මම මුළු හදින්ම දෙවිව විශ්වාස කළා
ජීවිත කතාව
මම මුළු හදින්ම දෙවිව විශ්වාස කළා
ඕබ්රී බැක්ස්ටර්
වර්ෂ 1940, සෙනසුරාදා දවසක මිනිස්සු දෙන්නෙක් මට බිම වැටෙනකන්ම ගැහුවා. එතන හිටපු පොලිස් නිලධාරීන් දෙන්නෙකුත් මට උදව් කරනවා වෙනුවට මට නරක වචනවලින් බැන්නා. මේ සිද්ධිය වුණේ මම ගල්අඟුරු ආකරයක වැඩ පටන්ගන්න අවුරුදු පහකට විතර කලිනුයි. මම ඒක ඕගොල්ලන්ට විස්තර කරන්නම්.
මම ඉපදුණේ 1913දී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්වල ස්වාංසි කියන නගරයෙයි. අපේ පවුලේ පිරිමි දරුවන් හතරදෙනාගෙන් මම තුන්වෙනියා. මට වයස අවුරුදු පහක් වෙද්දී අපේ පවුලේ හැමෝටම මාරාන්තික ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව බෝවුණා. ඒ ලෙඩෙන් ලොව පුරාම මිනිසුන් මිලියන ගණනක් මරණයට පත් වුණා. කොහොමවුණත් අපේ පවුලේ අය ඒකෙන් බේරුණු එක නම් ලොකු සතුටක්. හැබැයි 1933දී අපිට ලොකු වේදනාවක් ඇති කළ සිද්ධියකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වයස අවුරුදු 47ක්ව සිටි අපේ අම්මගේ මරණයයි. දෙවිගේ නීතිවලට ගරු කරපු ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ආලෝකය යන වෙළුම් දෙක ලබාගෙන තිබුණා.—සිංහලෙන් නැහැ.
මම රැකියාව කරපු ගල්අඟුරු ආකරයේ සමහර වෙලාවලදී එතරම්ම වැඩක් තිබුණේ නැහැ. ඒ නිසා එහෙට පොත් ගෙනියලා මගේ ආරක්ෂා තොප්පියේ සවි කරලා තිබුණු ලාම්පු එළියෙන් ඒවා කියෙව්වා. ඉක්මනටම මම තේරුම්ගත්තා මේක තමයි සත්‍යය කියලා. ඒ නිසා සාක්ෂිකරුවන් ගුවන් විදුලියෙන් විකාශනය කරපු බයිබල් දේශනවලටත් මං සවන් දෙන්න පටන්ගත්තා. තාත්තයි මගේ සහෝදරයනුයි බයිබල් සත්‍යය ගැන උනන්දුවක් දක්වපු එක ගැන මම ගොඩක් සතුටු වුණා.
හැබැයි 1935දී නිව්මෝනියාව හැදිලා මගේ මල්ලි (බිලී) මැරුණම අපිට ලොකු දුකක් දැනුණා. එතකොට එයාට වයස අවුරුදු 16යි. ඒ වෙද්දී නැවතනැඟිටීමේ බලාපොරොත්තුව ගැන ඉගෙනගෙන තිබුණු එක අපිට ක්‍රියා 24:15) කාලයක් යද්දී තාත්තත්, අයියලා දෙන්නත්, (වර්නර් සහ හැරල්ඩ්) ඒ දෙන්නගේ භාර්යාවන් දෙන්නත් දෙවිට කැප වුණා. දැනට මගේම පවුලේ අයගෙන් ජීවතුන් අතර ඉන්නේ මම විතරයි. හැබැයි වර්නර්ගේ දෙවෙනි බිරිඳ වන මාර්ජරි සහ හැරල්ඩ්ගේ බිරිඳ එළිසබෙත් තවමත් යෙහෝවා දෙවිට කඩිසරව සේවය කරමින් ඉන්නවා.
