැටුම් නිසා අවසානයේදී එහි පාලනය කමිටුවේම සිටි අන්තවාදීන් අතට පත්වුණා. එහි තත්වය එන්න එන්නම දරුණු වෙන්න පටන්ගත්තා. කැරලිකාර නායකයන් ආරක්ෂක අංශය, මාධ්‍යය අංශය වශයෙන් විවිධ අංශයන් සංවිධානය කළා. ඔවුන් කඳවුර වටේටම තිබුණ ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන සෙසු කැරලිකාරයන්ව සටනට පොලඹවන ආකාරයේ තොරතුරු විකාශනය කළා. කැරලිකරුවන් කිසිකෙනෙකුට පැන යෑමට ඉඩ දුන්නේ නැති අතර තමන්ට විරුද්ධ වූ අයට දඬුවම් කිරීමටත් තමන්ට එරෙහි වන ඕනෑම කෙනෙකුව මරා දැමීමට පවා ඔවුන් සූදානමින් සිටියා. දැනටමත් එසේ සමහර සිරකරුවන්ව මරා දමා ඇති බවට රාවයක්ද පැතිර ගියා.

හමුදා ප්‍රහාරයක් එල්ල වේයයි කියන බලාපොරොත්තුවෙන් ඔවුන් සිටි නිසා ඒකට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. කඳවුරේ ආරක්ෂාව සහතික කිරීමට එහි සිටින සියලුම සිරකරුවන් ආයුධ අතැතිව සිටින්න කියා කැරලිකාර නායකයන් අණ කළා. ඒ සඳහා ජනෙල්වලින් යකඩ පොලු ගලවාගත් සිරකරුවන් කිණිසි සහ වෙනත් ආයුධ සාදාගත්තා. තුවක්කු සහ පුපුරන ද්‍රව්‍යයත් ඔවුන් කොහොමහරි ගෙන්වාගත්තා.

බැඳෙන්න කියා බල කළා

ඒ දවස්වල කැරලිකරුවන් දෙන්නෙක් හොඳ මුවහත් කිණිස්සක් මට දික් කරලා මෙහෙම කිව්වා. “ගන්නවා! මේක ඔහේගෙ ආරක්ෂාවට තියාගන්නවා!” ඒ වෙලාවේ මට සන්සුන්ව ඉන්න උපකාර කරන්න කියා නිහඬව මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඊට පස්සේ මම මෙහෙම කිව්වා. “මම ක්‍රිස්තියානියෙක්. මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මටත් අනිත් සාක්ෂිකරුවන්ටත් මෙහෙ ඉන්න වෙලා තියෙන්නේ මිනිස්සුත් එක්ක සටන් කරන්න ගිහිල්ලා නෙවෙයි. නමුත් අපේ ඇස් දෙකට දකින්න බැරි භූතයන් එක්ක සටන් කරන නිසයි. අනික අපි සටන් කරන්නේ අපේ ඇදහිල්ල සහ දේවරාජ්‍යය ගැන ඇති අපේ බලාපොරොත්තුව නමැති ආයුධ එක්කයි.”—එෆීස 6:12.

මම කියපු දේ ඔහුට තේරුණා. ඒ ගැන මට පුදුමත් හිතුණා. නමුත් අනිත් එක්කෙනා මට ගැහුවා. පස්සෙ දෙන්නාම යන්න ගියා. කැරලිකරුවන් අනෙකුත් සාක්ෂිකරුවන්ට බල කෙරුවේ ඔවුන් සමඟ එක්වෙන්න කියලයි. නමුත් එක සාක්ෂිකරුවෙක්වත් ඊට එකඟ වුණේ නැහැ.

