කාලයක් පුරා පවතින මහත් වේදනාවක්
කාලයක් පුරා පවතින මහත් වේදනාවක්
තමන් ආදරය කළ කෙනෙක් මිය ගිය විට ඒ පවුල්වල අයට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? එක් පර්යේෂකයෙක් ඒ පිළිබඳව සොයා බැලුවා. මීට අවුරුදු කිහිපයකට පෙර තම දරුවන් අහිමි වූ දෙමව්පියන් කිහිපදෙනෙකු වෙත ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් ඔහු යැව්වා. නමුත් හැම දෙමව්පියෙක්ම ඊට පිළිතුරු සැපයුවේ නැහැ. අවුරුදු පහකට පෙර තම පුතා අහිමි වූ එක් පියෙක් වන ව්ලැඩිමියර් පවසන්නේ ඔහුට ඒ ගැන කතා කරන්න තවමත් ශක්තියක් නැහැ කියායි. *
කාලයක් පුරා නොමැකී පවතින ඒ මහත් වේදනාව එවැනි දෙමව්පියන්ගේ ජීවිතයේම කොටසක් බවට පත් වෙලා. මීට අවුරුදු දහයකට පෙර විලියම්ට තම 18 හැවිරිදි පුතාව හදිසි අනතුරකින් අහිමි වුණා. ඒ ගැන ඔහු පවසන්නේ මෙහෙමයි. “පුතාව නැතිවුණු වේදනාව මට තාම දැනෙනවා. ඒක මගේ හෙවනැල්ල වගේ, මම මැරෙනකම්ම ඒ දුක මට තියේවි.” මවක් වූ ලුසීටත් ඇගේ පුතාව අසනීපයක් නිසා හදිසියේම අහිමි වුණා. එදා සිට දැන් අවුරුදු පහක් ගත වෙලා තිබුණත් ඇයට තවමත් ඒ ගැන හැඟෙන්නේ මෙහෙමයි. “මුල් දවස්වල මම හිතුවේ ‘නෑ, ඒක කවදාවත්ම වෙන්න බැරි දෙයක්’ කියලයි. මට වෙලාවකට හිතුණා, මම මේ දකින්නේ නපුරු හීනයක්වත්ද කියලා. ඒත් කාලය ගෙවී ගෙන යද්දී මට තේරුණා මගේ පුතා ඇත්තටම අපිව දාලා ගිහිල්ලා කියලා. එයා ආයේ කවදාවත් ගෙදර එන්නේ නැහැ. පුතා නැති වෙලා දැන් අවුරුදු පහක්. ඒත් තනියෙන් ඉන්න හැම වෙලාවකම වගේ එයාව මතක් වෙද්දී මම තාමත් අඬනවා.”
ව්ලැඩිමියර්, විලියම් සහ ලුසී වගේ දෙමව්පියන්ට තම දරුවන්ව අහිමි වීමෙන් ඇති වන ශෝකය කාලයක් පුරා පවතින්නේ ඇයි? එයට හේතුව අපි දැන් සලකා බලමු.
ඇයි මෙතරම් වේදනාවක්?
අලුතින් දරුවෙක් පවුලට එක් වන විට දෙමව්පියන්ට ඇති වන හැඟීම වෙනත් කිසිම මිනිස් සම්බන්ධතාවයක් නිසා ඇති වන හැඟීමකට සමාන කරන්න බැහැ. නිදා සිටින තම කිරිකැටියා දෙස බලා සිටීමෙන්, ඔහුගේ සුරතල් සිනහව දැකීමෙන් ඔවුන් ලබන සතුට වචනවලින් විස්තර කරන්න බැහැ. ප්‍රේමණීය දෙමව්පියන් තම දරුවන්ව රැකබලා ගන්නේ ඉතාමත් ආදරයෙන්. එමෙන්ම ගුණ යහපත් දරුවන් මෙන් හැදී වැඩෙන්න ඔවුන්ව පුහුණු කරනවා. (1 තෙසලෝනික 2:7, 11) බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින දෙමව්පියන්ගේ එකම පැතුම නම් දරුවන් ඔවුන් දෙන මඟ පෙන්වීම් පිළිගෙන තම ජීවිත සාර්ථක කරගන්නවා දැකීමයි.