ලොකු සහනයක් වුණා. (දෙවි කෙරෙහි විශ්වාසය
මට මුලින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණේ 1935දියි. ඒ යුක්‍රේනියානු සහෝදරියක් පාපැදියකින් අපේ ගෙදරට ආපු අවස්ථාවෙයි. මම තීරණය කළා ඊළඟ ඉරිදම ක්‍රිස්තියානි රැස්වීමට යන්න. සතියකට විතර පස්සේ දේශනා සේවයේ යන්න එකතු වෙලා හිටපු කණ්ඩායමකට මමත් හවුල් වුණා. මම නොහිතපු විදිහට එදා මූලිකත්වය ගත්තු සහෝදරයා මට පොත් පිංච වගයක් දීලා මාව තනියෙන්ම සේවයේ යැව්වා. මම පළවෙනි ගෙදරට ගියේ හරිම භයෙන්. ඒ වෙලාවේ මට හිතුණා එතනින් පැනලා දුවන්න. හැබැයි ඒ ගෙදර හිටපු තැනැත්තා හරිම කාරුණික කෙනෙක්. එයා මං කියපු පණිවුඩයට හොඳින් ඇහුම්කන් දීලා පොත් පිංච කිහිපයකුත් අරගත්තා.
දේශනාකාරයා 12:2 සහ මතෙව් 28:19, 20 වැනි බයිබල් පද මගේ හිතට තදින්ම කාවැදිලයි තිබුණේ. ඒ නිසා මට ඕනෙ වුණා පූර්ණකාලීන දේවසේවකයෙක් හරි පුරෝගාමියෙක් විදිහට හරි සේවය කරන්න. තාත්තත් මට ඒකට උදව් කළා. ඒ වෙද්දී මං බව්තීස්ම වෙලා හිටියේ නැති වුණත් 1936 ජූලි 15වෙනිදා ඉඳලා මම සේවය පටන්ගත්තා. එදා තමයි මම සිඩ්නිවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ගියේ. ඊට පස්සේ සිඩ්නි නගරයෙන් ටිකක් ඈතට වෙන්න පිහිටා තියෙන ඩලිජ් හිල්වල තවත් පුරෝගාමීන් 12දෙනෙක් එක්ක සේවය කරන්න මට අවස්ථාව ලැබුණා. එහෙට ගියාට පස්සේ ඒ පුරෝගාමීන් මට අතින් තිරිඟු අඹරන යන්ත්‍රය පාවිච්චි කරන හැටි කියලා දුන්නා. ඒගොල්ලන්ට කෑමට යන වියදම අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒක තියෙන හින්දයි.
කැලෑබද ප්‍රදේශයක පුරෝගාමි සේවය
මම බව්තීස්ම වෙලා අවුරුද්දකට විතර පස්සේ තවත් පුරෝගාමීන් දෙන්නෙක් (ඕබ්රී විල්ස් සහ ක්ලයිව් ෂේඩ්) එක්ක මධ්‍යම ක්වීන්ස්ලන්තයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. අපේ බඩු මුට්ටු දාලා තිබුණේ ඕබ්රීගේ වාහනයේ. පා පැදි කිහිපයක්, බයිබල් උපදෙස් විකාශනය කළ හැකි පොඩි තැටිවාදන යන්ත්‍රයක්, අවුරුදු තුනක්ම අපේ ගේ හැටියට පාවිච්චි කරපු කූඩාරම, ඇඳවල් තුනක්, මේසයක්, උයන්න පාවිච්චි කරපු ඇලුමිනියම් භාජන වගේ දේවල් ඒකෙ තිබුණා. දවසක් කෑම උයන්න මගේ වාරේ ආවම අද මම “විශේෂ” දෙයක් හදනවා කියලා හිතාගෙන එළවුළුයි තිරිඟුයි දාලා කෑමක් හැදුවා. හැබැයි අපි කාටවත් ඒක කන්න පුළුවන් වුණේ නම් නැහැ. අන්තිමේදී ඒ කෑම එක අපේ ගේ ළඟ හිටපු අශ්වයෙකුට දුන්නා. ඌත් ඒක ඉව කරලා ඔළුව ගසලා යන්න ගියා! එදායින් පස්සේ නම් කෑම උයද්දී මම අත්හදා බැලීම් කරන්න ගියේ නැහැ.