දිනක් සාක්ෂිකරුවන්ගේ මේ ස්ථාවරය ගැන ඔවුන්ගේ රැස්වීමකදී සාකච්ඡා කරලා තිබුණා. “පෙන්තකොස්ත, ඇඩ්වෙන්ටිස්ට්, බැප්ටිස්ට් විතරක් නෙවෙයි අනිත් සියලුම ආගම්වල අයත් අපේ කැරැල්ලට සහය දෙනවා. එහෙම කරන්නේ නැති එකම කට්ටිය මේ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ විතරයි. අපි මේ අයට මොකද කරන්නේ?” අපි හැමෝවම භය කරන්න හිතාගෙන අපේ සහෝදරයෙක්ව සිරගෙදර තිබූ ගිනි උඳුනට දාමු කියලා එක කැරලිකාරයෙක් යෝජනා කරලා තිබුණා. නමුත් කලින් හමුදා නිලධාරියෙක් වෙලා හිටපු කැරලිකරුවන් ගරු කරපු කෙනෙක් මෙහෙම කියලා තිබුණා. “ඒක මහ මෝඩ වැඩක්. අපි මේ හැමදෙනාවම කඳවුරේ ගේට්ටුව ගාව තියෙන බැරැක්කයට දාමු. එහෙම කළොත් හමුදාව පහර දෙද්දී ඉස්සෙල්ලා මැරෙන්නේ ඒගොල්ලොයි. එතකොට ඒ මරණවලට වග කියන්න ඕනෙ අපි නෙවෙයිනේ.” අනිත් අයත් ඒකට කැමති වෙලා තිබුණා.

අනතුරුදායක තැනක

වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා සිරකරුවන් කඳවුර වටේ යමින් “කෝ මේ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ, එළියට එනවලා!” කියලා කෑගැහුවා. ඊට පස්සේ ගේට්ටුව ළඟ තිබුණ බැරැක්කයේ ඉඩ මදි නිසා තට්ටු ඇඳවල් ටික එළියට ඇදලා දාලා අපි 80දෙනාටම ඒක ඇතුළට යන්න කිව්වා. ඒක අපිට හරියට හිරගෙයි ඇතුළේ තිබුණ තවත් හිරගෙයක් වගෙයි.

සහෝදරියන්ට වෙනම සිටින්න පුළුවන් වෙන විදිහට ඇඳ ඇතිරිලි එකට මූට්ටු කර තිරයක් මෙන් සකසා බැරැක්කය කොටස් දෙකකට වෙන් කළා. (මෙහි පහත දක්වා තිබෙන්නේ රුසියානු සාක්ෂිකරුවෙක් විසින් පසුව එය චිත්‍රයට නඟා ඇති ආකාරයයි.) එකට පොදිගැහී ජීවත් වූ එම සිරකුටි තුළ බොහෝවිට අපි යෙහෝවා දෙවිට ඉතා ඕනෑකමින් යාච්ඤා කළේ ප්‍රඥාව සහ “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබා දෙන්න කියලයි.—2 කොරින්ති 4:7.

එහෙන් සෝවියට් හමුදාවටත් මෙහෙන් කැරලිකරුවන්ටත් මැදි වෙලයි අපි හිටියේ. කොයි වෙලාවේ කවුරු මොනවා කරයිද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. “ඔය අනුමාන කරන එක නතර කරන්න. යෙහෝවා දෙවි කවදාවත් අපිව අතහරින්නේ නැහැ” කියලා එක වයස්ගත ඇදහිලිවන්ත සහෝදරයෙක් අපිට කිව්වා.

අපේ තරුණ, මහලු හැම සහෝදරියක්ම පුදුමාකාර ලෙස විඳදරාගත්තා. වැඩියෙන් උපකාර අවශ්‍ය වුණ අවුරුදු 80ක් විතර ඇති එක සහෝදරියක් හිටියා. තවත් සහෝදරියන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුණා. නිතරම අපි මොනවාද කරන්නේ කියා පරීක්ෂා කරලා බලන්න කැරලිකරුවන්ට ඕන වුණ නිසා, අපේ බැරැක්කයේ දොරවල් ඇරලා තියන්න කියලා අපිට නියෝග කළා. රෑට ආයුධ සන්නද්ධ සිරකරුවන් ඇවිල්ලා අපේ බැරැක්කය පරීක්ෂා කළා. සමහර වෙලාවට ඔවුන් මෙහෙම කියනවා අපිට ඇහිලා තියෙනවා. “දේවරාජ්‍යය හොඳටම නිදි.” අපි කෑම කන ශාලාවට ගිය අවස්ථාවලදීත් නිතරම එකට එකතු වී යෙහෝවා දෙවිට යාච්ඤා කළේ මේ දරුණු මිනිසුන්ගෙන් අපිව ආරක්ෂා කරන්න කියලයි.