ප්‍රේමණීය දෙමව්පියන් තම දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටු කරන්න වෙහෙස නොබලා වැඩ කරනවා. ඔවුන් කල්තියාම මුදල් හෝ දරුවන්ගේ අනාගතයට ප්‍රයෝජනවත් දේවල් ඉතිරි කරන්නේ ඔවුන්ගේ යහපත ගැන හිතන නිසයි. (2 කොරින්ති 12:14) දෙමව්පියන් දරුවන් වෙනුවෙන් වැය කරන කාලයෙන්, ඔවුන් වෙනුවෙන් හලන සෑම දහඩිය බිඳුවකින්ම සහ ඔවුන් වෙනුවෙන් නොමසුරුව වියහියදම් කිරීමෙන් එක් දෙයක් පැහැදිලි වෙනවා. ඒ දෙමව්පියන් දරුවන්ව හදා වඩා ගන්නේ ඔවුන් ජීවත් වෙනවා දකින්න මිස මිය යනවා දකින්න නොවන බවයි. ඒත් එක මොහොතකින් ඒ සියලු බලාපොරොත්තු සුන් වෙන්නේ, දීප්තිමත්ව දැල් වෙමින් තිබූ පහන් දැල්ලක් එකවරම නිවී යන්නාක් මෙනි. තම දරුවා වෙනුවෙන් හදවතේ උතුරා ගිය ඒ සෙනෙහස දැන් පෙන්වන්නේ කාටද? කාලයක් පුරා ඔවුන්ගේ හදවත්වල ලැඟුම් ගත් ඒ දරුවන් අහිමි වීමේ වේදනාව ඔවුන්ට ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ.
දරුවන් අහිමි වීම නිසා දෙමව්පියන් අද්දකින මහත් වේදනාව දිගු කාලයක් පුරා පවතින බව ශුද්ධ බයිබලයේද සඳහන් වෙනවා. තම පුත් යෝසෙප්ව මිය ගොස් ඇති බව සිතූ පුරාණයේ සිටි යාකොබ් ඊට ප්‍රතිචාරය දැක්වූ ආකාරය ගැන එහි මෙසේ සඳහන් වෙනවා. “යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරා දමා ගෝණි හැඳ තමන් පුත්‍රයා නිසා බොහෝ දවස් ශෝක විය. ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන පිණිස නැඟිට ආවෝය. එහෙත් ඔහු සැනසෙන්ට නොකැමතිව කතා කොට: මම ශෝක වෙමින් මාගේ පුත්‍රයා වෙත මිනීවළට යන්නෙමියි කීය.” අවුරුදු ගණනාවක් ගියත් යාකොබ්ට දැනුණ එම වේදනාව නම් කිසිසේත් අඩු වුණේ නැහැ. (උත්පත්ති 37:34, 35; 42:36-38) තම පුතුන් දෙදෙනාගේ වියෝවෙන් ශෝකයට පත් , පුරාණයේ විසූ නායොමි මීට තවත් උදාහරණයක්. ඇයට දැනුණ බලවත් ශෝකය කොතරම්ද කියනවා නම් “මාගේ ප්‍රසන්නකම”යන අර්ථය ඇති ඇගේ මුල් නම “තිත්තකම” යන අර්ථය ඇති මාරා ලෙස ඇය වෙනස් කළා.—රූත් 1:3-5, 20, 21, පාදසටහන.
බයිබලයේ සඳහන් වෙන්නේ දරුවන් අහිමි වූ දෙමව්පියන්ගේ දුක කොතරම්ද කියන කාරණය පමණක් නොවෙයි. ඊටත් වඩා වැඩි දෙයක් ගැන එහි සඳහන් වෙනවා. එනම් එවැනි තත්වයක ඉන්න අම්මලා තාත්තලාට යෙහෝවා දෙවි ශක්තිය සහ සැනසීම දෙන්නේ කොහොමද කියලත් එහි පෙන්වා දෙනවා. දෙවි එවැනි අයට සහනය දෙන ක්‍රම කිහිපයක් පිළිබඳව මීළඟ ලිපියේ සාකච්ඡා කරනවා.
[පාදසටහන]
^ 2 ඡේ. සමහර නම් සැබෑ ඒවා නොවේ.