කාලයක් යද්දී අපේ බලප්‍රදේශය ආවරණය කරන එක වේගවත් කරන්න ඕනේ කියලා හිතුණු නිසා අපි ඒක කොටස් තුනකට බෙදුවා. ඊට පස්සේ අපි තුන්දෙනා තනි තනියම ඒ කොටස්වල සේවය කළා. සමහර දවස්වල මම සේවය කරන්න ගොඩක් දුර බැහැර ගියා. එතකොට මට සිද්ධ වුණා කාගේ හරි ගේක නවතින්න. එක දවසක් මම නිදාගත්තේ ලොකු ගොවිපොළක අමුත්තන්ට නවාතැන් දෙන කාමරයක සුව පහසු ඇඳකයි. අනිත් දවසේ නිදාගත්තේ කැන්ගරුන්ව දඩයම් කරන කෙනෙකුගේ මඩුවකයි. ඒ අවට ගොඩගහලා තිබුණු සත්ව හම්වලින් දුගඳකුත් හැමුවා. මම ගොඩක් අවස්ථාවලදී නිදාගත්තේ කැලෑවෙ. දවසක් මම පඳුරක් යට නිදාගෙන ඉන්නකොට කැලෑ බල්ලන් (ඩින්ගෝ) රෑනකගේ බියකරු හඬ ළඟ ළඟම ඇහුණා. අවට පැතිරිලා තිබුණු ඝන අන්ධකාරය නිසා මට
කිසිම දෙයක් පෙනුණෙත් නැහැ. එදා මට නින්ද ගියෙත් නැහැ. පහුවෙනිදා තමයි මම දැනගත්තේ උන් ඇවිත් තියෙන්නේ කුණුගොඩට දාලා තිබුණු සත්තුන්ගේ අවයව කන්න කියලා.වාහනයෙන් කළ ප්‍රචාරය
දේවරාජ්‍යය ගැන ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරන්න ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කරලා තිබුණ වාහනය අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ටවුන්ස්විල්වල උතුරු ක්වීන්ස්ලන්තයේ ඉඳන් පණිවිඩය නිවේදනය කරන්න පොලිසියෙන් අපිට අවසර ලැබුණා. අපේ දේශනය අහලා එක් ක්‍රිස්තියානි කණ්ඩායමක සමහර සාමාජිකයන්ට ගොඩක් කේන්ති ගියා. ඒ නිසා ඔවුන් අපිට කිව්වා නගරයෙන් පිට වෙලා යන්න කියලා. අපි ගියේ නැති නිසා ඒ අයගෙන් පස්දෙනෙක් ඇවිල්ලා අපේ වාහනය හයියෙන් හෙලෙව්වා. ඒ වෙද්දී මම හිටියේ වාහනය ඇතුළේ තැටිවාදන යන්ත්‍රයේ ශබ්දය පාලනය කරමින්! අපි ප්‍රචාරය කළේ පොලිසියෙන් අවසරය අරගෙන කියලා ඒ වෙලාවේ කියන එක එච්චර ඥානවන්ත දෙයක් වුණේ නැති නිසා ඒගොල්ලන් එතනින් ගියාට පස්සේ අපිත් ඒ නගරයෙන් යන්න ගියා.