කඳවුර තුළ සිටිද්දී අපි එකිනෙකාගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට උපකාර කළා. උදාහරණයකට, එක සහෝදරයෙක් එකිනෙකාට ඇහෙන තරම් ශබ්දයකින් බයිබලයේ යම් සිද්ධියක් ගැන විස්තර කෙරුවා. ඉන්පසු ඔහු අපේ තත්වයට එය අදාළ කළා. එක වයසක සහෝදරයෙක් වැඩියෙන්ම ආස වුණේ ගිඩියොන්ගේ හමුදාව ගැන කතා කරන්නයි. “සංගීත භාණ්ඩ අතැතිව සිටි මිනිසුන් 300දෙනෙක් යෙහෝවා දෙවිගේ නාමයෙන් ගොස් 1,35,000ක් වූ සන්නද්ධ හමුදාවක් සමඟ සටන් කළා.” ඉන්පසු ඔහු අපිට මේක මතක් කළා. “ඒ 300දෙනා නැවත පැමිණියේ කිසිම හානියක් නැතිවයි.” (විනිශ්චයකාරයෝ 7:16, 22; 8:10) ඒ වගේ තවත් බයිබලයේ වාර්තාවලින් අපි ලැබුවේ මහත් ශක්තියක්. මම සාක්ෂිකරුවෙක් වුණේ මෑතකදී වුණත් එහි හිටපු සහෝදර සහෝදරියන්ගේ නොසැලෙන ඇදහිල්ල දැකලා මම හරියට දිරිගැන්වුණා. යෙහෝවා දෙවි ඇත්තටම අපි එක්ක හිටියා කියලා මට තේරුණා.

සටන ඇරඹේ

මෙසේ දවස් සති ගත වෙද්දී කඳවුරේ වාතාවරණය එන්න එන්නම උග්‍ර වුණා. කැරලිකරුවන් සහ බලධාරීන් අතර පැවති සාකච්ඡා උණුසුම් ස්වභාවයක් ගත්තා. සාකච්ඡා කිරීම සඳහා මොස්කව් මධ්‍යම රජයෙන් නියෝජිතයෙක්ව එවන්න කියා කැරලිකාර නායකයන් තරයේ කියා සිටියා. නමුත් බලධාරීන් කියා සිටියේ කැරලිකරුවන් ආයුධ බිම දමා නැවතත් වැඩ ආරම්භ කළ යුතු බවයි. දෙපාර්ශ්වයම එකඟතාවකට එන්න කැමති වුණේ නැහැ. එමනිසා හමුදාව විසින් කඳවුර වැටලූ අතර අණ දුන් විගස ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් සූදානමින් සිටියා. කැරලිකරුවනුත් සටනට සූදානමින් සිටි අතර ආරක්ෂක උපක්‍රම සහ ගබඩා කරගත් අවි ආයුධද ඇතිව සිටියා. සියලුදෙනාම බලා සිටියේ කැරලිකරුවන් සහ හමුදාව අතර යුද්ධය කොයි මොහොතේ ඇවිළෙයිද කියායි.