බුන්ඩබර්ග් නගරයේ බයිබල් සත්‍යයට උනන්දුවක් දක්වපු කෙනෙක් අපිට බෝට්ටුවක් කුලියට දුන්නා. ඒ නිසා අපිට පුළුවන් වුණා නගරය මැදින් ගලාගිය ගඟේ ඉඳන් බයිබල් පණිවිඩය නිවේදනය කරන්න. ක්ලයිව් සහ ඕබ්රී ශබ්ද විකාශන යන්ත්‍රය අරගෙන බෝට්ටුවේ ගියා. මට සිද්ධ වුණා අපි කුලියට ගත්තු ශාලාවේ නැවතිලා ඉන්න. එදා රෑ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරන සහෝදර රදෆර්ඩ්ගේ පටිගත කරපු කතාව මුළු ප්‍රදේශය සිසාරාම පැතිරී ගියා. ඒක හරිම බලපෑමෙන් යුත් කතාවක්. මේ වගේ දෙයක් කරන්න දෙවිගේ සෙනඟ වන අපිට ඇදහිල්ලත්, නිර්භීතකමත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වුණා.
යුද්ධය නිසා තවත් අභියෝග
දෙවෙනි ලෝක මහා යුද්ධය 1939 සැප්තැම්බර්වල පටන්ගත්තත් එක්කම වගේ පළ වුණ නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ ක්‍රිස්තියානීන් දේශපාලනයට සහ යුද්ධයට සහභාගි නොවිය යුතු බව සඳහන් වුණා. ඒ තොරතුරු කියවන්න ලැබීම මට ඊට පස්සෙත් ප්‍රයෝජනවත් වුණ එක ලොකු සතුටක්. කාලයක් යද්දී අලුත් පැවරුම් ලැබුණු නිසා අවුරුදු තුනක් තිස්සේ එකට හිටපු ඕබ්රීටයි, ක්ලයිව්ටයි මටයි වෙන් වෙන්න සිද්ධ වුණා. මගේ පැවරුම වුණේ උතුරු ක්වීන්ස්ලන්තයේ චාරිකා අවේක්ෂකයෙක් විදිහට සේවය කිරීම. ඒ පැවරුමේදී යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු මගේ පක්ෂපාතකම කිහිප වාරයක්ම පරීක්ෂාවට ලක් වුණා.
වර්ෂ 1940 අගෝස්තු මාසේ ඉඳන් මම ටවුන්ස්විල්වල උතුරු ක්වීන්ස්ලන්ත සභාවේ සේවය කළා. පර්සි සහ ඉල්මා ඉස්ලොබ් * මෙන්ම නෝර්මන් සහ බියට්‍රස් බෙලොටී යන පුරෝගාමීන් හතරදෙනත් එහෙ හිටියා. අවුරුදු හයකට පස්සේ බියට්‍රස් මගේ බිරිඳ බවට පත් වුණා. එක සෙනසුරාදා හැන්දෑවක අපි කණ්ඩායමක් හැටියට වීදි සේවේ ගිහින් ආපහු එද්දි තමයි මම මුලින්ම කිව්ව සිද්ධිය වුණේ. ඒ වගේ අසාධාරණයකට මුහුණ දීමෙන් සිද්ධ වුණේ යෙහෝවා දෙවිට සේවය කරන්න මාව තවත් දිරිගැන්වුණු එක විතරයි.
යූන සහ මර්ල් කිල්පැට්රික් යන පුරෝගාමි සහෝදරියන් දෙන්නත් උද්‍යෝගයෙන් යෙහෝවා දෙවිට සේවය කරමින් සිටියා. මම දවසක් ඒ දෙන්නත් එක්ක සේවයේ හවුල් වුණා. එදා ඒගොල්ලන් මගෙන් ඇහුව්වා ගඟෙන් එහා පැත්තේ ඉන්න බයිබලය ගැන උනන්දුවක් දක්වන පවුලක් බලන්න යන්න අපිත් එක්ක එන්න පුළුවන්ද කියලා. ඉතින් මට සිද්ධ වුණා ගඟ
හරහා පීනගෙන ගිහිල්ලා එහා පැත්තේ තිබුණු ඔරුව අරගෙන එන්න. කොහොමහරි මම පීනගෙන ගිහින් ඔරුවට නැග්ගත් ඔරුවේ හබල් තිබුණේ නැහැ. පස්සේ අපි දැනගත්තා අපිට විරුද්ධ කෙනෙක් තමයි ඒක හංගලා තියෙන්නේ කියලා. මම අවුරුදු ගණනාවක්ම ජීවිත ආරක්ෂකයෙක් විදිහට සේවය කරලා තිබුණු නිසා මට හොඳට පීනන්න හැකියාව තිබුණා. ඒ නිසා මම ඔරුවේ ගැටගහලා තිබුණු කඹේ මගේ ඉනේ ගැටගහගෙන ඔරුවත් ඇදගෙන මෙගොඩට පීනගෙන ආවා. ඊට පස්සේ සහෝදරියන් දෙන්නව ඒකට නග්ගගෙන ආපු විදිහටම ආයෙත් එහා පැත්තට පීනගෙන ගියා. යෙහෝවා දෙවි අපේ වෑයමට ආශීර්වාද කළා. කාලයක් යද්දී ඒ පවුලේ හැමෝම සාක්ෂිකරුවන් බවට පත් වුණා.යෙහෝවා දෙවිගේ රැකවරණයෙහි
ආරක්ෂක හේතු මත ඉනස්ෆේල් නගරයට යන පාරේ හමුදා මුරපොළවල් දමා තිබුණා. මම ඒ නගරයේම පදිංචිකරුවෙක් නිසා යන්න එන්න මට අවසර ලැබුණා. හැබැයි ශාඛා කර්යාලයේ සහෝදරයන්ව ඒ මුරපොළවල් හරහා එක්කන් එන්න සිද්ධ වුණේ මගේ වාහනේ පිටිපස්සේ ආසනය යට හංගගෙනයි.
ඒ කාලේ පෙට්‍රල් හොයාගන්න ලේසි වුණේ නැහැ. ඒ නිසා වාහනය පිටිපස්සේ වෙනම උපකරණයක් සවි කරලා ගල්අඟුරු දහනයෙන් නිපදවාගත්ත ගෑස්වලින් තමයි වාහනය දිව්වේ. මම රාත්‍රි කාලයේදී යන්නේ ගල්අඟුරු පුරවපු මලු පටවගෙනයි. සහෝදරයන්ව හංගන්නේ ඒවා අතරෙයි. මුරපොළවල් අසලදී මම කරන්නේ වාහනයේ ගල්අඟුරු ගිනියම් වෙන තරමටම එන්ජිම පනගන්වලා තියෙන එකයි. බැරිවෙලාවත් පොලිසියෙන් මාව නතර කරන්න හැදුවොත් මම ඒගොල්ලන්ට කිව්වා “දැන් වාහනය නතර කළොත් එන්ජිම පනගන්වන්න බැරි වෙයි” කියලා. ඉතින් සද්දෙයි, දුමයි නිසා ඒ අය උඩින් පල්ලෙන් වාහනය බලලා මට යන්න අවසර දුන්නා.
ඔය දවස්වල වගේ තමයි ටවුන්ස්විල් නගරයේ සහෝදරයන්ට සමුළුවක් සංවිධානය කරන්න මට වගකීමක් ලැබුණේ. ඒ දවස්වල කෑම දුන්නේ සලාක ක්‍රමයට නිසා අපිට අවශ්‍ය තරම් කෑම ගෙන්වාගන්න මහේස්ත්‍රාත්ගෙන් අවසර ගන්න සිද්ධ වුණා. මේ වෙද්දී අපේ ක්‍රිස්තියානි සහෝදරයන් දෙවිට දක්වපු පක්ෂපාතකම නිසා ඔවුන්ව හිරේ දාලයි තිබුණේ. ඉතින් මට හිතුණා මේ වෙලේ මහේස්ත්‍රාත් ළඟට ගියාම එයාට ගොඩක් කේන්ති යයිද කියලා. ඒ වුණත් මට උපදෙස් දීලා තිබුණු විදිහට මම ඔහු වෙතට ගියා.