දිනය ජූනි 26වෙනිදායි. නිදා සිටි අපි තිගැස්සී ඇහැරුණේ නොකඩවා ඇසුණු කාලතුවක්කු වෙඩි හඬිනුයි. එකවරම වැටවල් ගේට්ටු කුඩුපට්ටම් කරමින් කඳවුරට යුධ ටැංකි කඩා වැදුණ අතර මැෂින් තුවක්කුවලින් එක දිගට වෙඩි තබමින් හමුදා භටයන් විශාල සංඛ්‍යාවක් ඒවා පිටුපසින් ආවා. සිරකරුවන් සහ සිරකාරියන්ද මහ හයියෙන් කෑගසමින් යුධ ටැංකි දෙසට දුවමින් ඔවුන්ම හදාගත් අත් බෝම්බවලින්, අතට අහුවෙච්ච ගල් මුල්වලින් ඒවාට පහර දුන්නා. එම දරුණු සටන පටන්ගත් විට සාක්ෂිකරුවන් වන අපි හිටියේ ඊට මැදි වෙලයි. උපකාරය පතා අපි යෙහෝවා දෙවිට කළ යාච්ඤාවට ඔහු උත්තර දුන්නේ කොහොමද?

සොල්දාදුවෝ එකපාරටම අපේ බැරැක්කයටත් කඩාපැන්නා. “ආ, ශුද්ධවන්තයෝ ටික එළියට එන්න! පුළුවන් තරම් ඉක්මනට වැටෙන් එහා පැත්තට යන්න!” කියලා ඔවුන් කෑගැහුවා. අපිට වෙඩි තියන්න එපා කියාත් අපිව ආරක්ෂා කරන්න කියාත් එහි අණ දෙන නිලධාරියෙක් සොල්දාදුවන්ට කිව්වා. සටන යද්දී අපි හිටියේ කඳවුරු සීමාවෙන් එළියෙයි. පැය හතරක් තිස්සේ කඳවුර ඇතුළෙන් අපිට අහන්න ලැබුණේ බෝම්බ සහ වෙඩි හඬ විතරක් නෙවෙයි, මරලතෝනි දෙමින් විලාප තියන හඬත් අපිට ඇහුණා. ඊට පස්සේ සද්දේ ටිකෙන් ටික නැතිව ගියා. හිමිදිරියේම අපිට දකින්න ලැබුණේ සොල්දාදුවන්, මළ සිරුරු කඳවුරෙන් පිටට අරගෙන එන ආකාරයයි. ඒ වගේම තවත් සිය ගණනකට තුවාල සිදු වී ඇති බව හෝ මිය ගොස් ඇති බව දැනගන්න ලැබුණා.

දවල් වෙද්දී මම අඳුනන නිලධාරියෙක් ඇවිල්ලා බොහොම ආඩම්බරයෙන් මගෙන් මෙහෙම ඇහුවා. “ඉතින් නිකලායි, ඔයා හිතන්නේ කවුද ඔයාව බේරගත්තේ? අපිද නැත්නම් යෙහෝවාද?” අපිව බේරගත්තාට අපි ඔහුට අවංකව ස්තුති කරලා මෙහෙම කිව්වා “බයිබල් කාලවලදී ඔහුගේ සේවකයන්ව යෙහෝවා දෙවි බේරගත්තා වගේ අපිව බේරගන්නත් අපේ මහෝත්තම දෙවි යෙහෝවා ඔබව පෙලඹුවා කියා අපිට ස්ථිරයි.”—එස්රා 1:1, 2.

සොල්දාදුවන් අපිවත් අපි ඉන්න තැනත් හඳුනාගත්තේ කොහොමද කියලා ඒ නිලධාරියාම අපිට කිව්වා. එක් අවස්ථාවක කැරලිකරුවන් සහ හමුදාව අතර පැවති සාකච්ඡාවකදී කැරලිකරුවන් ඔවුන්ට සහයෝගය නොදක්වන සිරකරුවන්ව මරා ඇති බවට හමුදාව චෝදනා කළා. ඒකෙන් බේරෙන්න කැරලිකරුවන් කිව්වේ, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කැරැල්ලට සම්බන්ධ වුණේ නැහැයි කියලා අපි ඒගොල්ලන්ව මරලා දැම්මේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට දඬුවමක් හැටියට ඒ හැමදෙනාවම එක බැරැක්කයකට දැම්මා. හමුදා නිලධාරීන් ඒක මතකයේ තබාගත්තා.