ලොකු මේසයක් ළඟ ඉඳගෙන සිටි ඔහු මටත් ඉඳගන්න කියලා කිව්වා. මම ආපු කාරණය ගැන කිව්වාම ඔහු මං දිහා අමුතු විදිහට බලලා ඇහුවා “කෑම කොච්චර ඕනෙද” කියලා. එතකොට මම අවශ්‍ය අවම කෑම ප්‍රමාණය සටහන් කරපු කොලේ ඔහුට දුන්නා. ඔහු ඒක දිහා හොඳට බලලා “මේ ප්‍රමාණය ඕගොල්ලන්ට මදිනේ. ඒ නිසා මේ ප්‍රමාණය දෙගුණයක් කළොත් හොඳයි නේද” කියලා කිව්වා. ඉතින් මම එතනින් පිට වුණේ යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමින්. දෙවි කෙරෙහි විශ්වාසය තැබීමේ වැදගත්කම යළිත් වතාවක් මට පැහැදිලි වුණා.
වර්ෂ 1941 ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සේවය තහනම් කළා. සමහරුන් සිතුවේ අපි ජපානයට ඔත්තු සපයනවා කියලයි. ඒ නිසා ගොඩක්දෙනෙක් අපි දිහා බැලුවේ සැකෙන්. එක දවසක් පොලිස් භටයන්ගෙන් පිරුණු වාහන දෙකක් අපේ ගොවිපොළට කඩා වැදිලා අපේ වගාවන් විනාශ කරලා දැම්මා. ඒ අය හිතුවේ අපි එතන ඉඳන් සතුරන්ට සංඥා දෙනවා කියලා. අපි ඉරිඟු වවලා තියෙන්නෙත් සතුරන්ට ගුවන්යානාවල ඉඳන් කියවන්න පුළුවන් වන ආකාරයෙන් සංකේතයක් විදිහට කියලත් චෝදනා කළා. කොහොමවුණත් මේ හැම චෝදනාවක්ම බොරු බව අවසානයේදී ඔප්පු වුණා.
පනවලා තිබුණ තහනම නිසා පොත් පත් බෙදා හරිද්දී ගොඩක් පරෙස්සම් වෙන්න සිද්ධ වුණා. උදාහරණයකට දරුවන් වෙනුවෙන් අලුත් පොතක් පළ වුණ අවස්ථාවේ මම ඒවා ඝන කඩදාසි පෙට්ටිවල දාගෙන කෝච්චියෙන් ගියා. ඊට පස්සේ සභාවන් තියෙන ප්‍රදේශවල දුම්රියපොළවල පොත් පෙට්ටි තියලා ගියා. ඊට කලින් මම ඒ පෙට්ටි උඩින් කියත් පටි තියලා බැන්දා. එතකොට පොලිස් සහ හමුදා භටයන් ඒ පෙට්ටි අරින්න වෑයමක් දැරුවේ නැති නිසා ඒ ක්‍රමය සාර්ථක වුණා. දෙවිගේ සෙනඟට පනවලා තිබුණු තහනම 1943 ජූනි මාසයේදී ඉවත් කළා. එක් විනිශ්චයකරුවෙක් කිව්වේ ඔවුන් කරපු හැම චෝදනාවක්ම ‘අසාධාරණයි, අසත්‍යයි’ කියලයි.
හමුදා සේවයට කැඳවීම
ඊට කලින් වසරේදී ඕබ්රීටයි, නෝර්මන්ටයි මටයි රජයෙන් කිව්වා හමුදාවට බැඳෙන්න කියලා. හැබැයි ඒක ප්‍රතික්ෂේප කළාම මගේ යාළුවෝ දෙන්නව හිරභාරයට ගත්තා. ඉන් සතියකට පස්සේ මාවත් හිරභාරෙට කැඳෙව්වාම ශාඛා කාර්යාලයෙන් මට දැනුම් දුන්නා අභියාචනයක් ඉදිරිපත් කරලා කල් ඉල්ලගන්න කියලා. මේ කාලෙදිම සමහර සාක්ෂිකරුවන්ට තැපෑලෙන් ආපු මුරටැඹ සඟරා තැපැල් කන්තෝරුවෙන් රාජසන්තක කළා. හැබැයි සාක්ෂිකරුවන් නොවන අයගේ සඟරා ඔවුන්ටම ලැබෙන්න සැලැස්සුවා.
අපිට පැවරිලා තිබුණේ ඒ කාගේ හරි ලිපිනයක් හොයාගෙන සඟරා ඉල්ලන් ඒවා පිටපත් කරලා සාක්ෂිකරුවන්ට ලැබෙන්න සලස්වන්නයි. මේ විදිහට දිගටම දෙවිට පක්ෂපාතව ඉන්න අවශ්‍ය ශක්තිය අපිට සඟරාවලින් ලැබුණා.අපේ අරමුණ වුණේ මම හිරේට යන්න කලින් ඒ වැඩේට තව කාවහරි පුහුණු කරන්නයි. මට ලැබුණු නිදහස් කාලය තුළ උතුරු ක්වීන්ස්ලන්තයේ හිරභාරයේ සිටි සහෝදරයන් 21දෙනාව මුණගැහෙන්න අවස්ථාව ලැබුණා. ගොඩක් අයව දාලා තිබුණේ එකම හිර කූඩුවේ. ඒ හිර ගෙදර හිටපු මුරකරු අපිත් එක්ක හරිම කේන්තියෙනුයි හිටියේ. මම එයාට මතක් කරලා දුන්නා අනිත් ආගම්වල නායකයනුත් ඇවිල්ලා හිරකරුවන් එක්ක කතා කරනවා නේද කියලා. එතකොට එයාට ගොඩක් කේන්ති ගියා. එයා කිව්වා “මට බලය තිබුණා නම් යෙහෝවාගේ සාක්ෂිකාරයන්ව පෝළිමේ තියලා වෙඩි තියනවා කියලා!” ඒ නිසා මුරකාරයන් මට වැඩි වෙලා එහෙ රැඳෙන්න ඉඩ දුන්නේ නැහැ.
මට සිතාසි කැඳෙව්වම රජය මං වෙනුවෙන් නීතිඥයෙකුව පත් කළා. ඒකෙන් අදහස් වුණේ මට මුළුමනින්ම යෙහෝවා දෙවි කෙරෙහි රඳා සිටින්න වෙනවා කියන එකයි. ඇත්තෙන්ම ඔහු මාව අමතක කළේ නැහැ. (ලූක් 12:11, 12; ෆිලිප්පි 4:6, 7) පුදුමයකට වගේ පැමිණිල්ල පිළිබඳ ලියවිල්ල ඔවුන් පුරවලා තිබුණේ වැරදි විදිහට. ඒ නිසා මම නඩුවෙන් දින්නා!
වර්ෂ 1944දී චාරිකා අවේක්ෂක විදිහට දකුණු ඕස්ට්‍රේලියාවේ ලොකු ප්‍රදේශයක වැඩ කරන්න මට සිද්ධ වුණා. උතුරු වික්ටෝරියාව සහ සිඩ්නි නගරයේ දකුණු නිව් සවුත් වේල්ස් යන ප්‍රදේශ ඊට අයත් වුණා. ඊළඟ අවුරුද්දේ ඉඳන් ලොව පුරාම ප්‍රසිද්ධ කථා දීමේ ව්‍යාපෘතියක් දියත් කළා. කථිකයන්ට සිද්ධ වුණා එක පිටුවක දළ සටහනකින් පැයක කතාවක් සූදානම් වෙන්න. ඒක ඇත්තටම අභියෝගයක් වුණා. හැබැයි යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තිබ්බ නිසා ඔහු අපේ වෑයමට ආශීර්වාද කළා.