අපි දේවරාජ්‍යයට පක්ෂ වුණා

ප්‍රසිද්ධ රුසියානු ලේඛකයෙක් වූ ඇලෙක්සැන්ඩර් සොල්ෂනිට්සන්, කැරැල්ල ඇති වූ කාලයේදී අපි මුහුණ දීපු අද්දැකීම් ගැන ඔහුගේ පොතේ විස්තර කරනවා. (The Gulag Archipelago නම් පොත) කැරැල්ල ආරම්භ වීමට හේතුව ගැන ඔහු මෙහෙම ලියනවා. “අපිට නිදහස ඕන වුණා. . . . නමුත් කවුද අපිට ඒක ලබා දෙන්නේ?” සාක්ෂිකරුවන් හැටියට අපිටත් ඕන වුණේ නිදහසයි. නමුත් හිරෙන් නිදහස් වීම විතරක් නෙවෙයි. දේවරාජ්‍යය මගින් පමණක් ලබාදිය හැකි නිදහසයි. සිරගෙදර සිටියදී දේවරාජ්‍යයට පක්ෂව සිටීමට දෙවිගෙන් අපට ශක්තිය ඕන කියලා අපි දැනගෙන හිටියා. අපිට ඕන හැම දෙයක්ම යෙහෝවා දෙවි ලබා දුන්නා. දෙවි අපට ජයග්‍රහණය ලබා දුන්නේ කිණිසිවලින්වත් බෝම්බවලින්වත් නොවෙයි.—2 කොරින්ති 10:3.

යේසුස් පිලාත්ට කිව්වේ “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් වූවා නම්, . . . මා යටතේ සිටින්නන් සටන් කරනවා” කියලයි. (යොහන් 18:36) ක්‍රිස්තියානීන් හැටියට අපිත් දේශපාලන අරගලවලදී කිසිම පැත්තක් ගත්තේ නැහැ. කැරැල්ලට පෙරත් එය අවසන් වූ පසුවත් අපි පක්ෂව සිටියේ දේවරාජ්‍යයට බව හැමදෙනාටම දැකගන්න පුළුවන් වුණා. එදා අපේ හැසිරීම සම්බන්ධයෙන් සොල්ෂනිට්සන් මෙහෙම ලිව්වා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ආගමික ප්‍රතිපත්තිවලට ඇලී සිටි නිසා කැරැල්ලට හවුල් වීම ඔවුන් ප්‍රතික්ෂේප කළා.”

එදා මුහුණ දුන් කටුක අතීතයේ සිට මේ දක්වා අවුරුදු 50කට වඩා කාලයක් ගත වෙලා තියෙනවා. යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටීම සහ ඔහුගේ බලවත් හස්තය යටතේ ලැබූ ආරක්ෂාව නිසා මම ඒ අතීතය ඉතා අගය කිරීමකින් යුතුව සිහිපත් කරන අතර මම ලැබූ ඒ අද්දැකීම් මට නම් කිසිදාක අමතක වෙන්නේ නැහැ. එදා සිටි මාගේ සෙසු ප්‍රේමණීය සහෝදර සහෝදරියන් මෙන් මමත්, ‘මේ ලෝකයේ කොටසක් නොවන’ දෙවිගේ රාජ්‍යයට පක්ෂව සිටියා. ඒ අයට යෙහෝවා දෙවි සැබෑ නිදහසත් ආරක්ෂාවත් ගැලවීමත් ලබා දෙනවා කියන එක අපි හොඳටම අද්දැක්කා.

[8, 9යන පිටුවල පින්තූර]

කසක්ස්තානයේ බර වැඩ සහිතව අපව සිරකර තැබූ කඳවුර

[10වන පිටුවේ පින්තූරය]

බැරැක්කයේ අපේ සහෝදරියන් සිටි කොටස චිත්‍රයට නඟා ඇති ආකාරය

[11වන පිටුවේ පින්තූරය]

නිදහස ලබන අවස්ථාවේ අපගේ සහෝදරයන් සමඟ