විවාහය සහ අලුත් වගකීම්
වර්ෂ 1946 ජූලි මාසයේදී බියට්‍රසුයි මමයි විවාහ වෙලා පුරෝගාමීන් විදිහට සේවය කළා. අපේ ගේ හැටියට පාවිච්චි කළේ වාහනයක්. වර්ෂ 1950 දෙසැම්බර් මාසේ අපේ එකම දරුවා ජැනස් ඉපදුණා. ප්‍රදේශ කිහිපයක අපි පුරෝගාමි සේවය කළා. ඒ කාලේ නිව් සවුත් වේල්ස්වල කෙම්ප්සි නගරයේ සාක්ෂිකරුවන් හැටියට හිටියේ අපි විතරයි. හැම ඉරිදාවකම ප්‍රජා ශාලාවට ගියේ ප්‍රසිද්ධ කථාවක් දෙන්න සූදානමිනුයි. ඊට කලින් අත් පත්‍රිකා මාර්ගයෙන් ඒ ගැන නිවේදනය කළත් මාස කීපයක්ම ඒ කතාවලට ඇහුම්කන් දෙන්න හිටියේ මගේ බිරිඳයි දුවයි විතරයි. හැබැයි කල් යද්දී අනිත් අයත් එන්න පටන්ගත්තා. අද වෙද්දී කෙම්ප්සිවල හොඳ වර්ධනයක් තියෙන සභා දෙකක් තියෙනවා.
ජැනස්ට වයස අවුරුදු දෙකේදී අපි බ්‍රිස්බන්වල පදිංචියට ගියා. පස්සේ දුව පාසැල් ගිහින් ඉවර වුණාම අපි තුන්දෙනාම නිව් සවුත් වේල්ස්වල පුරෝගාමීන් විදිහට අවුරුදු හතරක් සේවය කළා. පස්සේ මගේ නැන්දම්මා අසනීප වුණ නිසා එයාව බලාගන්න අපි ආපහු බ්‍රිස්බන්වලට ගියා. දැන් මම චර්ම්සයිඩ්වල පිහිටි සභාවේ වැඩිමහල්ලෙක් විදිහට කටයුතු කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳිනවා.
යෙහෝවා දෙවිව හඳුනාගන්න 32දෙන්නෙකුට උදව් කරන්න ප්‍රස්තාව ලබා දුන්න එක ගැන අපි දෙන්නම දෙවිට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි, කරුණාවන්ත මෙන්ම සත්‍යය ගැන නිර්භීතව කතා කරන බිරිඳක්ව මට ලබා දුන්න එක ගැනත් මම දෙවිට ස්තුතිවන්ත වෙනවා. ඇය දෙවිට දක්වන ප්‍රේමය, ඔහු කෙරෙහි ඇති විශ්වාසය සහ ‘සරල ඇසක්’ ඇතුව කටයුතු කරන නිසා ඇත්තෙන්ම ඇය දක්ෂ බිරිඳක් වගේම දක්ෂ මවක්. (මතෙව් 6:22, 23; හිතෝපදේශ 12:4) මටත් මගේ බිරිඳටත් මුළු හදවතින්ම කියන්න පුළුවන් ‘යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා ආශීර්වාද ලද්දෙක්’ කියලා.—යෙරෙමියා 17:7, නව ලොව පරිවර්තනය.
[පාදසටහන]
^ 19 ඡේ. පර්සි ඉස්ලොබ්ගේ ජීවිත කතාව 1981, මැයි 15 මුරටැඹ සඟරාවේ සඳහන් වෙනවා.—සිංහලෙන් නැහැ.
[9වන පිටුවේ පින්තූරය]
උතුරු ක්වීන්ස්ලන්තයේදී අපි පාවිච්චි කරපු වාහනය
[10වන පිටුවේ පින්තූරය]
උතුරු ක්වීන්ස්ලන්තයේ වැසි දිනක කිල්පැට්රික් සහෝදරියන් දෙන්නාගේ වාහනය නතර වූ අවස්ථාවක ඔවුන්ට සහය වෙමින්
[12වන පිටුවේ පින්තූරය]
අපි විවාහ වූ දවසේදී